Main Logo

Showing posts with label අංශු. Show all posts
Showing posts with label අංශු. Show all posts

Saturday, 25 August 2012

අංශු සම්බන්ධ සන්තතික හා අවකල්‍ය ශ්‍රිත

බටහිර භෞතික විද්‍යාව හා බටහිර ගණිතය අතර සම්බන්ධයක් වෙයි. ඒ සම්බන්ධය ඇතිවන්නේ ක්‍ෂෙත්‍ර දෙකම වියුක්ත වීම හේතුවෙනි. බටහිර ගණිතය බටහිර භෞතික විද්‍යාවට වඩා බෙහෙවින් වියුක්ත නමුත් බටහිර භෞතික විද්‍යාව අනෙක් බටහිර විද්‍යාවන්ට වඩා වියුක්ත වෙයි. පසුගිය සතියේ අංශුවල පිහිටුම, කාලය, පෙත ආදිය සාකච්ඡා කිරීමේ දී මේ සම්බන්ධය යම් දුරකට වුවත් පෙන්වා දීමට අපි උත්සාහ කළෙමු.

එහෙත් එයින් කියැවෙන්නේ අංශුවලට පිහිටුම, ප්‍රවේග ආදිය ලැබෙන්නේ බටහිර ගණිතය නිසා බවක් නො වේ. බටහිර ගණිතය ඇතත් නැතත් යම් නිරීක්‍ෂකයකුට අංශුවක පිහිටුම මෙන් ම ප්‍රවේගය ද (අවශ්‍ය නම් ගම්‍යතාව) නිරීක්‍ෂණය කළ හැකි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් අපට ඒ මැනගත හැකි ය. අප උත්සාහ කළේ අංශුවක පිහිටුම r =r(t) ලෙස ලිවිය හැකි බව පෙන්වීමටත් ඒ සමග වෙනත් සම්බන්ධතා ද ගොඩනැගිය හැකි බව පෙන්වීමටත් ය.

අපි මෙය තවදුරටත් සලකා බලමු. විශේෂයෙන් ම ඇතැමුන් අංශුවකට ප්‍රවේගයක් ලැබෙන්නේ r =r(t) යනුවෙන් ශ්‍රිතයක් පවතින නිසා ද ආදී වශයෙන් ප්‍රශ්න අසන බැවින් මෙය නිරවුල් කරගත යුතුව ඇත. භෞතිකව ගතහොත් නිව්ටෝනීය විද්‍යාවෙහි අංශු ඇත. අවකාශයක් ඇත. කාලය ඇත. එ මෙන් ම ප්‍රවේග ත්වරණ බල ආදිය ද ඇත. අංශුවක් එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට චලිත විය හැකි ය. එයට බටහිර භෞතික විද්‍යාවෙහි විස්ථාපනයක් යැයි කියැවෙයි. මේ විස්ථාපනය සම්බන්ධ කර ගනිමින් අංශුවෙහි සාමාන්‍ය වේගය හා ස්ථානීය ප්‍රවේගය ස්ථානීය ත්වරණය ආදී සංකල්ප ගොඩනගා ගැනෙයි.

විස්ථාපනය, වේගය, ප්‍රවේගය ආදී සංකල්ප ගොඩ නැගෙන්නේ භෞතිකව ය. එනම් නිරපේක්‍ෂ ව පවතින්නේ යැයි කියැවෙන භෞතික අවකාශයක හා ඒ ඔස්සේ ගලා යන්නේ යැයි කියැවෙන භෞතික වූ කාලයක ය. ඒ සියල්ල බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ගොඩ නැගෙයි. සිංහල බෞද්ධයනට නම් නිරපේක්‍ෂ වූ අවකාශයක් නැත. ඔවුන්ට කාලය යනු ප්‍රඥප්තියක් හෙවත් පැණවීමක් පමණකි. බොහෝ අයට තවමත් සිංහල බෞද්ධයන්ගේ ලෝකය හා බටහිර ක්‍රිස්තියානි ලෝකය අතර ඇති වෙනස්කම් හඳුනාගත නොහැකි වීම අභාග්‍යයකි.

නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි භෞතික අවකාශයෙහි හිඩැස් නොමැත. එනම් ඒ අවකාශය ත්‍රිමාන ලෙස ගත්කල අවකාශය මුළුමනින් ම ඒ ත්‍රිමානයෙහි ම වෙයි. එමෙන් ම කාලයට ද හිඩැස් නැත. අංශු යම් කාලයක දී අවකාශයෙහි තැනින් තැනට විස්ථාපනය වෙයි. කිසිදු අංශුවක් ත්‍රිමාන අවකාශයෙන් කිසි විටෙකත් ඉවත් නො වේ. අංශුවක් අතුරුදහන් නො වෙයි. (අංශුව විනාශ විය හැකි ය. එහි දී එයට යම්කිසි විපර්යාසයක් සිදුවනු මිස අතුරුදගන් වීමක් සිදු නො වේ.)

ගණිතයෙහි ඇත්තේ ගණිතමය අවකාශ ය. යුක්ලීඩීය අවකාශය ද ජ්‍යාමිතියෙහි දක්නට ලැබෙන ජ්‍යාමිතික හෙවත් ගණිතමය අවකාශයකි. මේ ගණිතමය අවකාශය පැරණි ග්‍රීකයන් නිර්මාණය කර ඇත්තේ භෞතික අවකාශය වියුක්තකරණයට ලක්කිරීමෙනි. යුක්ලීඩීය අවකාශය භෞතික අවකාශයෙන් ම ලබාගත්තක් වීම නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි දී වැදගත් වෙයි. අපට ඉන්ද්‍රිය ගෝචර වන්නේ භෞතික අවකාශය මිස යුක්ලීඩීය අවකාශය නො වේ. යුක්ලීඩීය අවකාශය ගණිතමය ලක්‍ෂ්‍යවලින් නිර්මාණය වී ඇත.

එහෙත් ඒ ලක්‍ෂ්‍ය ඉන්ද්‍රිය ගෝචර නො වේ. එපමණක් නො වේ. යුක්ලීඩීය අවකාශයෙහි ලක්‍ෂ්‍යයක් යනු නිර්වචනය කළ හැකි සංකල්පයක් නො වේ. එහෙත් එහි අනෙක් සංකල්ප ලක්‍ෂ්‍ය යොදාගනිමින් සිදු කෙරෙයි. එහෙත් භෞතික අවකාශයෙහි ගණිතමය ලක්‍ෂ්‍ය නොමැත. එහි ඇත්තේ ස්ථාන ය. ස්ථාන ඉන්ද්‍රිය ගෝචර වෙයි. අංශු (හා වස්තු) සාමාන්‍යයෙන් මේ ස්ථානවල පවතියි. ස්ථානයකින් වෙනස්වීම විස්ථාපනයකි. අංශු එසේ විස්ථාපනය වීමට අංශුවල චලිතය යැයි කියනු ලැබෙයි.

අංශුවක් යනු ඉන්ද්‍රිය ගෝචර නොවන්නකි. අපට ඉන්ද්‍රිය ගෝචර වන්නේ කෙතරම් කුඩා වුවත් වස්තු ය. වස්තුවක පරිමාව ශූන්‍ය ලෙස ගැනීමෙන් අපට අංශුවක් ලැබෙයි. එබැවින් භෞතික වූ පැවැත්මක් ඇති අංශු නැත. එහෙත් අපි බටහිර භෞතික විද්‍යාවෙහි දී අංශු ගැන කතාකරමු. ඒ ඉතා කුඩා වස්තු යන අර්ථයකින් ය. අංශු, එනම් කුඩා වස්තු, එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යෑමේ දී (විස්ථාපනයෙහි දී) ස්ථාන පසුකරමින් ම යයි. ස්ථානවල හිඩැස් නැත. අංශුවක් එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට යෑමේ දී යම් කාලයක් ගතවෙයි. මේ කාලය භෞතික කාලයකි. බටහිරයන්ට අවකාශය මෙන් ම හිඩැස් නොමැති කාලයක් වන අතර ඒ කාලයෙහි ද හිඩැස් නො මැත.

භෞතිකයෙහි ඇති කුඩා වස්තු බටහිර ගණිතයෙහි දී අංශු බවට පත්වෙයි. එනම් කුඩා වස්තු බටහිර ගණිිතයෙහි දී අංශු ලෙස සැලකෙයි. බටහිර ගණිතයෙහි දී භෞතික අවකාශය ගණිතමය අවකාශයක්, මෙහි දී යුක්ලීඩීය ත්‍රිමාන අවකාශය බවට පත්වෙයි. මෙහි ද පත්වෙයි යන්නෙන් කියැවෙන්නේ එසේ සැලකෙන බව මිස රූපාන්තරණයක් හෝ වෙනත් එවැන්නක් නොවන බව සඳහන් කළ යුතු ය. භෞතික අවකාශය හා ගණිතමය අවකාශය යන්න එකක් නොව දෙකකි. භෞතික අවකාශය ද වියුක්ත ය. ඒ අවකාශය නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි දී ලැබෙන්නේ වස්තු විකිරණ ආදිය නැතැයි සැලකීමෙනි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි වියුක්ත අවකාශයක කාලය ගලා යන්නේ යැයි සැලකෙයි.

අංශුවක් (කුඩා වස්තුවක්) එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යෑමේ දී සාමාන්‍ය වේගය අර්ථ දැක්වෙන්නේ ගෙවා ගිය දුර ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදීමෙනි. එහෙත් දුර මැනෙන්නේ අවකාශයෙහි බව අමතක කළ යුතු නො වේ. එහෙත් අංශුවට සෑම තැනක දී ම එකම වේගයක් නො වේ. අංශුව යම් දුරක් එක් සාමාන්‍ය වේගයකින් ද තවත් දුරක් තවත් සාමාන්‍ය වේගයකින් ද යා හැකි ය. එයටත් වඩා අංශුව දිගින් දිගට ම සෑම ස්ථානයක දී ම වේගය වෙනස් කිරීමට ද ඉඩ ඇත. ත්වරණයක් සහිත ව ගමන් කරන අංශුවක් එසේ කරනු ඇත. ඒ කෙසේ වෙතත් යම් කිසි ස්ථානයක දී අංශුවේ වේගය දැන ගැනීමට අපට අවශ්‍ය වුවහොත් අපඑ ය කරන්නේ කෙසේ ද?

අපට කළ හැක්කේ අදාළ ස්ථානයට ඉතාම ආසන්න ස්ථානයකට යෑමේ දී අංශුව ගෙවා යන දුර (එය ඉතා සුළු දුරකි) ඒ සඳහා ගත වූ කාලයෙන් (එය ද ඉතා සුළු කාලයකි) බෙදීම ය. එහෙත් එය ද ඒ සුළු දුර ගෙවා යෑමේ දී අංශුවේ සාමාන්‍ය වේගය මිස අදාළ ස්ථානයේ දී අංශුවේ වේගය නො වේ. අදාළ ස්ථානයේ දී අංශුවේ වේගය සෙවීමට නම් අපට අංශුව ගෙවා ගිය දුර ශූන්‍ය කිරීමට සිදුවෙයි. එහි දී ඒ සඳහා ගත වූ කාලය ද ශූන්‍ය වෙයි. එහෙත් එය භෞතිකව කළ හැක්කක් නො වේ.

එහි දී බටහිර භෞතික විද්‍යාවට පිහිටට එන්නේ බටහිර ගණිතය ය. සීමාව, අවකලනය වැනි සංකල්ප බටහිර ගණිතයෙන් ගැනීමට බටහිර භෞතික විද්‍යාවට සිදුවෙයි. අංශුව ගෙවා ගිය ඉතා කුඩා දුර ඒ සඳහා ගත වූ ඉතා කුඩා කාලයෙන් බෙදා කාලය ශූන්‍ය කරා එළණීමේ දී බෙදීමෙන් ලැබෙන ප්‍රතිඵලයෙහි සීමාව අදාළ ස්ථානයෙහි දී අංශුවේ වේගය, එනම් ක්‍ෂණික වේගය ලෙස අර්ථ දැක්වෙයි. අංශුවේ සාමාන්‍ය වේගය සෙවීමේ දී සීමාව යන සංකල්පය අවශ්‍ය නොවන නමුත් යම් ස්ථානයක දී අංශුවේ ක්‍ෂණික ප්‍රවේගය සෙවීමේ දී සීමාව යන සංකල්පය අවශ්‍ය වෙයි.

ඉහත සඳහන් සීමාව නොපවතින අවස්ථා ද ඇත. සීමාව පවතින අවස්ථාවේ දී එයට දුර, කාලය විෂයයෙහි අවකලනය කිරීමෙන් ලැබෙන අවකල සංගුණකය යැයි කියනු ලැබෙයි. ඒ සඳහා යම් නිශ්චිත ස්ථානයක සිට අංශුවට ඇති දුර කාලයෙහි ශ්‍රිතයක් ලෙස විස්තර කිරීමේ හැකියාව තිබිය යුතු ය. එය ඉතා කුඩා කාලයක දී අර්ථ දැක්වෙන්නක් විය හැකි ය. එහෙත් එම ශ්‍රීතයෙහි අවකල සංගුණකය සෙවීමට හැකි වීම ගණිතමය වශයෙන් අංශුවේ වේගය සෙවීම සඳහා අනිවාර්ය වෙයි. එවැනි ශ්‍රිතවලට අදාළ විචල්‍යයෙහි අවකල්‍ය ශ්‍රිත යැයි කියනු ලැබේ.

සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි අංශුවකට යම් කාලයක දී නිශ්විත පිහිටුමක් මෙන් ම නිශ්චිත වේගයක් ද වෙයි. අංශුව අදාළ අවස්ථාවෙහි දී චලිත වන දිශාව ද සලකන්නේ නම් අංශුවට නිශ්චිත ප්‍රවේගයක් ඇතැයි ද කිව හැකි ය. අංශුවකට යම්කිසි අවස්ථාවක දී (කාලයක දී) නිශ්චිත පිහිටුමක් හා ප්‍රවේගයක් ඇතැයි යන්න අපට දෛශික භාවිතයෙන් කිව හැක්කේ ඒ අදාළ අවස්ථාවෙහි දී අවකාශයෙහි යම් නිශ්චිත ලක්‍ෂ්‍යයක් අනුබද්ධයෙන් අංශුව අවකාශයෙහි සම්පාතවන ලක්‍ෂ්‍යයෙහි පිහිටුම් දෛශිකය ද අංශුවෙහි ප්‍රවේග දෛශිකය ද එකවිට ලිවිය හැකි ය යනුවෙනි.

අප මේ පිළිබඳ ව තරමක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ ක්වොන්ටම් භෞතිකයෙහි බටහිර විද්‍යාඥයන් ගොඩනගා ඇති ආකෘතිය මෙයට වඩා වෙනස් බැවිනි. එහි දී නිශ්චිත අවස්ථාවක දී (කාලයක දී) අංශුවක (ඒ අංශු සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි විස්තර කෙරෙන අංශුවලට වඩා වෙනස් ය.) පිහිටුම හා ප්‍රවේගය එකවිට තිබිය නො හැකි ය. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි විස්තර කෙරෙන අවකාශය හා කාලය නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි විස්තර කෙරෙන අවකාශයට හා කාලයට (සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාවෙහි දී නම් අවකාශ - කාලයට) වඩා වෙනස් ය.

නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි අංශුවකට නිශ්චිත අවස්ථාවක නිශ්චිත පිහිටුමක් හා නිශ්චිත ප්‍රවේගයක් (ගම්‍යතාවක්) ඇත. එය බටහිර ගණිතයෙහි කියැවෙන්නේ යම්කිසි නිශ්චිත අවස්ථාවක දී යම්කිසි නිශ්චිත ලක්‍ෂ්‍යයක් අනුබද්ධයෙන් අංශුව අවකාශයෙහි සම්පාතවන ලක්‍ෂ්‍යයක පිහිටුම් දෛශිකය කාලයෙහි ශ්‍රිතයක් ලෙස ලිවිය හැකි බව හා එම ශ්‍රිතය ඒ පිහිටුමෙහි දී කාලය අනුබද්ධයෙන් අවකලනය කළ හැකි බව ය. මෙහි තේරුම නම් අදාළ අවස්ථාවෙහි (කාලයෙහි) ඉහත සඳහන් ආකාරයෙන් අර්ථ දැක්වෙන පිහිටුම් දෛශිකය අඩුම තරමෙන් සුළු කාලයක දී කාලයෙහි සන්තතික ශ්‍රිතයක් ලෙස ලිවිය හැකි බව හා එය කාලය අනුබද්ධයෙන් අවකලනය කළ හැකි බව ය.

යම් විචල්‍යයක ශ්‍රිතයක් එම විචල්‍යය අනුබද්ධයෙන් යම් අවස්ථාවක දී අවකලනය කළ හැකි නම්් අදාළ ශ්‍රිතය ඒ අවස්ථාවෙහි දී සන්තතික වෙයි. එහෙත් ඒ ඒ සන්තතික ශ්‍රිත අදාළ අවස්ථාවල දී ඒ ඒ විචල්‍ය අනුබද්ධයෙන් අනිවාර්යයෙන් අවකල්‍ය නො වේ. එනම් ඉන් කියැවෙන්නේ අංශුවකට යම් නිශ්චිත අවස්ථාවක දී නිශ්චිත පිහිටුමක් තිබුණ ද ප්‍රවේගයක් තිබිය යුතුම නො වේ යන්න ය. අංශුවට ඇතැම් අවස්ථාවල නිශ්චිත ප්‍රවේග තිබිය හැකි නමුත් ඇතැම් අවස්ථාවල එලෙස නිශ්චිත ප්‍රවේග නොතිබිය හැකි ය.

අපට ප්‍රශ්නය වන්නේ යම් අංශුවකට නිශ්චිත අවස්ථාවක දී නිශ්චිත පිහිටුමක් හා නිශ්චිත ප්‍රවේගයක් ඇත්නම් එය බටහිර ගණිතයෙහි දී විස්තර කරන්නේ කෙසේ ද යන්න ය. එයට දැනට දිය හැකි පිළිතුර නම් යම් නිශ්චිත ලක්‍ෂ්‍යයක් අනුබද්ධයෙන් අංශුවට කාලය විෂයයෙහි අවකලනය කළ හැකි පිහිටුම් දෛශික ශ්‍රිතයක් තිබිය යුතු ය යන්න ය.

අංශුවක පිහිටුම හා ප්‍රවේගය

අපි නැවතත් අංශුවක චලිතය යන්න තේරුම් ගැනීමට උත්සාහ කරමු. මෙහි දී අපට වැදගත් වන්නේ නිව්ටෝනීය ගතිකයෙහි අංශුවක් එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට චලනය වීම පහත සඳහන් කරුණු මත පදනම් වන බව ය. අංශුවක් යනුවෙන් වෙනස් නොවන දෙයක් පවතියි. අංශුව යන්න වියුක්ත සංකල්පයකි. එය වස්තුවක පරිමාව ශූන්‍ය වීමේ සීමාව ලෙස ගත හැකි ය. වස්තුවක පරිමාව ශූන්‍ය වීම යන්න ම වියුක්ත සංකල්පයකි. කෙසේ වෙතත් අංශුව, අංශුවක් ලෙස ගත්කල වෙනස් නොවන්නේ යැයි අපි සිතමු.

දෙවනුව අවකාශය යනුවෙන් යමක් පවතින්නේ යැයි අපි ගනිමු. මේ අවකාශය නිව්ටන් විද්වතාට අනුව වස්තු, අංශු, විකිරණ ආදීය නැතත් පවතියි. එමෙන් ම එය කාලයෙන් ස්වායත්ත ය. ඉන් අදහස් කෙරෙනුයේ අවකාශය හා කාලය එකිනෙකට බැඳී නොමැති බව ය. එහෙත් අයින්ස්ටයින් විද්වතාට අනුව එය එසේ නො වේ. ඔහුට අනුව කාලයෙන් තොරව අවකාශයක් නැත. එමෙන් ම ඔහුට අනුව එකට බැඳී ඇති අවකාශය හා කාලය හෙවත් අවකාශ –- කාලය නිර්ණය වන්නේ වස්තු, අංශු, විකිරණ ආදිය හේතුකොට ගෙන ය.

නිව්ටෝනීය භෞතික විද්‍යාව මෙන් ම සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාව ද සැලකෙන්නේ සම්භාව්‍ය භෞතික විද්‍යාව ලෙස ය. ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්භාව්‍ය භෞතික විද්‍යාවෙන් වෙනස් වූවක් ලෙස සෑලකෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි හා සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාවෙහි අවකාශය හා කාලය සම්බන්ධයෙන් ඇති වෙනස්කම් අංශුවක චලිතය පිළිබඳ අපේ සාකචිඡාවට වැදගත් නො වේ. එබැවින් අපි අංශුවක චලිතය යන්න නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි රාමුව යොදා ගනිමින් තේරුම් ගැනීමට උත්සාහ කරමු.

නිව්ටෝනීය රාමුවෙහි අවකාශය හා කාලය වෙන වෙන ම පවතියි. එහි කාලය අවකාශයෙහි ගලා යයි. මෙහි දී කිවයුත්තක් නම් අවකාශය මෙන් ම කාලය ද නිරපේක්‍ෂ බව ය. එනම් එය නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නො වෙයි. නිරීක්‍ෂකයකු ඇතත් නැතත් අවකාශය පවතියි. කාලය, අවකාශයෙහි ගලා යයි. සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි මේ අවකාශය හා කාලය සන්තතික වෙයි. මෙය වැදගත් සංකල්පයකි.

අවකාශය සන්තතික යන්නෙහි තේරුම අවකාශයෙහි ලක්‍ෂ්‍යවලින් සමන්විත බවත් ලක්‍ෂ්‍ය (ජ්‍යාමිතික අර්ථයකින්) සංතතිකව පිහිටා ඇති බවත් ය. ඕනැම ලක්‍ෂ්‍ය දෙකක් අතර තවත් ලක්‍ෂ්‍ය අනන්තයක් වෙයි. ලක්‍ෂ්‍ය දෙකක් අතර ලක්‍ෂ්‍ය නොමැති අවස්ථාවක් නැත. අපි අවකාශයෙහි යම්කිසි O නම් ලක්‍ෂ්‍යයකින් පටන් ගත්තේ යැයි සිතමු. දැන් O ලක්‍ෂ්‍යයෙන් ප්‍රභින්න වූ P ලක්‍ෂ්‍යයක් සලකමු. අවකාශය සන්තතික වන්නේ ය යන්නෙහි තේරුම O හා P ලක්‍ෂ්‍ය යා කරන O P රේඛා් ඇති බවත් එහි ලක්‍ෂ්‍යවලින් වියෝ වූ ප්‍රදේශ නොමැති බවත් ය. අංශුවක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට යෑමේ දී ලක්‍ෂ්‍ය සමග සමපාත වෙමින් ම චලනය විය යුතු ය. එහි දී ලක්‍ෂ්‍ය අත්හැරීමක් ලක්‍ෂ්‍යවලින් පැන යෑමක් නො සිදු වෙයි.

කාලය සම්බන්ධයෙන් ද තත්වය එසේම ය. කාලය සන්තතික වෙයි. කාලයෙහි ද අවකාශයෙහි මෙන් ම පැනීමක් හෝ පැන්නීමක් හෝ නැත. නැවතත් අවධාරණය කළ යුත්තේ නිව්ටෝනීය භෞතික විිද්‍යාවෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ බව ය. සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාවෙහි නම් කාලය හා අවකාශය නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. ඒ කුමක් වුවත් සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාවෙහි ද ඕනෑම නිරීක්‍ෂකයකු සම්බන්ධයෙන් කාලය හා අවකාශය සන්තතික වෙයි.

මේ සන්තතික අවකාශයෙහි හා කාලයෙහි අංශු (හා වස්තු) වෙනස් නො වෙයි. එයින් අදහස් වන්නේ අංශු අවකාශයෙහි එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට නොයන්නේ ය යන්න නො වේ. අංශුවලට අවකාශයෙහි එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට යෑමේ හැකියාව වෙයි. එහෙත් අංශුවක් එක් ලක්‍ෂ්‍යයක තිබුණ ද වෙනත් ලක්‍ෂ්‍යයක තිබුණ ද ඒ එකම එක නොවෙනස්වන අංශුවක් වෙයි. අංශුව නිත්‍ය වනවා පමණක් නොව අනන්‍යතාවක් හා ආත්මයක් ද (එය පුද්ගල ආත්මයක්, ජීවාත්මයක් විය යුතු නැත) සහිත වෙයි.

එක් ල’ක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට ගමන් කරනුයේ මේ නොවෙනස්වන (ලක්‍ෂ්‍ය මාරු කළ ද) ආත්මයක් හා අනන්‍යතාවක් සහිත අංශුව ය. එහි වෙනස්වීමක් ඇත්තේ ලක්‍ෂ්‍යයක සිට වෙනත් ලක්‍ෂ්‍යයකට යෑමේ හේතුවෙන් ය. ඒ වෙනස සිදුවන්නේ කාලයෙහි ය. අංශුව P නම් ලක්‍ෂ්‍යයක ඇති විට, එනම් P ලක්‍ෂ්‍යය සමග සමපාත වන විට O නම් ලක්‍ෂ්‍යයක් අනුබද්ධයෙන් P ලක්‍ෂ්‍යයෙහි පිහිටුම් දෛශිකය r යැයි සිතමු. දැන් r යන්න කාලයත් සමග වෙනස් වෙයි. එය r = r(t) යනුවෙන් දැක්විය හැකි ය. අපි r යන්න O ලක්‍ෂ්‍යයට අනුබද්ධව අංශුවෙහි පිහිටුම් දෛශික යැයි කියමු. එහෙත් එය නිවැරදි ප්‍රකාශයක් නො වේ. යන්න O ලක්‍ෂ්‍යයට අනුබද්ධව අංශුව ඒ අවස්ථාවෙහි සමපාත වී ඇති P ලක්‍ෂ්‍යයෙහි පිහිටුම් දෛශිකය වෙයි. පිහිටුම් දෛශිකයක් ඇත්තේ ලක්‍ෂ්‍යයකට අනුබද්ධව තවත් ලක්‍ෂ්‍යයකට මිස අංශුවකට නො වේ. එහෙත් බොහෝ විට බොහෝ දෙනා මේ වෙනස නොසළකති.

