Main Logo

Showing posts with label අධ්‍යාපනය. Show all posts
Showing posts with label අධ්‍යාපනය. Show all posts

Sunday, 24 August 2014

ඉතා සංවේගයෙන් ලියමි


පුවත්පත්වලින් හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් කියවන්නට අසන්නට ලැබෙන පුවත්වලින් අපි බොහෝ දෙනා බොහෝවිට කම්පා වෙමු. පසුගිය දා එකළොස් හැවිරිදි දැරියක තම නැගණිය කෘරලෙස මරාදමා ඇති බව ඇසීමෙන් මෙරට වැසි බොහෝ දෙනා ඉතා සංවේගයට පත්වන්නට ඇතැයි සිතමි. එය අප බොහෝ දෙනාගේ සිත් සතන් බෙහෙවින් කම්පා කරන්නට ඇත. අප රට භෞතික වශයෙන් යම් සංවර්ධනයක් අත්කරගෙන ඇත. එය අපට ඔරොත්තු දෙන්නක් ද යන ප්‍රශ්නය ද ඇත. අපේ මව බොහෝ විට අපට කී කරුණක් නම් ඇයට ලැබුණු රුපියල් හතළිහක මාසික වැටුපෙන් ඇය තම මව රැක බලාගෙන එකල මරදානේ තාක්‍ෂණික විද්‍යාලයේ (ටෙක්නිකල් කොලීජියේ) ඉගෙනුම ලත් තම බාල සොහොයුරාගේ අධ්‍යාපනය සඳහා ද වියදම් කළ බව ය. එයට කලින් ඇගේ මව (අපේ ආච්චි අම්මා) තම දරුවන් ඉතා කුඩා කල සැමියා නැතිවූ පසු තම දරු දෙදෙනා උස්මහත් කර ඔවුන්ට අධ්‍යාපනය ලබා දී ඇත්තේ ආප්ප පුච්චා උපයාගත් සුළු මුදලෙනි. සිංහල පාසල් ගුරුවරුන් වූ අපේ දෙමව්පියෝ තම වැටුපෙන් දරුවන් අටදෙනකු හදාවඩා ගත්තේ නිදහස් අධ්‍යාපනයේ ද පිහිට ලබමින් අපට එකල දිය හැකි උපරිම අධ්‍යාපනය ද ලබා දෙමිනි. අපේ ආචිචි අම්මාගේ කල හා අපේ දෙමවුපියන්ගේ කල රුපියලේ අගය අදට වඩා බෙහෙවින් වැඩි වූවාට සැකයක් නැත. එහෙත් අද අපට ඔවුන් කළ දේ කිරීමට නොහැකි වී ඇත්තේ හුදෙක් ඒ නිසා නො වේ. අද අපේ අවශ්‍යතා වැඩි වී ඇත. අපේ ආත්මාර්ථය වැඩි වී ඇත. ඊර්ෂ්‍යාව, කුහකකම, තරගය, පෞද්ගලිකත්වය වැඩී යන්නේ කිසිසේත් ම මිනිසුන්ට ඔරොත්තු දෙන ආකාරයකින් නො වේ. මිනිසුන් ලෙස අපි සර්පිලාකාර ව අගාධයට ඇදෙමින් සිටිමු. අපි එයට සංවර්ධනය යැයි කියමු. පුවත්පත්වල සඳහන් ආකාරයට ඉහත සඳහන් දැරිය ජීවත් වී ඇත්තේ දැරියක ලෙස නො වේ. ගෙදර ඉවුම් පිහුම් කිරීම තම කුඩා නැගණිය බලා ගැනීම ඇතුුළු කාර්ය බොහෝමයක් ඇය වෙත පැවරී ඇත. ඇයගේ මව මුදල් ඉපයීම සඳහා පිටරට ගොස් ඇත. ඇයට අවශ්‍ය පරිදි මව් සෙනෙහස ලැබී නැති බව පැහැදිලි ය. 

අපට මා ගැන කතා නොකර එකිනෙකා සමග කතාකළ හැකි ද? යම්තම් මං මැදිහත් වෙලා ඒ වැඩේ කෙරුවා. මං නැත්නන් ඒක කවදාවත් කෙරෙන්නෙ නැහැ. මං නේ එයාට රස්සාව අරන් දුන්නෙ, ආදී වැකි අපට බොහෝ විට කතාබහේ දී අසන්නට ලැබෙයි. යුද්දෙ දිනුවෙ අපි ඒ ගැන කරපු ප්‍රචාරය නිසා, අපේ මතවාදී අරගලය නිසා ආදි කතා ද අපට අසන්නට ලැබෙයි. ලකුණු දා ගැනීම, ගෞරවය ලබාගැනීම ආදිය අපට නැතිව ම බැරි දේ බවට පත් වී ඇත. පුහු රාජ්‍ය සම්මාන හා වෙනත් එවැනි ම පුහු සම්මාන ලබාගැනීමට ඊනියා උගතුන් අතර පොරයක් මේ දිනවල පැවැත්වෙන බව අපි දනිමු. පොරවල් වීමට ඇති පොරය සියළු පොර අබිබවා යන්නේ යැයි කිවහැකි ය. එහි දී ජනමාධ්‍යය ද ප්‍රයෝජනයට ගැනෙයි. වෘත්තීය ඊර්ෂ්‍යාව බොහෝ දෙනාට ඇත. අපට එය වඩාත් ම දැකගත හැක්කේ සෞඛ්‍යය ක්‍ෂෙත්‍රයෙහි වුවත්  අනෙක් ක්‍ෂෙත්‍රවල ද එය පැතිරී ඇත. අවාසනාවකට අද දෙමවුපියන් වැයම් කරන්නේ තම දරුවන් පොරවල් කිරීමට මිස යහපත් පුරවැසියන් කිරීමට නො වේ. එය අඩු වැඩි වශයෙන් බටහිර අධ්‍යාපනය මෙරටට හඳුන්වාදුන් සිට ම පැවතී ඇත. නිදහස් අධ්‍යාපනය ඉනිමගේ ඉහළට යෑමට දෙන තල්ලුවක් බවට පත් වී ඇත්තේ හතළිහේ දශකයේ සිටම ය. මේ ඇතැම් අයහපත් ලක්‍ෂණ අප සියළු දෙනාට ම අඩු වැඩි වශයෙන් බලපා ඇත. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා දරුවන් දෙස අප බොහෝ දෙනා බලන්නේ නිදහස් අධ්‍යාපනයේ සතුරන් දෙස බලන ආකාරයකට ය. නිදහස් අධ්‍යාපනය ලැබූ අයට රැකියා ලබා දීමේ දී ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු ය වැනි ආකල්ප අපට ඇති වී තිබෙන්නේ ද අධ්‍යාපනයේ වරදින් ය. අපි තවමත් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා හැම් බේකන් කන බේබිලා ගැන කතා කරමු. 

මෙරට වැසියන්ගෙන් බහුතරය සිංහල බෞද්ධයෝ වෙති. එහෙත් අවාසනාවකට සිංහල බෞද්ධයනට ඇත්තේ නොසන්සිඳෙන මමත්වයකි. ආත්මයක් නැතැයි කියන සිංහල බෞද්ධයන්ගේ මමත්වය මෙතරම් වැඩි ඇත්තේ ඇයි? අර දැරිය තම නැගණිය මරා දමා ඇත්තේ (අදාළ වාර්තාවලට අනුව) ඉහවහා ගිය මමත්වය හේතුකොටගෙන ය. අප රටේ පවුල් ජීවිතය එන්න එන්න ම පිරිහෙයි. මව්පිය සෙනෙහස, දරු සෙනෙහස, අඹු සැමි සෙනෙහස, සහෝදර සෙනෙහස අද  පවුල්වලින් පළා යමින් ඇත. සෙනෙහස යන වචනය අද පාවිචිචි නෙකෙරෙන තරම් ය. ඒ වෙනුවට කසිකබල් ආදරය යන වචනය ආදේශ වී ඇත. සෙනෙහ කොළය වෙනුවට අද ඇත්තේ එස් එම් එස් ආදරය ය. ආදරය යන්න බටහිරට කෙසේ වෙතත් අපට ආගන්තුක ය. ආදරය ඇත්තේ හෝටල් කාමරවල ය. නිවෙස්වල තිබිය යුත්තේ සෙනෙහස ය, ගෞරවය ය. ඊනියා මානව අයිතිවාසිකම් පවුල  කෙරෙහි අනර්ථකාරීව බලපා ඇත. අද දෙමවුපියෝ වැඩිහිටි දරුවන්ට බියෙන් ජීවත්වෙති යන්න අතිශයෝක්තියක් නො වේ. එය පන්සලට ද බලපා ඇත. ගුරු හාමුදුරුවෝ තරුණ ශිෂ්‍ය හාමුදුරුවන්ට බිය වෙති. 


මේ සියල්ලට වැරදිකරුවා විවෘත ආර්ථිකය යැයි කීමට තරම් අප බොළඳ විය යුතු නො වේ. 1977 දී මෙරටට විවෘත ආර්ථිකයක් හඳුන්වා දෙනු ලැබුයේ එය මිනිසුන්ට අවශ්‍ය වී තිබූ නිසා ය. 1977 වන විට 1970 - 77 යුගයේ ආර්ථිකය මිනිසුන්ට එපා වී තිබිණි. එය ක්‍රියාත්මක වර ආකාරයේ වැරදි තිබෙන්නට ඇත. එහෙත් මිනිසුන්ට එය එපා වූයේ ඒ නිසා ම නො වේ. මිනිසුන්ට තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට තදබල කැමැත්තක් තිබිණි. එය ආහාර සම්බන්ධයෙන් පමණක් නො වී ය. පංචෙන්ද්‍රිය පිනවීමට මිනිසුන්ට තිබූ ඕනෑකම නොවන්නට විවෘත ආර්ථිකය හඳුන්වා දීමට ඉඩක් නො තිබිණි. එහෙත් විවෘත ආර්ථිකයට වඩා අපට බලපෑවේ ඒ සමග හඳුන්වාදෙනු ලැබූ විවෘත සංස්කෘතිය ය. ජනමාධ්‍ය, විශේෂයෙන් ම ඉලෙක්ටෝ‍රනික මාධ්‍ය විවෘත සංස්කෘතිය ප්‍රචලිත කිරීමෙහි ලා රටට අහිතකර ව මැදිහත් විය. අද දරුවෝ පාසලෙන් ලබාගන්නා කසිකබල් තරගකාරී අධ්‍යාපනයට අමතර ව කසිමකසිකබල් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ඉගෙන ගනිති. (මතු සම්බන්ධයි)       


නලින් ද සිල්වා

2014-08-24

Sunday, 16 February 2014

ජෙනීවා පරදවමු -2


ජෙනීවා ප්‍රශ්නයක් වී ඇත්තේ මෙරට ඊනියා උගතුන්ට ය. බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් ලබා ඇති මේ උගත්තු බටහිරයන්ගේ බටහිර විද්‍යාව ඇතුළු පට්ටපල් බොරුවලින් මුළා වෙති. ඔවුන්ට තම ඊනියා උගත්කම පෙන්වීමට ද ජෙනීවා උදවු වෙයි. ජෙනීවාහි දී කුමක් වේ ද? ආර්ථික සම්බාධක පැණවීමට ඉඩක් වේ ද? ආදී ප්‍රශ්න මේ උගතුන්ගේ සාකච්ඡාවට භාජනය වෙයි. එහෙත් නියම ප්‍රශ්නයට උගතුන්ට මගහැරෙන්නේ ඔවුන් උගතුන් පමණක් වූ බැවිනි. ඔවුන්ට අනුව අද ඇත්තේ මානුෂික මෙහෙයුම්වල අවසාන සති දෙකෙහි මානව අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් දෙමළ ජාතිවාදයට ඇතැම් දේ දෙන්නේ නම් මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ චෝදනා අස්කර ගැනීමට බටහිරයන් කැමත්ත පළකර ඇති බව ඔවුහු අමතක කරති. බටහිරයන්ට ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීමේ ප්‍රශ්නයක් නොව සිංහල බෞද්ධ චින්තනය හා ඔවුන්ට අවනත නොවී කොටින් පැරද වූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පැරදවීමේ  අභිලාෂයකි. අද එ ජා පක්‍ෂයේ කිරිඇල්ලත් ජ වි පෙ නව නායකයාත් බෙරිහන් දෙමින් කියන්නේ ජෙනීවා ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ ආණ්ඩුවේ වරදින් බවත් ජෙනීවා යෝජනා ආණ්ඩුවට මිස රටට විරුද්ධ ව නොවන බවත් ය. මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට තමන්වහන්සේ එකඟ බවත් වරදක් කර නැත්නම් එවැනි පරීක්‍ෂණයකට බිය නොවිය යුතු බවත් ය. උන්වහන්සේ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂක (අපේක්‍ෂකයන් වහන්සේ) බවට පත්වීමටත් කැමැත්ත පළකර ඇත. 

සෝභිත හිමියන් ජනාධිපතිවරණයේ දී තරග කළහොත් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට විසිපහකට අඩුවන බැවින් ඒ ගැන කතා නොකර සිටීම වැඩදායක ය. එහෙත් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණය ගැන කතා නොකර සිටීමට නො හැකි ය. මේ ජාත්‍යන්තරය යනු කවු ද? දෙමළ ජාතික සංධානයේ සිංහල විරෝධී ඊළාම්වාදී ප්‍රේමචන්ද්‍රන්ලා ද ඉල්ලා සිටින්නේ ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. ඔවුහු මෙරට දී සිදු කෙරෙන පරීක්‍ෂණයකට විරුද්ධ වෙති. ඔවුහු ජනගනන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට ද විරුද්ධ වෙති. ඒ ඔවුන් මෙරට රාජ්‍යයෙන් වෙන් වී ඊනියා ජාත්‍යන්තරයේ අනුග්‍රහය මත ඊළමක් පිහිටුවීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින බැවිනි. සෝභිත හිමියන්ට එවැනි අවශ්‍යතාවක් නැතැයි අපි තවමත් උපකල්පනය කරමු. එහෙත් ඊනියා ජාත්‍යන්තරය යනු ලෝක ජාත්‍යන්තරයක් නොව එංගලන්තය, ඇමරිකාව ආදී බටහිර රටවල් කිහිපයක ව්‍යාජ ජාත්‍යන්තරයකි. අප රටේ දෙමළ ජාතිවාදී ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය ය. එංගලන්තයත් ඇමරිකාවත් ඇතුළු ව්‍යාජ ජාත්‍යන්තරයට අවශ්‍ය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝ පුරා පැතිරවීමට ය. එහි දී ඔවුන්ට සිංහල බෞද්ධ චින්තනය හා සංස්කෘතිය කුඩු පට්ටම් කර දැමීමට අවශ්‍ය වෙයි. ඔවුන් 1650න් පසු ගෙන් වූ දෙමළ වෙල්ලායන් ද දැන් බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා ද යොදා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හා චින්තනයට එරෙහි ව ය. මුළු මහත් දෙමළ ප්‍රශ්නය ම සිංහල බෞද්ධයනට එරෙහිව අධිපතිවාදී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් ඇතිකරන ලද්දකි. අවාසනාවකට අද බටහිරයන් සිංහල බෞද්ධ චින්තනය සමග නැති භික්‍ෂූන්ගේ පල්ලි නිකායක් ද ඇතිකර සිංහල බෞද්ධ චින්තනයට විරුද්ධ ව එය යොදාගනු පෙනෙන්නට ඇත. ව්‍යාජ ජාත්‍යන්තරය පහළොස්වැනි සියවසේ සිට අද දක්වා ම නිරන්තරයෙන් මානව අයිතිවාසිකම් කඩකරමින් අපේ රණවිරුවන් අතින් සිදු වී යැයි කියන මානව අයිතිවාසිකම් කඩවීම් ගැන පරීක්‍ෂණ කළ යුතු යැයි කියන්නේ එ ජා ප හා ජ වි පෙ වැනි සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂ කියන ආකාරයට ආණ්ඩුවට විරුද්ධව නොව සිංහල බෞද්ධ චින්තනයට හා සංස්කෘතියට එරෙහි ව ය. ඉහත කී පක්‍ෂ ජෙනීවා චෝදනා ආණ්ඩුවට විරුද්ධව යැයි කියන විට ඔවුන් තැත්කරන්නේ එහි ඇති සිංහල බෞද්ධ විරෝධය වසා දැමීමට ය. ව්‍යාජ ජාත්‍යන්තරය පරීක්‍ෂණවලින් රටට හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට බලාපොරොත්තු වෙයි. 

අනෙක් අතට අප නිවැරදි නම් පරීක්‍ෂණයකට  බිය විය නැතැයි යන්න සත්‍යයක් වුවත් එයින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට එකඟ විය යුතු බවක් ගම්‍ය නො වේ. අද අපේ ප්‍රධාන ම සතුරා එංගලන්තය ය. මෙරට කසිකබල් උගත්තු, විශේෂයෙන් ම ඉංගිරිසි උගත්තු එසේ කීම ගැන අසතුටු වෙති. එහෙත් එංගලන්තය අපේ ප්‍රධාන ම සතුරා බව අවබෝධ කරගන්නා තෙක් අපට දෙමළ ජාතිවාදය මුළුමනින් ම පැරදවිය නොහැකි ය. අප නොකළ වරදක් ගැන අපේ ප්‍රධාන ම සතුරා කිසිම සාක්‍ෂියක් නොමැතිව කෑ ගෑසූ පමණින් අප සතුරා විසින් ම කෙරෙන පරීක්‍ෂණවලට එකඟ විය යුතු ද? සතුරාගේ මෙරට නියෝජිතයන් වූ දෙදෙනකු වූ රායප්පු ජෝසෆ් හා සවුන්ද්‍රනායගම් යන බිෂොප්වරු ඇසින් දුටු සාක්‍ෂි ඇතැයි කියමින් රසායනික ප්‍රහාර හා සාමාන්‍ය වැසියන්ට බෝම්බ දැමීම් ගැන කතා කරති. අප ව්‍යාජ ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟ විය යුත්තේ සාක්‍ෂිකරුවන් නැතිව කරන මෙවැනි අභූත චෝදනා මත පදනම් වී ද? අප කළ යුත්තේ රටට එරෙහිව එලෙස පදනම් විරහිත චෝදනා ඉදිරිපත්කරන බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකරන්නන් අධිකරණය ඉදිරියට පැමිණවීම සඳහා නීති රීති සම්පාදනය කිරීම ය. අපේ නිවැරදිකම ප්‍රදර්ශනය කිරීමට යැයි කියමින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟවන්නන් ද ඉටුකරන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අවශ්‍යතා ය. ආර්්ථික සම්බාධක පැණවීමට ජෙනීවා සමුළුවට නීතියෙන් ඉඩක් නැතිවුවත් බටහිරයන් අපට දඬුවම් කර අප මෙල්ලකිරීම සඳහාත් ආණ්ඩුව පළවා හැරීම සඳහාත් සිංහල බෞද්ධ සංස්කෘතිය පොඩි පට්ටම් කිරීම සඳහාත්  වක්‍ර ව ආර්ථික වශයෙන් හිරිහැර කරනු ඇත. අද ආණ්ඩුව පෙරළා දැමීමට ඊනියා වසන්ත මෙහෙයවීමට තරම් නායකත්වයක් මෙරට කිසිම විපක්‍ෂ කණ්ඩායමකට  හෝ දේශපාලන පක්‍ෂයකට හෝ නැති බව දත් කැමරන් තම එංගලන්ත අගමැතිකමට අමතරව ලංකාවේ විපක්‍ෂ නායක පදවිය ද තමන් අතට ගෙන ඇත. අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ජෙනීවා, ලන්ඩන්, වොෂිංටන් නගරවල මිස කොළඹ නො වේ.  බටහිරයන් ලන්ඩන් හා වොෂිංටන් සිට පනවන වක්‍ර ආරථික සම්බාධක  ඊනියා උගතුන්ට ප්‍රශ්නයක් වනු ඇත. එහෙත් ඔවුහු (අඩුම තරමෙන් ඔවුන්ගේ දෙමවුපියෝ) දෙවැනි ලෝක යුද්ධය යනුවෙන් හැඳින්වෙන බටහිරයන්ගේ යුද්ධයේ දී සුද්දන් වෙනුවෙන්, සුද්දන්ගේ ලෝක ආධිපත්‍යය වෙනුවෙන්, බජිරි කෑවෝ ය. සුද්දන් වක්‍ර ව ආර්ථික වශයෙන් අපට හිරිහැර කළහොත් එයට මුහුණ දීමට අප සූදානම් විය යුතු ය. අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඊනියා උගතුන්ට බජිරි කැවීමට අවශ්‍ය නම් අප එය ද කළ යුතු ය. (මතු සම්බන්ධයි) 


නලින් ද සිල්වා

2014-02-16

Sunday, 3 February 2013

ජාතිවාදයද? ආත්මවාදයද?

කලකට ඉහත කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි එක්තරා ගමක කමිස කඩේ යැයි හැඳින්වුනු කඩයක් තිබිනි. නමුත් එහි රෙදිපිළි විකිණීමට තිබුනේ නැත. තිබුනේ සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන සිල්ලර බඩු පමණි. ඒ කඩේ මුදලාලි සිංහල නොවන බව නම් කථාවෙන් හඳුනාගන්නට අපහසු වුනේ නැත. මා දැන් හිතන පරිදි ඔහු මුස්ලිම් ජාතිකයකු විය යුතුය. කඩයට ඒ නම ලැබෙන්නට ඇත්තේ ඔහුගේ මුස්ලිම් නම සිංහලට හුරු කෙරවීමෙන් පසුව විය හැකිය. ඒ කඩය අහල පහල වෙන කඩ නොතිබිනි. එවකට ඒ ගමේ සිංහල බෞද්ධ නොවන පවුලක් සිටියා නම් ඒ මුදලාලිගේ පවුල පමණක් විය යුතු යැයි මම සිතමි. නමුත් ඔහුට එදා ඒ මිනිසුන් ගොඩේ ජීවත් වීමට සිතේ චකිතයක් තිබෙන්නට නැත. ගම්මුන්ට පවා එහි අමුත්තක් නොතිබිනි. මෙවැනි අන්‍ය ජාතික ව්‍යාපාරිකයෝ හා වෘතිකයෝ අදටත් සිංහල ගැමියන් අතර සුහදව ජීවත්වෙති. එපමණක් නොවේ උතුරේ යුද ගිනි ඇවිලෙන සමයේ පවා එහි ගොස් දෙමළ ගම් වැසියන්ගේ උදව් සත්කාර ලබමින් එහි සේවය කල තරුණ සිංහල දොස්තර මහතුන්ද සිටියහ. මේ කොතැනකවත් ජාතිවාදය දකින්නට නැත. ඇත්තේ අහිංසක මිනිස්කම පමණි. පොදුවේ සලකන විට අප රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ගැමියන් බහුතරයක් ජාතිවාදී නොවේ යැයි කීම අතිශෝක්තියක් නොවේ.

