වියුක්ත දැනුම ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. සංයුක්ත දැනුමේ සාපේක්‍ෂත්වය පිළිබඳ බොහෝ දෙනාට වැටහීමක් ඇතැයි සිතමි. සංයුක්ත දැනුම සාපේක්‍ෂ වන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව නිරීක්‍ෂකයන් එක සමාන නො වීම ය. මනසක් ඇති ඕනෑම අයෙක් නිරීක්‍ෂකයෙක් වෙති. මිනිස්සු නිරීක්‍ෂකයන්ගෙන් කොටසක්, උපකුලකයක් පමණක් වෙති. මිනිසුන් හැරෙන්නට දෙවිවරු ද බ්‍රහ්මයෝ ද, තිරිසන් සත්තු ද, අමනුෂ්‍යයෝ ද නිරීක්‍ෂකයෝ වෙති. කෙටියෙන් කිවහොත් බෞද්ධ සාහිත්‍යයෙහි සත්ව ලෙස හැඳින්වෙන සියල්ලෝ නිරීක්‍ෂකයෝ වෙති.
එහෙත් ඒ එක් එක් වර්ගයා නිරීක්‍ෂ’ණය කරන්නේ එක් එක් ආකාරයෙනි. එයට ප්‍රධාන හේතුව ඒ ඒ වර්ගයේ මනස් හා සිරුරු සමාන නො වීම ය. මිනිසුන්ට මනස හැරුණු විට ඉන්ද්‍රිය පහක් ඇත. එහෙත් ඇතැම් තිරිසනුන්ට මිනිසුන් විසින් චුම්බකත්වය ලෙස හැඳින්වෙන ගුණය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්ද්‍රියක් ඇතැයි කියැවේ. සියළු නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහක් පමණක් තිබීම අනිවාර්ය නො වේ. ඇතැම් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට වැඩියෙන් ද වෙනත් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට අඩුවෙන් ද වෙයි. ඉන්ද්‍රිය පහට වැඩි නිරීක්‍ෂකයන්ට (සත්වයන්ට) මිනිසුන්ට ඇති ඉන්ද්‍රිය පහ අනිවාර්යයෙන් ම තිබිය යුතු ද නො වේ. එවැනි නිරීක්‍ෂකයන්ට මිනිසුන්ගේ ඉන්ද්‍රිය වැනි ඉන්ද්‍රිය කිහිපයක් ද, එයට අමතරව වෙනත් ඉන්ද්‍රියන් ද තිබිය හැකි ය. මේ අතර දෙවියන්ට ඇත්තේ ඉන්ද්‍රිය තුනක් පමණක් යැයි ඇතැම්හු කියති.
ඒ කෙසේ වෙතත් මේ සියළු නිරීක්‍ෂකයන්ට නැතිව ම බැරි ඉන්ද්‍රිය මනස වෙයි. එයින් කියැවෙන්නේ සියළු සත්වයන්ට, නීිරීක්‍ෂකයන්ට එක ම ආකාරයේ මනස් ඇති බව නො වේ. ඒ ඒ සතුන්ගේ මනස් අනිවාර්යයෙන් ම වෙනස් විය යුතු ය. බ්‍රහ්ම ලෝකවල වෙසෙන්නන්ගේ මනස් මිනිසුන්ගේ මනස්වලට සමාන කිරීමට යෑම විහිළුවකි. එමෙන් ම මිනිසුන් අතර ද එක සමාන මනස් ඇත්තෝ නො වෙති. මනස යනුවෙන් අප අදහස් කරන්නේ ඇතිවෙන නැතිවෙන, ඉපදෙන, මැරෙන සිත් පේළියකි. එකිනෙකාගේ සිත් වෙනස්වන විට, ඇතැම් විට මනස ද වෙනස් වෙයි. එහෙත් මෙයින් කියැවෙන්නේ ඒ ඒ අයගේ සිරුරෙහි මනස යනුවෙන් යමක් එක් තැනක පවතින බවවත් නො වේ.
