Main Logo

Showing posts with label හිග්ස්. Show all posts
Showing posts with label හිග්ස්. Show all posts

Sunday, 5 August 2012

දේව අංශුව, ප්‍රථම හේතුව හා දේව ගුණය

බොහෝ විට හිග්ස් බෝසෝනයට දේව අංශුව යන නම දෙන්නට ඇත්තේ බටහිර ජනමාධ්‍යවේදියකු විය යුතු ය. ඒ නම දුන් තැනැත්තා ද බටහිර විද්‍යාඥයන් ද අයත්වන්නේ එකම සංස්කෘතියකට ය. බටහිර භෞතික විද්‍යාඥයන් එය තම ඊනියා ශාස්ත්‍රීය ලිපි ලේඛණවල දේව අංශුව නමින් සඳහන් නොකරනවා විය යුතු ය. ඔවුන් සමහරකු අදේවවාදීන් විය හැකි ය. එහෙත් ඔවුන් හිග්ස් බෝසෝනය දේව අංශුව ලෙස හැඳින්වීම ගැන බලවත් විරෝධයක් දක්වන්නේ යැයි සිතිය නො හැකි ය.

හිග්ස් බෝසෝනය දේව අංශුව ලෙස බෞතීස්ම කළ තැනැත්තා බටහිර ජනමාධ්‍යවේදියකු වුව ද නොවූව ද ඔහු අනිවාර්යයෙන් ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හැදුණු වැඩුණු තැනැත්තකු විය යුතු ය. ඔහු බටහිර භෞතික විද්‍යාව ගැන එතරම් දෙයක් දැන සිටියත් නැතත් ඔහුට ඒ සංස්කෘතිය ගැනත් හිග්ස් බෝසෝනයෙන් සිදුවන කාර්ය ගැනත් මනා අවබෝධයක් ඇති අයකු විය යුතු ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට ප්‍රසිද්ධියේ කිව නොහැකි දෙයක් ඔහු ප්‍රසිද්ධියේ කියා එය ලොවට ම, එනම් බටහිර යුදෙව් ක්‍රිස්තියානි නොවන ලොවත් ඇතුළත් මුළු ලොවට ම, දායාද කර ඇත.

බටහිර භෞතික විද්‍යාව බටහිර විද්‍යාවන් අතර වියුක්ත ම මෙන් ම බෙහෙවින් ම වර්ධනය වූ ද විද්‍යාව වෙයි. එබැවින් ම එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ද යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ද ඉහළ ම නිෂ්පාදිතයක් වෙයි. එසේ ම එහි ඒ චින්තනයෙහි හා සංස්කෘතියෙහි ප්‍රධාන ලක්‍ෂණ ද විදහා දැක්වෙයි. හිග්ස් බෝසෝනයට දේව අංශුව යනුවෙන් නම් කළේ කවු ද යන්න දැනගැනීම අපට අවශ්‍ය නො වේ. එහෙත් ඔහු එසේ නම් කිරීමෙන් කර ඇත්තේ කුමක් ද? ඉතා පැහැදිලිව ඔහු හිග්ස් බෝසෝනයට දේව ගුණ ඇති බව වටහාගෙන ඇත.

ඔහුට බටහිර භෞතික විද්‍යාඥයන්ට වඩා හොඳ වැටහීමක් ඒ සම්බන්ධයෙන් ඇති බව පැහැදිලි ය. අප මෙහි කතාකරන දේව ගුණ කවරේ ද? බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි දෙවියන් වහන්සේ තමන් වහන්සේ හැරෙන්න සියල්ල මැවූහ. ඒ සංස්කෘතියෙහි දෙවියන් වහන්සේ මවනු ලැබුයේ කවුරුන් විසින් ද යන්න නො කියැවෙයි. එසේ ම දෙවියන් වහන්සේට උන්වහන්සේ සතු යැයි කියන ගුණ ලබාදුන්නේ කවුරුන් විසින් ද යන්න ද නො කියැවෙයි. දෙවියන් වහන්සේ අඩුම තරමින් තමන් වහන්සේ විසින් මවන ලද බවක්වත් බයිබලයේවත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි වෙනත් ආගමික ලියවිල්ලකවත් සඳහන් නො වෙයි. දෙවියන් වහන්සේ මැවීමට සුපිරි දෙවියන් වහන්සේ කෙනකු සිටිය හැකි නො වේ.

