Main Logo

Showing posts with label ඉන්දු ලංකා. Show all posts
Showing posts with label ඉන්දු ලංකා. Show all posts

Sunday, 4 August 2013

තාවකාලික ඉන්දු ලංකා ගිවිසුම

පසුගිය ජූලි 22 වැනි දා ඩේලි මිරර් පුවත්පත සමග කළ සාකච්ඡාචක දී උතුරේ පළාත් සභා මැතිවරණයේ දී ඉන්දියාව වෙනුවෙන් දෙමළ ජාතික සංධානයෙන් මහඇමති ධුරාපේක්‍ෂක ලෙස තරග කරන විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබුණේ 80- 90 දශකවල ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකළ නමුත් 2009 දී ඉන්දියාවේ හා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය නොලබන්නට එතරම් ඉක්මණින් කොටින් පරාජය කළ නොහැකිව තිබූ බැවින් ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකළ බව කියමින් එකී ගිවිසුම අහෝසි වී ඇතැයි කීම වැරදි බව ය. මේ ප්‍රකාශයෙන් විග්නේෂ්වරන් කරුණු දෙකක් කියයි. එකක් නම් 80 -90 දශකවල ඉන්දියාව ගිවිසුමේ තම කොටස ඉටු නොකළ බව ය. දෙවනුව ඉන්දියාව කොටින් පැරදවීමට ලංකාවට සහාය දීමෙන් ගිවිසුමේ තම කොටස ඉටුකර ඇති බව ය. මෙයින් පළමු කරුණ සම්බන්ධයෙන් අපේ ස්තුතිය විග්නේෂ්වරන්ට හිමිවිය යුතු ය. ඔහු 80-90 දශකවල ඉන්දියාව ගිවිසුමේ තම කොටස ඉටු නොකළ බව පිළිගනියි. එය වැදගත් පිළිගැනීමකි. එහෙත් ඔහුගේ දෙවැනි ප්‍රකාශය මුළුමනින් ම වැරදි ය. ඉන්දියාව හා බටහිරයන් 2009 දී කොටින් පැරදවීමට දුන් සහායක් නැත. බටහිරයෝ හා ඉන්දියාව මුල සිට ම කොටින් පුහුණු කිරීමෙන්, මුදල්, අවි ආයුධ හා වෙනත් උපකරණ ලබාදීමෙන් ලංකාණ්ඩුවට එරෙහිව කොටින් යොදාගත්හ. ඔවුන්ට නොකළහැකි වූයේ සෘජුව ම කොටින්ට සහාය වීමට හමුදා එවීම පමණ ය. බටහිරයෝ අවසානය දක්වා ම කොටි නායකයන් බේරා ගැනීමට උත්සාහ කළහ. ඇමරිකන් ගැත්තකු වූ බෑන් කි මූන්ගේ විශේෂ නියෝජිතවරයකු ලෙස පැමිණි නම්බියාර් ප්‍රභාකරන් ඇතුළු නායකයන් යැවීමට නැවක් ගෙන්වා ගැනීමට උත්සාහ කළේ ය බටහිරයන් ප්‍රභාකරන් ගලවා ගත්තේ නම් අදත් බෝම්බ පිපිරෙනු ඇත. එහෙත් අපේ රණවිරුවෝ ප්‍රභාකරන් නම්බියාර්ට භාර නොදී යමයාට භාරදුන්හ. එයට පළිගැනීමක් ලෙස බටහිරයෝ අදත් ජනාධිපතිතුමාටත්, ආරක්‍ෂක ලේකම්තුමාටත්, රණවිරුවන්ටත් ඊනියා මානව අයිතීන් කඩකිරීම් පිළිබඳ ව චෝදනා කරමින් ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා දංගෙඩියට යැවීමට බීබීසියේ චැනල් ෆෝ හෙවත් හතරවැනි නාලිකාව හා වෙනත් ක්‍රම ඔස්සේ උත්සාහ කරති. ආණ්ඩුව අස්ථායී කිරීමෙන් තොරව එය නොකළ හැකි බව දත් බටහිරයෝ  නොයෙකුත් ආකාරයේ වසන්ත ලංකාවේ ඇතිකිරීමට උත්සාහ කර  අද ලංකාව අරාජික කිරීමට වෑයම් කරති. අද තැන තැන ඇතිවන නායකත්වයක් නොමැති සේ පෙනෙන උද්ඝෝෂණ, නැගිටීම් ආදිය පසුපස බටහිරයෝ වෙති. නිලධාරීන්ගේ වැරදි ඇමතිවරුන් පිටින් යැවීමට ජනමාධ්‍ය ඔස්සේ බටහිරයන්ගේ ඒජන්තයෝ උත්සාහ කරති. එහි දී රතුපස්වල දී මෙන් මිනිස් ජීවිත බිලි දීමටත් ඒජන්තයෝ කටයුතු කරති. ජනතාවට ප්‍රශ්න නැතිවා නො වේ. එහෙත් එයට විසඳුම් දෙන ක්‍රම ඇත. මහාමාර්ග, දුම්රිය මාර්ග අවහිර කිරීමෙන් ප්‍රශ්න විසඳිය හැකි නො වේ.  

ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට නුදුරුව ප්‍රභාකරන් සමග බිඳුණු බව සැබෑ ය. එයට හේතුව වූයේ ප්‍රභාකරන් බටහිරට කීකරු වූ නමුත් ඉන්දියාවේ ආධිපත්‍යය පිලිගැනීමට අකමැති වීම ය. ඉන්දියාවට අවශ්‍ය බලය බෙදා, සන්ධීය රාජ්‍යයක් ඇතිකර, ඊළමක් පිහිටුවා, අවසානයේ දී ඊනියා දේශ සීමා අරගල ඔස්සේ හැකිනම් මුළු ලංකාව ම ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීම ය. එහෙත් ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ මුල දී ඉන්දියාවේ සහාය ලබාගත්ත ද ඉන්දීය ආධිපත්‍යයට යට නොවූ ඊළමක් සෘජුව ම ඇතිකිරීම ය. එසේ වුවත් ඉන්දියාව කොටින් පරාජය කිරීමට කිසි දිනෙක ලංකාවට සහාය නොදුන්නේ ය. ඉන්දියාව ප්‍රභාකරන්ට අකමැති වුවත් ඊළමට පක්‍ෂපාති ය. ඊළමට පක්‍ෂපාති ඉන්දියාවවත්, සම්බන්ධන්ලාගේ හා විග්නේෂ්වරන්ලාගේ දෙමළ ජාතික සංධානයවත් ප්‍රභාකරන් පැරදවීමට කිසි දා සහාය නොදිණි. විග්නේෂ්වරන්ට අවශ්‍ය මේ සියල්ල ජනතාවගෙන් වසං කිරීමට ය. ඒ අතර ඉන්දියාව 2009 දී කොටින් පැරදවීමට ලංකාවට සහාය දුන් බව පවසමින් ඔහු කියන්නේ ඉන්දු ලංකා ගිවිසුම 2009 දීත් වලංගු වූ බවත් ඉන්දු ලංකා ගිවිසුමට අනුව ඉන්දියාවට එසේ සහාය දීමට හැකි වූ බවත් ය. මෙය බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුවලටත් වඩා බොරුවකි. අද වකුගඩු රෝගයෙන් ජනතාව මියයන්නේ බටහිර විද්‍යාවේ, බටහිර සංඛ්‍යානයේ සහ වෙනත් බටහිර දැනුම්වල පට්ටපල් බොරු වෙනුවෙනි. විග්නේෂ්වරන්ලා මුළු මහත් ලංකාව මරාදැමීමට උත්සාහ ගන්නේ බටහිර සමාජයීය විද්‍යාවන්ගේ පට්ටම පට්ටපල් බොරු යොදා ගනිමිනි.


