තවත් පරිසර සම්මේලනයක් රියෝ ද ජෙනෙයිරෝ නගරයේ පැවැත්විණි. එය බටහිර විද්‍යාඥයන්ගේ නොව එයට ඉහළ මට්ටමක වූ රාජ්‍ය නායකයන්ගේ සම්මේලනයකි. එම නගරයෙහි පළමු රාජ්‍ය නායක පරිසර සම්මේලනය පවත්වා අවුරුදු විස්සක් ගිය තැන පවත්වන ලද මේ රැස්වීම ද තවත් රැස්වීමක් පමණක් විය. බටහිර විද්‍යාඥයන්ගේ ද, ලොවෙහි රාජ්‍ය නායකයන්ගේ ද පරිසර රැස්වීම් තව තවත් ඉදිරියේ දී පැවැත්වෙනු ඇත. එහෙත් ඒ සියල්ලක් ම ප්‍රතිඵල රහිත රැස්වීම් පමණක් බවට පත්වනු ඇත. අවුරුදු පන්සියයකට පමණ පෙර ඇරඹි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පරිසරය රැකිය නො හැකි ය. අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ අප විසින් දිවයින හා විදුසර පුවත්පත්වලට ලියන ලද ලිපි මගින් මේ බව හෙළි කෙරී ඇත. මේ ඇතැම් ලිපි පරිසරය හා බටහිර ආකල්ප නමින් පොතක් ලෙස පළ වී ඇත. පරිසරය පිළිබඳ අපේ අදහස් ද පසුගිය අවුරුදු විසිපහේ විකාශය වී ඇත. එහෙත් ඒ විකාශය වී ඇත්තේ එක් දිශාවකට ය. අද අපට මේ සියල්ල පිළිබඳ ප්‍රවාද ඇත. ඒ ප්‍රවාද බටහිර ප්‍රවාද මෙන් ම ප්‍රත්‍යක්‍ෂ නො වේ. ඒ ප්‍රවාද ද උද්ගමනය මත පදනම් වෙයි. එබැවින් ම බටහිර ප්‍රවාදවල මෙන් ම එහි ද වැරදි තිබිය හැකි ය. ප්‍රත්‍යක්‍ෂ යනු අත්දැකීම්වත් සංජානනවත් ඊනියා පරීක්‍ෂණවලින් ලබාගන්නා ප්‍රතිඵලවත් නොවන බව ද අවධාරණය කළ යුතු ය. අපේ පැරණි බෙහෙත් වට්ටෝරු අවසානයෙහි අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂ යැයි සඳහන් වන්නේ ඒ දෙක දෙකක් නිසා ය. ඒ කෙසේ වෙතත් අපේ ප්‍රවාද ගෙතෙන්නේ ගහණයක පොදු ගුණය මෙන්ම සාමාජිකයන්ගේ විශේෂිත ගුණ ද සලකන සිංහල බෞද්ධ චින්තනයක ය. එය බටහිර ප්‍රවාද ගෙතෙන ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට හාත්පසින් ම වෙනස් ය. අපේ පරිසර ප්‍රවාදය සමස්තයක් ලෙස ගත්කල පහත සඳහන් අයුරින් ප්‍රකාශ කළ හැකි ය.
