Main Logo

Showing posts with label මුස්ලිම්. Show all posts
Showing posts with label මුස්ලිම්. Show all posts

Tuesday, 14 May 2013

පළාත් සභා හා උතුරේ ඡන්දය

උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ දී පැවැත්වෙනු ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශකර ඇත. අනෙක් පළාත් සභා මැතිවරණ පවත්වා තිබිය දී උතුරු පළාතේ පමණක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් පිටුපස හැමදාමත් සිටි බටහිරයන්ට හා ඉන්දියාවට වඳුරන්ට ඉණිමං බැඳීමක් විය. එහෙත් අප අපේ රට සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ බටහිර රටවල් හා ඉන්දියාව දෙස බලා නො වේ. අපේ රටේ ස්වෛරීභාවය, ආරක්‍ෂාව, භෞමික අඛණ්ඩතාව, ඒකීය භාවය (එක්සේසත් බව) ආදිය එහි දී වැදගත් වෙයි. ඉහත සඳහන් කරුණක් හෝ කරුණු කිහිපයක් නිසා හෝ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු යැයි අපට වැටහේ නම් අප ඒ අනුව අදාළ මැතිවරණය නොපැවැත්විය යුතු ය. එහෙත් අපේ තීරණය යුක්තියුක්ත කිරීමට අපට හැකි විය යුතු ය.

පළාත් සභා අහෝසි කරනු දැකීම මගේ අභිප්‍රාය වෙයි. එයට ප්‍රධාන හේතුව පළාත් සභා මෙරට ඇති ප්‍රශ්නයකට විසඳුමක් නො වීම ය. පළාත් සභා ඇතිකරනු ලැබුයේ ඉන්දියාවේ අවශ්‍යතාවට ය. එය දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නවලට ඊනියා විසඳුමක් ලෙස ඉන්දියාව විසින් බලයෙන් පටවන ලද්දේ එංගලන්තයේ හා ඇමරිකාවේ ආශිර්වාදය හා අනුග්‍රහය යටතේ ය. එහෙත් මෙරට ඇති ප්‍රශ්නය අන් කිසිවක් නොව ඉංගිරිසි හා ලන්දේසි යටත්විජිත යුගවල දී සිංහල බෞද්ධයන්ට සිදු වූ අසාධාරණකම් ය. මේ අසාධාරණකම්වලට තවමත් විසඳුම් ලැබී නැත. සිංහල බෞද්ධයෝ තවමත් අසාධාරණකම්වලට ලක්වෙති. මෙයට යම් ප්‍රමාණයකට වගකිව යුත්තෝ සිංහල බෞද්ධයන්ගේ ඊනියා නායකයෝ ය. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවට තවමත් පිළිගැනී නැත. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තිස්සේ මෙරට ජනතාවගේ සංස්කෘතිය සිංහල බෞද්ධ විය. මෙරට ජනතාවගේ ජීවන රටාව සිංහල බුද්ධාගම විසින් සකස් කෙරිණි. මෙරට ජනතාවගේ චින්තනය, අවශ්‍ය නම් ජාතික චින්තනය, සිංහල බෞද්ධ චින්තනය විය. දැනුම ද ඇතුළත් වූ සංස්කෘතිය ගොඩනැගෙන්නේ යම් චින්තනයක ය. එයින් අදහස් වන්නේ චින්තනය යන්න මූල හේතුවවත්, චින්තනය වෙනස් නොවන බවක්වත් නො වේ. චක්‍රීය චින්තනයක මූල හේතු නැත. අනිත්‍ය ගැන කියැවෙන සංස්කෘතියක නිත්‍ය චින්තනයක් තිබිය නො හැකි ය.

ඇතැම් සිංහල බෞද්ධයන් ම, ඇතැම් භික්‍ෂූන් වහන්සේ ම, සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු සුවිශේෂ තත්ත්වය අහිමිකිරීමට කටයුතු කරනු දැක්ම කණගාටුදායක ය. ඊනියා සර්ව ආගමික සංකල්පය මගින් සිදුවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු විශේෂ තත්ත්වය අහිමි කිරීම ය. මෙරට බහු සංස්කෘතික රටක් වන්නේ කිනම් අර්ථයකින් ද? ඕනෑම රටක සංස්කෘතීන් එකකට වඩා තිබිය හැකි මුත් ඒ සෑම රටකම අධිපතිවාදී සංස්කෘතියක් හෝ විශේෂිත සංස්කෘතියක් හෝ පවතී. එහෙත් ලංකාව බහු සංස්කෘතික රටක් ලෙස හැඳින්වෙන්නේ මෙරට සෑම සංස්කෘතියක් ම සමාන ය යන අර්ථයකිනි. සර්ව ආගමික භික්‍ෂූන්වහන්ස්ලා ද සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැතිකරති. අප පළමු කොට ම මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගැනීමට සැලැස්විය යුතු ය. අපේ ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො ලැබීම ය. මෙරට චින්තනය අන්කිසිවක් නොව සිංහල බෞද්ධ චින්තනය බව විශ්වවිද්‍යාලවල සිටින බටහිර ගැති නිවට පුස්සන්ට කියා දිය යුතු ය. මේ පුස්සෝ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලොවේ ම අධිපතිවාදී චින්තනය බව පිළිගනිති. දැනුම හා සංස්කෘතිය සම්බන්ධයෙන් ගත්කල මේ පුහු නිවටයෝ වෙනත් කිසිම සංස්කෘතියකට හෝ චින්තනයකට හෝ ඉඩක් නො දෙති. එහෙත් බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම පට්ටපල් බොරුවක් බව පෙන්වූ විට ඔවුන්ට එයට විරුද්ධව කීමට දෙයක් නැත. ඔවුහු දිගට ම නිවටකම නිසා ම පට්ටපල් බොරුවේ ගැලී සිටිති.

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ අසාධාරණයක් නොමැති බව පෙන්වා දශක දෙකකට වැඩි ය. එහෙත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනාට ඒ ගැන වැටහීමක් නැත. සිංහල භාෂාව මෙරට ඈත අතීතයේ සිට රාජ්‍ය භාෂාව විය. එසේ නොවූයේ ඉංගිරිසින්ගේ කාලයේ පමණ ය. රාජ්‍ය භාෂාව යන සංකල්පය අද අරුතින් නිර්වචනය කර නැති වුවත් මෙරට රාජ්‍ය කටයුතු කෙරී ඇත්තේ සිංහලෙනි. ඒ බව දිවයින පුරා විසිරී ඇති සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි. මෙරට ඇති දෙමළ සෙල්ලිපි සංඛ්‍යාව කෙතෙක් ද? ඒ දෙමළ සෙල්ලිපි ද ඇත්තේ දෙමළ වෙළෙන්දන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙරට කිසිම දිනෙක දෙමළ රාජ්‍ය භාෂාව වි නැත. එසේ වී ඇත්නම් ඒ බව ඔප්පුකරන මෙන් මෙරට සිටින වීරයන් වීමට දඟලන පුස්සන් වූ කසිකබල් ඉතිහාසඥයන්ට අභියෝග කරමු. පෘතුගීසීන් හා සංකිලි අතර වූ ගිවිසුම ද ඇත්තේ සිංහල හා පෘතුගීසි භාෂාවලින් මිස දෙමළ භාෂාවෙන් නොවන බව ගාමිණී ඊරියගොල්ල මහතා පෙන්වා දී ඇත. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ අවාසියක් නැත. ඒ දෙමළ ජනයා යම් පිරිසක්වත් ඉංගිරිසියට වඩා සිංහල දත් බැවින් ඔවුන්ට අත්වූයේ වාසියකි. සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා අවාසියක් වී නම් ඒ ඉංගිරිසි දත් එහෙත් සිංහල නොදත් ප්‍රභූ දෙමළ වෙල්ලාලයන්ට පමණකි. මෙරට 1931 සිට සිදු වී ඇත්තේ සර්වජන ඡන්දය ලැබීමත් සමග ඉංගිරිසි දත් දෙමළ වෙල්ලාලයනගේ වරප්‍රසාද අඩුවීම ය. ඒ වරප්‍රසාද අඩුවීම දෙමළ වෙල්ලායෝ හා ඉංගිරිසිහු සාමාන්‍ය දෙමළ ජනයාට වූ අසාධාරණයක් ලෙස ප්‍රචාරය කළහ. දෙමළ ජනයාට නිදහසෙන් පසුව සිදුවිණි යැයි කියන අසාධාරණකම්වල මුල ඇත්තේ එතැන ය. පළාත් සභා ගෙන ආවේ දෙමළ ජනයාට නැති ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට ය. එහි බලාපොරොත්තුව මුළු රටේ ම නායකයන් වීමට සිටි දෙමළ වෙල්ලාලයන්ට අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල නායකකම් ලබා දී පසුව ඒ පළාත් වෙන ම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීම ය.

දෙමළ වෙල්ලාලයන්ට සාකච්ඡා හා ගිවිසුම් මගින් කරගැනීමට නොහැකි වූ දේ කිරීමට බටහිර්යෝ හා ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදය යොදාගත්හ. දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඇති දෙමළ ජාතිවාදයට අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය පිහිට කරගැනීමට සිදු විය. එහෙත් දෙමළ ත්‍රස්තවාදය අවුරුදු තිහක සටනකින් පසු පරාජයට පත්විය. අද දෙමළ ත්‍රස්තවාදය නැත. එහෙත් දෙමළ ජාතිවාදය ඇත. එයට පොහොර දමමින් එය රැකගන්නේ බටහිර රටවල් හා ඉන්දියාව ය. විසුරුණු දෙමළ ජනතාව බටහිරයන්ගේ ආයුධයක් පමණ ය. දෙමළ ජාතිවාදයට ලංකාවේ තනිව ම ගත්කල ඉඩක් නැත. බටහිරයන් හා ඉන්දියාව එය ක්‍රියාත්මක කරන්නේ දෙමළ ජාතික සංධානය, රාජ්‍ය නොවන සංවිධාන, පුහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් (විශේෂයෙන් ම එතරම් ඉහළ පංති සාමාර්ථ නැති අය හා විවිධ ඊනියා පර්යේෂණවල යෙදී තරමක් වයස්ගත වූ පසු කථිකාචාර්යකම් ලබාගෙන ශාස්ත්‍ර පීඨවල සේවය කරන පුස්සන්), එ ජා ප, කසිකබල් මාක්ස්වාදී පක්‍ෂ ආදිය මගින් ය. ඔවුන් මොන තරම් දැඟළුවත් මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටිනා තෙක් දෙමළ ත්‍රස්තවාදයට ඉඩක් නැත. මේ ආණ්ඩුව බලයට පත්වූයේ සිංහල, ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ ඡන්දවලිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ ඡන්ද පදනම නැතිකරගනු ඇතැයි සිතිය නො හැකි ය.