නමුත් අප අතර සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිවාදීහු සිටිති. මොවුන් පෙර කී ජාතිවාදී නොවන අයගෙන් වෙනස් වෙන්නේ කෙසේද? ජාතිවාදී බව ඇතැම් අයට සහජයෙන්ම එන ගතියක්ද? නැත්නම් එය යම් ජාතියක හෝ ආගමක ආවේනික ලක්‍ෂණයක්ද? පැහැදිළිවම මේ ප්‍රශ්ණවලට පිළිතුරු විය යුත්තේ නැත යන්නය. මිනිසුන්ගේ ජාතිවාදී බව මතු පිටින් ඇති ගති ලක්‍ෂණයකි. ඇතුලතින් මේ බොහෝ දෙනෙකු අතර දැකිය හැකි පොදු ගුණයක් ඇත. ඔවුන් බොහෝ දෙනෙකු තරඟකාරී ලෙස අනුන් පාගාගෙන ඊර්ෂ්‍යව පෙරදැරි කරගෙන තමන්ගේ ආත්මාභිවෘදිය උදෙසා කටයුතු කරන අයය. පොදුවේ මොවුන් ආත්මවාදීන් යැයි හැඳින්විය හැකිය. සිංහල, දෙමළ හා මුස්ලිම්වරුන් අතර ආත්මවාදීහු සිටිති. මොවුන් වැඩි දෙනෙකු සමාජයේ ඉහලට යාමට වලිකමින් තරඟකාරී දිවි පෙවෙතක් ගෙවති. මේ ආත්මවාදීන් අතරින් සමහරෙක් ජාතිවාදී වෙන්නේ ඒ තරඟයේම ප්‍රතිඵලයක් ලෙසිනි. මේ බොහෝ දෙනෙකු නගරබදව වාසය කරති. අනුන් පරයා සමාජයේ ඉහලට යාමට තැත් කරති. මෙරට අවස්ථා කිහිපයකම ජාතිවාදී ප්‍රචන්ඩකාරී ක්‍රියා ඇති වුනේ නගර ආශ්‍රිතව බව අමතක කල නොහැකිය. ඉන් බොහොමයක් තමන් උගතුන් යැයිද සිතති. කෙසේ නමුත් ජාතිවාදීබවට ඇතුලතින් තිබෙන්නේ ආත්මවාදයය. ආත්මවාදීන් සැම දෙනෙකුම ජාතිවාදීන් නොවේ. නමුත් ජාතිවාදීන් පොදුවේ ගත්විට ආත්මවාදීන් යැයි මම සිතමි. ආත්මවාදී බව අපට ලැබෙන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය හරහාය. බටහිර අධ්‍යාපනය එහි ප්‍රධානම ඒජන්තවරයාය.

පසුගිය දිනවල මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සහ එන්ඩීටී සිසුන් අතර ගැටුමට මූළික හේතුව මේ සිසුන් එකිනෙකා පරයා ඊරිසියා සහගතව සමාජයේ ඉහලට යාමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් නිසා නොවේද? වසරක් පාසා ඇතිවන මේ ගැටුම් වලින් එළිදැක්වෙන්නේ උගත්යැයි සලකන මේ සිසුන්ගේ ආත්මවාදී බව නොවේද? විශ්ව විද්‍යාල පද්ධතිය පුරාම කලා අංශයේ සිසුන් නිතර විද්‍යා අංශවල සිසුන් හා ගැටුම් ඇති කර ගන්නේ මේ හේතුව නිසා නොවේ යැයි කිව හැකිද? ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් එවැනි කණ්ඩායම් විශ්ව විද්‍යාල පද්ධතිය තුල දේශපාළන බලය අල්ලාගෙන සිටින්නේ සිසුන්ගේ ආත්මවාදී බව උලුප්පවමින් නොවේද? මෙසේ තරඟවදිනවුන් අතර යම් හෙයකින් හෝ එක ජාතියක් සුවිශේෂ තැනක් ගනු පෙනෙන්නට ලැබනොත් ආත්මවාදීන් ජාතිවාදීන් බවට පෙරලෙන්නේ නිරායාසයෙනි. උදාහරණයක් වශයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදුවී ඇති අයථා කටයුතුවල නීති විරෝධීබව අභිබවා මුස්ලිම් විරෝධයක් මතුවී තිබෙන්නේ ඇතමුන්ගේ ආත්මවාදය ජාතිවාදය බවට පෙරලී ඇති නිසා නොවේද? අනුන්ට නොදී තමන්ම බුක්ති විඳීම ආත්මවාදීන්ගේ ලක්‍ෂණයකි. යමක් සියලු දෙනාටම බුක්ති විඳිය හැකි වන පරිදි ඒ සඳහා ඇති තරඟය සාධාරණය කිරීමට යෑමේදී ඊට විරුද්ධ වීමද ආත්මවාදීන්ගේ ගතියකි. උදාහරණයක් වශයෙන් වෛද්‍ය වරුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පොදුවේ කැමතිවී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට පමණක් එරෙහි වන්නේ ආත්මවාදීව තමන්ගේ වෘතීමය වරප්‍රසාද රැක ගැනීමට නොවේ යැයි කිව හැකිද? දිස්ත්‍රික් පදනම යටතේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේ ක්‍රමයට දෙමළ ජාති වාදීන් විරුද්ධ වුනේ එමඟින් යාපනයේ සුපිරි පාසල් වලින් පැමිණෙන සිසුන්ට අයථා ලෙස ලබා ගෙන තිබූ වරප්‍රසාද අහිමි වන බැවින් නොවේද?

බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් මෙලෙස ආත්මවාදීන් වීම අරුමයක් නොවේ. අප රටේ බටහිර අධ්‍යාපනය සැකසී ඇත්තේම සමාජයේ ඉහලට යන තරඟය ජය ගැනීමටය. නමුත් උගතුන්ට සමාජයේ ඇති ගෞරවය නිසා ඔවුන්ගේ කෙනෙහිළි කම් පහත් ලෙස සැලකීමට අප සමාජය තවම සූදානම් නැත. නමුත් ඇතැම් උගතුන්ගේ ක්‍රියා කලාප, ඔවුන් විසින් අවඥාවෙන් සලකන ඊනියා වට්ටි අම්මාවරුන්ගේ ක්‍රියා කාලාප වලට වඩා ඉතා පහත් බව කිව යුතුය. මේ උගතුන් ප්‍රසිද්ධියේ තමන් ජාතිවාදී බව නොපෙන්වන්නටද වග බලා ගනිති. ඔවුන්ට බටහිර අධ්‍යාපනය හරහා ඒ සඳහා පුහුණුවක් ලබා දේ. කෙසේ නමුත් ආත්මවාදීන් වන්නේ බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් පමණක් නොවේ. බමුණු කුලයේ අයත් ඒ කුලයට පැන ගැනීමට යත්න දරන අයත් පොදුවේ ආත්මවාදීහු වෙති. යම් යම් කරුණු මත ඉන් සමහර දෙනෙක් ජාති වාදීන් බවට පත්වෙති.

නමුත් අප රටේ සාමාන්‍ය මිනිසුන් බහුතරයක් ආත්මවාදීහු නොවෙති. සිංහල, දෙමළ හා මුස්ලිම් වන ඒ බොහෝ දෙනා ගම් බදව වාසය කරති. සාපේක්‍ෂව ගත්විට ඔවුන්ගේ ජීවිත එතරම් තරඟකාරී නොවේ. ඔවුන්ට අනුන් පගාගෙන යන්නට ඇති ඉහල තැනක් නැත. ඒ නිසා ඔවුහු ස්වභාවයෙන්ම ජාතිවාදීන්ද නොවෙති. බටහිර අධ්‍යාපනයක් ලබා බටහිර සංස්කෘතියේ අභාෂය ලබමින් බටහිර ක්‍රමයේ රස්සා කරමින් ජීවත් වන මා වැනි අයට ආත්මවාදී නොවී සිටිය හැක්කේ බුද්ධියෙන් පමණි. ඒ හැරෙන්නට කල හැකි දෙයක් නැත. නමුත් මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් සහජීවනයක් ගොඩනඟා ගත හැක්කේ අප වැන්නවුන්ට නොව ඇඟෙන්ම ආත්මවාදී නොවන අයටය. අපි ඔවුන්ට සිත්සේ ජීවත්වන්නට ඉඩ දිය යුතුය.

Janaka Wansapura

Wednesday, 12 December 2012

බලතල වෙන්කිරීමේ මිථ්‍යාව

අගවිනිසුරුවරියට විරුද්ධව ගෙනෙන ලද දෝෂාභියෝගී යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ තෝරාගත් කමිටුවක් අද හෙට පත්කිරීමට නියමිත ය. ඒ කමිටුව එකොළොස් දෙනකුගෙන් සමන්වනු ඇතැයි ද ඉන් හත් දෙනකු ආණ්ඩු පක්‍ෂයෙන් ද ඉතිරි හතරදෙනා විරුද්ධ පක්‍ෂයෙන් ද පත්කෙරෙනු ඇතැයි ද අපේක්‍ෂා කෙරෙයි. කමිටුවේ සාමාජික මනන්ත්‍රීවරුන් ක්‍රියා කරනු ඇත්තේ විනිසුරුවන් ලෙස ය. බැලූ බැල්මට අගවිනිසුරුවරියට එරෙහිව ඇති චෝදනා බරපතළ ය. එහෙත් විනිශ්චයක් ලැබෙන තුරු චෝදනා ගැන කතාකිරීම නුසුදුසු යැයි කියැවෙයි. ඒ කෙසේ වෙතත් දෝෂාභියෝග හා පරමාධිපත්‍යය ගැන කතාකිරීමට අපට කිසිදු තහනමක් නැත. ඇතැමුන්ට අනුව දෝෂාභියෝගයට හේතුව දිවිනැගුම පනත පිළිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ය. ශ්‍රෙෂ්ඨාධිකරණය කිනම් තීන්දුවක් දුන්නත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව එය ක්‍රියාත්මක කළ යුතු ය. දිවිනැගුම පනත පිළිබඳ ව දුන් තීන්දුව වෙනස්කිරීමට දෝෂාභියෝගයකට නො හැකි ය. දැනට පෙනී යන ආකාරයට සංශෝධන කිහිපයක් ගෙන ඒමෙන් සමස්ත පනත ද ඒ පනතෙහි ඇතැම් වගන්ති ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත හැකි ය. එය ආණ්ඩුව දෙදරවන ප්‍රශ්නයක් නො වේ. දිවිනැගුම තීන්දුව නිසා දෝෂාභියෝගය ගෙන ආවේ යැයි පැවසීම අවස්ථාවාදී දේශපාලනයෙහි හිතළුවක ප්‍රතිඵලයක් පමණකි. එය ආචාර්ය සරත් අමුණුගම මහතා නියෝජ්‍ය මුදල් ඇමති ලෙස පත්කළ අවස්ථාවේ දී ඇතැමුන් මෙවර අයවැය කියවීමට ජනාධිපතිතුමාට නොහැකි බැවින් එසේ පත්කළේ යැයි ප්‍රකාශකළ හිතළුව මෙනි. සිංහලයෝ ප්‍රවාද වෙනුවට හිතළු කීමට දක්‍ෂයෝ ය. එහෙත් දිවිනැගුම තීන්දුව හේතුකොටගෙන මෙරට ඒකීය රාජ්‍යයක් නොවන බව පැහැදිලි විය. පළාත් සභා ඒකීය රාජ්‍යයට පටහැණි ය.

ඒ කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් මණ්ඩලයෙහි ලංකාව පිළිබඳ කෙරෙන ආවර්තික (වාරික) සමාලෝචනයට පෙර දෝෂාභියෝගය කතානායක තුමාට භාරදීමෙන් ආණ්ඩුව ඊනියා ජාත්‍යන්තරය හමුවේ වැඳ නොවැටෙන බව නැවත වරක් පෙන්නුම් කර ඇත. බොහෝ උගතුන් ලෙස හැඳින්වෙන අය සිතා සිටියේ මානව අයිතිවාසිකම් ආවර්තික සමාලෝචනය නිමවන තෙක් ආණ්ඩුව දෝෂාභියෝගය නොගෙනනු ඇති බව ය. එසේ ගෙන ආවොත් ජාත්‍යන්තරය නමින් හැඳින්වෙන එංගලන්තය හා ඇමරිකාව ප්‍රමුඛ බටහිර යටත්විජිතවාදී රටවල් ලංකාවේ මානව අයිතිවාසිකම් වාර්තාව අයහපත් බව පෙන්වීමට එය ද යොදාගනු ඇති බව ද එය ලංකාවට හානිකර ප්‍රතිඵල ගෙන එනු ඇති බව ද බොහෝ උගත්තු කියා සිටියහ. ජාත්‍යන්තරය නමැති ගෝනි බිල්ලා පෙන්වා ආණ්ඩුව බිය ගැන්වීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල උගත්තු සුපුරුදු පරිදි ක්‍රියා කළහ. දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මානුෂික මෙහෙයුම්වල දී ද ඊනියා උගත්තු මේ තැටිය වාදනය කළහ. උගතුන්ට කන් නොදී මානුෂික මෙහෙයුම දියත්කර ජයගත් ආණ්ඩුවට මේ වන විට ඊනියා ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇතිවාට සැකයක් නැත. මේ ඊනියා ජාත්‍යන්තරය යනු හුඹසක් පමණකි. එයට බියක් ඇතිකර ගත යුතු නො වේ. ජනතාවගෙන් බහුතරය ආණ්ඩුව සමග නම් යටත්විජිතවාදී ජාත්‍යන්තරයට කළහැකි ඉටිගෙඩියක් නැත. මෙවර මානව අයිතිවාසිකම් නාඩගමේ දී ඇමරිකන් තානාපතිනියට දෝෂාභියෝගයට විරුද්ධව කතාකිරීමේ අවස්ථාව ද ලැබිණි. රටවල් බහුතරයක් ලංකාවේ මානව අයිතිවාසිකම් වාර්තාව පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළේ ය. එහෙත් මෙරට ජනමාධ්‍යවලට වඩා වැදගත් වූයේ ඇමරිකන් තානාපතිනියගේ ප්‍රකාශය ය. මෙය අපේ යටත්විජිත මානසිකත්වය නිසා ඇතිවන්නකි. අපට තවමත් වැදගත්වන්නේ එංගලන්තය කුමක් කියන්නේ ද යන්න ය. එසේත් නැත්නම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ නූතන නායකයා වූ ඇමරිකාව කියන්නේ කුමක් ද යන්න ය. බටහිර රටවල්වලට ලෝකයේ රාජ්‍ය වශයෙන් හෝ ජනගහණය වශයෙන් හෝ ගත්කල බහුතරයක් නැත. එසේ වුවත් ඔවුහු දේශපාලන ආර්ථික හා සංස්කෘතික වශයෙන් ලෝක ආධිපත්‍යය දරති. ඔවුන් බහුතරයේ ආධිපත්‍යය යැයි කියන්නකට විරුද්ධව කතාකරන්නේ ඔවුන්ට අඩුතරමෙන් බහුතරයක්වත් නැති නිසා විය යුතු ය. ඔවුන් දන්නේ අඩුතරයේ ආධිපත්‍යය ය. අප දැනගත යුතු කරුණක් නම් මෙරට මානව අයිතිවාසිකම් වාර්තාව ඇමරිකාවේ හෝ එංගලන්තයේ හෝ මානව අයිතිවාසිකම් වාර්තාවලට වඩා යහපත් බව ය.

මෙරට ද ක්‍රියාත්මක වන බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට ය. එහෙත් ජනතාවට මේ පරමාධිපත්‍යය සෘජුව ක්‍රියාත්මක කළ නො හැකි ය. එහි දී බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාවගෙන් බහුතරයකගේ කැමැත්ත හිමිවන්නෝ ජනතාව වෙනුවෙන් ක්‍රියාකරති. එය බහුතරයේ ආධිපත්‍යය යැයි බටහිරයෝ නො කියති. කෙසේ වෙතත් බටහිර පොතේ කුමක් ලියා තිබුණත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් කෙරෙන්නේ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම ය. අඩුම තරමෙන් එසේ කෙරෙන බව පෙන්වීම ය. ලංකාව සම්බන්ධයෙන් ගත්කල ජනතාවගේ ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව විසින් ද, විධායක පරමාධිපත්‍යය ජනාධිපතිතුමා විසින් ද ක්‍රියාත්මක කෙරෙයි. බොහෝ දෙනා සිතා සිටින්නේ ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය උසාවිය විසින් ක්‍රියාත්මක කෙරෙන බව ය. එහෙත් එය එසේ නො වේ. අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය ද පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙයි. එහෙත් පාර්ලිමේන්තුව අධිකරණ කටයුතු උසාවි ඔස්සේ ඛ්‍රියාත්මක කරගත යුතු වෙයි. එසේ වුවත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රීවරුන්ගේ බලතල ආදී කරුණුවල දී පාර්ලිමේන්තුවට අධිකරණ පරමාධිපත්‍යය උසාවි නොමැතිව සෘජුව ම ක්‍රියාත්මක කළ හැකි ය. ව්‍යවස්ථාවෙහි ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවෙන් ස්වාධීන ව උසාවි ආදිය විසින් සෘජුව ක්‍රියාත්මක කෙරිය යුතු යැයි සඳහන් වී නොමැත. ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය ද ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසින් ය. එහෙත් එසේ ක්‍රියාත්මක කෙරෙන්නේ උසාවි ඔස්සේ ය. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරිය යුත්තේ ජනතාවගේ නියෝජිතයන් විසින් ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජනාධිපතිතුමා ද ජනතාව විසින් පත්කරනු ලැබෙන ජනතාවගේ නියෝජිතයෝ වෙති. එහෙත් විනිශ්චයකාරවරු ජනතාවගේ නියෝජිතයෝ නො වෙති.

ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව හා උසාවි ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ගත්කළ එකම තලයක නොවන බව පැහැදිලි ය. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල වෙන්කෙරී ඇතැයි පොතේ සඳහන් වුව ද ඒ එසේ නො වේ. ඒ සියල්ල ජනතාව මගින් එක් වෙයි. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ලක්‍ෂණයකි. කතෝලික චින්තනයෙහි වැදගත් වූයේ සමස්තය ය. කතෝලික යන වචනයෙහි තේරුම ද සමස්තය යන්න ය. එහෙත් පහළොස්වැනි සියවස අගභාගයේ දී බිහි කෙරුණු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සමස්තය වෙනුවට වෙන්කිරීම වැදගත් වෙයි. එසේ වුවත් ලෝකය එකිනෙකෙන් වෙන්කළ නො හැකි ය. එහි යම් එකමුතුවක් වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ලෙස බලතල වෙන්කරනු ලැබුව ද ඒවා ජනතාව ඔස්සේ එක්වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තරම් රැවටිලිකාල ක්‍රමයක් ලෝකයේ එදා මෙදා බිහි වී නැත. බටහිරයෝ රාජ්‍යය ආගමෙන් වෙන්විය යුතු යැයි කියති. ඒ අපට කියන්නක් මිස බටහිර රටවල ක්‍රියාත්මක කෙරෙන්නක් නො වේ. බටහිර රටවල රාජ්‍යය හා විවිධ ක්‍රිස්තියානි නිකාය එකට බැඳී ඇත. බැරැක් ඔබාමා ඉස්ලාම් භක්තිකයකු වී නම් ඔහුට කිසි දිනෙක ඇමරිකාවේ ජනාධිපති විය නො හැකි ය. බටහිර රටවලට යන ඕනෑම අයකුට ක්‍රිස්තියානි සංස්කෘතිය ඇඟේ වැදෙන තරමින් දැනෙයි. ඓහික (අනාගමික) රාජ්‍ය බටහිර දැකගත නො හැකි ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ ක්‍රිස්තියානි මූල ධර්ම මත ය. ඒ කතෝලික මූලධර්ම නොවන බව පැහැදිලි ය. එහෙත් බටහිරයෝ අපට ඓහික රාජ්‍යවල ඇති වැදගත්කම කියා දෙති!

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම නිර්මාණට වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම් කරගනිමිනි. බටහිර විද්‍යාවේ බයිබල් කතාව ගණිතමය හා රසායනික සංකේත ඇසුරෙන් කියැවෙයි. අපේ දරුවන් පාසල් ගොස් උදේට පන්සිල් සමාදන් වී දවල් යොවදතංපව කියා ගෙදර යනතෙක් බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබන බව අධ්‍යාපන ඇමතිතුමා හෝ අමාත්‍යාංශය හෝ නො දනියි. අනාගමික අධ්‍යාපනයක් යනුවෙන් අධ්‍යාපනයක් ලෝකයේ නැත. දැනුම යම් සංස්කෘතියක නිර්මාණය වෙයි. සිංහලෙන් කෙටිකතා නවකතා ලියැවෙන්නේ බටහිර ඊනියා යථාර්ථවාදී, අධියථාර්ථවාදී ආදී සාහිත්‍යය දෙස බලාගෙන මිස ජාතකකතා අනුගමනය කරමින් නො වේ. එහෙත් මෙරට තවමත් වැඩියෙන් විකිණෙන්නේ ඒ පොත් නොව බණපොත් ය. බටහිර අධ්‍යාපනයෙන් ඔළු අවුල් කර නොගත් විශාල පිරිසක් තවමත් මෙරට වෙති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි විවිධ අංග වෙන්කරන බව මතුපිටින් කීව ද යටින් සියල්ල එකතු වෙයි. අද ඒ ඒ විෂයයෙහි විශේෂඥ දැනුමක් ලැබූ අය වෙතැයි කියැවෙයි. එහෙත් ෆෙයරාබන්ඩ් වෙනත් කරුණක දී පෙන්වා දෙන්නේ මේ විශේෂඥයන් උසාවියේ දී ඒ විෂය පිළිබඳ විශාරද දැනුමක් නොමැති නීතිඥයන්ගේ හරස් ප්‍රශ්න ඇසීම්වල දී ඇතැම් විට දුර්මුඛ වන බව ය. අගවිනිසුරුවරියට විරුද්ධව ඇති දෝෂාභියෝගය ගැන විමර්ශනය කිරීමට පත්කෙරෙන පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයන්ට විනිසුරුවන් ලෙස ක්‍රියාකිරීමට සිදුවේ. එහෙත් ඔවුන් අතර නීතිඥයන් නොවන අය ද සිටිති. එහි දී සිදුවන්නේ උසාවියෙහි සිදුවන දෙයෙහි අනෙක් පැත්ත ය. මෙයින් පෙනී යන්නේ ඒ ඒ විෂයට දැනුම බෙදන ඊනියා විශේෂඥ දැනුම් පිටුපස එකතු කිරීමක් ද වන බව ය. බටහිරයන් අපට වෙන්කිරීමක් ගැන කතා කළ ද ඇත්තේ එකතු කිරීමකි.