ලෝකයේ විවිධ රටවල විවිධ කාලවල ජීවත් වූ මිනිස්සු සාධාරණ වශයෙන් (පොදුවේ) ගත්කල පරිසරය සමග සහජීවනයෙන් විසූහ. අපි එයට සතා සිවුපාවා සර්පයා ගහකොළ සමග වූ ගතික සමතුලිතතාවක් යැයි කියමු. සමහර විට ඇතැම් මිනිසුන් පිරිසක් පරිසරය සමග සහජීවනයෙන් තම පැවැත්ම සකසාගත නොහැකි වී විනාශ වන්නට ද ඇත. එහෙත් ඒ සංස්කෘතීන් යම් ප්‍රදේශයකට පමණක් සීමා වීම නිසා සෙසු ලෝකයාට එයින් වූ හානිය එතරම් බරපතළ නො වී ය. දැනට අවුරුදු පන්සියයකට පමණ පෙර පළමුව ඉතාලියේ නව චින්තනයක් ගොඩනැගීම ආරම්භ විණි. එය යුරෝපයේ එවකට පැවති කතෝලික චින්තනයට විරුද්ධව බිහිවිණි. ඕනෑම චින්තනයකට දර්ශනයක්, ආකල්ප හා ඥාන විභාගයක් වෙයි (මගේ ලෝකය බලන්න). දැනුම නිර්මාණය කෙරෙන්නේ චින්තනයක ය. දේශපාලන ව්‍යුහ, ආර්ථික සම්බන්ධතා හා සංස්කෘතිය ද ගොඩ නැගෙන්නේ චින්තනයක් පදනම් කර ගනිමිනි. එහෙත් එයින් කියැවෙන්නේ සියල්ල චින්තනයට ඌනනය කළහැකි බව නොවේ. දැනුම ඇතුළු සංස්කෘතිය, ආර්ථික ව්‍ය්‍රහ, දේශපාලනය විසින් චින්තනය ද වෙනස් කෙරේ. ඒ චක්‍රීය සම්බන්ධයක් වෙයි. ඉතාලියේ පහළොස්වැනි සියවසේ දී සිදුවූයේ පාප්වහන්සේගේ දේශපාලන හා සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව ව්‍යාපාරයක් ඇරඹීම ය. එහෙත් එය ඉතාලියේ විසූ පොදු ජනයා විසින් නොව විශේෂිත කලාකරුවන් අතින් ඇරඹුණේ පාප්වහන්සේට එරෙහිව කරන ලද අරගලයක් ලෙස නො වේ. මිනිසුන්ට පොදු ගුණ මෙන් ම විශේෂිත වූ ගුණ ද ඇත. අපි එකිනෙකා සමග සමාන වන අතර එකිනෙකාගෙන් වෙනස් වෙමු. වත්මන් බටහිර විද්‍යා දැනුම එකී පොදු ගුණ මිස විශේෂිත වූ ගුණ නොසලකයි. එබැවින් ම එහි වැරදි වැඩිය.
කලාකරුවෝ සාමාන්‍යයෙන් අන් අයට වඩා සංවේදී වෙති. ඔවුහු න්‍යාය මත, සංකල්ප මත, ප්‍රවාද මත පිහිටා තම කෘති බිහි නොකරති. අපට සුපුරුදු බසින් කිවහොත් ඔවුහුූ මොළයට වඩා හදවත යොදා ගනිති. ඔවුන්ට ඊනියා සංකල්ප, ප්‍රවාද, ලබාදෙන්නේත් සම්ප්‍රදායන් නිර්මාණය කෙරෙන්නේත් දාර්ශනිකයන් විසිනි. දාර්ශනිකයෝ හදවතට වඩා මොළය යොදා ගනිති. අනෙක් පිරිස සාමාන්‍යයෙන් මේ කොටස් දෙක අතර වෙති. මිචලාංජිලෝ් පාප් වහන්සේට විරුද්ධ වී යැයි කිව නො හැකි ය. එහෙත් ඔහු අතින් 1505 දී ඉතාලියේ පිරෙන්ට්සි් (ෆ්ලොරන්ස්) හි බිහි වූ ඩේවිඩ් ප්‍රතිමාව නූතනත්වය සංකේතවත් කරන්නක් ලෙස මම දකිමි. ලෙනාදෝ දා විංචි තරමක විප්ලවකාරි පුද්ගලයෙක් විය. අදත් දා විංචි කෝඩ් මගින් ආන්දෝලනයට ලක්වන්නේ ඔහු විසින් ගොඩ නගනු ලැබූ ක්‍රිස්තු චරිතය යැයි සිතමි. මොවුන් විසින් අරඹන ලද නව චින්තනය අපි ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. 