Main Logo

Sunday, 15 July 2012

සරසවි අවුල


කිසිවකු මෙරට සරසවිවල අවුලක් නැත්තේ කවදා දැයි ඇසීමට ඉඩ ඇත. බොහෝ විට සරසවිවල අවුල්වලට හේතුව දේශපාලනය ය. බොහෝ ශිෂ්‍ය සංවිධාන එදා මෙන් ම අද ද දේශපාලන පක්‍ෂ විසින් හැසිරවෙයි. එදා ලංකා සමසමාජ පක්‍ෂය, නව සමසමාජ පක්‍ෂය, විවිධ කොමියුනිස්ට් පක්‍ෂ විසින් ශිෂ්‍ය සංවිධාන මෙහෙයවිණි. ශිෂ්‍ය ක්‍රියාකාරියකු හා පක්‍ෂ සාමාජිකයකු ලෙස මෙය මම අත්දැකීමෙන් ම දන්නෙමි. අද අවිශිබමණ්ඩලයේ (අන්තරයේ) නායකත්වය ඊනියා පෙරටුගාමී පක්‍ෂයට සම්බන්ධ ය. එහෙත් එකී පක්‍ෂය දේශපාලන වශයෙන් දුර්වල ය. එබැවින් ශිෂ්‍ය සංවිධාන අද එතරම් ක්‍රියාකාරී නො වේ. වර්තමානයෙහි සරසවිවල අවුල් ඇති කරන්නෝ ආචාර්යවරු ය. එහෙත් ඒ සියලු ආචාර්යවරුන් නො වේ. අද අවාසනාවකට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ තීරණ ගැනීමේ දී බලපාන්නේ ඊනියා පෙරටුගාමී පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ, හිතවත් ආචාර්යවරුන් වීම රටේ ම අභාග්‍යයකි. මේ පක්‍ෂවලට රටේ එතරම් සහායක් (එ ජා පක්‍ෂයට ද භේද බින්න වී කිසිවක් කරකියා ගත නොහැකි තත්වයකට පත් වී ඇත) නොමැති වුවත් විශ්වවිද්‍යාලවල එ ජා පක්‍ෂයට හිතවත් ආචාර්යවරු යම් ප්‍රමාණයක් සිටිති. ශ්‍රී ල නි පක්‍ෂයට කිසි දිනෙක ශිෂ්‍යයන් අතර හෝ ආචාර්යවරුන් අතර හෝ පදනමක් නොමැති විය. මෙය වෙන ම විශ්ලේෂණය කළ යුතු කරුණකි. ශ්‍රී ල නි ප බලයේ සිටින අවස්ථාවල අවස්ථාවාදී බලලෝභී පිරිසක් පක්‍ෂයට, විශේෂයෙන් ම ඇමතිවරුන්ට සමීපවන නමුත් ඔවුහු පක්‍ෂය රුකීමට කිසිවිටෙකත් ඉදිරිපත් නො වෙති. ශ්‍රී ල නි පක්‍ෂයට සැබවින් ම හිතවත් ආචාර්යවරුන් කිහිප දෙනකු සිටින නමුත් ඇමතිවරුන් වඩා විශ්වාස කරන්නේ බලය ඇති කාලයට පක්‍ෂය වටා රොක්වී ඉහඳ තබන වංචනිකයන් ය. අවශ්‍ය නම් මොවුන් ගැන නම් ගම් සහිතව කිව හැකි ය.

විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් ගැන රටේ ඇත්තේ මහත් ගෞරවයකි. මහජනයාට අනුව නම් විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරය බුද්ධිමත්තු වෙති. උගත්තු වෙති. දක්‍ෂයෝ වෙති. විභාගවලින් ඉහළින් සමත් වූවෝ වෙති. එසේ නොවන මා වැන්නන් ද නැතිවා නො වේ. එහෙත් මා දැන් විශ්වවිද්‍යාලයීය සේවයේ නොමැති බැවින් විශ්වවිිද්‍යාලයීය බුද්ධිමතුන්ගේ ප්‍රතිශතය සුළුවෙන් වුවත් ඉහළ ගොස් ඇත. බොහෝ විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් මෙන් ම ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු ප්‍රබුද්ධයන් මා ගැන දන්නේ ආණ්ඩුවට කඩේ ගොස් සේවා කාලය දික්කර ගත් තැනැත්තකු ලෙස ය. ඔවුන් මේ ලිපිය ද ආණ්ඩුවට කඩේ යෑමක් ලෙස සලකනු ඇත. මේ ආණ්ඩුවේ බොහෝ ප්‍රතිපත්ති ගැන මගේ පැහැදීමක් නැති වුවත් දැනට මම මේ ආණ්ඩුව ආරක්‍ෂා කරමි. මේ ආණ්ඩුව වෙනුවට පත්කර ගැනීමට සුදුසු විකල්පයක් නැත. අඩුම තරමෙන් ජනාධිපතිතුමා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නේ ය. එතුමා දෙමළ ජාතිවාදයට හා ඒ පිටුපස සිටින එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ට හා ඉන්දියාවට නොනැමෙනතාක් මගේ ඡන්දය ආණ්ඩු පක්‍ෂයට හිමිවනු ඇත. මා එසේ කරන්නේ ආණ්ඩුවේ දුෂණ නාස්තිය ආදිය පිළිබඳව නොදැන නොවේ. මනාප ක්‍රමයට පෙර පැවති මහා මැතිවරණයක දී එක්තරා ඡන්ද කොට්ඨාශයකට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෝ් දෙදෙනාම පිරිසිදු චරිත ඇත්තෝ නො වුහ. එදා ප්‍රචාරය වූ එක් කවියක් වූයේ ඌත් වලා, මූත් වලා, ගමේ වලා, අපට හොඳා යන්න ය. මේ ආණ්ඩුවට ජාතික සංවර්ධන සැලැස්මක් නැත. එසේ ඇති පක්‍ෂයක් හැකිනම් පෙන්වන්න. එහෙත් දෙමළ ත්‍රස්තවාදය පැරදවූයේ මේ ආණ්ඩුව ය. අවාසනාවකට ආණ්ඩුවේ සිටින චන්ද්‍රිකාගේ පැරණි ඇමතිවරු බලය බෙදීම ගැන කතාකරති. ජනාධිපතිතුමා ඔවුන්ට ඉඩදුනහොත් ජනතාව වෙනත් දේශපාලන පක්‍ෂවල හවුලකට බලය දෙනු ඇත.

විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් කෙරෙහි ඇති ගෞරවයත් ඇතැම් විට තමන් අනුගමනය කරන දේශපාලන පක්‍ෂයත් හේතුකොටගෙන ඇතැම් ජනමාධ්‍යවාදීහු කිසිදු සොයා බැලීමක්, විචාරයක් නොමැතිව ආණ්ඩුව හා ඇමතිවරුන් අප්‍රසාදයට ලක්කිරීම සඳහා තම පෑන මෙහෙයවති. ඉසෙඩ් ලකුණූ ප්‍රශ්නය එයට හොඳ උදාහරණයකි. 2001 දී ද නව නිර්දේශයක් හා පැරණි නිර්දේශයක් විය. එහි දී මහාචාර්ය තටිල් මහතා ඉසෙඩ් ලකුණු ක්‍රමය යෝජනා කර ඇත. අද ඇතැමුන් සිතන්නේ එය ඔහු සොයාගත් (ගණිත භා’ෂාවෙන් නම් ව්‍යුත්පන්න කළ) සූත්‍රයක් කියා ය. එහෙත් ඔහු කර ඇත්තේ මෙරට උගතුන් සාමාන්‍යයෙන් කරන්නාක් මෙන් යම් සූත්‍රයක් ලංකාවට හඳුන්වාදීම පමණ ය. 2001 ඔහු කර ඇත්තේ නව නිර්දේෂයට අනුව පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන්ගේ මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු හා පැරණි නිර්දේෂයට අනුව පෙනී සිටි සිසුන්ගේ මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර ඒවා නිර්දේෂය සැලකිල්ලට නොගෙන අනුපිළිවෙළින් සකස් කර ලැයිස්තුවක් පිළියෙළ කර ඒ අනුව සරසවිවලට සිසුන් ඇතුළත් කරගැනීමට උපදෙස් දීම ය. එය වැරදි ය. එහෙත් එදා ඒ පිළිබඳ සාකච්ඡාවක් නොවූ බැවින් ඔහුගේ නිර්දේශය පිළිබඳ වැටහීමක් මා ඇතුළු පිරිසකට නො වී ය. අප සිතා සිටියේ ඔහුගේ නිරදේශය නිවැරදි බව ය. 2011 දී ද නව නිර්දේශයකට හා පැරණි නිර්දේශයකට අනුව සිසුහු පරීක්‍ෂණයට පෙනී සිටියහ.