Sunday, 18 November 2012

සරසවි ඇදුරන්ගේ ව්‍යාජ ඉල්ලීම් හා දෙමළ ජාතිවාදය

අද වන විට සරසවි ඇදුරන්ගේ ඉල්ලීම්වල ව්‍යාජත්වය හෙළිදරවු වී ඇත. මේ වන විට පවත්නා ඇදුරු වර්ජනය 2010 ඔවුන් විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලය ම ය. එහි දී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ වැටුප් වැඩිකිරීම ය. එහෙත් 2011 මාර්තු මස පැවති සංකේත වර්ජනයේ දී තවත් ඉල්ලීමක් ඉදිරිපත් විය. එය 6% ඉල්ලීම විය. අද වන විට මෙරට අධ්‍යාපනයේ මහා අර්බුදයක් ඇතැයි කියමින් 6% වටා ජනතාව ඒකරාශි කිරීමේ අසාර්ථක උත්සාහයක ඇදුරු නායකයෝ යෙදී සිටිති. මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් ඇති බවට ගෙනෙන සාක්‍ෂි අතර උපකාරක පංති වටා රොක්වන සිසුන් ද කොළඹ පාසල්වලට සිසුන් ගෙන යන වෑන් රථ ද ඇතැම් පාසල්වල අඩුපාඩුකම් හා ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යෑම ද වෙයි. මේ එකක්වත් අධ්‍යාපනයේ ඇතැයි කියන අර්බුදයට සාක්‍ෂි නො වේ. දැනට අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ රාජකීය විදුහලේ සිසුහු ද උපකාර පංතිවල සහාය පතති. එයින් කියැවෙන්නේ රාජකීය විදුහලේ අධ්‍යාපනය කඩා වැටී ඇති බව ද? දැනට දශක ගණනක් තිසසේ පළල් වූ මධ්‍යම පංතියක් මෙරට වෙයි. මේ මධ්‍යම පංතියට කොළඹ හා නාගරික පාසල්වලට තම දරුවන් යැවීමේ හැකියාව ලැබී ඇත. ඒ අතර අධ්‍යාපනය හා මෙරට ආර්ථිකය අතර කිසිම සම්බන්ධයක් නැත. අධ්‍යාපනය අද පවත්නා ආකාරයෙන් අපට උරුම වී ඇත්තේ දේශීය සම්ප්‍රදායක නොව ඉංගිරිසින්ගේ හා බටහිර නූතනත්වයේ අවශ්‍යතාව පරිදි රැකියාවන්ට සිසුන් පුහුණු කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ය. අපේ ආර්ථිකය ද එලෙස ම බටහිර අනුකරණය කිරීමේ දිශාවකට යොමු වී ඇත. අද බටහිර රටවල ද අධ්‍යාපනය හා ආර්ථිකය අතර තිබූ පැරණි සම්බන්ධය බිඳ වැටෙමින් පවතියි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් එකල උපාධියක් ලබාගැනීම සඳහා අවුරුදු තුනක් නේවාසිකව ගතකර අදාළ විද්‍යාලවල (විශ්වවිද්‍යාලයෙහි ට්‍රිනිටි ආදී විද්‍යාල) තිබූ ගුරු උපකාරවල පිහිට ලබාගැනීම අවශ්‍ය වූ නමුත් අද තෘතීයික අධ්‍යාපනික සුදුසුකම් වෙනත් ආයතනයකින් ලබාගන්නා සිසුන්ට ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි අවුරුද්දක් පමණක් ගතකර කේම්බ්‍රිජ් උපාධියක් ලබාගැනීමේ හැකියාව ලැබී ඇත. අද බටහිර ආර්ථිකයට අවශ්‍ය වන්නේ ශාස්ත්‍රවන්තයන් (ස්කොලර්ස් යන අරුතින්), ඊනියා විද්‍යාඥයන් ආදීන් නොව වෘත්තීයකයන් ය. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටීමේ ලක්‍ෂණයකි. යුරෝපීය වැඩවසම් ක්‍රමයෙහි බිහි වූ බටහිර විශ්වවිද්‍යාලවලට නූතනත්වයට මුහුණ දීමේ දී වෙනස්කම් කිරීමට සිදු වී ඇත.

බටහිර විශ්වවිද්‍යාලවල ආරම්භයේ සිට ශාස්ත්‍රවන්තයට හා ඊනියා විද්‍යාඥයන්ට අමතර ව නව දැනුම නිපදවූවෝ සිටිය හ. දැනුදු සිටිති. එහෙත් මෙරට විශ්වවි්ද්‍යාල ආයතනය 1921 දී පිහිටුවනු ලැබුයේත් දහනවවැනි සියවසේ දී නීති විද්‍යාලය හා වෛද්‍ය විද්‍යාලය පිහිටුවනු ලැබුයේත් හුදෙක් පරික්‍ෂණවලට සිසුන් පුහුණු කරන ආයතන ලෙස ය. 1942 දී මේ ආයතන තුන එක්කර (නීති විද්‍යාලය එසේම පවත්වාගෙන යන අතර) ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබුයේත් පසුව කාර්මික විද්‍යාලය ඇසුරෙන් ඉංජිනේරු පීඨය පිහිටුවනු ලැබුයේත් දැනුම නිර්මාණය කරන්නන් බිහිකිරීමට නොව බටහිරින් ලැබෙන දැනුම ඉගෙන එය අනුකරණය කරන්නන් බිහිකිරීම සඳහා ය. ඒ අතර අපට බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කිරීමට බැරිකම ද වෙයි. ඒ හේතුවල ප්‍රතිඵලය වූයේ ලංකා විශ්වවිද්‍යාලයෙන් බටහිර දැනුම අනුකරණය කරන ශාස්ත්‍රවන්තයන් හා ඊනියා විද්‍යාඥයන් බිහි කිරීම ය. අපේ සම්ප්‍රදායෙහි දැනුම නිර්මාණය කිරීමක් ගැන එකල කිසිවෙක් කතා නො කළහ. අවාසනාවකට විිද්‍යොදය හා විද්‍යාලංකාර පිරීවෙන් විශ්වවි්‍යාල බවට පත්වීමෙන් පසුව ඒ ආයතන ද ලංකා විශ්වවිද්‍යාලය අනුකරණය කර ආයතන පමණක් බවට පත්විය. මෙරට සමස්ත අධ්‍යාපනයෙහි ම ඇත්තේ අපට නොගැලපෙන අධ්‍යාපනයක් අපට ඔරොත්තු නො දෙන ආර්ථිකයක ලබා දීම ය. එහෙත් ඇදුරන්ගේ සමිති නායකයෝ එවැනි අර්බුදයක් ගැන කතා නො කරති. ඔවුන් කතාකරන්නේ ව්‍යාජ අර්බුදයක් ගැන ය. ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යන්නේ ගම්වල දෙමව්පියන්ට ද තම දරුවන් නාගරික පාසල්වලට යැවීමේ හැකියාව ලැබීම නිසා ය. මේ අතර පෙනී යන කරුණක් නම් බටහිර අර්ථයෙන් අද පාසල් දියුණු වී ඇති බව ය. අවුරුදු පනහකට පෙර රාජකීය විදුහලට ද පිහිණුම් තටාකයක් නො වී ය. අද පිහිණුම් තටාක නාගරික පාසල් බොහොමයක ඇති අතර පාසල් සංවර්ධනය මැනීමේ නිර්ණායකයක් බවට පිහිණුම් තටාක පත් වී ඇත. සමස්තයක් ලෙස ගතහොත් අද පාසල්වල ද විශ්වවිද්‍යාලවල ද පහසුකම් වර්ධනය වී ඇත. සෑම දේශනාගාරයක ම ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ නැතිවා විය හැකි ය. එහෙත් දක්‍ෂ ගුරුවරයකුට කළු ලෑල්ල හා හුණු කෑල්ල පමණක් ප්‍රමාණවත් වෙයි. අද පරිගණක නැති පීඨයක් විශ්වවිද්‍යාලවල නැත. එහෙත් පරිගණක හා වෙනත් උපකරන ඔස්සේ අප බටහිරට කෙතරම් ගැතිවන්නේ ද යන්න බොහෝ ඇදුරන්ගේ අවධානයට යොමු නො වෙයි. කෙටියෙන් කියන්නේ නම් මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් වෙයි. එය බටහිර අනුකරණය කරන පුහු ශාස්ත්‍රවන්තයන් හා තුන්වැනි පංතියේ විද්‍යාඥයන් බිහිකිරීමට පමණක් අධ්‍යාපනය යොමු වී තිබීම නිසා හටගත්තක් වෙයි. එහෙත් අරසවි ඇදුරන් කතාකරන්නේ එවැනි අර්බුදයක් ගැන නො වේ. ඔවුන්ට අනුව අර්බුදයක් ඇත. ඒ අර්බුදය රජය අධ්‍යාපනයට මුදල් වියදම් නොකිරීම නිසා සිදුවන්නකි. එහෙත් රජය අධ්‍යාපනයට මුදල් වෙන් නොකරන්නේ යැයි පෙන්වීමට ඔවුහු අසමත් වෙති. යුනෙස්කෝ වාර්තාවෙහි කිසි තැනක රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි සඳහන් නො වේ. එසේ සඳහන් වී නැති බව පෙන්වූ විට ඔවුහු අරුම පුදුම තර්කයක් ඉදිරිපත් කරති. එනෙම් යූනෙස්කෝ රැස්වීම්වලට සහභාගිවන්නේ ඒ ඒ රටවල ඇමතිවරුන් බැවින් එහි සඳහන් වන්නේ රජය වියදම් කළ යුතු මුදල් බව ය. යුනෙස්කෝ රුස්වීම්වලට පෞද්ගලික අංශයෙන් සහභාගි නොවීම හේතුවෙන් එවැනි නිගමනයකට පැමිණිය හැක්කේ අනුකාරක පුහු ඇදුරකුට පමණ ය.

ආදායම් නූපදවන රජයේ ආයතනවලින් වැඩිම වැටුපක් ලබන්නෝ සරසවි ඇදුරෝ ය. අද වන විට මහාචාර්යවරයකුගේ වැටුප එක් ලක්‍ෂ පනස්දාහක් පමණක් වෙයි. ඇදුරන් කියන්නේ වැටුප් වැඩිකිරීමෙන් දක්‍ෂයන් විශ්වවිිද්‍යාලවලට බඳවාගත හැකි බව ය. එය පට්ටපල් බොරුවකි. 1993 දී ඇදුරන්ගේ වැටුප 200%කින් පමණ වැඩි වුවත් ඒ හේතුවෙන් බටහිර රටක ජීවත් වූ කිසිවෙක් අප රට විශ්විිද්‍යාලවලට නො බැඳුන හ. ඒ අතර අදත් පර්ිවාස කථිකාචාර්යවරයකු බඳවා ගැනීමේ දී ප්‍රථම පංති සාමාර්ථ දිනාගත් අටදුම්කරුවෝ රාශියක් ඉල්ලුම් කරති. බඳවා ගැනීම හා රඳවා ගැනීමත් වැටුප්් වැඩිකිරීමත් අතර සම්බන්ධයක් නැත. එසේ ඇතැයි කීම ජනතාව මුලාකිරීමට සරසවි ඇදුරන් යොදාගත් උප්පරවැට්ටියක් පමණකි. ඇදුරන්ට තම වැටුප් ඉල්ලීම යුක්තියුක්ත කරගැනීමට නොහැකි වූ විට ඔවුහු 6% හි එල්ලුණහ. මේ ඉල්ලීම සමිති සම්මේලනය ඉදිරිපත් කළේ තම සාමාජිකයන් වූ වෘත්තිය සමිතිවල අදහස් නො විමසා ය. එය සම්මේලනයේ ව්‍යවස්ථාවට ද පටහැණි ය. එබැවින් ම එය නීති විරෝධී ය. අනෙක් අතට වෘත්තීය සමිති අරගලයක් ඇරඹීමෙන් පසු තව තවත් ඉල්ලීම් එකතු කිරීම සදාචාර විරෝධී ය. සම්මේලනයේ නායකයාට සදාචාරයක් නැතිවිට එය එසේ වීම අරුමයක් ද නො වේ. ඊනියා යුනෙස්කෝ වාර්තා ගැන කතාකරමින් ආණ්ඩුව අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදල් වෙන්කර නැතැයි බොරු කියමින් ඉදිරිපත් කරන ලද එය ඔවුන්ගේ ඉල්ලීමක් පමණක් නො වී ය. ඉල්ලීම පිටුපස පරාජිත දේශපාලනඥයෝ වූහ. එ ජා පක්‍ෂ ආණ්ඩු තිබූ සමයෙහි රජය අධ්‍යාපනයට වෙන්කරන ලද මූදල් අඩු වූ නමුත් එ ජා ප නායකයෝ නිර්ලජ්ජිතව 6% ඉල්ලූහ. පාසල් ගිනිතබා ඇදුරන් හා සිසුන් මරා අධ්‍යාපනය කඩා කප්පල් කළ ජ වි පෙ නායකයෝ ද අධ්‍යාපනය දියුණු කිරීමට යැයි කියමින් 6% වටා එල්ලුණ හ. තම වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම යුක්තියුක්ත කිරීමට නොහැකි වූ ඇදුරෝ විජාතික බලවේගවල මෙහෙයවීමෙන් ජනතාව ආකර්ෂණය කරගැනීම සඳහා වෘත්තීය සමිති අරගලය ආරම්භ කර ටික කලක් ගත වීමෙන් පසුව සදාචාර විරෝධී ව 6% ඉල්ලුහ. මෙරට විජාතික බලවේග ඇදුරන් හරහා ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව පැහැදිලි විය. ඔවුහු අධ්‍යාපනයෙහි නැති අර්බුදයක් මවා පෑහ. විජාතික බලවේගවලට අවශ්‍ය වූයේ මළ කඳන් ය. අරාබි වසන්තය ඔවුන්ගේ ආදර්ශය විය. ඔවුහු මාස තුනක් තිස්සේ වැඩවර්ජනයක් ගෙන යෑමට ඇදුරන්ට උපකාර කළහ. පැහැදිලිව ම අද ඇදුරු සම්මේලනයට බාහිර අරමුදල් ලැබෙයි. බාල තම්පෝ ප්‍රසිද්ධියේ ම ඇදුරන්ට රුපියල් ලක්‍ෂ පහක් දී ඇත. අප්‍රසිද්ධියේ දී ඇති අරමුදල් කවරේ ද? මේ අරමුදල් පිළිබඳ කිසිම පාරදෘශ්‍යභාවයක් නැත. රජය මේ අරමුදල් පිළිබඳ විමසා බැලිය යුත්තේ මෙය හුදෙක් වෘත්තීය සමිති අරගලයක් නොවීම නිසා ය. විජාතික බලවේග සරසවි ඇදුරන් පිටුපස සිටින්නේ ඇයි? ඇතැම් ඇදුරෝ විශේෂයෙන් ම ඇදුරියෝ අධ්‍යයනික වසන්තයක් ගැන කතා කළේ අරාබි වසන්තය සිහිකරමිනි.

විජාතික බලවේගවලට අවශ්‍ය මේ ආණ්ඩුව වැට්ටවීම ය. එයට හේතුවක් වෙයි. ඒ වෙනත් කිසිවක් නොව මේ ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ය. බටහිරයෝ අරාබිකරයේ වේවා ආසියාවේ වෙනත් තැන්වල වේවා තමන් කැමති නැති ආණ්ඩු පවත්වාගෙන යෑමට අවස්ථාව නො දෙති. අද බටහිරයෝ හා මෙරට විජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බලයෙන් පහකිරීමට කටයුතු කරති. කටුනායක සිද්ධිය එහි පළමු අවස්ථාවේ විය.  එහි දී මිනිස් බිල්ලක් ගත් නමුත් එය දිගින් දිගට නො ගියේ ය. අද මේ බලවේග සිංහල බෞද්ධ සංස්කෘතිය මැඩලීම සඳහා ඇදුරන් යොදා ගනියි. ඇදුරු සම්මේලනයේ සභාපතිවරයා පසුගිය අවුරුදු පහළොවක පමණ කාලයක ක්‍රියාකර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව ය. කිසිසේත් ම යුක්තියුක්තකළ නොහැකි ඉල්ලීම් පදනම් කරගනිමින් නැති අර්බුදයක් මවාපාමින් හැකිනම් ජනතාව ආකර්ෂණය කරමින් බටහිරයන්ගේ අණට කීකරු නොවී ත්‍රස්තවාදය පැරදවූ ආණ්ඩුව වැට්ටවීමට බටහිර බලවේග හා මෙරට විජාතික සිංහල විරෝධී බලවේග අද ඇදුරන් යොදාගනියි. අද සම්මේලනයේ නායකයෝ තම සමිති නොවිමසා ම තම ව්‍යාජ ප්‍රශ්නය එක්සත් ජාතින්ගේ සංවිධානයට ගෙන යති. මේ නායකයන්ට අවශ්‍ය කුමක් දැයි ඉතා පැහැදිලි ය. දෙමළ ජාතිවාදය දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයක් නිසා ඇතිවූවක් නොවන බවත් බටහිරයන් නිර්මාණය කළ එකක් බවත් අපි කීවෙමු. අද එය සනාථ වී ඇත. එලෙස ම ඇදුරන්ගේ ප්‍රශ්නය ද ව්‍යාජ ප්‍රශ්නයක් බවත් එහි පිටුපස ඇත්තේ විජාතික බලවේග බවත් පැහැදිලි ය. ඇදුරන්ගේ ප්‍රශ්නය ව්‍යාජයක් වුවත් ආණ්ඩුව සමග සම්බන්ධ ඇදුරන් තිදෙනක් ආණ්ඩුව නොමග යවමින් සම්මේලනයට නොයෙකුත් දේ ලබාදීමට පසුගිය කාලයේ කටයුතු කළහ. අද ඔවුන්ගෙන් එක් අයකු හැළී ඇත. එමෙන් ම අද ආණ්ඩුව දන්නා කරුණක් නම් ඒ ඇදුරන් දෙදෙනා ආණ්ඩු නොමග යැවූ අය බව ය. අධ්‍යාපනය සඳහා ආණ්ඩුව හැකි ප්‍රමාණයෙන් මුදල් වියදම් කරයි.  ආණ්ඩුවට අධ්‍යාපනයට පමණක් නොව වෙනත් කටයුතු සඳහා ද මුදල් වැය කිරීමට සිදුවෙයි. ඉන් ප්‍රධාන ම එක වනුයේ රටේ ආරක්‍ෂාව ය. අද විජාතික බලවේග විසින් මෙහෙයවෙන සම්මේලනයේ නායකයන්ට අවශ්‍ය ඊනියා 6% ගැන කියමින් හැකිනම් ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කරන මුදල් අඩු කිරීම ය. අද ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි සම්මේලනයේ ඉල්ලීම් ව්‍යාජ ඒවා වීමත්, අර ඇදුරන් දෙදෙනා ආණ්ඩුවේ කපටි ආරක්‍ෂයන් බව ආණ්ඩුව තේරුම් ගැනීමත්, තවත් දිය හැකි දෙයක් නැතිවීමත්, සම්මේලනය අධ්‍යාපනයේ ව්‍යාජ අර්බුදයක් මවාපාමින් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බව ආණ්ඩුව දැන් දන්නා නිසාත් ය. නීති විරෝධීව ඇදුරන් උසස් පෙළ ඇගයීම්වලින් වළක්වන සම්මේලනය අද පෞද්ගලික ආයතනවල දේශන පැවැත්වීමට ඇතැම් වර්ජිත ඇදුරන්ට ඉඩ දී ඇත. අවුරුදු හතළිහක් පමණ කාලයක් තිසසේ ඇදුරු වර්ජනවලට විරුද්ධ වූ සිංහල බෞද්ධ විරෝධී ඇදුරෙක් අද වර්ජනයට සහාය දෙමින් විශ්වවිද්‍යාල වසා තැබීමට අනුබල දෙන්නේ එමගින් තම ආයතනයට සිසුන් බඳවා ගැනීමට ය. ඇදුරු නායකයන්ට අද තම නිරුවත වසාගැනීමට නොහැකි වී ඇත.

Saturday, 1 September 2012

නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයෝ

සරසවි ඇදුරන්ගේ වර්ජනයට මාස දෙකක් ගත වී ඇත. මේ වර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළේ වැරදි ප්‍රතිපත්තියකි. ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රතිපත්තියක් නොමැති වර්ජනය සම්බන්ධයෙන් නිසි පිළිතුරු නො දුන්නේ ය. වර්ජනයට කෙළින්ම සම්බන්ධ නොමැති වුවත් එයට ඉන්ධන එකතුකරන ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය, උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල වැරදි හා දැන් පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්නය පිළිබඳ ව ආණ්ඩුවට පිළිතුරු ඇතත් ජනමාධ්‍ය භාරව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරු එසේ පිළිතුරු දීමට අවස්ථාව නොසැපයූහ. ඒ සියල්ලෙන් සිද්ධ වූයේ අධ්‍යාපනයේ ඊනියා අර්බුදයක් ගැන කතාකිරීමට ආණ්ඩු විරෝධීන්ට යම් අවස්ථාවක් සැපයීම ය. ආණ්ඩුවේ ජනමාධ්‍ය භාරව සිටින්නන් නොදුන් පිළිතුරු ජනතාව පළාත් සභා මැතිවරණයේ දී දෙනු ඇත. නැගෙනහිර පළාතේ ජනවර්ග ව්‍යාප්තිය හේතුකොටගෙන අනෙක් පළාත් දෙකෙන් වෙනස් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තිබුණ ද එහි දී ද එ ජ නි සංධානයට පළාත් සභාව හැසිරවීමට අවස්ථාවක් ලැබෙනු ඇත. අද ජ වි පෙරමුණට හෝ එ ජා පක්‍ෂයට හෝ හිතවත්කම් දක්වන විශ්වවිද්‍යාල හා පාසල් ගුරුවරුන්ට හා සිසුන්ට අධ්‍යාපනයේ නැති අර්බුදයක් මවා පෑමට අවස්ථාවක් ලැබී ඇත. ඔවුන්ට අර්බුදයක් වී ඇත්තේ අර්බුදයක් නැති කම ය. එහෙත් ඔවුහු නැති අර්බුදය වුව ද ගසා කා, හැකිනම් තරුණයකු හෝ වෙනත් අයකු හෝ බිල්ලට දී, බලයට පත්වීමට උත්සාහ කරති. අද ඇතැම්හු ඊනියා අධ්‍යයන වසන්තයක් ගැන කතාකරති. මේ වසන්තය අරාබි වසන්තය මෙන් ආණ්ඩු පෙරළීමට සමත්වනු ඇතැයි ඔවුහු සිතති. මොවුන් සිතන්නේ අසූවේ දශකයේ අග මෙන් තත්වයක් උදාකිරීමට ය. අසූවේ අග ප්‍රශ්න ඇතිවූයේ අධ්‍යාපනය පමණක් මුල්කරගෙන නො වේ. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම හා ඉන්දීය ආක්‍රමණය, කොටි ත්‍රස්තවාදය ද එහි පසුබිමේ විය. ආණ්ඩුවේ ඉහළ නිලතල දරණ සරසවි ඇදුරන් දෙතුන් දෙනකු ආණ්ඩුව වැටුනොත් තම වරප්‍රසාද නැතිවේ ය යන බියෙන් අසූවේ දශකය මතක්කරමින් ආණ්ඩුව නොමග යැවීමට උත්සාහ කරන බව පෙනෙයි. ඔවුන් ජනමාධ්‍යයේ ඉහළ තනතුරු දෑරීම හා ජනමාධ්‍යට අරක්ගෙන තිබීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇත. අරාබි වසන්තයක් ඇති කරන්නේ කාගේ නායකත්වයෙන් ද? ඇතැමුන් සිතන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එසේ කළ හැකිය කියා ය. අසූවේ දශකයේ දී උන්වහන්සේට සිංහල බෞද්ධ කුමේනි කෙනකු වශයෙන් දොස් පැවරුවන් ම අද උන්වහන්සේගේ නායකත්වය අපේක්‍ෂා කිරීම දෛවයේ සරදමක් යැයි නො කියමි. එය ඒ ඒ අයගේ ප්‍රතිපත්ති වෙනස්වීම පිළිබඳ ප්‍රශ්නයකි.