කාලය වෙනස් වන විට P ලක්‍ෂ්‍යය වෙනස් වෙයි. අංශුවෙහි චලිතය යනු අන් කිසිවක් නොව අංශුව කාලයත් සමග ඒ ඒ ලක්‍ෂ්‍ය හා සමපාත වීම ය. කෙසේ වෙතත් r යන්න කාලයත් සමග වෙනස් වන්නේ සන්තතික ව ය. කාලය ද අවකාශය ද සන්තතික යැයි අපි සඳහන් කළෙමු. අංශුවට කාලය හෝ අවකාශයෙහි ලක්‍ෂ්‍ය හෝ පන්නා වෙනස් විය නො හැකි ය. මෙහි තේරුම r = r(t) යන්නෙන් කාලයෙහි හෙවත් t හි සන්තතික ශ්‍රිතයක් ලැබීම ය.

මේ ශ්‍රිතය කාලය අනුබද්ධයෙන් අවකලනය කිරීමෙන් අපට ලැබෙන්නේ අංශුවෙහි විස්ථාපනයෙහි වෙනස්වීමේ සීඝ්‍රතාවය ය. එම අවකල්‍යයට එය පවතින අවස්ථාවෙහි O හි ඇති නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවෙහි ප්‍රවේගය යැයි කියනු ලැබෙයි. ප්‍රවේගය ඇතැම් අවස්ථාවල සන්තතික නොවිය හැකි ය. උදාහරණයක් ලෙස ගතහොත් ආවේගී බලයක් යෙදෙන අවස්ථාවෙහි ප්‍රවේගය සන්තතික නො වේ.

ඒ කුමක් වුවත් සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි අංශුවක චලිතය යන්න පිළිබඳ ව අපට යම් අවබෝධයක් ඇත. අංශුව වෙනස් නොවන ආත්මයක් සහිත යැයි උපකල්පනය කර සන්තතික අවකාශයෙහි සන්තතික කාලයක දී අංශුව සමපාත වන ලක්‍ෂ්‍ය වෙනස්වීම අංශුවෙහි චලිතය ලෙස හැඳින්වෙයි. සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි අංශුවට පෙතක් ඇත. එපමණක් නොව එය සන්තතික පෙතකි. r = r(t) යන්නෙන් එහි දී ලැබෙන්නේ සන්තතික ශ්‍රිතයකි.

අංශුවෙහි පෙත හෙවත් ගමන් මාර්ගය සන්තතික වුවත් එහි ප්‍රවේගය සන්තතික වීම අනිවාර්ය නො වේ. එයට හේතුව සන්තතික ශ්‍රිත අනිවාර්යයෙන් ම අවකල්‍ය වීම අවශ්‍ය නොවීම ය. සියළු අවකල්‍ය ශ්‍රීිත සන්තතික වුවත් එහි විලෝමය සත්‍යයක් නො වේ. ඇතැම් ශ්‍රිත ඇතැම් ලක්‍ෂ්‍යවල දී සන්තතික වුවත් වෙනත් ලක්‍ෂ්‍යයවල දී සන්තතික නොවීමට ඉඩ ඇත. අංශුවට අවකාශයෙහි ලක්‍ෂ්‍ය පන්නා යෑමට නො හැකි ය. එහෙත් ඇතැම් අවස්ථාවල, ආවේගී චලිතයෙහි මෙන් ප්‍රවේග අගයන් පන්නා යෑමට හැකි ය. කිනම් අවස්ථාවක වුවත් අංශුවක් චලනය වන අවස්ථාවක එයට පෙතක් තිබීම හා ඒ පෙත සන්තතික වීම සම්භාව්‍ය භෞතික විද්‍යවෙහි වැදගත් ලක්‍ෂණයකි.

මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් නම් නොවෙනස්වන ආත්මයක් සහිත අංශුවට නිශ්චිත කාලයක දී නිශ්විත පිහිටුමක් ඇති බව ය. r = r(t) යන්නෙන් කියැවෙන්නේ එයයි. වෙනත් වචනවලින් කිවහොත් සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි දී, එනම් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි දී මෙන් ම සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාවෙහි දී ද, අංශුවට නිශ්චිත කාලයක් හා නිශ්චිත පිහිටුමක් වෙයි. එහි දී නිරීක්‍ෂකයකුගේ සහභාගීත්වයක් ගැන ද නො කියැවෙයි. නිරීක්‍ෂකයා ඇතත් නැතත් නිරීක්‍ෂණය කළත් නොකළත් අංශුවට කාලයක් හා පිහිටුමක් ඇත. ඒ අනන්‍ය වූ පිහිටුමක් හා කාලයක් වෙයි.

සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි මෙයින් කියැවෙන්නේ අංශුවක් හෝ වස්තුවක් හෝ එක්විට, එනම් එකම කාලයක දී පිහිටුම් දෙකක් නොගන්නා බව ය. අංශුවට එකවිට දෙතැනක හෝ තැන් කිහිපයක හෝ පිහිටිය නො හැකි ය. එය අපේ සාමාන්‍ය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි දී සාපේක්‍ෂතා භෞතික විද්‍යාවටත් වඩා ඉන්ද්‍රිය ගෝචර අදත්දැකීම් ලැබෙන බව සිහි තබාගත යුතු ය.

මෙහි අනෙක් පැත්ත ද සම්භාව්‍ය භෞතික වි්‍යාවෙහි දී, නිව්ටෝනිය භෞතික විද්‍යාවෙහි දී මෙන් ම සාපේක්‍ෂතාවාදී භෞතිකවිද්‍යාවෙහි දී ද, වලංගු වෙයි. යම් පිහිටුමක ඇති අංශුවකට ඇත්තේ එක් කාලයක් පමණකි. අංශුවකට කිසිම ආකාරයකින් කාලය සම්බන්ධයෙන් අගය දෙකක් හෝ වැඩි ගණනක් හෝ ගත නො හැකි ය. සාමාන්‍ය අංශු සම්බන්ධයෙන් එසේ අගය කිහිපයක් විය හැකි ද යන්නවත් අපට කල්පනා නො වේ. යම් අංශුවකට කාලයට අගය දෙකක් ඇතැයි ගැනීම ම බුද්ධිගෝචර නො වේ යැයි අපට හැඟෙයි. එහෙත් බුද්ධිගෝචර ආදී සංකල්පවලට වලංගු භාවයක් ලැබෙන්නේ ම අපේ ඉන්ද්‍රිය ගොාචර අත්දැකීම් මත ය.

සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි දී අංශුවකට නිශ්චිත කාලයක දී නිශ්චිත පිහිටුමක් වීමත් පමණක් නොව නිශ්චිත ගම්‍යතාවක් ද වෙයි. අංශුවෙහි ස්කන්ධය නියත ලෙස ගැනීමෙන් මෙය නිශ්චිත ප්‍රවේගයක් යනුවෙන් ප්‍රකාශ කළ හැකි ය. එනම් අංශුවකට නිශ්විත කාලයක දී නිශ්චිත පිහිටුමක් මෙන් ම නිශ්චිත ප්‍රවේගයක් ද වෙයි. අංශුවට එකවිට නිශ්චිත පිහිටුමක් හා නිශ්චිත ප්‍රවේගයක් වේ යනුවෙන් ද එය ප්‍රකාශ කළ හැකි ය. මෙය අප මෙතෙක් කී දේ සමග සංගත වන්නේ කෙසේ ද?

අංශුව අවකාශයෙහි සමපාත වන ලක්‍ෂ්‍යය r = r(t) ලෙස ලිවිය හැකි බව අපි කීවෙමු. මෙම ශ්‍රිතය සන්තතික බවත් කීවෙමු. එමෙන් ම එහි කාලය විෂයයෙහි අවකල්‍යය අංශුවෙහි ප්‍රවේගය ලෙස ගන්නා බව ද සඳහන් කළ යුතු ය. එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තේ ඇතැම් අවස්ථාවල r = r(t) ශ්‍රිතය කාලය විෂයයෙහි අවකල්‍ය නොවන බව ය. එවැනි අවස්ථාවල අංශුවෙහි ප්‍රවේගයක් අර්ථ නො දැක්වෙයි. ආවේගී චලිතය එයට උදාහරණයකි. ආවේගය යෙදීමට පෙර අංශුවෙහි ප්‍රවේගය ආවේගය යෙදීමට පසුව අංශුවෙහි ප්‍රවේගයට සමාන නො වේ. එයින් කියැවෙන්නේ ආවේගය යෙදෙන ලක්‍ෂ්‍යයෙහි දී අංශුවෙහි ප්‍රවේගය අර්ථ නොදැක්වෙන බව ය.

එහෙත් එහි අනෙක් පැත්ත සලකමු. අංශුවට යම් කාලයක දී ප්‍රවේගයක් ඇතැයි සිතමු. එවැනි අවස්ථාවක r = r(t) ශ්‍රිතය අවකල්‍ය වෙයි. ගණිතයෙහි දැක්වෙන ප්‍රමේයයක් අනුව සන්තතික ශ්‍රිත අවකල්‍ය නොවිය හැකි මුත් අවකල්‍ය ශ්‍රිත සන්තතික වෙයි. එනම් එවැනි අවස්ථාවක අපට r = r(t) යන්නෙන් සන්තතික ශ්‍රිතයක් ලැබෙයි. යම් කාලයක දී අංශුවට ප්‍රවේගයක් ඇත්නම් ඉන් කියැවෙන්නේ ඒ අවස්ථාවෙහි අංශුවෙහි පෙත සන්තතික බව ය.

Sunday, 1 July 2012

නොකැඩෙන පෙත

ක්වොන්ටම් අංශුවක් එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට ගමන් කරන්නේ කෙසේ ද යන්න තවමත් ක්වොන්ටම් භෞතිකයෙහි නොවිසඳුණු ප්‍රශ්නයකි. බොහෝ දෙනකුට සම්භාව්‍ය භෞතිකයෙහි, එනම් නිව්ටෝනීය භෞතිකයෙහි නම් එය ඇසිය යුතු තරම් ප්‍රශ්නයක් නො වේ. එහෙත් එහි ද ප්‍රශ්න ඇති බවත් ඇරිස්ටෝටලීය න්‍යාය ඇසුරෙන් සම්භාව්‍ය භෞතිකයෙහි ද චලිතය තේරුම් ගත නොහැකි බවත් සීනෝ නම් ග්‍රීක පඬිවරයා පෙන්වා දී ඇත. සම්භාව්‍ය භෞතිකයෙහි ද චලිතය තේරුම් ගතහැක්කේ වස්තුවක් හෝ අංශුවක් හෝ එකවිට එකම තැන පිහිටන්නේ ය හා නොපිහිටන්නේ ය යන න්‍යාය ඇසුරෙන් ය.

චලිතය වෙනස්වීම නිසා හටගනියි. නිව්ටෝනීය භෞතිකයෙහි අනෙක් අංශුවකට හෝ අංශු කිහිපයකට හෝ සාපේක්‍ෂව අවකාශයෙහි අංශුවක පිහිටි ස්ථානය වෙනස් වීම චලිතය නමින් හැඳින්වෙයි. වෙනත් අංශුවකට හෝ අංශුවලට සාපේක්‍ෂ නොවී අංශුවකට චලිතයක් නැත. අවකාශයෙහි අංශුවක පිහිටීම වෙනස් වන්නේ වෙනත් අංශුවකට හෝ අංභු කිහිපයකට සාපේක්‍ෂව ය. මෙයින් අදහස් කරන්නේ අභ්‍යන්තර ව අංශු වෙනස් වන්නේ ද අනෙක් අංශුවකට සාපේක්‍ෂව ය යන්න නො වේ. මෙහි දී අප සලකන්නේ අංශුවක අවකාශයෙහි ඇතිවන වෙනස්කම් ය. අවකාශය ද අංශුවලින්, පද්ධතිවලින්, කිරණවලින් නිර්ණය වන බැවින් අංශුවක අවකාශයෙහි වෙනස්වීම වෙනත් අංශුවකට හෝ අංශු කිහිපයකට හෝ සාපේක්‍ෂව සිදුවන ක්‍රියාවකි.

ඒ කුමක් වුවත් වෙනස්වීම යන්න ඇරිස්ටෝටලීය න්‍යායට හසුවන්නක් නො වේ. ඇරිස්ටෝටලීය න්‍යායෙහි A = A යන්න වෙයි. මෙය අපේ සරල අත්දැකීම් කිහිපයකින් උද්ගමනය කරගත්තකි. එහි තේරුම ම වෙනස් නො වේ ය යන්නය. අප සාමාන්‍යයෙන් දන්නා ආකාරයට පුටුව යනුවෙන් වස්තුවක් පවතියි. අපි පුටුවෙහි දිරාපත්වීම ගැන කතාකරමු. එහෙත් එයින් කියැවෙන්නේ ඒ දිරාපත්වීම පිටුපස වෙනස් නොවන යමක් පවතින බව ය. ඒ පුටුව ය. අප කතාකරන්නේ එසේ වෙනස් නොවන පුටුවක දිරාපත්වීම ගැන ය.