ඉන්දු ලංකා ගිවිසුම රටවල් දෙකක් අතර වූ ගිවිසුමක් ලෙස පිළිගත්තත් එය කච්චතිවු ගිවිසුම වැන්නක් නො වේ. ඉන්දියාවට කිසි දිනෙක ඉන්දු ලංකා ගිවිසුමට හිලවු තැබීමට කච්චතිවු ගිවිසුම යොදාගත නො හැකි ය. සියළු සංස්කාර අනිත්‍ය වූ ලෝකයක ඉන්දීය බමුණන්ට ඉන්දු ලංකා ගිවිසුම බ්‍රහ්මන් හා එකතුකර අනන්ත ආයු’ෂක් ලබාදිය නො හැකි ය. සියළු ගිවිසුම් තාවකාලික ය. එහෙත් කච්චතිවු ගිවිසුම වැනි ගිවිසුම් සුසමාදර්ශී වෙනසක් වන තුරු වලංගු ය. ඉන්දු ලංකා ගිවිසුම එවැන්නක් නො වේ. එය ඉන්දියාව තම කාර්යයන් ඉටු නොකිරීම නිසා ම 1987 අගෝස්තු මාසයෙන් පසුව අවලංගු විය. එසේ අවලංගු නොවිණි යැයි කිසිවකු තර්ක කළ ද, එය සුසමාදර්ශයක් (පැරඩයිමක්) අවසන්වන තුරුවත් පවතින ගිවිසුමක් නො වේ. එය සුවිශේෂ කාර්යයක් සඳහා ඇතිකර ගත් ගිවිසුමකි. එය ඇතිකර ගනු ලැබුයේ එයට අත්සන් තැබූ අයට අනුව 1987 ජූලි මස වන විට ලංකාවේ තිබූ කොටි ත්‍රස්තවාදය හේතුකොට ගෙන ය. එහි පූර්විකාවේ ඇති අසත්‍ය කරුණු අපි නො පිළිගනිමු. රජිව් ගාන්ධිට අවශ්‍ය වූයේ දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් විසඳීමට නොව ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ලංකාව මෙහෙයවීමට ය. කෙසේ වෙතත් ගිවිසුම අනුව ප්‍රධාන කාර්යය වූයේ ලංකාවට මෙන් ම ඉන්දියාවට ද ප්‍රශ්නයක් වූ කොටි නිරායුධ කර ඔවුන් පරාජය කිරීම ය. ඊනියා ඉන්දීය සාම සාධක හමුදාව කැඳවනු ලැබුයේ ඒ සඳහා ය. ඉන්දු ලංකා ගිවිසුම වැරදි පූර්විකාවක් යටතේ වුවත් ඒ කාර්යය සඳහා ඇති කරගත් ගිවිසුමක් විය. 1987 අගෝස්තුවේ ගිවිසුම අවලංගු නොවී යැයි තර්ක කළ ද ඊනියා සාම සාධක හමුදා ආපසු ඉන්දියවට ගියේ ඒ කාර්යය ඉටු නො කර ය. ඊනියා සාම සාධක හමුදා ආපසු යෑමෙන් පසු ඉන්දු ලංකා ගිවිසුමක් නැත. සුවිශේෂ කාර්යයක් සඳහා ඇතිකරගන්නා ගිවිසුමක් එක්කෝ ඒ කාර්යය ඉටුකිරීමෙන් පසු නැති වෙයි. නැතහෙත් ඒ කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් අවසන් වෙයි. ඉන්දු ලංකා ගිවිසුමක් අද වන විට නැත. ඒ අතර දහතුන් වැනි සංශෝධනය පිළිබඳ කිසිම ගිවිසුමක් ලංකාව හා ඉන්දියාව අතර නොමැති බව අවධාරණය කළ යුතු ය. අපේ ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට හා ජනතාවට අවශ්‍ය ආකාරයෙන් පමණක් සිදුවිය යුතු ය.

නලින් ද සිල්වා

2013-08-04

Sunday, 28 July 2013

ඉන්දියාවේ අභිලාෂය

අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර හෙටට අවුරුදු 29ක් වෙයි. ගිවිසුම අහෝසි වී මෙම මස අන්තිමට අවුරුදු 29ක් විය. එයට හේතුව ඉන්දියාව දින තුනක් ඇතුළත කොටින් නිරායුධ කිරීමට අසමත්වීම ය. එයට අමතරව එහි පරස්පර, අර්ථ නොදක්වන ලද වචන ආදී දෝෂ රැසක් ද වෙයි. පළාත් හා පළාත් සභා ද ඒ ගණයට අයත් වෙයි. එහෙත් අපි තවමත් ඒ ගැන කතාකරමු. එපමණක් නො වේ. ගිවිසුමෙහි පළාත් සභා පිහිටුවීමක් ගැන සඳහන් නො වේ. එහෙත් පළාත් සභා මැතිවරණ 1987 දෙසැම්බර් 31ට පෙර සිදුවිය යුතු යැයි කියැවෙයි. නැති පළාත් සභා සඳහා මැතිවරණ පවත්වන්නේ කෙසේ දැයි කෞටිල්‍යයන්ගෙන් ම  දැනගත යුතු ව ඇත. කෙසේ වෙතත් ඊනියා ගිවිසුමේ ඒ වගන්තිය ද ඉටු නොවිණි. එහෙත් අපේ හමුදා නම් බැරැක්කවලට සීමා කෙරිණි. ඒ මදිවාට බටහිර විද්‍යාවෙහි මෙන් ඊනියා ගිවිසුමෙහි පට්ටපල් බොරු ද වෙයි. අවුරුදු සියයක් පමණ පැරණි වූ උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු දහස් ගණනක් දෙමළ කතාකරන ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි ව පැවති යැයි එහි සඳහන් වෙයි. උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි දෙමළ ජනයාගේ සම්භවය 1650න් පසුව සිදු වී ඇති බව සාක්‍ෂි සහිතව පෙන්නුම් කළ හැකි ය. එහි මුස්ලිම් ජනයා පදිංචි කෙරුණේ එයට තරමක් කලින් සෙනරත් රජු දවස ය. සති කිහිපයකට පමණ පෙර අප පෙන්වාදුන් අන්දමට ගිවිසුම වලංගු යැයි තර්ක කළ ද, එහි 2.10 වගන්තියේ සඳහන් අන්දමට උතුරු හා නැගෙනහිර පළාත්වල ද අනෙක් පළාත්වල ඇති පොලිස් ව්‍යුහය ම තිබිය යුතු ය. ඒ අනුව පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම ඉන්දු ලංකා ගිවිසුමට ද විරුද්ධ ය. ඉඩම් බලතල පැවරීම ඊනියා සාම්ප්‍රදායික වාසභූමි කෙප්පය මත පදනම්වන බැවින් එසේ කිරීම ද අනවශ්‍ය ය. ඉඩම් බලතල හා පොලිස් බලතල උතුරු පළාත් සභාවට පැවරීමේ ප්‍රතිඵලය වනුයේ එහි දෙවැනි හමුදාවක් ඇතිවීමත් ලංකාණ්ඩුවේ හමුදාවලට කඳවුරු පිහිටුවා ගැනීමට බිම් අඟලක්වත් අහිමිවීමත් ය. කෙසේ වෙතත් ඉන්දු ලංකා ගිවිසුම වලංගු වුවත් ඉන්දියාව හා ලංකාව අතර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගිවිසුමක් නැති බව අවධාරණය කළ යුතු ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ අප ඉන්දියාවෙන් අවසර ගත යුතු නො වේ. ඉන්දු ලංකා ගිවිසුමෙහි අර්ථකථනය කර නොමැති පළාත් සභා පිහිටුවීම අවශ්‍ය නො වේ. අනෙක් අතට ඉන්දු ලංකා ගිවිසුමෙහි පරිපාලන ඒකක ලෙස පළාත් ගැන කතාකරනමුත් ඒ වන විට ව්‍යවස්ථාවෙන් පළාත් යනු කවරේදැයි අර්ථදක්වා නොතිබුණි. අද වන තුරුත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක පළාත් පරිපාලන ඒකක ලෙස හැඳින් වී නොමැත. ව්‍යවස්ථාවට අනුව පරිපාලන ඒකක වනුයේ දිස්ත්‍රික්ක ය. පළාත් සභා අවශ්‍ය ම යැයි යමකු පවසන්නේ නම් දහතුන ද වත්මන් පළාත්සභා පනත ද අහෝසිකර වෙන ම පළාත් සභා පනතක් ගෙනැවිත් සංක්‍රමණීය පිළිවෙතකට යටත් ව පළාත් සභා පවත්වාගෙන ගිය හැකි ය.    