1517 දී මාටින් ලූතර් පාප් වහන්සේට අභියෝග කළේ මේ චින්තනය මත පිහිටමිනි. ඉන්පසු දහහත්වන සියවසේ මුල් භාගයේ දී ගැලීලියෝ ගැලීලි වියුක්තය මත පදනම් වී නිරීක්‍ෂණ කිහිපයක් මගින් උද්ගමනය ඔස්සේ සාධාරණීකරණය කරන අයුරු පෙන්වා දුන්නේ ය. ඉතාලියෙන් එංගලන්තයට ගිය නව චින්තනය නිව්ටන් හා ෂේක්ස්පියර් බිහිකිරීමට දායක විය. එංගලන්තයේ අටවැනි හෙන්රි රජු පාප් වහන්සේගේ ආධිපත්‍යයෙන් මිදී තමන් ම නායකයා වූ එංගලන්ත සභා පල්ලිය ඇති කර මාටින් ලූතර් ඇරඹි ගමන් මගේ ඉදිරියට ගියේ ය. එංගලන්තයේ ක්‍රොම්වෙල් එරටට ම ආවේණික වූ විප්ලවයක් මගින් රජුගේ බලය හීන කළේ ය. රජුන්ට හා රදළයන්ට තිබූ බලය අවම කර පාර්ලිමේන්තුව බලය ලබාගත්තේ රජු ද රදළයන්ගෙන් සමන්විත ඊනියා සාමි මන්ත්‍රී මණ්ඩලය ද තබාගනිමිනි. එංගලන්තයෙන් ප්‍රංශයට ගිය නව චින්තනය රජුන් හා වැසියන් ගිලටීනයට බිලිකළ භීෂණ යුගයක් ඔස්සේ ජනරජයක් පිහිටුවීමට දායක විය. ප්‍රංශයේ බිහි වූ ඊනියා ආලෝකනනය ප්‍රංශයන්ට ආවේණිකව නව චින්තනය යොදා ගැනීමක් විය. හේතුවාදය (හේතුඵල ධර්මතාව නොවේ), කාටීසීය තාප්පය පදනම් කරගත් දෙකාර්තේගේ දර්ශනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ම වර්ධනයන් විය. විසිවැනි සියවසේ ක්වොන්ටම් භෞතිකය සූත්‍රගත කිරීම, බටහිර ගණිතයේ අසම්පුර්ණ බව පෙන් වූ ගර්ඩ්ල් ප්‍රමේය හා අවසානයේ දී පශ්චාත්නූතනවාදය මගින් පෙන්නුම් කරන ලද්දේ බටහිර නූතනත්වයේ කඩා වැටීම ය. එහෙත් බෝර්වත් ගර්ඩ්ල්වත් තමන් නූතනත්ව රාමුවෙන් පිටතට පැන ඇති බව නොදත්තේ මිචලාංජිලෝ තමන් කතෝලික චින්තනයෙන් පිට පැන්න බව නොදත්තාක් මෙනි. අද බටහිරට ප්‍රශ්නය වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කඩාවැටෙන මුත් නව චින්තනයක් ගොඩනැගීමේ හැකියාවක් නොමැතිවීම ය.
මිනිස්සු ද අනෙක් සත්තු ද ලෝභ, ද්වේෂ, මෝහ සිත් ඇතිව ම උපදිති. ඔවුන් සියළු දෙනාට ම ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාව අඩු වැඩි වශයෙන් පවතී. අනෙක් සතුන් ට ලෝකය දැනුවත් ව වෙනස් කළ නොහැකි වුවත් මිනිසුන්ට එසේ කළ හැකි ය. එය යම් පාලනයකට යටත් නොකළහොත් ඉන් අත්වන්නේ විනාශයකි. බොහෝ සංස්කෘතීන්හි මිනිසුන්ගේ ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාව හීලෑ කෙරෙයි. යුදෙව් චින්තනයේ ද කතෝලික චින්තනයේ ද මිනිසා ලෝකයේ ස්වාමියා ලෙස සැලකුණ ද ඉන්ද්‍රිය පිනවීමට අනුබල නොදෙන ලදී. එහෙත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඒ එසේ නො වී ය. ලොව බිහි වූ චින්තන අතරෙන් මිනිසුන්ගේ ලෝභය ද්වේෂය මෝහය වැඩිකිරීමට වඩාත් ම, සීමාරහිතව මෙන්, අනුබල දෙන චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය විය හැකි ය. එයට වැඩියෙන් අනුබල දෙන චින්තන තිබිණි නම් අදාළ සංස්කෘතීන් මේ වන විට විනාශ වී ගොස් ය. එහෙත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය අනෙක් චින්තන හා සංස්කෘතීන් මෙන් එක් පෙදෙසකට සීමා නොවී ලෝක ආධිපත්‍යය දරමින් විනාශකාරීව ලෝ පුරා පැතිරී ඇත. (අපට හෙට සිංගප්පූරුවක් වී අනිද්දා ඇමරිකාවක් වීමට අවශ්‍ය එබැවිනි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ද මේ ආණ්ඩුව ද කිසිදා සිංහල බෞද්ධ චින්තනය මත පදනම් නො වී ය.) ධනපති ක්‍රමය ලෝභය හා ද්වේෂය පදනම් කර ගනිමින් හා ඒ තව තවත් වර්ධනය කරගැනීමට අනුබල දෙමින් එකී