Main Logo

Saturday 25 August 2012

අධ්‍යාපනයේ අර්බුදය හා සම්මේලනයේ අර්බුදය

මූලික වශයෙන් ඇතැම් ගුරු සංගම්, ජඩමාධ්‍යවේදීන්, මහාචාර්ය තටිල් මහතා හා වෙනත් අය විසින් ඇති කරනු ලැනූ ඉසෙඩ් ලකුණු අර්බුදය තවමත් විසඳී නැත. අද අර්බුදය ඇති වී තිබෙන්නේ තටිල් ක්‍රමය අනුව පැරණි හා නව නිර්දේශ සඳහා ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර ඒ ලකුණු අනුපිළිවෙළින් එක් ලැයිස්තුවකට ඇතුළත් කිරීම හේතුකොට ගෙන ය. ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් සඳහන් කෙරී ඇත්තේ තම තීන්දුව අනුව බලධාරීන් ක්‍රියාකර නොමැති බව ය. වෙන වෙන ම ගණනය කරන ලද ඉසෙඩ් ලකුණු අනුව සිසුන් ඇතුළත් කරගන්නේ කිනම් අයුරෙන් දැයි ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවෙන් කියැවී ඇත්දැයි මම නො දනිමිි. කෙසේ වෙතත් පසුගිය වසරවල ප්‍රථම වරට පෙනී සිටි සිසුන් හා නැවත පෙනී සිටි සිසුන් විශ්වවවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී නියෝජනය වූ ප්‍රතිශත හැකිතාක් දුරට අනුගමනය කරමින් සිසුන් විශ්වවිිදාලවලට ඇතුළත් කිරීම පිළිබඳ ක්‍රමවේදයක් සකස්කර ගැනීමට තටිල් ක්‍රමයෙන් නොහැකි බව පැහැදිළි ය. අද අර්බුදය පැන නැගී ඇත්තේ ඒ හේතුවෙනි. එහෙත් මෙහි දී කිසිවකු කියනු ඇත්තේ තටිල් ක්‍රමය නිවැරදී බවත් පසුගිය වසරවල යොදාගත් ක්‍රමයෙහි යම් වරදක් සිිදු වී ඇති බවත් ය. මෙවර ප්‍රථම වරට පෙනී සිටි සිසුන්ගේ හා නැවත පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර පසුව අනුපිළිවෙළ අනුව එක් ලැයිස්තුවකට ඇතුළත් කෙරුණු අතර පසුගිය වසර කිහිපයෙහි පළමුව ලකුණු එක් ලැයිස්තුවකට ගෙන පසුව ඉසෙඩ් ලකුණු ගණනය කෙරී ඇත. පළමුව කළ යුත්තේ වෙන වෙන ම ඉසෙඩ් ලකුණු ගණනය කිරීම ද එසේත් නැත්නම් එක් ලැයිස්තුවකට ගැනීම ද? ඉතා පැහැදිළිව ඒ කුමවේද දෙක මගින් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය නො වේ. බටහිර ගණිතයෙහි කියැවෙන ආකාරයට නම් ඒ කර්ම දෙක න්‍යාදේශ්‍ය නො වේ. ඒ කුමක් වුවත් මේ සිසුන්ගේ කරුමයකි. මේ තීරුවෙන් සති කිහිපයකට පෙර සඳහන් කෙරුණු අයුරෙන් මෙයින්් සිදුවන්නේ උසාවියේ නඩු වැළක් පැවරීම පමණකි. මෙයින් පැහැදිළි වන කරුණ නම් සිසුන්ගේ ඊනියා දක්‍ෂතා මැනීමට අනන්‍ය වූ ක්‍රමයක් ලකුණු ඔස්සේ සකස්කර ගත නොහැකි බව ය. ලකුණු යනු සාපේක්‍ෂ වූ ද අභිමත වූ ද දර්ශක පමණක් වෙයි. එහෙත් බටහිරයන් විසින් ඒ නිරපේක්‍ෂ ලෙස ගැනීමට අප පුරුදු කෙරී ඇත.