ඒ කුමක් වුවත් අද අප එළඹී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයට ය. පළමු යුග තුන ගැන සඳහන් කෙරෙන ප්‍රභාකරන් මහුගේ සියලා, බාප්පලා හා මස්සිනාලා කෘතියේ හතරවැනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය ගැන කෙරෙන කෙටි හැඳින්වීමක් ද සහිතව ය. දෙමළ ජාතිවාදය පසුපස ඇත්තේ එංගලන්තය ය. එය අද ඊයේ නොව තුන්වැනි ජොර්ජ් රජුගේ කාලයේ සිට ම වෙයි. අනෙක් අතට දෙමළ ජාතිවාදය පසුපස නේරුගේ කාලයේ සිට ඉන්දියාව වෙයි. ඒ පරාජය කිරීමට පසුගිය දා උපන් හත්වැනි ජෝර්ජ් රජ වන තෙක් හෝ රජිව් ගාන්ධිගේ තවමත් නූපන් මුණුබුරා හෝ මිණිබිරිය හෝ ඉන්දියාවේ අගමැති තනතුරට පත්වන තුරු හෝ බලා සිටිය යුතු නො වේ. අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදයේ කොටසක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළෙමු. එය එතෙක් ඊනියා දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ද ඇතුළු සියළු දේශපාලන ගිවිසුම් ඉරා දැමීමකි. එයට හේතුව ඒ සියළු දේශපාලන ක්‍රියාවල අවසානය ප්‍රභාකරන් වීම ය. හමුදා මෙහෙයුම් යනු ද දේශපාලන ක්‍රියාවලියකි. දෙමළ ජාතිවාදයේ පළමු, දෙවැනි හා තුන්වැනි යුග ප්‍රභාකරන් සමග අවසන් වූයේ දෙමළ ජාතිවාදය හමුදා දේශපාලන වශයෙන් පරාජය කිරීමෙනි. එහෙත් අප ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුළත් කරගැනීමට නොහැකි වීමෙන් ද එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ද ඉන්දියාවේ ද මැදිහත්වීමෙන් ද දෙමළ ජාතිවාදය තවමත් දේශපාලන වශයෙන් පවතියි.  එය හැකිතාක් ඉක්මණින් දේශපාලනික ව පරාජය කළ යුතු ය. එහෙත් අපට තවමත් එංගලන්තයේත් ඉන්දියාවේත් අභිලාෂය හඳුනාගැනීමට නොහැකි වී ඇත.


එංගලන්තය බටහිර රටවල විසිරුණු දෙමළ ජනයා ද යොදා ගනිමින් තම සංස්කෘතියට ආධ්‍යාත්මික ව අභියෝග කළහැකි සිංහල බෞද්ධ සංස්කෘතිය  නැතිකිරීමට බැරිනම් දුර්වල කිරීමට විවිධ ක්‍රම උපයෝගි කරගනිමින් උත්සාහ කරයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වට්ටවා එ ජා ප - දෙමළ ජාතික සංධාන ආණ්ඩුවක් පිහිටුවීම උතුරට හා නැගෙනහිරට බලය බෙදාදීම එහි පළමු පියවර වෙයි. නේරුගේ ද සිහිනයක් ව පැවති ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම සැබෑකර ගැනීමට ඉන්දියාව දෙමළ ජාතිවාදය යොදාගනියි. එදත් අදත් ඉන්දියාවට අවශ්‍ය අන්දමට දේශපාලනය කරන නායකයෝ මෙරට වෙති. සම්බන්ධන් හා රාවුෆ් හකීම් ඉන් දෙදෙනෙක් වෙති. ඊනියා දෙමළ කතාකරන ජනයාගේ අභිලාෂය යැයි කියමින් පළමුව බලය බෙදීම, දෙවනුව සන්ධීය (සහසන්ධීය) රාජ්‍යයක් ඇතිකිරීම, තුන්වැනුව ඊළම පිහිටුවීම, හතරවැනුව දේශසීමා ගැටුම් ඔස්සේ ලංකාව හා ඊළම ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම ඉන්දියාවේ අභිලාෂය වෙයි. වෛදිකයන්ගේ සදාතනික බ්‍රහ්මන් මෙන් සදාතනික බලාපොරොත්තුව වූ ලංකාවෙන් හා දකුණු ආසියාවෙන් බුදුදහම අතුරුදන්කිරීමට ඔවුන් ඒ සමග ක්‍රියා කරනු ඇත. මෙරට දෙමල ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැත. ඇත්තේ ඉංගිරිසි මකියාවේලීන්ගේ හා ඉන්දීය කෞටිල්‍යයන්ගේ ප්‍රශ්නයකි. කෞටිල්‍යයෝ එහි දී ඉංගිරිසි කතාකරන, බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන වෙල්ලාලයන් යොදා ගැනීමට එදත් අදත් උත්සාහ ගනිති. එංගලන්තයට කෙසේ වෙතත් ඉන්දියාවට ප්‍රභාකරන් අවනත නො වී ය. ඔහුගේ කුලය ද ප්‍රශ්නයක් විය. ඉන්දියාව අද එයින් පාඩමක් ඉගෙන ඇත. ඔවුන් කොටින් සමග සම්බන්ධ යැයි කියන සේනාධිරාජා වෙනුවට “ උභය කුල පාරිශුද්ධ” විග්නේස්වරන් උතුරේ මහඇමති අපේක්‍ෂක ලෙස තෝරාගැනීමට සම්බන්ධන්ට ඔහුම කියන පරිදි බලකර ඇත්තේ විග්නේස්වරන්ගේ ඊනියා නීති දැනුම නිසා නොව ඉන්දියාවට ඔහු විශ්වාස බැවිනි. එහෙත් ඒ සමග දෙමළ ජාතික සංධානය කැඩී යෑම වැළැක්විය නොහැකි ය. අප අපේ පාඩම් ඉගෙන ගන්නේ නම් කෞටිල්‍යයන් ද මකියාවේලීන් ද පරාජය කිරීම මහෞෂධයනට ප්‍රශ්නයක් නො වේ.   


