Main Logo

Showing posts with label ආත්මවාදය. Show all posts
Showing posts with label ආත්මවාදය. Show all posts

Sunday, 3 February 2013

ජාතිවාදයද? ආත්මවාදයද?

කලකට ඉහත කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි එක්තරා ගමක කමිස කඩේ යැයි හැඳින්වුනු කඩයක් තිබිනි. නමුත් එහි රෙදිපිළි විකිණීමට තිබුනේ නැත. තිබුනේ සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන සිල්ලර බඩු පමණි. ඒ කඩේ මුදලාලි සිංහල නොවන බව නම් කථාවෙන් හඳුනාගන්නට අපහසු වුනේ නැත. මා දැන් හිතන පරිදි ඔහු මුස්ලිම් ජාතිකයකු විය යුතුය. කඩයට ඒ නම ලැබෙන්නට ඇත්තේ ඔහුගේ මුස්ලිම් නම සිංහලට හුරු කෙරවීමෙන් පසුව විය හැකිය. ඒ කඩය අහල පහල වෙන කඩ නොතිබිනි. එවකට ඒ ගමේ සිංහල බෞද්ධ නොවන පවුලක් සිටියා නම් ඒ මුදලාලිගේ පවුල පමණක් විය යුතු යැයි මම සිතමි. නමුත් ඔහුට එදා ඒ මිනිසුන් ගොඩේ ජීවත් වීමට සිතේ චකිතයක් තිබෙන්නට නැත. ගම්මුන්ට පවා එහි අමුත්තක් නොතිබිනි. මෙවැනි අන්‍ය ජාතික ව්‍යාපාරිකයෝ හා වෘතිකයෝ අදටත් සිංහල ගැමියන් අතර සුහදව ජීවත්වෙති. එපමණක් නොවේ උතුරේ යුද ගිනි ඇවිලෙන සමයේ පවා එහි ගොස් දෙමළ ගම් වැසියන්ගේ උදව් සත්කාර ලබමින් එහි සේවය කල තරුණ සිංහල දොස්තර මහතුන්ද සිටියහ. මේ කොතැනකවත් ජාතිවාදය දකින්නට නැත. ඇත්තේ අහිංසක මිනිස්කම පමණි. පොදුවේ සලකන විට අප රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ගැමියන් බහුතරයක් ජාතිවාදී නොවේ යැයි කීම අතිශෝක්තියක් නොවේ.

නමුත් අප අතර සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිවාදීහු සිටිති. මොවුන් පෙර කී ජාතිවාදී නොවන අයගෙන් වෙනස් වෙන්නේ කෙසේද? ජාතිවාදී බව ඇතැම් අයට සහජයෙන්ම එන ගතියක්ද? නැත්නම් එය යම් ජාතියක හෝ ආගමක ආවේනික ලක්‍ෂණයක්ද? පැහැදිළිවම මේ ප්‍රශ්ණවලට පිළිතුරු විය යුත්තේ නැත යන්නය. මිනිසුන්ගේ ජාතිවාදී බව මතු පිටින් ඇති ගති ලක්‍ෂණයකි. ඇතුලතින් මේ බොහෝ දෙනෙකු අතර දැකිය හැකි පොදු ගුණයක් ඇත. ඔවුන් බොහෝ දෙනෙකු තරඟකාරී ලෙස අනුන් පාගාගෙන ඊර්ෂ්‍යව පෙරදැරි කරගෙන තමන්ගේ ආත්මාභිවෘදිය උදෙසා කටයුතු කරන අයය. පොදුවේ මොවුන් ආත්මවාදීන් යැයි හැඳින්විය හැකිය. සිංහල, දෙමළ හා මුස්ලිම්වරුන් අතර ආත්මවාදීහු සිටිති. මොවුන් වැඩි දෙනෙකු සමාජයේ ඉහලට යාමට වලිකමින් තරඟකාරී දිවි පෙවෙතක් ගෙවති. මේ ආත්මවාදීන් අතරින් සමහරෙක් ජාතිවාදී වෙන්නේ ඒ තරඟයේම ප්‍රතිඵලයක් ලෙසිනි. මේ බොහෝ දෙනෙකු නගරබදව වාසය කරති. අනුන් පරයා සමාජයේ ඉහලට යාමට තැත් කරති. මෙරට අවස්ථා කිහිපයකම ජාතිවාදී ප්‍රචන්ඩකාරී ක්‍රියා ඇති වුනේ නගර ආශ්‍රිතව බව අමතක කල නොහැකිය. ඉන් බොහොමයක් තමන් උගතුන් යැයිද සිතති. කෙසේ නමුත් ජාතිවාදීබවට ඇතුලතින් තිබෙන්නේ ආත්මවාදයය. ආත්මවාදීන් සැම දෙනෙකුම ජාතිවාදීන් නොවේ. නමුත් ජාතිවාදීන් පොදුවේ ගත්විට ආත්මවාදීන් යැයි මම සිතමි. ආත්මවාදී බව අපට ලැබෙන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය හරහාය. බටහිර අධ්‍යාපනය එහි ප්‍රධානම ඒජන්තවරයාය.