මෙය අධ්‍යාපනය සම්බන්ධ පරීක්‍ෂණවලට පමණක් බලපවත්වන එකක් නො වේ. ක්‍රිඩා තරගවලදී ද එය බලපැවැත්වෙයි. අද බෙහෙවින් ජනප්‍රිය වී ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ පිටියේ මායිමට බිම නොවැදී උඩින් යන පන්දුවක් වෙනුවෙන් ලකුණු හයක් ද බිම වැදී යන පන්දුවක් වෙනුවෙන් ලකුණු හතරක් ද පිතිකරුවාට ලැබෙයි. මේ ලකුණු එසේ විය යුතු යැයි තීරණය කළේ කවු ද? ඒ නිරපේක්‍ෂ ලකුණු නො වේ. යම් අයුරකින් ඒ ලකුණු අට හා හය යනුවෙන් පිළිවෙළින් වෙනස් කරනු ලැබී යැයි සළකන්න. එවිට තරගවල ජය පරාජ පිළිබඳ වෙනස්කම් ද ඇතිවනු ඇත. රගර් ක්‍රීඩාවේ ද තත්වය එසේම ය. ඇතැම් බටහිර ක්‍රීඩා පිළිබඳ ජය පරාජය තීරණය වන්නේ ලකුණු දීමේ අභිමත ක්‍රමයක් මත පදනම් වී ය. කෙසේ වුවත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරමේ ක්‍රමවේද රාශියක් ඇති බැවින් හා අද ප්‍රශ්නය ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති හෙයින් ඉසෙඩ් ලකුණු ගණනය කිරීම පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව මත පිහිටා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ ක්‍රමවේදය පිළිබඳ නියෝගයක් ද භ්‍රෙෂ්ඨාධිකරණයෙන් ම ලබාගැනීමට නීතියෙන් ඉඩක් ඇත්දැයි සොයා බැලිය යුතු ය.

අද අධ්‍යාපනයේ අර්බුදය මේ ප්‍රශ්නයෙන් ම පැහැදිළි වෙයි. සමාජයේ ඉහළ යෑම (සමාජ සංචලනය) සඳහා අධ්‍යාපනය යොදා ගැනෙන විට මෙවැනි ප්‍රශ්න ඇතිවීම වැළැක්විය හැකි නො වේ. මෙය බටහිර නූතනත්වයේ ප්‍රශ්නයකි. එහෙත් අපට එසේ කියා ගැලවී යා නො හැකි ය. නූතනත්වය වෙනස් කරන තුරු (එය ඊනියා පශ්චාත්නූතනත්වය නො වේ) සිසුන්ට බලා සිටීමට කිව හැකි නො වේ. ඔවුන්ට අද ම විසඳුමක් අවශ්‍ය වෙයි. අද අධ්‍යාපනය විසින් බිහිකෙරෙන්නේ ශ්‍රමිකයන් (එය බුද්ධිමය හෝ කායික ශ්‍රමය විය හැකි ය) මිස දැනුම් පිපාසයෙන් පෙළී දිය දහරක් සොයා යන්නවුන් නො වේ. ශ්‍රමිකයන් බිහිකෙරීම අද බටහිර අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වුව ද බටහිර රටවල දැනුම නිර්මාණය කරන්නෝ කිහිප දෙනෙක් වුවත් බිහිවෙති. එහෙත් ඒ බටහිර අධ්‍යාපනය අනුකරණය කෙරෙන ලංකාවේ දැනුම නිර්මාණය කරන්නෝ බිහි නො වෙති. එයට හේතුව අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ සංස්කෘතියෙහි මිස බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නො වීම ය. එහෙත් බටහිර අධ්‍යාපනයෙන් බිහි වූවෝ අපට කන් නො දෙති. අපේ අනුකාරක අධ්‍යාපනයෙන් බිහි වී ඇති උගතුනට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට විසඳුමක් දීමට නොහැකි වී ඇත. මේ අධ්‍යාපනයෙන් බිහිවන ඊනියා දක්‍ෂයන්ට සිදු වී ඇත්තේ කුමක් ද? ඔවුන් විසින් බිහිකෙරී ඇති සංකල්ප, ප්‍රවාද ආදිය කවරේ ද? අද බොහෝ දෙනා අධ්‍යාපනය ගැන උනන්දුවන්නේ ඉන් සමාජ සංචලනයට රුකුළක් ලැබෙන නිසා මිස අන් කරුණක් නිසා නො වේ. පසුගිය සියවස් දෙකක පමණ කාලයෙහි මෙරට බිහි වී ඇති චින්තකයෝ කොපමණ වෙත් ද? සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කළ හැකි අය ඉන් බැහැරට ගෙන සිතන්නට නොහැකි එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූ දැනුම ලබාගත හැකි අනුකාරක පුස්සන් රැළක් බිහිකරනු ලැබ ඇත්තේ බටහිරයන් විසින් මෙරටට හඳුන්වාදෙනු ලැබූ අධ්‍යාපනයෙනි.