සූපිරි දෙවියන් වහන්සේ කෙනකු ඇතැයි උපකල්පනය කිරීමෙන් ප්‍රශ්නයේ කෙළවරක් දැකිය නො හැකි ය. එවිට ප්‍රශ්නය වනුයේ ඒ සුපිරි දෙවියන් වහන්සේ මවන ලද්දේ කා විසින් ද යන්න ය. ඒ ප්‍රශ්නවල කෙළවරක් නැත. එබැවින් එක් මැවුම්කරුවකුගෙන් ප්‍රශ්නයේ කෙළවරක් දැකීමට බටහිරයන් කල්පනා කළා විය හැකි ය. කිසිවකු දෙවියන් වහන්සේ මවා නැත. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වී ද නැත. දෙවියන් වහන්සේ සදාකාලික ද නො වේ. දෙවියන් වහන්සේ කාලය මවා ඇත්තේ ලෝකය මැවීමත් සමග ය. එබැවින් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි කාලයට ද ආරම්භයක් ඇත. කාලයට මැවීමට පෙර කුමක් සිදුවිණි ද යන ප්‍රශ්නය පවා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඇසිය නො හැකි ය. එයට හේතුව පෙර යන සංකල්පය වලංගු වන්නේ කාලය යන්න මැවීමෙන් පසුව බැවිනි.

කාලය මැවීමට පෙර යන්න අර්ථවිරහිත ප්‍රකාශයක් පමණකි. එබැවින් දෙවියන් වහන්සේ සදාකාලික වන්නේ නම් එසේ වන්නේ කාලය මැවීමෙන් පසුව ය. අවශ්‍ය නම් කාලය මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ සදාකාලික යැයි කිවහැකි ය. කෙසේ වෙතත් මවනු නොලැබූ දෙවියන් වහන්සේ කාලය ද ඇතුළු අන් සියල්ල මවා ඇත. එසේත් නැත්නම් ඇතැම් දේ මවා ඉතිරි සියල්ල මැවෙන්නට සලස්වා ඇත. ඒ දේව ගුණයයි.

අප බොහෝ විට කියා ඇති ආකාරයට නූතනත්වය ආරම්භ වීමෙන් පසු බටහිර භෞතික විද්‍යාව ඇතුළු සියළු බටහිර දැනුම බටහිරයන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පදනම් කර ගනිමිනි. කතෝලික නොවන ක්‍රිස්තියානි ආගම් ද නිර්මාණය කෙරී ඇත්තේ එම චින්තනයෙහි ය. ආගමක් වුව ද නිර්මාණය කෙරෙන්නේ යම් චින්තනයක් පදනම් කරගනිමින් යම් සංස්කෘතියක ය. (යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඇති වීමට පෙර ක්‍රිස්තියානි ආගම් නොතිබුණ ද අපි එහි ඇති ලක්‍ෂණ හේතුකොටගෙන එය ඒ නමින් හඳුන්වමු.) ආගමක් පමණක් නොව වෙනත් දැනුමක් වුව ද නිර්මාණය කරනු ලැබීමෙණ් පසු ඒ ආගම හෝ දැනුම හෝ අදාළ සංස්කෘතිය විසින් වෙනස් කරනු ලැබෙයි. එය අපට ප්‍රශ්නයක් නො වේ.
එවැනි ප්‍රකාශ ප්‍රශ්නයක් වන්නේ චක්‍රීය චින්තනයක නොව ඒක රේඛීය චින්තනයක ය. ඒක රේඛීය චින්තනයක පටන්ගැන්මක් ඇත. එහි ප්‍රථම හේතුවක් ඇත. ඒක රේඛීය චින්තනයෙහි එක් තැනකින් පටන්ගෙන රේඛාවක් (මේ සඳහා ඕනෑම විවෘත වක්‍රයක් සැලකිය හැකිය) දිගේ මෙන් එකින් එකක් ඇති වී පළමුවැන්න දෙවැන්නහි හේතුවක් වී ගලා යන පිළිවෙළක් වෙයි. සෑම දෙයකට ම හේතුවක් ඇතැයි කීවත් ප්‍රථම හේතුවට හේතුවක් නැත. ප්‍රථම හේතුවට ද හේතුවක් වේ නම් එය ඊනියා ප්‍රථම හේතුව විය නො හැකි ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රථම හේතුවක් ඇත. මෙය එම චින්තනයෙහි පමණක් නොව රේඛීය චින්තනයක ලෂණයකි.