මේ ආණ්ඩුව සර්ව සම්පුර්ණ ආණ්ඩුවක් යැයි කිසිවකු නොකියනු ඇත. දුෂණය, නාස්තිය ඉහවහා ගොස් ය. ආණ්ඩුව දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් හැර අනෙක් කටයුතුවල දී බොහෝ වැරදි කර ඇත. එහෙත් අපට නිසැකව කිව හැකි දෙයක් වෙයි. වෙනත් ආණ්ඩුවක් බලයට පත්වුවහොත් දූෂණය හා නාස්තිය තවත් ඉහළ යනු මිස අඩු නොවනු ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අප වැනි රටවලට උරුම කර දී ඇත්තේ සර්ප්ිලාකාරයෙන් ඉහළ යන දුෂණයකි. 1948න් පසු පත්වූ ආණ්ඩුවල ක්‍රියාකාරිකම් සැලකීමේ දී ඒ බව මොනවට පැහැදිලි වෙයි. බටහිර ගැති, බටහිර රාජ්‍යවලින් සෘජුව හෝ වක්‍රව හෝ මුදල් ලබන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍යවන්නේ දුෂණයෙන් තොර ආණ්ඩුවක් නො වේ. බටහිර රටවල ද ඇත්තේ දූෂිත රාජ්‍ය ය. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයකි. අද ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂකයන්ට හා වෙනත් එවැන්නන්ට අවශ්‍ය බටහිරයන්ගේ ආශිර්වාදය, අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව ඉටුකර ගැනීම ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව පළවාහැර වෙනත් ආණ්ඩුවක් ඇතිකර නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීම යෂ දෙමළ ඊළමක් පිහිටුවීම සඳහා කටයුතු කිරීම ය. මේ ආණ්ඩුව පළවා හැර පිහිටුවන වෙනත් ඕනෑම ආණ්ඩුවක් කාගේ නායකත්වයෙන් පිහිටුවත් රණවිරුවන්ගේ ජීවිත පූජාවෙන් ලබාගත් ජයග්‍රහණය, එනම් දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ආපසු හරවනු ඇත. උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත්කර හමුදාව ආපසු කැඳවනු ඇත. කොටි ත්‍රස්තවාදීන් ඊනියා දේශපාලන සිරකරුවන් සේ සළකා නිදහස් කෙරෙනු ඇත. කොටි ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දෙනු ඇත. එපමණක් නොව අද නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන් විරුද්ධ යැයි කියන පෞද්ගලික විශ්වවිද්‍යාල ද ඇති කරනු ඇත. පෞද්ගලික විශ්වවිද්‍යාල යනු මකරාක්‍ෂකයෙක් නො වේ. පෞද්ගලික විශ්වවවිිද්‍යාල ඇතිකිරීම සඳහන් කෙරෙන්නේ නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන්ගේ බොරු උපාසකකම හෙළිදරවු කිරීමට ය. අද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගසන ඇතැම් සරසවි ඇදුරෝ උපාධිවලට සිසුන් සූදානම් කරන පෞද්ගලික ආයතනවල උගන්වති. මුදල් අයකර උසස් පෙළ පරීක්‍ෂණයට සිසුන්ට උගන්වන පංති හෙවත් ටියුෂන් කඩ පවත්වාගෙන යති. එහෙත් ඒ අතර උසස් පෙළ පරීක්‍ෂණයේ පිළිතුරු පත් ලකුණු කිරීමෙන් වළකිති. මේ සියල්ලෙන් සිිදුවන්නේ ඔවුන් කියනා නිදහස් අධ්‍යාපනය රුකගැනීම ද? බොහෝ දෙනා නොදනිතත් අද විශ්වවි්‍යාලවල ද මුදල් අයකරන පාඨමාලා පැවැත්වෙයි. ඒ පශ්චාත් උපාධි සඳහා පමණක් නො වේ. ප්‍රථම උපාධි මට්ටමෙන් පහළ සහතික පත්‍ර හා ඩිප්ලෝමා සඳහා පාඨමාලා රාශියක් අද විශ්වවිද්‍යාලවල පැවැත්වෙන්නේ ගාස්තු අයකරමිනි. ඒ ගාස්තුවලින් විශාල කොටසක් සරසවි ඇදුරෝ ලබාගනිති. මේ පාඨමාලා පවත්වාගෙන යෑමට ප්‍රතිපත්තියක් වශයෙන් නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන් විරුද්ධ විය යුතු ය. එහෙත් ඇදුරන්ගේ වෘත්තීය සමිති හෝ ඊනියා අන්තරය හෝ ඒ පාඨමාලාවලට ඵලක් ඇති විරුද්ධතාවක් දක්වා නැත.

අප අමතක නොකළ යුතු කරුණ නම් තවමත් දෙමළ ජාතිවාදය හා ඒ අනුව පැවැත්වෙන මුස්ලිම් ජාතිවාදයක් මෙරට ක්‍රියාත්මක වන බව ය. දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලැබෙන්නේ බටහිරයන් හා ඉන්දියාව, විශේෂයෙන් ම තමිල්නාඩුව විසිනි. ඉන්දියාව ක්‍රියාත්මක වන්නේ බටහිරට අවශ්‍ය ආකාරයට හා චීනයට විරුද්ධවන ආකාරයකට ය. දෙමළ ජාතිවාදය තිබෙනතාක් දෙමළ ත්‍රස්තවාදයට යළි හිස එසවීමට අවස්ථාවක් ඇත. අද අපේ අවශ්‍යතාව වනුයේ සියල්ලට ම වඩා දෙමළ ජාතිවාදය පැරදවීම ය. රටේ ආරක්‍ෂාව සඳහා දෙමළ ජාතිවාදය පැරදවිය යුතු ය. එයට මුදල් වෙන්කිරීම අපේ ප්‍රමුඛතාව වෙයි. මෙරට ඊනියා නිදහස් අධ්‍යාපනයේ ආරක්‍ෂකයන්ගෙන් ඒ සඳහා ලැබෙන උපකාරය කුමක් ද? ඔවුන් දන්නා එකම දෙය බටහිර මතවාද පුනරුච්ඡාරණය කරමින් දෙමළ ජාතිවාදයට ආවැඩීම ය. කසිකබල් මාක්ස්වාදී, පශ්චාත් මාක්ස්වාදී, පශ්චාත් නූතනවාදී, ලිබරල් මතවාද හැර ඔවුන් දන්නා ජාතික මතවාදයක් නැත. ඔවුහු ජාතික මතවාදවලට ජාතික දැනුමට මිථ්‍යාවන් යැයි කියමින් සිනහසෙති. පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ඊනියා නිදහස් අධ්‍යාපනයක මුවාවෙන් උගන්වති. තම දැනුම අනුව දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි යැයි කීවෝ ද මොවුහු ම වෙති. දෙමළ ජාතිවාදය වෙනුවෙන් අද මෙරට ප්‍රධාන වශයෙන් දේශපාලන පක්‍ෂයක් ලෙස පෙනී සිටින්නේ දෙමළ ජාතික සංධානය ය. දෙමළ ජාතිවාදයට අනුගත වූ මුස්ලිම් ජාතිවාදය (ආගමිකවාදය) වෙනුවෙන් පෙනී සිටින්නේ මුස්ලිම් කොංග්‍රසය ය. අද මේ පක්‍ෂ දෙක නැගෙනහිර පළාතේ කරන්නේ ආණ්ඩුවේ සංහිඳියා ප්‍රතිපත්තිය යැයි කිවහැකි ප්‍රතිපත්තියට එරෙහිව දෙමළ ජාතිවාදය හා මුස්ලිම් ජාතිවාදය පැතිරවීම ය. සංහිඳියා ප්‍රතිපත්තිය යනුවෙන් බටහිරයන් අදහස් කරන්නේ ද ජාතිවාදය පතුරවමින් සිංහල බෞද්ධයනට හා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම ය. නැගෙනහිර පළාතේ ඡන්දදායකයන් මේ බව සිහි තබාගත යුතු ය. පසුගිය දා ඊනියා නිිදහස් අධ්‍යාපනය රැකගැනීමට යැයි කියමින් කොළඹ පැවති රැළියකට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සිට අනෝමා ෆොන්සේකා දක්වා සියළු ආණ්ඩු විරෝධීහු සහභාගි වූහ. එයට සහභාගි නොවූ පක්‍ෂ අතර (පක්‍ෂ නිල වශයෙන් සහභාගි නොවීම වෙන ම කරුණකි. එහෙත් ඒ ඒ පක්‍ෂවල දැවැන්තයෝ එයට සහභාගි වූහ) දෙමළ ජාතික සංධානය ද මුස්ලිම් කොංග්‍රසය ද දේශපාලනයේ කිසිදු බලපෑමක් කළ නොහැකි ඇතැම් පක්‍ෂ ද විය. එහි අරමුණ ආණ්ඩු විරෝධීන් 6% ඉල්ලීම උඩ ඒකරාශි කර පසුව දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඒ බලවේග මෙහෙයවීම ය. දෙමළ ජාතික සංධානය රැස්වීමෙන් පිට සිටියේ මැතිවරණ කටයුතුවල නිරතවී සිටි බැවින් නොව සංවිධායකයන්ට තම නියම අරමුණ වසංකිරීමට අවශ්‍ය වූ නිසා ය. මේ රැස්වීම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් සංවිධානය කළ එකක් යැයි කීව ද එය සංවිධානය කළේ ආණ්ඩු විරෝධී පක්‍ෂ හා සංවිධාන විසිනි. ආචාර්ය සමිති සම්මේලනයට එවැනි රැස්වීමක් සංවිධානය කිරීමට ශක්තියක් නැත. රැ්ස්වීමෙහි අරමුණ වූයේ ආණ්ඩුව දළ ජාතික නිශ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු ය යන්න වටා ජනතාව පෙළ ගැස්වීම ය. දැනටමත් යුනෙස්කෝ වාර්තාවෙන් කියන ආකාරයට දළ ජාතික නිෂ්පාදීතයෙන් 6%ට වඩා අධ්‍යාපනයට වෙන් වෙයි. යුනෙස්කෝ වාර්තාවෙහි කිසිම තැනක ආණ්ඩුව දළ ජාතික නිශ්පාදීයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වැය කළ යුතු යැයි කියා නැත. එහෙත් ආචාර්ය සමිති සම්මේලනය ආණ්ඩු විරෝධී දේශපාලන පක්‍ෂ හා එවැනි වෘත්තීය සමිති සමග එක් වී මේ බොරුව ජනතාවට කියන්නේ ඊනියා නිදහස් අධ්‍යාපනයක් රැකගැනීමට නො වේ. රූපවාහිනී නාලිකා දෙකක අපත් සහභාගි වූ වැඩසටන් දෙකක දී හා චින්තන පර්ෂදය විසින් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයක දී ආචාර්ය සමිති සම්මේලනයට සම්බන්ධ ඇදුරන් ඉදීිරියේ ඊනියා 6% ඉල්ලීම අමු බොරුවක් බව අපි පැහැදිලි කළෙමු. ආණ්ඩුව දැනටමත් තම වියදමෙන් 8%ක් පමණ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරයි. ආණ්ඩුවේ මුළු වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් 23%ක් පමණ ය. දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වැය කිරීම යනු ආණ්ඩුව තම මුළු වියදමෙන් 25%ක් පමණ අධ්‍යාපනයට වියදම් කිරීමකි. එය කළ හැක්කක් නො වේ. සෞඛ්‍යය කෘෂිකර්මය ආදී ක්‍ෂෙත්‍ර ගණනාවක පමණක් නොව දෙමල ජාතිවාදයට එරෙහිව රණවිරුවන් වෙනුවෙන් කෙරන වියදම් ද කපාහැරීමෙන් තොරව එය කළ හැකි නොවේ. නිදහස් අධ්‍යාපනයේ කපටි ආරක්‍ෂකයන්ගේ අරමුණ කුමක් දැයි පැහැදිලි ය. මෙරට අධ්‍යාපන අර්බුදයක් නැත. අද පාසල්වල පහසුකම් එදාට වැඩි ය. ඉසෙඩ් අවුල ඇති කළේ තටිල් මහතා, ආණ්ඩු විරෝධී ගුරු සංගම් හා ඇතැම් ජඩමාධ්‍යවේදීන් ය. ප්‍රශ්න පත්‍රවල වැරදි සැම අවුරුද්දක ම වෙයි. ඒ කිසිවකට අදාළ ඇමතිවරු වරදකරුවෝ නො වෙති. ඒ වැරදි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ හේතුකොටගෙන ඇති වූවා නො වේ. අද ආචාර්ය සමිති සම්මේලනයට සම්බන්ධ හා වෙනත් දෙමළ ජාතිවාදීන්ට ආණ්ඩු විරෝධී බලවේග එකතු කිරීමට සටන් පාඨයක් අවශ්‍ය වී ඇත. මුල දී 6% යෝජනාව කවුරු කළත් අද එය ඒ සඳහා යොදා ගැනෙයි.

ආසනික්, උගත්තු හා ආණ්ඩුව - I

මම නූගතෙක්මි. මම හිසෙන් ගැමියෙක්මි. එහෙත් අවාසනාවකට මම “ඇඟෙන්” ගැමියෙක් නො වෙමි. එයට හේතුව මා කුඩා කල සිට ම අර්ධ නාගරික හා නාගරික පරිසරවල ජීවත්වීම ය. මම බටහිර විද්‍යාව ඉගෙන ගතිමි. අවුරුදු පහළොවේ දී පමණ මගේ කැමැත්ත වූයේ එවකට තිබූ ලංකා විශ්වවිද්‍යාලයේ උගන්වන බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමට ය. බටහිර ඉංජිනේරුවකු, වෛද්‍යවරයකු වීමට හෝ වෙනත් රැකියාවක් කිරීමට හෝ මට කැමැත්තක් නො තිබිණි. එහෙත් අවුරුදු විසිපහේ දී පමණ බටහිර විද්‍යාවේ මොකක්දෝ අඩුවක් දුටුවෙමි. අවුරුදු හතළිහේ දී පමණ ඒ අඩුව කුමක් දැයි ක්‍රමයෙන් වැටහෙන්නට විණි. මම අද බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දනිමි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බොරු කතා නිර්මාණය කිරීම පමණකි. ඒ ඇතැම් කතා සමහර අවස්ථාවල නිරීක්‍ෂණ සමග එකඟ වන බවක් පෙනී යයි. එහෙත් එයින් බටහිර විද්‍යාව සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟාවන්නක් හෝ බව නිගමනය කිරීමට නො හැකි ය. විදුසර පුවත්පතට ලිපි ලියන අයකු යුක්ලීඩීය ජ්‍යාමිතියට එකඟ ව නිර්මාණය කරන ගොඩනැගිලි ආදියෙහි සාර්ථකත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ යුක්ලීඩීය ජ්‍යාමිතියෙන් අප අවට අවකාශය නිරූපණය වන බව වැන්නක් කියා තිබිණි. එහෙත් අයින්ස්ටයින් විද්වතාට අනුව (අවකාශය නොව) අවකාශ - –කාලය යුක්ලීඩීය නො වේ. අප අවට අවකාශය යුක්ලීඩීය යැයි කීම පට්ටපල් බොරුවකි. යුක්ලීඩීය ජ්‍යාමිතිය ඊනියා ඇත්තක් නොසොයන බටහිර ගණිතයෙහි කොටසක් ලෙස පමණක් ඉගැන්වෙනතාක් එහි ප්‍රශ්නයක් නැත. එහෙත් එය බටහිර භෞතික විද්‍යාවෙහි කොටසක් ලෙස ගැනෙන්නේ නම් එය පට්ටපල් බොරුවක් ලෙස සැලකිය යුතු ය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය විසින් කරනු ලැබූ එක් කරුණක් වූයේ ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාවේ කොටසක් බවට පත් කිරීම ය. සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශ –- කාලය නිර්ණය කෙරෙනුයේ ද්‍රව්‍ය හා විකිරණ මගිනි. එහෙත් මතක තබාගත යුතු කරුණක් නම් සාපේක්‍ෂතාවාදය ද පට්ටපල් බොරු කතාවක් බව ය.

අද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වර්ජනයක් වෙයි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු උගත්තු යැයි හැඳින්වෙති. ඔවුහු ජනතාවට බොරු කියති. ඔවුන් කියන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් සටන් කරන බව ය. කලින් තම වැටුප් වැඩිකිරීම ගැන කතාකළ ද එය යුක්තියුක්ත කිරීමට නොහැකිව ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ දේශීය නිශ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි ඔවුහු කියති. එය යුනෙස්කෝ වාර්තාවක් අනුව කළ යුතු වූවක් බව ද ඔවුහු කියති. එහෙත් යුනෙස්කෝ වාර්තාවෙන් කියැවෙන්නේ ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු බව නො වේ. සම්මේලනය තම ඉල්ලීම් නිතර් වෙනස් කරයි. මේ කෙරීගෙන යන්නේ පසුගිය වසරේ අත්හිටවී යැයි කියන වර්ජනය නොවේ. එදා සිට අද දක්වා ඇතැම් ඉල්ලීම් වෙනස් කෙරී ඇති අතර 6% ද ඇතුළු අලුත් ඉල්ලීම් එකතු කෙරී ඇත. සම්මේලනයේ අලුත් ම ඉල්ලීම්වලින් ඔවුන් මෙතෙක් වාචිකව පමණක් කී ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු ය යන්න ලිඛිතව ම ඉදිරිපත් කෙරී ඇත. සම්මේලනයේ නිලධාරීන් එදා දැන නොසිටියත් අද දන්නා කරුණක් නම් දැනටමත් මෙරට අධ්‍යාපනයට දළ දේශීය නි’ෂ්පාදිතයෙන් 6%ක් පමණ වෙන් කෙරෙන බව ය. ඉසෙඩ් ලකුණු අවුලට මූලිකව ම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ව්‍යාජ ජනතාවාදී විරයන්ගේ සම්භාවනාවට පත් වී ඇති මහාචාර්ය තටිල් මහතා ය. අද 6000 –- 8000ක පමණ සිසුන් යන එන මං නැතිව සිටින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තටිල් ක්‍රමය අනුව දෙවැනි වර ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට උපදෙස් දීමට සිිදුවීම නිසා ය. පළමුව ඉදිරිපත් කළ ඊනියා විද්වත් කණ්ඩායමේ සූත්‍රය ද සංකල්පීය ව වැරදි නමුත් ඒ අනුව තේරුණු පළමුවරට පෙනී සිටි අයගේ හා නැවත පෙනී සිටි අයගේ අනුපාතය පසුගිය වසර කිහිපය සමග සැසඳීමේ දී සැලකිය යුතු තරමින් වෙනස් නොවිණි. එහෙත් ආණ්ඩුව මේ කිසිවක් ජනතාවට නො කියයි. උසස් පෙළ පරීක්‍ෂණයට ප්‍රශ්න පත්‍ර සකස් කරන්නෝ විශ්වවිි්‍යාලයීය ආචාර්යවරු ය. එහි වැරදි ඇත්නම් එයට වගකිව යුත්තේ ආචාර්යවරුන් ය. එහෙත් ආණ්ඩුව මේ කිසිම අවස්ථාවක තටිල් මහතා ඇතුළු අදාළ ආචාර්යවරුන්ට දොස් පැවරුවේ නැත.

උසස් පෙළ පරීක්‍ෂණයේ ප්‍රශ්නපත්‍රවල පළමුවරට වැරදි තිබුණේ මේ වසරේ නො වේ. මේ වැරදි සැමදාමත් තිබී ඇත. ප්‍රශ්නපත්‍රවල වැරදි නොතිබූ වසරක් කිවහැකි ද? බොහෝ වසරවල මේ වසරට වඩා වැරදි තිබී ඇත. පරමාදර්ශීව ගතහොත් ප්‍රශ්නපත්‍රවල වැරදි නැතිවිය යුතු ය. එහෙත් පෘථග්ජනයන් වීම නිසා ම සිදුවන වැරදි ද වෙයි. ජනතා විමුක්ති පෙරමුණ හා එයට සම්බන්ධ ගුරු සමිති ආණ්ඩුව හා ඇමතිවරු ගෙදර යැවීමේ අරමුණෙන් වැරදි සිදුවී ඇත්තේ මේ වසරේ පමණක් ය යන අදහස ජනතාවට දෙමින් ඒ පිළිබඳ ව ආණ්ඩුව වගකිව යුතු යැයි කියද්දී ආණ්ඩුව නිසි පිළිතුරු නො දුන්නේ ය. ආණ්ඩුවේ ජනමාධ්‍ය ඒවාට පිළිතුරු ඇති අයට දොර වැසී ය. එක්තරා ඇමතිවරයකු තම හෙංචයියන් සමග එකතු වී ආණ්ඩුවේ ජනමාධ්‍ය පාලනය කරන බව පැහැදිලි ය. ආණ්ඩුව විනාශවනු ඇත්තේ මෙවැනි ඇමතිවරුන් නිසා ය. ඇතැම් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු ද පාසල් ගුරුවරු ද ශිෂ්‍යයෝ ද ජ වි පෙ, එ ජා ප හා වෙනත් අය සමග එක්වී ආණ්ඩුව අස්ථායී කිරීමට කටයුතු කරති. අපි ඒ බව මුල සිට ම කීවෙමු. 6% ක් ගැන බොරු කියමින් වෙනත් අය සමග ආණ්ඩුව අස්ථායි කිරීමට කටයුතු කරන සම්මේලනය තම ඊනියා සටනට ශිෂ්‍යයන් සහභාගි කරගැනීමෙන් සිදුවන විනාශය ගැන අටුවා ටීකා අනවශ්‍ය ය. විශ්වවිදාලයීය ගුරුවරුන්ට තම සේවය, ශ්‍රමය සැපයීම අස්කරගත හැක්කේ විශ්වවිද්‍යාලවලිනි. ඔවුන්ට උසස් පෙළ පරීක්‍ෂණයට සහභාගිවීමට පත්වීම් ලිපි ලබන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් මිස විශ්වවිද්‍යාලවලින් නො වේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතියක් මිස උසස් පෙළ පරීක්‍ෂකවරුන්ගේ වෘත්තීය සමිතියක් නො වේ. ආචාර්යවරුන්ට පරීක්‍ෂකයන් ලෙස පත්වීම් ලැබෙන්නේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් වීම නිසා බව සැබෑ නමුත් ඔවුන් පරීක්‍ෂකවරුන් ලෙස සේවය කරන්නේ ආචාර්යවරුන් ලෙස නො වේ. ආචාර්ය සමිති සම්මේලනයට හෝ විශ්වවිද්‍යාලයක ආචාර්ය සමිතියකට හෝ ආවාර්යවරුන් උසස් පෙළ පරීක්‍ෂණයේ පරී්ක්‍ෂකවරුන් ලෙස කටයුතු කිරීම වැළැක්වීමට තීරණ ගැනීමට නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නැත. සම්මේලනයේ ඒ සියළු දුර්වලකම් මැද ආණ්ඩුව උසස් අධ්‍යාපනය පිළිබඳ ඇමතිතුමා හුදු නිරීක්‍ෂකයකු බවට පත්කරමින් එක් ඇමතිවරයකුගේ හා ආණ්ඩුවේ ඉහළ තනතුරු දරණ ඇදුරන් දෙදෙනකුගේ මැදිහත්වීමෙන් සම්මේලනයේ ඉල්ලීම් ලබාදීමට යන බව සැළ ය. මේ ආණ්ඩුව බිඳ වැටෙන්නේ මෙවැනි දුර්වල ක්‍රියාමාර්ග හේතුවෙනි.

