Main Logo

Showing posts with label මොළය. Show all posts
Showing posts with label මොළය. Show all posts

Monday, 18 December 2017

දොස්තර ඒකාධිකාරය 3

දොස්තර ඒකාධිකාරය 3


දොස්තර ඒකාධිකාරය ගැන තව ලිපි කිහිපයක් ම එක දිගට නැති වුවත් ලියන්න ඕන. මේ ලිපි පෙළේ මාතෘකාව වෛද්‍ය ඒකාධිකාරයෙ නොව  දොස්තර ඒකාධිකාරය ලෙස වෙනස් කරනවා. මෙරට බටහිර දැනුම් ආධිපත්‍යය හා සංස්කෘතික ආධිපත්‍යය වඩාත් ම ක්‍රියාත්මක වන්නේ දොස්තර ඒකාධිකාරය මගිනුයි. අපට මෙය අදවත් හෙටවත් බිඳින්න බැහැ. බටහිර ආධිපත්‍යය එතරම් ම බලවත්. එහෙත් කලක් ගත වූ විට මේ ආධිපත්‍යය බිඳ වැටෙවි. එහි දී දොස්තර ඒකාධිකාරයත් බිඳ වැටේවි. එහෙත් ඒ සඳහා තව කල් තියෙනවා.

Wednesday, 31 July 2013

ඇස් පෙනෙන්නෝ හා නොපෙනෙන්නෝ

අප මෙහි දී අදෘශ්‍යමානය යන්නෙන් අදහස් කරන්නේ ඇසට නොපෙනෙන දේ පමණක් නො වේ. මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සියල්ල අදෘශ්‍යමාන ලෙස අපි සලකමු. අදෘශ්‍යමානය යන්නෙහි වචනාර්ථය පමණක් අපි නො සලකමු. අපට මෙහි දී වැදගත් වන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පවතින්නේ ද යන්න ය. එහෙත් අප අවධාරණය කළ යුතු දෙයක් වෙයි. ඒ පවතින්නේ ය යන්න ද අපේ නිර්මාණයක් සංකල්පයක් පමණක් බව ය. සියළු සංකල්ප ශූන්‍ය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. ඒ අපේ නිර්මාණ පමණකි. 

ඒ අර්ථයෙන් ගත්කල අදෘශ්‍යමානය පමණක් නොව දෘශ්‍යමානය ද නො පවතියි. ඒ සියල්ල පවතින්නේ අපේ සංකල්පීය ලෝකයෙහි පමණ ය. එහෙත් සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. පුටුව යන්න පවතින්නේ සංකල්පීය ව පමණ ය. එය පරමාර්ථ වශයෙන් නොපවතී යැයි කීමට මම අකමැත්තෙමි. සියල්ල පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. ඇතැමුන්ට අනුව නිවන පරමාර්ථ සත්‍යයකි. මම ද කලක් ඒ එසේ යැයි විශ්වාස කළෙමි. නිවන පරමාර්ථ වශයෙන් සත්‍යයක් යැයි ගත්ත ද නිවන පවතින්නේ යැයි කියන්නෝ වෙත් ද?

අවාසනාවකට එසේ සිතන්නෝ වෙති. ඇතැමුන්ට අනුව නිවන යනු සත්ත්වයන්ට සදාකාලික ව පැවතිය (ජීවත්විය) හැකි වූවකි. එහෙත් නිවන් අවබෝධ කළ තැනැත්තා නැවත නූපදි යි. එසේ නිවන් අවබෝධ කරගන්නා තැනැත්තකු ද නැති වුවත් සම්මුති වශයෙන් ඇති තැනැත්තා නිවන් අවබෝධයෙන් පසු නැවත භවයක ජාතියක්, ජන්මයක් නො ලබයි. නිවන් අවබෝධය යනු චුති චිත්තයෙන් පසුව වෙනත් චිත්ත ඇතිවීම නැවැත්වීම ය. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණක් නම් චිත්තය යන්න ද අපේ සංකල්පයක් බව ය. 

චුති චිත්තය නිවන් අවබෝධයත් සමග ඇති වීම අනිවාර්ය නොවන බැවින් නිවන් අවබෝධයත් සමග පරිනිර්වාණය සිදු වීම අනිවාර්ය නො වේ. එබැවින් බුදුන් වහන්සේ ද රහතන් වහන්සේ ද නිවන් අවබෝධයෙන් පසුව ද යම් කාලයක් ජීවත් වෙති. ඒ කාලයෙහි උන්වහන්සේට ක්‍රියා සිත් ජනිත වෙයි. අවශ්‍ය වූ විටෙක නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි ය. ඒ කුමක් වුවත් නිවන යනුවෙන් තැනක් නැත. නිවන් යෑමෙන් (අවබෝධයෙන්) අප යන තැනක් ගැන නො කියැවෙයි. 

අපට ඇත්තේ සම්මුති සත්‍ය ය. ඒ සම්මුති සත්‍ය පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. අප පුටුවක් ඇතැයි කියන්නේ සම්මුතියෙනි. අප දන්නා සියල්ල සම්මුති වශයෙන් පමණක් සත්‍ය වන අතර සම්මුති වශයෙන් පමණක් පවතියි. දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවතින දෙයින් කොටසක් පමණක් වෙයි. වෙනත් වචනවලින් කිවහොත් දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවත්නා දේවල කුලකයේ උප කුලකයක් පමණකි.  

දෘශ්‍යමානය යනුවෙන් ගන්නා දේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. අද්‍යශ්‍යමානය යනුවෙන් ගන්නා දේ අප බොහෝ දෙනකුගේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. එහෙත් ඇතැමුනට අප ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ යැයි කියන දේ මනේන්ද්‍රියට දැනෙයි. අපේ මනස්වලට ඒ හසු නොවන බැවින් අපි එසේ මනේන්ද්‍රියන්ට ගෝචරවන දේ ඇතැයි, පවතින්නේ යැයි නො පිළිගනිමු. වෙනත් අයට එසේ ඇතැම් දේ මනේන්ද්‍රියට ගෝචර වන්නේ යැයි කියන්නේ ඔවුන්ගේ මනසේ ඇතිවන භ්‍රාන්තියක් නිසා යැයි අපි කියමු.