පසුගිය දිනවල මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සහ එන්ඩීටී සිසුන් අතර ගැටුමට මූළික හේතුව මේ සිසුන් එකිනෙකා පරයා ඊරිසියා සහගතව සමාජයේ ඉහලට යාමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් නිසා නොවේද? වසරක් පාසා ඇතිවන මේ ගැටුම් වලින් එළිදැක්වෙන්නේ උගත්යැයි සලකන මේ සිසුන්ගේ ආත්මවාදී බව නොවේද? විශ්ව විද්‍යාල පද්ධතිය පුරාම කලා අංශයේ සිසුන් නිතර විද්‍යා අංශවල සිසුන් හා ගැටුම් ඇති කර ගන්නේ මේ හේතුව නිසා නොවේ යැයි කිව හැකිද? ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් එවැනි කණ්ඩායම් විශ්ව විද්‍යාල පද්ධතිය තුල දේශපාළන බලය අල්ලාගෙන සිටින්නේ සිසුන්ගේ ආත්මවාදී බව උලුප්පවමින් නොවේද? මෙසේ තරඟවදිනවුන් අතර යම් හෙයකින් හෝ එක ජාතියක් සුවිශේෂ තැනක් ගනු පෙනෙන්නට ලැබනොත් ආත්මවාදීන් ජාතිවාදීන් බවට පෙරලෙන්නේ නිරායාසයෙනි. උදාහරණයක් වශයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදුවී ඇති අයථා කටයුතුවල නීති විරෝධීබව අභිබවා මුස්ලිම් විරෝධයක් මතුවී තිබෙන්නේ ඇතමුන්ගේ ආත්මවාදය ජාතිවාදය බවට පෙරලී ඇති නිසා නොවේද? අනුන්ට නොදී තමන්ම බුක්ති විඳීම ආත්මවාදීන්ගේ ලක්‍ෂණයකි. යමක් සියලු දෙනාටම බුක්ති විඳිය හැකි වන පරිදි ඒ සඳහා ඇති තරඟය සාධාරණය කිරීමට යෑමේදී ඊට විරුද්ධ වීමද ආත්මවාදීන්ගේ ගතියකි. උදාහරණයක් වශයෙන් වෛද්‍ය වරුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පොදුවේ කැමතිවී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට පමණක් එරෙහි වන්නේ ආත්මවාදීව තමන්ගේ වෘතීමය වරප්‍රසාද රැක ගැනීමට නොවේ යැයි කිව හැකිද? දිස්ත්‍රික් පදනම යටතේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේ ක්‍රමයට දෙමළ ජාති වාදීන් විරුද්ධ වුනේ එමඟින් යාපනයේ සුපිරි පාසල් වලින් පැමිණෙන සිසුන්ට අයථා ලෙස ලබා ගෙන තිබූ වරප්‍රසාද අහිමි වන බැවින් නොවේද?

බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් මෙලෙස ආත්මවාදීන් වීම අරුමයක් නොවේ. අප රටේ බටහිර අධ්‍යාපනය සැකසී ඇත්තේම සමාජයේ ඉහලට යන තරඟය ජය ගැනීමටය. නමුත් උගතුන්ට සමාජයේ ඇති ගෞරවය නිසා ඔවුන්ගේ කෙනෙහිළි කම් පහත් ලෙස සැලකීමට අප සමාජය තවම සූදානම් නැත. නමුත් ඇතැම් උගතුන්ගේ ක්‍රියා කලාප, ඔවුන් විසින් අවඥාවෙන් සලකන ඊනියා වට්ටි අම්මාවරුන්ගේ ක්‍රියා කාලාප වලට වඩා ඉතා පහත් බව කිව යුතුය. මේ උගතුන් ප්‍රසිද්ධියේ තමන් ජාතිවාදී බව නොපෙන්වන්නටද වග බලා ගනිති. ඔවුන්ට බටහිර අධ්‍යාපනය හරහා ඒ සඳහා පුහුණුවක් ලබා දේ. කෙසේ නමුත් ආත්මවාදීන් වන්නේ බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් පමණක් නොවේ. බමුණු කුලයේ අයත් ඒ කුලයට පැන ගැනීමට යත්න දරන අයත් පොදුවේ ආත්මවාදීහු වෙති. යම් යම් කරුණු මත ඉන් සමහර දෙනෙක් ජාති වාදීන් බවට පත්වෙති.

නමුත් අප රටේ සාමාන්‍ය මිනිසුන් බහුතරයක් ආත්මවාදීහු නොවෙති. සිංහල, දෙමළ හා මුස්ලිම් වන ඒ බොහෝ දෙනා ගම් බදව වාසය කරති. සාපේක්‍ෂව ගත්විට ඔවුන්ගේ ජීවිත එතරම් තරඟකාරී නොවේ. ඔවුන්ට අනුන් පගාගෙන යන්නට ඇති ඉහල තැනක් නැත. ඒ නිසා ඔවුහු ස්වභාවයෙන්ම ජාතිවාදීන්ද නොවෙති. බටහිර අධ්‍යාපනයක් ලබා බටහිර සංස්කෘතියේ අභාෂය ලබමින් බටහිර ක්‍රමයේ රස්සා කරමින් ජීවත් වන මා වැනි අයට ආත්මවාදී නොවී සිටිය හැක්කේ බුද්ධියෙන් පමණි. ඒ හැරෙන්නට කල හැකි දෙයක් නැත. නමුත් මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් සහජීවනයක් ගොඩනඟා ගත හැක්කේ අප වැන්නවුන්ට නොව ඇඟෙන්ම ආත්මවාදී නොවන අයටය. අපි ඔවුන්ට සිත්සේ ජීවත්වන්නට ඉඩ දිය යුතුය.

Janaka Wansapura

Saturday, 14 January 2012

සාධාරණීකරණයක් පමණක් වූ වාස්තවිකත්වය

අපට බොහෝ විට වස්තුවක් එක් ඉන්ද්‍රියකට වඩා ගෝචර වෙයි. අප ඉදිරියේ ඇති පොතක් අපට ස්පර්ශ කළ හැකි ය. එය අපේ ඇස්වලට ද ගෝචර වෙයි. අවශ්‍ය නම් එහි ගඳ සුවඳ රස ආදිය ද දැනගත හැකි ය. එයින් පිටවන ශබ්දයක් අපට නොදැණුන ද, පොත අඩු තරමෙන් මනස සමග එකතු වූ ඉන්ද්‍රිය හතරකට දැනෙයි. ඒ ඉන්ද්‍රිය හතරට ම ගෝචර වන්නේ එකම එක පොතකි. එපමණක් නොව බටහිර දැනුම අනුව පොතෙන් නිකුත්වන ඊනියා සංජානන ඉන්ද්‍රිය හතරකට ගෝචර වෙයි. බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි පොත අපෙන් තොරව ඇති බවත් එයින් අපට යම් සංජානන ලැබෙන බවත් කියැවෙයි. ඒ සංජානන සියල්ල එකම පොතකින් ලැබෙන බව අපට බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි ඉගැන්වෙයි.