මේ ආචාර්යවරු ද පොදුවේ මෙරට උගත්තු ද නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වෙති. ඊනියා අධ්‍යාපනික නිදහසක් ඇතැයි කියන විශ්වවිද්‍යාලවල අපේ දැනුමක් ඉගැන්වීමට, භාවනා වැඩසටහන් පැවැත්වීමට ඇති නිදහස කුමක් ද? එවැනි දේ කිරීමට උත්සාහ කරන විට එයට විරුද්ධවන්නෝ ආචාර්යවරු ය. ඔවුහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් දෙන දැනුම සත්‍ය යැයි ගනිමින් අපේ දැනුම මිථ්‍යාවක් යැයි පවසති. අපේ දැනුම විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට ඔවුන් විරුද්ධ වේය යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔවුන් නිිදහස් අධ්‍යාපනයට විරුද්ධ බව ය. ඔවුහු සමාජවාදීන් වුව ද ලිබරල්වාදීන් වුව ද බටහිර ගැත්තෝ වෙති. ඔවුන් විශ්වවිද්‍යාලවල සනාතන සභාවල කරන එකම දෙය බටහිරයන්ට අවශ්‍ය පරිදි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම ය. දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස සිංහල බෞද්ධයන් සලකන්නේ ප්‍රත්‍යක්‍ෂය පමණකි. ඇතැම් බෞද්ධ උගතුන් යැයි කියාගන්නවුන් බටහිරයන් ඉදිරියේ වැඳ වැටෙමින් අනුමානය ද බෞද්ධයන්ගේ දැනුම ලබාගැනීමේ ක්‍රමයක් ලෙස පෙන්වීමට තැත්කළ ද බුදුන්වහන්සේ ඒ අනුදැන වදාළ තැනක් ගැන දැනගැනීමට නැත. මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයන්ට පළමුව දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් කියැවෙන්නේ ද ප්‍රත්‍යක්‍ෂය පමණක් දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස ගැනීමට ය. එහෙත් මෙරට විශ්වවිද්‍යාලවල මේ ක්‍රමයෙන් දැනුම ලබාගැනීමට කිසිම නිදහසක් නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ දී මෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ දී ද මම ඒ බව අත්දුටුවෙමි. ඇදුරන්ගෙන් අතිවිශාල බහුතරය දන්නේ බටහිර දැනුම ලබාගැනීමේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය පමණකි. එහෙත් බටහිර විද්‍යාවේ ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කෙරුණු පට්ටපල් බොරු කතා පමණකි.

මම සිංහල බෞද්ධයෙක්මි. මා අනුගමනය කරන්නේ කාළාම සූත්‍රය ය. මම හැකිතාක් දුරට ඇසූ නිසා පොතක පතක තිබූ නිසා ආදී වශයෙන් නොපිළිගෙන ප්‍රශ්නයක මුලට ගොස් එය විශ්ලේෂණය හා සංස්ලේෂණය කර ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. එසේ නොහැකි වූ විට මගේ විඤ්ඤූන්ගේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. මට පුනබ්භවය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂයක් නැත. එහෙත් මම ඒ පිළිබඳ බුදුන් වහන්සේගේ හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනත් අයගේ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිමි. බයිබල් ක්‍රමය අනුගමනය කරමින් උගතුන් යැයි කියන්නන්ගේ බලාධිකාරී දැනුම උපුටා දැක්වීම මගේ ක්‍රමය නො වේ. මට කර්මවාදයක් අවශ්‍ය නො වේ. බුදුන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් කර්මය පිළිබඳ දැනුම මට ප්‍රමාණවත් ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි පට්ටපල් බොරු කතා ඉදිරියේ වැඳ වැටුණු, වැටෙන මහා ප්‍රාඥයන් යනුවෙන් හැඳින්වුණු, හැඳින්වෙන ඇතැමුන් පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කළ බව, කරන බව මම දනිමි. ඔවුන්ට තිබුණේ, තිබෙන්නේ හීනමානයකි.

අද ආසනික් ගැන බොහෝ දෙනා කතාකරති. දිනේශ් ගුණවර්ධන මහතා ද, ගුණදාස අමරසේකර මහතා ද අද ආසනික් ගැන කියති, ලියති. ඇමතිතුමාගේ අමාත්‍යාංශයට ආසනික් නැත. අමරසේකර මහතාට හා ඊනියා දේශ හිතෛශීන්ට නාථ දෙවියන් නැත. නාථ දෙවියන් නොමැතිව ආසනික් ගැන කතාකරන්නෝත් නාථ දෙවියන් කියද්දීත් ආසනික් ප්‍රතික්‍ෂෙප කරන්නෝත් අපේ දැනුම ලබාගන්නා ක්‍රමය ප්‍රතික්‍ෂෙප කරති. නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුදැයි මම නො දනිමි. එතුමා දෙවියකු, භූතයකු හෝ වෙනත් අමනුෂ්‍යයකු හෝ විය හැකි ය. අප රජරට වකුගඩු රෝගයට හේතුවූ කෘෂි රසායන ද්‍රව්‍යවල ආසනික්, කුඹුරු පස හා කිවුල් ජලය ගැන දැනගත්තේ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණවලින් නොව ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙනි. මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය හා පිරිස ඇදුරු විරෝධතා මැද ඒ බව සනාථ කළහ. රෝගයට පිළියම් දියුණු යැයි කියන බටහිර වෙදකමේ නැත. අපි දෙවිවරුන්ගෙන් ඒ සඳහා පිළියම් ද දන්නෙමු.


Saturday, 25 August 2012

අධ්‍යාපනයේ අර්බුදය හා ආණ්ඩුවේ අර්බුදය

පසුගිය සතියේ අපි අධ්‍යාපනයේ අර්බුදය හා ආචාර්ය සමිති සම්මේලනයේ අර්බුදය ගැන කතා කළෙමු. අධ්‍යාපනයේ ඊනියා අර්බුදය මේ වසරට සීමා නොවූ උසස් පෙළ පරීක්‍ෂණයේ ප්‍රශ්නපත්‍රවල දෝෂ, ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ ආණ්ඩුව අස්ථායී කිරීමේ අරමුණෙන් කරන වැඩ වර්ජනය හා මූලික වශයෙන් අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ සමාජ සංචලනය සඳහා අධ්‍යාපනය යොදාගැනීමෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයක් මිස ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදයක් නො වේ. කෙටියෙන් කිවහොත් අද ආචාර්ය සමිති සම්මේලනය, ඇතැම් ගුරු සංගම්, ජ වි පෙ, එ ජා ප, ආණ්ඩුවේ සිටින ඊනියා වමේ දේශපාලන පක්‍ෂ ආදිය හා ඒ පක්‍ෂවලට හිතවත් ජඩමාධ්‍යවේදීන් ආදීන් විසින් උලුප්පනු ලබන ප්‍රශ්න අද අධ්‍යාපන ක්‍ෂෙත්‍රයෙහි ඇතත් ඊනියා අධ්‍යාපන අර්බුදයක් නම් නැත. මේ බව ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් ද සහභාගි වූ සංවාද දෙකක් මගින් රූපවාහිනි නාලිකා දෙකක මම පැහැදිලි කර දුන්නෙමි. එමෙන් ම චින්තන පර්ෂදය මගින් ආචාර්ය සමිති සම්මේලනයට කරන ලද ආරාධනයක් අනුව පර්ෂදය විසින් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයකට පැමිණ සම්මේලනයේ සභාපති ලෙස නොව පුද්ගලයකු ලෙස කතාකළ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා හා ඔහුගේ දේශපාලනයට හිතවත් පුද්ගලයන් කිහිප දෙනකු ඇතුළත් වූ පිරිසට ද ඒ පිළිබඳ ව කරුණු දැක්වූයෙමි. එමෙන් ම ඉරිදා දිවයින, විදුසර හා දි අයිලන්ඩ් පුවත්පත් ඔස්සේ ද ඒ පැහැදිලි කර ඇත්තෙමි. ඉසෙඩ් ලකුණු ප්‍රශ්නයට මුළුමනින් ම වගකිවයුත්තේ එක්තරා ගුරු සංගමයක්, ජ වි පෙරමුණට, එ ජා පක්‍ෂයට හිතවත් ජඩමාධ්‍යවේදීන් හා ඔවුන්ට අනුබල දුන් මහාචාර්ය තටිල් මහතා ය. තටිල් මහතා හැරෙන්නට අනක් අය හා එ ජා ප හා ජ වි පෙ නායකයෝ එය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කර අදාළ ඇමතිවරුන්ට බොරු චෝදනා කරමින් ආණ්ඩු විරෝධී ජනමතයක් ඇතිකර ප්‍රශ්නය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමුකිරීමට කටයුතු කළහ. එ ජා පක්‍ෂයේ කරු ජයසූරිය මහතාට අනුව විශ්වවවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ක්‍රියාත්මක කර නැත. මා දන්නා ආකාරයෙන් නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙවන වර ඉසෙඩ් ලකුණු ගණනය කරවූයේ තටිල් ක්‍රමය අනුව ය. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ ක්‍රමයට වෙනස් ක්‍රමයක් නඩු තීන්දුවෙන් ප්‍රකාශ කළේ දැයි මම නො දනිමි. එවැනි ක්‍රමයක් ප්‍රකාශකර ඇත්නම් එය නොසලකා හැරීම ගැන උසස් අධ්‍යාපනය පිළිබඳ ඇමතිතුමා වහාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එරෙහිව පියවර ගත යුතු ය. නැතහොත් ශ්‍රෙෂ්ඨාධිකරණය කියා ඇත්තේ කුමක් දැයි ජනතාවට පැහැදිලි කළ යුතු ය. ආණ්ඩුව අර්බුදයට යන්නේ මෙවැනි ප්‍රශ්නවල දී නිසි පියවර නොගැනීම නිසා ය.

ඒ කෙසේ වෙතත් පසුගිය අවුරුදු විසිපහක කාලයක අධ්‍යාපනයෙහි තිබූ ප්‍රශ්න වර්ධනය වී අද අර්බුදයක් ඇති වී නැත. එකල ද නාගරික පාසල්වල ද ගුරු හිඟයක් තිබිණි. අවුරුදු පනහකට ඉහත මා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරික්‍ෂණයට පෙනී සිට සති කිහිපයක් ඇතුළත වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙහි එයට පසු වසරෙහි එම පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන්ට ගණිතය ඉගැන්වීමට මට පත්වීමක් ලැබුණේ ඒ ගුරු හිඟය නිසා ය. අද නාගරික පාසල්වල එවැනි උග්‍ර ගුරු හිඟයක් නැත. එහෙත් තත්වය එදාට වඩා යහපත් නමුත් ග්‍රාමීය පාසල්වල ප්‍රශ්නය විසඳී නැත. එකල ද ඇතැම් පාසල්වල වැසිළිකිළි නොතිබිණි. මා ඉතා හොඳින් දන්නා කරුණක් නම් මා බාලාංශ පංතිවල ඉගෙනගත් පාසලේ අද ඇති පහසුකම් අවුරුදු හැටකට එපිට තිබූ පහසුකම්වලට වැඩි බව ය. අද ග්‍රාමිය පාසල් වැසෙන්නේ නම් එයට හේතු දෙකකි. එකක් අද බොහෝ දෙමව්පියන් තම දරුවන් වැඩි පහසුකම් ඇති නාගරික පාසල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනීමත්් ඔවුන්ට ඒ සඳහා හැකියාවක් තිබීමත් ය. අවුරුදු පනහකට පෙර රාජකීය විදුහලේ හයවැනි ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් එකසිය හතළිහකගෙන් සියයට අසුපහක් පමණ රාජකීය ප්‍රාථමික පාසලේ ඉගෙන ගත් සිසුහු වූහ. අද රාජකීය විදුහලේ හයවැනි ශ්‍රේණියට ඇතුළත් වන පන්සියයකට ආසන්න සිසුන්ගෙන් බහුතරය වෙනත් පාසල්වල, විශේෂයෙන් ම කොළඹින් පිට පළාත්වල, ඉගෙන ගත් සිසුහු වෙති. අද රට ඇතුළත සිසුන්ගේ මෙන් ම දෙමව්පියන්ගේ ද කොළඹට සිදුවන බුද්ධි ගලනය (එය එසේ යැයි හඳුන්වන්නේ නම්) ගැන කතා කරන්නේ කවු ද? රටේ තවමත් මේ ඊනියා සංවර්ධනයෙහි රැකියා ඇත්තේ බස්නාහිර පළාතේ හා කොළඹ දිස්ත්‍රික්කයේ ය. අද එදාට වඩා මධ්‍යම පංතිය ප්‍රසාරණය වී ඇති බවත් ඔවුන්ගේ අභිලාෂ ද ඒ සමග වර්ධනය වී ඇති බවත් අමතක නොකළ යුතු ය. අද ආවාර්ය සමිති සම්මේලනයේ ඇත්තන් කිසිම වැටහීමක් නැතිව සඳහන් කරන දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි ප්‍රමාණයක් එකතුවන්නේ ද කොළඹ දිස්ත්‍රික්කයෙන් හා බස්නාහිර පළාතෙනි. ඒ නිසා ම දෝ අද පෙරටත් වඩා ග්‍රාමිය පාසල්වලට නොගෙස් නගරයේ රැඳෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි ය. ඉදිරියේ දී මධ්‍යම පංතිය තව තවත් ප්‍රසාරණය වන විට මේ ප්‍රවණතාව තවත් වැඩිවනු ඇත. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රශ්නයක් මිස අධ්‍යාපනයේ අර්බුදයක් නො වේ. අධ්‍යාපනයේ වෙනත් ප්‍රශ්නයක් නම් ඇත. අද ලබාදෙන ක්‍රිස්තියානි යටත්විජිතවාදී අනුකාරක අධ්‍යාපනය රටට අහිතකර ය. විශ්වවිද්‍යාල ආචාර්ය සමීිති සම්මේලනය ප්‍රශ්න තේරුම් ගනු වෙනුවට බොරු කියමින් ජනතාව රැවටීමට උත්සාහ කිරීම කණගාටුදායක ය.

ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් තේරුම් නොගත්තත් දැනටමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් කෙරී ඇති බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී දිසානායක මහතා පෙන්නුම් කර ඇත. ඒ අතර ම ආණ්ඩුවේ මුළු වියදමෙන් 8%ක් පමණ අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙයි. මේ බව මා ද පෙන්වා දී ඇත. යුනෙස්කෝ වාර්තාවේ ඇත්තේ තළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු ය යන්න මිස ආණ්ඩුව දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වියදම් කළයුතු බව නො වේ. ආණ්ඩුවේ මුළු වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 28%ක් පමණ වන විට ආණ්ඩුව ඒ මුළු වියදමෙන් 20%කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්කරන්නේ කෙසේ ද? අනෙක් අතට මා කිහිප වතාවක් ම පැහැදිලි කර ඇති ආකාරයට රටේ ආරක්‍ෂාව (මෙය ධනපති රාජ්‍යයේ ආරක්‍ෂාව යැයි කසිකබල් මාක්ස්වාදී විග්‍රහයක් කරන පුස්සන්ට අවශ්‍ය වී ඇත්තේ දෙමළ ත්‍රස්තවාදයට රට යට කිරීමට ය. ) සඳහා පසුගිය අවුරුදු පහකට අධික කාලයක වෙන්කරන ලද මුදල එයට පෙර වෙන්කරන ලද මුදලට වැඩි ය. ඒ හේතුවෙන් ආණ්ඩුවේ මුළු වියදමෙන් ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට වෙන්කරන මුදල අඩු වෙයි. රත්නසිරි වික්‍රමනායක මහතා කියා ඇති පරිදි ආණ්ඩුව තව තවත් නවීන ආයුධ මිල දී ගත යුතු ය. ජනාධිපතිතුමා ද පවසන පරිදි දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ද දෙමළ ජාතිවාදය තවමත් ක්‍රියාත්මක වෙයි. එය පිටුපස ඇත්තේ ඒංගලන්තය හා අනෙක් බටහිර රටවල් ය. ඔවුහු විසුරුණු දෙමළ ජනයා ද, සම්බන්ධන්ලා ද, සිංහල විරෝධී දෙමළ ජාතිවාදීන් ද ඒ සඳහා යොදා ගනිති. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති සිංහල විරෝධී මත දරන්නෙකි. ඔහු රටේ ආරක්‍ෂාව සඳහා මුදල් වෙන් කිරීමට විරුද්ධ වෙයි. ඔහුට එය ඊනියා ධනපති රාජ්‍ය ආරක්‍ෂාවක් සඳහා මුදල් යෙදවීමකි. එමෙන් ම සම්මේලනයට සම්බන්ධ කසිකබල් මාක්ස්වාදීහු ද සිංහල විරෝධී මත දරති. මේ එක් මාක්ස්වාදියකු ඇදුරන්ගේ දරුවන් දෙදෙනකුට පුද්ගලික පාසල්වල වුවත් ඉගැන්වීම සඳහා ආණ්ඩුවෙන් දීමනාවක් දිය යුතු බවට කළ යෝජනාවක් සම්මේලනයේ ඉල්ලීම් අතර වෙයි. එය බොරු යැයි කීමට සම්මේලනයේ ඇතැමුන් උත්සාහ දරන්නේ ගලේ මළපහ කළ බළලුන් මෙනි. 6% ඉල්ලීම හැරෙන්නට සම්මේලනයේ අනෙක් ඉල්ලීම් සරසවි ඇදුරන් විශේෂිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු ය යන්න මත පදනම් වෙයි. එහෙත් ඇදුරෝ එසේ විශේෂිත පුද්ගලයෝ නො වෙති. ඔවුන්ගේ ප්‍රධාන කටයුත්ත ඉගැන්වීම වුව ද ඔවුන්ට ඒ පිළිබඳ පුහුණුවක් නැත. අවුරුදු විස්සකට පෙර එවැනි යෝජනාවක් සාකච්ඡා වූ විට තමන්ගේ ඊනියා විශේෂිත බව ගැන සඳහන් කරමින් ඇතැම්හු එයට විරුද්ධ වූහ. සරසවි ඇදුරන් විශේෂ පරීක්‍ෂණ කරන්නේ ද නැත. පර්යේෂණ ආයතනවල පර්යේෂකයෝ ද පර්යේෂණ කරති. සරසවි ඇදුරන්ගේ දීමනා වැඩිකර ඇති නමුත් ඔවුන් ෂයිලොක් මෙන් ඉල්ලන්නේ මූලික වැටුප වැඩිකරන ලෙස ය. එය කළ නොහැක්කකි. වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂම ඒ ඉල්ලීම අනුමත කළහොත් වැටුප් අරගල රැල්ලක් ඇති වී ආණ්ඩුව අස්ථායී වනු ඇත. බොහෝ ඇදුරන්ට ඒ ගැන අවබෝධයක් නැතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුව අස්ථායි කිරීමට අවශ්‍ය අය ඒ දනිති. සම්මේලනය 6% ඉල්ලීම සඳහා එක්වී සිටින්නේ ඉසෙඩ් අවුල ඇතිකළවුන් සමග ය. ඒ සියල්ලටමත් වඩා වර්ජනය සම්මේලනයේ මා දැන සිටි එහි ව්‍යවස්ථාව අනුව නීති විරෝධී ය.

එහෙත් මේ දුර්වලකම් සියල්ල තිබිය දී එස් බී දිසානායක මහතා මගහැර වෙනත් ඇමතිවරයකු සම්මේලනය සමග සාකච්ඡා කරන්නේ ඈයි ද යන්න ප්‍රශ්නයකි. සම්මේලනය සමග සාකච්ඡා සඳහා අද ආණ්ඩුවේ උසස් නිලතල දරණ විශ්වවිද්‍යාල ඇදුරන් තිදෙනකු සහභාගි වන්නේ කිනම් පදනමකින් ද යන්න එයටත් වඩා ප්‍රශ්නයකි. උසස් අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගැනීමට හෝ උපදෙස් දීමට හෝ ඔවුන්ට ඇති සුදුසුකම කුමක් ද? ඔවුන් අඩු තරමෙන් මෙරට උසස් අධ්‍යාපනය ගැන හැදෑරූ අය ද? ආණ්ඩුව තමන් ශක්තිමත් පදනමක සිටිය දී කිසිම ආකාරයකින් යුක්ති යුක්ත කළ නොහැකි ඉල්ලීම් මත පදනම්ව ආණ්ඩුව අස්ථායී කිරීම සඳහා වර්ජනයේ යෙදී සිටින්නන් සමග සාකච්ඡා කිරීමට විශේෂ ඇමතිවරයකු යොදා ඇත්තේ මේ ත්‍රිමූර්තියේ අවශ්‍යතාවට ද? මාධ්‍ය මගින් පුම්බනු ලැබ ඇති එහෙත් ප්‍රශ්නය අවුල් කරන ඒ තිදෙනා සමග ඕනෑම දිනයක ඕනැම තැනක ඕනෑම වේලාවක මේ ප්‍රශ්නය ගැන වාද කිරීමට මම සූදානමින් සිටිමි. සම්මේලනයේ නිලධාරීන් ආණ්ඩුවේ ඊනියා වමේ ඇමතිවරුන් හමු වී ඇති බවට වාර්තා වෙයි. මාක්ස්වාදීන් යැයි කියාගන්නා මේ ඇමති ත්‍රිත්වය දළ ජාතික හා දේශීය නිෂ්පාදිිත ගැන නො දනිත් ද? ඔවුන් ද බොරු පංති සටන් ගැන කතාකරන සිංහල විරෝධීන් බවත් සිංහල ජනයාගේ ඡන්දය නොවන්නට ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් පත්වීම් ලබාගැනීමට නොහැකි බවත් ඔවුන්ට අමතක වී ඇත. අද ආණ්ඩුවේ බොහෝ දෙනාට (මැති ඇමතිවරුන්ට මෙන් ම නිලධාරීන්ට ද) අමතක වී ඇති කරුණක් නම් ආණ්ඩුව පවතින්නේ එකම එක කාරණයක් නිසා බව ය. ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම ය. එය රණවිරුවන්ගේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාර්යයක් මිස ආණ්ඩුව අර්බුදයට ගෙන යන සිංහල විරෝධීන්ගේ් කාර්යයක් නොවේ. ඇතැමුනට අවශ්‍ය ආණ්ඩුව දිගුකාලීනව පවත්වාගෙන රටට සේවය කිරීම නොව ස්වාර්ථය සඳහා ව්‍යාජ විසඳුම් මගින් තාවකාලික ව ආණ්ඩුච පවත්වා ගැනීම ය.