එයට හේතුව රේඛීය චින්තනයෙහි ආරම්භක ලෂ්‍යයක් වීම ය. ඒ ආරම්භක ලෂ්‍යය සෑම දෙයක ම ආරම්භය වෙයි. එහෙත් චක්‍රීය චින්තනයක ආරම්භයක් නැත. එය සංවෘත වක්‍රයක මෙන් ම එක් තැනකින් ආරම්භ නො වෙයි. සිංහල බෞද්ධ චින්තනය සංවෘත චින්තනයකි. එහි ආරම්භයක් නැත. පටිච්චසමුප්පාදය ද සංවෘත චින්තනයක ක්‍රියාත්මක වෙයි. විශ්වයේ ආරම්භය හෝ අවසානය හෝ ගැන නොසිතන ලෙස බුදුන් වහන්සේ දේශනා කළහ.

දෙවියන් වහන්සේ පැහැදිලිව ම එවැනි ප්‍රථම හේතුවකි. දෙවියන් වහන්සේ කෙනකු නිර්මාණය වන්නේ රේඛීය චින්තනයක ය. දෙවියන් වහන්සේ අන් සියල්ලට ම හේතුව (උන්වහන්සේ නිර්මාපකයා ලෙස ගත්කල) නමුත් උන්වහන්සේ පහළවීමට (මේ වචනය නිවැරදි නොවේ. පහළවන්නේ යම් තැනක ය. එහෙත් දෙවියන් වහන්සේ ලෝකය මැවූ හෙයින් එසේ පහළවීමට තැනක් නැත) හෝ ඇතිවීමට හෝ වෙනත් යමකට හෝ හේතුවක් නැත. ප්‍රථම හේතුවට හේතුවක් නැත.

දෙවියන් වහන්සේ පිළිබඳ කතාව බටහිර නිර්මාණය වූවක් නොවන බව ද අමතක නොකළ යුතු ය. එහි උපත පලස්තීනය හා ඒ අවට වෙයි. පලස්තීනය හා අවට වාසය කළ ජනතාවට තිබී ඇත්තේ රේඛීය චින්තනයක් සහිත සංස්කෘතියකි. යුදෙව් ආගම මෙන් ම ඉස්ලාම් ආගම ද ඒ සංස්කෘතියෙහි බිහි වී ඇත. ග්‍රීකයන්ට ද තිබී ඇත්තේ රේඛීය චින්තනයකි. යුක්ලීඩීය ජ්‍යාමිතිය වැනි විෂයයක් ග්‍රීසියේ බිහිවී ඇත්තේ එබැවිනි. යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ආරම්භයක් වෙයි.

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ආරම්භයේ දී ම ස්වසිද්ධි කිහිපයක් වෙයි. එයට අමතර ව අර්ථදැක්වීම් කිහිපයක් ද වෙයි. තලයක් යන්න සරල රේඛාවලින් හා ලක්‍ෂ්‍යවලින් අර්ථ දැක්වෙයි. සරල රේඛාවක් ලක්‍ෂ්‍යවලින් අර්ථ දැක්වෙයි. එහෙත් ලක්‍ෂ්‍යය අර්ථ දක්වන්නේ කෙසේ ද? එය සරල රේඛාවලින් අර්ථ දැක්විය නොහැක්කේ සරල රේඛා ලක්‍ෂ්‍යවලින් අර්ථ දක්වා ඇති බැවිනි. රේඛීය චින්තනයක අර්ථ දැක්වීම් ගැන සඳහන් කරන විට කියැවෙන මූලික කරුණක් නම් යමක් දෙවැනි දෙයක් ඇසූුරෙන් අර්ථ දක්වා ඇත්නම් ඒ දෙවැන්න පළමුවැන්න ආශ්‍රයෙන් අර්ථ දැක්විය නො යුතු බව ය.