එහෙත් ඒ සංජානන සියල්ල එක්වර ලැබිය යුතු යැයි බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි නො කියැවෙයි. අපට ආසන්නයෙහි ඇතිවිට නිතර ම පොත පෙනෙන නමුත් අපට එය ස්පර්ශ නො වෙයි. අප පොත ස්පර්ශ කිරීිමෙන් පමණක් අපට ස්පර්ශය ඔස්සේ පොත ඇති බව, එනම් පවතින බව, දැනගත හැකි ය. ආලෝකය ඇත්නම් අපට සමගාමීව පොත දැකගත හැකි ය. එහෙත් අඳුරෙහි අපට පොත නොපෙනුනත් පොත ස්පර්ශ කළ හැකි ය. එපරිදි ම පෙතෙහි ගඳ සුවඳ රස ආදිය දැනගැනීම සමගාමීව ම විය යුතු නො වේ. එසේ සමගාමීව නොවුණත් බටහිර දැනුමට අනුව ඒ සංජානන ලැබෙන්නේ එකම පොතකින් යැයි අපි කියමු. මෙහි දී වැදගත් වන්නේ ඒ ඒ ඉන්ද්‍රියට එකම වස්තුවකින් ලැබෙන සංජානන සමගාමී නොවුණ ද ඒ එකම වස්තුවක් යැයි බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි නිගමනය වීම ය.

මෙය එක් අතකින් ගත්කල බටහිර ද්‍රව්‍යවාදී දැනුමට පමණක් සීමාවූවක් නො වේ. අපෙන් තොරව වස්තු ඇතැයි ගන්නා ඕනෑම දැනුම් පද්ධතියක විවිධ ඉන්ද්‍රියයන්ට දැනෙන සමගාමී නොවන සංජානන මගින් එකම වස්තුවක් ඇති බව නිගමනය වෙයි. අනෙක් අතට එකම ඉන්ද්‍රියයකට දැනෙන සමගාමී නොවන සංජානන ද එකම පොතකින් ලැබෙන්නේ යැයි ඒ දැනුම් පද්ධතිවල නිගමනය වෙයි. අප පොත ඇති බව ඇසින් දැක තවත් පැයකින් පසුව පැමිණ පොත දුටුව ද ඒ පොත් දෙකක් නොව එකම පොතක් යැයි අපි නිගමනය කරමු.

ඇතැම් විට අප ආපසු පැමිණෙන විට වෙනත් කිසිවකු එය වෙනත් තැනකින් තබා තිබෙන්නට හැකි ය. එහෙත් යම් යම් ලකුණුවලින් ඒ එකම පොත යැයි හඳුනාගැනීමට අපට බාධාවක් නො වේ. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි මේ වෙනස් නොවන වස්තුව යන්නට වැදගත්කමක් ඇත. නිව්ටෝනීය යාන්ත්‍රිකයට අනුව යම් වස්තුවකට බලයක් යෙදුවිට යම් අවස්ථිති රාමුවක වස්තුව ත්වරණයක් සහිත ව චලනය වෙයි. වස්තුවේ පිහිටීම වෙනස් වුව ද අපෙන් තොරව වස්තුවක් ඇති බව හා වස්තුව වෙනස් නොවන බව අපි උපකල්පනය කරමු.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ඇතැම් විට වෙනස්වන ස්කන්ධ සහිත වස්තු පිළිබඳ අධ්‍යයනය කෙරෙයි. එහෙත් ස්කන්ධය වෙනස් වුව ද මුල සිට අග දක්වා ම ඇති යම් ස්කන්ධයක් සහිත වස්තුවක් ඇතැයි එහි දී උපකල්පනය කෙරෙයි. ඇතැම් විට අවසානයේ දී වස්තුවේ ස්කන්ධය ශූන්‍ය විය හැකි ය. එහෙත් ඒ දක්වා ම වෙනස් නොවන වස්තුවක් ඇතැයි නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි උපකල්පනය කෙරෙයි. වෙනස් නොවන වස්තුවල වාස්තවික පැවැත්ම, එනම් නිරීක්‍ෂකයාගෙන් තොරව හුදු වස්තු ලෙස පැවැත්ම බටහිර විද්‍යාවෙහි මුල් ගලක් ලෙස සැලකිය යුතුවෙයි.

එක්විට නොලැබුණ ද විවිධ ඉන්ද්‍රිය හා ඇතැම් විට යම් කාල පරාසයක එකම ඉන්ද්‍රියයක් ඔස්සේ ලැබෙන සංජානන වෙනස් නොවන එකම වස්තුවකින් ලැබේ ය යන්න තවත් විස්තර කළ යුතු වෙයි. යම් වස්තුවක් දිරාපත් වී ඇතැයි අපි කියමු. මෙයින් අදහස් වන්නේ කුමක් ද? වස්තුවේ දෘශ්‍යමානය වෙනස් වී ඇතැයි මෙහි දී උපකල්පනය කෙරෙයි. එහෙත් දිරාපත් වූ වස්තුව හා කලින් තිබූ වස්තුව යනු වස්තු දෙකක් නොව එක් වස්තුවක් පමණක් බව අපි දිගින් දිගට ම උපකල්පනය කරමු. දිරාපත්වන වස්තුව යන්නෙන් වස්තුවේ වෙනස්වීමක් ගැන කියැවෙන්නේ යැයි කිසිවකුට සිතෙන්නට හැකි ය. එහෙත් ඒ එසේ නො වේ.

