Main Logo

Showing posts with label සන්තතික. Show all posts
Showing posts with label සන්තතික. Show all posts

Tuesday, 12 March 2013

කාසියේ වාසිය

සන්තතික අසන්තතික අංශු තරංග ක්වොන්ටම් සම්භාව්‍ය ආදී වශයෙන් අපි ලෝකය (විශ්වය) ග්‍රහණය කරගන්නෙමු. එහෙත් මෙයින් අදහස් කරන්නේ අප සිටියත් නැතත් පවතින ලෝකයක් අප විසින් ග්‍රහණය කරනු ලැබීමක් නොව අප විසින් ලෝකයක් නිර්මාණය කරනු ලැබීම ය. ලෝකය ග්‍රහණය කිරීම යනු අන් කිසිවක් නොව ලෝකය නිර්මාණය කිරීම ය. අප විසින් එසේ ලෝකයක් නිර්මාණය කෙරෙන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතියට (පංචෙන්ද්‍රියවලට), මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂව ය. අපට වෙනත් ඉන්ද්‍රිය පද්ධතියක් තිබිණි නම් අපට ග්‍රහණය වන්නේ, එනම් අප විසින් නිර්මාණය කෙරෙන්නේ වෙනත් ලෝකයකි.

ක්වොන්ටම් ලෝකය පිළිබඳ ඇති වැදගත් අදහස් රාශියක් වෙයි. ඒ අදහස් සම්භාව්‍ය ලෝකයෙන් වෙනස්වන බව අපි දනිමු. එහෙත් ඒ අතර සමානකම් ද ඇත. මේ සමානකම් හා අසමානකම් අතර ඇති සම්බන්ධයක් වේ ද? මේ ප්‍රශ්නවලට ප්‍රමාණවත් පිළිතුරු ඇතැයි නො සිතමි. එහෙත් එයින් එකක් දෙකක් අඩුම තරමෙන් සාකච්ඡා කිරීමේ වරදක් ඇතැයි නොසිතමි. ක්වොන්ටම් භෞතිකයෙහි හා සම්භාව්‍ය භෞතිකයෙහි ඇති ප්‍රධාන ම වෙනසක් නම් ක්වොන්ටම් අංශුවක හෝ වස්තුවක හෝ අවස්ථාව අනුව ඇතැම් ගුණ කල්තබා දැනගැනීමට ඇති නො හැකියාව ය.

උදාහරණයක් වශයෙන් ක්වොන්ටම් අංශුවක පිහිටීම දන්නේ නම් එහි ගම්‍යතාව ගැන කිසිවක් දැනගැනීමට නිරීක්‍ෂකයාට නො හැකි ය. අංශුවේ ගම්‍යතාව මැනගන්නා තෙක් එයට ගම්‍යතාවක් නැත. අප විසින් ඉදිරිපත් කෙරී ඇති විද්‍යාලංකාර විවරණයට අනුව එයින් අදහස් කරන්නේ අංශුවට ගම්‍යතා රාශියක් ඇති බව මිස කිසිදු ගම්‍යතාවක් නැති බව නො වේ. අංශුවට ගම්‍යතාවක් නැත යනු නිශ්චිත එක් ගම්‍යතාවක් නැති බව මිස කිසිදු ගම්‍යතාවක් නැති බව නො වේ. ගම්‍යතා රාශියක් ඇති විට එක් නිශ්චිත ගම්‍යතාවක් නැත.

අංශුවට නිශ්චිත ගම්‍යතාවක් ලැබෙන්නේ නිරීක්‍ෂකයා විසින් ගම්‍යතාව මැනීමෙන් පසුව ය. එය පැහැදිලිව ම නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ලැබෙන්නකි. අංශුවට ගම්‍යතාව ලබා දෙන්නේ නිරීක්‍ෂකයා ය. ගම්‍යතාව මනින්නට පෙර අංශුවේ ගම්‍යතාව ගැන කිව හැක්කේ ගම්‍යතාව මැන්නොත් අහවල් අගය ලැබීමට අහවල් සම්භාවිතාවක් ඇති බව පමණ ය. මෙය සම්භාව්‍ය අංශුවක් හෝ වස්තුවක් හෝ සම්බන්ධයෙන් වලංගු නො වේ. සම්භාව්‍ය අංශුවලට හෝ වස්තුවලට හෝ මනින්නට පෙර ගම්‍යතාවක් ඇත. එනම් නිශ්චිත එක් ගම්‍යතාවක් ඇත. මැනීමෙන් පසු නිරීක්‍ෂකයාට දැනගැනීමට ලැබෙන්නේ මැනීමට පෙර ද අංශුවට තිබූ ගම්‍යතාව ය. එය නිරීක්‍ෂකයා විසින් අංශුවට ලබා දෙන්නක් නො වේ.