නලින් ද සිල්වා

2013-07-28

Sunday, 7 July 2013

ජනපති අත ශක්තිමත් කරමු - 2

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කිරීම පිළිබඳ ඉන්දියාව නොසතුට පළකර ඇතැයි වාර්තා වෙයි. එය පුදුමයක් නො වේ. සිකීම් දේශය අල්ලාගෙන, භූතානය අසරණකර, පකිස්ථානය දෙකඩ කර බංග්ලාදේශය පිහිටුවා, මාලදිවයිනටනොයෙකුත් බලපෑම් කරන ඉන්දියාව මුළු මහත් සාක් කලාපය ම තම ග්‍රහණයට ගැනීමට උත්සාහ දරන බව පැහැදිලි ය. ලංකාව තම ග්‍රහණයට ගැනීමට ඉන්දියාව හෝ ඉන්දියාව පිහිටුවීමට පෙර තිබූ විවිධ වාංශික රාජ්‍ය හෝ උත්සාහ ගෙන ඇත්තේ අද ඊයේ නො වේ. අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ අපි මේ උපද්‍රවයට මුහුණ පෑවෙමු. විජයගෙන් සංකේතවත් වන සිංහ ගෝතික්‍ර යන්ගේ ක්‍රියාවලයි ද එහි කොටසක් පමණක් වෙයි. එය බොහෝ දුරට යටපත් කිරීමට අපට හැකිවිය. රාමායන කතාව විශ්වාස කරන්නේ නම් රාමා ද ආක්‍රමණිකයෙකි. කෙටියෙන් කිවහොත් වෛදික සංස්කෘතිය දිගු කලක් තිස්සේ මෙරට ආක්‍රමණය කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් යම් පසුබෑම්වලට ලක්වුණ ද අපේ ස්වාධීනත්වය රැකගැනීමට අපි සමත්වීමු. යක්‍ෂ ගෝතික්‍ර යන්ගේ මකර ලකණු අපට නිල වශයෙන් නැතිවී ගිය ද අපෙ පන්සල්වල තවමත් මකර තොරණ දැකගත හැකි ය. මෑත කාලයේ දී ඉන්දියාව අප මත බලපෑම් කර අප යම් ආකාරයක යටත්විජිතයක් බවට පත්කරගැනීමට උත්සාහ ගන්නේ දෙමළ ප්‍රශ්නය උපයෝගී කරගෙන ය. මෙරට දෙමළ ප්‍රශ්නය 1750න් පසු ලන්දේසීන් කෝරමණ්ඩල වෙරළෙන් ලංකාවට ගෙන ආ වෙල්ලාල හෙවත් කෘෂිකුලීකරුවන් නිසා ඇතිවූවකි. ඒ සම්බන්ධය උපයෝගී කරගෙන ඉන්දියාව තමිල්නාඩුව ද හවුල්කරගනිමින් ලංකාව යටත්විජිතයක් කරගැනීමට උත්සාහ දරයි. ඉන්දියාව අපට පෙන්වීමට උත්සාහ ගන්නේ තමිල්නාඩුවේ බලපෑම් නිසා ඉන්දියාවට මැදිහත්වීමට සිදු වී ඇති බව ය. එහෙත් අප යටත්කිරීම සඳහා ඉන්දියාව විසින් තමිල්නාඩුව යොදාගැනෙයි.

ජේ ආර් ජයවර්ධනගේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවට තම අරමුණ ඉටුකර ගැනීමට අවස්ථාව ලබාදුන්නේ ය. තමන් මෙරට වයිස්රෝයි හෙවත් යුවරජු යැයි සිතූ ඩික්සිත් තමන්ට අවශ්‍ය පරිදි ජේ ආර් ජයවර්ධනගේ අත ඇඹරී ය. ජේ ආර් බලවතකු වූයේ මෙරට වැසියන්ට ය. එහෙත් ඩික්සිත් ඉදිරියේ ඔහු බලුකුක්කෙක් විය. ඉන්දු ලංකා ගිවිසුම ගිවිසුම ජේ ආර්ගේ නිවට කමේ ප්‍රතිඵලයක් විය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ද පළාත්සභා ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් ද විය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම කළ යුතු වූවකි. එය අහෝසි කරන තෙක් අඩුම තරමෙන් එහි වගන්ති කිහිපයක් වහාම සංශෝධනය කළ යුතුව ඇත. අප ඒ සඳහා ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු නො වේ. පොලිස් බලතල හා ඉඩම් බලතල පිලිබඳ වගන්ති සංශෝධනය කරන බව දැන්වීමට බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියාවට යෑම අපේ යහගුණය පෙන්වන්නක් පමණ ය. ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී බොහෝ කල් ය. ගිවිසුම අනුව තමන් ඉටුකළ යුතුව තිබූ කරුණු කිසිවක් ඉන්දියාව ක්‍රියාත්මක නො කෙළේ ය. එපමණක් නොව ඉන්දු ලංකා ගිවිසුම පරස්පර සහිත ලියවිල්ලකි. පළාත්සභා යනු කවරේ දැයි එහි කිසිතැනක නිර්වචනය කර නැත. මේ සියල්ල අනුව ගතහොත් අප පළාත් සභා ක්‍රියාත්මක කළ යුතු නො වේ. අවශ්‍ය වන්නේ පළාත් සභා අහෝසිකිරීමට පාර්ලිමේන්තුවේ පනතක් ගෙන ඒම පමණ ය. එය ව්‍යවස්ථාවේ 85 (1) වගන්තිය අනුව කළ යුතු ය. අමාත්‍ය මණ්ඩලය ඒ පනත ජනමතවිචාරණයකින් ද අනුමත කළයුතු බවට සහතික කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට පෙර ජනතාවට ඉදිරිපත් කළ යුතු වෙයි. ජනතාව එවැන්නක් තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් අනුමත කරන බවට සැකයක් නැත. ජනමතවිචාරණයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ කිසිවකුට විරුද්ධ විය නො හැකි ය. අමාත්‍ය මණ්ඩලය යනු පාර්ලිමේන්තුවේ උපකුලකයක් පමණකි. ඇමතිවරුන්ටත් පාර්ලිමේන්තුවටත් යම් බලතල ඇති බව සැබෑ ය. එහෙත් පාර්ලිමේන්තුව යනු ජනතාවගේ ස්වෛරීභාවයේ ව්‍යවස්ථාදායක සංරචකය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ආයතනය පමණකි. ජනතාවට ඇති ස්වෛරිභාවය පාර්ලිමේන්තුවටවත් ඇමතිවරුන්ටවත් උල්ලංඝණය කළ නො හැකි ය. දහතුන සංශෝධනයේ දී කිසිම විටෙකවත් මෙරට නීතිය නොවූ ඊනියා 154 (උ) (2) (ආ), 154 (උ) (3) (ආ) වගන්ති යොදා නොගත යුතු ය. සියළු සංශෝධන 82, 85 (1) වගන්ති යටතේ කළ යුතු ය. ජනමතවිචාරණයකින් පමණක් පළාත්සභා අහෝසිකිරීමට නොහැකි බව ද අප අමතක කළ යුතු නො වේ.