දිරාපත්වන වස්තුව යන්නෙන් වෙනස්වීමක් හැඟුණ ද ඒ වෙනස්වීම පිටුපස වෙනස් නොවන ආත්මයක්, සාරයක් ඇතැයි මෙයින් කියැවෙයි. ඒ සාරය හෙවත් ආත්මය වෙනස් නො වෙයි. වෙනස්වන්නේ සාරය හෙවත් ආත්මය නොව ඒ වටා ඇති යම් දෘශ්‍යමානයක් බව මෙහි දී උපකල්පනය කෙරෙයි. වස්තුවක වෙනස්වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ම වෙනස් නොවන වස්තුවක් සාරයක් ආත්මයක් ඇති බව ය. බටහිර විද්‍යාව ඇතුළු බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි පමණක් නොව සියළු ආත්මවාදී දැනුම්වල මේ වෙනස් නොවන ආත්මය යන්න අන්තර්ගත වෙයි. එපමණක් නොව ඊනියා ක්‍ෂණයකට හෝ පවතින වස්තුවක්, පුද්ගලයකු, චිත්තයක්, මනසක්, විඤ්ඤාණයක, ධර්මයක් ගැන ඉගැන්වෙන සියළු ආගම්, ධර්ම ක්‍ෂණවාදී ව වුවත් ආත්මවාදී වෙයි.

ක්‍ෂණවාදී ආත්මවාදී දහම් හා අනෙක් ආත්මවාදී දැනුම් අතර මූලික වෙනස්කමක් නැති බව කණගාටුවෙන් වුව ද කිවයුතු ය. ඒ දැනුම් අතර ඇති වෙනස ආත්මය පවතින්නේ, එනම් වස්තුවක හෝ සත්වයකුගේ හෝ සාරය පවතින්නේ කෙතරම් කාලයකට ද යන්න පිළිබඳ ව ය. සදාතනික ආත්මවාදීහු නොනැසෙන සදාකාලික ආත්මයක් ගැන කියති. ඒ ආත්මය පුද්ගලයන්, සත්වයන් සම්බන්ධයෙන් නම් මරණයෙන් මතු ද වෙනස් නොවෙයි. ඇතැම් ආගම්වලට අනුව ඒ ආත්මය සදාකාලික ස්වර්ගයේ හෝ සදාකාලික අපායේ හෝ සැපත් වෙයි. තවත් ආගමක ඒ ආත්මය බ්‍රහ්මන් සමග එක්වෙයි. ඇතැම්හු, අද්වෛත වේදාන්තවාදීහු එසේ ආත්මය හා බ්‍රහ්මන් යනුවෙන් දෙකක් ලෙස සැලකීම ප්‍රතික්‍ෂෙප කරති. ඔවුන්ට අනුව එසේ වෙනස් වන්නේ යැයි ගැනීම නිසා ම සත්වයා සංසාරයේ සැරිසරයි. එසේ වෙනස් යැයි සැලකෙන්නේ මායාව නිසා ය. අවශ්‍ය වන්නේ මායාව නැතිකිරීම ය. මායාව නැතිකිරීමෙන් බ්‍රහ්මන් හා ඊනියා පුද්ගල ආත්මය අතර වෙනසක් නොමැති බව වැටහෙයි. එය අද්වෛත වේදාන්තවාදීන්ගේ විමුක්තිය වෙයි.

ක්‍ෂණයකට වුව ද ආත්මයක්, ධර්මයක්, චිත්තයක් ආදී වශයෙන් පවතින්නේ යැයි ගැනීම මහත් මුළාවකි. එහි දී පැන නගින ප්‍රධාන ම ප්‍රශ්නය නම් ක්‍ෂණයක් යනු කුමක් දැයි දැනගැනීම ය. ක්‍ෂණයක් ඇතිවීමට, තිබීමට නම් කාලය යනුවෙන් යමක් පැවතිය යුතු ය. ක්‍ෂණයක් යනු අනන්ත හෝ පරිමිත හෝ කාලයක කුඩා කොටසක් විය යුතු ය. එය කෙතරම් කුඩා දැයි කිවහැකි අයකු නැත. එහෙත් ක්‍ෂණය කෙතරම් කුඩා වුවත් එය පරිමිත හෝ අපරිමිත හෝ යම් කාල පරාසයක කොටසකි. දැන් ප්‍රශ්නය වනුයේ කාලය යනු කුමක් ද යන්න ය. බුද්ධඝෝෂ හිමියන්ට අනුව කාලය යනු පඤ්ඤත්තියක් පමණකි. එය අප විසින් පණවනු ලබන්නකි. කාලය යන්න අප විසින් පණවනු ලබන්නක් වන විට ක්‍ෂණය යනු කුමක් ද? එවිට ඊනියා ධර්ම පවතින්නේ ද අප විසින් පණවනු ලබන කාල පරිච්ඡෙදයක ය. අප විසින් පණවනු ලබන කාල පරිච්ඡෙදයක අපෙන් තොර ඊනියා ධර්ම පවතින්නේ කෙසේ ද? අනෙක් අතට එසේ පැවතුණු ධර්මයට ක්‍ෂණය අවසානයේ දී කුමක් සිදුවේ ද? එය වැනසෙන්නේ ද? එවිට ඒ දැනුම උච්ඡෙදවාදී වෙයි.