බෞද්ධ සාහිත්‍යයෙහි මනස ඇත්තේ හෘදයවස්තුවෙහි යැයි කියැවෙයි. මෙය බුදුන් වහන්සේ වදාළ ධර්ම දේශනාවකින් ලබාගත්තේ යැයි නො සිතමි. ඒ පිළිබඳ සූත්‍ර දේශනාවක් ගැන මම නො දනිමි. අපේ රටේ ඇත්තේ සිංහල ථෙරවාදය ය. ඉතා පැහැදිලිව කියන්නේ නම් අපට ඇත්තේ තුන්වැනි ධර්ම සංගායනාවේ දී තෝරා ගැණුනු සුත්‍ර හා පසුව එකතු කරනු ලැබූ වෙනත් සුත්‍ර ය. මේ අතර අටුවා ටීකා ටිප්පණී ආදිය වෙයි. එයට අමතරව සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට අපේ වංසකතා හා වෙනත් ග්‍රන්ථ ද ඇතුළත් වෙයි. මනස හා හෘදයවස්තුව අතර ඇති සම්බන්ධය බුදුන්වහන්සේගේ දේශනාවකින්් තොරව එකතු වූවක් යැයි සිතමි. එමෙන් ම ක්‍ෂණවාදය හා ධර්මවාදය ද තුන්වැනි සංගායනාවට ආසන්න අවධියක දී එකතු කරනු ලැබූ කරුණු යැයි සිතීමට ඉඩ ඇත.
මනස මොළය හා සම්බන්ධ යැයි බටහිර විද්‍යාඥයෝ කියතිි. ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණ ද බොහෝ යැයි ඔවුහු කියති. එහෙත් ඒ පරීක්‍ෂණ සියල්ල මනසේ ඇතිවන හැඟීම් සමග මොළයේ යම් කොටසක් ක්‍රියාත්මක වීම පිළිබඳ ව වෙයි. මනසෙහි සතුට ඇතිවන විට මොළයෙහි යම් කිසි කොටසක් ක්‍රියාත්මක වන බව බටහිර විද්‍යාඥයෝ අපට කියති. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් ම කියන්නේ ඇතැම් අවස්ථාවල යම්කිසි හැඟීමකට අදාළ මොළයේ කොටස ඉවත්කළ විට හෝ එහි ආබාධයක් වූ කල හෝ මොළයේ ම වෙනත් කොටසක් ක්‍රියාත්මක වන බව ය. අළුතෙන් ක්‍රියාත්මක වන කොටස මුල් කොටස මෙන් “ කාර්යක්‍ෂම ව ” ක්‍රියාත්මක නොවන වා විය හැකි ය. එහෙත් මෙහි දී වැදගත් වන්නේ මොළයේ යම් කොටසක් අක්‍රීය වුව ද වෙනත් කොටසකට ඒ කාර්යය කළ හැකි බව ය.
බටහිර විද්‍යාඥයන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීකම්වල ප්‍රතිඵලයකි. මොළය නැතිවූ විට මනස ද නැත. බොහෝ සතුන්ට ද මොළ වෙයි. ඒසේ වුවත් ඉතා මෑතක් වන තුරුම බටහිර විද්‍යාඥයෝ සමස්තයක් ලෙස ගත්කළ මිනිසුන් හැරෙන්නට අනෙක් සතුන්ට මනස් නැතැයි කීවෝ ය. දැනුදු එසේ කියන්නෝ වෙති. බොහෝ බටහිර වි්‍යාඥයන්ට අනුව මිනිසුන් හැරෙන්නට අනෙක් සත්තු නො සිතති. ඔවුන්ගෙන් (අනෙක් සතුන්ගෙන්) ඇතැමකුට මොළයක් තිබුණ ද මනසක් නැත. බටහිර විද්‍යාඥයන් කියන අන්දමට නම් සත්තු නො සිතති. ඔවුන්ට අනුව සතුන් කරන්නේ ප්‍රතිචාර දැක්වීමක් පමණකි. ඒ ප්‍රතිචාර සිතා මතා කරන ප්‍රතිචාර නොවේ යැයි ඔවුහු විශ්වාස කරති. බටහිර විද්‍යාඥයන්ට අනුව බල්ලකුට ගලකින් ගැසූ කල ඌ දුවන්නේ සිතා මතා නොව ප්‍රතිචාරයක් ලෙස ය. ඒ නටුවෙන් ගිළුහුණු පොල්ගෙඩිය පොළොවට වැටෙන්නාක් මෙනි.