ජනමතවිචාරණයට විරුද්ධවන්නන් කියන්නේ එමගින් රට ඊනියා උතුර හා දකුණ ලෙස බෙදෙන බවත් එමගින් සුඩානයේ මෙන් රට බෙදීම යුක්තියුක්ත කිරීම සඳහා බටහිරයන්ට හේතුවක් සපයන බවත් ය. එහෙත් මෙය තවත් ගෝනිබිල්ලකු පමණ ය. දෙමළ ජනයාගෙන් 60%ක් පමණ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිටත ජතවත්වන බැවින් මේ තර්කයට කිසිදු පදනමක් නැත. අනෙක් අතට ජනමතවිචාරණයක දී උතුරේ ජනතාවගෙන් ද යම් ප්‍රමාණයක් පළාත්සභා අහෝසිකිරීමට ඡන්දය දෙනු ඇත. එපමණක් නොව සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ව ඇති උතුරු පළාත්සභා මැතිවරණයේ දී ද ඉතා විශාල පිරිසක් සංධානයට ඡන්දය දෙනු ඇත. දෙමළ ජාතික සංධානය මැතිවරණයට පෙරත් පසුවත් කැඩී යෑම වැළැක්විය හැකි නො වේ. අද එළඹී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයයි. ප්‍රභාකරන්ගේ සීයලා පළමු යුගය ද බාප්පලා දෙවැනි යුගය ද ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා තුන්වැනි යුගය ද නියෝජනය කළහ. දෙමළ ජාතිවාදී රොඩු බොඩු ටිකක් හතරවැනි යුගය නියෝජනය කරයි. ඒ රොඩු බොඩු ටික ද සුද්ද බුද්ද කිරීමට ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරනු වෙනුවට ජාතිකවාදීන් යැයි කියාගන්නා පිරිස් ආණ්ඩුවෙන් ඉවත් වී ව්‍යාජ ජාතික බලවේග සමග අත්වැල් බැඳ ගැනීමේ සූදානමක් ඇත. අවස්ථාවාදීන් වූ  මොවුන් ජනවේගකාරයන් මහජන පක්‍ෂකාරයන් හා කසිකබල් මාක්ස්වාදීන් සමග දේශපාලන වශයෙන් නන්නත්තාරවනු වැළැක්විය නො හැකි ය. කෙසේ වෙතත් උතුරේ මැතිවරණයට පෙර ආණ්ඩුව සම්මත කරගත යුතු පනතක් වෙයි. ව්‍යවස්ථාවේ 63 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තු මන්තීවරුන් අසුන් ගැනීමට හෝ ඡන්දය දීමට හෝ පෙර ව්‍යවස්ථාව ආර්ාක්‍ෂා කරන බවට ප්‍රතිඥාවක් දිය යුතු ය. අද පළාත්සභා නගර සභා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ට එවැනි ප්‍රතිඥාවක් නැත. ඔවුහු අද හයවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ කවුරුත් දෙන ප්‍රතිඥාව පමණක් දෙති. මහජන නියෝජිතයන්ට එයට වඩා වගකීමක් තිබිය යුතු ය. දැනටමත් පත්වී ඇති නියෝජිතයන් වෙනුවෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් අදාළ පනතෙන් ම නීතිය බවට පත්කරගත යුතු ය.


නලින් ද සිල්වා

2013-07-07

Sunday, 30 June 2013

ජනපති අත ශක්තිමත් කරමු

අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී බොහෝ කල් ය. එය කැඩුවේ ඉන්දියාව ය. එබැවින් ඒ ගිවිසුම අනුව පළාත් සභා අහෝසි කිරීමට හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට නොහැකි යැයි කීමට ඉන්දියාවට කිසිම අයිතියක් නැත. හැරත්  ඉන්දු ලංකා ගිවිසුමෙන් ජේ ආර් ජයවර්ධන මෙරට ස්වෛරීභාවය පාවා දී ඇත. මෙරට සංස්කෘතිය දුර්වල කිරීමට පියවර ගැනීම මදිවාට ස්වෛරීභාවය ද පාවා දීමට කටයුතු කළ මේ පුද්ගලයා නිවටයකු පමණක් නොව ද්‍රෝහියෙක් ද විය. ඔහු බටහිරයන් හමුවේ ද ඉන්දියාව හමුදාවේ වැඳ වැටුණේ ය. එහෙත් ඔහු ගැන කතා කිරීමෙන් පමණක් ඔහු අපට ඇතිකළ ප්‍රශ්න විසඳාගත නො හැකි ය. මේ ප්‍රශ්න විසඳාගත හැක්කේ කෙසේ ද කවුරුන් මගින් ද? අපට මූලික ප්‍රශ්න තුනක් ඇත. ඒ විය යුතු පරිද්දෙන් ම දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්‍ෂෙත්‍රවල ය.

අප ලැබූ සීමිත නිදහසෙන් පසුව එ ජා පක්‍ෂයෙන් ඒ එක් ක්‍ෂෙත්‍රයකවත් අපට අවශ්‍ය සංවර්ධනයක් නො ලැබිණි. මෙරට ජනතාව වැඩිකල් නොගොස් ම එ පෙරමුණ බලයට පත්කළේ එබැවිනි. එහි ප්‍රධාන පක්‍ෂය වූයේ ශ්‍රී ල නි පක්‍ෂය ය. එය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය විය. එනම් සිංහලත්වයේ පක්‍ෂය විය. එය එසේ වූයේ ජිම් මුණසිංහ, ස්ටැන්ලි සොයිසා ආදීන් එහි නායකත්වයේ සිටි නිසාවත් පසුව චන්ද්‍රිකා කුමාරතුංග පක්‍ෂයේ බලය ලබාගත් නිසාවත් නොව ඒ පක්‍ෂයට ඡන්දය දෙන ජනතාව සිංහලත්වය අගය කළ හා පිළිගත් නිසා ය. ජිම් මුණසිංහලා පක්‍ෂයේ නායකයන් වීමට උත්සාහ නොකළ නමුත් පසුව මාක්ස්වාදය කටගාගත් කුමාර් රූපසිංහ ජනවේගය කල්ලිය සංවිධානය කිරීමෙන් හා විජය කුමාරතුංග තම නළු ජනප්‍රියභාවය යොදාගනිමින් පක්‍ෂ නායකත්වයට පත්වීමට උත්සාහ කළහ. මේ දෙදෙනාම බෞද්ධයන් නොවූ අතර බෞද්ධයනට පක්‍ෂපාතීත්වයක් දැක්වී යැයි ද කිව නොහැකි ය. ඔවුන් දෙදෙනාම බණ්ඩාරනායක දියනියන් සමග විවාහ වීමෙන් ද පක්‍ෂ නායකත්වයට අනියම් සුදුසුකමක් ලබා ඇති බව ඇතැමුන්ට දැනෙන්නට විය. කුමාර් රූපසිංහ පසුකලෙක යුරෝපයේ ජීවත් වෙමින් රාජ්‍ය නොවන සංවිධානයක් ඔස්සේ සිංහලයන්ට විරුද්ධව ක්‍රියාකළ අතර විජය කුමාරතුංග මහජන පක්‍ෂය නමින් සිංහල විරෝධී පක්‍ෂයක් පිහිටුවා ගත්තේ ය.  මොවුන් දෙදෙනාගෙන් එක් අයකු වුවත් බලයට පත්වී නම් මේ වන විට ෆෙඩරල් රාජ්‍යයක් ඇති වී ඊළමකට මගකපා අවසාන ය. බණ්ඩාරනායක කෙනකුට වඩා කුමාරතුංග කෙනකු වූ චන්ද්‍රිකා අනූවේ දශකයේ මුල මෙරටට ගෙන්වා ගනු ලැබුයේ එකී දෙදෙනාගෙන් කරගැනීමට නොහැකි වූ කාර්යය ඇය ලවා කරවා ගැනීමට ය. එහෙත් ශ්‍රි ල නි පක්‍ෂයට ඡන්දය දෙන සිංහලත්වයේ බලපෑම හේතුකොටගෙන ඇයට ඒ කිරීමට නොහැකි විය. කෙතරම් වලිකෑවත් ඇයට අනාගතයේදීත් ඒ කිරීමට නොහැකි වනු ඇත. සිංහලයකු වීම පිළිබඳ ලජ්ජා වන්නේ යැයි කියන අයකුගේ මව වීම අද ඇයට තවත් නුසුදුසුකමක් බවට පත් වී ඇත.