එය අන්ධ මනුෂ්‍යයකු අපට කිසිවක් නො පෙනෙන්නේ යැයි කීමට සමාන ය. එවැන්නකු කියනු ඇත්තේ ඊනියා පෙනෙන දේ ඇතැමුන්ගේ භ්‍රාන්තියක් පමණක් බව ය. කිසිවක් නොපෙනෙන ලෝකයක ඇතැම් දේ පෙනෙන්නේ යැයි කීම භ්‍රාන්තියක් නොවන්නේ ද? එහෙත් අන්ධ මනුෂ්‍යයෝ එසේ නො කියති. එයට හේතුව අති විශාල බහුතරයක් පෙනෙන දේ ඇතැයි කීම ය. යම් හෙයකින් අන්ධ මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව අති විශාල වී නම් හා පෙනෙන අයගේ සංඛ්‍යාව ඉතාමත් සුළුතරයක් වී නම් සමාජයෙහි ඒ සුළුතරය ගැන කිනම් මතයක් ඇතිවීමට ඉඩ තිබිණි ද? 

බහුතරය යන්න ද බොහෝ විට සමාජ බලයක් වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ එලෙස බහුතරය සමාජ බලයක් ලෙස ගැනීමෙනි. අඩුම තරමෙන් එසේ ගන්නා බවට මතයක් ඇති කිරීමෙනි. බහුතරය සමාජ බලයක් විය යුත්තේ අසන පිරිස් නැතිවා නො වේ. අද මෙරට ඇතැමුන් අසන ප්‍රශ්නයක් නම් බහුතරය සිංහල වූ නිසා සිංහලයන්ගේ මතය සමාජයට බලයෙන් පිළිගැන්විය යුතු ද යන්න ය. එය එසේ විය යුතු නො වේ. බහුතර මතය ගලා එන්නේ කිනම් සාධක මත ද යන්න එහි දී සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය වෙයි. 

කෙසේ වුවත් එහි තවත් පැත්තක් ද වෙයි. අප සමාජය මත සුළුතරයේ මතය බලයෙන් පැටවිය යුතු ද? එහි දී විදේශීය රටවල සහාය ලබාගැනීම කෙසේ යුක්තියුක්ත කරන්නේ ද? එසේත් නැත්නම් විදේශිය රටවල් තම මතය බහුතරය මත පැටවීමට සුළුතරය යොදා ගන්නේ ද? විදේශීය රටවල දේශපාලන හා ආර්ථික ශක්තිය යොදා ගැනීම යුක්තියුක්ත කළ හැකි ද? අද ලංකාවේ සිදුවන්නේ එවැන්නකි. විදේශික බලවේග සිංහල බහුතරය මත තම මතය පැටවීමට දෙමළ සුළුතරය යොදා ගනියි. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට වුව ද එකඟ නොවනමුත් අද මෙරට සිදුවන්නේ ඒ ක්‍රියාදාමය ය. එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම මතය සිංහලයන් මත පැටවීමට දෙමළ හා මුස්ලිම් සුළුතරය යොදා ගැනීමට උත්සාහ කරති. 

කෙසේ වෙතත් ඇස් නොපෙනෙන්නන්ගේ ලෝකයක ජීවත්වන ඇස් පෙනෙන්නන් සුළුතරයකට  මුහුණ පෑමට සිදුවන ගැටළු සිතාගත හැකි ය. ඇස් පෙනෙන සුළුතරයට විදේශීය සහායක් නොලැබුණහොත් (ඔවුන්ට ඇස් පෙනෙන්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වේ.) ඔවුන් මානසික වශයෙන් ප්‍රශ්න ඇති අය, විකාර කියවන්නන් ආදීන් වශයෙන් හැඳින්වෙනු ඇත. එලෙස ම මිනිසුන්ගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන දේ ගෝචරවන්නේ යැයි පවසන සුළුතරය පංචෙන්දිය්‍රට ගෝචර වන දේ පමණක් පවතින්නේ යැයි කියන ලෝකයක මානසික රෝගීන් ලෙස හඳුන්වනු ලැබීම බලාපොරොත්තු විය යුත්තකි.

පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම යනු හුදෙක් අවයව පහට ගොදුරු වීමක් නොවන බව අවධාරණය කළ යුතු ය. ඉන්ද්‍රියයක් යනඑ අවයවයකට වැඩි දෙයකි. ඉන්ද්‍රියයක් ඇති වන්නේ අදාළ අවයව මනස සමග එකතු වීමෙනි. මනස නොමැතිව කිසිම ඉන්ද්‍රියයක් නැත. මෘත ශරීරයකට ද අවයව පහ ඇත. එහෙත් මෘත ශරීරයකට පංචෙන්ද්‍රිය නො වේ. මෙහි දී සැලකිය යුත්තක් නම් බටහිර විද්‍යාව කුමක් කීව ද සිංහල බෞද්ධයනට මනස යන්න ද ඉන්ද්‍රියයක් බව ය. එහෙත් මනස නම් ඉන්ද්‍රිය සමග බද්ධ වූ අවයවයක් නැති බව අප කලකට පෙර සඳහන් කර ඇත.  

මනස හදවත සමග හෝ මොළය සමග හෝ බද්ධ වී නැත. මනස ඇත්තේ හදවතෙහි යැයි කිවහැකි නො වේ. එමෙන් ම මස මොළයට ඌනනය කළහැක්කක් ද නො වේ. මනස යන ඉන්ද්‍රියට පැවතීමට (සම්මුති වශයෙන් බව නිතර ම කිවයුතු නො වේ. එහෙත් වරදවා තේරුම් ගැනීම වැළැක්වීම සඳහා ඒ බව විටින් විට කිවයුතු වෙයි.) අවයවයක් අවශ්‍ය නො වේ. නො එසේ නම් සිත මිස කය නැති බඹ ලොවක් තිබිය නො හැකි ය. (එය තර්කයක් නොවන බව ද මම දනිමි. එයට හේතුව අප අති විශාල බහුතරයට බඹ ලොව පැවැත්ම ගැන  කිසිම දැනුමක් හෝ විශ්වාසයක් හෝ නැති බැවිනි.) 

එහෙත් මනසක පැවැත්ම ගැන අපට අවබෝධයක් ඇත. ඒ අවබෝධය ලැබෙන්නේ ප්‍රායෝගික ව ය. එහි දී ද අප යොදා ගන්නේ ජීවත්වන්නකු හා මෘත ශරීරයක් අතර ඇති වෙනස ය.  නරක් නොවුණු මෘත ශරීරයක මොළය ද ඇතුළු සියළු අවයව වෙයි. එහෙත් මෘත ශරීරයට කිසිවක් නො දැනෙයි. මෘත ශරීරයක් හා ජීවත්වන්නකු අතර ඇති වෙනස ද එයයි. සිහි නැති පුද්ගලයකුට ද කිසිවක් නොදැනෙන්නේ යැයි කිසිවකු කියනු ඇත. සිහි නැති පුද්ගලයකු සහ මෘත ශරීරයක් අතර ඇති වෙනස කුමක් ද? 