වස්තුවක පැවැත්ම, එනම් නිරීක්‍ෂකයාගෙන් තොරව වස්තුවක පැවැත්ම කිසියම් ආකාරයකට වුව ද ගැනීම ආත්මවාදී වෙයි. එහෙත් විවිධාකාර ද්‍රව්‍යවාදීහු එසේ වස්තු පවතින්නේ යැයි ගනිති. මේ ඊනියා වස්තු පිළිබඳ හැදෑරීම බටහිර විද්‍යාවේ විද්‍යාත්මක ව කෙරෙන්නේ යැයි කියනු ලැබේ. අප බොහෝ අවස්ථාවල පෙන්වා දී ඇති පරිදි මනසක් සහිත නිරීක්‍ෂකයකුගෙන් තොරව ඊනියා වාස්තවික යථාර්ථයක පැවැත්ම මනසකින් තොරව පෙන්වා දිය හැක්කකු මෙදියත නැත. වාස්තවිකත්වය යන්න ම සංකල්පයකි. සංකල්ප සංස්කරණය කෙරෙන්නේ මනසෙහි ය. එවිට මනසකින් තොරව වස්තුවක් පවතින්නේ යැයි පෙන්වීම යනු සංකල්පයකින් තොරව වස්තුවක පැවැත්ම පෙන්වීම ය.

එහෙත් වස්තුව පැවැත්ම ආදිය ම සංකල්ප වෙයි. සංකල්ප නොමැතිව පෘථග්ජන අපට කළහැකි කිසිවක් නැත. සංකල්පවල කිසිම හරයක් (සාරයක්) නොමැති වුවත් සංකල්පීය ලෝකය ශූන්‍ය වුවත් අපට සංකල්ප සංස්කරණය නොකර සිටිය නො හැකි ය. ඒ අපේ අවිද්‍යාව හේතුකොට ගෙන ය. එම් අනිත්‍ය, දුක්ඛ අනාත්ම අනාවබෝධය හේතුකොට ගෙන ය. අපේ අවිද්‍යාව හේතුකොට ගෙන අපි සංකල්ප නිර්මාණය කරමු. ඉන්පසු අපේ ඒ නිර්මාණ අපෙන් තොරව පවතින ඊනියා වාස්තවිකත්වයක් බවට පත්කර ගන්නෙමු.

මේ වාස්තවික පැවැත්ම යන්න සාධාරණීකරණයකි. නිරීක්‍ෂකයාගෙන් තොරව යම් යම් දේ (වස්තු) පවතින්නේ යැයි ගැනීම පදනම් වන්නේ ම නිරීක්‍ෂණ මත ය. එසේ වස්තු පවතින්නේ යැයි ගන්නෝ ද නිරීක්‍ෂකයෝ ම වෙති. අපෙන්, එනම් නිරී’ක්‍ෂකයාගෙන් තොරව වස්තු ඇතැයි ගැනීමට ඉඩ සලසා ඇත්තේ පංචෙන්ද්‍රිය සහිත මිනිසුන්ට මනස ආධාරයෙන් එකම දේ පෙනෙන්නේ යැයි ගෝචර වන්නේ යැයි සැලකීම ය. උදාහරණයක් ලෙස මල යන සංකල්පය අප සියළු දෙනාට ම පොදු යැයි අපි සිතමු. අපි සියළු දෙනා ම මල් දකිමු. එහි සුසිනිදු බව ප්‍රත්‍යක්‍ෂ කරමු. මල් දකින සියළු දෙනාම එකම මල් දකින්නේ යැයි අප උපකල්පනය කරන්නේ අප සියළු දෙනාට ම එකම ඉන්ද්‍රිය ඇති බැවින් හා බොහෝ විට එකම ආකාරයේ මනස් ඇති බැවිනි.

අප එකිනෙකා දකින්නේ එකම මල් නොවන බව අපි නො දනිමු. බෞද්ධයන්ට මල් යනු බුදුන් වහන්සේට පූජා කෙරෙන දෙයකි. එහෙත් ක්‍රිස්තියානි භක්තියන්ට මල් එලෙස නො පෙනෙයි. එසේ තිබිය දී අපි සියළු දෙනාට ම එකම මල් පෙනෙන්නේ යැයි අපි කියමු. එපමණක් නොව මේ මල් අප ඉපදීමට පෙර ද පසුව ද ඇතැයි අපි ගනිමු. මලක් යනු අප සමග ඇති වී අප සමග නැති වී යන්නක් නො වේ. මේ නිරීක්‍ෂණ කෙරෙන්නේ ද මනස ආශ්‍රිතව සංකල්පීය වශයෙන් බව අපට අමතක වෙයි. දැන් අපි සාධාරණීකරණයක් කරමු. ඒ සාධාරණීකරණය මෙසේ ය. ඕනෑම සාධාරණීකරණයක් යනු වියුක්ත දැනුමක් බව ද අමතක නොකළ යුතු ය.

අප සියළු දෙනාට ම එකම මල් ගෝචර වන්නේ නම් අප නැති කල ද මල් පවතින්නේ නම් මල් අපේ නිරීක්‍ෂණයක් වුව ද එය අපෙන් ස්වායත්ත විය යුතු ය. අපට පමණක් නොව අපට පෙර උපන් අයට ද අපෙන් පසුව උපදින අයට ද මල් ගෝචර වන්නේ අපට ගෝචර වන ආකාරයට ය. ඒ හේතුවෙන් මල්වලට අපෙන් ස්වායත්ත පැවැත්මක් ඇත. එනම් මල්වලට ස්වායත්ත නිරපේක්‍ෂ වාස්තවික පැවැත්මක් වෙයි. එහෙත් මෙහි ඇති සරදම නම් අපෙන් තොරව ද මල්වලට ඇති පැවැත්ම අපට නිරීක්‍ෂණය වන ආකාරයෙන් ම වීම ය. අපට පෙනෙන විවිධ පැහැය සහිත මල් ඒ විවිධ පැහැයෙන් ම සුසිනිදු බවකින් යුක්තව අපෙන් ෙීාරව ද පවතින්නේ යැයි අපි සිතමු. අප කර ඇත්තේ අපේ නිරීක්‍ෂණ සාධාරණීකරණයට ලක්කිරීමක් පමණකි. ඊනියා වාස්තවිකත්වය යනු මනස් සහිත අපේ නිරීක්‍ෂණවල ම සාධාරණීකරණයක් වෙයි.