අද තත්වය පසුගිය අවුරුදු තිහට වඩා වෙනස් ය. ඇතැම් ජාතිකවාදීන් ඒ බව අවබෝධ කරගෙන නැත. අද බටහිරයන්ට අවශ්‍ය තමන්ට අවනත නොවූ මහින්ද රාජපක්‍ෂ මහතා කෙසේ නමුත් දංගෙඩියට යැවීම ය. ඔවුන් ජෙනීවා සමුළු ආදිය යොදාගන්නේ ඒ සඳහා ය. ඒ මහතා ඡන්දයෙන් පරාජය කර හෝ වෙනත් ක්‍රමයකින් හෝ දංගෙඩියට යැවීමට ඔවුහු උත්සාහ කරති. කිනම් අඩුපාඩුකම් මැද වුව ද මේ ආණ්ඩුව රැකගැනීම අද වැදගත් වන්නේ එසේ නොවුනහොත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව මෙරට ඊළමක් පිහිටුවන බැවිනි. රනිල් වික්‍රමසිංහ ඒ සඳහා දත කට මැදගෙන සිටියි. දෙමළ ජනතාව පමණක් නොව මුස්ලිම් ජනතාව ද මෙරට සැබෑ පූවැසියන් කරගැනීමේ අවශ්‍යතාව ඇත. ඔවුන් ඉන්දියාවේ හෝ අරාබියේ හෝ පුරවැසියන් නොවන බව ඔවුන්ට අවබෝධවන අයුරින් ජාතිකවාදීන් කටයුතු කළ යුතු ය. පසුගිය දා මම නැගෙනහිර පළාතේ දින කිහිපයක් ගතකෙළෙමි. ඇතැම් මුස්ලිමුන් කාත්තන්කුඩිය ඉඳිගස් ද සහිත පුංචි අරාබියක් කරගැනීමට උත්සාහ කරනු දුටුවෙමි. මෙරට රෝමානු කතෝලිකයෝ අද වන විට සිංහල කතෝලිකයන් බවට පත්වී සිටිති. මෙරට මුස්ලිමුන් අරාබි මුස්ලිමුන් නොව හෙළ මුස්ලිමුන් බවට පත්කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. එහෙත් ඒ සඳහා පළාත් සභා අවශ්‍ය නො වේ. කුමාරතුංග මුනිදාස මහතාගේ අදහසක් සුළුවෙන් වෙනස්කර හෙළ බොදුනුවන්, හෙළ කිතුණුවන්, හෙළ හින්දූන් හා හෙළ මුස්ලිමුන් (ඉස්ලාමිකයන්) වීමට අපි උත්සාහ ගනිමු.

අද හැකිනම් කළයුත්තේ පළාත් සභා අහෝසි කිරීම ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන බව හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමකු වූ අභාවප්‍රාප්ත රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇත. ඒ කෙසේ වෙතත් පළාත් සභා අහෝසිකිරීමට තවමත් වාතාවරණය සකස් වී නැත්නම් අද කළ යුත්තේ පොලිස් බලතල ඉඩම් බෙදීමේ බලතල ආදිය පළාත් සභාවලට අහිමි කිරීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීම බටහිරයන්ගේ බලාපොරොත්තුව බව ඉහත සඳහන් කළෙමි. පසුගිය දිනෙක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ ප්‍රාන්ත පොලීසියක් මගින් අත්අඩංගුවට ගැණිනි. යම් අයුරකින් පොලිස් බලතල සහිත උතුරු පළාතේ පළාත් සභාවේ පොලීසිය බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහායෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඒ පළාතට ගිය විට අත්අඩංගුවට ගෙන කිසියම් ආකාරයකින් බටහිරට ගෙන ගොස් ඊනියා ජාත්‍යන්තර අධිකරණයක යුද්ධාපරාධ සම්බන්ධයෙන් නඩු පවරා වරදකරු කර රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් බටහිර ගැත්තකු හෝ බලයට පත්කළහොත් ඇතිවන තත්ත්වය කුමක් ද? උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම එතරම් හිතකර නො වේ. එහෙත් එයට පළමුව පොලිස් බලතල, ඉඩම් බෙදීමේ අයිතිය පළාත් සභාවලට අහිමි කළ යුතු ය.
(13/05/05)

නලින් ද සිල්වා

Tuesday, 12 March 2013

සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ - I

නැවතත් සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර අසහනයක් පැන නැගෙමින් ඇත. එය මෙවර මුස්ලිම් බලපෑම් හේතුකොටගෙන ඇතිවන අසහනයක් ලෙස මතුවෙයි. නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය, හලාල් සහතික, කූරගල ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිම්වරුන් අයිතිකරගැනීම, නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයනට අහිමි වීමට යෑම, ආදී වශයෙන් මේ අසහනය ප්‍රකාශ වෙයි. එහි දී මුස්ලිම් ජනයාට හිරිහැර කරන සිංහල බෞද්ධයන්ගේ අඬු කඩන බවට ඇමතිවරයකු තර්ජනය කර ඇතැයි පැවසෙයි. එවැනි තර්ජනයක් කෙරිණි දැයි මම නො දනිමි. එහෙත් තමන්ට ඡන්දය දෙන සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වුවත් වෙනත් ජනවර්ගයකට එලෙස තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වේ යැයි සිතිය නො හැකි ය. බොහෝ සිංහල දේශපාලනඥයන්ට තමන් මන්ත්‍රීවරුන් වන්නේ ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් බව අමතක වෙයි. එය අමතක වීමකටත් වඩා සිංහල බෞද්ධයන් නිවටයන් ලෙස සැලකීමට පුරුදු වී ඇති නිසා යැයි ද සිතිය හැකි ය. කිසියම් දේශපාලනඥයකු සිංහල බෞද්ධයන්ගේ අඬු කඩා දැමීමට කතාකර ඇත්නම් ඡන්දදායකයන් කළ යුත්තේ ඔහුගේ මන්ත්‍රීධුරය ලබන වර අහිමිකර අඬුකඩා තටු ගලවා දැමීම ය. මේ අතර බොහෝ බෞද්ධයන් ප්‍රසිද්ධියේ නො කීව ද රජයේ උසස් යැයි සම්මත තනතුරු, විවිධ රාජ්‍ය හා වෙනත් සම්මාන සිංහල බෞද්ධ නොවන්නන්ට හිමිවීම පිළිබඳ මැසිවිලි නගන බව රහසක් නො වේ. එවැනි තනතුරක් හෝ සම්මානයක් හෝ ලැබීමට අඩුම තරමින් කලත්‍රයාවත් එක්තරා ආගමකට අයත්විය යුතු බවට කතාවක් පැතිර ගොස් ඇත.

මේ අසහනය පවතින්නේ බොහෝ විට මධ්‍යම පාංතිකයන් අතර ය. එහෙත් සිද්ධස්ථන බෞද්ධයනට අහිමිවීම පිළිබඳ ප්‍රශ්නය සමාන්‍ය බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ද වෙයි. ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයනට ප්‍රශ්න නැත්නම් පමණක් අප පුදුම විය යුතු ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් හැමදාමත් වැඩියෙන් බැටකෑවේ සිංහල බෞද්ධයන් ය. කිසිම ප්‍රබුද්ධකමක් හෝ නිර්මාණශීලීත්වයක් හෝ නැති සරසවි ඇදුරන් ද තම ව්‍යාජ වීරත්වය ප්‍රසිද්ධයට පත්කරගන්නේ සිංහල බෞද්ධයන්ට බැට දීමෙනි. ඔවුන්ගේ නායකයකු පසුගිය දා කියා සිටියේ ජූලම්පිටියේ අමරේ ද බිහි වී ඇත්තේ මෙරට ජාතික චින්තනය හෝ ජාතික චින්තන ව්‍යාපාරය හෝ හේතුකොටගෙන බව ය. කිසිදාක ප්‍රවාදයක් ඉදිරිපත් කර නැති මෙවැන්නන්ගේ ප්‍රකාශවල කිසිම සංගත බවක් නැත. මොහුට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ජාතික චින්තනයේ ප්‍රතිඵලයක් බව කියා ඒ ආණ්ඩුවේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ජූලම්පිටියේ අමරෙලා බිහිවී ඇති බවත් කීමට ය. ඔහුට අනුව මේ ආණ්ඩුවෙන් වෙනත් කිසිවක් කෙරී නැත. චොප්පෙලා, ගෝනවිල සුනිල්ලා ද බිහිවූයේ ජාතික චින්තනය නිසා ද යන ප්‍රශ්නය නැගිය හැකි වුවත් මේ කසිකබල් සරසවි ඇදුරන්ට අසංගත කරුණු දැක්වීම් ගැන කියා දීමේ ප්‍රතිඵලයක් නැත. මේ ආණ්ඩුව හා ජාතික චින්තනය අතර සම්බන්ධයක් නැත. ගුණදාස අමරසේකර මහතා ජාතික චින්තනය යැයි හඳුන්වන්න හා මා ජාතික චින්තනය යැයි හඳුන්වන්න අතර ප්‍රබල වෙනස්කම් ඇති නමුත් ඒ මහතා ද ඉහත සඳහන් කියමන සමග එකඟවන්නේ යැයි සිතමි. එසේ වුවත්, එනම් ජාතික චින්තනය හා ආණ්ඩුව අතර සම්බන්ධයක් නැතිවුවත් බටහිරයන් (හා ඉන්දියාව) විසින් ඇති කෙරී පෝෂණය කෙරී ඔවුන්ගේ අනුග්‍රහයෙන් හැදුණු වැඩුණු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ආණ්ඩුවත් ජාතික චින්තනයත් එකට සිටි බව නම් අපි පිළිගනිමු. එහෙත් එතැනින් ඔබ්බට යන සම්බන්ධයක් ආණ්ඩුව හා ජාතික චින්තනය අතර නැත. සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව නිසි පියවර ගෙන ඇතැයි අපි නො සිතමු.

නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය නිසි අයුරෙන් විසඳී නැත. ප්‍රශ්නය වූයේ කවරදාවත් නැතිව මෙවර ජන අනුපාතයට වඩා ඉතා ඉහළ අනුපාතයකින් මුස්ලිම් සිසුන් නීති විද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් සමත්වීම ය. මුස්ලිම් සිසුන් හදිසියේ උගත්බවක් අත්කර ගැනීමට තරම් හේතුවක් අපි නො දකිමු. ප්‍රශ්නයට හේතුව සිංහල ප්‍රශ්නපත්‍රවල පරිවර්තනයේ වරදක් යැයි පැවසෙයි. ඒ ගැන අපට යමක් නිශ්චිත ව කිව නො හැකි ය. කෙසේ වෙතත් පරිවර්තන හා වෙනත් දෝෂ ඇතිවිය හැකි බැවින් මාධ්‍ය අනුව උසස් පෙළ ආදී පරීක්‍ෂණවල දී ලකුණු ප්‍රමිතිකරණය කළ යුතු යැයි අප කියා සිටින්නේ් බොහෝ කලක සිට ය. එහෙත් මේ රටේ එයට විරුද්ධත්වයක් පැන නැඟෙයි. ප්‍රමිතිකරණය යනු කුමක්දැයි නොදන්නා ජඩමාධ්‍යවේදියකු අවුරුදු පහළොවකට පමණ ඉහත දී ප්‍රමිතිකරණයට විරුද්ධ විය. ප්‍රමිතිකරණය යනු කුමක් දැයි ඇසු විට ඔහු නිහඬ විය. බොහෝ දෙනා නොදනිතත් ඉසෙඩ් ලකුණූ ක්‍රමයෙන් කෙරෙන්නේ විෂය අනුව ප්‍රමිතිකරණයකි. එය භාෂා මාධ්‍යයෙන් ද කෙරෙන ප්‍රමිතිකරණයක් දක්වා දික්කළ යුතු ය. මේ ප්‍රශ්නය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නො වේ යැයි කියා ඇඟ බේරාගැනීමට ආණ්ඩුවට නො හැකි ය. ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නවල දී තීරණ ගැනීම ආණ්ඩුවේ කාර්යභාරය වෙයි. එසේ වුවත් නීති විද්‍යාල ප්‍රශ්නයේ දී කෑ ගසන බොහෝ විට මධ්‍යම පාංතිකයන් වූ සිංහල සිසුන් රෝම ලන්දේසි නීතියට විරුද්ධව කටයුතු කිරීමට සූදානම් ද ? අඩුම තරමෙන් ඔවුන්ට එහි ප්‍රශ්නයක් ඇති බවවත් පෙනෙන්නේ ද? අප පාලනය වන්නේ අපේ සංස්කෘතියට විරුද්ධ වූ සංස්කෘතියක බිහි වූ නීති පද්ධතියකින් බවට ඔවුන්ට තේරුම් ගත හැකි ද? නීතිය ද ඇතුළු මුළු මහත් බටහිර දැනුම ම අපට විරුද්ධ ය. එහෙත් ප්‍රශ්නය එයට වඩා බොහෝ දුර දිග යයි. අවාසනාවකට සිංහල බෞද්ධ මධ්‍යම පංතියට එහි බැරෑරුම්කම නො තේරෙයි.

බටහිර දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වුවත් නැතත් ඒ දැනුම පට්ටපල් බොරුවකි. බටහිර විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතියට හෝ බුදුදහමට එරෙහිව යෑම අපට ප්‍රශ්නයක් නො වේ. පුදුමය එසේ නොවූවා නම් ය. එකිනෙකට විරුද්ධ වූ චින්තන දෙකක් මත පදනම් ව විරුද්ධ සංස්කෘතින් දෙකක බිහිවූ දැනුම් පද්ධති දෙකක් අතර විරුද්ධකම් තිබීම අපට කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් විය හැක්කේ ප්‍රශ්න පටළවා තම ව්‍යාජ පාණ්ඩිත්වය රැක ගැනීමට උත්සාහ දරන පුස්සන්ට පමණ ය. අපට වැදගත් වන්නේ වෙනත් ප්‍රශ්න ය. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම උද්ගමනය මත පදනම්ව ගොතන ලද බොරු කතන්දර වීම, බටහිර දැනුම් ආධිපත්‍යය අප මත බලෙන් පැටවීම, බටහිර විද්‍යාවේ ඇතැයි කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන මැත දෙඩවීම, මෙරට බටහිර අධ්‍යාපනයෙන් මොළ සෝදනු ලැබූ කසිකබල් උගතුන් (ඔවුහු කසිකබල් උගත්තු පමණක් ම වෙති) බටහිරයන් විසින් යොදා ගැනීම ආදිය එහි දී ප්‍රධාන වෙයි. අපේ දැනුම් පද්ධතියක් ගොඩනැගීමට බටහිරයෝ අපට ඉඩ නො දෙති. පසුගිය දා ඇති වූ ආසනික් ප්‍රශ්නයේ දී එය මනාව පැහැදිලි විණි. මා බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ යන කෘතිය පළ කළේ ඒ කරුණු ඉස්මතු කිරීම සඳහා මිස බටහිර විද්‍යාව බුදුදහම සමග එකඟ නොවන්නේ ය යන්න කීම සඳහා නො වේ. ලබන බදාදා ජේ ආර ජයවර්ධන කේන්ද්‍රයේ දී ඒ පොත පිළිබඳ පැවැත්වෙන සම්මන්ත්‍රණය ප්‍රධාන වශයෙන් ම බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුව හා ආධිපත්‍යය සාකච්ඡා කිරීම සඳහා ය. ඒ සාකච්ඡාව වෙනත් පැත්තකට යොමු නොකිරීමට වග බලාගත යුතු ය. එය සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට වැදගත් වේ යැයි සිතමි.

හලාල් ප්‍රශ්නය කිසි විටෙකත් හලාල් සහතික විරෝධීන් අතින් නිසි ලෙස ඉදිරිපත් නො විණි. එහි දී කවරදාවත් නැතිව රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධ ස්ථාවරයක් වැන්නකට තල්ලු වීම ගැන අප දෙවරක් නොව දසවරක් සිතිය යුතු ය. හලාල් යන්නෙහි තේරුම අනුමත කිරීම බව පැවසෙයි. එනම් මුස්ලිම්වරුන්ට පරිභෝජනය කිරීම සඳහා අනුමත කිරීම ය. අප රට නමට වුවත් සිංහල බෞද්ධ රටකි. එංගලන්තය හා ඇමරිකාව ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙහි ක්‍රිස්තියානි රටවල් වන්නාක් සේ ම ඉන්දියාව හින්දු රටක් වන්නා සේ ම, පකිස්ථානය මුස්ලිම් රටක් වන්නා සේ ම අප රට ද සිංහල බෞද්ධ රටකි. ඒ රටවල ව්‍යවස්ථාවල කුමක් සඳහන් වුව ද ඒ කිසිදු රටක් ඓහික (අනාගමික) රාජ්‍යයක් පවත්නා රටක් නො වේ. ඔබාමා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ බයිබලයේ අත තබාගෙන මිස ඔහුගේ සීයාගේ ආගමේ කෝරාණය මත අත තබාගෙන නො වේ. ඔහු ඇමරිකාවේ (ක්‍රිස්තියානි) ව්‍යවස්ථාව රැකීමට දෙවියන් වහන්සේගේ උදවු පැතීය. පසුගිය දා හින්දි තීරයේ ජනප්‍රිය නළුවකු වූ ෂාරුක් ඛාන් තමාට ඉස්ලාම් භක්තිකයකු වීම නිසා ඉන්දියාවේ මුහුණ පෑමට සිදු වී ඇති ගැටළු ගැන කතා කළේ ය. එය ගොඩින් වසා දැමීමට ඉන්දියාවට බටහිර රටවල ද සහාය ලැබිණි. ඒ බටහිර රටවල් මුස්ලිම් සංස්කෘතියට ඇති විරෝධය නිසාත් ඉන්දියාව අද බටහිරයනගේ අතකොළුවක් වී ඇති නිසාත් ය. යම් අයුරකින් මෙරට ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ නළුවකු තමන්ට ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ වීම නිසා අසාධාරණකම් සිදුවේ යැයි කීවේ නම් බටහිර මාධ්‍යය විශේෂයෙන් ම බීබීසිය හා එහි අගුපිලේ ඇති සන්දේශය කෙසේ ක්‍රියා කිරීමට තිබිණි ද?

අප රට සිංහල බෞද්ධ වන්නේ නමින් පමණකි. ක්‍රියාවෙන් අප තවමත් ක්‍රිස්තියානි නූතනත්වයේ රටකි. අප අනුගමනය කරන්නේ චොප්පෙලා බිහිකරන ඇමරිකන් ආයුධ සහිත මිනීමරන සංස්කෘතිය මිස සිංහල බෞද්ධ සංස්කෘතියක් නො වේ. බටහිරයන් ආරම්භ කර ජේ ආර් ජයවර්ධන වර්ධනය කළ බටහිර ක්‍රිස්තියානි යුදෙවු සංස්කෘතිය පරාජය කිරීමට තවමත් සිංහල බෞද්ධයන්ට නොහැකි වී ඇත. සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට කතාකරන ඇමතිවරුන් ඇතැයි කියන රටක ආණ්ඩුව එසේ කරාවි යැයි සිතිය නො හැකි ය. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපන හිණිමගේ ඉහළට නැගීමට තම ජීවිතය ම කැපකරන සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට සිංහල බෞද්ධත්වයක් අවශ්‍ය නැත. ඔවුහු ඕල්කට් බෞද්ධයෝ වෙති. රනිල් වික්‍රමසිංහ හලාල් ප්‍රශ්නයේ දී පෙරට ආවේ සිංහල බෞද්ධත්වයක් නිසා නොව ඒ ඔස්සේ ආණ්ඩුවට මඩ ගැසීමටත් හැකිනම් භේද මගින් ආණ්ඩුවට ප්‍රශ්න ඇතිකිරීමටත් ය. යම්කිසි ආකාරයකින් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් මෙරට ඇතිවුවහොත් එහි වාසිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ය. බටහිර යටත්විජිතවාදයට ය. රනිල් වික්‍රමසිංහ රවි කරුණානායක ආදීන් පමණක් නොව සජිත් ප්‍රේමදාස ද නියෝජනය කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ය. එසේ වුවත් හලාල් නොවන භාණ්ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්තියානින්ට ද ඉඩ තිබිය යුතු ය.