ක්වොන්ටම් අංශුවක් බාහිර බලයකට හසු නොවනතාක් එය සන්තතිකව විකාශය වෙයි. මැනීමක දී සිදුවන්නේ අංශුව යම් උපකරණයක බලපෑමට හසුකිරීම ය. එනම් බාහිර බලයකට හසුකිරීම ය. එවිට අංශුවේ එතෙක් වූ සංතතික විකාශය අහෝසි වෙයි. එහි දී යම්කිසි අසන්තතික බවක් ඇති වී අංශුවට යම් ගුණයක් සම්බන්ධයෙන් එතෙක් නොතිබූ අගයක් ලබා දෙනු ලැබේ. එනම් අදාළ ගුණය සම්බන්ධයෙන් අගයන් රාශියකින් එක් අගයක් පමණක් ගැනීමට සැලැස්වෙයි. මේ අසන්තතික බව සම්භාව්‍ය අංශු සම්බන්ධයෙන් දැකගත නො හැකි ය.

කලින් සඳහන් කළ ආකාරයට සම්භාව්‍ය අංශුවක ගම්‍යතාව මැනීමට පෙර ද අංශුවට ගම්‍යතාවක් වෙයි. සන්තතිකව ඒ ගම්‍යතාව මැන්නත් නොමැන්නත් අංශුවට වෙයි. ගම්‍යතාව මැනීමේ දී යම් උපකරණයක් යොදාගත්ත ද සන්තතික භාවයෙහි වෙනසක් ඇති නො වේ. එහි දී අංශුව ගම්‍යතා අගය රාශියකින් එක් අගයක් ලබාගන්නවා නො වේ. මැනීමට පෙර ද එක් අගයක් පමණක් තිබී මැනීමෙන් පසුව ද එම අගයම සම්භාව්‍ය අංශුවට තිබීම හේතුවෙන් අසන්තතික බවක් ඇති නො වේ.

එහෙත් සම්භාව්‍ය අංශු හා වස්තුවල ද අසන්තතික චලිත සිදුවෙයි. අප කලින් එවැනි අසන්තතික චලිත ගැන සඳහන් කර ඇත. ආවේගී චලිත ගැන සාකච්ඡා කරන විට ආවේගයෙන් පසුව අංශුවක හෝ වස්තුවක හෝ ගම්‍යතාව (ප්‍රවේගය) අසන්තතිකව වෙනස් වන බව කීවෙමු. ගම්‍යතාව එසේ වෙනස් වුව ද පිහිටීම හෝ කාලය හෝ අසන්තතික ව වෙනස් නො වේ. පන්දුවක් පිත්තේ වැදීමෙන් පසුව පන්දුවෙහි ප්‍රවේගය (විශාලත්වය හා දිශාව) වෙනස්වන බව අපි දනිමු. එසේ වුවත් පන්දුවෙහි පිහිටීම එය පිත්තේ වැදෙන තැන ක්‍ෂණයකින් වෙනස් නො වේ.

එසේ වුවත් ක්වොන්ටම් අංශු සම්බන්ධයෙන් ඇතැම් විට පිහිටීම ද වෙනස් වෙයි. අංශුවට නිශ්චිත ගම්‍යතාවක් තිබිණි යැයි සිතමු. එවිට අංශුවට නිශ්චිත පිහිටීමක් නැත. අංශුවට පිහිටීම් රාශියක් වෙයි. නිරීක්‍ෂකයා අංශුවේ පිහිටීම දැනගැනීමට (මැන ගැනීමට) උත්සාහ කළොත් අංශුව පිහිටීම් රාශියෙන් එක් පිහිටීමක් පමණක් තෝරා ගනියි. එය අංශුව සවිඥානිකව කරන්නක් යැයි නො සිතිය යුතු ය. අංශුව තෝරා ගනී යන්නෙන් අදහස් කෙරෙන්නේ අංශුව පිහිටීම් රාශියක තිබී එක් පිහිටීමකට වැටෙන බව ය. එය නිරීක්‍ෂකයාගේ මැදිහත්වීම නිසා සිදුවන්නකි.