චින්තනයෙහි බිහි වී ඇති අතර බටහිර විද්‍යාව මෝහය මත වැඩියෙන් පදනම් වෙයි. වාස්තවික යථාර්ථයක් ඇතැයි ගැනීමට වඩා තවත් මෝහයක් වේ ද? ඊනියා කාර්මික විප්ලවය, ඉලෙක්ට්‍රොනික විප්ලවය ආදිය විසින් මිනිස්සු කුසීත ලෝභ ද්වේෂ සහගත පිරිසක් බවට පත් කෙරෙති. තමා ස්වභාව ධර්මයේ ස්වාමියා යන ආකල්පයෙන් මිනිසා ස්වභාව ධර්මය තම සුඛ විහරණය සඳහා යොදා ගනිමින් සීඝ්‍රයෙන් පරිසරය විනාශ කරමින් ස්වභාව ධර්මයෙන් ඇත් වෙයි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ම ඵල වෙයි. මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීම යුරෝපීය වහල් සමාජයේ ද යුරෝපීය වැඩවසම් සමාජයේ ද තිබී ඇත. ධනපති ක්‍රමය මූලික වභයෙන් ඒ සමාජ ක්‍රමවලින් වෙනස් වන්නේ ශ්‍රමය සූරාකෑම නිසා නොව, අනෙක් සතුන් ඇතුළු ස්වභාව ධර්මය මිනිස් සුඛ විහරණය සඳහා සූරාකෑම හේතුවෙනි. එසේ පරිසරය සූරා කෑමෙන් ගොඩ ගසා ගැනෙන ඊනියා ධනය මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීමෙන් පුද්ගලයන් හා රාජ්‍ය කිහිපයකට සීමා වෙයි. පාරිභෝගික සමාජය යනු පරිසරය හා ස්වභාව ධර්මය තම පරිභෝජනය සඳහා සූරාකන සමාජයකි. එහි අප විසින් සංතෘප්ත කෙරිය යුතු අවශ්‍යතාවලට සීමාවක් නැත. බටහිරයන් තම සුඛ විහරණය සඳහා අනාගත පරම්පරාව උගස් තබා ඇත.
මිනිසා විසින් සූරාකනු ලැබීම සඳහා ස්වභාව ධර්මය මවා (මැවී) ඇතැයි සැලකෙන චින්තනයකට යා හැකි දුර සීමාසහිත වෙයි. අද එය එහි ගමනාන්තයට සීඝ්‍රයෙන් පැමිණෙමින් ඇත. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට, යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හා ධනපති ක්‍රමයට පරිසරය සූරාකෑමෙන් තොරව, පරිභෝජනයෙන් තොරව පැවැත්මක් නැත. අද මුදාහැරී ඇත්තේ මිනිසුන්ගේ ඊනියා නිර්මාණ ශක්තියක් නොව මිනිසුන්ගේ අසීමිත ලෝභය, ද්වේෂය හා මෝහය ය. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි එහි කිසිදු පාලනයක් සිදු නො වේ. ඒ චින්තනයට හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට කිසිදා පරිසරය ආරක්‍ෂා කළ නො හැකි ය. එසේ ආරක්‍ෂා කිරීම ම එහි විනාශයට හේතු වෙයි. එබැවින් රියෝ ද ජෙනෙයිරෝහි දී රාජ්‍ය නායකයන්ට ව්‍යාජ සම්මුතීන් කිහිපයකට එළඹීම හැරෙන්නට පරිසරය රැකගැනීමේ සම්මුතියකට එළඹිය නො හැකි ය. ඊනියා ධරණීය සංවර්ධනය යනු බටහිරයන්ගේ ව්‍යාජ සංකල්පයක් පමණකි. ධරණීය සංවර්ධනයක් විසින් පරිසරය සමග ගතික සමතුලිතතාවක් පවත්වාගනු ලැබිය යුතු ය. එහෙත් එසේ කළහොත් බටහිර සංවර්ධනය කඩා වැටෙයි. මාක්ස්වාදීන් අද පරිසරයේ ව්‍යාජ ආරක්‍ෂකයන් වීමට දැඟලුව ද මූලික ව කතෝලික චින්තනයෙහි බිහි වී ඇති මාක්ස්වාදයෙහි විශ්ලේෂණය කෙරී ඇත්තේ ශ්‍රමය මිස පරිසරය සුරාකෑම නො වේ. ඔවුන්ට අවශ්‍ය ධනය සාධාරණයැයි කියන ආකාරයකින් බෙදාහැරීම මිස පරිසරය සූරාකෑම නැවැත්වීම නො වේ. ලෝකය අර්බුදයකට ගොස් ඇත්තේ ශ්‍රමය නොව පරිසරය සූරාකෑම නිසා ය. සිංහල බෞද්ධ චින්තනයෙහි නම් මේ අර්බුදයට විසඳුම් ඇත.