අධ්‍යාපනයේ අර්බුදය හා සම්මේලනයේ අර්බුදය

මූලික වශයෙන් ඇතැම් ගුරු සංගම්, ජඩමාධ්‍යවේදීන්, මහාචාර්ය තටිල් මහතා හා වෙනත් අය විසින් ඇති කරනු ලැනූ ඉසෙඩ් ලකුණු අර්බුදය තවමත් විසඳී නැත. අද අර්බුදය ඇති වී තිබෙන්නේ තටිල් ක්‍රමය අනුව පැරණි හා නව නිර්දේශ සඳහා ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර ඒ ලකුණු අනුපිළිවෙළින් එක් ලැයිස්තුවකට ඇතුළත් කිරීම හේතුකොට ගෙන ය. ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් සඳහන් කෙරී ඇත්තේ තම තීන්දුව අනුව බලධාරීන් ක්‍රියාකර නොමැති බව ය. වෙන වෙන ම ගණනය කරන ලද ඉසෙඩ් ලකුණු අනුව සිසුන් ඇතුළත් කරගන්නේ කිනම් අයුරෙන් දැයි ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවෙන් කියැවී ඇත්දැයි මම නො දනිමිි. කෙසේ වෙතත් පසුගිය වසරවල ප්‍රථම වරට පෙනී සිටි සිසුන් හා නැවත පෙනී සිටි සිසුන් විශ්වවවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී නියෝජනය වූ ප්‍රතිශත හැකිතාක් දුරට අනුගමනය කරමින් සිසුන් විශ්වවිිදාලවලට ඇතුළත් කිරීම පිළිබඳ ක්‍රමවේදයක් සකස්කර ගැනීමට තටිල් ක්‍රමයෙන් නොහැකි බව පැහැදිළි ය. අද අර්බුදය පැන නැගී ඇත්තේ ඒ හේතුවෙනි. එහෙත් මෙහි දී කිසිවකු කියනු ඇත්තේ තටිල් ක්‍රමය නිවැරදී බවත් පසුගිය වසරවල යොදාගත් ක්‍රමයෙහි යම් වරදක් සිිදු වී ඇති බවත් ය. මෙවර ප්‍රථම වරට පෙනී සිටි සිසුන්ගේ හා නැවත පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර පසුව අනුපිළිවෙළ අනුව එක් ලැයිස්තුවකට ඇතුළත් කෙරුණු අතර පසුගිය වසර කිහිපයෙහි පළමුව ලකුණු එක් ලැයිස්තුවකට ගෙන පසුව ඉසෙඩ් ලකුණු ගණනය කෙරී ඇත. පළමුව කළ යුත්තේ වෙන වෙන ම ඉසෙඩ් ලකුණු ගණනය කිරීම ද එසේත් නැත්නම් එක් ලැයිස්තුවකට ගැනීම ද? ඉතා පැහැදිළිව ඒ කුමවේද දෙක මගින් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය නො වේ. බටහිර ගණිතයෙහි කියැවෙන ආකාරයට නම් ඒ කර්ම දෙක න්‍යාදේශ්‍ය නො වේ. ඒ කුමක් වුවත් මේ සිසුන්ගේ කරුමයකි. මේ තීරුවෙන් සති කිහිපයකට පෙර සඳහන් කෙරුණු අයුරෙන් මෙයින්් සිදුවන්නේ උසාවියේ නඩු වැළක් පැවරීම පමණකි. මෙයින් පැහැදිළි වන කරුණ නම් සිසුන්ගේ ඊනියා දක්‍ෂතා මැනීමට අනන්‍ය වූ ක්‍රමයක් ලකුණු ඔස්සේ සකස්කර ගත නොහැකි බව ය. ලකුණු යනු සාපේක්‍ෂ වූ ද අභිමත වූ ද දර්ශක පමණක් වෙයි. එහෙත් බටහිරයන් විසින් ඒ නිරපේක්‍ෂ ලෙස ගැනීමට අප පුරුදු කෙරී ඇත.

මෙය අධ්‍යාපනය සම්බන්ධ පරීක්‍ෂණවලට පමණක් බලපවත්වන එකක් නො වේ. ක්‍රිඩා තරගවලදී ද එය බලපැවැත්වෙයි. අද බෙහෙවින් ජනප්‍රිය වී ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ පිටියේ මායිමට බිම නොවැදී උඩින් යන පන්දුවක් වෙනුවෙන් ලකුණු හයක් ද බිම වැදී යන පන්දුවක් වෙනුවෙන් ලකුණු හතරක් ද පිතිකරුවාට ලැබෙයි. මේ ලකුණු එසේ විය යුතු යැයි තීරණය කළේ කවු ද? ඒ නිරපේක්‍ෂ ලකුණු නො වේ. යම් අයුරකින් ඒ ලකුණු අට හා හය යනුවෙන් පිළිවෙළින් වෙනස් කරනු ලැබී යැයි සළකන්න. එවිට තරගවල ජය පරාජ පිළිබඳ වෙනස්කම් ද ඇතිවනු ඇත. රගර් ක්‍රීඩාවේ ද තත්වය එසේම ය. ඇතැම් බටහිර ක්‍රීඩා පිළිබඳ ජය පරාජය තීරණය වන්නේ ලකුණු දීමේ අභිමත ක්‍රමයක් මත පදනම් වී ය. කෙසේ වුවත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරමේ ක්‍රමවේද රාශියක් ඇති බැවින් හා අද ප්‍රශ්නය ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති හෙයින් ඉසෙඩ් ලකුණු ගණනය කිරීම පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව මත පිහිටා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ ක්‍රමවේදය පිළිබඳ නියෝගයක් ද භ්‍රෙෂ්ඨාධිකරණයෙන් ම ලබාගැනීමට නීතියෙන් ඉඩක් ඇත්දැයි සොයා බැලිය යුතු ය.

අද අධ්‍යාපනයේ අර්බුදය මේ ප්‍රශ්නයෙන් ම පැහැදිළි වෙයි. සමාජයේ ඉහළ යෑම (සමාජ සංචලනය) සඳහා අධ්‍යාපනය යොදා ගැනෙන විට මෙවැනි ප්‍රශ්න ඇතිවීම වැළැක්විය හැකි නො වේ. මෙය බටහිර නූතනත්වයේ ප්‍රශ්නයකි. එහෙත් අපට එසේ කියා ගැලවී යා නො හැකි ය. නූතනත්වය වෙනස් කරන තුරු (එය ඊනියා පශ්චාත්නූතනත්වය නො වේ) සිසුන්ට බලා සිටීමට කිව හැකි නො වේ. ඔවුන්ට අද ම විසඳුමක් අවශ්‍ය වෙයි. අද අධ්‍යාපනය විසින් බිහිකෙරෙන්නේ ශ්‍රමිකයන් (එය බුද්ධිමය හෝ කායික ශ්‍රමය විය හැකි ය) මිස දැනුම් පිපාසයෙන් පෙළී දිය දහරක් සොයා යන්නවුන් නො වේ. ශ්‍රමිකයන් බිහිකෙරීම අද බටහිර අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වුව ද බටහිර රටවල දැනුම නිර්මාණය කරන්නෝ කිහිප දෙනෙක් වුවත් බිහිවෙති. එහෙත් ඒ බටහිර අධ්‍යාපනය අනුකරණය කෙරෙන ලංකාවේ දැනුම නිර්මාණය කරන්නෝ බිහි නො වෙති. එයට හේතුව අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ සංස්කෘතියෙහි මිස බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නො වීම ය. එහෙත් බටහිර අධ්‍යාපනයෙන් බිහි වූවෝ අපට කන් නො දෙති. අපේ අනුකාරක අධ්‍යාපනයෙන් බිහි වී ඇති උගතුනට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට විසඳුමක් දීමට නොහැකි වී ඇත. මේ අධ්‍යාපනයෙන් බිහිවන ඊනියා දක්‍ෂයන්ට සිදු වී ඇත්තේ කුමක් ද? ඔවුන් විසින් බිහිකෙරී ඇති සංකල්ප, ප්‍රවාද ආදිය කවරේ ද? අද බොහෝ දෙනා අධ්‍යාපනය ගැන උනන්දුවන්නේ ඉන් සමාජ සංචලනයට රුකුළක් ලැබෙන නිසා මිස අන් කරුණක් නිසා නො වේ. පසුගිය සියවස් දෙකක පමණ කාලයෙහි මෙරට බිහි වී ඇති චින්තකයෝ කොපමණ වෙත් ද? සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කළ හැකි අය ඉන් බැහැරට ගෙන සිතන්නට නොහැකි එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූ දැනුම ලබාගත හැකි අනුකාරක පුස්සන් රැළක් බිහිකරනු ලැබ ඇත්තේ බටහිරයන් විසින් මෙරටට හඳුන්වාදෙනු ලැබූ අධ්‍යාපනයෙනි.

මේ අධ්‍යාපනය තව දුරටත් පවත්වාගෙන යෑම රටට අහිතකර ය. එහෙත් එයින් කියැවෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය වහාම නතර කළ යුතු බව නො වේ. එසේ ම මේ අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් නොකළ යුතු බවක් ද එයින් නො කියැවෙයි. නමින් චින්තක වුව ද නොසිතන පුහු ඇදුරකු එක් පූවත්පතකට ලිපියක් සපයමින් මේ අධ්‍යාපනයට මුදල් වෙන් නොකරන ලෙස මා කියා සිටි බවක් සඳහන් කරයි. එසේ කළහොත් පාසල් හා විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ කෙසේ ද? ක්‍රම ක්‍රමයෙන් ජාතික වූ විකල්ප අධ්‍යාපනයක් සකස්කර ගන්නා තුරු මේ අධ්‍යාපන ක්‍රමය ඉන් රටට යහපතක් නොවුූවත් පවත්වාගෙන යා යුතු ය. මා නොකී දේ මා නොකළ දේ මට බැර කිරීම පුස්සන්ගේ හා නිවටයන්ගේ කාර්යය වී ඇත. මගේ දරුවන්ට පිටරට අධ්‍යාපනය ලබාදුන් බව පසුගිය දා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු කියා තිබිණි. සියක් වරක් එය එසේ නොවේ යැයි කියා තිබුණ ද මා ඉදිරිපත්කරන මතවලට විරුද්ධව තර්කයක් ඉදිරිපත් කළ නොහැකි නිවට පුස්සෝ මා නොකී දෑට නොකළ දෑට මට තඩි බාති. මා කියා ඇත්තේ අද රජය ප්‍රමුඛතාව දිය යුත්තේ රාජ්‍ය ආරක්‍ෂා කළ රණ විරුවන්ට, මෙරට සංස්කෘතිය ආරක්‍ෂා කරන ශිල්පීන්ට (නුවර පෙරහැරේ නටන ශිල්පීන් ආදී) හා වෙනත් එවැන්නන්ට මිස විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට නොවන බව ය. මෙය ඊනියා ධනපති රාජ්‍යය රැකගැනීම හෝ ඊනියා වැඩවසම් සංස්කෘතිය රැකගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. දෙමළ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ඇතැම් කථිකාචාර්යවරුන්ට හා බටහිර මතවාද පුනරුච්චාරණය කරන ගිරා පෝතකයන්ට ඒ අයුරෙන් පෙනෙනු ඇත. එහෙත් අපට දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මෙහෙයුම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිව කරන සටනකි. බටහිරයන්ගේ අනුග්‍රහය, ආශිර්වාදය හා ආධාරය ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට අප නොසළකන්නේ නම් එය සිංහල ව්‍යවහාරය අනුව කියන්නේ නම් හෙණ ගහන අපරාධයකි. ඔවුන්, ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා නොවන්නට අද රටක් නැත. අපෙන් අය කරන බදු රටට යහපතක් නොවන අනුකාරකයන් බිහිකරණ බටහිර යටත්විජිතවාදී අධ්‍යාපනයක් පවත්වාගෙන යන බටහිරයන්ගේ (සුද්දන්ගේ, යටත්විජිතවාදීන්ගේ යන අරුතෙන්) මත පුනරුච්චාරණය කරන කථිකාචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට යෙදීමට ඉඩ දිය යුත්තේ ඇයි? මෙරට විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ කෙටස්කරුවෝ සරසවි ඇදුරෝ හා ආණ්ඩුව පමණක් නො වෙති. අනධ්‍යයන සේවකයෝ ද පරිපාලන නිලධාරීහු ද වෙනත් රටවැසියෝ ද එහි කොටස්කරුවෝ වෙති. වක්‍ර බදු ගෙවන්නන් ලෙස අපි සියළු දෙනාම එහි කොටස්කරුවෝ වෙමු.

නුවර පෙරහැරේ නටන ශිල්පියකුට විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකුට තරම් වැටුපක් නොගෙවනු ඇත. එයට හේතු සමාජයීය වැදගත්කම ආදී නූතනත්ව වටිනාකම් මිස නිරපේක්‍ෂ හේතු නො වේ. විභාග ලකුණුවල නිරපේක්‍ෂ අගයක් නැතිවිට උසස් පෙළ පරීක්‍ෂණයේ ලකුණක වෙනසක් හේතුවෙන් හා තමන් ඉන්පසු විශ්වවිද්‍යාලයීය පරීක්‍ෂණවල දී ඉහළින් සමත්වීය ආදී නිර්ණායක යොදා ගනිමින් තමන් විශේෂීිත පුද්ගලයන් ලෙස සලකමින් වැඩි වැටුප් ඉල්ලීමට සරසවි ඇදුරන්ට ඇති අයිතිය කුමක් ද? උසස් පෙළ සමත් වූ ඕනෑම අයකුට තම අධ්‍යාපන කටයුතු පිළිවෙළක් ඇතිව කරන්නේ නම් හා ඇතැම් ඇදුරන් අතර නරක නමක් ඇතිකර නොගන්නේ නම් පංති සාමාර්ථයක් ලබාගැනීමේ අපහසුවක් නැත. අද සමාජ සංචලනය සඳහා ඇත්තේ අධ්‍යාපනය පමණක් නොවීම ද අප සැලකිල්ලට ගත යුතු ය. විශාල පිරිසකට නොවුව ද ක්‍රිකට් ක්‍රීඩකයන්ට, සුපිරි තරුවලට ආදීන්ට තම ක්‍ෂෙත්‍ර ඔස්සේ අද සමාජ සංචලනයට අවස්ථා ලැබී ඇත. අනෙක් අතට මා මෑතක දී කියා ඇත්තේ රණවිරුවන්ගේ වටිනාකම ගැන ය. රණවිරුවන්ට ද සමාජ සංචලනය සඳහා අවස්ථා ලබාදිය යුතු ය. සම්මත අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව බිහි වී ඇති මොවුන්ට වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය. මා බොහෝ කලක සිට කියන්නේ අපට අවශ්‍ය දෙයක් විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ නිදහස අපට නැති බව ය. මෙරට විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ට අවශ්‍ය දේ මිස සිංහලයන්ට අවශ්‍ය දේ නො වේ. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මේ කරුණු ගැන සිතා බලා නැති බව පැහැදිලි ය. කෙසේ වෙතත් ආචාර්ය සමිති සම්මේලනය තම ස්ථාවරය හා තම ඉල්ලීම්වලට ලබාදෙන ප්‍රමුඛතාව දිනෙන් දින වෙනස් කරන බව නම් පැහැදිලි ය. වැටුප් වැඩිකිරීම, දළ දේශීය නිෂ්පාදිතය යනු කුමක්දැයි නොදැන කතාකළ කුප්‍රසිද්ධ 5%, ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලයීය සේවාවක් ඇතිකිරීම ආදියට ලබාදුන් ප්‍රමුඛතා අද නො ලැබේ. ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන්ට අද තම සම්මේලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් ධෛර්යයක් නැත. පසුගිය දා චින්තන පර්ෂදය සම්මේලනයේ බලවතුන් කිහිප දෙනකුට ම ආචාර්යවරුන්ගේ වර්ජනය හා ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් පැවැත්වු සම්මන්ත්‍රණයකට ආරාථනා කළේ ය. ඔවුන් කියා සිටියේ ආරාධනය සම්මේලනයට යොමු කරන ලෙස ය. පර්ෂදය නියෝජිතයකු එවන ලෙස සම්මේලනයට ආරාධනය කළේ ය. සම්මේලනය නම්කර තිබුණේ එහි සභාපතිවරයා ය. එහෙත් ඔහු සම්මන්ත්‍රණය ඇමතුවේ තනි පුද්ගලයකු ලෙස මිස සභාපති ලෙස නො වේ. අධ්‍යාපනයේ අර්බුදයෙන් සම්මේලනයද අර්බුදයට ගොස් ඇත.

Saturday, 11 August 2012

අධ්‍යාපන අර්බුදය

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා කෙරෙන අරගල වසර තිහක පමණ කාලයක් තිස්සේ තවමත් ඇවිලෙමින් පවතී. මේ අරගල විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගල විය. ඒ අරගල ජාතික තලයට ගෙන ගියා නම් එය කලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මිස ජාතික මට්ටමින් මතුවූ දේශපාලණ ප්‍රවාහයන් මඟින් නොවේ. එදා සිට අද දක්වා මේ අරගල වල නායකත්වය දැරුවේද විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මකවූ ආණ්ඩු විරෝධී දේශපාලණ පක්‍ෂවල අනුගාමික ශිෂ්‍ය කන්ඩායම් බව සැලකිය යුතු කරුණකි. මේ නිසාම ඇතැම් විට මේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල වල නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ උවමනාව පරයා ආන්ඩු විරෝධී වීමේ උවමනාවක් දක්නට තිබිනි නම් ඒ අහම්බයෙන් ඇති වූවක් නොවේ. එදා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා කෙරුන විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල සියලු අධ්‍යාපන ක්‍ෂේත්‍රයන්ට පොදු වූවත් අද ඒ අරගල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටු වීමට එරෙහිව කෙරෙන සටනක් බවට සීමා වීමද සැලකිය යුතු කරුණකි. එයද අහම්බයෙන් සිදුවූවක් නොවේ. අනිකුත් වෘතීන්ට සාපේක්‍ෂව වෛද්‍ය වෘතියට ඇති අති මහත් දේශපාලණ බලයත්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල මෙහෙය වන්නන් ගේ ආණ්ඩු විරෝධී බවත් අතර ඇති සබැඳියාව අද ඒ සටන සීමිත අභිමතාර්ථ උදෙසා කෙරෙන බල අරගලයක් වීමට හේතු වී ඇති බව පැහැදිලිය. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලයට ජීවය සපයන්නේ ඊනියා පංති භේදයක් පෙන්වා සිසුන් තුල වෛරය වඩවන මෙරටට ආගන්තුකවූ කැම්පස් සංස්කෘතියය. මේ කැම්පස් සංස්කෘතිය මඟින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා පැවති රජයනට යම් බලපෑමක් කිරීමට හැකි විනි. නමුත් අසූව දශකය අවසානයේ සරසවි සිසුන් ගණනාවක් මිය ගියේ ජවිපෙ විසින් රජ්‍ය බලය අල්ලා ගැනීමට කල සන්නද්ධ අරගලය පැවැති යූඑන්පී ආන්ඩුව විසින් කෲර ලෙස මර්ධනය කරද්දී මිස ඊනියා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා කෙරුනු සටනකදී නොවන බව සඳහන් කල යුතුය. කෙසේ නමුත් මේ වනතුරු කිසිම රජයක් නොමිලේ ලබා දෙන අධ්‍යාපන සේවාව නතර නොකලේ ශිෂ්‍ය සටන් නිසාම දැයි නිශ්චිතව කිව නොහැක්කේ එවැනි සටන් නොමැතිවත් ඊට නොදෙවෙනි වියදමකින් නොමිලේ පවත්වාගෙන යන සෞඛ්‍ය සේවාව නතර කිරීමටද කිසිම රජයක් ඉදිරිපත් වී නොමැති බැවිනි. අවාසනාවට මේ අරගල විශ්ව විද්‍යාල කේන්ද්‍ර කරගෙන කෙරෙන නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රය පුරාම පැතිර ඇති අර්බුදයක් විශ්ව විද්‍යාල ප්‍රශ්ණයක් ලෙස ලඝු කොට තැකීමට ජන මාධ්‍යත් දේශපාලකයනුත් පෙළඹී ඇත. එහි ප්‍රතිඵලය සරසවි ප්‍රශ්ණ විසඳීමට පමණක් පාලකයනුත් ඇබ්බැහි වීමය. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්ණයෙනුත් ඔබ්බට ගිය අර්බුදයක් රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පුරාම ඇති බව පැහැදිලිය. මේ අර්බුදය නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් කැම්පස් සංස්කෘතියෙන් එපිට ගොස් රටේ බලපවත්වන ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික බලවේග වලට සාපේක්‍ෂව ඒ දෙස සමස්ථ ශිෂ්‍ය පරම්පරාව සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ඇසින් විමසා බැලිය යුතුය.

මෙරටුන් බටහිර අධ්‍යාපනය ලබන්නට පටන් ගත්දා සිටම අධ්‍යාපනයට සැලකුවේ බටහිර සංස්කෘතිය විසින් මෙරට නිර්මාණය කරන ලද සමාජ ධූරාවලියේ ඉහලට යා හැකි හිනි මඟක් ලෙසින් යැයි කිව හොත් එය අතිශෝක්තියක් නොවේ. සුළුතරයකට හිමිව තිබූ මේ හිනි මඟ නිදහස් අධ්‍යාපනය විසින් පොදු ජනතාවට අයිති කර දිනි. එමඟින් බටහිරුන් විසින් මෙරට බිහි කරන ලද සමාජ විශමතාව යම් දුරකට සමනය වුනු බව සත්‍යය. කොටින්ම බටහිර සමාජ ක්‍රමය විසින් නැති බැරි යැයි හැඳින්වුනු අයට එම ක්‍රමය තුලම ඇති හැකි අය බවට පත් වීමට බටහිර අධ්‍යාපනය හරහා හැකියාවක් ලැබිනි. අඩු තරමින් බටහිර අධ්‍යාපනය හරහා එසේ වන බව විශ්වාසයක් පොදු ජනයා අතර ගොඩ නැගී තිබිනි. නමුත් අද මේ ක්‍රියාවළිය ක්‍රමයෙන් උඩු යටි කුරු වෙමින් පවතී. අද බටහිර අධ්‍යාපනයෙන් ඇති හැකි අයට වඩාත් ඇති හැකි අය බවට පත්විය හැකි නමුත් නැති බැරි අයට අධ්‍යාපනය ලැබීමෙන් පමණක් ඔවුන් හා ඇති හැකි අය අතර ඇති පරතරය අඩු කර ගැනීමට ඇති ඉඩ කඩ සීමිතය. වර්තමාන බටහිර අධ්‍යාපනය තුලින්ම සමාජ විශමතාවක් ඇති කරවයි. ඒ නිසා අධ්‍යාපනය තුලින් පොදු ජනතාව අපේක්‍ෂා කරණ සාධරණය ඉටු නොවේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති අර්බුදය මෙයයි. නමුත් මෙය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අවේනිකවූ අර්බුදයක් යැයි කිව නොහැකි. එයද රටේ විවිධ ක්‍ෂේත්‍රයන්හි බල පවත්වන ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික බලවේග වල එක් පැති කඩක් පමණි. අධ්‍යාපන අර්බුදයට පිළියම් සෙවීමේ දී මේ බලවේග සැලකිල්ලට නොගැන සිටිය නොහැකිය.