සම්භාව්‍ය භෞතිකයේ දී අංශුවක් එක්විට පිහිටීම් රාශියක නො පිහිටයි. එහෙත් ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක් එක්විට පිහිටුම් රාශියක තිබිය හැකි ය. මෙහි දී එක්විට යන්න ගැන ද සඳහන් කළ යුතු ය. ක්වොන්ටම් අංශුව පිහිටුම් රාශියක ඇත්තේ එක්විටක යැයි අප කීව ද අංශුව සම්බන්ධයෙන් ගත්කල එය කාල රාශියක ඇත. එය නිශ්චිත පිහිටුමක නැත්තා සේ ම නිශ්චිත කාලයක ද නැත. එයට කාල අගය රාශියක් වෙයි. ඇතැම් විට පිහිටුම් රාශියක් ගැන සිතාගත හැකි වුව ද කාල අගය රාශියක් ගැන සිතාගත හැකි ද? එහෙත් ක්වොන්ටම් අංශු සම්බන්ධ ප්‍රවාදවලට අනුව එය එසේ සිදුවෙයි.

කෙසේ වෙතත් ක්වොන්ටම් අංශු හා සම්භාව්‍ය අංශු අතර එවැනි වෙනස්කමක් තිබෙන බව පැහැදිලි කර ගත යුතු ය. එය අංශු අතර ඇති වෙනස්කමක් යැයි කීව ද ඒ අංශු අතර වූ ඊනියා වාස්තවික වෙනස්කමක් යැයි නොසිතිය යුතු ය. එහි දී ද නිරීක්‍ෂකයාගේ සහභාගීත්වයක් වෙයි. මෙහි දී සිදුවන්නේ නිරීක්‍ෂකයාගේ පංචෙන්ද්‍රියවලට හා මනසට අනුව විවිධ අවස්ථා සඳහා විවිධ ක්‍රමවේද යොදාගැනීම ය.

මෙය තේරුම් ගැනීම සඳහා අපි සම්භාව්‍ය භෞතිකයෙහි අපට හොඳින් හුරු පුරුදු කාසියේ වාසිය සෙවීම යන්න සළකා බලමු. කාසියක් යනු සම්භාව්‍ය වස්තුවකි. එය ත්‍රිමාන වස්තුවකි. ඕනෑම අවස්ථාවක එයට නිශ්චිත පිහිටීමක් වෙයි. එමෙන් ම ඕනෑම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව එයට චලිතයක් වෙයි. මේ චලිතය සාමාන්‍යයෙන් කොටස් දෙකකින් යුක්ත වෙයි. ඒ ස්කන්ධ කේන්ද්‍රයෙහි ප්‍රවේගය හා භ්‍රමණය යනුවෙනි. එනම් කාසියේ ස්කන්ධ කේන්ද්‍ර ප්‍රවේගය හා කෝණික ප්‍රවේගය ය. ඕනෑම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව කාසියට එකම පිහිටුමක් හා එකම ස්කන්ධ කේන්ද්‍ර ප්‍රවේගයක් හා එකම කෝණික ප්‍රවේගයක් වෙයි.

යම්කිසිවකු කාසිය උඩ දැමීමෙන් එයට ඒ තැනැත්තාට සාපේක්‍ෂව සන්තතික චලිතයක් ඇති වෙයි. කාසිය නිදැල්ලේ චලනය වන්නේ නම්, එනම් ඊනියා ගුරුත්වය හැරෙන්නට වෙනත් බලයක් කාසිය මත ක්‍රියා නොකරන්නේ නම්, කාසියේ ස්කන්ධ කේන්ද්‍රය අවකාශයේ නිශ්චිත පථයක (වක්‍රයක) චලනය වෙයි. එය සන්තතික පථයක් වෙයි. ස්කන්ධ කේන්ද්‍රය ඕනෑම අවස්ථාවක සිට ඉන්පසු ක්‍ෂණිකව ඇතිවන අවස්ථාවකට අවකාශයේ එක් තැනක (ලක්‍ෂ්‍යයක) සිට ආසන්නයේ පිහිටි තැනකට සන්තතිකව චලනය වෙයි. එලෙස ම ස්කන්ධ කේන්ද්‍රයෙහි ප්‍රවේගය ද සන්තතික වෙයි. අවස්ථිති රාමුවක වූ නිරීක්‍ෂකයකු සම්බන්ධයෙන් ගත්කල එය එසේ වෙයි.

එපමණක් නොව කාසියේ කෝණික ප්‍රවේගය ද සන්තතික වෙයි. කාසිය ඒකාකර නම් හා සමජාතිය නම් අවස්ථිති රාමුවක ඇති නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ස්කන්ධ කේන්ද්‍රය වටා එහි කෝණික ප්‍රවේගය නියතයක් වෙයි. වෙනත් වචනවලින් කියන්නේ නම් කාසිය උඩ දැමූ තැනැත්තාට සාපේක්‍ෂව මෙන් ම වෙනත් ඕනෑම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව කාසියේ පිහිටීම ද ස්කන්ධ කේන්ද්‍රයේ ප්‍රවේගය ද සන්තතිකව වෙනස් වෙයි. කාසිය සජාතීය හා ඒකාකාර නම් අවස්ථිති රාමුවක වූ නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව එහි කෝණික ප්‍රවේගය නියතයක් වෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ අවස්ථිති රාමුවක වූ නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව කාසිය සන්තතිකව චලනය වන බව ය.