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ලෂ්‍යයකට අර්ථ දැක්වීමක් නැත. ලක්‍ෂ්‍යය යන්න අර්ථ නොදක්වන ලද ජ්‍යාමිතික (ගණිතමය) භූතාර්ථයකි. එය යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි සංකල්ප සම්බන්ධයෙන් වූ ප්‍රථම හේතුවක් ලෙස සැලකිය හැකි ය. ලක්‍ෂ්‍යය එසේ අර්ථ නොදක්වන ලද භූතාර්ථයක් ලෙස ගෙන අනෙක් භූතාර්ථ ඒ ඇසුරෙන් අර්ථ දැක්වෙයි. ඒ අර්ථයෙන් ගත්කල මුළු යුක්ලීඩීය ජ්‍යාමිතිය ම අර්ථ නොදක්වන ලද දැනුම් පද්ධතියකි.

එසේ ම යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ස්වසිද්ධි (ඒවාට ප්‍රත්‍යක්‍ෂ යැයි ද කියන නමුත් ඒ වැරදිය. ඒවා ප්‍රත්‍යක්‍ෂ නො වේ. ස්වසිද්ධි යන්න උචිත යැයි සිතමි) සාධනය නොකරන ලද ප්‍රකාශ වෙයි. දෙන ලද සරල රේඛාවකට සමාන්තරව එම සරල රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඇඳිය හැක්කේ එකම එක සරල රේඛාවක් ය යන්න යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි එක් ස්වසිද්ධියකි. එය වෙනත් ස්වසිද්ධි යොදාගෙන සාධනය කළහැකි නො වේ. බටහිර ගණිතඥයන් ඒ ස්වසිද්ධිය අනෙක් ස්වසිද්ධි යොදාගෙන සාධනය කිරීමට උත්සාහ කර ඇති නමුත් එය සාර්ථක වී නැත.

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි දී කෙරෙන්නේ අර්ථ දැක්වීම් හා ස්වසිද්ධිවලින් ආරම්භ කර ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගනිමින් යම් යම් ප්‍රකාශ ලබා ගැනීම ය. මේ ඇතැම් ප්‍රකාශවලට ප්‍රමේය යනුවෙන් කියැවෙයි. ප්‍රමේය සාධනය කෙරෙන නමුත් ස්වසිද්ධි සාධනය නො කෙරෙයි. එලෙස ගත්කල අදාළ ස්වසිද්ධි යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ප්‍රථම හේතු කුලකයක් ලෙස සැලකිය හැකි ය. මෙය යුක්ලීඩීය ජ්‍යාමිතියට පමණක් සීමා වුවක් නොවේ. මුළු මහත් බටහිර ගණිතය ම ගොඩ නැගී ඇත්තේ ඒ ආකෘතියෙහි ය.

බටහිර ගණිතයෙහි ඕනෑම ක්‍ෂෙත්‍රයක කෙරෙන්නේ අර්ථ නොදක්වන ලද නිශ්ශූන්‍ය සංකල්ප කුලකයකින් හා සාධනය නොකරන ලද ස්වසිද්ධි කුලකයකින් පටන්ගෙන ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් ගණිතමය ප්‍රකාශ ලබා ගැනීම ය. ඒ ඇතැම් ප්‍රකාශවලට ප්‍රමේය යනුවෙන් කියැවෙයි. ප්‍රමේය යනු වඩා සාධාරණ වූ ද ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් වෙනත් ප්‍රකාශ ලබාගත (සාධනය කළ) හැකි වූ ද ප්‍රකාශ වෙයි. ඇරිස්ටෝටලීය න්‍යාය ද උද්ගමන පමණක් බව අමතක නොකළ යුතු ය. මෙයින් පැහැදිලි වන කරුණ නම් බටහිර ගණිතයේ දී යමක් සත්‍යය ද නැත් ද යන්න අර්ථ විරහිත බව ය. ස්වසිද්ධි සත්‍ය දැයි දන්නකු නැත. ඒ ගණිතමය වශයෙන් ද සාධනය නොකරන ලද ප්‍රකාශ වෙයි. ඒ හැරෙන්නට එහි අර්ථ නොදක්වන ලද සංකල්ප (ගණිතමය භූතාර්ථ) වෙයි.