අපේ ජීවිතවලට ද මේ ප්‍රශ්නය බලපායි. අප සිරුර ළදරු කාලයේ සිට මහළු විය තෙක් වෙනස් වන්නේ යැයි අපි කියමු. එහෙත් ඒ වෙනස පිටුපස මා යනුවෙන් කිසිවකු ඇතැයි අපි සිතන්නෙමු. වෙනස්වන්නේ සිරුර මිස මා නො වේ යැයි අපි සිතමු. වෙනස් නොවන මා කෙනකු පිළිබඳ බොහෝ අයට යම් හැඟීමක් ඇත. ඒ වෙනස් නොවන මා ට ආත්මය යැයි සමහරු කියති. එයට ආත්මය යැයි කීවත් නැතත් ඒ වෙනස් නොවන සදාතනික යමක පැවැත්මක් ගැන බොහෝ දෙනාට විශ්වාසයක් ඇත. එහෙත් මේ වෙනස් නොවන මා දැකගැනීමට ක්‍රමයක් නැත.

කෙසෙල් ගසක කඳේ වට එකින් එක ඉවත් කිරීමෙන් පසුව හමුවන වෙනස් නොවන කිසිවක් නොමැතිවාක් මෙන්, ලූණූ ගෙඩියක් පොත්තෙන් පොත්ත ඉවත්කිරීමෙන් පසුව ඉතිරිවන වෙනස් නොවන කිසිවක් නොමැත්තාක් මෙන් අපේ සිරුරේ ද ඇතුළට කිඳා බැස්සත් අපට වෙනස් නොවන කිසිවක් හමු නො වේ. රූපයට ද වඩා ඉක්මනින් මනස වෙනස්වන බව දේශනා කළ බුදුන් වහන්සේ වෙනස් නොවන, වෙනස් නොවී පවතින ආත්මයක් ඇතැයි සිතීම වැරදි බව බමුණන්ට පැහැදිලි කර දුන් හ. චිත්ත වෙනස්වනවා මිස වෙනස් නොවන චිත්තයක් හෝ මනසක් හෝ මනේන්ද්‍රියක් හෝ වෙනත් යමක් හෝ නැත.

මා මගේ ලිපිවල මනස යනුවෙන් හඳුන්වන්නේ ඒ වෙනස්වන චිත්ත පරම්පරාව ය. නැතහොත් විත්ත පේළි ය ය. එක් චිත්තයක් ඇති වී නැතිවෙයි. ඒ සමග තවත් චිත්තයක් ඇතිවෙයි. මේ චිත්තයක ක්‍ෂණයක වුව පැවැත්මක් ඇතැයි කියන්නේ කෙසේ ද? ඒ පැවැත්ම යනු අප විසින් නිර්මාණය කරගෙන ඇත්තක් මිස අනෙකක් නො වේ. මෙහි දී කිවයුත්තක් නම් චිත්තය යන්න ද සංකල්පයක් බවත් එය ද අපේ නිර්මාණයක් බවත් ය. චිත්තයක් ඇති වී නැතිවීමේ දී එහි අඩංගු තොරතුරු විශාල ප්‍රමාණයක් ඊළඟට ඉපදෙන චිත්තයට ලබාදීම හේතුවෙන් චිත්ත පරම්පරාව ම එකක් ලෙස මනසක් හෝ මනේන්ද්‍රියක් ලෙස සෑලකීමට අපි පුරුදු වී සිටිමු. මනස, මනසේ ම නිර්මාණයක් වන්නේ එලෙස ය.

මනස පිළිබඳ ව අපේ ඒ ආකෘතිය සිංහල බෞද්ධ මනස යන ලිපියෙහි විස්තර කෙරී ඇත. ඒ ලිපිය බොහෝ කලකට පෙර දිවයින පුවත්පතෙහි පළවුණු අතර එය කාලය වෙබ් අඩවියෙහි අඩවිගත කර ඇත. අවශ්‍ය අයකුට කාලය වෙබ් අඩවියට ගොස් ඒ ලිපිය කියවිය හැකි ය. මනස, මනසේ ම නිර්මාණයක් ලෙස ගැනෙන්නේ චක්‍රීය චින්තනයෙහි ය. රේඛීය චින්තනයක එලෙස මනස, මනසේ ම නිර්මාණයක් ලෙස ගත නො හැකි ය.

මේ සියල්ලෙහි තේරුම පුටුව යන්න මනස විසින් නිර්මාණය කෙරී ඇති සේ ම මනස ද මනස විසින් ම නිර්මාණය කෙරී ඇති බව ය. පුටුව යන්න මායාවක් වන ලෙස ම මනස ද මායාවක් වෙයි. එය මායාවක් ලෙස නොගැනීම නිසා අපි සංසාරයේ සෑරි සරන්නෙමු. සසරෙන් මිදීම සඳහා මනස ද මායාවක් බව අවබෝධ කර ගත යුතු ය. ප්‍රශ්නය වන්නේ ඒ බව අවබෝධ කරගන්නේ කෙසේ ද යන්න ය. එය මනසෙන් අවබෝධ කරගත හැකි යැයි මම නො සිතමි. එහෙත් නිවන් දැකීමෙන් පසුව ද ඒ මායාවක් වූ මනස පිරිනිවන්පානා තෙක් එදිනෙදා ජීවිතයෙහි දී යොද ගැනෙයි. රහතන් වහන්සේ නමක් නිර්වාණ සමාපප්ති සුවය විඳින අවස්ථාවල දී ඒ මායාවක් වූ මනස යොදා නො ගැනෙයි.

යමක් පවතියි යන්න පුටුවට වේවා ආත්මයට වේවා මනසට වේවා යෙදා ගත යුත්තේ ඉතා ප්‍රවේසමෙනි. එයට හේතුව ඒ සඳහා වැරදි අර්ථකථන ඕනෑම වේලාවක ඉදිරිපත් කිරීමට ඇති ඉඩකඩ ය. යමක් පවතින්නේ ක්‍ෂණයකට යැයි සිතිය හැකි ය. එහෙත් ක්‍ෂණයක් යනු කුමක් ද? ක්‍ෂණයක කාලාන්තරය කුමක් ද? ක්‍ෂණයක් යනු නිශ්ශූන්‍ය කාල ප්‍රාන්තරයක් ද? A = A වන්නේ කිනම් කාල පරිච්ඡෙදයකට ද? එය ශූන්‍ය නම් එයින් කියැවෙන්නේ A යනුවෙන් යමක් නැති බව ද? කෙසේ වෙතත් ක්‍ෂණයකට A = A වී ඉන්පසු එසේ නොවන්නේ ය යනුවෙන් කීමෙහි තේරුමක් ද නැත. එයට ප්‍රධාන හේතුව ක්‍ෂණය යන්න අර්ථ නොදැක්වීම ය. A = A යන්නෙහි තේරුම වෙනත් කිසිවක් නොව දිගින් දිගට ම A, A ට සමාන වීම ය. ඇරිස්ටෝටලීය න්‍යාය වෙනස් නොවීම ආත්මය කරගත්තේ වෙයි. එනම් එහි හරය ම වෙනස් නො වීම ය.

අංශුවක් වෙනස්වීම යන්න ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායෙහි තේරුම්ගත නොහැකි වුවත් චතුස්කෝටික න්‍යායෙහි තේරුම් ගත හැකි ය. එහි දී A = A මෙන් ම A A යන්න ද එකවිට යොදා ගැනෙයි. එය චලිතයෙහි දී කියැවෙන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමට අපි උත්සාහ ගනිමු. නිව්ටෝනීය භෞතිකයෙහි අංශුවක් යම් කාලයක දී අවකාශයෙහි යම් පිහිටුමක ඇත. එනම් අංශුව අවකාශයෙහි යම් ලක්‍ෂ්‍යයක් සමග සම්පාත වෙයි. යම් Oලක්‍ෂ්‍යයක් අනුබද්ධයෙන් P නම් අංශුවක පිහිටුම් දෛශිකය r යැයි සිතමු. එනම් OP = r වෙයි. එහෙත් අංශුව චලනය වන්නේ නම් දෛශිකය ද වෙනස් වෙයි. එනම් පිහිටුම් දෛශිකය ට කාලයෙහි ශ්‍රිතයක් වෙයි. එය r = r(t) ලෙස ලිවිය හැකි ය.

මෙහි දී යනුවෙන් සැලකෙන්නේ O ලක්‍ෂ්‍යය අනුබද්ධයෙන් අංශුවෙහි පිහිටුම් දෛශිකය යැයි අපි සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී කීව ද එයින් අදහස් කෙරෙන්නේ O ලක්‍ෂ්‍යය අනුබද්ධයෙන් යම්කිසි t කාලයක දී අංශුව අවකාශයෙහි සම්පාත වන ලක්‍ෂ්‍යයෙහි පිහිටුම් දෛශිකය ය. අප එසේ නොසැලකුවහොත් අපට සාපේක්‍ෂ ප්‍රවේගය නම් සංකල්පය අර්ථදැක්වීමේ දී ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙයි. පිහිටුම් දෛශික අර්ථ දැක්වෙන්නේ ලක්‍ෂ්‍ය අතර මිස ලක්‍ෂ්‍ය හා අංශු අතර නො වේ. r = r(t) යන්නෙහි තේරුම O ලක්‍ෂ්‍යය අනුබද්ධයෙන් අවකාශයෙහි අංශුව සමග සම්පාතවන ලක්‍ෂ්‍ය කාලයත් සමග වෙනස් වන බව ය. එසේ නොමැති වී නම්, එනම් කාලයෙහි ශ්‍රිතයක් නොවී නම් අංශුව එකම ලක්‍ෂ්‍යයක් සමග දිගින් දිගට ම සම්පාත වෙයි.

දැන් A = A මෙන් ම A ≠ A යන්න චලිතවන අංශුව සම්බන්ධයෙන් යොදා ගැනෙන්නේ කෙසේ ද? මෙහි දී A = A යනුවෙන් කියැවෙන්නේ අංශුව අවකාශයෙහි යම් ලක්‍ෂ්‍යයක් සමග සම්පාත වන බව ය. A ≠ A යනුවෙන් කියැවෙන්නේ අංශුව එවිට ම එම ලක්‍ෂ්‍යය සමග සම්පාත නොවන බව ය. මෙය යම්කිසිවකුට පරස්පරයක් ලෙස පෙනී ගිය හැකි නමුත් එසේ වන්නේ ඇරිස්ටෝටලීය න්‍යායෙහි ය. එහෙත් ඇරිස්ටෝටලීය න්‍යායෙහි අංශුව එක්කෝ යම් ලක්‍ෂ්‍යයක් සමග සම්පාත විය යුතු ය. එසේත් නැත්නම් සම්පාත නොවිය යුතු ය. එහෙත් එවිට චලිතයක් සිදු නො වේ.

වලිතය සිදුවන්නට නම් අංශුව අවකාශයෙහි යම් ලක්‍ෂ්‍යයක් සමග සම්පාත වන අතර ම එක්විට (ඊනියා ක්‍ෂණයක දී නොව) එම ලක්‍ෂ්‍යය සමග සම්පාත නොවිය යුතු ය. අංශුවෙහි චලිතය සිදුවීමට නම් අංශුව එසේ දිගින් දිගට ම අවකාශයෙහි සන්තතික ලක්‍ෂ්‍ය සමග එක්විට එක් ලක්‍ෂ්‍යයක් සමගින් සම්පාත හා අසම්පාත විය යුතු ය. මෙහි දී වැදගත් නිර්ණායකයක් වනුයේ සංතතික ලක්‍ෂ්‍ය යන්න ය.

නිව්ටෝනීය භෞතිකයෙහි (යාන්ත්‍රිකයෙහි) තවත් වැදගත් ලක්‍ෂණයක් වනුයේ අංශුවට යම්කිසි ගමන් මාර්ගයක් තිබීම ය. ඒ ගමන් මාර්ගය r = r(t) යනුවෙන් ද ලිවිය හැකි ය. එමෙන් ම අංශුවෙහි පෙතෙහි ඕනෑම ලක්‍ෂ්‍යයක දී අංශුවට ප්‍රවේගයක් ද වෙයි. වෙනත් වචනවලින් කිවහොත් අංශුව සෑම විට ම ප්‍රවේගයක් සහිතව (ප්‍රවේගය ඇතැම් අවස්ථාවල ශූන්‍ය විය හැකි ය) අවකාශයෙහි යම්කිසි සංතතික පෙතක චලනය වෙයි. මෙය ඉතා වැදගත් කරුණක් වන්නේ ක්වොන්ටම් භෞතිකයෙහි එය එසේ නොවන නිසා ය. නිව්ටෝනිය භෞතිකයෙහි ආවේගී බල යටතේ සිදුවන චලිතයෙහි දී ද මේ සන්තතික පෙත යන්න වැදගත් වෙයි.