අපි මෙහි දී කාසිය උඩ දැමූ තැනැත්තා අවස්ථිති රාමුවක ඇතැයි සලකමු. එවිට කාසිය ඔහුට සාපේක්‍ෂව නියත කෝණික ප්‍රවේගයකින් සන්තතික චලිතයක යෙදෙයි. අවශ්‍ය නම් කාසිය උඩ දැමූ තැනැත්තාට සාපේක්‍ෂව කාසියේ චලිතය කාලයෙහි සන්තතික ශ්‍රිතයක් ලෙස දැක්විය හැකි ය. සම්භාව්‍ය භෞතිකයෙහි අංශු සඳහා කාලය සන්තතික බව ද, කාලයට සමගාමීව විවිධ අගයන් ගැනීමට නොහැකි බව ද මතක් කරගත යුතු ය.

උඩදැමුණු කාසිය ටික වේලාවක් සන්තතිකව උඩුඅත් බලා චලනය වී පසුව යටිඅත් බලා චලනය වීමට පටන් ගනියි. උඩුඅත් චලිතය මෙන් ම යටිඅත් චලිතය ද කාසිය ආපසු පැමිණ පොළොවෙහි ගැටෙන තෙක් සන්තතික වෙයි. එතෙක් ඕනෑම අවස්ථාවක කාසියේ ස්කන්ධ කේන්ද්‍රයට නිශ්චිත පිහිටුමක් නිශ්චිත ප්‍රවේගයක් මෙන් ම කාසියට නිශ්චිත කෝණික ප්‍රවේගයක් ද වෙයි. දැන් කාසිය පොළොවේ වැදීමෙන් පසු ඇතිවන තත්වය කුමක් ද? අපට වැදගත් වන්නේ ඒ අවස්ථාව ය. කාසිය පොළොවෙහි වදිනවාත් සමග කාසිය උඩදැමූ තැනැත්තාට හෝ වෙනත් අයකුට හෝ සාපේක්‍ෂව කාසියෙහි එතෙක් වූ සන්තතික චලිතය නිමාවකට පත්වෙයි.

කාසිය පොළොව සමග ගැටී ආවේගී බලවලටත් ඉන්පසු පොළොව සමග ඝර්ෂණ බලවලටත් යටත් වෙයි. ටික වේලාවකින් කාසිය නිභ්චලතාවට පත් වී එක් පැත්තකට හැරී තිරස් පොළොවෙහි නිශ්චලතාවෙහිි පිහිටයි. කාසියට දැන් ඇත්තේ පිහිටුම් දෙකකින් එකක් පමණි. එක්කෝ කාසියෙහි රූපය ඇති පැත්ත උඩු අතට හැරී තිබිය යුතු ය. නැත්නම් අනෙක් පැත්ත උඩුඅතට හැරී තිබිය යුතු ්‍රය. කාසියට ගතහැකි වෙනත් පිහිටුමක් නැත.

එහෙත් කාසිය උඩ දැමූ මොහොතේ සිට ආපසු පෙළොවට පැමිණෙන තෙක් එයට පිහිටුම් රාශියක් ගත හැකි ය. ඕනෑම නිශ්චිත අවස්ථාවක කාසියට ඇත්තේ එකම පිහිටුමක් වුවත් කාසියට ගත හැකි පිහිටුම් අනන්ත සංඛ්‍යාවක් වෙයි. ඒ ඕනෑම අවස්ථාවක කාසිය දෙස බැලුවහොත් අපට හෝ කාසිය උඩ දැමූ තැනැත්තාට හෝ සාපේක්‍ෂව කාසියට නිශ්චිත පිහිටුමක් වෙයි. අප කාසියෙහි ඡායාරූපයක් ගතහොත් අපට පැහැදිලි සටහනක් ලැබෙයි. කාසියේ රූපය ඇති පැත්ත උඩුඅත් සිරස සමග යම්කිසි කෝණයක් සාදනු ඇත. සෑදිය හැකි කෝණ සංඛ්‍යාව ෙසෙද්ධාන්තික ව අනන්තයක් වෙයි. එහෙත් කාසිය පොළොව සමග ගැටී නිශ්චලතාවට පැමිණීමෙන් පසුව කාසියේ රූපය ඇති පැත්ත උඩට පිහිටිය යුතු ය. නැත්නම් යටට පිහිටිය යුතු ය. අතරමැද අවස්ථා කාසියට තිබිය හැකි නො වේ.