ආර්ථික විද්‍යාඥයන් කුමක් කීවත් පොදු වේ ගත් විට සමාජ විශමතා වර්ධනය වීම විවෘත ධනවාදී ආර්ථික ක්‍රමයේ ලක්‍ෂණයක් බව මේ වෙන විට අපි අත්දැකීමෙන්ම දන්නෙමු. මේ විශමතාවත් සමඟම එය ජය ගැනීමට කෙරෙන තරඟයක් ද වේ. මිනිසුන් අතර සිදුවෙන මේ තරඟය අද එදාට වඩා තියුනුය. තරඟය සදාචාරාත්මකද නොවේ. තරඟයක් මත පදනම්ව ඊනියා මානව විකාශයක් සිදුවේ යැයි විශ්වාස කරන බටහිර සංස්කෘතියට තරඟයෙන් තොර පැවැත්මක් නැත. අපි බටහිර සංස්කෘතික ආධිපත්‍ය බිඳ දමන දින මේ තරඟය අප සමාජයෙන් දුරු වනු ඇත. එතෙක් අපට කළ හැක්කේ පොදු සමාජයටම සාධාරණව තරඟ කල හැකි වාතාවරණයක් සකස් කිරීම පමණය, එනම් ප්‍රශ්ණය කළමණා කිරීම පමණය. මේ බටහිර ආර්ථික ක්‍රමය තුල අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශමතාවක් ඇතිවීමද වැලැක්විය නොහැකිය. එහිද කල හැක්කේ ප්‍රශ්ණය කළමණා කිරීම පමණය. තරඟයක් සාධාරණය කල හැකි ක්‍රම දෙකකි. පළමුව සැමටම තරඟයට සහභාගී වීම සඳහා අවස්ථාව සලසා දිය යුතුය. දෙවනුව එහි නීති රීති සැමටම පොදු කල යුතුය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුල සැමටම අවස්ථාවක් සැලසීම විවිධාකාරයට කල හැකිය. නිදහස් අධ්‍යාපනය එසේත් නැත්නම් රජයේ වියදමින් නොමිලේ අධ්‍යාපනය ලබා දීම මේ ඊනියා තරඟයට සහභාගී වීම සඳහා ඇති අවස්ථාවන් පුළුල් කල හැකි ප්‍රධානම මාර්ගයය. මේ නිසා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අනිවාර්ය වේ. රටේ නොයෙක් ප්‍රදේශවල විවිධ ගණයේ අධ්‍යාපන ආයතන, එනම් පෙර පාසල්, පාසල්, වෘතීය පුහුණු මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල පිහිටුවා සියලු ප්‍රදේශවල දරුවන්ට එක සේ අධ්‍යාපන පහසුකම් සැලසීමද සිදු විය යුතුය. මීට අමතරව සිසුන්ට ශිෂ්‍යත්ව, බැංකු ණය ආදිය ලබා දීමද කල හැකිය. නමුත් සියලු පෞද්ගලික අධ්‍යාපණ ආයතන මඟින් සිදු වන්නේද අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා පුළුල් වීම බව අප අමතක නොකල යුතුය. මේවායේ අධ්‍යාපනය මුදලට විකිනෙන බව සත්‍යය. නමුත් පෞද්ගලික උපකාරක පංති, ඊනියා ජාත්‍යාන්තර පාසල්, විවිධ ඩිප්ලෝමා සහතික සඳහා පාඨමාලා පවත්වන පෞද්ගලික ආයතන, පෞද්ගලික විශ්ව විද්‍යාල යනාදී මුදල් අය කර අධ්‍යාපනය ලබා දෙන සියලු ආයතන මඟින් අති විශාල සිසුන් පිරිසකට අධ්‍යාපනය සඳහා අවස්ථාවක් ලබා දෙන බව අප පිළිගත යුතුය. බොහෝ විට ඔවුන්ට මේ අවස්ථාව වෙන ආකාරයකින් නොලැබෙනවාද විය හැකිය. මුදල් අය කලත් නොකලත් පොදුවේ අධ්‍යාපනය ලබා දෙන ආයතන වැඩි වීමෙන් සිදු වන්නේ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අවස්ථා වැඩි වීමය. සමාජ විශමතාවක් පවතින තාක් කල් සහ අධ්‍යාපනය තුලින් ඒ විශමතාව ජය ගන්නට පොදු ජනතාව අපේක්‍ෂා කරන තාක් කල් අධ්‍යාපනය ලැබීමට තිබෙන අවස්ථා වැඩි කිරීමෙන් මිස ඒවා අඩු කිරීමෙන් සමාජ සාධාරණයක් ඉටු කළ නොහැකිය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීම වැලකිය නොහැක්කේ මේ නිසාය. කෙසේ වෙතත් මේ සියලු ගණයේ අධ්‍යාපන ආයතන යම් ප්‍රමිතියකට ලක් කිරීම රජයේ වගකීම වේ. එක වසරේ සිට දොළහ වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබාදෙන සියලු ආයතන වෙනමත් විශ්ව විද්‍යාල උපාධි පිරිනමන ආයතන වෙනමත් අනිකුත් විවිධ ඩිප්ලෝමා සහතික පිරිනමන ආයතන වෙනමත් ඊට සුදුසු විද්වත් සභා මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ ප්‍රමිතියකට ලක් කල යුතුය. එවිට එවැනි සභාවකින් පිළිනොගැන ආයතන පවත්වාගෙන යෑමට අවසර නොලැබෙන පරිදි නීති සකස් කර ගත හැකි වනු ඇත.

නමුත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අද ඇතිවී තිබෙන අර්බුදයට සෘජු හේතුව පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවීමම නොවේ. ඊට හේතුව පොදුවේ ආධ්‍යාපනය ලබාදෙන සියලු ආයතන මඟින් දෙනු ලබන අධ්‍යාපන වලට විවිධ වටිනාකම් සමාජ සම්මත වීමය. මේ සම්මුතියට අනුව සමාන හැකියාවන් ඇති දරුවන් දෙදෙනෙකු ආයතන දෙකකින් එකම දුරකට උගෙනුම ලැබුවත් ලබන අධ්‍යාපනයේ වටිනාකම වෙනස්ය. බොහෝ විට වඩා වටිනාකමක් ඇති අධ්‍යාපන වල එක්කෝ මිල අධිකය නැත්නම් එය ලබා ගැනීමට සමාජ-දේශපාලණ හයි හත්තියක් අවශ්‍යය. මේ නිසා බොහෝ විට නැති බැරි අය ඊනියා වටිනාකමින් අඩු අධ්‍යාපනයකුත් ඇති හැකි අය ඊනියා වටිනාකමින් වැඩි අධ්‍යාපනයකුත් ලබති. අධ්‍යාපනය තුලින් සමාජ විශමතාවක් ඇති වන්නේ මෙආකාරයෙනි. අර්බුදය මේ විශමතාව සමනය කිරීමට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුල ක්‍රම වේදයක් නැති වීමය.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශමතාවන්ට දෙමව්පියන් ප්‍රථමයෙන් මුහුණ දෙන්නේ තම දරුවන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදීය. එහි දී ඇති හැකි අයට වැඩි වටිනාකමක් ඇති අධ්‍යාපනයක් සැපයේ යැයි පිළිගැනෙන පාසල් වලට තම දරුවන් ඇතුලත් කර ගත හැකි වන අතර නැති බැරි උදවියට හිමි වන්නේ ඊට වඩා අඩු වටිනා කමක් ඇතැයි පිළිගැනෙන පාසල්ය. මේ විවිධ වූ පාසල් වලින් දරුවන් ලබා ගන්නේත් එකම වටිනාකමකින් යුත් දැනුමක් නොවේ. සමහරු දේශීය විභාග වලට මුහුණ දෙන අතර තවත් සමහරු විදේශීය විභාග වලට මුහුණ දෙති. මේවායේද සමාජගත වටිනා කම් වෙනස්ය. මේ විභාග සඳහා වන උපකාරක පංතිද විවිධ මිල ගණන් වලට ඇති අතර ඒ පුහුණුව දරුවන්ට ලැබෙන්නේද දෙමව්පියන්ට ඇති හැටියෙනි. පාසල් අධ්‍යාපනය නිම කරන දරුවෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් විවිධ පාඨමාලා වලට යොමු වෙති. මේ පාඨමාලා වලටද ඇත්තේ විවිධ වටිනාකම්ය. දරුවන් මේ පාඨමාලා තෝරා ගන්නේ තම දෙමව්පියන්ට ඇති හැටියෙනි. මේ අතර සුලු කොටසක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබති. මෙතැනදී ද ඇති හැකි දෙමව්පියන් සුලු පිරිසක් තම දරුවන් විදේශ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා අතර සෙස්සන්ට හිමි වන්නේ අඩු වටිනාකමක් ඇතැයි සැලකෙන රජයේ විශ්ව විද්‍යාලය. රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන තරුණයන්ද තම ඇති හැටියෙන් අමතර පාඨමාලා වලට කාලය සහ මුදල් වැය කරන්නේ උපාධියේ වටිනාකම වැඩි කර ගැනීමටය. මේ කිසි දෙයක් කර ගැනීමට නොහැකි වත්කමක් නැති අති විශාල බහුතරයක් තම ප්‍රාර්ථනා කඩ කරගනිමින් සමාජයේ මුල්ලකට තල්ලු වෙති. පොදු සමාජය තුල ඇති විශමතාව එලෙසම අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුලද බල පවත්වන්නේ මේ අයුරිනි.

නමුත් මේ ඊනියා වටිනා කම් අතර ඇති වෙනසෙහි අතිමහත් බව හුදු මවා පෑමක් පමණි. විවිධ මිළ ගනන් වලට විකුනුනත් උසස් හෝ පහත් යැයි සැලැකන ආයතන වලින් ලබා ගත්තත් මේ ලැබෙන විවිධ අධ්‍යාපනයන්හි ගුණාත්මක බවෙහි එතරම් වෙනසක් නැත. නමුත් වටිනාකම් අතර වෙනසක් පමණක් අප රට තුල මවාගෙන ඇත. උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර පාසල් වලට ඊනියා වටිනාකමක් ලැබෙන්නේ එහි ඉංග්‍රීසියෙන් ඉගැන්වෙන නිසාත් ඊට සමාන්තරව ඉන් බටහිර සංස්කෘතික අභාෂයක් ලැබෙන නිසාත්ය. සමහර ජාත්‍යන්තර පාසල් තම වටිනාකම වැඩි කරගෙන ඇත්තේ හුදෙක්ම වැඩි ගාස්තුවක් අය කර ගනිමිනි. තවත් සමහර පාසල් තම උසස් බව කියා පෑමට සුදු ජාතික ගුරවරු යොදා ගනිති (නමුත් මෑතකදී එංගලන්තයේ හොඳම භෞතික විද්‍යා ගුරුවරයා ලෙස පිදුම් ලද්දේ ශ්‍රී ලාංකික උපාධිධාරයෙකි) අඩු තරමින් සුදු ජාතිකයකු පාසලේ උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙසවත් ගෙන්වා ගනිති. තවත් පාසල් බටහිර සංස්කෘතියේ උසස් යැයි සැලකෙන නම් වලින් හඳුනා ගනිති, අඩුම තරමින් පාසල් නිල ඇඳුමින් හෝ රජයේ පාසල්වලින් වෙනස් වීමට බලති.

නමුත් මේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමෙහි ඇත්තේ පුහු වටිනාකමකි. නිදසුනක් ලෙස රජයේ පාසලින් සිංහලෙන් ඉගෙනගෙන රජයේ සිංහල උසස් පෙළ විභාගය සමත් වී රජයේ විශ්ව විද්‍යාලයේ සිංහලෙන් උපාධිය හදාරා බටහිර රටවලට ගොස් ඊනියා වැඩි වටිනාකම් ඇතැයි සැලැකෙන රැකියා කරන අය එමට සිටිති. මොවුන්ට ලංකාවේදී ඉංග්‍රීසියෙන් ඉගෙන නොගැනීම වත් ජාත්‍යන්තර පාසල් වල ඇති බටහිර සංස්කෘතික ආභාශය නොලැබීම වත් ප්‍රශ්ණයක් වී නැත. මෙයින් පෙනෙන්නේ මේ ජාත්‍යන්තර පාසල් වල වැඩි වටිනාකමක් ලබා දෙන අධ්‍යාපනයට ජාත්‍යන්තරව එතරම් වටිනාකමක් නැති බව නොවේද? මොවුන්ට බටහිර රටක තම උපාධියට සරිලන රැකියාවක නිරත විය හැකි නම් කොළඹ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක එවැනිම රැකියාවක් ලබාගත නොහැකි වීමට හේතුවක් තිබිය හැකිද? පෞද්ගලික ව්‍යාපාරික ආයතන වල රජයේ උපාධියට අද අඩු වටිනාකමක් දෙන්නේ ඒ උපාධිධාරීන්ගේ උගත් කමේ අඩුවක් නිසා නොව ඔවුන්ට එවැනි බොහෝ ආයතනවල පවත්වාගෙන යන බටහිර සංස්කෘතික පරිසරයට අනුගත විය නොහැකිය යන පදනම මත බව රහසක් නොවේ. ඇතමෙක් රජයේ විශ්ව විද්‍යාලවල තත්වය උසස් කරන්නට යොජනා කරන්නේද අවසානයේ ගත් කල බටහිර සංස්කෘතික පරිසරයට අනුගත විය හැකි පුහුණුවක් උපාධි අපේක්‍ෂකයන්ට ලබා දීම මඟිනි. මෙවැනි පුහුණුවකින් උපාධි අධ්‍යාපනයේ වටිනාකම වැඩිවේ යැයි අප පිළිගත යුතුද?

මූලිකවම මේ ඊනියා වටිනාකම් දෙන්නේ අධ්‍යාපන විකුණන ආයතන මඟින්ය. නමුත් මේ විශමතාවට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ අප රටේ දෙමව්පියන්ය. ඔවුන් බහුතරයක් පවතින සමාජ සම්මතයට අනුව ක්‍රියා කරමින් හැකි පමණින් උසස් යැයි සැලකෙන අධ්‍යාපනයක් තම දරුවන්ට ලබා දෙනවා මිස අසම්මත වූ තීරණ තම දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගන්නේ නැත. එහි වරදක් කිව නොහැක. පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපනය අද රටේ හොඳ ජාවාරමක් වී ඇත්තේ මේ නිසාය. කෙසේ වෙතත් දෙමව්පියන්ගේ මේ ආකල්ප අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති විශමතාව තවත් වර්ධනය වීමට සෘජුවම බලපාන බව කිව යුතුය. මේ ඊනියා වටිනාකම් ලබා ගැනීමට අති මහත් මුදලක් වැය කරමින් දෙමව්පියනුත් දරුවනුත් පීඩා විඳිති. එපමණක් නොවේ මේ ආයතන වලින් ලබා දෙන සංස්කෘතික ආභාෂය නිසා දෙමව්පියන් සහ දරුවන් අතර ඇති වන පරතරයද සුළුකොට තැකිය යුතු නොවේ.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අර්බුදයක් හටගෙන ඇත්තේ මේ විශමතාවන් සමනය කිරීමට එම ක්‍ෂේත්‍රය තුල ක්‍රියාදාමයක් නොමැති වීමය. මීට ගත හැකි එක් ක්‍රියා මර්ගයක් නම් අධ්‍යාපන ගමණේ තීරණාත්මක අවස්ථාවල රටේ සියලු සිසුන් එකම විභාගයට වලට මුහුණ දීමට සැලැස්වා ප්‍රමිති කරණයට ලක් කිරීමය. මෙවැනි අවස්ථා දෙකක් හඳුනා ගත හැකිය. එකක් පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාලයට ඇතුල් වන අවස්ථාවය. අනික උසස් අධ්‍යාපනය නිම වී රැකියාවකට අයදුම් කරන අවස්ථාවය.

අද රජයේ අ.පො.ස උසස් පෙල විභාගය සිසුන් විශ්ව විද්‍යාලයට තෝරා ගැනීම සඳහා යොදා ගත්තත් ඉන් සාධාරණයක් ඉටු වේ යැයි කිව නොහැකිය. ඊට හේතුව විවිධ වටිනාකම් ඇති පාසල් අධ්‍යාපනය සපයන ආයතනත් විවිධ වටිනාකම් ඇති විශ්ව විද්‍යාලත් තිබීමය. සමහර පාසල් රජයේ අ.පො.ස උසස් පෙල විශය නිර්දේශය අනුගමනය කරන අතර සමහරක් විදේශීය (ලංඩනයේ) විශය නිර්දේශය අනුගමනය කරති. මේ නිසා විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේදී පෞද්ගලික හා රජයේ විශ්ව විද්‍යාල අනුගමණය කරන්නේද එකම ප්‍රතිපත්ථියක් නොවේ.

මේ විශමතාවට එක් පිළියමක් නම් සියලු විශ්ව විද්‍යල සඳහා එක් ප්‍රවේශ විභාගයක් පැවැත්වීමය. අද ලංකාවේ සහ එංගලන්තයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගැනීම සඳහා අ.පො.ස උසස් පෙල විභාගය උපයෝගී කර ගත්තත් ලෝකයේ බොහෝ රටවල භාවිතා වන්නේ ද්වීතියික පාසල් අවසානයේ පැවැත්වෙන විභාගය නොව ඊට අමතරව පැවැත්වෙන විශ්ව විද්‍යල ප්‍රවේශ විභාගයක් බව කිව යුතුය. ඒ අනුව දොලොස් වසර දක්වා සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තත් දේශීය හෝ විදේශීය විශය නිර්දේශය අනුගමනය කලත් සියලු රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගත යුත්තේ උසස් පෙල විභාගයට අමතරව පැවැත්වෙන පොදු විශ්ව විද්‍යල ප්‍රවේශ විභාගයක ප්‍රථිපල පදනම් කරගෙනය. මේ ප්‍රවේශ විභාග සෘජුවම විශ්ව විද්‍යාල පාඨමාලා වලට අනුකූලව සකස් කර ගත හැකිය. ඒ අනුව වෛද්‍ය විද්‍යා අංශයට ඇතුලත් වීමට එක් විභාගයකුත් කළමනාකරණ අංශයට ඇතුලත් වීමට එක් විභාගයකුත් ආදී වශයෙන් යොදා ගත හැකිය. අද පවතින ක්‍රමයට අනුව දහය වසරේ සිට විශ්ව විද්‍යාල අවසානය දක්වා යම් සිසුවකු ඉගෙන ගන්නේ ඉතා සීමිත විශයන් ගණනකි. නමුත් විශ්ව විද්‍යල ප්‍රවේශ විභාග ක්‍රමය නිසා අ.පො.ස උසස් පෙල අධ්‍යාපනයේ ඇති තරඟකාරිත්වය නැතිවී එහි විශය පථයද පුළුල් කර ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. ඊට අනුකූලව සිසුවෙකුට අයැදුම් කල හැකි විකල්ප විශ්ව විද්‍යාල පාඨමාලා වලටද විවිධත්වයක් ලැබෙනු ඇත. ප්‍රවේශ විභාග සෘජුවම විශ්ව විද්‍යාල පාඨමාලා වලට අනුකූල නිසා අද මෙන් උසස් පෙල විවිධ විශයන්ට පෙනී සිටි සිසුන් ගේ ලකුණු සමබර කිරීමේ අවශ්‍යතාවක් පැන නඟින්නේ නැත. රටේ ඕනෑම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට එකම විශ්ව විද්‍යල ප්‍රවේශ විභාගයක් යොදා ගන්නා නිසා රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල අතර ඇති විශමතාවද තරමක් සංසිඳෙනු ඇත. උදාහරණයක් වශයෙන් රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේදී භාවිතාවන දිස්ත්‍රික්ක පදනම සියලුම විශ්ව විද්‍යාල වලටද අදාල කල හැකිය.

මීට අමතරව උපාධිධාරීන් රැකියා වලට බඳවා ගැනීමේදීද තෝරා ගත් විවිධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රමිතිකරණ විභාග යොදා ගත හැකිය. උදාහරණයක් වශයෙන් ආධුනිකත්ව පුහුණුව සඳහා තෝරා ගැනීමේදී සියලු වෛද්‍ය උපාධිධාරීන් එකම විභාගයකට මුහුණ දීමට සැලැස්ස වීමෙන් පෞද්ගලික හා රජයේ වෛද්‍ය විද්‍යා පීඨ වල ඇතැයි සැලැකෙන විශමතාවන් අවම කර ගැනීමට අවස්ථාවක් සැලසෙනු ඇත. පරිගණක ක්‍ෂේත්‍රයේද මෙවැනි ප්‍රමිතිගත විභාග පැවැත්විය හැකි නම් විවිධ පරිගණක පාඨමාලා අතර යම් සමානතාවක් ලබා ගත හැකි වනු ඇත. රටේ විවිධ ක්‍ෂේත්‍රවල ආධුනික කළමනාකරුවන් බඳවා ගැනීමේදීද මෙවැනි ප්‍රමිතිගත විභාගයක් යොදා ගත හැකිය.

ද්වීතියික අධ්‍යාපනය අවසානයේත් උසස් අධ්‍යාපනය අවසානයේත් පැවැත්විය හැකි ප්‍රමිතිකරණ විභාග මඟින් විවිධ ආයතන වලින් ලබාදෙන අධ්‍යාපන වලට සමාජයේ සම්මත වී ඇති විවිධ වටිනාකම් යම් පමණකට සමනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග ඇති කිරීමෙන් අපොස උසස් පෙල විභාගයේ ඇති තරඟකාරිත්වය නැතිවනු ඇත. මේ හේතුව නිසා දොලොස් වසර දක්වා උගන්වන විශයන් ගණන වැඩි කර ගැනීමට ඉඩ ලැබෙන අතර ඉන් මතු අධ්‍යාපනයෙන් සමුගන්නා සිසුන්ට ඒ දක්වා ලබන අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ලැබෙන පරිදි විශය පථ පුළුල් කර ගත හැකි වනු ඇත. පශ්චාත් උපාධි ප්‍රමිතිකරණ විභාග පැවැත්වීම නිසා විශ්ව විද්‍යාල සිසුන්ට තමන්ගේ උපාධියේ වටිනාකම වැඩි කර ගැනීම සඳහා අමතර ඩිප්ලෝමා සහතික ලබා ගැනීම අනිවාර්ය නොවනු ඇත. සිදුවිය යුත්තේ මේ විභාග සඳහා පුහුණුවක් විශ්ව විද්‍යාල තුලින්ම ලබා ගත හැකි පරිදි දැනට පවතින දෘඪ අධ්‍යාපන ධාරා ලිහිල් කොට විශය විකල්පයන් ඇති කිරීමය. මේ ආකාරයට රටේ පෞද්ගලික ව්‍යාපාර වලින් ඉල්ලුම් කරන දැනුමටත් එහා දැනුමක් ඇති උපාධිධාරීන් බිහි කිරීමට දැනටමත් මෙරට රජයේ විශ්ව විද්‍යාල වලට කිසිදු නොහැකියාවක් හෝ බාධාවක් නැත.