එහෙත් ආවේගී බල යටතේ සිදුවන චලිතයෙහි දී ප්‍රවේගය සන්තතික නොවන බව අපි දනිමු. යම් අංශුවකට හෝ පද්ධතියකට හෝ ආවේගී බලයක් යෙදු කල අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ ප්‍රවේගයෙහි (ගම්‍යතාවයෙහි) වෙනසක් සිදුවෙයි. ඒ වෙනස යොදන ලද ආවේගය හා සමග බැඳෙයි. මෙහි දී කියැවෙන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ ප්‍රවේගය සන්තතික ව වෙනස් නොවී ඛණ්ඩ වශයෙන් වෙනස් වන බව ය. ප්‍රවේගයෙහි මේ අසන්තතික වෙනස්වීම හේතුවෙන් ඇතැම් විට ආවේගී බල යටතේ සිදුවන චලිත අසන්තතික චලිත යනුවෙන් හැඳින්වෙයි.

එසේ වුවත්, එනම් අංශුවෙහි ප්‍රවේගය අඛණ්ඩව සන්තතික ව වෙනස් නොවුණත් අංශුවෙහි පිහිටුම සන්තතික ව වෙනස් වෙයි. එසේ සන්තතික ව වෙනස් වන්නේ නිව්ටෝනීය චලිතය සන්තතික අවකාශයක සිදුවන බැවිනි. නිව්ටෝනීය භෞතිකයෙහි චලිතය සන්තතික අවකාශයක (අවකාශ කාලයක) සිදුවෙයි. එනම් අපට සාපේක්‍ෂව නිව්ටෝනීය චලිතය සන්තතික අවකාශ කාලයක සිදුවෙයි. එය අයින්ස්ටයිනීය චලිතය ට ද එලෙස ම වලංගු වෙයි. විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි මෙන් ම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ද අවකාශ කාලය සන්තතික වෙයි. එබැවින් එහි දී ද අංශුවක චලිතය අවකාශ කාලයෙහි සන්තතික ව සිදුවෙයි. එහෙත් ක්වොන්ටම් භෞතිකයෙහි එය මුළුමනින් ම වෙනස් වෙයි.


Saturday, 28 April 2012

දේදුනු පායා පාට වැටී

අයින්ස්ටයිනීය සංකල්ප අනුව අංශුවක් විසින් අවකාශ – කාලය නිර්මාණය කරන ලද ද එසේත් නැතහොත් වෙනස් කරන ලද ද, නිව්ටෝනීය සංකල්ප අනුව එය අවකාශයෙහි පැවතුණ ද, අවකාශයේ එහි පැවැත්ම යන්න පැහැදිලි ය. අපට අවකාශය පිළිබඳ යම් හැඟීමක් ඇති අතර එය ඊනියා ද්‍රව්‍යමය පසුබිමක් සහිතව අපි අත්දකින්නෙමු. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවකට පිහිටුම් කිහිපයක් දැරීමට හැකිය යන අදහස ද ඇතැමුනට තමන්ගේ නිව්ටෝනීය සංකල්පවල ඇති ආධිපත්‍යය හේතුකොටගෙන තේරුම් ගැනීමට නොහැකි වුව ද ඇරිස්ටෝටලීය න්‍යායෙන් හා නිව්ටෝනීය සංකල්පවලින් මිදුණු වහාම ඒ අවබෝධ කරගැනීම අපහසු නො වේ. විශේෂයෙන් ම ඊනියා බුද්ධිවාදයෙන් ඔළුව අවුල් කර නොගත් සිංහල බෞද්ධයනට ඒ තේරුම් ගැනීම අපහසු නො වේ.
එහෙත් අංශුවක් එකවිට විවිධ කාලවල ඇත යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? අංශුවක් එකවිට විවිධ පිහිටුම්වල තිබීම හා එකවිට විවිධ කාලවල ඇත යන්න එකම මට්ටමක වූ සංකල්ප නො වේ. කලින් කියා ඇති පරිදි එකවිට විවිධ කාලවල තිබීම යන්න ම පරස්පරයක් ලෙස පෙනෙනු නො අනුමාන ය. මෙහි දී ද කියැවෙන්නේ අංශුවේ විවිධ අවස්ථා බව අමතක නොකළ යුතු ය. එවිට අංශුවේ විවිධ අවස්ථා විවිධ කාලවල ඇත යනුවෙන් ඉහත සඳහන් ප්‍රකාශය තේරුම් ගත හැකි ය. අයින්ස්ටයිනීය සංකල්ප අනුව අවකාශය හා කාලය එකිනෙකින් වෙන් කළ හැකි නො වේ. එබැවින් අංශුවේ විවිධ අවස්ථා විවිධ පිහිටුම්වල පැවතීම යන්න එහි විවිධ අවස්ථා විවිධ කාලවල ඇත යන්න සමග බැඳී ඇත.
එසේ වුවත් අයින්ටයින් විද්වතා කෙසේ කියා තිබුණ ද, කාලය අවකාශයෙන් වෙනස් වෙයි. අයින්ස්ටයිනීය සංකල්පවලට අනුව අංශු, වස්තු හා විකිරණ හේතුවෙන් අවකාශ - කාලය නිර්ණය වෙයි. මෙය බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවික අදහසකි. නිරීක්‍ෂකයා ඇතත් නැතත් අංශු ආදිය ඇත්නම් අවකාශ –- කාලය ඇතැයි ඉන් කියැවෙයි. එහෙත් අවකාශය මෙන් ම කාලය යන සංකල්පය ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ ය. අපට අවකාශය යන්න මනස හා පංචේන්ද්‍රිය ඇසුරෙන් සෘජුව ම නිර්මාණය කරගත හැකි ය. අවකාශය ස්පර්ශ කළ නො හැකි ය. එහි ගඳක් සුවඳක් රසයක් ශබිදයක් නැත. එය දැකගත හැකි ද නො වේ. එසේ වුවත් අපට වස්තු දෙකක් අතර අවකාශයක් ඇති බව හැඟෙයි. ඒ වස්තු ඉවත් කළ ද අවකාශය ඉවත් නො වේ යැයි අපට දැනෙයි. එමෙන් ම වස්තු වෙනස් වුවත් නැතත් ඒ අතර වූ අවකාශය පැවතීම පිළිබඳ අපට ප්‍රශ්නයක් ඇති නො වෙයි.
එහෙත් කාලය එසේ නො වේ. සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් කරුණු සකස් කර ගතහොත් කාලය යන සංකල්පය මිනිසුන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ තමන් හා තමන් අවට ලෝකය වෙනස්වන බැවින් හා ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් තමන් සතු බැවින් යැයි කිව හැකි ය. වස්තු ආදිය තිබූ පමණින් මිනිසුන්ට කාලය පිළිබඳ සංකල්පයක් ඇති නො වේ. යම් ආකාරයකින් කිසිවක් වෙනස් නොවිණි නම් සියල්ල එකසේ පැවතිණි නම් කාලය යන සංකල්පය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී. එසේ ම ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් නොතිබිණි නම් එවිට ද වස්තු ආදිය වෙනස්වුවත් කාලය යනුවෙන් සංකල්පයක් අවශ්‍ය නො වේ.
තමන් හා තමන් අවට ලෝකය තමන්ට පෙනෙන ආකාරයට වෙනස්වීමත්, ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් ඇති වීමත් හේතුකොටගෙන සිද්ධි දෙකක් අතර කාලය යන සංකල්පය තනාගැනී ඇත. බුද්ධඝෝෂ හිමියන් අත්ථසාලිනියට සපයන ලද අටුවාවෙහි සඳහන් ආකාරයට කාලය යනු පඤ්ඤත්තියක් හෙවත් පැනවීමකි. කාලය යනුවෙන් ඊනියා වාස්තවික වූ යථාර්ථයක් නැත. එය පංචේන්ද්‍රියට සෘජුව ග්‍රහණය නොවන සංකල්පයකි. අනෙක් සංකල්ප මෙන් ම එය ද මනස විසින් ම නිර්මාණය කෙරේ. අනෙක් බොහෝ සංකල්ප මනස විසින් නිර්මාණය කෙරෙන්නේ පංචේන්ද්‍රිය ද සෘජුව ආධාර කරගනිමිනි. එහෙත් කාලය එසේ නො වේ. පුටුව ආදී සංකල්ප මෙන් පංචේන්ද්‍රියට දැනෙන කාලය නම් සංකල්යක් නැත. එය මිනිසුන් විසින් ද්විතීය ව ඇති කරගනු ලබන සංකල්පයකි. එය මනසේ පැනවීමකි.
දැන් අංශුවක විවිධ අවස්ථා විවිධ කාලවල පැවතීම යන්න අවබෝධ කරගැනීම අපහසු නො වේ. අංශුවලට විවිධ අවස්ථා ඇති බව තේරුම්ගත් විගස ඒ අවස්ථා එකම ආකාරයකට වෙනස් විය යුතු ය යන අදහස නැතිවෙයි. එවිට අවශ්‍ය නම් අයින්ස්ටයිනීය සංකල්පයක් යොදාගතහොත් ඒ ඒ අවස්ථාවෙහි නියම කාලය (Proper time) අනෙක් අවස්ථාවන්හි නියම කාලවලින් වෙනස්විය හැකිය යන්න පැහැදිලි වෙයි. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක් එකවිට විවිධ කාලවල ඇත්තේ ඒ අර්ථයෙන් යැයි කිව හැකි ය. අංශුවෙහි විවිධ අවස්ථා විවිධ කාලවල පවතින බව ඉන් ගම්‍ය වෙයි.
එහෙත් මෙයින් සියළු ප්‍රශ්නවලට පිළිතුරු නො ලැබෙයි. අංශුවක් අවකාශය හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල පවතින්නේ අනිශ්චයතා මූල ධර්මය අනුව එහි ගම්‍යතාව හා ශක්තිය ඉතා සන්නිකර්ෂණ ව නිශ්චිත ව මැනගෙන ඇති බැවිනි. කලින් සඳහන් කර ඇති අන්දමට මේ නිශ්චිත ම අගය නො වේ. ගම්‍යතාව හා ශක්තිය සම්බන්ධයෙන් ද විවිධ අවස්ථා ඇති නමුත් අපට ඒ නොසළකා සිටිය හැකි ය. මෙයින් කියැවෙන්නේ එසේ අංශුවෙහි ගම්‍යතාව හා ශක්තිය නිශ්චිතව පවතින අතර එහි පිහිටුම හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථා ඇති බව ය. ඇතැම් විට ඒ ඒ විවිධ අවස්ථා විවිධ වේගවලින් චලනය වනවා විය හැකි ය. ඒ ඒ අවස්ථාවෙහි පිහිටුම හා කාලය අනුව ඒ වේග නිර්ණය වනවා විය හැකි ය.
එහෙත් ඒ අවස්ථා තිබෙන බව අප දන්නා නමුත්, එනම් ඒ පිළිබඳ අපට ප්‍රවාද හා සංකල්ප තිබෙන නමුත් (අපේ දැනුම යනු සංකල්පීය දැනුමකි. සංකල්පීය දැනුම ශූන්‍ය බව ද අමතක නොකළ යුතු ය) අපට ඒ අවස්ථා නිරීක්‍ෂණය කළ නො හැකි ය. එබැවින් ඒ අවස්ථාවලට එවැනි වේග ඇති බවක් මැනගැනීමට ද නො හැකි ය. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවලට හෝ වස්තුවලට හෝ නිව්ටෝනීය භෞතිකයෙහි මෙන් ගමන් මාර්ග හෙවත් පෙත් නැත්තේ එබැවිනි.
ක්වොන්ටම් අංශුවක ගම්‍යතාව හා ශක්තිය සඳහා එක් අවස්ථාවක් (සන්නිකර්ෂණ ව) පමණක් පවතින විට පිහිටුම හා කාලය සඳහා විවිධ අවස්ථා ඇති අතර ඒවා නිරීක්‍ෂණය කළ නො හැකි ය. එබැවින් ක්වොන්ටම් අංශුවෙහි පෙතක් නිරීක්‍ෂණය කළ නො හැකි ය. එහෙත් ඒ විවිධ අවස්ථා අපට නීිරීක්‍ෂණය කළ නොහැකි නමුත් ඇතැම් විට විවිධ වේගවලින් පෙත්වල ගමන්කරනවා විය හැකි ය. මේ සියළු පෙත්වල යම් එකතුවක්, අනුකලයක් මගින් ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට වෙනත් තැනකට සම්ප්‍රාප්තවීම ප්‍රදර්ශනය කරන්නේ යැයි සිතිය හැකි ය.
නොබෙල් ත්‍යාගලාභී බටහිර භෞතික විද්‍යාඥයකු වූ ෙෆෙන්මාන් විද්වතා (ක්වෙන්ටම් භෞතිකය කිසිවකුට නොතේරෙන බව කීවේ ඔහු ය) පෙත් අනුකල (Path integrals) නමැති සංකල්පය ඉදිරිපත් කළේ ය. ඔහු එමගින් අදහස් කළේ ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රාප්තවිම ඒ ඒ පෙත්වල අනුකල මගින් ගණනය කිරීම ය. එය ඉතාමත් විශිෂ්ට ගණයේ අදහසක් වූවා පමණක් නොව ෙෆෙන්මාන් විද්වතාට නොබෙල් ත්‍යාගය ලබාදීමටත් ඒ සමත් විය. මේ සංකල්පය සහ අප විසින් ඉහත සඳහන් කෙරී ඇති අදහස් අතර යම් සාම්‍යයක් තිබෙන බව පෙනී යයි. දක්‍ෂ ශිෂ්‍යයකු වේ නම් ඒ පිළිබඳ අධ්‍යයනයක් කළ හැකි ය.
මේ සියල්ල සමගින් අපට නැවතත් නාභිගත වීම කරා ගිය හැකි ය. යම් ප්‍රභවයකින් නිශ්චිත (නිශ්චිත යන්නෙන් අදහස් කරන්නේ සන්නිකර්ෂණ ව නිශ්චිත වීමක් බව අවධාරණය කළ යුතු ය) ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව නිකුත් කෙරෙන ෆෝටෝනයක් කාච පද්ධතියක් තුළින් යෑමට සැලැස්වුවහොත් සිදුවන්නේ කුමක් ද? එවැනි ෆෝටෝනයක් ප්‍රිස්මයක් තුළින් යෑමට සැලැස්වුවහොත් කුමක් සිදුවේ ද? ආලෝකය වර්තනය වීමෙන් විවිධ වර්ණවලට කැඩෙන්නේ, දේදුණු නිර්මාණය වී පාට වැටෙන්නේ කෙසේ ද? ආදී වශයෙන් ප්‍රශ්න රාශියකට පිළිතුරු දීමට අපට උත්සාහ කළ හැකි ය. නිව්ටන් විද්වතා ප්‍රිස්ම පිළිබඳ තම පර්යේෂණ කළේ ආලෝකය පිළිබඳ ඔහුගේ ලවක (අංශු- corpuscular) ප්‍රවාදය ඇසුරෙන් බව ද අමතක නොකළ යුතු ය.
ෆෝටෝනයක් කාචයක් හෝ ප්‍රිස්මයක් හෝ සමග ගැටුණු විට එහි ශක්තිය වෙනස්විය යුතු ය. එහෙත් ඒ ශක්තිය වෙනස්වීමේ දී ෆෝටෝනය තනි ක්වොන්ටම් අංශුවක් ලෙස ක්‍රියා කරන්නේ ද, එසේත් නැත්නම් ෆෝටෝනයේ විවිධ අවස්ථා විවිධ ආකාරයෙන් ක්‍රියා කරන්නේ ද? තරංගවාදය අනුව ගැටීමෙන් පසු කලින් තිබූ මුල් තරංගය විවිධ තරංගවලට කැඩී වෙන් වී වෙනස් වූ ශක්ති (සංඛ්‍යාතිය හා ආයාම දිග) සහිත තරංග බවට පත්වන්නේ ද? එසේ නම් මුල් තරංගයේ ඒ විවිධ තරංග අඩංගු වේ ද? මුල් තරංගයේ විවිධ තරංග අඩංගුවේ ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
ෆෝටෝන රාශියක් ප්‍රිස්මයක් තුළින් නොයවා එක් ෆෝටෝනයක් නැත්නම් ෆෝටෝන කිහිපයක් පමණක් යවා මේ පර්යේෂණය කිරීමේ හැකියාවක් තිබේ ද? එසේත් නැතිනම් ෆෝටෝනයක් හෝ ෆෝටෝන කිහිපයක් පමණක් කාචයක් හෝ කාච පද්ධතියක් හෝ තුළින් යවා ප්‍රතිබිම්බ සෑදීම පිළිබඳ පරීක්‍ෂණයක් කළ හැකි වේ ද? අද ඇති බටහිර තාක්‍ෂණය යොදා ගැනීමෙන් එදා නිව්ටන් විද්වතා කළ පරීක්‍ෂණ ෆෝටෝන කිහිපයක් පමණක් යොදා ගැනීමෙන් කළ හැකි දැයි සොයා බැලීමට අවස්ථාව උදා වී ඇත.
ෆෝටෝනය ද ක්වොන්ටම් අංශුවක් ලෙස ක්‍රියාකරන බැවින් ඉහත සඳහන් කෙරුණු අදහස් ෆෝටෝන සම්බන්ධයෙන් ද යොදාගත හැකි ය. යම් ප්‍රභවයකින් නිශ්චිත (සන්නිකර්ෂණ වශයෙන්) ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව නිකුත් කෙරෙන ෆෝටෝනයක් ගම්‍යතාව හා ශක්තිය සම්බන්ධයෙන් (නැවතත් සන්නිකර්ෂණ වශයෙන්) එක් අවස්ථාවක ඇති නමුත් පිහිටුම හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල ඇත. මේ විවිධ අවස්ථාවල ශක්තිය එකම විය යුත්තේ ෆෝටෝනයේ ශක්තිය එකක් ම වන බැවිනි.
එසේ වුවත් ඒ ඒ අවස්ථා ප්‍රිස්මය හෝ කාචය සමග ගැටීම නිසා ඒ ඒ අවස්ථාවෙහි ශක්තිය එකම අයුරෙන් නොව විවිධාකාරයෙන් වෙනස් වන්නේ යැයි අපට සිතිය හැකි ය. එසේ වෙනස්වීමෙන් පසු ඒ ෆෝටෝනය තවදුරටත් එකම ශක්තියක් සහිත එක් ෆෝටෝනයක් ලෙස ක්‍රියා නොකරන බව උපකල්පනය කළ හැකි ය. දැන් ප්‍රශ්නය වන්නේ ඒ තනි ෆෝටෝනය කැඩීමට ඉඩක් ඇත් ද යන්න ය. මෙය තරමක ගැටළු සහගත ප්‍රශ්නයක් වෙයි. ප්‍රිස්මයක් හෝ කාචයක් හෝ වෙනත් යමක් හෝ සමග ගැටීමක් නොවනතාක් මුල් ෆෝටෝනය නොකැඩෙන බව පැහැදිලි ය. එහෙත් ගැටීමෙන් පසු සිදුවන්නේ කුමක් ද?
මෙහි දී අපය කොම්ප්ටන් ආචරණයෙන් (Compton Effect) පාඩමක් ඉගෙන ගත හැකි ය. මෙය තරමක් දීර්ඝව, අවස්ථාවක් ලදහොත් ලබන සතියේ දී සාකච්ඡා කළ යුතු ය. ඉතා කෙටියෙන්, දළ වශයෙන් කියන්නේ නම් එහි දී සිදුවන්නේ ෆෝටෝන නිව්ටෝනීය අංශුවක් සමග ගැටීමෙන් පසු නිව්ටෝනීය අංශුවේ ගම්‍යතාව හා ශක්තිය (නිව්ටෝනීය අංශුවක් බැවින් ගම්‍යතාව, පිහිටුම, ශක්තිය, කාලය සියල්ල එකට මැණගත හැකි ය) වෙනස්වීමත් ෆෝටෝනවල ද ශක්තිය වෙනස්වීමත් ය. ෆෝටෝන තරංගයක් ලෙස සෑලකුවහොත් ගැටීමෙන් පසු තරංගයේ ආයාම දිග හා සංඛ්‍යාතිය වෙනස් වෙයි.