බටහිර වෛද්‍ය විද්‍යාව එයට කියනු ඇත්තේ සිහි නැති පුද්ගලයකුගේ හදවත හා මනස ක්‍රියාකරන බව ය. හදවත ක්‍රියා නොකළත් මනස ක්‍රියා කරන බව ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිය යෑම යනු මොළය මිය යෑම ය. මෙහි දී මිය යෑම යන වචනය යොදා ගැනීම තරමක ප්‍රශ්නයකි. මොළය මිය යෑම යනු මොළය අක්‍රීය වීම විය හැකි ය. මෙයින් කියැවෙන්නේ මනස යනුවෙන් සංකල්පයක් නොයොදා ගෙන මිය යෑම තේරුම් ගත හැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය හෝ එසේ ක්‍රියාකාරි වීමේ ප්‍රතිඵලයක් හෝ වෙයි. 

එය එසේ යැයි පිළිගත්ත ද පංචෙන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මොළයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙයි. අදාළ අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය මත පදනම් වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ඇස කණ ආදී අවයවවලට ක්‍රියාකාරීත්වයක් නැත. එහෙත් මොළය යනු ද අවයවයකි. එසේ නම් මොළය හා වෙනත් අවයවයක් අතර ඇති වෙනස කුමක් ද? මොළයට එතරම් විශේෂත්වයක් අත්වන්නේ ඇයි? අනෙක් අවයවයකට මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ක්‍රියාකාරි වීමට නොහැකි වුවත් වෙනත් කිසිම අවයවයක ක්‍රියාකාරීත්වය නොමැතිව මොළයට ක්‍රියාකාරී විය හැක්කේ කෙසේ ද? 

මෙහි දී පැන නගින ප්‍රශ්න දෙකක් වෙයි. මොළය නම් අවයවය ඇති සියළු සතුන්ට මනසක් වේ ද? එසේත් නැත්නම් මනස යන වචනය යොදා ගැනීමට අකමැත්තක් වේ නම් මොළය ඇති සියළු සතුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය හා මිනිසුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අතර වෙනසක් නැත් ද? අනෙක් සතුන්ගේ ද මොළය හැරෙන්නට අනෙක් අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය හා බැඳී ඇත් ද? මනස යනුවෙන් කුමක් කියැවෙන්නේ ද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොමැතිව වුව ද මෑතක් වන තුරුම බටහිර විද්‍යාව කියා සිටියේ මිනිසුනට හැරෙන්නට අනෙක් සතුන්ට මනසක් නැති බව ය. 

එහෙත් දැන් දැන් මේ මතය වෙනස්වනු දැකිය හැකි ය. සුපුරුදු පරිදි බටහිර විද්‍යාවේ එක් ප්‍රවාදයක් වෙනුවට වෙනත් ප්‍රවාදයක් ආදේශ වෙයි. මිනිසුන් නොවන සතුන්ට මනස් නැතැයි කී බටහිර විද්‍යාඥයන්ගෙන් කිහිප දෙනකු සතුන්ගෙන් කිහිප දෙනකුට වුවත් මනසක් ඇතැයි කීම එතරම් ම පුදුමයට කරුණක් නො වේ. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් කිහිප දෙනා මනස යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි අපි නො දනිමු. එය බටහිර වෛද්‍ය විද්‍යාඥයන් කියන මොළය ද? එසේත් නැත්නම් වෙනත් කිසිවක් ද?  එය අවයවයක් සමග බැඳී ඇත් ද?     


අනෙක් ප්‍රශ්නය වනුයේ මොළයක් යනුවෙන් කිවහැකි අවයවයක් නැති සතුන්ට මනසක් නැත් ද යන්න ය. මනසක් නැත්නම් මේ ජීවීන් සංසාර ගමනක නො යෙදෙන්නේ ද? ඔවුන්ට මීළඟ භවයක් නැත් ද? බුදුදහමෙහි සියළු සතුන් යන්නෙන් අදහස් කෙරෙන්නේ කවුරුන් ද? ඒ සතුන්ට මනසක් ඇත් ද? නැත් ද? මේ ප්‍රශ්න පිළිබඳ ව බටහිර විද්‍යාව ද බුදුදහම ද විශ්වාස කරන අය කියන්නේ කුමක් ද? ඔවුන්ට සංගත පිළිතුරු දිය හැකි ද?



නලින් ද සිල්වා

2013-07-31

Sunday, 11 December 2011

මොළයට වඩා මනස ප්‍රධාන වේ

ඒ ඒ අවයවයේ සිට මොළයට ඇති දුර අනුව අදාළ අවයවයේ සිට මොළයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට ගතවන කාලය වෙනස් විය යුතු යැයි අප කියන්නේ මේ තොරතුරු මොළයට ගෙන යන යම් ද්‍රව්‍යයක් (නියුරෝන හෝ වෙනත් යමක් හෝ) යම් වේගයකින් චලනය වන බැවිනි. මේ වේගය ආලෝකයේ වේගයට වැඩි වීම අපට ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් වන්නේ අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයට ය. යම් හෙයකින් මේ වේගය අනන්තයක් වන්නේ නම් එවිට තොරතුරු ගෙන යෑමට කිසිදු කාල ප්‍රාන්තරයක් ගත නොවන්නේ යැයි කිව හැකි ය.

අපේ ප්‍රවාදය හෙවත් කතන්දරය අනුව මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාත්මක වන පිළිවෙළ (පටිපාටිය) මනසෙහි සිත් පහළවන පටිපාටිය ම වීම අවශ්‍ය නො වේ. මනස යනු සිත් පංතියක් බැවින් මනසෙහි සිත් පහළවීම යන්න හුදු ප්‍රකාශනයක් පමණක් බව අමතක නොකළ යුතු ය. සිතක් ඇතිවී නැතිවී යයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සිත ඇති වී කෙතරම් කාලයක් පවතින්නේ ද යන්න ය. එය චිත්තක්‍ෂණයක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි, විශේෂයෙන් ම සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි හැඳින්වෙයි. චිත්තයකට උප්පාද, තිථි භංග යනුවෙන් අවස්ථා තුනක් වේ යැයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. තිථිය යනු ඉපදුණු චිත්තය නැතිවීමට පෙර පැවතීමයි. චිත්තය පවතින චිත්තක්‍ෂණය අර්ථදක්වන්නේ කෙසේ ද? එයට පැහැදිලි පිළිතුරක් නැත.