පොල්ගෙඩිය පොළොවට වැටෙන්නේ සිතා මතා නො වේ. නිව්ටන්ට අනුව ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙනත් අයින්ස්ටයින්ට අනුව අවකාශ කාලයේ වක්‍රතාව හේතුකොටගෙනත් පොල්ගෙඩිය පොළොවට වැටෙයි. පොල්ගෙඩියට සිතීමෙන් පසු උඩට යෑමට නො හැකි ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පොල් ගෙඩියක් හා බල්ලකු අතර මනස සම්බන්ධයෙන් ගත්කල වෙනසක් නැත. බයිබලයේ පරණ තෙස්තමේන්තුවට අනුව හිරු, සඳු, තාරකා, ගස්, ගල්, සතා සිවුපාවා මැවූ දෙවියන් වහන්සේ අවසානයේ දී තමන්වහන්සේගේ ප්‍රතිබිම්බයට (in the image of God) අනුව මිනිසා මැවී ය.
යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පැහැදිලිව ම මිනිස්සු අනෙක් සතුන්ගෙන් වෙන් වෙති. මිනිසුන් පමණක් දෙවියන් වහන්සේ අනුව මවනු ලැබී ඇත. දෙවියන් වහන්සේට මනසක් ඇත. එබැවින් උන්වහන්සේ අනුව මවනු ලැබූ මිනිසුන්ට ද මනස් වෙයි. එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අනෙක් සතුන් දෙවියන් වහන්සේ අනුව මවනු ලැබී නොමැති බැවින් ඒ සතුන්ට මනස් නැත. බටහිර විද්‍යාව නිර්මාණය වන්නේ ද, පෝෂණය වන්නේ ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පදනම් කරගනිමින් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. එබැවින් බටහිර විද්‍යාඥයන්ට අනුව මිනිසුන් හැර අනෙක් සතුන්ට මනස් නැතිවීම පුදුමයක් නො වේ. ඕනෑම විද්‍යාවක් යම් සංස්කෘතියක අංගයක් වෙයි. බටහිර විද්‍යාව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අංගයක් වෙයි.
එහෙත් අප බටහිර විද්‍යාඥයන් සිතන ආකාරයෙන් ම සිතිය යුතු නො වේ. අපේ සංස්කෘතියෙහි මිනිස්සු ද සත්තු වර්ගයකට අයත් වෙති. මිනිසුන්ට තම සිත් උපේක්‍ෂාවට පත්කර ගැනීමට අනෙක් සත්වයන්ට වඩා හැකියාවක් ඇත. ඒ මිනිසුන් දෙවියන් මෙන් සැප නොවිඳිනා බැවින් හා අමනුෂ්‍යයන් තිරිසන් සතුන් ආදීන් මෙන් වේදනාවට පත් නොවන බැවින් ය. එහෙත් මිනිස්සු ද සසර සැරිසරන සත්වයෝ පමණක් වෙති. මේ භවයෙහි මිනිසකු වන සත්වයා මීළඟ භවයෙහි තිරිසන් සත්වයකු වීමේ හැකියාව ඇත. සසරෙහි දී මිනිසුන් මෙන් ම අනෙක් සත්තු ද කුසල් අකුසල් රැස්කරති. මිනිස් භවයක් ලත් අයකු නැවතත් මනසක් ලබාගැනීමට නැවතත් මිනිස් භවයක උත්පත්තිය ලැබිය යුතු නො වේ. සසරෙහි කිනම් භවයක වුව ද ඒ සත්වයා මනසක් සහිත උත්පත්තියක් ලබයි.
සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියෙහි සියළු සත්වයන්ට, එනම් සියළු නිරීක්‍ෂකයන්ට මනස් ඇත. මිනිසුන් ද අනෙක් සතුන් ද ඇතැම් අවස්ථාවල ප්‍රතිචාර දක්වනවා විය හැකි ය. එහෙත් මිනිස්සු ද අනෙක් සත්තු ද සිතති. ඒ සියල්ලන්ට ම සිත් පහළ වෙයි. ඔවුන් දැනුවත් ව කරන කියන දෑ වෙයි. එවිට සිත් පහළ වන්නේ කොහේ ද යන ප්‍රශ්නය මතුවෙයි. සිත් පහළ වන්නේ මනසෙහි යැයි කීව ද ඊළඟ ප්‍රශ්නය වනුයේ මනස ඇත්තේ කොහේ ද යන්න ය. මනස හෘදයවස්තුව ආශ්‍රිත ව වේ ආදිය එයට දී ඇති පිලිතුරු වෙයි. මිනිසුන්ට පමණක් මනස් ඇතැයි කියන බටහිර විද්‍යාඥයෝ මනස යනු මොළයේ ක්‍රියාකාරීකම්වල ප්‍රතිඵලයක් ය යනුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයති.