Sunday, 6 November 2011

ඊනියා ඒකිකෘත ප්‍රවාදය

බටහිර භෞතික විද්‍යාවට කණකොකා හැඬීම ආරම්භ වූයේ දහනවවැනි සියවස අගභාගයේ දී නම් 1930 පමණ වන තෙක් එය ජයකෙහෙළි නැංවී යැයි කීම පරස්පර යැයි සිතන පඬියෝ මෙරට සිටිති. කණකොකා හැඬීම ආරම්භ වීමත් සමග බටහිර භෞතික විද්‍යාව කඩා වැටීම ආරම්භ විණි යැයි සිතන්නන්ට නම් ඉහත සඳහන් ප්‍රකාශ දෙකෙහි පරස්පරයක් දැකිය හැකි ය. කණකොකා හැඬීම ආරම්භ වූයේ ම ප්ලෑන්ක් නම් විද්‍යාඥයා ආලෝකයට අංශුවල ගුණ ඇති බවත් ආලෝකය තරංග වශයෙන් පමණක් නොව ක්වොන්ටා (Quanta) හෙවත් පොදි (පැකට්ටු) වශයෙන් ද ගමන්කරන බව ප්‍රකාශ කිරීමත් සමග ය.

වත්මන් ක්වොන්ටම් භෞතිකයේ ආරම්භය එසේ සිදුවිණි. ක්වොන්ටම් භෞතිකය ගැන නොදන්නවුන් නොදැන සිටිය ද ක්වොන්ටම් භෞතිකය බටහිර භෞතික විද්‍යාවෙහි සංස්කෘතියට හා චින්තනයට එරෙහිව යයි. එය බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට පටහැණි වෙයි. එහි න්‍යාය ඇරිස්ටෝටලීය නොවන බව දන්නේ පිටරට සිටින බටහිර භෞතික විද්‍යාඥයන් හා දාර්ශනිකයන් කිහිප දෙනකු පමණ ය. ජනප්‍රිය පොත් කියවා (ඇතැමුන් කියවා ඇත්තේ සෝවියට් රුසියාව පැවති කාලයේ රුසියන් බසින් නිකුත්කර පසුව ඉංගිරිසියට පෙරළුෑ ජනප්‍රිය පොත් කිහිපයක් පමණකි) බටහිර විද්‍යාව නොව බටහිර විද්‍යාව ගැන තම තම නැණ පමණින් ඉගෙන ලූලා නැති වලට කණයන් වීමට දඟලන පඬියෝ මේ කිසිවක් නො දනිති. මේ කණයන් මහාචාර්යවරුන් අතර ද දැකගත හැකි ය.

ක්වොන්ටම් භෞතිකය යම්තමින් වුව ද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදායෙහි රැකුණේ, තවත් පරස්පරයක් ලෙස පඬියන්ට පෙනී ගිය ද, චීන සංස්කෘතියෙන් ආභාසය ලත් බෝර්ට පින් සිදුවන්නට ය. ඔහු යින් යැන් දර්ශනය මත පදනම් ව ක්වොන්ටම් භෞතිකය බටහිර ඉන්ද්‍රියානුභූතවාදයෙහි (positivism) රඳවා ගත්තේ ය. එහෙත් එයට බටහිර යථාර්ථවාදීහු (realists) තරයේ විරුද්ධ වූහ. එහි දී බෝර්ගේ ප්‍රධාන විරුද්ධවාදියා වූයේ අන් කිසිවකු නොව අයින්ස්ටයින් ය. අද වන විට ක්වොන්ටම් භෞතිකය බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පාවෙන එහෙත් පදනමක් නැති හුදෙක් ගණනය කිරීම්වලට සීමාවන උපයෝගිතාවට බර දැනුම් පද්ධතියක් බවට පත් වී ඇත.

1930 යනු දළ වශයෙන් ගත්කල බෝර් - අයින්ස්ටයින් විවාද බෝර්ගේ ජයග්‍රහණයෙන් කෙළවර වූ වසර ය. දහනවවැනි සියවසේ අවසාන දශකයේ සිට 1930 පමණ දක්වා අවුරුදු තිස්පහක් පමණ ක්වොන්ටම් භෞතික විද්‍යාව ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තේ ය. එහෙත් එතැන් සිට ක්වොන්ටම් භෞතික විද්‍යාව ක්‍රියාත්මක වන්නේ ගණක යන්ත්‍රයක් ලෙසින් යැයි කිවහොත් නිවැරදි ය. එහි ෙසෙද්ධාන්තික, දාර්ශනික ගැඹුරක් නැත. ක්වොන්ටම් භෞතිකය යථාර්ථවාදීව හෝ ඉන්ද්‍රියානුභූතවාදීව හෝ තේරුම් ගත නොහැකි බව මේ වන විට බටහිර භෞතික විද්‍යාඥයන්ට වැටහිය යුතු නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හිරවී සිටින ඔවුන්ට ඒ ගැන අවබෝධයක් නැත.

1930 පමණ වන තෙක් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය ද වර්ධනය විය. 1905 දී විශේෂ සාපේක්‍ෂතාවාදය ද 1915 දී සාධාරණ සාපේක්‍ෂතාවාදය ද එළිදැක්වීමට අයින්ස්ටයින් සමත් විය. ක්වොන්ටම් භෞතිකය මෙන් නොව සාපේක්‍ෂතාවාදය හුදෙක් එක් පුද්ගලයකුගේ, එනම් අයින්ස්ටයින්ගේ දායකත්වයෙන් බිහිවූවක් විය. 1916 වන විටත් විශ්වවවේදය (Cosmology) බිහිවී තිබිණි. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය විශ්වයට ම යොදා ගැනීමේ ප්‍රතිඵලය විය. හබල් හෝ අද ඇතැම් බටහිර විශ්වවේදීන් සිතන අයුරින් නම් ඔහුට පෙර වෙනත් අය හෝ විශ්වය ප්‍රසාරණය වීමේ අදහස ඉදිරිපත් කර තිබිණි. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග අගේට ගැළපිණි.