සෞත්‍රාන්තිකයෝ මෙයට වෙනස් මගක් ගත්හ. සෞත්‍රාන්තික යන්නෙහි තේරුම සූත්‍රවලින් එහාට නොයන බව ය. සියල්ල සූත්‍රවලින් කෙළවර වෙයි. ඔවුන් සූත්‍ර ලෙස ගන්නේ සූත්‍ර පිටකය හා විනය පිටකය ය. සෞත්‍රාන්තිකයෝ අභිධර්ම පිටකය ගැන සැලකිල්ලක් නො දක්වති. ඔවුන්ට අනුව චිත්තයක් ඇති වී නැති වී යයි. එහි උප්පාද භංග මිස තිථියක් හා එම නිසා චිත්තක්‍ෂණ ද නැත. මේ වෙනස ගැටලුවක් බව පැහැදිලි ය. අභිධර්ම පිටකයෙහි මෙය මෙසේ සඳහන් වී ඇත යන්න මේ ප්‍රශ්නයට තබා කිසිම ප්‍රශ්නයකටවත් පිළිතුරක් නො වේ. බුද්ධ වචනය කුමක් දැයි පැහැදිලිව නොදන්නා කළ අපි අසීරුවට පත්වෙමු.

චිත්ත, චෛතසික හා රූප පරමාර්ථ ධර්ම ලෙස ගත්කල චිත්තයක් යනු තව දුරටත් කුඩා චිත්තවලට නොබිඳිය හැකි ධර්මතාවක් ලෙස සැලකෙයි. එහෙත් මෙසේ කුඩා කොටස්වලට නොබිඳිය හැකි ය යන්නෙන් කියැවෙන්නේ කා හට කුමකට සාපේක්‍ෂව ද? පසුගිය දා අපවත් වී වදාළ බෝධි හිමියන් එයට පිළිතුරක් ලෙස දී ඇත්තේ මනසට ගෝචර වන කුඩා ම චිත්තය මෙහි දී පරමාර්ථය ලෙස සැලකෙන බව ය. එහෙත් ඒ හිමියන් මනස ගැන වැඩි විස්තරයක් නොකිරීමෙන් අප තවත් ගැටලුවකට යොමු කෙරෙයි.

මනස යනු චිත්ත පේළියක් නම් චිත්තය මනසට ද මනස චිත්තයට ද සාපේක්‍ෂ වෙයි. චක්‍රිය චින්තනයක මෙය ගැටලුවක් නො වේ. එවැනි සාපේක්‍ෂතාවක් ගැටලුවක් වන්නේ රේඛීය චින්තනයක ය. චිත්ත යන සංකල්පය මෙන් ම මනස යන සංකල්පය ද මනසේ නිර්මාණ (සකස්කිරීම්) වෙයි. අප විසින් විටින් විට සඳහන් කෙරී ඇති සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි මෙය යම් ප්‍රමාණයකට විස්තර කෙරී ඇත. අපි පසුව එය තවදුරටත් විස්තර කරමු. එහෙත් දැනට කිවයුත්තේ ඊනියා ‘ක්‍ෂණයකට වුව ද පවතින මනසක් හෝ චිත්තයක් හෝ ගැනීම ආත්මවාදී වන බව ය. එසේ පවතින බව පෙන්වීම සඳහා අභිධර්මයෙහි ඇතැයි කියා ධර්මවාදය යොදාගැනීම නිෂ්ඵල කාර්යයකි. ධර්මයක් ක්‍ෂණයකට (අර්ථ නොදක්වන ලද ක්‍ෂණයකට) වුවත් පවතින්නේ යැයි ගැනීම ක්‍ෂණ ආත්මවාදයක් ලෙස හැඳින්විය හැකි ය.

අපි නැවතත් අපේ පළමු ප්‍රශ්නයට යමු. සිත් ඇති වී නැති වී යෑම ම හුදු ප්‍රකාශනයක් පමණකි. අපේ පහසුවට අපි චිත්තය යනුවෙන් සංකල්පයක් නිර්මාණය කරගෙන සිටිමු. මේ චිත්ත විවිධ තැන්වල ඇතිවෙයි. ඇතිවන්නේ හා නැතිවන්නේ අප තනාගෙන ඇති සංකල්ප බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. අප ලෝකය යනුවෙන් ගන්නේ අපෙන් ස්වායත්තව පවතින වාස්තවික වූවක් නොව අප විසින් නිර්මාණය කරන ලද සංකල්ප කුලකයකි. චිත්තය ද මේ සංකල්ප කුලකයෙහි තවත් අවයවයක් පමණකි. මනස ඇතුළු සියළු සංකල්ප මනසේ නිර්මාණ වෙයි.

අපේ ප්‍රශ්නය වූයේ චිත්ත ඇැතිවීමේ පිළිවෙළ මොළයේ අදාළ ප්‍රදේශ ක්‍රියාත්මක වීමේ පටිපාටිය සමග එකඟ වන්නේ ද යන්න ය. ඒ ප්‍රශ්නයට අපේ පිළිතුර වනුයේ එසේ එකඟ වීම අනිවාර්ය නොවන බව ය. පාදයක් මදුරුවකු කෑමට පසුව නාසයට දැනෙන ගඳක් සුවඳක් පිළිබඳ තොරතුර මොළයට දැනීම පටිපාටිය වෙනස්වී සිදුවිය හැකි බව අපේ නිගමනය වෙයි. පාදයේ සිට මොළයට ඇති දුර නාසයේ සිට මොළයට ඇති දුරට වැඩි නිසා එය එසේ සිදුවන්නේ යැයි අපි කියා සිටිමු. අවශ්‍ය නම් මෙය යමකුට පර්යේෂණයක් කර විසඳාගත හැකි ය. අපි මෙහි දී බටහිර විද්‍යාවට යටවී ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් අනුගමනය නො කරන්නෙමු. අප බටහිර විද්‍යාඥයන්ට කියා සිටින්නේ ඔවුන්ගේ ක්‍රමයට අනුව අපේ දැනුමක් පිරික්සා බලන ලෙස ය. එහෙත් ඒ පරීක්‍ෂණයේ ප්‍රතිඵල සමග අප නිවැරදි බව පෙනී ගියහොත්, එයින් කියැවෙන්නේ මනස හා මොළය යනු දෙකක් පමණක් නොව මොළය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන්නේ මනස ක්‍රියාත්මක වීමෙන් පසුව බව ය.