මේ අධ්‍යාපනය තව දුරටත් පවත්වාගෙන යෑම රටට අහිතකර ය. එහෙත් එයින් කියැවෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය වහාම නතර කළ යුතු බව නො වේ. එසේ ම මේ අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් නොකළ යුතු බවක් ද එයින් නො කියැවෙයි. නමින් චින්තක වුව ද නොසිතන පුහු ඇදුරකු එක් පූවත්පතකට ලිපියක් සපයමින් මේ අධ්‍යාපනයට මුදල් වෙන් නොකරන ලෙස මා කියා සිටි බවක් සඳහන් කරයි. එසේ කළහොත් පාසල් හා විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ කෙසේ ද? ක්‍රම ක්‍රමයෙන් ජාතික වූ විකල්ප අධ්‍යාපනයක් සකස්කර ගන්නා තුරු මේ අධ්‍යාපන ක්‍රමය ඉන් රටට යහපතක් නොවුූවත් පවත්වාගෙන යා යුතු ය. මා නොකී දේ මා නොකළ දේ මට බැර කිරීම පුස්සන්ගේ හා නිවටයන්ගේ කාර්යය වී ඇත. මගේ දරුවන්ට පිටරට අධ්‍යාපනය ලබාදුන් බව පසුගිය දා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු කියා තිබිණි. සියක් වරක් එය එසේ නොවේ යැයි කියා තිබුණ ද මා ඉදිරිපත්කරන මතවලට විරුද්ධව තර්කයක් ඉදිරිපත් කළ නොහැකි නිවට පුස්සෝ මා නොකී දෑට නොකළ දෑට මට තඩි බාති. මා කියා ඇත්තේ අද රජය ප්‍රමුඛතාව දිය යුත්තේ රාජ්‍ය ආරක්‍ෂා කළ රණ විරුවන්ට, මෙරට සංස්කෘතිය ආරක්‍ෂා කරන ශිල්පීන්ට (නුවර පෙරහැරේ නටන ශිල්පීන් ආදී) හා වෙනත් එවැන්නන්ට මිස විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට නොවන බව ය. මෙය ඊනියා ධනපති රාජ්‍යය රැකගැනීම හෝ ඊනියා වැඩවසම් සංස්කෘතිය රැකගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. දෙමළ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ඇතැම් කථිකාචාර්යවරුන්ට හා බටහිර මතවාද පුනරුච්චාරණය කරන ගිරා පෝතකයන්ට ඒ අයුරෙන් පෙනෙනු ඇත. එහෙත් අපට දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මෙහෙයුම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිව කරන සටනකි. බටහිරයන්ගේ අනුග්‍රහය, ආශිර්වාදය හා ආධාරය ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට අප නොසළකන්නේ නම් එය සිංහල ව්‍යවහාරය අනුව කියන්නේ නම් හෙණ ගහන අපරාධයකි. ඔවුන්, ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා නොවන්නට අද රටක් නැත. අපෙන් අය කරන බදු රටට යහපතක් නොවන අනුකාරකයන් බිහිකරණ බටහිර යටත්විජිතවාදී අධ්‍යාපනයක් පවත්වාගෙන යන බටහිරයන්ගේ (සුද්දන්ගේ, යටත්විජිතවාදීන්ගේ යන අරුතෙන්) මත පුනරුච්චාරණය කරන කථිකාචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට යෙදීමට ඉඩ දිය යුත්තේ ඇයි? මෙරට විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ කෙටස්කරුවෝ සරසවි ඇදුරෝ හා ආණ්ඩුව පමණක් නො වෙති. අනධ්‍යයන සේවකයෝ ද පරිපාලන නිලධාරීහු ද වෙනත් රටවැසියෝ ද එහි කොටස්කරුවෝ වෙති. වක්‍ර බදු ගෙවන්නන් ලෙස අපි සියළු දෙනාම එහි කොටස්කරුවෝ වෙමු.