එහෙත් මේ අතර බටහිර භෞතික විද්‍යාවට ප්‍රධාන ප්‍රශ්නයක් පැන නැගෙමින් තිබිණි. එය ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රතිඵලයක් විය. සියල්ල දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නම් ඒ සියල්ල එක්කරන ඉතා සාධාරණ ප්‍රවාදයක් තිබිය යුතු බැව් බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙය මුළුමනින් ම ඒක දේව නිර්මාණයකින් ගලා එන්නක් බව පැහැදිලි ය. ඌනිතවාදය (reductionism) ද, එනම් සියල්ල ප්‍රත්‍යක්‍ෂ කිහිපයකට ඌනනය කිරීම ද දේව නිර්මාණය මත පදනම් වෙයි. අනේකහේතුවාදී හෙවත් බහුහේතුවාදී වූ සිංහල බෞද්ධ චින්තනයෙහි සියල්ල විස්තර කරන එක් ප්‍රවාදයකට ඉඩක් නැත.

බටහිර භෞතික විද්‍යාඥයන් එලෙස එක් ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමේ දිශාවට කලින් පියවර නගා තිබිණි. ආරම්භයේ දී ම ගැලීලියෝ පොළොව මත සිදුවන දෑ හා ග්‍රහ වස්තුවල සිදුවන දෑ එකම ප්‍රවාදයකින් විස්තර කළ හැකි බව අඩුම තරමෙන් දුරේක්‍ෂ සම්බන්ධයෙන් එතරම් තර්කානුකූලව නොවන නමුත් අනෙක් අය ඒත්තුගන්වා තිබිණි. පසුව නිව්ටන් නැති ගුරුත්වාකර්ෂණයක් පොළොව මත මෙන් ම පිටත ද ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නේ ය.

බටහිර විද්‍යාඥයන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයෙන් කෙතරම් උද්දාමයට පත්ව සිටියේ ද කිවහොත් ඔවුන් ඒ ප්‍රවාදය හැඳින්වූයේ සර්වත්‍ර නියමයක් (universal law) ලෙස ය. ඉන් පසු කලෙක මැක්ස්වෙල් ෆැරඩේගේ පරීක්‍ෂණ මත පදනම් ව චුම්බකත්ව හා විද්‍යුත් ගුණ එක් කෙළේ ය. අයින්ස්ටයින් අවකාශය හා කාලය එක් කෙළේ ය. පසුව බටහිර භෞතික විද්‍යාවට දුර්වල අන්තර්ක්‍රියා (weak interactions) හා ශක්තිමත් අන්තර්ක්‍රියා (strong interactions) එකතු විය. එවිට බටහිර භෞතික විද්‍යාවේ බල වර්ග හතරක් විය. එනම් විද්‍යුත්චුම්බක බලය, දුර්වල බලය, ශක්තිමත් බලය හා ගුරුත්වාකර්ෂණ බලය විය.

අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකවාදය එක්කිරීමට ඩිරැක් නම් ඉංගිරිසි භෞතික විද්‍යාඥයා සමත් විය. එහි ප්‍රතිඵලයක් වූ ක්වොන්ටම් විද්‍යුත්ගතිකය (Quantum Electrodynamics) මෙතෙක් බිහි වී ඇති ඉතාමත් සාර්ථක බටහිර භෞතික විද්‍යා ප්‍රවාදය ලෙස හැඳින්වෙයි. එහෙත් එය සාර්ථක වන්නේ හුදෙක් පරීක්‍ෂණවල මිනුම් ගැන කියන ප්‍රවාදයක් ලෙස මිස දාර්ශනික පදනමක් ඇති ප්‍රවාදයක් ලෙස නො වේ. සලාම් (දැනට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත් වූ එක ම ඉස්ලාම් භක්තිකයා හා එක ම පකිස්ථාන ජාතික ජන්මයක් හිමි ව සිටි තැනැත්තා) සහ ග්ලැෂෝ විසින් දුර්වල බල විද්‍යුත් චුමිබක බල එකතු කරනු ලැබිණි. එහෙත් අද වන විටත් ඊනියා ගුරුත්වාකර්ෂණ බලය වෙනුවට අද ඇති අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතික විද්‍යාව එකතු කර ඒකිකෘත ප්‍රවාදයක් (unified theory) නිර්මාණය කරගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් අසමත් වී ඇත. එබැවින් ඊනියා ගුරුත්වාකර්ෂණය හා අනෙක් බල එකිනෙකින් වෙන් වී පවතියි. මෙය දෙවියන් වහන්සේ ඇදහුවත් නැතත් එක් තැනකින් කෙරෙන පටන් ගැනීමක් ගැන විශ්වාස කරන බටහිරයන්ට මහත් හිසරදයකි.

බටහිරයන්ට අවශ්‍ය කෙසේ වුවත් ඒකිකෘත ප්‍රවාදයක් ගොඩ නැගීමය. අයින්ස්ටයින්ට ද ඒ අභිලාෂය විය. ඔහු 1930 පමණ සිට මිය යන තුරුම විද්‍යුතය සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග එකතුකිරීමට අසාර්ථක උත්සාහයක නිරත විය. අද වන විට පැහැදිලිව පෙනෙන කරුණ නම් සාධාරණ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය යා දෙක නොරත රත මෙන් එකිනෙක සමග පෑහීමක් නො වීම ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිතමය භෞතික විද්‍යාව හදාරණ සිව්වැනි වසරේ ශිෂ්‍යයකු මේ පිළිබඳ මූලික අධ්‍යයනයකින් පසු ඒ ක්‍ෂෙත්‍ර නොගැළපෙන (incompatible) බවට කරුණු දක්වා ඇත.

ක්වොන්ටම් භෞතිකය, සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග පමණක් නොව විශේෂ සාපේක්‍ෂතාවාදය සමග ද නො ගැළපෙයි. ඩිරැක් විශේෂ සාපේක්‍ෂතාවාදය ක්වොන්ටම් භෞතිකයට යොදාගත් බව ද ඩිරැක් සාපේක්‍ෂතාවාදී සමීකරණය එහි ප්‍රතිඵලයක් බව ද සැබෑ ය. එහෙත් පසුගිය සියවසේ විසි ගණන්වල පැවති බෝර් - අයින්ස්ටයින් විවාදවල දී අයින්ස්ටයින් හා ඔහුගේ සහායකයන් ඉදිරිපත් කළ අයින්ස්ටයින් - පොඩොල්ස්කි - රොසන් පරස්පරය (EPR paradox) මේ ක්‍ෂෙත්‍ර දෙක අතර ඇති නොගැළපීම තව තවත් මහත් කර ඇත.

ඉතා කෙටියෙන් කියන්නේ නම් මේ පරස්පරය ක්වොන්ටම් භෞතිකයේ පැටළුණු අංශු (entangled particles) සම්බන්ධයෙන් වෙයි. ක්වොන්ටම් භෞතිකයට අනුව පැටළුණු අංශු දෙකකින් එකක යම් ගුණයක් මැනගතහොත් ඒ ක්‍ෂණයෙහි ම අනෙක් අංශුව ද එම ගුණයට අදාළ වූ පිහිටුමකට (අවස්ථාවකට) පැමිණෙයි. මෙයින් කියැවෙන්නේ එක් අතකින් දෙවැනි අංශුවෙහි අදාළ ගුණය මැනීමට පෙර ඒ අගය කුමක් දැයි නිරීක්‍ෂකයා දන්නා බවත් එය බෝර්ගේ කෝපන්හේගන් විවරණයට පටහැණි බවත් ඉන් යථාර්ථවාදය තහවුරු වන බවත් යැයි අයින්ස්ටයින් කියා සිටියේ ය. එමෙන් ම අනෙක් අතට අංශු දෙක අතර සංනිවේදනයක් ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදුවන බවක් ඉන් ගම්‍ය වන්නේ යැයි පැවසූ අයින්ස්ටයින් තම සාපේක්‍ෂතාවාදය අනුව එය එසේ සිදුවිය නොහැකි යැයි කියා සිටියේ ය.

බෝර් ඒ පිළිබඳ ව කියා සිටියේ පැටළුණු අංශු එක් සමස්ත පද්ධතියක් මිස අංශු දෙකක් නොවන බව ය. සමස්ත පද්ධතියක අංශු එකිනෙකින් කෙතරම් දුරෙන් පිහිටිය ද ඒවා පද්ධතියක් ලෙස එකට ක්‍රියා කරන බව බෝර් කියා සිටියේ ය. මේ පරස්පරයට පසු කලෙක ජෝන් බෙල් නම් අයිරිෂ් ජාතික භෞතික විද්‍යාඥයා ගණිතමය ප්‍රකාශනයක් ලබා දුන්නේ ය. එය අද බෙල් අසමානතා නමින් හැඳින්වෙයි. මෙරට යථාර්ථවාදීන් නොදැන සිටිය ද 1982 දී පමණ ප්‍රංශ ජාතික ඇස්පෙ හා පිරිස විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසු පැටළුණු අංශු අතර සංනිවේදනයක් වන බවත් අයින්ස්ටයින්ට වඩා බෝර් කී දේ පිළිගත හැකි බවත් අඩුම තරමෙන් ස්ථානීය යථාර්ථයක් නැති බවත් බටහිර භෞතික විද්‍යාඥයන් සුළු පිරිසකට වුවත් වැටහී ඇත.

එහෙත් බෝර් නිවැරදි බවක් මෙයින් ගම්‍ය නො වේ. අංශු පද්ධතියක් ලෙස ගත්ත ද ඒ අතර අන්තර්ක්‍රියාවක් වන්නේ කෙසේ ද යන්න ඔහු විස්තර නො කළේ ය. එහෙත් අපට වඩා වැදගත් වන්නේ පැටළුණු අංශු අතර ක්‍රියාකාරීත්වය විශේෂ සාපේක්‍ෂතාවාදය සමග නො ගැළපීම ය. අද වන විට න්‍යුට්‍රීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩ වේගයකින් චලනය වන බවට තොරතුරු ලැබෙමින් පවතියි. බෝර් කෙසේ කීවත් පැටළුණු අංශු අතර අන්තර්ක්‍රියා ක්‍ෂණික ව සිිදු නොවී ආලෝකයට වැඩි වේගයකින් සුළු වුවත් යම්කිසි කාලයකින් පසුව සිදුවන්නේ යැයි විශ්වාස කළ හැකි ය. මේ පිළිබඳ පත්‍රිකාවක් මෙවර කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදයට ඉදිරිපත් කෙරෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ බටහිර විද්‍යාඥයන්ගේ ඒකිකෘත ප්‍රවාදය ඉටු නොවන මංගල්‍යයක් බව ය.

Sunday, 3 April 2011

කෝපන්හේගන් විවරණය යථාර්ථවාදී වීම

මිනිසුන් නිරීක්‍ෂණය කළත් නැතත්, විඥානයක් සහිත නිරීක්‍ෂකයන් සිටියත් නැතත් අංශු ගැටෙයි. එසේ ගැටීමෙන් පසු ඇතැමි විට ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙනු ඇත. එහෙත් මෙි අගය පමණක් නොව අංශු ද ඇත්තේත් එදා තිබුණේත් අද අප වැනි නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරන, අර්ථකථනය කරන ආකාරයට මිස ඊනියා වාස්තවික පරමාර්ථ ආකාරයකට නො වෙි. විිද්‍යාලංකාර විවරණයේ ප්‍රධාන කරුණක් වනුයේ එයයි.

ඊනියා යථාර්ථවාදී විවරණය අනුව, අංශු අප ඇතත් නැතත් පවතියි. එපමණක් නොව අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට මැන්නත් නැතත් යමිකිසි නිශ්චිත අගයක් වෙයි. ඊනියා යථාර්ථවාදීන්ට අනුව ක්වොන්ටමි භෞතිකයට මෙි අගය කුමක් දැයි කල්තබා කිවහැකි නොවන බැවින් ඒ දැනුමි පද්ධතිය අසමිපුර්ණ වෙයි. මෙහි වැදගත් කරුණු තුනක් කියැවෙන බව තේරුමි ගත යුතු ය. ඉන් කරුණු දෙකක් අපි පළමුව සඳහන් කරමු. එකක් නමි මැන්නත් නැතත් අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් තිබෙන බව ය. අනෙක ඒ නිශ්චිත අගය ගැන පුරෝකථනයක් කිරීමට ක්වොන්ටමි භෞතිකයට නොහැකි බව ය.

මෙි කරුණු දෙක සමිබන්ධයෙන් විද්‍යාලංකාර විවරණයෙහි දී කියැවෙන්නේ වෙනත් ම දෙයකි. එහි ක්වොන්ටමි අංශුවලට මැන්නත් නොමැන්නත් ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් ඇතැයි නො පිළිගැනෙයි. එහි දී කියැවෙන්නේ එවැනි අගය එකකට වඩා ඇති බවත් මැනීමක් හෝ මැනීමට ලක්කිරීමක් හෝ හේතුවෙන් ඒ ගුණයකට අගයක් ලැබෙන බවත් එසේ ලැබෙන අගය නිරීක්‍ෂණය කිරීමට හැකි බවත් ය. කෝපන්හේගන් විවරණයෙහි දී ප්‍රතිබද්ධ ගුණවලට එකදු අගයක්වත් නැතැයි ද එයට අගයක් ලබා දෙන්නේ නිරීක්‍ෂකයා යැයි ද කියැවෙයි.