විශ්වවි්‍යාල ප්‍රතිපාදන කොමිසම විද්වත් කණ්ඩායමක් පත්කර සිසුන් ඇතුළත් කිරීමට සුදුසු ක්‍රමයක් නිර්දේශ කරන මෙන් ඉල්ලා ඇත. කොමිසමට කලින් දී තිබූ අධිකරණ නියෝගයක් හේතුකොටගෙන එක ලැයිස්තුවක් අවශ්‍ය වී යැයි කියැවෙයි. විද්වත් කමිටුව ඒ සඳහා යම් ස්‍රත්‍රයක් නිර්දේශ කර ඇත. එය ද වැරදි බව මගේ වැටහීම ය. එහෙත් ඇතැම් ප්‍රබුද්ධ යැයි කියාගන්නා දේශපාලන පක්‍ෂයකට හිතවත් ජනමාධ්‍යවේදීන් කියා සිටියේ 2001 ක්‍රමයට 2011 දී ද ක්‍රියාත්මක නොවී කොමිසම අවුලක් ඇති කළ බව ය. 2001 ද වැරදි ක්‍රමයක් අනුගමනය කර ඇති නමුත් 2001 සහ 2011 අතර පැහැදිළි වෙනසක් වෙයි. එදා නව නිර්දේෂයට අනුව සිසුන් පෙනී සිටියේ විෂය තුනකට ය. එහෙත් පැරණි නිර්දේශය අනුව සිසුහු විෂය හතරකට පෙනී සිටිය හ. එපමණක් නොව පැරණි නිරදේශයට අනුව තිබූ ශුද්ධ ගණිතය ව්‍යවහාරික ගණිතය උද්භිද විද්‍යාව සත්වවිද්‍යාව වැනි විෂය නව නිර්දේෂයට අනුව නො වීය. එබැවින් මහාචාර්ය තටිල් මහතාට එදා අනුපිළිවෙළට ඉසෙඩ් ලකුණු සකස් කිරීම හැරෙන්නට වෙනත් ක්‍රමයක් කල්පනා කිරීමට නොහැකි වන්නට ඇත. එහෙත් මෙදා ඒ බාධකය නො තිබිණි. එසේ වුවත් විද්වත් කමිටුව ද මේ පිළිබඳ ව කල්පනා කර නැති බව පැහැදිලි ය. අවාසනවකට මෙහි දී ඌත් වලා, මූත් වලා කවිය අදාළ නොවේ. ඉසෙඩ් අවුලට වගකිව යුත්තේ ඇමතිවරුන් නොව ඇදුරන්ම ය. බොහෝ ඇදුරන්ට කල්පනා කිරීමට නොහැකි ය.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය කලින් වතාවේ වැඩ වර්ජනය කළ අවස්ථාවේ දී ද මම එයට විරුද්ධ වීමි. මේ ඊනියා ප්‍රබුද්ධ කථිකාචාර්යවරුන් එහි දී මට විරුද්ධව ක්‍රියා කළ ප්‍රබුද්ධ ආකාරය දන්නෝ දනිති. සම්මේලනය එදා ද අද ද කියා සිටින්නේ සරසවි ඇදුරන් විශේෂිත පුද්ගලයන් කොටසක් බව ය. මට නම් ඔවුන්ගේ විශේෂිත බවක් නො පෙනේ. ඒ හැරෙන්නට වර්ජන තීන්දුවට සම්මේලනය එළඹුණේ මා දැන සිටි එහි ව්‍යවස්ථාව අනුව නො වේ. ඒ ව්‍යවස්ථාව පසුව සංශෝධනය වී දැයි නො දනිමි. එසේ නොවේ නම් අද ද සම්මේලනය වර්ජන තීන්දුවකට පැමිණ ඇත්තේ ව්‍යවස්ථානුකූල ව නො වේ. එමෙන් ම එදා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට තිබිය දී වර්ජනය ආරම්භ කෙරිණි. විශ්වවිද්‍යාලයීය ඇදුරකු යනු පාසල් ගුරුවරයකුට වඩා බොහෝ දේ උගත් ඇදුරකු නො වේ. ඔවුන් අතර ඇත්තේ උගත්කමේ ප්‍රමාණාත්මක වෙනසක් නො වේ. සරසවි ඇදුරෝ දැනුම නිර්මාණය කරන්නෝ ද වෙති. දැනුම නිර්මාණය කිරීම යනු අවසාන වශයෙන් ගත්කල ප්‍රවාද සංකල්ප නිර්මාණය කිරීමකි. ඇදුරන් අතිවිශාල බහුතරයකට එසේ කිරීමට නොහැකි ය. එහෙත් අඩුම තරමෙන් ඒ දිශාවට යොමුවන පර්යේෂණ කරන්නෝ වෙත් ද? ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ප්‍රශ්නයක් විසඳීමට බටහිර නිෂ්පාදනය කෙරුණු දැනුම අනුකාරිකව යොදා ගැනීම හැර කරන වෙන පර්යේෂණ කවරේ ද? ඇදුරන් කරන පරීක්‍ෂණ වැනි පරීක්‍ෂණ පර්යේෂණ ආයතනවල නිලධාරීහු ද කරති. ඉගැන්වීම පාසල් ගුරුවරු ද කරති. සම්මේලනය කියන මේ වෙනස සරසවි ඇදුරන් ඒ දෙකම කිරීම ද? සම්මේලනයට අනුව පරිවාස කථිකාචාර්යවරයකු වීමට ප්‍රථම පංතියේ හෝ ද්විතීය (ඉහළ ශ්‍රෙණියේ) උපාධියක් තිබිය යුතු ය. එමෙන් ම සේවයේ ස්ථිර වීම සඳහා පශ්චාත් උපාධියක් තිබිය යුතු ය. අද ඇතැම් වෙනත් ආයතනවලට ද බඳවා ගැනීමේ දී උපාධිය පිළිබඳ නිර්ණායක ප්‍රායෝගික වශයෙන් ගත්කල වෙනස් නො වේ. සම්මේලනයේ නිලධාරීහු සියල්ලෝ ම ඒ නිර්ණායක සපුරා ඇත් ද?