ප්‍රමිතිකරණ විභාග හරහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති විශමතාවන් යම් දුරකට සමනය වනු ඇත. නමුත් එය ප්‍රශ්ණ විසඳීමක් නොව කළමණාකරණයකි. ඉන් කෙරෙන්නේ තරඟයට සහභාගී වන සියලු දෙනා පොදු නීති රීති පද්ධතියකට යට කිරීම මිස තරඟය නතර කිරීම නොවේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති තරඟයට තුඩු දෙන විවිධ අධ්‍යාපන ආයතන අතර ඇති මහා වෙනස හුදු මවා පෑමක් බව මුලින් සඳහන් විනි. මේ මවා පෑම කරනු ලබන්නේ මූලික වශයෙන් ඊනියා ජාත්‍යාන්තර පාසල් සහ බටහිර රටවල විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල මඟින් සහ සුළු වශයෙන් විවිධ පාඨමාලා උගන්වන ආයතන මඟින්ය. මේ ආයතන මඟින් ලබා දෙන අධ්‍යාපන වලට ඊනියා වැඩි වටිනාකමක් මවාගෙන ඇත්තේ ඒවායේ ඉංග්‍රීසියෙන් ඉගැන්වෙන නිසාත් ඉන් බටහිර සංස්කෘතික ආභාශයක් ලැබෙන නිසාත් මිස ගුණාත්මක බවක් නිසා නොවේ. මේ මවා පෑම නිසා වැඩියෙන්ම පීඩාවට ලක් වන්නේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යපනය ලබන දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ය. මේ මවා ගත් වෙනස නැති කල හැක්කේ රටේ ආකල්ප වෙනස් කිරීමෙන් පමණි. නිර්දිශ්ටවම ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමේත් ඊට සමාන්තරව බටහිර සංස්කෘතික අනුකරණයේත් අධ්‍යාපනික වටිනාකමක් නැති බව සමාජයට ඒත්තු ගැන්විය යුතුය. මෙය දේශ පාලනඥයින්ට කල නොහැකිය. ඔවුන් බොහෝ දෙනෙකුට කළ හැක්කේ වැඩිම වශයෙන් හොඳ කළමනාකරුවන් වීමට මිස ජනතාවට නායකත්වයක් දීමට නොවේ. එය ඔවුන්ගේ වරදක් නොව බටහිර දේශපාලන ආයතනවලම ස්වභාවයය. නමුත් රජයට ඒ වෙනුවෙන් කල හැකි දෙයක් ඇත. එනම් දැනටමත් යෝජනා වී ඇති පරිදි ජාත්‍යාන්තර පාසල් සමඟ තරඟ කල හැකි ප්‍රාථමික හා ද්විතීයික පාසල් රට පුරා පිහිටුවීමය.

තවම අප රටේ පාසල් අධ්‍යාපනය අප සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී නැත. කැම්පස් සංස්කෘතියේ මෙන් නොව එහි ගුරුවරු දරුවන් යහ මඟ යැවීම තම වගකීම ලෙස සලකති. දරුවෝද ගුරුවරුන්ට ගෞරව පූර්වක වෙති. පාසලේ පරිසරය පංසලේ පරිසරයෙන් වඩා ඈත් නොවේ. මේ නිසා බොහෝ ප්‍රාථමික හා ද්විතීයික පාසල් තවමත් ඇත්තේ රටේ හදවතට කිට්ටුවෙන්ය. නව පාසල් ඇති කල යුත්තේද මේ පාසල් සංස්කෘතිය එලෙසම හෝ ඊටත් වඩා හොඳින් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගත වෙන ආකාරයටය. ඒ පාසල් ජාත්‍යාන්තර පාසල් සමඟ තරඟ කල යුත්තේ ඉංග්‍රීසියෙන් ඉගැන්වීමෙන් වත් බටහිර සංස්කෘතික ආභාශයක් ලබාදීමෙන්වත් නොවේ. නමුත් ඒවාට ජාත්‍යාන්තර පාසල් වලට වඩා රටේ පිළිගැනීමක් ලබා දිය යුතුය. එය කලහැකි නොයෙක් ආකාර වේ. ප්‍රථමයෙන් ඒ පාසල් වලට නවීන පහසුකම් ලබා දිය යතුය. කැප වීමකින් වැඩ කරන ගුරු මණ්ඩලයක් සහ නායකත්වයක් ලබා දිය හැකි දක්‍ෂ විදුහල්පති වරයෙක් ලබා දිය යුතුය. ඔවුන්ට හොඳ වැටුපක් ගෙවිය යුතුය. එහි අධ්‍යාපනය පෝෂණය කිරීම සඳහා රටේ අනිකුත් විද්වතුන්ගේ ස්වේච්ඡා සහය ලබා ගත යුතුය. අවසානයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග වලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත යුතුය. මෙවැනි සුපිරි පාසල් කිහිපයක් දැනටමත් ප්‍රධාන නගරවල ඇත. කල යුත්තේ එවැනි පාසල් ගණනින් වැඩි කිරීමය. සුපිරි වීමේ බලාපොරොත්තුවෙන් එහි ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට වත් ආයාසයෙන් බටහිර සංස්කෘතික ආභාශයක් ලබාදීමට වත් නොයා යුතුය. කල යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතික පරිසරයක හිඳිමින් වැඩි වටිනාකමක් ඇතැයි සමාජයේ පිළිගැනෙන අධ්‍යාපනයක් දීම පමණි.

ජානක වංශපුර

Sunday, 5 August 2012

නිල අධ්‍යාපනය

මෙරට තරම් බණ කියන බණ අසන තවත් රටක් ලෝකයේ නැත. අනෙක් කිසිම බෞද්ධ රටක අප රටේ තරම් ධර්ම දේශනා නො පැවැත්වෙයි. පන්සල් යන බෞද්ධයන් පොහෝ දින සිල් සමාදන්වන බෞද්ධයන් සංඛ්‍යාව අවුරුදු පතා සුළුවෙන් නමුත් වැඩිවනු මිස අඩුවනු දකින්නට නැත. තම දරුවන් දහම් පාසල්වලට යැවීමට බොහෝ බෞද්ධ දෙමව්පියෝ කටයුතු කරති. ඊනියා සමාජයීය විද්‍යාඥයෝ, දෙමළ ජාතිවාදීහු, රාජ්‍ය නොවන සංවිධානවල කුලීකාර ලියන්නෝ, කසිකබල් මාක්ස්වාදීහු, පශ්චාත් මාක්ස්වාදීහු, පශ්චාත් නූතනවාදීහු ආදී සමාජයේ විද්වතුන් (විඤ්ඤූන්) ලෙස පිළිගැනේනෝ මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ඇතැයි කියති. එහෙත් මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් නැතිවා පමණක් නොව 1815න් පසුව මෙරට සිංහල බෞද්ධ රටක්වත් නො වේ. මෙරට වැඩි බලයක් ඇත්තේ මහානායක හිමිවරුන්ට ද එසේත් නැත්නම් කාදිනල්තුමා හා වෙනත් ක්‍රිස්තියානි සභාවල නායක පූජකවරුන්ට ද? පසුගිය කාලයේ ඇති වූ සිද්ධිවලින් පෙනී යන්නේ ආණ්ඩුව මහානායක හිමිවරුන්ගේ අනුශාසනාවලට වඩා කාදිනල්තුමාගේ ප්‍රකාශවලට ගරුකරන බව ය. පසුගිය දිනවල එක්තරා සිද්ධියක දී අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී කාදිනල් තුමා ප්‍රකාශ කළේ ඒ පුද්ගලයන් නිදහස් කර චෝදනා අස්කර ගත්තේ නැත්නම් තමන් රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ය. එය නීතිය ඉක්මවා කළ ප්‍රකාශයක් බව හෝ නීතිය අතට ගැනීමක් බව හෝ තර්ජනයක් හෝ යැයි කිසිදු පඬියකු කී බවක් මම නො දනිමි. කෙසේ වෙතත් ආණ්ඩුව කාදිනල්තුමාට අවනත විය. අපේ මහානායක හිමිවරුන් කිසි දා ආණ්ඩුවේ වගකිව යුත්තන්ට එවැනි ප්‍රකාශ නොකරන්නේ ඇයි?

භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යෑම (එයට වැඩම කිරීම යැයි කිව හැකි ද?) සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව කෙරුණක් නො වේ. එයට විරුද්ධව එකල ම මම මැතිවරණය හා හාමුදුරුවෝ යන මැයෙන් පොත් පිංචක් ද ලියා ප්‍රසිද්ධ කළෙමි. එහෙත් භික්‍ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු යන්නේ ද නැත් ද යන්න තීරණය කළ යුත්තේ උන්වහන්සේ ම මිස පාර්ලිමේන්තුව නො වේ. භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත්වන විට ම උන්වහන්සේ සඟ විනයට යටත් වෙති. මෙරට සඟ විනය කුමක් දැයි තීරණය කරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බිහි වූ පාර්ලිමේන්තුව ද? මහානායක හිමිවරුන් කළ යුත්තේ කුමක් දැයි කීමට තරම් මම සුදුස්සෙක් නො වෙමි. උන්වහන්සේ ම ඒ පිළිබඳ තීරණයක් ගනිත්වා! එහෙත් ඒ තීරණය කාදිනල්තුමාගේ ප්‍රකාශ අහළින් තැබීමටවත් නොහැකි වන බව නම් මම දනිමි. පඬියන් කියන ආකාරයට මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් තිබේ නම් මෙවැනි ක්‍රියා සිදුවන්නේ කෙසේ ද?

අද මෙරට ප්‍රධාන ප්‍රශ්නය දෙමළ ජනයාට කෙරෙන ඊනියා අසාධාරණයක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු තැන තවමත් නො ලැබීම ය. 1506න් පසුව මුහුදුකරයේවත් 1815න් පසුව රට අභ්‍යන්තරයේවත් ඒ තැන ලැබී නැත. සිංහලයන් ඒ තැන ලබාගැනීමට ක්‍රියා කිරීම පඬියෝ සිංහල ජාතිවාදය, බෞද්ධ අන්තවාදය ආදී බටහිර සංකල්ප යොදා ගනිමින් හඳුන්වති. ඊනියා උඩරට ගිවිසුම ලෙස හැඳින්වෙන 1815 සිංහල –- ඉංගිරිසි ගිවිසුම මගින් ඉංගිරිසි රජු වෙනුවෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා බුදුසසුන රැකීමටත් සිංහල නීතිය අනුව රට කරවීමටත් පොරොන්දු විය. ඒ ගිවිසුමට එදා එංගලන්ත පාර්ලිමේන්තුවේ දැඩි විරෝධතාවක් මතුවූයේ ක්‍රිස්තියානි තුන්වැනි ජෝර්ජ් රජු මිථ්‍යාදෘෂ්ටික ආගමක් රුකීමට පොරොන්දු වූ බැවිනි. එදා භික්‍ෂූන් වහන්සේ ඒ වගන්ති දෙක සිංහල –- ඉංගිරිසි ගිවිසුමට ඇතුළත් කරවීමට කටයුතු කළ බව නිසැක ය. එහෙත් ඉංගිරිසිහු තම ජඩ බව හෙළි දරවු කරමින් ඒ ගිවිසුම කැඩූහ. ඔවුහු අවශ්‍ය වූ විට හිත්පිත් නැති වධකයන්් ලෙස ද තවත් විටෙක සියුම් ව ද කටයුතු කරති. ඔවුන් ගිවිසුමට අත්සන් කළේ එසේ නොකර බැවින් මිස ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් නො වේ. ඔවුහු ගිවිසුම කඩාදැමීමෙන් නොනැවති ක්‍රම ක්‍රමයෙන් භික්‍ෂූන් වහන්සේගේ කොන්ද කඩා දැමීමට ද කටයුතු කළහ. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා දැන සිටි දෙයක් නම් භික්‍ෂූන් වහන්සේ හා ගිහියන් අතර ඇති සම්බන්ධය තිබෙනතාක් සිංහල බෞද්ධයන් ආධ්‍යාත්මික ව වැට්ටවීමට නොහැකි බව ය. මේ සම්බන්ධයෙහි ප්‍රධාන කරුණක් වූයේ භික්‍ෂූන් වහන්සේ කාළාම සූත්‍රයෙහි කියැවෙන දැන උගත් විඤ්ඤූන් ලෙස සැලකීම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන අංගයක් වීම ය.

භික්‍ෂූන් වහන්සේ වෙනුවට වෙනත් පිරිසක් විඤ්ඤූන් බවට පත්කිරීමට ඉංගිරිසිහු කටයුතු කළහ. ඒ බිෂොප්වරුන් හා ඉංගිරිසියෙන් ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලත් අය ය. ඉංගිරිසින් මෙරට පාසල් ඇති කළේ ම ඒ පරමාර්ථයෙනි. 1815ට පෙර ද ලන්දේසීහු අධ්‍යාපනය ඔස්සේ එවැනි විඤ්ඤූන් ඇතිකිරීමට උත්සාහ ගත් නමුත් අසාර්ථක වූහ. එහෙත් ඉංගිරිසිහු ඉතා සාර්ථක ව තම අරමුණ ඉටුකරගත්හ. මෙරට අද ක්‍රියාත්මක වන පාසල් හා සරසවි අධ්‍යාපනය සිංහල බෞද්ධ විරෝධී වෙයි. එය වර්ධනය කිරීමෙන් සිදුවන්නේ සිංහල බෞද්ධයනට හා සංස්කෘතියට මෙරට හිමි තැන තව තවත් නැතිවීම පමණකි. නායක පදවි පිරිනැමීමේ දී අක්තපත්‍රයෙහි ඒ පදවියෙන් පිදුම් ලබන භික්‍ෂූන් වහන්සේ රාජ්‍ය විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඉංගිරිසින්ට ඔත්තු සපයන බවට ද ප්‍රකාශයක් විය. ඒ ප්‍රකාශය අද ද ඉවත් කෙරී නොමැති බව මගේ අදහස ය. කෙසේ වෙතත් මේ සියළු දෙයින් කෙරුණේ භික්‍ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත්කිරීම ය. අද උන්වහන්සේ බණට, පාංශුකූලයට, පිරිතට, දානයට හා වෙනත් එවැනි පරලොවට සම්බන්ධ පිංකම්වලට පමණක් සීමා වී ඇත. මෙලොවට සම්බන්ධ පිංකම් ද වෙයි. මෙලොව ජීවිතය වැඩදායක ලෙස පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද යන්න ජනතාවට කියා දුන්නේත් විඤ්ඤූන් ලෙස නායකත්වය දුන්නේත් භික්‍ෂූන් වහන්සේ ය. අද පාසල් අධ්‍යාපනය මගින් උන්වහන්සේ එතැනින් ඉවත් කෙරී ඇත.

අද පිරිවෙන් අධ්‍යාපනය යනුවෙන් කිවහැකි සුවිශේෂ අධ්‍යාපනයක් නැත. විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් බටහිර අච්චුවේ විශ්වවිද්‍යාල බවට පත්කිරීමෙන් පසුව සියළු පිරිවෙන්වල අධ්‍යාපනය ක්‍රම ක්‍රමයෙන් කඩා වැටිණි. එදා පිරිවෙනෙන් බිහි වූ පඬිවරුන් වහන්සේ අද බිහි නො වෙති. එමගින් භික්‍ෂූ පරපුරට වූ හානිය සුළුපටු නො වේ. දහම් පාසල් ද ක්‍රියාත්මක වනුයේ බටහිර ක්‍රිස්තියානි ආකෘතියෙහි ය. එහි පුදුමයක් නැත්තේ ඕල්කට්තුමා එදා ඉරිදා පාසල් ඇති කළේ ම ක්‍රිස්තියානි ආකෘතියෙහි වීම ය. මැටි පහන වෙනුවට ඉටිපන්දම් බකට් පහන් හඳුන්වා දුන් ඕල්කට්තුමා නිසා අපට කිසි දිනෙක මෙරට බෞද්ධ පාසල් ඇතිකර ගැනීමට නො හැකි විය. අප ඇති කළේ බෞද්ධ ආලේපය තැවරූ ක්‍රිස්තියානි පාසල් ය. ඕල්කට්තුමාට ඉංගිරිසින්ගේ හා ඕල්කට් බෞද්ධයන්ගේ සහායෙන් ධර්මපාලතුමා හා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් පැරදවීමට හැකිවීම මෙරට ඛෙදජනකයක් විය. පාණදුරා වාදයෙන් ඇති වූ බෞද්ධ පුනර්ජිවනය ඒ හේතුවෙන් ම මෙරටට පැමිණි ඕල්කට්තුමා විසින් පීළිපන්නනු ලැබිණි. එකල අප ජීවත්වූයේ ක්‍රිස්තියානි යටත්විජිතයක නිසා ක්‍රිස්තියානි අධ්‍යාපනය මෙරටට රිංගීම පුදුමයක් නො වේ යැයි කිසිවකු කියනු ඇත. එහෙත් අපට එම ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් අවශෝෂණය කළහැකි යමක් වී නම් එසේ කරමින් වෙනත් දිශාවකට ගමන් කරන විකල්ප බෞද්ධ අධ්‍යාපනයක් ඇතිකර ගැනීමට මූලික පියවර ගැනීමටවත් නොහැකිවීම කණගාටුදායක ය. මෙම ක්‍රිස්තියානි අධ්‍යාපනයේ ආදීනව බෞද්ධයන් නොදැක්කා නො වේ. ඔවුන් පෞද්ගලික පාසල් රජයට ගෙන ආගමික නොවන අධ්‍යාපනයක් ඇති කිරීමට බෞද්ධ කොමිෂන් සභාව මගින් ද ඉල්ලා සිටියේ එබැවිනි. එහෙත් බෞද්ධයන් අද මෙන් ම එකල ද නොදැන සිටි කරුණ නම් රජයේ පාසල්වල ද ලැබෙන්නේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් බව ය. එහෙත් එවැනි ක්‍රිස්තියානි අධ්‍යාපනයකට ද කතෝලික සභාව විරුද්ධ විය. ප්‍රධාන පූජකවරුන්ට අවශ්‍ය වූයේ තමන් යටතේ ම සෘජු ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීමට ය. පාසල් රජයට ගැනීමට ගිය විට ඔවුහු හා ප්‍රභූ කතෝලිකයෝ සාමාන්‍ය කතෝලික ජනයා ආණ්ඩුවට විරුද්ධව උසි ගැන්වූහ. සාමාන්‍ය ජනයා පාසල්වල ලැගුම් ගත්හ. එහෙත් ප්‍රධාන පූජකවරුන්ගේ හා ප්‍රභූ කතෝලිකයන්ගේ විරෝධය හමුවේ බණ්ඩාරනායක මැතිණිය නොසැලී සිටියා ය. පාසල් කිහිපයක් හැරෙන්නට ඉතිරි පාසල් රජයට ගනු ලැබිණි. ප්‍රභූවරු එතුමියගේ ආණ්ඩුව පෙරළීමට අබෞද්ධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළහ. අපරාධ කරුවන්ට මෙරට අධිකරණයෙන් දඬුවම් නියම කෙරුණ ද එංගලන්තයේ සාමි මණ්ත්‍රණ සභා අධිකරණයෙන් තාක්‍ෂණික හේතු මත ඔවුහු නිිදහස් කරනු ලැබුණහ. පාසල් රජයට ගැනීමෙන් එතරම් වැඩක් නොවූයේ සමස්ත අධ්‍යාපනය ම බටහිර ක්‍රිස්තියානි වීම නිසා ය. මෙරට ගුරුදෙවියන් වූ භික්‍ෂූන් වහන්සේ අවසානයේ දී පාංශුකූලයට හා වෙනත් ලෝකෝත්තර පිංකම් කිහිපයකට පමණක් සීමා වී ඇත්තේ මේ තකතීරු විජාතික ඔළමොට්ටල අධ්‍යාපනය හේතුකොටගෙන ය. මේ අධ්‍යාපනයෙන් සිදුවන දෙය කිහිප දෙනකුට සමාජ හිණිමගේ ඉහළට යෑමට ලැබීම හා වැඩි දෙනකුගේ මොළ සෝදා ඔවුන් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි කිරීම ය. ඔවුන්ට ලෞකික වශයෙන් භික්‍ෂූන් වහන්සේ අවශ්‍ය නො වේ. බ්‍රවුන්රිග්ට අවශ්‍ය වූ දෙය 1815න්් අවුරුදු දෙසියයකට පසු සිදු වී ඇත. අප 2015 ට පය නැගිය යුත්තේ මෙය වෙනස් කිරීමට අදිටන් කර ගනිමිනි.

අද අවශ්‍ය වන්නේ නැවතත් භික්‍ෂූන් වහන්සේ මෙරට ගුරු දෙවිවරුන්, විඤ්ඤූන් බවට පත්කර ගැනීම ය. ඒ සඳහා කළ යුතු කාර්යයන් රැසක් වෙයි. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබ රටේ විඤ්ඤූන් බවට පත්ව කාළාම සූත්‍රය ද ඊනියා විද්‍යාත්මක අයුරෙන් අර්ථදක්වන පුහු අනුකාරකයන් කවුදැයි හඳුන්වා දිය යුූතුව ඇත. බටහිරයන්ගේ මතිමතාන්තර තමන්ට තේරෙන ආකාරයට ඉංගිරිසියෙන් කියවා එය සිංහලෙන් ප්‍රකාශ කිරීම හැර වෙනත් දෙයක් කිරීමට මේ අනුකාරකයෝ නො දනිති. එහෙත් ඔවුහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයෙහි බලයෙන් මෙරට විඤ්ඤූන් බවට පත් ව සිටිති. ඔවුහු අපේ දැනුම මිථ්‍යාවක් යැයි කියති. මොවුන්ගෙන් පසුගිය අවුරුදු එකසිය හැත්තෑපහක පමණ කාලයක් තිසසේ රටට සිදු වී ඇති යහපත කුමක් ද? මේ රට ආශ්චර්යයක් වූයේ භික්‍ෂූන් වහන්සේ මෙරට විඤ්ඤූන් ව සිටි සමයෙහි ද, එසේත් නැත්නම් බටහිර යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබූ අනුකාරකයන් විඤ්ඤූන් බවට පත් සමයෙහි ද? භික්‍ෂූන් වහන්සේ මේ අධ්‍යාපනය මගින් බිය කෙරී ඇත. මේ බිය නැති කළ යුතු ය. බටහිර විද්‍යාව ද ඇතුළත් බටහිර දැනුම බෞද්ධ දැනුම හමුවේ හිරු දුටු කදෝ පැණියකු පමණක් වෙයි.