විද්‍යාලංකාර විවරණයත් කෝපන්හේගන් විවරණයත් යන දෙක ම මැනීමට පෙර ඒ අගය පුරෝකථනය කිරීමට නොහැකිවීම සමිබන්ධයෙන් එකඟ වෙයි. විද්‍යාලංකාර විවරණයෙහි දී මැනීමට පෙර යන්න මැනීමට හෝ මැනීමට ලක්කිරීමට හෝ පෙර යනුවෙන් සංශෝධනය වෙයි. එයට හේතුව නිරීක්‍ෂකයන්ගේ සවිඥානික මැදිහත්වීමකින් තොරව ද ඒ ගුණවලට අගයක් ලබාගත හැකි බැවිනි. මෙි කරුණු අප කීපවතාවක් ම සඳහන් කර ඇති නමුත් ඒ බව නැවත නැවතත් මතක් කිරීමෙි වරදක් නැත.

දැන් අපි තුන්වැනි කරුණ ගැන වැඩිදුරටත් සාකචිඡා කරමු. මෙය ක්වොන්ටමි භෞතිකයෙහි මෙන් ම නිවිටෝනීය හා සාපේක්‍ෂතාවාදී භෞතිකයේදීත්, එනමි සමිභාව්‍ය භෞතිකයේත් වැදගත් වෙයි. එහි දී ඊනියා යථාර්ථවාදී විවරණයෙන් කියැවෙන්නේ අප අද මනින අගය පමණක් නොව අංශු ද ලෝක නිර්මාණයේ සිට හෝ විකාශනයේ ඒ අංශු ඇති වූ දිනයේ සිට හෝ සැමදාමත් ලෝකයේ (විශ්වයේ) පැවති බව ය. අප වැනි සවිඥානික නිරීක්‍ෂකයන් කරන්නේ මෙි අංශු සහ ගුණ සොයා ගැනීම ය. එමෙන් ම ඒ ගුණවල අගය ද මැනගැනීම ය.

අපට මෙහි දී පැහැදිලි කිරීම සඳහා සමිභාව්‍ය භෞතිකය යොදාගත හැකි ය. විශේෂයෙන් ම නිවිටෝනීය යාන්ත්‍රිකය යොදාගත හැකි ය. එසේ කරන්නේ එය කාහටත් පාහේ තේරුමි ගත හැකි සරල පද්ධතියක් වන බැවිනි. නිවිටෝනීය යාන්ත්‍රිකයෙහි අංශුවක හෝ වස්තුවක හෝ ගම්‍යතාව මෙන් ම පිහිටීම ගැන ද එක්විට කියැවෙයි. ඒ ගුණ ප්‍රතිබද්ධ ගුණ වුවත් නිවිටෝනීය යාන්ත්‍රිකයට එහි ගැටළුවක් නැත. ඒ ගුණවල අගය එකවිට පවතින අතර ඒවා එකවිට මැනගත හැකි ද වෙයි. එපමණක් නො වෙි. මැනගත්තත් නැතත් නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අගය මෙන් ම අංශු හා වස්තු ද පවතියි.

කෝපන්හේගන් විවරණයට ද නිවිටෝනීය අංශු හා වස්තු සමිබන්ධයෙන් ගැටළුවක් නැත. එයට අනුව ද නිවිටෝනීය අංශු හා වස්තු පවතියි. අප නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අංශු හා වස්තු පවතියි. එසේ නමි වර්තමානයේ දී මෙන් ම ඉතා ඈත අතීතයේ දී ද ඒ අංශු හා වස්තු ද එහි ගුණ ද අපෙන් තොරව, එනමි නිරීක්‍ෂකයාගෙන් තොරව පැවතිය යුතුව ඇත. නිවිටෝනීය අංශු හා වස්තු නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින්නේ යැයි කෝපන්හේගන් විවරණයෙහි කියන්නේ යැයි අප සඳහන් කරන්නේ එයට පටහැණි වන්නක් එහි කියා නැති බැවිනි.

එහෙත් මෙහි ගැටළුවක් ඇතැයි යමකුට සිතෙන්නට හැකි ය. ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නිරීක්‍ෂණය කළ නොහැකි දේ ගැන කිසිවක් කිව නො හැකි ය. ඈත අතීතයේ යමක් පැවතියේ යැයි ඉන්ද්‍රියානුභූතවාදයට අනුව අප තීරණය කරන්නේ කෙසේ ද? මෙහි දී ද අතීතයට බලපාන පරිදි නිරීක්‍ෂකයා තම සංකල්ප නිර්මාණය කරගන්නේ ය යන්න යොදා ගැනීමට සිදුවෙයි. ඉන්ද්‍රියානුභූතවාදයට ප්‍රශ්නයක් වන්නේ වර්තමානයේ දී ද යමක් නිරීක්‍ෂණය කිරීමට නොහැකි වූ විට ඒ සමිබන්ධයෙන් නිගමනවලට පැමිණීමෙි දී ය. ක්වොන්ටමි අංශුවක හෝ පද්ධතියක හෝ ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ගැන ද වර්තමානයේ දී ද ඒ නිරීක්‍ෂණය කරන තෙක් කිසිවක් කිව නොහැකි ය.

එහෙත් වර්තමානයේ දී නිවිටෝනීය අංශුවක පිහිටීම හා ගම්‍යතාව ගැන යමක් කීම කෝපන්හේගන් විවරණයට ප්‍රශ්නයක් නොවන්නේ ඒවා සමගාමීව නිරීක්‍ෂණය කළ හැකි බැවිනි. එබැවින් ඒ ගුණ නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින්නේ යැයි කීම කෝපන්හේගන් විවරණයට ගැටළුවක් නො වෙයි. එයින් පෙනී යන්නේ නිවිටෝනීය ඉන්ද්‍රිය ගෝචර අංශු හා පද්ධති හා සාධාරණ වශයෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සමිබන්ධයෙන් කෝපන්හේගන් විවරණය ද ඊනියා යථාර්ථවාදී විවරණයක් බවට පත්වන බව ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හා සංකල්ප සමිබන්ධයෙන් ඊනියා යථාර්ථවාදී විවරණයක් බවට පත්වීමටත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිිද්ධි සමිබන්ධයෙන් වෙනත් ස්ථාවරයකටත් යොමු වන්නේ ඉන්ද්‍රියානුභූතවාදයේ ආභාසයෙනි. එකී ඉන්ද්‍රියානුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්ටි මාක් විද්වතා භෞතික විද්‍යාවෙි පැහැදිලි කිරීමි ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් පමණක් කළයුතු බව ප්‍රකාශ කෙළේ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට විශේෂිත වැදගත්කමක් ආරෝපණය කිරීමෙන් ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සමිබන්ධයෙන් එතරමි වැදගත්කමක් දැක්වූයේ මාක් විද්වතා වැන්නන් ඉන්ද්‍රියානුභූතවාදයේ දී ද එලෙස ම ක්‍රියාකර ඇති බැවින් යැයි සිතිය හැකි ය. මාක් විද්වතා බුදුදහම ගැන ද උනන්දුවක් දැක්වූවෙක් විය. ඔහු බුදුදහමෙි ප්‍රත්‍යක්‍ෂය ගැන කියන දේ ඇතැමි විට වැරදියට අවබෝධ කරගත්තා විය හැකි ය. බුදුදහමෙි ප්‍රත්‍යක්‍ෂය යනු පංචෙන්ද්‍රිය ගැන කතාකරන ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකට වඩා බටහිර අර්ථයෙන් නමි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රත්‍යක්‍ෂයකි. එය ඉන්ද්‍රියක් වූ ද එහෙත් බටහිරයන්ගේ පංචෙන්ද්‍රියන්ට අයත් නොවන්නා වූ ද මනසට ඇතිවන ප්‍රත්‍යක්‍ෂයකි.

මාක් විිද්වතාට මෙි ගැන එතරමි නිරවුල් වැටහීමක් නොවූ බව පැහැදිලි ය. ඔහුට පමණක් නොව බුදුදහම ගැන ලියන කියන බොහෝ බටහිර පඬුවන්ට බුදුදහමෙි සංකල්ප ගැන එතරමි අවබෝධයක් නැත. එහෙත් අපේ බෞද්ධ විද්වත්තු බොහෝ විට බුදුදහමෙි එන ධර්ම කරුණු ද පැහැදිලි කරගැනීම සඳහා බටහිර පඬුවන් වෙත ඇදී යන්නේ පහනට ආකර්ෂණය වන ඇතැමි කෘමීන් මෙනි. ඔවුහු විනාශය කරා ඇදී යති.

ඒ කෙසේ වෙතත් ඉන්ද්‍රියානුභූතවාදය අනුසාරයෙන් ගොඩනැගුණු කෝපන්හේගන් විවරණයෙන් බටහිර දර්ශනයේ ඇතැමි අංශවලට පහර වැදිණි. විශේෂයෙන් ම වාස්තවික දැනුමට හා අඩුම තරමින් ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තු සමිබන්ධ දැනුම සමිබන්ධයෙන් නිරීක්‍ෂකයාගේ ස්වායත්තවීමට දරුණු ප්‍රහාරයක් එල්ල විණි. ඉන්ද්‍රිය ගෝචර නොවන, එනමි පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සංකල්ප ඉන්ද්‍රිය ගෝචර වීමෙි දී නිරීක්‍ෂකයාගේ මැදිහත්වීම මෙහි දී අපේ විශේෂ අවධානයට යොමු වෙයි.

ක්වොන්ටමි අංශුවක ප්‍රතිබද්ධ ගුණය ගැන කිසිවක් කිව නොහැකි බවත් එහි දී ඒ ප්‍රතිබද්ධ ගුණයේ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය යන බවත් ප්‍රකාශ කිරීමෙන් කෝපන්හේගන් විවරණය විසින් නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය අතර සමිබන්ධය එළි දැක්විණි. මෙය අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු වැනි ඉන්ද්‍රිය ගෝචර නොවන පද්ධතීන් සමිබන්ධයෙන් වාස්තවිකත්වයට හා යථාර්ථයට එල්ල කරන ලද මරු පහරක් විය.

1982 දී ඇස්පෙ විද්වතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසු කෝපන්හේගන් විවරණය තහවුරු විය. ඒ සමග නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය වෙන් කරනු ලැබූ කාටීසීය තාප්පය ද කඩා වැටිණි. කාටීසීය තාප්පය යන්නෙන් නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය තාප්පයකින් හෝ බිත්තියකින් හෝ මෙන් වෙන් කෙරී ඇති බවත් තාප්පයේ එක් පැත්තක ඇති නිරීක්‍ෂකයා තාප්පයේ අනෙක් පැත්තේ ඇති නිරීක්‍ෂ්‍යය නිරීක්‍ෂණය කරන්නේ නිරීක්‍ෂ්‍යය වාස්තවික පවත්නා එකක් ලෙස ගැනීමෙන් හා ඒ සමිබන්ධයෙන් බලපෑමක් නොකර බවත් ආදී වශයෙන් කෙරෙන උපකල්පනය හැඳින්වෙයි.

අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් නිරීක්‍ෂකයා සක්‍රීය වශයෙන් නිරීක්‍ෂණයේ දී මැදිහත්වන බව කෝපන්හේගන් විවරණයෙන් කියැවිණි. ක්වොන්ටමි අංශුවක ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ලබාදෙන්නේ නිරී’ක්‍ෂකයා බව කීමෙන් මෙි මැදිහත්වීම ප්‍රකාශවිණි. ඇස්පෙ විද්වතාගේ පරීක්‍ෂණවලින් පසුව අසූවෙි දශකයේ මුල්භාගයේ දී මෙි අදහස් අපට ද බලපෑවෙි ය. කෝපන්හේගන් විවරණයෙන් අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් වාස්තවිකත්වයක් නැති බවට අපට ඒත්තු ගැනිවිණි. එහෙත් නිවිටෝනීය පද්ධති සමිබන්ධයෙන් එයින් කිසිවක් නො කියැවෙන බව අපට කල්යෑමෙි දී අවබෝධ විය. ඉන්ද්‍රිය ගෝචර සංකල්ප හා ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප පිළිබඳ ව දෙයාකාරයකින් සැලකීම අපට ප්‍රශ්නයක් විය.

අංශු හා පද්ධති යනු මොනවා ද? අපේ මූලික ප්‍රශ්නය වනුයේ එයයි. ඊනියා යථාර්ථවාදී විවරණයටත් කෝපන්හේගන් විවරණයටත් මෙය ප්‍රශ්නයක් නො වෙි. පුටුව, පෑන ආදී පංචෙන්ද්‍රියන්ට ගෝචර වන දෑ අපෙන්, එනමි නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින බව ඒ විවරණ දෙකෙහි ම උපකල්පනය වෙයි. කෝපන්හේගන් විවරණයෙහි දී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප සමිබන්ධයෙන් නමි නිරීක්‍ෂකයා යමි මැදිහත්වීමක් කරන බව කියැවෙයි. එහෙත් ඒ ඊනියා මැදිහත්වීම ඒ කියන ආකාරයේ මැදිහත්වීමක් නොවන බවත් වඩා ගැඹුරු මැදිහත්වීමක් නිරී’ක්‍ෂකයා විසින් කෙරෙන බවත් අපට අවබෝධ විය. අපට ඒ අවබෝධය ලැබුණේ බුදුදහමෙනි.