Sunday, 30 September 2012

මුස්ලිම් විරෝධය

ඇමරිකන් ජාතිකයකු විසින් මහමත්තුමාට අපහාස ගෙන දෙන අයුරෙන් නිපදවා ඇතැයි කියන චිත්‍රපටියක් සමබන්ධයෙන් ලෝ පුරා මුස්ලිම් විරෝධතාවක් මතු වී ඇත. ඒ චිත්‍රපටිය කෝරාණයට එකඟ යැයි ඇතැම්හු කියති. එහෙත් මුස්ලිම් බැතිමත්තු එසේ නො කියති. ඒ කෙසේ වෙතත් ලෝ පුරා මෙවැනි විරෝධතාවක් ඇතිවීම නොසලකා හැරිය හැකි නො වේ. විරෝධතාවට සහභාගි වන්නේ සුළු පිරිසක් විය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ අනෙක් මුස්ලිම් බැතිමතුන් චිත්‍රපටිය අනුමත කරන බව නො වේ. අපට පෙනී යන ආකාරයට සමස්ත මුස්ලිම් ලෝකය ම මෙන් චිත්‍රපටියට විරුද්ධ ය.

පසුගිය දා මෙරටට පැමිණි ප්‍රංශ කතුන් දෙදෙනෙක් බුද්ධ රූප සිපගත්හ. එයට සුළු විරෝධයක් මතු වූ විට මෙරට පඬියෝ ක්‍රිස්තුන් වහන්සේ ගේ හා මරියතුමියගේ ප්‍රතිමා සිපගන්නා කතෝලිකයන්ගේ ඡායාරූප පළ කළහ. ඔවුන් එයින් කීමට අදහස් කළේ ප්‍රධාන ආගමික චරිතවල පිළිම සිපගැනීම බටහිර කතෝලික සංස්කෘතියෙහි අංගයක් බව විය හැකි ය. එහෙත් බෞද්ධ රටක දී එවැනි කරුණු සම්බන්ධයෙන් කතෝලික සංස්කෘතිය අනුව කටයුතු කළ හැකි නො වේ. රෝමයේ දී රෝමන්වරුන් මෙන් ක්‍රියාකළ යුතු යැයි කතාවක් බටහිර රටවල ම වෙයි. බටහිරයන් එයින් කියන්නේ බටහිර රටවල දී ඒ ඒ රටවල සංස්කෘතීන්වලට ගරුකළ යුතු බවත් එහෙත් අනෙක් රටවල දී පොදු බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය අනුව කටයුතු කළ යුතු බවත් වීමට විශාල සම්භාවිතාවක් ඇති බව ඔවුන්ගේ හැසිරීමෙන් හෙළිදරවු වෙයි. අදාළ චිත්‍රපටිය නිපදවීම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඊනියා භාෂණ නිදහසට එකඟ යැයි පෙන්වීමට ද ඇතැම්හු උත්සාහ දරති. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට තමන් අකමැති අන්‍ය සංස්කෘතික, ආගමික, ජාතික කටයුතුවලට පහර දීමට ඊනියා ප්‍රවාද ඔවුන්ගේ පඬියන් විසින් නිර්මාණය කෙරී ඇත.

බටහිර අධ්‍යාපනයක් ලැබූ දන්ත හා වෙනත් මහාචාර්යවරුන්ට හා විශේෂඥයන්ට නොතේරුණ ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය තරම් මානව හිතවාදී නොවන හා අධිපතිවාදී සංස්කෘතියක් මෙලොව තිබී නැත. අද ලෝකයේ සියළු රටවල පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිෂ්පාදනය කෙරුණු දැනුම ය. එතරම් දියුණු නැති බටහිර වෛද්‍ය විද්‍යාව ද දන්ත වෛද්‍ය විද්‍යාව ද ඒ අතර වෙයි. මේ සියළු දැනුම් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කෙරුණු දැනුම් බව අප කියන්නේ අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ සාධක සහිතව ය. එහෙත් ඒ කිසිවක් කියවා නැති දන්ත වෛද්‍යවරු බටහිර දැනුම යථාර්ථයක් ලෙස සලකති. එක්තරා දන්ත වෛද්‍යවරයකු එක් පුවත්පත් සාකච්ඡාවක දී අසා තිබුණේ තමා ඉදිරිපිට ඇති කෝප්පය යථාර්ථයක් නො වේ ද කියා ය. එය කෙප්පයක් බව කෝප්පය පෙන්වා මේ කුමක් දැයි පැරණි වැද්දකුගෙන් ඇසීමෙන් දන්ත වෛද්‍යවරයාට දත හැකි විය යුතුව තිබිණි. කෝප්පය පොල් ගෙඩිය කෙප්පය ආදිය ඒ ඒ සංස්කෘතිය විසින් විවිධාකාරයෙන් අර්ථ දැක්වෙයි. අඩු තරමෙන් සිදුහත් කුමරු ඇස්කිමෝවරයකු ලෙස ඉපදිණි නම් බුදුවීමට තිබිණි ද යන්නවත් මේ නොදත් දත් දොස්තරවරු කල්පනා කළ යුතු ය. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් නොබලා අද එංගලන්තය යැයි කියන ප්‍රදේශයේ උපන්නේ නම් කුමක් සිදුවීමට තිබිණි ද?

ඒ කෙසේ වෙතත් මහමත්තුමාට අපහාස ගෙන දෙන බව කියන චිත්‍රපටියට ඇති වී තිබෙන විරෝධය සියල්ලන්ගේ ම ඇස් ඇරවීමට සමත්විය යුතු ය. ඇතැම් මුස්ලිම් රටවලට බුද්ධ ප්‍රතිමාවක් ගෙන යෑමට ඉඩක් නැතැයි කියැවෙයි. ප්‍රතිමා නිර්මාණය කිරීම ඉස්ලාම් ආගමෙහි මෙන් ම යුදෙව් හා ක්‍රිස්තියානි ආගම්වල ද තහනම් ය. ඒ එසේ වන්නේ ඔවුන්ගේ ආගම්වල (ආබ්‍රහමික ආගම්වල) දෙවියන් වහන්සේ වියුක්ත බැවින් උන්වහන්සේගේ ප්‍රතිමා තැනීමට නොහැකි බැවින් හෝ දෙවියන් එසේ කියා ඇති බැවින් හේ නිසා විය හැකි ය. එසේ වුවත් ක්‍රිස්තියානි රටවලට බුද්ධ ප්‍රතිමා ගෙන යෑමේ තහනමක් නැත. එයට හේතු දෙකක් වෙයි. එකක් නම් අද ලෝකයේ ඇති යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයට බලපෑමක් බුද්ධ ප්‍රතිමාවක් ගෙන යෑමෙන් කළ නොහැකි වීම ය. අනෙක් අතට කතෝලික ආගම දෙවියන් වහන්සේගේ පුතා වූ ක්‍රිස්තුන් වහන්සේගේත්, උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමියගේත් පිළිම තනන පිළිම සම්ප්‍රදායක් බටහිර රටවල ඇතිකර තිබීම ය. එහෙත් ඇතැම් මුස්ලිම් රටවල් බෞද්ධයන්ට ප්‍රතිමා ගෙන යෑමට ඉඩ නොදීම අනුමත කළ නොහැකි ය. බෞද්ධයන් ඒ අයුරෙන් ඉස්ලාම් බැතිමතුන්ට සැලකුවේ නම් මෙරට ඉස්ලාම් ආගමක් නැත. බෞද්ධයන් අරාබි රටවලට යන්නේ බෞද්ධ සංස්කෘතියක් පැතිරවීමට නොව රැකියාවක් කර ආපසු ඒමට ය.

බෞද්ධ සංස්කෘතීන්හි ජීවත්වන්නවුන්ට හැරෙන්නට වෙනත් සංස්කෘතිවල ජීවත්වන්නවුන්ට තම සංස්කෘතික ආධිපත්‍යය සීමිත ප්‍රදේශයක වුව ද පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් ඇත. බෞද්ධයන්ට වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය. බෞද්ධයන්ට අනෙක් ආගම් හා සංස්කෘතීන් ඉවසීමට පුරුදු කළේ බුදුරජාණන් වහන්සේම ය. ඒ අනුව බෞද්ධයෝ සංස්කෘතික ආධිපත්‍යයක් ගැන නො සිතති. කසිකබල් පඬියන් කුමක් කීවත් මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් නැත. බෞද්ධයන්ගේ ඒ ඉවසන සුළු ගතිය ප්‍රයෝජනයට ගනිමින් බටහිරයෝ හා ඔවුන්ගේ අතවැස්සෝ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂත්වයවත් පිළිගැනීමට විරුද්ධ වෙති. ඊනියා බහු සංස්කෘතික බහුබූතයක් ගැන කියමින් අප රටේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂත්වය නැතිකිරීමට ඔවුන් කටයුතු කරන්නේ මෙරට පඬියන් කිහිප දෙනකුගේ සේවය මුදලට ගෙන ය. ඒ අතර ඔවුහු මෙරට යුදෙවු සංස්කෘතික ආධිපත්‍යය දන්ත වෛද්‍ය මහාචාර්යවරුන හා විශේෂඥයන් ද මගින් තහවුරු කර ගනිති.