Sunday, 11 December 2011

මොළයට වඩා මනස ප්‍රධාන වේ

ඒ ඒ අවයවයේ සිට මොළයට ඇති දුර අනුව අදාළ අවයවයේ සිට මොළයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට ගතවන කාලය වෙනස් විය යුතු යැයි අප කියන්නේ මේ තොරතුරු මොළයට ගෙන යන යම් ද්‍රව්‍යයක් (නියුරෝන හෝ වෙනත් යමක් හෝ) යම් වේගයකින් චලනය වන බැවිනි. මේ වේගය ආලෝකයේ වේගයට වැඩි වීම අපට ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් වන්නේ අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයට ය. යම් හෙයකින් මේ වේගය අනන්තයක් වන්නේ නම් එවිට තොරතුරු ගෙන යෑමට කිසිදු කාල ප්‍රාන්තරයක් ගත නොවන්නේ යැයි කිව හැකි ය.

අපේ ප්‍රවාදය හෙවත් කතන්දරය අනුව මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාත්මක වන පිළිවෙළ (පටිපාටිය) මනසෙහි සිත් පහළවන පටිපාටිය ම වීම අවශ්‍ය නො වේ. මනස යනු සිත් පංතියක් බැවින් මනසෙහි සිත් පහළවීම යන්න හුදු ප්‍රකාශනයක් පමණක් බව අමතක නොකළ යුතු ය. සිතක් ඇතිවී නැතිවී යයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සිත ඇති වී කෙතරම් කාලයක් පවතින්නේ ද යන්න ය. එය චිත්තක්‍ෂණයක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි, විශේෂයෙන් ම සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි හැඳින්වෙයි. චිත්තයකට උප්පාද, තිථි භංග යනුවෙන් අවස්ථා තුනක් වේ යැයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. තිථිය යනු ඉපදුණු චිත්තය නැතිවීමට පෙර පැවතීමයි. චිත්තය පවතින චිත්තක්‍ෂණය අර්ථදක්වන්නේ කෙසේ ද? එයට පැහැදිලි පිළිතුරක් නැත.

සෞත්‍රාන්තිකයෝ මෙයට වෙනස් මගක් ගත්හ. සෞත්‍රාන්තික යන්නෙහි තේරුම සූත්‍රවලින් එහාට නොයන බව ය. සියල්ල සූත්‍රවලින් කෙළවර වෙයි. ඔවුන් සූත්‍ර ලෙස ගන්නේ සූත්‍ර පිටකය හා විනය පිටකය ය. සෞත්‍රාන්තිකයෝ අභිධර්ම පිටකය ගැන සැලකිල්ලක් නො දක්වති. ඔවුන්ට අනුව චිත්තයක් ඇති වී නැති වී යයි. එහි උප්පාද භංග මිස තිථියක් හා එම නිසා චිත්තක්‍ෂණ ද නැත. මේ වෙනස ගැටලුවක් බව පැහැදිලි ය. අභිධර්ම පිටකයෙහි මෙය මෙසේ සඳහන් වී ඇත යන්න මේ ප්‍රශ්නයට තබා කිසිම ප්‍රශ්නයකටවත් පිළිතුරක් නො වේ. බුද්ධ වචනය කුමක් දැයි පැහැදිලිව නොදන්නා කළ අපි අසීරුවට පත්වෙමු.

චිත්ත, චෛතසික හා රූප පරමාර්ථ ධර්ම ලෙස ගත්කල චිත්තයක් යනු තව දුරටත් කුඩා චිත්තවලට නොබිඳිය හැකි ධර්මතාවක් ලෙස සැලකෙයි. එහෙත් මෙසේ කුඩා කොටස්වලට නොබිඳිය හැකි ය යන්නෙන් කියැවෙන්නේ කා හට කුමකට සාපේක්‍ෂව ද? පසුගිය දා අපවත් වී වදාළ බෝධි හිමියන් එයට පිළිතුරක් ලෙස දී ඇත්තේ මනසට ගෝචර වන කුඩා ම චිත්තය මෙහි දී පරමාර්ථය ලෙස සැලකෙන බව ය. එහෙත් ඒ හිමියන් මනස ගැන වැඩි විස්තරයක් නොකිරීමෙන් අප තවත් ගැටලුවකට යොමු කෙරෙයි.

මනස යනු චිත්ත පේළියක් නම් චිත්තය මනසට ද මනස චිත්තයට ද සාපේක්‍ෂ වෙයි. චක්‍රිය චින්තනයක මෙය ගැටලුවක් නො වේ. එවැනි සාපේක්‍ෂතාවක් ගැටලුවක් වන්නේ රේඛීය චින්තනයක ය. චිත්ත යන සංකල්පය මෙන් ම මනස යන සංකල්පය ද මනසේ නිර්මාණ (සකස්කිරීම්) වෙයි. අප විසින් විටින් විට සඳහන් කෙරී ඇති සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි මෙය යම් ප්‍රමාණයකට විස්තර කෙරී ඇත. අපි පසුව එය තවදුරටත් විස්තර කරමු. එහෙත් දැනට කිවයුත්තේ ඊනියා ‘ක්‍ෂණයකට වුව ද පවතින මනසක් හෝ චිත්තයක් හෝ ගැනීම ආත්මවාදී වන බව ය. එසේ පවතින බව පෙන්වීම සඳහා අභිධර්මයෙහි ඇතැයි කියා ධර්මවාදය යොදාගැනීම නිෂ්ඵල කාර්යයකි. ධර්මයක් ක්‍ෂණයකට (අර්ථ නොදක්වන ලද ක්‍ෂණයකට) වුවත් පවතින්නේ යැයි ගැනීම ක්‍ෂණ ආත්මවාදයක් ලෙස හැඳින්විය හැකි ය.