Sunday, 3 February 2013

සන්තතික ද අසන්තතික ද

මනසක් නැතැයි අප කියන්නේ වාස්තවික හා නිරපේක්‍ෂ අර්ථයකින් මිස සාපේක්‍ෂ අර්ථයකින් නො වේ. එය පුටුවක් නැතැයි කීමෙන් වෙනස් නො වේ. සාපේක්‍ෂ අර්ථයකින් පුටු ඇත. එහෙත් නිරපේක්‍ෂ අර්ථයකින් පුටු නැත. පුටුව යන්න අපේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය. පුටුව යන්න අනෙක් ඉන්ද්‍රියයන්ගේ ද සහාය ඇතිව මනස විසින් නිර්මාණය කෙරී ඇති තවත් සංකල්පයක් පමණකි. එය සංකල්පීය ලෝකයට අයත් වූවකි. සංකල්පීය ලෝකය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය, ශූන්‍යය.

සංකල්පීය ලෝකය අපේ නිර්මාණයකි. අප එය නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසා ය. අවිජ්ජා පචීචයා සංඛාරා යන්නෙන් කියැවෙන්නේ අවිද්‍යාව හේතුකොටගෙන සංස්කාර ඇතිවන බව ය. එනම් අවිිද්‍යාව හේතුවෙන් සංකල්පීය ලෝකය සංස්කරණය කෙරෙයි. අවිද්‍යාව යනු අන්කිසිවක් නොව සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්ඛ,අනාත්ම, ශූන්‍ය බව නො දැනීම ය. මෙහි චක්‍රීය බවක් දැකිය හැකි නම් එය පුදුමයට කරුණක් නො වේ. අපට ඇත්තේ ඒක රේඛීය චින්තනයක් නොව චක්‍රීය චින්තනයකි.

චක්‍රීයත්වය පටිච්චසමුප්පදාය පුරාම දැකිය හැකි ය. නිවන් අවබෝධය යනු එක් අතෙකින් ගත්කල මේ චක්‍රීයත්වය නැති කිරීම ය. සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ශූන්‍ය බව අවබෝධ කිරීමත් සමග ඒ ලෝකය නිර්මාණය කිරීමේ අවශ්‍යතාව නැති වී යයි. ඉන් පසු පිරිනිවන් පානා තෙක් මනස සාපේක්‍ෂව ගනිමින් ජීවත් වෙයි. එහෙත් එසේ මනස සාපේක්‍ෂව ගන්නා තෙක් ලෝකය පිළිබඳ සාපේක්‍ෂ දැනුම වෙයි. ජීවත්වීම සඳහා ආහාර අවශ්‍ය බව නින්ද අවශ්‍ය බව එවැනි සාපේක්‍ෂ දැනුම් වෙයි.

පුටුව යන්නෙන් නිරපේක්‍ෂ වූ දෙයක් නොමැති බව කී විට එය පිළිගැනීම ප්‍රශ්නයක් කර නොගන්නා ඇතැමුන් මනසක් නැතැයි කී විට ප්‍රශ්න නගන්නේ කුමක් නිසා දැයි තේරුම් ගත නො හැකි ය. ඒ ඔවුන් විසින් මාර්ගඵල ලාභීන් ලෙස සැලකෙන්නන් මනසක් වාස්තවිකව ඇති බව තේරුම් යන ආකාරයෙන් ලියා ඇති නිසා විය හැකි ය. යම්කිසි අයකු මනස වාස්තවිකව පවතින්නේ යැයි පිළිගන්නේ නම් හෙතෙම මාර්ගඵල ලාභියකු විය හැක්කේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.

වාස්තවික ව මනසක් ඇතැයි පිළිගන්නා අයකු මම යනුවෙන් කෙනකු ඇතැයි පිළිගැනීම වැළැක්විය නො හැකි ය. එවැන්නකු මාර්ගඵල ලාභියකු වන්නේ කෙසේ ද? අනෙක් අතට වාස්තවික ව මනසක් ඇතැයි පිළිගන්නා අයකුට ශාස්වතවාදියකු හෝ උච්ඡෙදවාදියකු හෝ නොවී සිටිය නො හැකි ය. ඊනියා වාස්තවික මනස නිවන් අවබෝධයත් සමග එක්කෝ දිගට ම පැවතිය යුතු ය. එනම් අදාළ පුද්ගලයා ශාස්වතවාදියෙක් වෙයි. එසේත් නැතහොත් ඊනියා වාස්තවික මනස නිවන් අවබෝධයත් සමග නැතිවෙයි. එවිට එය උච්ඡෙදවාදී අන්තය සමග එකඟ වෙයි.