එවැන්නක් බටහිර විද්‍යාවට පහරක් වනු ඇත. බටහිර විද්‍යාව සෑම ප්‍රපංචයක් ම ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරයි. ඔවුන් මනස ද, මොළයේ ක්‍රියාකාරකම්වලට ඌනනය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. බටහිර විද්‍යාවට අනුව ඩාවින්ගේ විකාශයට හසුවන සත්වයා අවසානයේ දී මිනිසා බවට පත්වෙයි. ඒ මිනිසාට මොළයක් ද වෙයි. බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාකාරීත්වය මනසක් ලෙස වැටහෙයි. එහෙත් මොළ ඇත්තේ මිනිසුන්ට පමණක් නො වේ. එසේ වුවත් මොළ ඇති අනෙක් සතුන්ට මනස් ඇති බවක් බටහිර විද්‍යාවේ නිශ්චිතව නොකියැවෙයි.

මිනිසාට පමණක් මනසක් ඇත්නම් හෝ සත්වයන් වර්ග කිහිපයකට පමණක් මනස් ඇත්නම් හෝ එසේ ඒ සතුන්ට මනස් ඇතිවීමටත් අනෙක් සතුන්ට මනස් නැතිවීමටත් හේතුව කුමක් දැයි බටහිර විද්‍යාවෙන් පැහැදිලි විය යුතු යි. එහෙත් බටහිර විද්‍යාවෙන් එබඳු පැහැදිලි කිරීමක් නො කෙරෙයි. මිනිස් මොළයේ හා මනසක් ඇතැයි ඉඳහිට වුවත් කියැවෙන සතුන්ගේ මොළයේ ඇති එහෙත් අනෙක් සතුන්ගේ මොළයේ නැති සුවිශේෂ ගුණය කුමක් ද? සත්වයන්ගේ පරිණාමය සිදු වී ඇති ආකාරය අනුව මොළයට එසේ සුවිශේෂ තත්වයක් ඇතිවන්නේ කෙසේ ද?

මනස මොළයට ඌනනය කිරීමට උත්සාහ කරන බටහිර විද්‍යාඥයන් එසේ කරන්නේ ඔවුන් මනසක් නැතැයි කියන එහෙත් මොළයක් ඇතැයි කියන සතුන්ගේ මොළ සමග මිනිස් මොළය සංසන්දනය කිරීමෙන් පසුවවත් නො වේ. මොළයේ ක්‍රියාකාරීත්ව නිසා මනස ඇතිවන්නේ යැයි කීමට බටහිර විද්‍යාඥන්ට ඇති සාධකය මිනිසුන්ට ඒ ඒ හැඟිම් ඇතිවන විට මොළයේ ඒ ඒ කොටස් ක්‍රියාකාරී වන බව පෙනීම ය. එහෙත් ඒ සම්බන්ධයෙන් මනස නිසා මොළය ක්‍රියාකාරී වන්නේ ය යන්න ද කිවහැකි ය. මේ සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයන් කළ යුත්තේ ඔවුන්ගේ සම්ප්‍රදාය අනුව යමින් ඉහත දක්වා ඇති ආකාරයේ පර්යේෂණ කිරීම ය.

භාවනා කිරීමේ දී යම් තරංග මොළය හා ආශ්‍රිතව ඇතිවන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ද විශාල ගැටලුවක් නො වේ. භාවනා කිරීමේ දී සිදුවන්නේ මනස යම් පිළිවෙළකට පත්කර ගැනීම ය. එනම් චිත්ත විසිරී යාමට ඉඩ නොදීම ය. එහි දී සිත එකඟ කර ගැනීමක් සිදුවේ. මෙහි දී සිත යනුවෙන් හැඳින්වෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් චිත්ත පේළියක් විය යුතු ය. එසේ නොමැතිව සිත යන්න එක සිතකට පමණක් සීමාවන්නක් විය නො හැකි ය. චිත්ත එකම අරමුණක තබාගැනීමට කරන උත්සාහය මෙහි දීි අවධාරණය කෙරෙයි.

එකක් පසු පස පහළවන චිත්ත එක් අරමුණක තබාගැනීමේ දී ඒ හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ද වෙනස් වන්නේ ය යන්න මෙහි දී අපේ ප්‍රවාදය දනුව එළඹිය හැකි නිගමනය වෙයි. ඒ හේතුවෙන් මොළය ආශ්‍රිත ව ඇතිවන තරංග එක්තරා රටාවකට නිකුත්වන්නේ ය යන්න පැහැදිලි ය. මොළය හා මනස අතර සම්බන්ධය බටහිර විද්‍යාඥයන් කියන ආකාරයට නොව මනසට ප්‍රධාන තැන දී මොළය ඒ අනුව ක්‍රියාකාරී වන්නේ ය යන අයුරින් අවබෝධ කරගත හැකි ය.

මොළය නම් අවයවයක් නොමැතිව මනස තිබිය නො හැකි ද? නැතහෙත් මොළය නොමැතිව සිත් පහළ විය නො හැකි ද? බෞද්ධ සාහිත්‍යයෙහි සිත මිස කය නැති බඹලොව හතරක් ගැන කියැවෙයි. කයක් නොමැති විට මොළය නම් අවයවය නොමැති බව පැහැදිලි ය. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි පමණක් කියැවෙන්නක් කියා එය ඉවත දැමිය යුතු නො වේ. අප වෑයම් කරන්නේ අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමට ය. එහි දී අපට නව අදහස් නිර්මාණය කරගත හැක්කේ සංස්කරණය කරගත හැක්කේ අපේ සංස්කෘතිය මත පදනම් වෙමිනි. සාහිත්‍යය ද සංස්කෘතියෙහි ම කොටසකි. බෞද්ධ සාහිත්‍යයෙන් ජනප්‍රවාදයෙන් ආදිය මත පදනම් වීමෙන් පමණක් අපට අපේ ප්‍රවාද ගොඩනගා ගත හැකි ය.

බටහිරයන් කරන්නේ ද ඒ බව අමතක නොකළ යුතු ය. ඔවුහු තම සංස්කෘතියෙන් අදහස් ලබාගනිති. මුළු මහත් බටහිර විද්‍යාවේ ම කෙරෙනුයේ බයිබලය වෙනත් වචනවලින් ප්‍රකාශ කිරීමක් පමණකි. ද්‍රව්‍යවාදය (භෞතිකවාදය) පරණ තෙස්තමේන්තුවෙන් ම පැන නගින්නකි. පරණ තෙස්තමේන්ුවේ ඊනියා විඥානවාදයක් ඇතැයි කිවහැක්කේ මැවුම්කාර දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් පමණකි. එහෙත් දෙවියන් වහන්සේ ඉවත්කර මැවීම තබාගතහොත් පරණ තෙස්තමේන්තුව ද්‍රව්‍යවාදී පොතක් බවට පත්වෙයි. අද බටහිර විද්‍යාව දෙවියන් වහන්සේ අමතක කර ඇත. එහෙත් දෙවියන් වහන්සේ මැවූ ලෝකය සංරක්‍ෂණය කර ඇත.