ශ්‍රී ල නි පක්‍ෂය හැරුණු විට මෙරට සිංහලත්වය වෙනුවෙන් පෙනු සිටින පක්‍ෂය මහජන එක්සත් පෙරමුණ ය. චන්ද්‍රිකා නායකත්වයට පත්වීම මගින් ශ්‍රී ල නි පක්‍ෂයට යම් කැළලක් ඇති විණි ද ම එ පෙරමුණට නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නො වී ය. 1987 සිට ම ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළත්සභාවලට දිගින් දිගට ම විරුද්ධ ව සිටි එකම දේශපාලන පක්‍ෂ නායකයා දිනේශ් ගුණවර්ධන මහතා ය. ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වය සිංහලත්වය වෙනුවෙන් පෙනී සිටිනතාක් ඒ මහතා ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ නොවනු ඇත. එහෙත් චන්ද්‍රිකා නායකත්වයට පත්වීමෙන් පසුව 1994 දී පැවති මැතිවරණයේ දී ඇයට අසීමිත බලයක් හිමිවනු වැළැක්වීමට ම එ පෙ තනිව ම තරග කළේ සිංහලත්වයට ඇගෙන් විය හැකි තර්ජනය ජනතාවට පැහැදිලි කරමිනි. කිසිම දිනෙක ම එ පෙරමුණේ සාමාජිකයකු නොවුණ ද ඒ මැතිවරනයේ දී මා ද ඒ පක්‍ෂයෙන් තරග කලේ චන්ද්‍රිිකාගේ අනතුර අපට දැනුණු බැවිනි. එදා ජාතික ව්‍යාපාරයේ පතාක යෝධයන් ලෙස පෙනී සිටි ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද ජනතා මිතුරන් නමින් පෙනී සිටි අය ද වෙනත් මහක් ගනිද්දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ ම එ පෙ සමග සිටියෝ ය. ධර්මසේකර මහතා ද (අද අනගාරිකතුමා) මා සමග එකට ම එ පෙරමුණෙන් තරග කළේ ය. එදත් අදත් සිංහලත්වය වෙනුවෙන් තම වයස ද නොතකා පෙනී සිටින ගුණාදාස අමරසේකර මහතා ම එ පෙරමුණේ ප්‍රබල ම ආධාරකරුවෙක් විය.  එහෙත් ජනතාවට එදා අප කී දේ අවබෝධ නො විණි. ඔවුහු බණ්ඩාරනායක යුවළගේ දියණියට ඡන්දය දුන්හ. ඔවුන් නොදැන සිටි කරුණ නම් තමන් ඡන්දය දුන්නේ විජය කුමාරතුංගගේ බිරියට බව ය.

අද අප කතාකරන ප්‍රශ්න අළුත් දේ නො වේ. මේ ප්‍රශ්න 1987 සිට ම සාකච්ඡා කෙරී ඇත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නීත්‍යානුකුල නොවන භාවය පිලිබඳ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ද දිනේශ් ගුණවර්ධන මහතා ද නඩු කීහ. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය නඩුව ඉවත දැමී ය. පොලිස් බලතල හා ඉඩම් බලතල දීම පිළිබඳ ව ගැටුමක් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ දී සාකච්ඡා චිය. එහි ම එ පෙරමුණ නියෝජනය කළේ මා ය. 2008 දී පමණ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි කමිටුවෙන් අතුරු වාර්තාවක් ඉල්ලනු ලැබිණි. ඒ වාර්තාවෙහි දහතුන ක්‍රියාත්මක කිරීම පිළිගන්නා බව අඩංගු විය යුතු යැයි තිස්ස විතාරණ කීවේ ය. පොලිස් හා ඉඩම් බලතල පළාත්සභාවලට දීම ගැන මම තදින් ම විරුද්ධ වීමි. මට උදය ගම්මන්පිල මහතාගේ අනගි සහාය ද ලැබිණි. අනෙක් සියල්ලෝ ම අපට විරුද්ධ වූහ. අවසානයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකයන් ද කමිටුවේ සාමාජිකයන් ද අරලියගහ මන්දිරයට කැඳවී ය. එහි දී උණුසුම් විවාදයක් මැද රාජපක්‍ෂ මහතා මට අතින් සංඥා කරමින් එතුමා ඒ ගැන බලාගන්නා බව කියා සිටියේ ය. මම එතුමා විශ්වාස කළෙමි. අතුරු වාර්තාව තිස්ස විතාරණට අවශ්‍ය අන්දමට නොව මගේ සංශෝධනයක් සහිත ව අපට අවශ්‍ය අන්දමට නිකුත් කෙරිණි. ජනාධිපතිතුමා ගැන තිබූ විශ්වාසය අද වන තුරුත් බිඳී නැත. එහෙත් ජනවේග කල්ලියේ හා මහජන පක්‍ෂයේ නෂ්ඨාවශේෂ (ඇතැම්හු මේ සංවිධාන දෙකෙහි ම සාමාජිකයෝ වූහ) කසිකබල් වමත් සමග එකතු වී අද සංධානයේ කැරළි ගැසීමට පටන්ගෙන ඇත. ශ්‍රි ල නි පක්‍ෂයේ ද සංධානයේ ද පදනම වන්නේ ජාතිකත්වය ය. එයට විරුද්ධ මේ ඇවිදින නටබුන් පරාජය කිරීමට ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කළ යුතුව ඇත.


නලින් ද සිල්වා

2013-06-30

Sunday, 23 June 2013

දහතුන හා ජනමතය

අපවත් වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේගේ ජන්ම ශත සංවත්සරය පසුගිය සතියේ යෙදී තිබිණි. ලිපියේ ඉඩකඩ ප්‍රශ්නයක් හේතුවෙන් උන්වහන්සේ විසින් සිදුකරන ලද ජාතික හා ශාසනික සේවය කෙටියෙන් වුවත් අගය කිරීමට නොහැකිවීම ගැන කණගාටුවෙමි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට උන්වහන්සේ මුල සිට විරුද්ධ වූහ. එසේ වුවත් එය තවමත් මෙරට ව්‍යවස්ථාවේ කොටසක් ලෙස සැලකෙයි. අද අපට උන්වහන්සේ වෙනුවෙන් පුද කළ හැකි උපරිම උපහාරය වනුයේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතියෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ නීති පොතෙන් ඉවත්කිරීම ය.  මේ ලිපිය ද ඒ වෙනුවෙනි. අපි උන්වහන්සේට නිවන් සුව පතමු.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට නීතිය නොවේ ය යන්න මගේ පෞද්ගලික හැඟීම ය. අඩුම තරමෙන් එහි 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති කිසිසේත් ම මෙරට නීතිය නො වේ. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ එහි වගන්ති වෙන වෙන ම සලකමින් නොව සමස්ත සංශෝධනය ම එකට ගැනීමෙනි. එබැවින් එහි වගන්ති වෙන වෙන ම ගෙන නීති පොතෙන් ඉවත්කළ හැකි නො වේ. එබැවින් එහි එක් වගන්තියක් වුව ද නීතිය නොවේ නම් සමස්ත සංශෝධනය ම නීතිය වන්නේ නො වේ. කෙසේ වුවත් එය ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබිය යුත්තකි. අපි ඒ නීති ගැටළුව සම්බන්ධයෙන් පසුව වැඩිදුරටත් කතාකරමු. 