බුදුන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවෙන් උච්ඡෙදවාදය මෙන් ම ශාස්තවාදය ද ඉවත් කෙරෙයි. මධ්‍යම ප්‍රතිපදාව යනු ශාස්වතවාදය හා උච්ඡෙදවාදය යන දෘෂ්ටි දෙකම එකට ගැනීම නොව ඒ දෙකම ඉවත්කිරීම ය. මෙය චතුස්කෝටිකයේ හතරවැනි අවස්ථාව ය. එහි දී කියැවෙන්නේ A ප්‍රස්තුතයක් නම් හා ~A යනු එහි නිෂේධය නම් A හා ~A යන ප්‍රස්තුත දෙකම අසත්‍ය බව ය. ප්‍රස්තුතය ශාස්වතවාදය සත්‍යයක් වේ ලෙස ගනිමු. එවිට ප්‍රස්තුතයෙහි නිෂේධය උච්ඡෙදවාදය සත්‍යයක් වේ ලෙස ගත හැකි ය. චතුස්කෝටිකයෙහි හතරවැනි අවස්ථාවට අනුව ශාස්තවාදය ද උච්ඡෙදවාදය ද යන දෙකම අසත්‍ය වෙයි.

මනස සන්තතික ද අසන්තිතක ද යන ප්‍රශ්නයට පිළිතුර කුමක් ද? සාමාන්‍යයෙන් අපි චිත්ත පේළි, චිත්ත වීථි, චිත්ත පරම්පරා ආදිය ගැන කතා කරමු. එමෙන් ම එක් චිත්තයක් පසුපස තවත් චිත්තයක් හඹා ඒම ගැන කියමු. මෙහි දී කියැවෙන්නේ චිත්ත දෙකක් අතර කාලාන්තරයක් නැති බව ය. එසේ ම එක් චිත්තයක් චිත්තක්‍ෂණයකට පමණක් පවතින බව ද අපි කියමු. මනස යනු චිත්ත පරම්පරාවක් නම්, මනසෙහි සන්තතික අසන්තතික බව ගැන ඉන් කිව හැක්කේ කුමක් ද? සන්තතික අසන්තතික සංකල්ප එහි දී වලංගු වේ ද?

එපමණක් නොව චිත්තයක් පසුපස වැළ නොකැඩී තවත් චිත්තයක් පහළවීම යන සංකල්පය ද කෙතරම් දුරට වලංගු ද? චුති චිත්තය අත්හැරිය විගස පටිසන්ධි චිත්තය පහළ වීම තේරුම් ගන්නේ කෙසේ ද? අන්තරාභවය පිළිබඳ සංකල්පය හා චිත්ත පහළවීම කූඩැල්ලා තම ගමනෙහි දී එක් කොණක් අත්හරින්නේ වෙනත් කොණක් අල්ලා ගෙන ය යන්න සමග සංසන්දනය කරන්නේ කෙසේ ද?

චිත්තයක් පසුපස තවත් චිත්තයක් කාලාන්තරයක් නැතිව පහළ වන්නේ ය යන්න සන්තතික පෙරහැරක් පිළිබඳ අදහස අපට ගෙන එයි. ඒ අතර එක් චිත්තයක් පිිළිබඳ අපේ සිත්වල ඇත්තේ කිනම් රූපයක් ද? ඒ චිත්තය චිත්තක්‍ෂණයක් පවතින්නේ සම්පුර්ණ චිත්තයක් ලෙස ද? එසේත් නැත්නම් විකාශයවන චිත්තයක් ලෙස ද? එයින් අදහස් කෙරෙන්නේ චිත්තයක් පහළ වූ පසු ඒ චිත්තය යම් ක්‍ෂණයක් පැවතී ක්‍ෂණයක අන්තරයක්වත් නොමැතිව තවත් චිත්තයක් පහළ වී ඒ චිත්තය ද ක්‍ෂණයක කාලයක් වෙනස් නොවී පවතින බව ද?