ඊනියා මහා පිපුරුම යනු අන්කිසිවක් නොව දෙවියන් වහන්සේ නොමැතිව කෙරෙන නිර්මාණයකි. විශ්වයේ ද බයිබලයේ ද මුලින් ම ඇත්තේ ආලෝකය හා හයිඩ්‍රජන් වැනි ද්‍රව්‍යය. බටහිර විද්‍යාවට අනුව මේ මුල් විශ්වය විකාශය වීමෙන් වෙනත් මූල ද්‍රව්‍ය නිර්මාණය වෙයි. යම් අවස්ථාවක විශ්වයේ කාබන් ඇතිවෙයි. ඉන්පසු කාබනික ද්‍රව්‍යය ද ජීවය ද ඇතිවෙයි. ඩාවීනීය පරිණාමවාදයට අනුව ජීවය විකාශය වී සංකීර්ණ සත්තු ඇතිවෙති. පසුව වර්ධිත මොළයක් සහිත මිනිසා ඇතිවෙයි. ඒ මිනිසාට මනසක් ඇත. දෙවියන් වහන්සේ මැවූ ලෝකයෙහි ද ජීවය මැවෙන්නේ පළමු දිනයෙහි නො වේ. සතා සිවුපාවා සර්පයා මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ තම ප්‍රතිබිම්බයෙහි මිනිසා මවයි. මිනිසාට ද දෙවියන් වහන්සේට මෙන් ම මනසක් ඇත. මේ මනසක් සහිත මිනිසා බයිබලයේ ද ඇතිවන්නේ අවසානයේ දී ය. දෙවියන් වහන්සේ මිනිසා ද මවන්නේ පසෙනි. මේ කතාවෙන් දෙවියන් වහන්සේ ඉවත්කළ පසු ලැබෙන්නේ ද්‍රව්‍යයෙන් ඇතිවුණු මිනිසෙකි. බටහිර විද්‍යාව කියන්නේ ද ඒ කරුණු ම ය. බටහිර විද්‍යාවේ මිනිසාගේ මනස මොළය නම් ද්‍රව්‍යය ආශ්‍රිතව පැන නැගීම පුදුමයට කරුණක් නො වේ.

Saturday, 3 December 2011

මොළය හා මනස

වියුක්ත දැනුම ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. සංයුක්ත දැනුමේ සාපේක්‍ෂත්වය පිළිබඳ බොහෝ දෙනාට වැටහීමක් ඇතැයි සිතමි. සංයුක්ත දැනුම සාපේක්‍ෂ වන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව නිරීක්‍ෂකයන් එක සමාන නො වීම ය. මනසක් ඇති ඕනෑම අයෙක් නිරීක්‍ෂකයෙක් වෙති. මිනිස්සු නිරීක්‍ෂකයන්ගෙන් කොටසක්, උපකුලකයක් පමණක් වෙති. මිනිසුන් හැරෙන්නට දෙවිවරු ද බ්‍රහ්මයෝ ද, තිරිසන් සත්තු ද, අමනුෂ්‍යයෝ ද නිරීක්‍ෂකයෝ වෙති. කෙටියෙන් කිවහොත් බෞද්ධ සාහිත්‍යයෙහි සත්ව ලෙස හැඳින්වෙන සියල්ලෝ නිරීක්‍ෂකයෝ වෙති.

එහෙත් ඒ එක් එක් වර්ගයා නිරීක්‍ෂ’ණය කරන්නේ එක් එක් ආකාරයෙනි. එයට ප්‍රධාන හේතුව ඒ ඒ වර්ගයේ මනස් හා සිරුරු සමාන නො වීම ය. මිනිසුන්ට මනස හැරුණු විට ඉන්ද්‍රිය පහක් ඇත. එහෙත් ඇතැම් තිරිසනුන්ට මිනිසුන් විසින් චුම්බකත්වය ලෙස හැඳින්වෙන ගුණය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්ද්‍රියක් ඇතැයි කියැවේ. සියළු නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහක් පමණක් තිබීම අනිවාර්ය නො වේ. ඇතැම් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට වැඩියෙන් ද වෙනත් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට අඩුවෙන් ද වෙයි. ඉන්ද්‍රිය පහට වැඩි නිරීක්‍ෂකයන්ට (සත්වයන්ට) මිනිසුන්ට ඇති ඉන්ද්‍රිය පහ අනිවාර්යයෙන් ම තිබිය යුතු ද නො වේ. එවැනි නිරීක්‍ෂකයන්ට මිනිසුන්ගේ ඉන්ද්‍රිය වැනි ඉන්ද්‍රිය කිහිපයක් ද, එයට අමතරව වෙනත් ඉන්ද්‍රියන් ද තිබිය හැකි ය. මේ අතර දෙවියන්ට ඇත්තේ ඉන්ද්‍රිය තුනක් පමණක් යැයි ඇතැම්හු කියති.

ඒ කෙසේ වෙතත් මේ සියළු නිරීක්‍ෂකයන්ට නැතිව ම බැරි ඉන්ද්‍රිය මනස වෙයි. එයින් කියැවෙන්නේ සියළු සත්වයන්ට, නීිරීක්‍ෂකයන්ට එක ම ආකාරයේ මනස් ඇති බව නො වේ. ඒ ඒ සතුන්ගේ මනස් අනිවාර්යයෙන් ම වෙනස් විය යුතු ය. බ්‍රහ්ම ලෝකවල වෙසෙන්නන්ගේ මනස් මිනිසුන්ගේ මනස්වලට සමාන කිරීමට යෑම විහිළුවකි. එමෙන් ම මිනිසුන් අතර ද එක සමාන මනස් ඇත්තෝ නො වෙති. මනස යනුවෙන් අප අදහස් කරන්නේ ඇතිවෙන නැතිවෙන, ඉපදෙන, මැරෙන සිත් පේළියකි. එකිනෙකාගේ සිත් වෙනස්වන විට, ඇතැම් විට මනස ද වෙනස් වෙයි. එහෙත් මෙයින් කියැවෙන්නේ ඒ ඒ අයගේ සිරුරෙහි මනස යනුවෙන් යමක් එක් තැනක පවතින බවවත් නො වේ.