අද ලෝකයේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය කඩා වැටෙමින් ඇත. බටහිර විද්‍යාවෙහි වර්ධනයක් දක්නට නැත. බටහිර ඉතා ඉහළින් පිළිගත් ක්‍රිස්තියානි නූතනත්වයේ මහා පඬුවකු වූ තෝමස් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය සුසමාදර්ශ සමග බැඳී ඇති බව කීවේ ය. දන්ත වෛද්‍ය මහාචාර්යවරයකුට අනුව නම් කූන් පශ්චාත්නූතනවාදියෙකි, සාපේක්‍ෂතාවාදියෙකි. ඔහු ඒ එක් අයකුවත් නො වේ. විද්‍යාවේ දර්ශනය සුළුවෙන් වුවත් හැදෑරූ සියල්ලෝම පාහේ ඒ බව දනිති. එහෙත් මහාචාර්යවරයා ඒ බව නො දනියි. ඔහු කූන්ගේ පොතපත කියවා නොමැති බවත් තවත් සුප්‍රසිද්ධ දන්ත වෛද්‍යවරයකු කරන ආකාරයට ම කූන් ගැන කවුරුන් දෝ කී දෙයක් මත පදනම් වී අනුන්ගේ මත ප්‍රකාශ කරන බවත් පැහැදිලි ය. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හා නූතනත්වයෙහි අධිපතිවාදී යුගය අවසන් වෙමින් පවතින බවත් එලෙස ම පැහැදිලි ය.

මුස්ලිම් ලෝකයෙහි අද සිදුවෙමින් පවතින්නේ වැටෙන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කිරීමකි. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඇත්තන් සිතන්නේ ඔවුන් තවමත් ලෝක ආධිපත්‍යය දරණ බව ය. තමන් වැටෙන බව ඔවුහු නො දනිති. ඔවුහු අනෙක් සංස්කෘතීන් පාගති. බෞද්ධයන් බොහෝ විට මේ පෑගීම් අඩත්තට්ටෙම් ඉවසුවත් මුස්ලිම් සංස්කෘතියෙහි ඇත්තෝ එසේ නො ඉවසති. ඔවුහු බෞද්ධයන්ට වඩා එකිනෙකා සමග බැඳීම් ඇතිව වෙසෙති. තම සංස්කෘතියට, ආගමට පහර වදින අවස්ථාවල දී එකතුවෙති. බෞද්ධයන්ට ලොව පුරා විරෝධතා සංවිධානය කිරීමට නොහැකි වුවත් මුස්ලිමුන්ට එසේ කිරීමේ හැකියාව ඇත. තම ආගමික නායකතුමාට අගෞරව කරන අන්දමින් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම පිළිබඳ ව අද ඔවුහු බටහිර රටවල ද වෙනත් රටවල ද විරෝධතා රැළි සංවිධානය කරති.

අද ඇමරිකාවට මේ උද්ඝෝෂණ ප්‍රශ්නයක් වී ඇත. ඇමරිකන් ජනාධිපතිවරණයට ද මේ විරෝධතා බලපානු ඇත. ඒ අතර ඇමරිකාව ලෝකයේ අනෙක් රටවලින් තම ගොඩනැගිලි ආදිය ආරක්‍ෂා කර දෙන ලෙස ඉල්ලා ඇත. මේ විරෝධතා වැඩි කලක් පවතිනු ඇතැයි සිතිය නො හැකි ය. ඒ නිසාමත් ඇමරිකාව එයින් පාඩමක් ඉගෙන ගනීවි යැයි සිතිය නො හැකි ය. තම සංස්කෘතියත් ඒ සමග තම ආර්ථික පද්ධතිය වූ ධනවාදයත් කඩා වැටෙන බව බටහිරයෝ අවබෝධ කර නො ගනිති. මේ කඩාවැටීම මාක්ස්වාදයේ කියැවෙන කඩාවැටීම නො වේ. මාක්ස්වාදයේ කියැවෙන ඊනියා කම්කරු පංති විප්ලවය කිසි දිනෙක ඇති නොවන්නකි. පරිසරයට කිසිම සැලකිල්ලක් නොදක්වන පරිසරය විනාශ කරන බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට ඒ සමග බැඳී ඇති ද්විකෝටික න්‍යායෙහි හිරවුණු දැනුමට, ඔවුන්ගේ ධනපති ආර්ථිකයට හා දේශපාලන පද්ධතීන්ට කිසිම වර්ධනයක් නැත. ඔවුන්ගේ කඩා වැටීමේ දී මුස්ලිම් සංස්කෘතියෙහි නො ඉවසන ගතිය ද බෞද්ධ සංස්කෘතියෙහි දාර්ශනික පදනම ද යම් කාර්යභාරයන් ඉටුකරනු ඇත. මෙරට බොහෝ පඬියන් නොදනිතත් බටහිර විද්‍යාවට සුළු වර්ධනයක් වුවත් ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතියෙන් පිටත ය. බෝර් එසේ තම සංස්කෘතියෙන් පිටතට පැමිණ චීන යිං යැං සංස්කෘතිය මත පදනම් ව ක්වොන්ටම් භෞතිකයෙහි වර්ධනයක් කිරීමට උත්සාහයක් ගත්තෙකි.

මුස්ලිම් විරෝධතාවල ඇති ඇතැම් හිංසාකාරී ක්‍රියා අනුමත කළ හැකි නො වේ. එහෙත් ඔවුන් එතැනට තල්ලු කරනු ලැබූ සංසිද්ධි සම්බන්ධයෙන් විරෝධය පළ නොකර මුස්ලිමුන්ගේ ඇතැම් හිංසාකාරී ක්‍රියා පමණක් හෙළා දැකීම ද අනුමත කළ නො හැකි ය. මෙරට පඬියන් ඊනියා සිංහල බෞද්ධ අධිපතිවාදයකට විරෝධ වන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය රැක ගැනීමට ය. අද ලෝකයේත් ලංකාවේත් ඇත්තේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ය. එය පතුරවන්නේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය මගින් හා ජනමාධ්‍යය මගිනි. කලින් සඳහන් කෙරුණු දන්ත වෛද්‍ය මහාචාර්යවරයා විශ්‍රාම ගැනීමෙන් පසු ජාතික ව්‍යාපාරයට හේත්තුවන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ආරක්‍ෂා කරගනිමිනි. ඔහුට ඇති ජාතිකත්වයක් නැත. ඔහු වැන්නෝ කෙතරම් වංචනිකයන් ද යත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඇති දැනුම ඩාවින්ගේ පරිණාමවාදයෙහි ද ඇත යනුවෙන් බොරු කියති. ඔවුන් ගැන සඳහන් කරන්නේ ව්‍යාජ පඬියන් ජාතික ව්‍යාපාරයට රිංගා ගැනීමේ අනතුර පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට ය. ඒ කෙසේ වෙතත් අද මුස්ලිම් සංස්කෘතිය විසින් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට දැඩි අභියෝගයක් එල්ල කෙරී ඇත. එය තාවකාලික ව යටගියත් යථා කාලයේ දී නැවතත් ඉදිරියට එනු ඇත. පරිසරය රැකීමට බැරි බටහිර යුදෙවු සංස්කෘතියට අනාගතයක් නැත. අද බෞද්ධයන්ට කළ හැක්කේ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට සූදානම් වෙමින් තම සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය.


Saturday, 19 May 2012

සිංහල බෞද්ධයන්ගේ කරුමය

සිංහල බෞද්ධයන් තරම් අන්‍ය ආගමිකයන්ගේ ද ඊනියා බුද්ධිවාදීන්ගේ ද බටහිරයන්ගේ ද වෙනත් ඒ අයගේ ආවතේවකාරයන්ගේ ද අවඥාවට, විවේචනයට, දෝෂ දර්ශනයට ලක්වන තවත් පිරිසක් ලෝකයේ නැති තරම් ය. එයට පළමුවැනි වරදකරුවන් වනුයේ අන් කවරකුවත් නොව සිංහල බෞද්ධයන් ය. තවමත් අවසන් නැති අවුරුදු පන්සියයකට අධීක යටත්විජිත පාලනයකින් සිංහල බෞද්ධයන්ගේ පිටකොන්ද කඩා දමා ඇත. එහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙන්නේ ඉංගිරිසින් විසින් අපට දෙනු ලැබූ මැකෝලේගේ අධ්‍යාපනය ය. අදත් මෙරට බටහිර දැනුමේ ආධිපත්‍යය අප මත පැටවී ඇත. සිංහල බෞද්ධ බලයක් යනුවෙන් තබා සිංහල යනුවෙන් කිවහැකි අධ්‍යාපනයක් මෙරට නැත. අප කල්පනා කරන්නේ, නැත අප කතාකරන්නේ, ලියන්නේ බටහිරයන්ගේ යටත්විජිතවාදී දැනුමෙහි සංකල්ප, ප්‍රවාද ආදිය යොදාගනිමිනි. මෙරට තුට්ටු දෙකේ අනුකාරක විශ්වවිද්‍යාල මෙහි දී ප්‍රධාන තැනක් ගනියි. සුද්දන්ගේ (බටහිර යටත්විජ්තවාදීන්ගේ යන අරුතින්) කසිකබල් මත වැමෑරීම හැරෙන්නට මෙරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයක් කරන වෙනත් කාරියක් නැත. මෙරට සිංහල බෞද්ධ රටක් බව නොබියව කීමට ඉදිරිපත්වන්නේ මෙරට ජනතාවගෙන් කී දෙනකු ද? පඬියෝ ඒ පිරිසට ලිංමැඩියන්, අන්තවාදීන්, ජාතිවාදීන් ආදී නම් පටබඳිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා සෑම පාසලක ම භාවනාකිරීම සඳහා වෙනම කාමරයක් තිබීමේ වැදගත්කම ගැන කතා කළේ ය. එයට කලකට පෙර මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධීපති වශයෙන් සේවය කරද්දී භාවනාකිරීම සඳහා කාමරයක් සතියේ එක් දිනක් සවස හතරෙන් පසු වෙන් කළෙමි. පීඨයේ අබෞද්ධ ගුරුවරුන්ගෙන් මෙන් ම ඊනියා බෞද්ධ විද්‍යාඥයන්ගෙන් ද එයට තදබල විරුද්ධතාවක් එල්ල විණි. ඒ සම්බන්ධයෙන් විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද යන මැයෙන් දිවයින ඉරිදා සංග්‍රහයට ලිපියක් ලිවීමට ද මට සිදුවිය. කෙසේ වෙතත් අද භාවනා වැඩසටහනකට පංති කාමරයක් වෙන්කිරීමට වත්මන් බෞද්ධ පීඨාධිපතිවරයා අකමැති වෙයි. ඒ කතෝලික සිසුන්ට යාඥාකිරීමට ද පංති කාමරයක අවස්ථාව ලබා දී තිබිය දී ය. අද සිංහල බෞද්ධ දැනුමක් ගොඩනැගීමට විද්‍යාලංකාරයේ විද්‍යා පීඨයේ බටහිර විද්‍යාව කටගාගත් එහෙත් උපන්තේකට බටහිර විද්‍යා සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩනගා නැති ඊනියා බෞද්ධ ගුරුවරු ද විවිධාකාරයෙන් අකුල් හෙළති. අවශ්‍ය නම් මේ කරුණු සම්බන්ධයෙන් විවාදයකට එළඹීමට කැමැත්තෙමි.