අපි නැවතත් අපේ පළමු ප්‍රශ්නයට යමු. සිත් ඇති වී නැති වී යෑම ම හුදු ප්‍රකාශනයක් පමණකි. අපේ පහසුවට අපි චිත්තය යනුවෙන් සංකල්පයක් නිර්මාණය කරගෙන සිටිමු. මේ චිත්ත විවිධ තැන්වල ඇතිවෙයි. ඇතිවන්නේ හා නැතිවන්නේ අප තනාගෙන ඇති සංකල්ප බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. අප ලෝකය යනුවෙන් ගන්නේ අපෙන් ස්වායත්තව පවතින වාස්තවික වූවක් නොව අප විසින් නිර්මාණය කරන ලද සංකල්ප කුලකයකි. චිත්තය ද මේ සංකල්ප කුලකයෙහි තවත් අවයවයක් පමණකි. මනස ඇතුළු සියළු සංකල්ප මනසේ නිර්මාණ වෙයි.

අපේ ප්‍රශ්නය වූයේ චිත්ත ඇැතිවීමේ පිළිවෙළ මොළයේ අදාළ ප්‍රදේශ ක්‍රියාත්මක වීමේ පටිපාටිය සමග එකඟ වන්නේ ද යන්න ය. ඒ ප්‍රශ්නයට අපේ පිළිතුර වනුයේ එසේ එකඟ වීම අනිවාර්ය නොවන බව ය. පාදයක් මදුරුවකු කෑමට පසුව නාසයට දැනෙන ගඳක් සුවඳක් පිළිබඳ තොරතුර මොළයට දැනීම පටිපාටිය වෙනස්වී සිදුවිය හැකි බව අපේ නිගමනය වෙයි. පාදයේ සිට මොළයට ඇති දුර නාසයේ සිට මොළයට ඇති දුරට වැඩි නිසා එය එසේ සිදුවන්නේ යැයි අපි කියා සිටිමු. අවශ්‍ය නම් මෙය යමකුට පර්යේෂණයක් කර විසඳාගත හැකි ය. අපි මෙහි දී බටහිර විද්‍යාවට යටවී ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් අනුගමනය නො කරන්නෙමු. අප බටහිර විද්‍යාඥයන්ට කියා සිටින්නේ ඔවුන්ගේ ක්‍රමයට අනුව අපේ දැනුමක් පිරික්සා බලන ලෙස ය. එහෙත් ඒ පරීක්‍ෂණයේ ප්‍රතිඵල සමග අප නිවැරදි බව පෙනී ගියහොත්, එයින් කියැවෙන්නේ මනස හා මොළය යනු දෙකක් පමණක් නොව මොළය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන්නේ මනස ක්‍රියාත්මක වීමෙන් පසුව බව ය.

එවැන්නක් බටහිර විද්‍යාවට පහරක් වනු ඇත. බටහිර විද්‍යාව සෑම ප්‍රපංචයක් ම ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරයි. ඔවුන් මනස ද, මොළයේ ක්‍රියාකාරකම්වලට ඌනනය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. බටහිර විද්‍යාවට අනුව ඩාවින්ගේ විකාශයට හසුවන සත්වයා අවසානයේ දී මිනිසා බවට පත්වෙයි. ඒ මිනිසාට මොළයක් ද වෙයි. බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාකාරීත්වය මනසක් ලෙස වැටහෙයි. එහෙත් මොළ ඇත්තේ මිනිසුන්ට පමණක් නො වේ. එසේ වුවත් මොළ ඇති අනෙක් සතුන්ට මනස් ඇති බවක් බටහිර විද්‍යාවේ නිශ්චිතව නොකියැවෙයි.

මිනිසාට පමණක් මනසක් ඇත්නම් හෝ සත්වයන් වර්ග කිහිපයකට පමණක් මනස් ඇත්නම් හෝ එසේ ඒ සතුන්ට මනස් ඇතිවීමටත් අනෙක් සතුන්ට මනස් නැතිවීමටත් හේතුව කුමක් දැයි බටහිර විද්‍යාවෙන් පැහැදිලි විය යුතු යි. එහෙත් බටහිර විද්‍යාවෙන් එබඳු පැහැදිලි කිරීමක් නො කෙරෙයි. මිනිස් මොළයේ හා මනසක් ඇතැයි ඉඳහිට වුවත් කියැවෙන සතුන්ගේ මොළයේ ඇති එහෙත් අනෙක් සතුන්ගේ මොළයේ නැති සුවිශේෂ ගුණය කුමක් ද? සත්වයන්ගේ පරිණාමය සිදු වී ඇති ආකාරය අනුව මොළයට එසේ සුවිශේෂ තත්වයක් ඇතිවන්නේ කෙසේ ද?

මනස මොළයට ඌනනය කිරීමට උත්සාහ කරන බටහිර විද්‍යාඥයන් එසේ කරන්නේ ඔවුන් මනසක් නැතැයි කියන එහෙත් මොළයක් ඇතැයි කියන සතුන්ගේ මොළ සමග මිනිස් මොළය සංසන්දනය කිරීමෙන් පසුවවත් නො වේ. මොළයේ ක්‍රියාකාරීත්ව නිසා මනස ඇතිවන්නේ යැයි කීමට බටහිර විද්‍යාඥන්ට ඇති සාධකය මිනිසුන්ට ඒ ඒ හැඟිම් ඇතිවන විට මොළයේ ඒ ඒ කොටස් ක්‍රියාකාරී වන බව පෙනීම ය. එහෙත් ඒ සම්බන්ධයෙන් මනස නිසා මොළය ක්‍රියාකාරී වන්නේ ය යන්න ද කිවහැකි ය. මේ සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයන් කළ යුත්තේ ඔවුන්ගේ සම්ප්‍රදාය අනුව යමින් ඉහත දක්වා ඇති ආකාරයේ පර්යේෂණ කිරීම ය.