චිත්තයක් කිසිදු වෙනස්වීමකින් තොරව ‘ක්‍ෂණයක කාලයක් පැවතී ඉන් ඉක්බිති ක්‍ෂණයක කාලාන්තරයක්වත් නොමැතිව වෙනත් චිත්තයක් පහළවීමත් ඒ ක්‍රියාවලිය සංසාරය පුරාම චුති චිත්ත හා පටිසන්ධි චිත්ත ද ඇතුළත් ව ක්‍රියාත්මක වීම අසන්තතික ක්‍රියාවලියකි. එය පෙරහැරකි. පෙරහැරක දෙදෙනකු අතර ඉඩක් නොමැතිව මිනිසුන් යන්නේ යැයි සිතමු. එවිට අපට ඇත්තේ වෙනස් නොවන මිනිසුන් හා ඒ මිනිසුන් එකිනෙකා පසුපස යන ප්‍රවාහයකි. එය ද අසන්තතික ප්‍රවාහයකි.

අපි දැන් ගළන දිය පහරක් සළකමු.එය සන්තතික ද? එසේත් නැත්නම් අසන්තතික ද? යම් ද්‍රවයක් සෑදී ඇත්තේ ද්‍රව අංශුවලින් යැයි බටහිර තරල ගතිකයෙහි ඉගැන්වෙයි. එහෙත් මේ ද්‍රව අංශු එසේත් නැත්නම් තරල අංශු නිව්ටෝනීය අංශු මෙන් නො වේ. නිව්ටෝනීය අංශු දෘඪ ය. එහෙත් තරල ගතිකයෙහි සැලකෙන අංශු එලෙස නො වේ. එහි සන්තතික බවක් වෙයි. තරල අංශුවක් තවත් තරල අංශුවක් පසුපස ගිය ද අංශු කිහිපයක…… පරිමාව කාලයත් සමග වෙනස් විය හැකි ය. එනම් තරල අංශුවක ද පරිමාව කාලයත් සමග වෙනස් වෙයි.

එහෙත් නිව්ටෝනීය දෘඪ වස්තුවල අංශු එසේ නො වේ. ඒ අංශුවල හා එවැනි අංශුවලින් සමන්විත වස්තුවල පරිමාව වෙනස් නො වේ. මෙහි දී උෂ්ණත්වය වෙනස්වීමත් සමග පරිමාවේ ඇතිවන වෙනස්කම් සළකා නොබැලෙයි. කෙසේ වෙතත් තරලයක සාමාන්‍ය චලිතය සන්තතික වෙයි. තරලය, දිය පහර ගලක් වැනි වස්තුවක ගැටුණහොත් චලිතය යම් ආකාරයක අසන්තතික වෙනසකට භාජනය වෙයි.

නිව්ටෝනීය වස්තුවල ද චලිතය සාමාන්‍යයෙන් ගතහොත් සන්තතික යැයි කියැවෙයි. එය පෙරහැරක යන මිනිසුන්ගේ චලිතය වැන්නක් නොව තනි වස්තුවක් සම්බන්ධ චලිතයකි. තනි වස්තුවක් යම්කිසි සන්තතික බලයක් යටතෙහි යම් කාල පරාසයක චලනය වන්නේ සන්තතික ව ය. එහි පිහිටීම, ප්‍රවේගය, ත්වරණය සන්තතිකව වෙනස් වෙයි. පෙරහැරක අප විසින් සළකනු ලබන්නේ වස්තු සමූහයකි. එහි විවිධ වස්තු වෙයි. ඒ වස්තු මූලීක වශයෙන් මිනිස්සු වෙති.

තරලයක ද විවිධ වස්තු, එනම් විවිධ තරල අංශු වෙයි. එහෙත් නිව්ටෝනීය ගතිකයෙහි අප සාකච්ඡා කරන්නේ තනි අංශුවක එසේත් නැත්නම් තනි වස්තුවක චලිතය ය. සන්තතික බලයක් යටතෙහි මේ තනි අංශුව හෝ තනි වස්තුව හෝ සන්තතික චලිතයෙහි යෙදෙයි. එහෙත් බලය අසන්තතික වූ විට ඒ මොහොතෙහි, එනම් අසන්තතික බලය යෙදෙන මොහොතෙහි , අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ චලිතය අසන්තතික වෙයි.

එහි දී අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ පිහිටීම සන්තතික ව වෙනස් වෙයි. අංශුවට හෝ වස්තුවට හෝ අවකාශයෙහි අසන්තතික චලිතයක් නැත. එහෙත් අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ ප්‍රවේගය අසන්තතික ව වෙනස් වෙයි. අසන්තතික චලිතයක් සඳහා උදාහරණයක් නම් ආවේගී චලිතය ය. ආවේගී බලයක් යනුවෙන් හැඳින්වෙන බලයක් යෙදීමෙන් ආවේගී චලිතයක් ලැබෙයි. අංශු හෝ වස්තු හෝ ගැටීමෙහි දී ද අසන්තතික චලිත ඇති වෙයි.