එහෙත් අප බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි විද්‍යාඥයන් මෙන් සිතිය යුතු නො වේ. මොළය යන්න එසේ මොළය නමැති අවයවය ඇති සත්වයනට සිත් පහළ වීමෙන් ක්‍ෂණයකට පසුව යොදා ගැනෙන අවයවයක් විය හැකි ය. ඉතාමත් දැඩි ද්‍රව්‍යවාදීන් මනස යන්නට කිසිම ඉඩක් නො දීම සඳහා ගෙනෙන තර්කයක් වෙයි. ඔවුන් අතර ඇතැම් පශ්චාත්නූතනවාදීහු ද පශ්චාත්මාක්ස්වාදීහු ද වෙති. ඔවුන් ගෙනහැර දක්වන පර්යේෂණවලට අනුව මනස විසින් යමක් සිතීමට පළමුව මනුෂ්‍ය ශරීරය ඒ බව “ දැන ගනියි ”. උදාහරණයක් වශයෙන් යමකු සිනහ සෙන්නේ යැයි සිතමු. එවිට සිනහසීම පිළිබඳ ව මොළයේ අදාළ කොටසෙහි සනිටුහන් වීමට (ඉලෙක්ට්‍රෝඩ ඔස්සේ හෝ වෙනත් ක්‍රමයකට හෝ) ඉතා කුඩා ක්‍ෂණයකට පෙර අදාළ මස්පිඬු ක්‍රියාත්මක වන්නේ යැයි මේ දැඩි ද්‍රව්‍යවාදීහු කියා සිටිති.
එය ඇත්ත නම් එයින් ඊනියා ද්‍රව්‍යවාදයක් සනාථ නො වේ. අප කියා සිටින්නේ මනස සිරුරෙහි හැම තැනමත් ඇතැම් විට සිරුරෙන් බාහිරවත් තිබෙන බව ය. සිනහසීම පිළිබඳ සිත පහළවන්නේ මුවෙහි ය. ඒ අතර අප පාදයක් සොළවන්නේ නම් අදාළ සිත පහළවන්නේ පාදයෙහි ය. පාදයෙහි හෝ මුවෙහි හෝ සිත පහළවීමෙන් ඉතා කුඩා ක්‍ෂණයකට පසුව ඒ බව මොළයට දැනුම් දෙන බව පෙනී යයි. මේ මොහොත කොපමණ දැයි ගණනය කිරීම අඩුම තරමෙන් ෙසෙද්ධාන්තිකව අපහසු නො වේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාවට අනුව නම් තොරතුරු සම්ප්‍රේෂණය කරන නියුරෝනවලට අදාළ ස්ථානයේ සිට මොළයට ගමන්කිරීමට ගතවන කාලය දැනගැනීම ය. එය නියුරෝනවල වේගය හා නියුරෝනවලට අදාළ අවයවයේ සිට මොළයට ඇති දුර දැනගැනීමෙන් කළ හැකි ය. මනස යනු ඒ ඒ අවයවයෙහි ඇතිවන සිත් පංති හෝ පේළි හෝ වෙයි. මනස ඇතිවීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ මනස යන ලිපිය කාලය වෙබ් අඩවියෙන් ලබාගෙන කියවිය හැකි ය.
දැඩි ද්‍රව්‍යවාදීන් ට අවශ්‍ය නම් අප කියන දෙය තවදුරටත් පරී්ක්‍ෂාකළ හැකි ය. එහි දී අවශ්‍ය නම් පොපර්ගේ අසත්‍යෙක්‍ෂණය ද යොදාගත හැකි ය. අසත්‍යෙක්‍ෂණය යනු යම් ප්‍රවාදයක සත්‍ය අසත්‍ය බව දැනගැනීම නොවන බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය. අප යෝජනා කරන්නේ අදහස් වශයෙන් ගත්කල ඉතා සරල පරීක්‍ෂණයකි. එහෙත් එය ප්‍රායෝගිකව කිරීමේ දී ප්‍රශ්න රාශියකට පිළිතුරු සෙවීමට සිදුවනු ඇත. අපේ පරීක්‍ෂණය නම් අවයව කිහිපයක සිට මොළයට තොරතුරු සම්ප්‍රේ’ෂණය කිරීමට ගතවන කාල ප්‍රාන්තර මැනගැනීම ය. මේ කාල ප්‍රාන්තර අවයවයේ සිට මොලයට ඇති දුර අනුව වෙනස් විය යුතු ය.