බෞද්ධ සාහිත්‍යයෙහි මනස ඇත්තේ හෘදයවස්තුවෙහි යැයි කියැවෙයි. මෙය බුදුන් වහන්සේ වදාළ ධර්ම දේශනාවකින් ලබාගත්තේ යැයි නො සිතමි. ඒ පිළිබඳ සූත්‍ර දේශනාවක් ගැන මම නො දනිමි. අපේ රටේ ඇත්තේ සිංහල ථෙරවාදය ය. ඉතා පැහැදිලිව කියන්නේ නම් අපට ඇත්තේ තුන්වැනි ධර්ම සංගායනාවේ දී තෝරා ගැණුනු සුත්‍ර හා පසුව එකතු කරනු ලැබූ වෙනත් සුත්‍ර ය. මේ අතර අටුවා ටීකා ටිප්පණී ආදිය වෙයි. එයට අමතරව සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට අපේ වංසකතා හා වෙනත් ග්‍රන්ථ ද ඇතුළත් වෙයි. මනස හා හෘදයවස්තුව අතර ඇති සම්බන්ධය බුදුන්වහන්සේගේ දේශනාවකින්් තොරව එකතු වූවක් යැයි සිතමි. එමෙන් ම ක්‍ෂණවාදය හා ධර්මවාදය ද තුන්වැනි සංගායනාවට ආසන්න අවධියක දී එකතු කරනු ලැබූ කරුණු යැයි සිතීමට ඉඩ ඇත.

මනස මොළය හා සම්බන්ධ යැයි බටහිර විද්‍යාඥයෝ කියතිි. ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණ ද බොහෝ යැයි ඔවුහු කියති. එහෙත් ඒ පරීක්‍ෂණ සියල්ල මනසේ ඇතිවන හැඟීම් සමග මොළයේ යම් කොටසක් ක්‍රියාත්මක වීම පිළිබඳ ව වෙයි. මනසෙහි සතුට ඇතිවන විට මොළයෙහි යම් කිසි කොටසක් ක්‍රියාත්මක වන බව බටහිර විද්‍යාඥයෝ අපට කියති. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් ම කියන්නේ ඇතැම් අවස්ථාවල යම්කිසි හැඟීමකට අදාළ මොළයේ කොටස ඉවත්කළ විට හෝ එහි ආබාධයක් වූ කල හෝ මොළයේ ම වෙනත් කොටසක් ක්‍රියාත්මක වන බව ය. අළුතෙන් ක්‍රියාත්මක වන කොටස මුල් කොටස මෙන් “ කාර්යක්‍ෂම ව ” ක්‍රියාත්මක නොවන වා විය හැකි ය. එහෙත් මෙහි දී වැදගත් වන්නේ මොළයේ යම් කොටසක් අක්‍රීය වුව ද වෙනත් කොටසකට ඒ කාර්යය කළ හැකි බව ය.

බටහිර විද්‍යාඥයන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීකම්වල ප්‍රතිඵලයකි. මොළය නැතිවූ විට මනස ද නැත. බොහෝ සතුන්ට ද මොළ වෙයි. ඒසේ වුවත් ඉතා මෑතක් වන තුරුම බටහිර විද්‍යාඥයෝ සමස්තයක් ලෙස ගත්කළ මිනිසුන් හැරෙන්නට අනෙක් සතුන්ට මනස් නැතැයි කීවෝ ය. දැනුදු එසේ කියන්නෝ වෙති. බොහෝ බටහිර වි්‍යාඥයන්ට අනුව මිනිසුන් හැරෙන්නට අනෙක් සත්තු නො සිතති. ඔවුන්ගෙන් (අනෙක් සතුන්ගෙන්) ඇතැමකුට මොළයක් තිබුණ ද මනසක් නැත. බටහිර විද්‍යාඥයන් කියන අන්දමට නම් සත්තු නො සිතති. ඔවුන්ට අනුව සතුන් කරන්නේ ප්‍රතිචාර දැක්වීමක් පමණකි. ඒ ප්‍රතිචාර සිතා මතා කරන ප්‍රතිචාර නොවේ යැයි ඔවුහු විශ්වාස කරති. බටහිර විද්‍යාඥයන්ට අනුව බල්ලකුට ගලකින් ගැසූ කල ඌ දුවන්නේ සිතා මතා නොව ප්‍රතිචාරයක් ලෙස ය. ඒ නටුවෙන් ගිළුහුණු පොල්ගෙඩිය පොළොවට වැටෙන්නාක් මෙනි.

පොල්ගෙඩිය පොළොවට වැටෙන්නේ සිතා මතා නො වේ. නිව්ටන්ට අනුව ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙනත් අයින්ස්ටයින්ට අනුව අවකාශ කාලයේ වක්‍රතාව හේතුකොටගෙනත් පොල්ගෙඩිය පොළොවට වැටෙයි. පොල්ගෙඩියට සිතීමෙන් පසු උඩට යෑමට නො හැකි ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පොල් ගෙඩියක් හා බල්ලකු අතර මනස සම්බන්ධයෙන් ගත්කල වෙනසක් නැත. බයිබලයේ පරණ තෙස්තමේන්තුවට අනුව හිරු, සඳු, තාරකා, ගස්, ගල්, සතා සිවුපාවා මැවූ දෙවියන් වහන්සේ අවසානයේ දී තමන්වහන්සේගේ ප්‍රතිබිම්බයට (in the image of God) අනුව මිනිසා මැවී ය.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පැහැදිලිව ම මිනිස්සු අනෙක් සතුන්ගෙන් වෙන් වෙති. මිනිසුන් පමණක් දෙවියන් වහන්සේ අනුව මවනු ලැබී ඇත. දෙවියන් වහන්සේට මනසක් ඇත. එබැවින් උන්වහන්සේ අනුව මවනු ලැබූ මිනිසුන්ට ද මනස් වෙයි. එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අනෙක් සතුන් දෙවියන් වහන්සේ අනුව මවනු ලැබී නොමැති බැවින් ඒ සතුන්ට මනස් නැත. බටහිර විද්‍යාව නිර්මාණය වන්නේ ද, පෝෂණය වන්නේ ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පදනම් කරගනිමින් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. එබැවින් බටහිර විද්‍යාඥයන්ට අනුව මිනිසුන් හැර අනෙක් සතුන්ට මනස් නැතිවීම පුදුමයක් නො වේ. ඕනෑම විද්‍යාවක් යම් සංස්කෘතියක අංගයක් වෙයි. බටහිර විද්‍යාව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අංගයක් වෙයි.