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අපකිර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයකි. එය දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණකම්වලට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරුණකි. ඉන්දු ලංකා ගිවිසුම අද වන විට අහෝසි වී ඇත. එහි සඳහන් අන්දමට ඉන්දියාව ක්‍රියා නොකෙළේ ය. ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ නො කළේ ය. කොටි සංවිධානය නො පැරදවී ය. ඊනියා සාම සාධක හමුදාවක් මෙරටට එවූ නමුත් එය විසින් ඇති කෙරුණු සාමයක් නැත. ඔවුහු ඒ වෙනුවට සිංහලයන්ට ද දෙමළ හා මුස්ලිම් ජනයාට ද හිරිහැර කළහ. අඩත්තේට්ටම් කළහ. ඉන්දු ලංකා ගිවිසුම කඩකරනු ලැබුයේ ඉන්දියාව විසිනි. එහි කඩකිරීමට දෙයක් ඉතිරි වී නැත. ඉන්දු ලංකා ගිවිසුම අනුව ලංකාව පළාත් සභා පිහිටුවිය යුතුව තිබිණි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා පනතත් ගෙන එනු ලැබුයේ ඒ අනුව ය. ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකර ගිවිසුම කැඩූ ඉන්දියාවට ලංකාවට ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බලකිරීමට නොව අයැදීමටවත් කිසිම නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නැත.  දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ඊනියා ප්‍රශ්නයක් ගැන කතාකිරීමට ඉන්දියාවට යෑම දේශද්‍රෝහි ක්‍රියාවකි. ඔවුහු එමගින් ලංකාවේ ස්වෛරීභාවය පාවා දෙති. ඒ මන්ත්‍රීවරුන් ද ඇතුළු මෙරට දෙමළ ජනයා නාගදීපයේ ජීවත් වූ සිංහලයන්ගෙන් හා ලන්දේසීන් විසින් 1750 න් පසු කෝරමණ්ඩළ වෙරළෙන් දුම්කොළ වගාව සඳහා ගෙන්වනු ලැබූ දෙමළ ජනයාගෙන් ද, පසුව ඉංගිරිසින් විසින් නැගෙනහිර පළාතේ හා කඳුකරයේ පදිංචිකරවනු ලැබූ දෙමළ කුලීකරුවන්ගෙන් ද පැවත එන්නෝ වෙති. එබැවින් දෙමළ ජනයා ලෙස මෙරට ඔවුන්ගේ පැවැත්ම අවුරුදු දෙසිය පනහකට පමණක් සීමා වෙයි. එසේ වුවත් ඔවුහු මෙරට පුරවැසියෝ වෙති. ඒ පිලිබඳ අපට කිසිම ගැටළුවක් නැත. පුරවැසියන් ලෙස ඔවුන්ට මෙරට අහිමිවන අයිතිවාසිකමක් නැත. එහෙත් ඔවුන් තවමත් තමන් ඉන්දියාව සමග ඇති සම්බන්ධය නවතා නැත. උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා සාම්ප්‍රදායික වාසභූමි ලෙස අවලංගු වී ඇති ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් කරවා ගැනීමට ද ඔවුහු උත්සුක වූහ. එහෙත් දෙමළ ජනයාගෙන් බහුතරය ජීවත්වන්නේ ඒ පළාත්වලින් පිට ය. දෙමළ ජාතික සංධානයේ නායකයන් වහාම තමන් පුරවැසියන් වන්නේ ඉන්දියාවේ ද නැත්නම් ලංකාවේ ද යන්න තීරණය කළ යුතු ය. වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි යැයි සිතිය හැකි සිංහ ගෝත්‍රිකයන් (ට්‍රයිබල් අර්ථයෙන් නො වේ) සමග සිංහලයන්ගේ සම්බන්ධයක් තිබිණි ද සිංහලයෝ තමන් ඉන්දියාවේ පුරවැසියන් යැයි සිහිනෙන්වත් නො සිතති. ධර්මාශෝක රජුගේ ද මිහිඳු හිමියන්ගේ ද සම්භවය වත්මන් දකුණු ඉන්දියාවේ සිංහ ගෝත්‍රික මුරා පෙළපතට (මෞර්ය වංශයට) සම්බන්ධ වුවත් සිංහල බෞද්ධයනට ඒ පිළිබඳ තැකීමක් නැත. දෙමළ නායකයන් ඇතැයි කියන තම ප්‍රශ්න මෙරට දී විසඳා ගැනීමට කටයුතු කළ යුතු ය. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති වූ ප්‍රශ්නයක් නැත. ඊනියා අසාධාරණ අන්කිසිවක් නොව ඉංගිරිසින්ගෙන් නිලතල ලැබූ ඉංගිරිසි උගත් වෙල්ලාලයනට ක්‍රමයෙන් තමන් ලැබූ අයුතු වරප්‍රසාද නැතිවී යෑම පිලිබඳ ප්‍රශ්නයකි. ඒ පිලිබඳ ව මේ තීරුවෙන් හා පොතපතින් මා කරුණු දක්වා ඇති නමුත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනකුට ද ඒ පිළිබඳ හැඟීමක් නැතිවීම කණගාටුවට කරුණකි. 

වෙල්ලාලයන්ගේ වරප්‍රසාද ක්‍රමයෙන් නැතිවීම විය යුත්තක් මිස ඊනියා ප්‍රශ්නයක් නො වේ. අවුරුදු එකසිය අනූවක් පමණ වෙල්ලාල ඉල්ලීම්වලට ඊනියා විසඳුම් ලෙස බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ආදිය ද ඉන්දු ලංකා ගිවිසුම ද ඊනියා සාම සාකච්ඡා ද ඉදිරිපත් විණි. එහි විකාශයේ අවසන් ප්‍රතිඵලය වූයේ ප්‍රභාකරන් ය. (වැඩි විස්තර කාලය වෙබ් අඩවියෙන් ලබාගත හැකි  ප්‍රභාකරන්  ඔහුගේ සියලා බාප්පලා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි.) ප්‍රභාකරන්ගේ පරාජයත් සමග වෙල්ලාලයන්ට දේශපාලන විසඳුමක් ලැබිණි. අද අවලංගු වී ඇත්තේ ඉන්දු ලංකා ගිවිසුම පමණක් නො වේ. නැති ප්‍රශ්නයකට විසඳුම් ලෙස ඉදිරිපත් වූ සියළු ගිවිසුම් ද පළාත් සභා ද නන්දිකඩාල් කලපුවේ ගිල්වනු ලැබිණි. දේශපාලනිකව ඒ එසේ වුවත් සෑමදාම අනෙක් සෑම ක්‍ෂෙත්‍රයකට ම පිටුපසින් ඇති නීතියෙන් එය තවමත් පිළිගැනී නැත. දහතුන තවමත් නීති පොතේ ඇත්තේ එබැවිනි. එය ඉවත්කිරීමට තරම් අද ජනමතයක් මතු වී ඇත. එහෙත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අද මහජන මතයට එරෙහිව ඇත. සංධානයෙන් පිට තරග කළහොත් ඡන්ද දාහක් ලබාගත නොහැකි ඇමතිවරු අද දහතුන අහෝසි කිරීමට බාධා කරති. අද කළ යුත්තේ ජනමතයට ඉඩ දී මේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පරාජයකර ඉවත්කිරීමට ක්‍රමවේදයක් සකස්කර ගැනීම ය.


නලින් ද සිල්වා

2013-06-23

Sunday, 16 June 2013

ප්‍රා කාරයන්ට ඉඩ දෙමු ද?