පසුගිය දා දඹුල්ලේ ප්‍රජා භූමියේ හෝ ඒ සමීපයේ හෝ මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන යෑමට බෞද්ධයෝ විරුද්ධ වූහ. එයට නායකත්වය දුන් භික්‍ෂූන්වහන්සේ මේ අවස්ථාවේ කිනම් කරුණක් නිසා මැදිහත්විණි දැයි නො දනිමි. උන්වහන්සේ අතීතයේ දී ක්‍රියා කර ඇති ආකාරය හා අරමුණ කුමක් වුවත් මෙහි දී සිංහල මුස්ලිම් භේදයක් ඇතිකිරීමට ඇතැම්හු උත්සාහ කළහ. මෙවැනි ප්‍රශ්න මුස්ලිම් රටවල හෝ ක්‍රිස්තියානි රටවල ඇති නොවන්නේ ඇයි? එයට ඇත්තේ එකම එක හේතුවක් පමණකි. ඒ රටවල අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමේ දී ම නීතියෙන් බාධා පැමිණවීම ය. පඬියන් කියනු ඇත්තේ මුස්ලිම් රටවල් තිබුණ ද ක්‍රිස්තියානි රටවල් නැති බව ය. බටහිර ඇත්තේ ඓහික (අනාගමික) රටවල් බව ඔවුන් කියනු ඇත. ඒ ඔවුන්ගේ ස්වාමිවරුන් වූ සුද්දන්ගේ ප්‍රවාද පුනරුච්චාරණය කිරීම මිස අනෙකක් නො වේ. සුද්දන්ගේ දැනුම යනු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අධිපතිවාදී දැනුම බව පඬියන්ට පුන පුනා කියා දිය යුතුව ඇත. සුද්දන් විසින් සිංහල බෞද්ධයන් මේ දැනුමට බියකරනු ලැබ ඇත. එංගලන්තයේ රාජ්‍ය නායිකාව මෙන් ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලියේ නායිකාව ද එලිසබෙත් වින්ඩ්සර් හෙවත් ඔවුන්ගේ රැජන ය. මුළු මහත් බටහිර සංස්කෘතිය ම යුදෙව් ක්‍රිස්තියානි වන අතර බටහිර දැනුම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වෙයි. ගුණදාස අමරසේකර මහතා විසින් ඇතැම් විට උපුටා දක්වනු ලබන එරික් ෆ්‍රොම් මහතා පවසන්නේ අද බටහිර ඇත්තේ කාර්මික ක්‍රිස්තියානියක් මිස ක්‍රිස්තියානියක් නොවන බව ය. එහෙත් ඒ එසේ නො වේ. බටහිර ක්‍රිස්තියානි නිකායන් බිහිවූයේ ඊනියා පුනරුදයෙන් පසුව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. අද බටහිර පවත්නේ ඒ චින්තනයෙහි බිහිවුණු මාටින් ලූතර්, කැල්වින් ආදීන්ගේ ක්‍රිස්තියානියේ විකාශයක් මිස ඊනියා කාර්මික ක්‍රිස්තියානියක් නො වේ.

දඹුල්ලට අමතරව කූරගල ද නගෙනහිර පළාතේ ද සිංහල බෞද්ධ උරුමයට පහර එල්ල වෙමින් ඇත. කූරගල ප්‍රශ්නය තාවකාලිකව පසුගිය දා උසාවියෙන් විසඳුණි. මඩකලපුවේ භික්‍ෂූන් වහන්සේ නමකට එක්තරා දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් විසින් පහර දෙනු ලැබිණි යැයි පසුගිය දා වාර්තා විණි. උන්වහන්සේගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූ අයකු නැත. එහි දී බෞද්ධයන්ට විරුද්ධව අවි අමෝරාගෙන සටන් වදින, බටහිර රාජ්‍යවලින් යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මුනිවත රැක්කේ ය. යම් අයුරකින් අන්‍යාගමික පූජකවරයකුට සිංහල බෞද්ධයන් විසින් පහර දෙනු ලැබිණි නම් කුමක් සිදුවිය හැකිව තිබිණි ද? මේ සිංහල බෞද්ධ රටේ මෙසේ සිදුවන්නේ කුමක් නිසා ද? බටහිරයන් අපට කියන්නේ සිංහල බෞද්ධයන් අන්‍යයන්ට අසාධාරණකම් කරන බව ය. එහෙත් සුළුතර ජනවර්ගවලට මෙරට තරම් වරප්‍රසාද හිමි වී ඇති රටක් තවත් නැත. බෞද්ධයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් නොකර සිල් රුකිය යුතු පිරිසක් යැයි බටහිර සුදු පඬුවෝ හා ඔවුන්ගේ මෙරට හෙංචයියලා හා හෙංචක්කලා අපට කියති. අපිදු ගැමුණු කුමරු අමතක කර සිල් රැකීමට යමු.

සිංහලයෝ කිසිවකුට කිසි දා යටත් නොවුහ. ඒ අපේ සංස්කෘතියෙහි හා ජානවල ඇති යක්‍ෂ හා නාග උරුමය නිසා සිදුවූවකි. අවසානයේ දී 1815 දී අපි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි ප්‍රධාන බලකොටුවක් වූ කේම්බ්‍රිජ් විශ්වවි්‍යාලයෙහි උගත් ඩොයිලිගේ ගිවිසුමට රැවටී සුද්දන්ට රටකරවීම භාර කළෙමු. සිංහලයෝ් යුද්ධයෙහි හා වෙනත් ශිල්පවල දක්‍ෂයන් වුවත් ගිවිසුම් සම්බන්ධයෙන් රැවටෙති. අපි පෘතුගීසීන්ට මුළා වී ඊනියා ගෙරිහමක ප්‍රමාණයට කොළඹ ලබා දුන්නෙමු. 1776 දී ලන්දේසීන් සමග නැගෙනහිර පළාත සම්බන්ධ ගිවිසුමක් අත්සන් කර අමාරුවේ වැටුනෙමු. ඉන්දු ලංකා ගිවිසුම තවමත් අප පාලනය කරයි. ඒක පාර්ශිකව ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කළ හැකි දැයි සොයා බැලිය යුතු ය. ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් ද අගය කරන සුද්න්ගේ ඊනියා ජාත්‍යන්තර නීති, එක්සත් ජාතින්ගේ ඊනියා ප්‍රඥප්ති එහි දී අපට හරහට සිටිනු නො අනුමාන ය. ගෙරිමස් කන සුද්දන්ගේ ගෙරිහම් මෙන් ම ඔවුන්ගේ ගෙරිදැනුම ද අවශ්‍ය පරිදි ප්‍රතික්‍ෂෙප කිරීමට අප පසුබට විය යුතු නො වේ. අප 1815 සිට පරදින්නේ සුද්දන්ගේ ගිවිසුම්වලට හා කසිකබල් එහෙත් දේශපාලන ආධිපත්‍යය නිසා රැකෙන බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට ය. මැකෝලේගේ දරුවෝ ඒ වෙනුවෙන් පෙනී සිටිති. ඒ කෙසේ වෙතත් 1815 ගිවිසුම එංගලන්තයේ රජු හා සිංහල නායකයන් අතර සමානත්වතාව පදනම් කරගෙන ඇතිවූවකි. එය ජයග්‍රාහකයන් හා පරාජිතයන් අතර වූ ගිවිසුමක් නො වේ. සිංහල නායකයන් ඒ ගිවිසුම අත්සන් කළේ බ්‍රවුන්රිග් හා ඩොයිලි බුද්ධාගම රැකීමටත් සිංහල නීතිය අනුව රට කරවීමටත් පොරොන්දු වූ බැවිනි. එංගලන්ත පාර්ලිමේන්තුවේ එයට විරුද්ධත්වයක් ඇතිවූයේ ක්‍රිස්තියානි රජුට ඊනියා මිථ්‍යාදෘෂ්ටික ආගමක් රැකීමට සිදුවීම නිසා මිස ගිවිසුමෙන් අන්‍යාගම්වලට අසාධාරණයක් වේය යන හේතුවක් නිසා නො වේ. අද අපට එහි වැදගත්කම ඇත්තේ මේ ගිවිසුම මත පදනම් ව දහනවවැනි සියවසේ ඉංගිරිසින් පැනවූ “නීතියක්” හේතුකොටගෙන ය. එයට අනුව අන්‍යාගමික සිද්ධස්ථානයක් ගොඩනැගීමේ දී ඒ සඳහා ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතු ය. ඒ නීතිය අදත් වලංගුවන අතර බෞද්ධ සිද්ධස්ථාන සඳහා අදාළ නො වේ. මේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් දඹුල්ලේ හෝ කූරගල හෝ මුහුදු මහා විහාරයේ හෝ ලංකාවේ වෙනත් කිසිම තැනක හෝ අනවශ්‍ය සිද්ධි ඇති නොවනු ඇත. අද කළ යුත්තේ මේ නීතිය වහාම ක්‍රියාත්මක කිරීම ය. එය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්විය යුතු යැයි අප කියන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන් බොහෝ දෙනකු චන්ද්‍රිකාගේ ඇමතිවරුන් වීමත් සුද්දන්ගේ දැනුමට ආවඩන්නන් නිසාත් ය.