භාවනා කිරීමේ දී යම් තරංග මොළය හා ආශ්‍රිතව ඇතිවන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ද විශාල ගැටලුවක් නො වේ. භාවනා කිරීමේ දී සිදුවන්නේ මනස යම් පිළිවෙළකට පත්කර ගැනීම ය. එනම් චිත්ත විසිරී යාමට ඉඩ නොදීම ය. එහි දී සිත එකඟ කර ගැනීමක් සිදුවේ. මෙහි දී සිත යනුවෙන් හැඳින්වෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් චිත්ත පේළියක් විය යුතු ය. එසේ නොමැතිව සිත යන්න එක සිතකට පමණක් සීමාවන්නක් විය නො හැකි ය. චිත්ත එකම අරමුණක තබාගැනීමට කරන උත්සාහය මෙහි දීි අවධාරණය කෙරෙයි.

එකක් පසු පස පහළවන චිත්ත එක් අරමුණක තබාගැනීමේ දී ඒ හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ද වෙනස් වන්නේ ය යන්න මෙහි දී අපේ ප්‍රවාදය දනුව එළඹිය හැකි නිගමනය වෙයි. ඒ හේතුවෙන් මොළය ආශ්‍රිත ව ඇතිවන තරංග එක්තරා රටාවකට නිකුත්වන්නේ ය යන්න පැහැදිලි ය. මොළය හා මනස අතර සම්බන්ධය බටහිර විද්‍යාඥයන් කියන ආකාරයට නොව මනසට ප්‍රධාන තැන දී මොළය ඒ අනුව ක්‍රියාකාරී වන්නේ ය යන අයුරින් අවබෝධ කරගත හැකි ය.

මොළය නම් අවයවයක් නොමැතිව මනස තිබිය නො හැකි ද? නැතහෙත් මොළය නොමැතිව සිත් පහළ විය නො හැකි ද? බෞද්ධ සාහිත්‍යයෙහි සිත මිස කය නැති බඹලොව හතරක් ගැන කියැවෙයි. කයක් නොමැති විට මොළය නම් අවයවය නොමැති බව පැහැදිලි ය. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි පමණක් කියැවෙන්නක් කියා එය ඉවත දැමිය යුතු නො වේ. අප වෑයම් කරන්නේ අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමට ය. එහි දී අපට නව අදහස් නිර්මාණය කරගත හැක්කේ සංස්කරණය කරගත හැක්කේ අපේ සංස්කෘතිය මත පදනම් වෙමිනි. සාහිත්‍යය ද සංස්කෘතියෙහි ම කොටසකි. බෞද්ධ සාහිත්‍යයෙන් ජනප්‍රවාදයෙන් ආදිය මත පදනම් වීමෙන් පමණක් අපට අපේ ප්‍රවාද ගොඩනගා ගත හැකි ය.

බටහිරයන් කරන්නේ ද ඒ බව අමතක නොකළ යුතු ය. ඔවුහු තම සංස්කෘතියෙන් අදහස් ලබාගනිති. මුළු මහත් බටහිර විද්‍යාවේ ම කෙරෙනුයේ බයිබලය වෙනත් වචනවලින් ප්‍රකාශ කිරීමක් පමණකි. ද්‍රව්‍යවාදය (භෞතිකවාදය) පරණ තෙස්තමේන්තුවෙන් ම පැන නගින්නකි. පරණ තෙස්තමේන්ුවේ ඊනියා විඥානවාදයක් ඇතැයි කිවහැක්කේ මැවුම්කාර දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් පමණකි. එහෙත් දෙවියන් වහන්සේ ඉවත්කර මැවීම තබාගතහොත් පරණ තෙස්තමේන්තුව ද්‍රව්‍යවාදී පොතක් බවට පත්වෙයි. අද බටහිර විද්‍යාව දෙවියන් වහන්සේ අමතක කර ඇත. එහෙත් දෙවියන් වහන්සේ මැවූ ලෝකය සංරක්‍ෂණය කර ඇත.

ඊනියා මහා පිපුරුම යනු අන්කිසිවක් නොව දෙවියන් වහන්සේ නොමැතිව කෙරෙන නිර්මාණයකි. විශ්වයේ ද බයිබලයේ ද මුලින් ම ඇත්තේ ආලෝකය හා හයිඩ්‍රජන් වැනි ද්‍රව්‍යය. බටහිර විද්‍යාවට අනුව මේ මුල් විශ්වය විකාශය වීමෙන් වෙනත් මූල ද්‍රව්‍ය නිර්මාණය වෙයි. යම් අවස්ථාවක විශ්වයේ කාබන් ඇතිවෙයි. ඉන්පසු කාබනික ද්‍රව්‍යය ද ජීවය ද ඇතිවෙයි. ඩාවීනීය පරිණාමවාදයට අනුව ජීවය විකාශය වී සංකීර්ණ සත්තු ඇතිවෙති. පසුව වර්ධිත මොළයක් සහිත මිනිසා ඇතිවෙයි. ඒ මිනිසාට මනසක් ඇත. දෙවියන් වහන්සේ මැවූ ලෝකයෙහි ද ජීවය මැවෙන්නේ පළමු දිනයෙහි නො වේ. සතා සිවුපාවා සර්පයා මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ තම ප්‍රතිබිම්බයෙහි මිනිසා මවයි. මිනිසාට ද දෙවියන් වහන්සේට මෙන් ම මනසක් ඇත. මේ මනසක් සහිත මිනිසා බයිබලයේ ද ඇතිවන්නේ අවසානයේ දී ය. දෙවියන් වහන්සේ මිනිසා ද මවන්නේ පසෙනි. මේ කතාවෙන් දෙවියන් වහන්සේ ඉවත්කළ පසු ලැබෙන්නේ ද්‍රව්‍යයෙන් ඇතිවුණු මිනිසෙකි. බටහිර විද්‍යාව කියන්නේ ද ඒ කරුණු ම ය. බටහිර විද්‍යාවේ මිනිසාගේ මනස මොළය නම් ද්‍රව්‍යය ආශ්‍රිතව පැන නැගීම පුදුමයට කරුණක් නො වේ.