සන්තතික අසන්තතික යන සංකල්ප මිනිසුන් විසින් ඇතිකරගෙන ඇත්තේ තම එදිනෙදා අත්දැකීම් විස්තර කිරීමට ය. පුුටු අතර දුරක් වෙයි. අඩුම තරමෙන් අප තනාගෙන ඇති පුටු අතර හිඩැස් වෙයි. අප තනාගෙන ඇති පුටු යන්නෙන් අදහස් කෙරෙන්නේ අප විසින් නිර්මාණය කෙරී ඇති පුටු පිලිබඳ සංකල්ප ය. පුටු අතර හිඩැස් ඇති බැවින්, එනම් අවකාශය ඇති බැවින් අපි පුටු අසන්තතික වස්තු යැයි සළකමු.

මිනිසුන් ද එලෙස ම අසන්තතික වස්තු ලෙස සැලකෙයි. එහෙත් යම් නිශ්චිත අවකාශයක වූ ද්‍රවයක් හෝ වායුවක් හෝ, එනම් සාධාරණ වශයෙන් තරලයක් සන්තතික වස්තු ලෙස සැලකෙයි. එහි අංශු අතර හිඩැස් ඇතැයි නොසැලකෙයි. හිඩැස් යන සංකල්පය එතරම් නිරවුල් නොවූවත් අපේ කාර්යය සඳහා ඒ ප්‍රමාණවත් වෙයි. එකිනෙකින් වෙන් වූ මේස දෙකක් අසන්තතික වස්තු ලෙස සැලකෙන නමුත් එකම දෘඪ මේසයක අංශු සන්තතික අංශු ලෙස සැලකෙයි. ගණිතයෙහි සන්තතික යන සංකල්පය වඩා නිරවුල් ව අර්ථදැක්වෙන බව මෙහි දී සඳහන් කරමු.

අප තාත්වික සංඛ්‍යා සැලකුවහොත් නිඛිල හෙවත් පූර්ණ සංඛ්‍යා අසන්තතික වෙයි. නිඛිල දෙකක් අතර තාත්වික සංඛ්‍යා අනන්තයක් ඇත. එපමණක් නොව ඕනෑම තාත්වික සංඛ්‍යා දෙකක් අතර වුව ද තවත් තාත්වික සංඛ්‍යා අනන්තයක් ඇත. ඒ කෙසේ වුවත් තාත්වික සංඛ්‍යාවලින් සමන්චිත වන තාත්වික රේඛාව සන්තතික යැයි සැලකෙයි. එහෙත් නිඛිල සන්තතික නො වෙයි. අවකාශය ද එලෙස ම සන්තතික ලෙස සැලකෙයි. එපමණක් නොව කාලය ද අවකාශ - කාලය ද සන්තතික ලෙස සැලකෙයි.

නිව්ටෝනීය ගතිකයෙහි සන්තතික යැයි සැලකෙන චලිතවල ඒ ඒ අංශුව හෝ වස්තුව හෝ ගන්නා අවකාශය හෝ ප්‍රවේගය හෝ පිලිබඳ අගය සන්තතික වෙයි. අංශුව හෝ වස්තුව හෝ අවකාශයෙහි එක් පිහිටුමක සිට තවත් පිහිටුමකට සන්තතිකව චලනය වෙයි. එසේ ම එහි ප්‍රවේගය ද වෙනස් වන්නේ සන්තතික ව ය. මෙහි දී කාලයෙහි සන්තතික බව ද වැදගත් වෙයි. යම් හෙයකින් කාලය සන්තතික නොවී නම් ඒ කිසිවක් වලංගු නොවීමට තිබිණි.

නිව්ටෝනීය ගතිකයෙහි අංශුවකට හෝ වස්තුවකට හෝ අවකාශය හෝ කාලය හෝ සම්බන්ධයෙන් කිසිවිටෙක අසන්තතික අගයන් නො ලැබෙයි. අසන්තතික චලිතයෙහි පවා එය එසේ ම වෙයි. එහෙත් ප්‍රවේගය සම්බන්ධයෙන් එය එසේ ම නො වේ. අසන්තතික චලිතයෙහි දී ප්‍රවේගය අසන්තතික අගයන් ගනියි. ආවේගී චලිතයෙහි එය විද්‍යමාන වෙයි. ආවේගී බලයක් යෙදීමට මොහොතකට පෙර අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ ප්‍රවේගය ආවේගී බලය යෙදීමෙන් මොහොතකට පසුව අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ ප්‍රවේගයෙන් අසන්තතික ව වෙනස් වෙයි.