නුවර පෙරහැරේ නටන ශිල්පියකුට විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකුට තරම් වැටුපක් නොගෙවනු ඇත. එයට හේතු සමාජයීය වැදගත්කම ආදී නූතනත්ව වටිනාකම් මිස නිරපේක්‍ෂ හේතු නො වේ. විභාග ලකුණුවල නිරපේක්‍ෂ අගයක් නැතිවිට උසස් පෙළ පරීක්‍ෂණයේ ලකුණක වෙනසක් හේතුවෙන් හා තමන් ඉන්පසු විශ්වවිද්‍යාලයීය පරීක්‍ෂණවල දී ඉහළින් සමත්වීය ආදී නිර්ණායක යොදා ගනිමින් තමන් විශේෂීිත පුද්ගලයන් ලෙස සලකමින් වැඩි වැටුප් ඉල්ලීමට සරසවි ඇදුරන්ට ඇති අයිතිය කුමක් ද? උසස් පෙළ සමත් වූ ඕනෑම අයකුට තම අධ්‍යාපන කටයුතු පිළිවෙළක් ඇතිව කරන්නේ නම් හා ඇතැම් ඇදුරන් අතර නරක නමක් ඇතිකර නොගන්නේ නම් පංති සාමාර්ථයක් ලබාගැනීමේ අපහසුවක් නැත. අද සමාජ සංචලනය සඳහා ඇත්තේ අධ්‍යාපනය පමණක් නොවීම ද අප සැලකිල්ලට ගත යුතු ය. විශාල පිරිසකට නොවුව ද ක්‍රිකට් ක්‍රීඩකයන්ට, සුපිරි තරුවලට ආදීන්ට තම ක්‍ෂෙත්‍ර ඔස්සේ අද සමාජ සංචලනයට අවස්ථා ලැබී ඇත. අනෙක් අතට මා මෑතක දී කියා ඇත්තේ රණවිරුවන්ගේ වටිනාකම ගැන ය. රණවිරුවන්ට ද සමාජ සංචලනය සඳහා අවස්ථා ලබාදිය යුතු ය. සම්මත අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව බිහි වී ඇති මොවුන්ට වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය. මා බොහෝ කලක සිට කියන්නේ අපට අවශ්‍ය දෙයක් විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ නිදහස අපට නැති බව ය. මෙරට විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ට අවශ්‍ය දේ මිස සිංහලයන්ට අවශ්‍ය දේ නො වේ. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මේ කරුණු ගැන සිතා බලා නැති බව පැහැදිලි ය. කෙසේ වෙතත් ආචාර්ය සමිති සම්මේලනය තම ස්ථාවරය හා තම ඉල්ලීම්වලට ලබාදෙන ප්‍රමුඛතාව දිනෙන් දින වෙනස් කරන බව නම් පැහැදිලි ය. වැටුප් වැඩිකිරීම, දළ දේශීය නිෂ්පාදිතය යනු කුමක්දැයි නොදැන කතාකළ කුප්‍රසිද්ධ 5%, ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලයීය සේවාවක් ඇතිකිරීම ආදියට ලබාදුන් ප්‍රමුඛතා අද නො ලැබේ. ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන්ට අද තම සම්මේලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් ධෛර්යයක් නැත. පසුගිය දා චින්තන පර්ෂදය සම්මේලනයේ බලවතුන් කිහිප දෙනකුට ම ආචාර්යවරුන්ගේ වර්ජනය හා ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් පැවැත්වු සම්මන්ත්‍රණයකට ආරාථනා කළේ ය. ඔවුන් කියා සිටියේ ආරාධනය සම්මේලනයට යොමු කරන ලෙස ය. පර්ෂදය නියෝජිතයකු එවන ලෙස සම්මේලනයට ආරාධනය කළේ ය. සම්මේලනය නම්කර තිබුණේ එහි සභාපතිවරයා ය. එහෙත් ඔහු සම්මන්ත්‍රණය ඇමතුවේ තනි පුද්ගලයකු ලෙස මිස සභාපති ලෙස නො වේ. අධ්‍යාපනයේ අර්බුදයෙන් සම්මේලනයද අර්බුදයට ගොස් ඇත.