එහෙත් අප බටහිර විද්‍යාඥයන් සිතන ආකාරයෙන් ම සිතිය යුතු නො වේ. අපේ සංස්කෘතියෙහි මිනිස්සු ද සත්තු වර්ගයකට අයත් වෙති. මිනිසුන්ට තම සිත් උපේක්‍ෂාවට පත්කර ගැනීමට අනෙක් සත්වයන්ට වඩා හැකියාවක් ඇත. ඒ මිනිසුන් දෙවියන් මෙන් සැප නොවිඳිනා බැවින් හා අමනුෂ්‍යයන් තිරිසන් සතුන් ආදීන් මෙන් වේදනාවට පත් නොවන බැවින් ය. එහෙත් මිනිස්සු ද සසර සැරිසරන සත්වයෝ පමණක් වෙති. මේ භවයෙහි මිනිසකු වන සත්වයා මීළඟ භවයෙහි තිරිසන් සත්වයකු වීමේ හැකියාව ඇත. සසරෙහි දී මිනිසුන් මෙන් ම අනෙක් සත්තු ද කුසල් අකුසල් රැස්කරති. මිනිස් භවයක් ලත් අයකු නැවතත් මනසක් ලබාගැනීමට නැවතත් මිනිස් භවයක උත්පත්තිය ලැබිය යුතු නො වේ. සසරෙහි කිනම් භවයක වුව ද ඒ සත්වයා මනසක් සහිත උත්පත්තියක් ලබයි.

සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියෙහි සියළු සත්වයන්ට, එනම් සියළු නිරීක්‍ෂකයන්ට මනස් ඇත. මිනිසුන් ද අනෙක් සතුන් ද ඇතැම් අවස්ථාවල ප්‍රතිචාර දක්වනවා විය හැකි ය. එහෙත් මිනිස්සු ද අනෙක් සත්තු ද සිතති. ඒ සියල්ලන්ට ම සිත් පහළ වෙයි. ඔවුන් දැනුවත් ව කරන කියන දෑ වෙයි. එවිට සිත් පහළ වන්නේ කොහේ ද යන ප්‍රශ්නය මතුවෙයි. සිත් පහළ වන්නේ මනසෙහි යැයි කීව ද ඊළඟ ප්‍රශ්නය වනුයේ මනස ඇත්තේ කොහේ ද යන්න ය. මනස හෘදයවස්තුව ආශ්‍රිත ව වේ ආදිය එයට දී ඇති පිලිතුරු වෙයි. මිනිසුන්ට පමණක් මනස් ඇතැයි කියන බටහිර විද්‍යාඥයෝ මනස යනු මොළයේ ක්‍රියාකාරීකම්වල ප්‍රතිඵලයක් ය යනුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයති.

එහෙත් අප බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි විද්‍යාඥයන් මෙන් සිතිය යුතු නො වේ. මොළය යන්න එසේ මොළය නමැති අවයවය ඇති සත්වයනට සිත් පහළ වීමෙන් ක්‍ෂණයකට පසුව යොදා ගැනෙන අවයවයක් විය හැකි ය. ඉතාමත් දැඩි ද්‍රව්‍යවාදීන් මනස යන්නට කිසිම ඉඩක් නො දීම සඳහා ගෙනෙන තර්කයක් වෙයි. ඔවුන් අතර ඇතැම් පශ්චාත්නූතනවාදීහු ද පශ්චාත්මාක්ස්වාදීහු ද වෙති. ඔවුන් ගෙනහැර දක්වන පර්යේෂණවලට අනුව මනස විසින් යමක් සිතීමට පළමුව මනුෂ්‍ය ශරීරය ඒ බව “ දැන ගනියි ”. උදාහරණයක් වශයෙන් යමකු සිනහ සෙන්නේ යැයි සිතමු. එවිට සිනහසීම පිළිබඳ ව මොළයේ අදාළ කොටසෙහි සනිටුහන් වීමට (ඉලෙක්ට්‍රෝඩ ඔස්සේ හෝ වෙනත් ක්‍රමයකට හෝ) ඉතා කුඩා ක්‍ෂණයකට පෙර අදාළ මස්පිඬු ක්‍රියාත්මක වන්නේ යැයි මේ දැඩි ද්‍රව්‍යවාදීහු කියා සිටිති.

එය ඇත්ත නම් එයින් ඊනියා ද්‍රව්‍යවාදයක් සනාථ නො වේ. අප කියා සිටින්නේ මනස සිරුරෙහි හැම තැනමත් ඇතැම් විට සිරුරෙන් බාහිරවත් තිබෙන බව ය. සිනහසීම පිළිබඳ සිත පහළවන්නේ මුවෙහි ය. ඒ අතර අප පාදයක් සොළවන්නේ නම් අදාළ සිත පහළවන්නේ පාදයෙහි ය. පාදයෙහි හෝ මුවෙහි හෝ සිත පහළවීමෙන් ඉතා කුඩා ක්‍ෂණයකට පසුව ඒ බව මොළයට දැනුම් දෙන බව පෙනී යයි. මේ මොහොත කොපමණ දැයි ගණනය කිරීම අඩුම තරමෙන් ෙසෙද්ධාන්තිකව අපහසු නො වේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාවට අනුව නම් තොරතුරු සම්ප්‍රේෂණය කරන නියුරෝනවලට අදාළ ස්ථානයේ සිට මොළයට ගමන්කිරීමට ගතවන කාලය දැනගැනීම ය. එය නියුරෝනවල වේගය හා නියුරෝනවලට අදාළ අවයවයේ සිට මොළයට ඇති දුර දැනගැනීමෙන් කළ හැකි ය. මනස යනු ඒ ඒ අවයවයෙහි ඇතිවන සිත් පංති හෝ පේළි හෝ වෙයි. මනස ඇතිවීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ මනස යන ලිපිය කාලය වෙබ් අඩවියෙන් ලබාගෙන කියවිය හැකි ය.

දැඩි ද්‍රව්‍යවාදීන් ට අවශ්‍ය නම් අප කියන දෙය තවදුරටත් පරී්ක්‍ෂාකළ හැකි ය. එහි දී අවශ්‍ය නම් පොපර්ගේ අසත්‍යෙක්‍ෂණය ද යොදාගත හැකි ය. අසත්‍යෙක්‍ෂණය යනු යම් ප්‍රවාදයක සත්‍ය අසත්‍ය බව දැනගැනීම නොවන බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය. අප යෝජනා කරන්නේ අදහස් වශයෙන් ගත්කල ඉතා සරල පරීක්‍ෂණයකි. එහෙත් එය ප්‍රායෝගිකව කිරීමේ දී ප්‍රශ්න රාශියකට පිළිතුරු සෙවීමට සිදුවනු ඇත. අපේ පරීක්‍ෂණය නම් අවයව කිහිපයක සිට මොළයට තොරතුරු සම්ප්‍රේ’ෂණය කිරීමට ගතවන කාල ප්‍රාන්තර මැනගැනීම ය. මේ කාල ප්‍රාන්තර අවයවයේ සිට මොලයට ඇති දුර අනුව වෙනස් විය යුතු ය.