අද සරසවි ඇදුරන්ගේ සියළු දීමනා සහිත මාසික වැටුප දළ වශයෙන් ගත්කල රුපියල් පනස්දාහ හා එක්ලක්‍ෂ පනස්දාහ අතර වෙයි. එයට අමතරව ඉගැන්වීමට හැරෙන්නට අනෙක් සෑම කාර්යයකට ම මෙන් දීමනා ලැබෙයි. ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, පිළිතුරු පත්‍ර බැලීම, වැනි රාජකාරියට අයත් කාර්යයයන්ට ද දීමනා ලැබෙයි. සප්ත වාර්ෂික නිවාඩුව ආදිය ද මෙයට එකතු කළ විට මසක මධ්‍යන්‍ය දළ දීමනාව ගණනය කිරීම ප්‍රතිපාදන කොමිසම භාරගන්නේ ද? සරසවි ඇදුරන්ගේ දිමනා සහිත වැටුප පසුගිය අවුරුදු කිහිපයෙහි සෑහෙන ප්‍රමාණයකින් වැඩි වී ඇත. සම්මේලනය වැටුප් වැඩිකිරීමක් සිදු නොවී ඇතැයි කියන්නේ වචන හරඹයක යෙදෙමින් මූලික වැටුප ගැන සඳහන් කරමිනි. එහෙත් මූලික වැටුප් වැඩි නොකළත් දීමනා සහිත වැටුප (පඩි නඩි) වැඩි වී ඇත. අනෙක් අතට මූලික වැටුප වැඩි කිරීම සමස්ත රාජ්‍ය අංශයේ ම වැටුප් වැඩිකිරීමකින් තොරව සිදු කළ නොහැකි ය. ඉන් ඇතිවන ප්‍රතිවිපාක ගැන සැලිකිළිමත් නොවී ෂයිලොක් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඇතැම් ඇදුරන් ආණ්ඩුව අස්ථායී කිරීමේ වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බව ය. සම්මේලනයේ නායකත්වය දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ දී සිටියේ කොතැනක ද? නිදහස් අධ්‍යාපනය ගැන කටමැත දොඩන්නන්ගෙන් කී දෙනෙක් රටේ නිදහස වෙනුවෙන් පෙනී සිටියෝ ද? සරසවි ඇදුරන්ගෙන් කී දෙනෙක් බටහිරයන්ගේ මතිමතාන්තර වමනය කරමින් දෙමළ ජාතිවාදයට රට පාවාදීමට කටයුතු කරත් ද? අවසාන වශයෙන් බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට කටයුතු කරන්නෝ කෙතෙක් වෙත් ද? සරසවි ඇදුරන්ගෙන් රටට සිදු වී ඇති සෙත කුමක් දැයි කවුදෝ අසා තිබුනේ කට කහනවට විය නො හැකි ය. අධ්‍යාපනයට වෙන්කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර එය වැඩිකරන ලෙස ඉල්ලන්නේ ප්‍රතිශත ගණනය කරන ආකාරය පිළිබඳ හරි වැටහීමක් නොමැතිව ය. අයවැය ලේඛනයේ වැය ශීර්ෂ සෑම වසරක ම එකම නම් ප්‍රතිශත සැසඳිය හැකි ය. ශීර්ෂ වෙනස්වන විට ප්‍රතිශතවලට නිරපේක්‍ෂ අගයන් නැත.