රටේ නැවතත් වරක් ප්‍රා කාරයන් ඔළුව ඉස්සීමට දඟලනු පෙනෙයි. ජාතික ව්‍යාපාරය පසුගිය වසර තුන හතරෙහි මඳ පසුබෑමකට ලක් වී ඇති බව පෙනෙයි. එයට විවිධ හේතු ඇත. ඒ සාකච්ඡා කළ යුතු මුත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. ජාතික ව්‍යාපාරය මඳ පසුබැසීමකට ලක් වී ඇති බැවින් එක් පැත්තකින් බටහිරයෝ ජාතික ව්‍යාපාරය නමින් ඔවුන්ගේ ඒජන්තයන් ඉදිරියට එවන අතර අනෙක් පැත්තෙන් ප්‍රා කාරයන්ට මතුවීමට මග සලසති. ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටන අද අමාත්‍ය මණ්ඩල රැස්වීම් දක්වා පැතිරී ගොස් ඇත. වහාම ප්‍රා කරයන් පරාජය නොකළහොත් මෙරට සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වැඩිකල් නොගොස් රටම අහිමිවනු ඇත. එය වැළැක්වීමට නම් බටහිරයන්ගේ ඒජන්තයන් නොවත ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ද ඇතුළු සියළු ජාතික බලවේග වහාම එකතු විය යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයේ මතයට විරුද්ධව කටයුතු කරන ඇමතිවරුන් ඇතුළු පාක්‍ෂිකයන්ට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කළ යුතු ය.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් බලතල සම්බන්ධ වගන්ති කිහිපයක් සංශෝධනය නොකර උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු ය යන්න සිංහලයන්ගේ අති විශාල බහුතරයකගේ මතය වෙයි. එය නොපිළිගන්නා ඕනෑම ප්‍රා කාරයකුට ජනමත විචාරණයක් හෝ මහා මැතිවරණයක් හෝ පැවැත්වූ දිනයක එය දැනගැනීමට හැකිවනු ඇත. ලබන මැතිවරණයේ දී ප්‍රා කාරයන්ට අපේක්‍ෂකත්වය නොදීමට සංධානය ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එමෙන් ම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කරන විට ද ප්‍රා කාරයන්ට කිසිදු ඉඩක් නොදිය යුතු ය. මෙහි දී ප්‍රා කාරයා යනු කවු ද යන්න හඳුන්වා දිය යුතු ය. අසූවේ දශකයේ අවසානයේ ජ වි පෙරමුණට එරෙහිව මිනීමරු ප්‍රා සංවිධානයක් බිහි වූ බව වැඩිහිටි බොහෝ දෙනාට මතක ඇත. ජ වි පෙරමුණේ සියළු ක්‍රියා අනුමත නොකළද ඔවුහු එදා ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුන් එදා මූලික වශයෙන් නැගී සිටියේ දේශද්‍රෝහී ඉන්දු ලංකා ගිවිසුමටත් ඒ ඔස්සේ අප මත බලෙන් පැටවූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් පළාත් සභා පනතටත් විරුද්ධව ය. ඊනියා මානව අයිතීන් ගැන කතාකරමින් ප්‍රා සංවිධානය බිහිවූයේ ජාතිකත්වයට එරෙහිව එහෙත් ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාතාසභාවලට පක්‍ෂව ය. ඔවුහු සිංහලයන්ට හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධ වූහ. ඔවුහු එක්කෝ කසිකබල් මාක්ස්වාදීහු වූහ. නැත්නම් චන්ද්‍රිකාට හිතවත් රෝසපාට සමාජවාදී ජනවේගකාරයෝ හා වෙනත් අය වූහ. එසේ නැත්නම් ලිබරල්වාදීහු වූහ. බැලූ බැල්මට විවිධ මතධාරීන් වුවත් ඔවුන්ට පොදු වූ සාධකය, අවශ්‍ය නම් මහා පොදු සාධකය, වූයේ ඔවුන්ගේ විජාතිකත්වය ය. ඔවුහු පොදුවේ ගත්කල සිංහල විරෝධීහු වූහ. විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධි වූහ. මේ ඇතැම් ප්‍රා කාරයෝ ජ වි පෙ සාමාජිකයන් ලෙස සැලකූ අය මරාදැමීමට තමන් ම ආයුධ අතට ගත්හ. මේ ලිපියෙහි ද මින් පසුව ද ප්‍රා කාරයන් ලෙස හැඳින්වෙන්නේ මාක්ස්වාදී හෝ ලිබරල්වාදී හෝ ජනවේග අදී වෙනත් බටහිර මතවාදී හෝ සිංහල ජාතිකත්වයට විරුද්ධ වන්නන් ය. අද අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් එදා ජ වි පෙරමුණට එරෙහිව ආයුධ ගත්තත් නැතත් ප්‍රා කාරයෝ වෙති.  සිංහල විරෝධී ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද ඒ අර්ථයෙන් ප්‍රා කාරයෝ වෙති.

ජ වි පෙරමුණේ සියළු ක්‍රියාකාරකම් අප විසින් අනුමත නොකෙරුණ ද එදා ඔවුන් අවි අතට ගත්තේ විජාතික බලවේගවලට එරෙහිව ය. එදා ජ වි පෙරමුණට විරුද්ධ වූවන් අවි අතට ගත්තේ මතු පිටින් බැලූකල ජ වි පෙරමුණට විරුද්ධව වුවත් සිංහල ජාතිකත්වයට එරෙහි ව ය. ඔවුහු විජාතික බලවේගවල නියෝජිතයෝ වූහ. කොටි සංවිධානය ද අවි ගත්තේ විජාතික බලවේග විසින් මෙහෙයවනු ලැබ ඔවුන්ගේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් සිංහල ජාතිකත්වයට එරෙහිව ය. ඉන්දියාව බටහිරයන්ගේ අනුග්‍රහයෙන් අප මත ඉන්දු ලංකා ගිවිසුමත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභාත් පැටවුයේ සිංහලත්වයට එරෙහිව ය. අද ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී ඇත. ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ කිරීමට පොරොන්දු වූ නමුත් එසේ නො කළේ ය. ඊනියා සාම සාධක හමුදාව කොටි සංවිධානය පරදවනු වෙනුවට සිංහලයන් ද ඇතුළු මෙරට ජනතාවට අඩට්තේට්ටම් කළේ ය. ඉන්දු ලංකා ගිවිසුමේ ඉන්දියාවෙන් ඉටුවිය යුතු කිසිවක් ඉටු නොවිණි. එහෙත් ගිවිසුම ඔස්සේ පිහිටුවනු ලැබූ පළාත් සභා තවමත් අප අතර ය. එපමණක් නො වේ. පළාත් සභා පවත්වාගෙන යෑමට ඉන්දියාව අපට බලකරයි. තමන්ගෙන් ඉටුවිය යුතු කොන්දේසි එකක්වත් ඉටුනොකළ ඉන්දියාවට පළාත් සභා පවත්වාගෙන යෑමට අපට බල කිරීමට ඇති නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතිය කුමක් ද? ඇමති මණ්ඩලයේ ප්‍රා කාරයන් කුමක් කීවත් ජනාධිපතිතුමා ඔවුන්ට කන්දිය යුතු නො වේ. ඔවුන් ද අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස වැජඹෙන්නේ මූලික වශයෙන් ම සිංහලයන්ගේ ඡන්දයෙන් බව ඔවුන්ට මතක්කර දිය යුතු ය.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක් වගන්තියක් පමණක් සංශෝධනය කිරීමට ප්‍රා කාරයන් එකඟ වී ඇත. අප එයට හසු නොවිය යුතු ය. ඒ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට යන්නේ මෙරට නීතිය නොවූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති යටතේ නම් එයට විරුද්ධ විය යුතු ය. එයින් සිදුවන්නේ නීතිය නොවූ එම වගන්ති තහවුරු කිරීම ය.  ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ 82 වැනි වගන්තිය යටතේ ය. එය 82 (6) වගන්තියෙන් අනිවාර්ය කෙරී ඇත. පනත් කෙටුම්පතෙහි 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති 82 වැනි වගන්තියට පටහැණි බැවින් ඒ වගන්ති සම්මතකර ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය. එහෙත් ඒ වගන්ති ආණ්ඩුවට අවශ්‍ය අන්දමට නීති විරෝධීව සංශෝධනය කර පාර්ලිමේන්තුවේ සංශෝධනය කෙරිණි. ඒ සංශෝධිත වගන්ති පවා 82 වැනි වගන්තියට පටහැණි ය.  අද කළ යුත්්තේ සංශෝධනය කිරීමට යන වගන්තියත් 154 උ (2) හා උ (3) වගන්තිත් සාකච්ඡා කිරීම පත්කිරීමට යන පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට ම භාරකර කමිටුවේ වාර්තාව ලැබෙන තුරු උතුරු පළාත් සභාවේ මැතිවරණය කල්දැමීම ය. අනෙක් පළාත් සභා මැතිවරණ පැවැත්වීම එතරම් ප්‍රශ්නයක් නොවන්නේ ඒ මැතිවරණවලට ඉදිරිපත්වන්නන්ගෙන් අති විශාල බහුතරය 1976 වඩුකොඩේ යෝජනා නොපිළිගැනීම හේතුවෙනි.

2013-06-16


නලින් ද සිල්වා