සිංහල බෞද්ධයන්ගේ කරුමය සුද්න්ගේ (බටහිර ක්‍රිස්තියානි යටත්විජ්තවාදීන්ගේ මිස ඇතැම් නිවට පුහු පඬියන් සිතන ආකාරයට පාරේ යන ඕනෑම සුද්දකුගේ නො වේ. බටහිර රටවල සුදු හිඟන්නෝ ද වෙති) දැනුමට ඇති බය ය. මේ බය නැතිකිරීමට ධර්මපාලතුමා කී දෙයක් සංශෝධනය කරමින් බටහිර මහා බුද්ධිමතුන් යැයි කියන්නන්ගේ පඹයන් තනා ඒවාට පහර දීය යුතු ය. පඬියන් මෙයට විරුද්ධව මැසිවිලි නගනු ඇත. එහෙත් පඬියෝ පඹයෝ ම වෙති. අවාසනාවකට මෙරට මැති ඇමතිවරු ද සුද්දන්ගේ දැනුමට බිය වෙති. එංගලන්තය පැහැදිලිව ම ක්‍රිස්තියානි රටක් වුව ද එහි රාජ්‍ය සංකේත මගින් ක්‍රිස්තියානි නොවන ආගම් හෝ ඇග්ලො සැක්සන් නොවන ජනවර්ග නියෝජනය නොවුණ ද අප සිංහල බෞද්ධ රටක් යැයි කීම තහනම් ය. බටහිර රටවල ඊනියා බහුසංස්කෘතියක් නැත. එහි ක්‍රිස්තියානි සංස්කෘතිය අධිපතිවාදී සංස්කෘතිය වෙයි. එංගලන්තයේ, ප්‍රංශයේ ඕස්ටේ‍රිලියාවේ මුස්ලිම් කාන්තාවන් පර්දාව ඇඳීමට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්විණි. ඇතැම් රටවල එසේ ඇඳීම තහනම් ය. මුස්ලිම් රටවල හෝ ක්‍රිස්තියානි රටවල හෝ පල්ලි මිස අන්‍යාගමික සිද්ධස්ථාන දැකිය හැක්කේ කලාතුරකිනි. එහෙත් ලංකාවේ හතර දිග්භාගයේ ම ආගම් හතරක සිද්ධස්ථාන දැකිය හැකි ය. ඒ ආගම්වවල වැදගත් දිනවල ලංකාවේ නිවාඩු ලබා දී ඇත. එංගලන්තයේ හෝ ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක වෙසක් දා අඩුම තරමෙන් බෞද්ධයනට නිවාඩු ලැබිණි ද? ඒ රටවල බෞද්ධයන්ට වෙසක් උදාවන්නේ වෙසක් පෝයට පසුව එන ඉරිදා ය. එහෙත් අපි සුද්දන්ගේ හා ඔවුන්ගේ හෙංචයියන් හා හෙංචක්කලා වූ පඬියන්ගේ දැනුමට යටත්ව බැට කන්නේ ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයක් පැවැත්වීම සම්බන්ධයෙනි. අප බැටකෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විදේශ අමාත්‍යාංශය ය. අප ලවා තව තවත් බටහිරයන්ට හිස නැම්මවීමට අද විදේශ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙයි. ජෙනීවා හි අප තානාපති ව සිටි දයාන් ජයතිලක වැන්නන්ට වඩා ලංකාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් කල තමරා කුණනායගම් මහත්මිය එතැනින් මාරුකර යවන්නේ බටහිර ගැති විදේශ ඇමතිගේ හා ලංඩනයේ මහා කොමසාරිස් ලෙස කටයුතු කළ එවැනි ම වූ ගැත්තියකගේ අවශ්‍යතාව පරිදි ද? සියළු ආකාරවල පඬියෝ තමන් බටහිර ක්‍රිස්තියානි දැනුමෙහි දාසයන් බව නො දනිත් ද? ඔවුහු නිවටයෝ වෙති. මේ නිවටයන් නිසා මුළු මහත් ජාතියක් සුද්දන්ට හා ඔවුන්ගේ දැනුමට හිස නැමිය යුූතු ද? අප මේ කරුමය වහා අහෝසි කර්මයක් කළ යුතු ය.

Sunday, 4 September 2011

ග්‍රීස් යක්කු

රීස් යක්කු කවරහු දැයි දැන් හෙළිදරවු වී ඇතැයි සිතමි. පසුගිය සතියේ දැක්මෙන් අපි ඒ පිළිබඳ හෝඩුවාවක් දුනිමු. අද වන විට සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ව පැහැදිලි අදහසක් ඇතිකරගැනීම අපහසුවක් නො වේ. ග්‍රීස් යකුන් පිටුපස ඇත්තේ ආණ්ඩු විරෝධී සිංහල විරෝධී දේශපාලන කණ්ඩායමකි. අද ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන් ක්‍රියාකරන්නේ කෙසේ නමුත් මේ ආණ්ඩුව බලයෙන් පහකිරීමට ය. ඔවුහු ලෝකයේ තමන් අකමැති ආණ්ඩු බලයෙන් පහකරති. ඔවුහු ඇතැම් අවස්ථාවල සාර්ථක වෙති. එහෙත් ඇතැම් විටක පරාජය වෙති. අද ඔවුන්ට ලිබියාවේ යම් සාර්ථකත්වයක් ඇති කරගැනීමට හැකි වී ඇත. බටහිරයන්ට අවශ්‍ය තමන්ට නැමෙන මුස්ලිම් නායකත්වයකි. ඔවුහු සවුදු අරාබියේ නායකයන් ආරක්‍ෂා කරන අතර ගඩාෆිලා පන්නා දැමීමට කටයුතු කරති. ගඩාෆිගෙන් පසුව සිරියාව ඉරානය බටහිරයන්ගේ ඉලක්ක වනු ඇත. බටහිරයන්ට ලංකාවේ ද අවශ්‍ය වනුයේ ඔවුන්ට ගැති මුස්ලිම් නායකයන් පිරිසකි. එය මුස්ලිමුන්ට පමණක් සීමාවන්නක් ද නො වේ. සිංහලයන් හා දෙමළ ජනයා අතර ද ඔවුන්ට අවශ්‍ය බටහිර ගැති නායකයන් ය. ඔවුන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි නායකයන් ය. පොන්නම්බලම් රාමනාදන්ගේ සිට ප්‍රභාකරන් දක්වා දෙමළ ජාතිවාදී නායකයන් අවසාන වශයෙන් කටයුතු කළේ බටහිරයන්ට අවශ්‍ය අන්දමට ය. ඇතැමකු ප්‍රභාකරන් බටහිරයන්ට අකීකරුව කටයුතු කළ බව ප්‍රකාශ කළත් ඒ එසේ නො වේ. අවසාන මොහොත දක්වා ම බටහිරයන් ක්‍රියා කළේ ප්‍රභාකරන් බේරා ගැනීමට ය. නම්බියාර් එකල මෙරටට පැමිණ සිටියේ ඒ කටයුතු සංවිධානය කිරීමට ය. එහෙත් ආණ්ඩුව හා හමුදා බටහිරයන්ට වඩා ඉක්මන් විය. එතරම් ඉක්මනට නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් හසුවේ යැයි බටහිරයෝ නො සිතූහ. සුදු කොඩි කතාවේ එක් අරමුණක් වනුයේ ප්‍රභාකරන් බේරාගැනීමට අසමත් වූ බටහිරයන් තමන්ට අත්වූ පරාජය මකා දැමීම ය. එහි ප්‍රධාන අරමුණ ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා හා රණවිරුවන් කිහිප දෙනකු ඊනියා ජාත්‍යන්තර අධිකරණයක් ඔස්සේ හැකිනම් දංගෙඩියට යැවීමටත් නන්දිකඩාල් ජයග්‍රහණයේ වලංගු බව නැතිකිරීමත් ය. ඒ සඳහා බටහිරයන් යොදාගන්නා ප්‍රධාන අවිය වනුයේ බීබීසියේ හතරවැනි නාලිකාව හෙවත් චැනල් ෆෝ ය.

අද ප්‍රභාකරන් නැත. බටහිර ගැති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ අගමැතිවීමට සුදුසු වුවත් මෙරට ජනාධිපතිකමට නුසුදුස්සෙකි. එහෙත් ඔහුට අභියෝග කිරීමට හැකි ජාතිකත්වයක් ඇති නායකයෙක් එ ජා පක්‍ෂයේ නැත. කරු ජයසූරිය මෙන් ම සජිත් ප්‍රේමදාස ද ව්‍යාජ ජාතිකත්වයක් සහිත පුද්ගලයෝ ය. සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන උපදේශිකාවක වූ රෝසි සේනානායකගේ ඇති ජාතිකත්වය කුමක් ද? ඇය සමග සම්බන්ධකම් පැවැත්වූ ප්‍රේමදාස පවුලේ අනෙක් අය අද ඇත්තේ කොතැනක ද? බටහිරයන් ඒ ඒ රටවල ක්‍රියාත්මක වීමේ දී අද ඒ ඒ රටෙහි ජාතිකත්වය, සංස්කෘතිය සමග ව්‍යාජ ලෙස බැඳුණු පුද්ගලයන් ඉදිරිපත් කරනු දැකිය හැකි ය. මෙය වඩාත් ම ක්‍රියාත්මක වන්නේ බටහිර ආසියාවේ මුස්ලිම් රටවල ය. සිංහල බෞද්ධ සංස්කෘතියක සජිත් රෝසි නටන නෙයියාඩම වටහාගැනීම අසීරු නො වේ. පන්සල් කිහිපයකට ගොස් මුදල් බෙදා දීමෙන් ජාතිකත්වය ඇතිකර ගැනීමට හැකිනම් සුනාමියෙන් පසු පන්සල් ගිය සොල්හයිම්ලාට ද ජාතිකත්වය ඇතිකර ගැනීමට හැකිවිය යුතුව තිබිණි. අප මෙයින් කීමට අදහස් කරන්නේ විජාතික මනසක් ඇති රනිල් වික්‍රමසිංහ රැකගත යුතු බව නො වේ. අද එ ජා පක්‍ෂයට ජාතිකත්වයක් ඇති නායකයකු සොයාගැනීමට නොහැකි වී ඇත. පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵල දැනගැනීමට අංජනම්එළි බැලිය යුතු නො වේ. ජ වි පෙරමුණ ජාතිකත්වය හා ජාත්‍යන්තරවාදී මාක්ස්වාදය අතර දෝලනය වන පක්‍ෂයකි. අද එය ජාතිකත්වයට විරුද්ධ ය. අද ජ වි පෙ බටහිරයන්ගේ තවත් අතකොළුවක් පමණකි.

ආණ්ඩුවට විරුද්ධව ඊනියා ජනතා උද්ඝෝෂණ යොදා ගන්නා ආකාරය පෙන්වා දීමට බටහිරයන් යොදාගන්නේ, එසේත් නැත්නම් අත්හදා බැලීම් කිරීමට යොදාගන්නේ ජ වි පෙරමුණ බව පැහැදිලි ය. 1971 දී අත්හදා බැලුණු ත්‍රස්තවාදය ප්‍රභාකරන් අතින් වර්ධනය විය. ඒ සඳහා තරමක කාලයක් ගත විය. අද බටහිරයන්ට එතරම් කල් බලා සිටිය හැකි නො වේ. බටහිර රටවල් අද කඩාවැටෙමින් පවතියි. ඒ මාක්ස්වාදයට අනුව සිදුවන කඩාවැටීමක් නම් නොවන බව මෙරට සිටින කසිකබල් මාක්ස්වාදීන්ට කියා දිය යුතු ය. අද බටහිර රටවල් කඩාවැටෙන්නේ ධනපති පංතිය බෙහෙතකටවත් සොයාගත නොහැකි කම්කරු පංතියක් සූරාකෑම නිසා ඇතිවන ඊනියා අපෝහක ප්‍රතිවිරෝධතා නිසා නොව පරිසරය, එනම් ස්වාභාවිකත්වය සූරාකෑමත් ස්වාභාවිකත්වයට එරෙහිව යෑමත් පෞද්ගලිකත්වය ඉස්මතු කිරීමත්, පෞද්ගලිකව ඉන්ද්‍රිය පිනවීම සඳහා ස්වාභාවිකත්වය බිලි දීමත් ආදී කරුණු නිසා ය. බටහිරයන්ට ඉන් ගොඩ ඒමක් නැත. ඔවුන් වෑයම් කරන්නේ තම සමාජ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ආසියාවේ හා අප්‍රිකාවේ රටවල ඔවුන්ට ගැති නායකයන් බිහිකර ගැනීමට ය. එහෙත් එය ඉක්මනින් කළ යුතුව ඇත. අද බටහිරයෝ ප්‍රභාකරන් නැති ලංකාවක, ජාතිකත්වයක් නැති රනිල් හා ව්‍යාජ ජාතිකත්වයක් පමණක් ඇති සජිත් අලි පටලැවිල්ලක හිරවී ඇති ලංකාවක, යන එන මං නැති ජ වි පෙරමුණට පාඩම් කිරීමට හැකි එහෙත් කල්පනා කිරීමට නොහැකි සරසවි ඇදුරන් කිහිප දෙනකු මුලාකිරීම හැරෙන්නට විශ්වවිද්‍යාලයක්වත් වසාගැනීමට නොහැකි ලංකාවක, ව්‍යාජ ජාතිකවාදී මුස්ලිම් නායකත්වයක් වහ වහා ඇතිකර ගැනීමට උත්සාහ කරති. ග්‍රීස් යකුන් ඒ සඳහා ය. එහෙත් ග්‍රීස් යකුන්ට ලිස්සන ගසේ බැසීම හැරෙන්නට වෙනත් කළ හැකි දෙයක් නැත.

දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරණ බටහිරයන්, ඉන්දියානුවන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, තිස්ස විතාරණ ප්‍රමුඛ පැරණි වාමාංශිකයන්, අවුරුදු තිස්පහක් පමණ ක්‍රියාත්මක වන වික්‍රමබාහු කරුණාරත්න වැනි ඊනියා නව වාමාංශිකයන්, දෙමළ ජාතිවාදීන්, ඉස්ලාම් ජාතිවාදීන් අද වන විට තේරුම්ගෙන ඇති කරුණක් නම් සිංහල ජනතාවගේ කැමැත්තක් නැතිව ඒ කළ නොහැක්කක් බව ය. ආණ්ඩුව ඇතුළත සිටින්නන් හැරෙන්නට එකී අනෙක් සියළු දෙනාගේ ම අද අවශ්‍යතාව වී ඇත්තේ ආණ්ඩුව අස්ථාවර කිරීම ය. එහෙත් ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වූ එ ජා පක්‍ෂයට එවැනි අවශ්‍යතාවක් නැත. අද රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයෙහි මුලට ම ඇත්තේ ආණ්ඩුව අස්ථාවර කිරීම නොව පක්‍ෂ අභ්‍යන්තරයෙහි තම ස්ථාවරත්වය රැකගැනීම ය. ලංකා දේශපාලනයෙහි බිහිවූ දුර්වල ම දේශපාලනඥයන් අතර ඔහු ප්‍රධානියා නොවන්නේ නම් ප්‍රධානියෙක් වෙයි. එහෙත් ඔහු සජිත් නිසා රැකෙයි. ඊනියා සාකච්ඡාවලින් බලය බෙදීමකට සිංහලයන් කිසි දිනෙක ඉඩ නො දෙනු ඇත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අද දේශපාලනය සමග සංගත නො වෙයි. ඒ අප කිහිප වතාවක් ම කියා ඇති පරිදි රාමනාදන්ලාගෙන් ඇරඹි දෙමළ ජාතිවාදී දේශපාලන ප්‍රවාහය හා සම්බන්ධ සියළු ගිවිසුම්, ව්‍යවස්ථා සංශෝධන නන්දිකඩාල් කලපුවේ ජයග්‍රහණයෙන් පසු අවලංගු වීම නිසා ය. අද බටහිරයන්ට අවශ්‍ය කෙසේ නමුත් මේ ජයග්‍රහණය අකා මකා දැමීමට ය. චැනල් ෆෝ මෙන් ම මුස්ලිම් ජාතිවාදීන් කිහිප දෙනකු විසින් මෙහෙයවන ග්‍රීස් යකුන් ද ඒ සඳහා ය. රාවුෆ් හකීම් වැන්නන් ග්‍රීස් යකුන් පිටුපස සිටින මුස්ලිම් ජාතිවාදීන්ට විරුද්ධව දැඩි ස්ථාවරයකට නොයන්නේ නම් අපට ඒ පිළිබඳව ප්‍රශ්න ඇති වෙයි.

ග්‍රීස් යකුන් අල්ලා ගත්තත් නැතත් පහර දෙන්නේ පොලිසිවලට ය. එසේත්නැත්නම් හමුදා කඳවුරුවලට ය. ජනතාව ප්‍රකෝප කර සංවිධානාත්මක ව පොලීසියට පහර දීම අත්හදා බැලුණේ කටුනායක දී ය. එහි දී පොලීසියේ ඇතැම් දුර්වලකම් ද ප්‍රයෝජනයට ගැනිණි. ජ වි පෙ ඒ පසුපස විය. කටුනායක සිද්ධිය කම්කරු පංතියේ නැගිටීමක් ලෙස දුටු අඳ බාල මාක්ස්වාදීහු ද වුහ. අද මුස්ලිම් ජාතිවාදීන් හා දෙමළ ජාතිවාදීන් පිරිසක් විසින් ජ වි පෙ ආකෘතිය ක්‍රියාත්මක කරනු ලැබෙයි. බටහිරයන් මේ සියල්ල මෙහෙයවන්නේ යැයි අපි නො කියමු. එහෙත් ඒ පිළිබඳ ඔවුන් නොදන්නවා නො වේ. මෙහි ඇත්තේ මූලික වශයෙන් ම ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්වරයා අපකීර්තියට පත්කිරීමත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවල ගෞරවය කෙළෙසීමත් ය. ඒ සියල්ල ඔස්සේ නන්දිකඩාල් ජයග්‍රහණය පළුදුකිරීමත් එමගින් සිංහලයන්ට විරුද්ධව ඇති ගිවිසුම් හා ව්‍යවස්ථා ක්‍රියාත්මකකර දෙමළ ජාතිවාදයට උඩගෙඩි සැපයීමත් කෙරෙයි. ජනාධිපතිතුමා ඇතුළු පිරිසක් දංගෙඩියට යැවීමත් සමස්ත වැඩපිළිවෙළේ ම කොටසක් වෙයි.

අප හැකිතාක් සමස්තය දැකීමට වෑයම් කළ යුතු ය. අතනින් මෙතනින් කොටස් අහුලාගෙන වරක් ඉන්දියාවට බැණ වැදීමත් තවත් වරෙක ඉන්දියාව අපේ ලොකු අයියා යැයි කියමින් ඔවුන්ගේ සරණ පැතීමත් තවත් වරෙක පෞද්ගලික හේතුමත ජාත්‍යන්තර යුද්ධාධිකරණය හමුවේ ඇති තර්ජනය සුළු කොට තැකීමත් සිංහල ජාතිකවාදීන්ගෙන් අප බලාපොරොත්තු වන්නක් නො වේ. ගීිස් යකුන් කවුරුන්දැයි දැනගැනීමට ආණ්ඩුවට ඉක්මණින් ම හැකි වී තිබීම සතුටට කරුණකි. දෙමළ ජාතිවාදයටවත් මුස්ලිම් ජාතිවාදයටවත් මෙරට කිසිම ඉඩක් දිය යුතු නො වේ. මෙරට දෙමළ ජනතාව මෙන් ම මුස්ලිම් ජනතාව ද කිසි විටෙකත් බටහිරයන්ගේ අතකොළු නොවිය යුතු ය. බටහිරයෝ තමන්ගේ රටවල මුස්ලිම් කාන්තාවන්ට පර්දාව ඇඳීමට තහංචි පණවති. මුස්ලිමුන්ට මුස්ලිමුන් සේ ජීවත්වීමට අවශ්‍ය නම් තම රටවලින් පිටව යන ලෙස බටහිරයෝ මුස්ලිමුන්ට කියති. එහෙත් ඔවුහු ලංකාවේ ඊනියා බහුසංස්කෘතික බහුබූතයක් කතාකරමින් මුස්ලිම් ජනතාව සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව උසිගන්වති. ඒ ඇතැමුන් කියන ආකාරයෙන් කුමන්ත්‍රණයක්වත් දෙබිඩි පිළිවෙතක්වත් නොව බටහිර ප්‍රතිපත්තිය ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ හැකිතාක් කල් ලෝක ආධිපත්‍යය රැකගැනීම ය.