දෙවියන් වහන්සේ, ගණිතය ආදිය රේඛීය චින්තන මත පදනම් වී ඇත යන්නෙන් ඕනෑම රේඛීය චින්තනයක දෙවියන් වහන්සේ කෙනකු ඇතිවිය යුතු ය යන්න නො කියැවෙයි. එමෙන් ම ඕනෑම රේඛීය චින්තනයක බටහිර ගණිතය බටහිර විද්‍යාව වැනි විෂය ඇතිවිය යුතු ය යන්න ද නො කියැවෙයි. ග්‍රීකයන්ට දෙවියන් වහන්සේ කෙනකු නො වී ය. එමෙන් ම යුදෙව් චින්තනය ද රේඛීය වූ නමුත් ඔවුන්ට ජ්‍යාමිතියක් නො වී ය. ඇතැම් රේඛීය චින්තනවල ඒ ඒ සංකල්ප, අදහස්, දැනුම් පද්ධති නිර්මාණය වෙයි.

ප්‍රථම හේතුවට හේතුවක් නැත. එය දෙවියන් වහන්සේ මෙනි. හිග්ස් බෝසෝනය දේව අංශුව ලෙස බෞතීස්ම කෙරුණේ කා අතින් වුව ද ඔහුට ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ගැන මනා අවබෝධයක් තිබී ඇති බව පැහැදිලි ය. හිග්ස් බෝසෝනය දෙවියන් වහන්සේ මෙනි. එය අනෙක් බෝසෝනවලට ස්කන්ධය ලබා දෙයි. එනම් අනෙක් අංශුවල ස්කන්ධය මවයි. එහෙත් එහි ස්කන්ධය නිර්මාණය කරන්නකු හෝ අංශුවක් හෝ නැත. එයටත් වඩා දේව ගුණයක්් අංශුවකට තිබිය හැකි ද?

Sunday, 15 July 2012

දේව අංශුවේ ස්කන්ධය

අප ප්‍රවාදවලින්, එසේත් නැත්නම් ප්‍රවාද යොදාගෙන තේරුම් නොගැනීම සාකච්ඡා කිරීමට පටන්ගත්තේ ක්වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගන්නේ කෙසේ ද යන්න අපේ අවධානයට යොමු වීමෙන් පසුව ය. ක්වොන්ටම් අංශුවක් එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට චලනය වන්නේ කෙසේ ද? එය අපේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එය අපේ ප්‍රත්‍යක්‍ෂය නො වේ. ක්වොන්ටම් අංශුවක් දුටු අයකු නැත. බටහිර විද්‍යාඥයන් දකින්නේ සේයා පටවළ සඳහන් වන රේඛා පමණකි. ඒ රේඛා ඇතැම් විට බෙදෙයි. එකතු වෙයි. බටහිර විද්‍යාඥයෝ මේ ඡායාරූප විශ්ලේෂණය කරති. ඔවුහු එහි අංශු දකිති. ඒ යම් ප්‍රවාද හා ඒ ප්‍රවාදවල අර්ථවිවරණවලට අනුකූලව ය. බටහිර විද්‍යාඥයෝ බොහෝ දුරට සංගත ව මේ කාර්යයෙහි නිරත වෙති.

පසුගිය දා බටහිර විද්‍යාඥයන් අතර මහත් ආන්දෝලනයකට ලක් වූ ඊනියා දේව අංශුව (God Particle)හෙවත් හිග්ස් බෝසෝනය ද බටහිර වි්‍යාඥයන් විසින් නිරීක්‍ෂණය කෙරී නැත. ඔවුන් දැක ඇත්තේ ස්විට්සර්ලන්තයේ සර්න් පරීක්‍ෂණාගාරයෙහි අංශු ගැටීම්වලට භාජනය කෙරුණු උපකරණවල සේයා පටවළ සඳහන් වූ රූප සමූහයකි. මේ රූප සමූහය විවරණය කරන බටහිර විද්‍යාඥයෝ එයින් හිග්ස් බෝසෝනයේ ගුණවලට බොහෝ සමානකම් ඇති අංශුවක් දකිති. මෙහි දකිති යනුවෙන් සඳහන් වන්නේ අංශුව දැකීමක් නොව අංශුවක් ඇතැයි යන අර්ථකථනයක් පමණකි. ඒ දැකීමෙහි ද හිග්ස් බෝසෝනයෙහි ගුණවලින් යම් ප්‍රමාණයක් දැකීමට බටහිර විද්‍යාඥයෝ අසමත් වෙති. එහෙත් බටහිර විද්‍යාඥයන්ගෙන් බොහෝ දෙනෙක් තම අර්ථකථනයට අනුව තමන් දකින්නේ හිග්ස් බෝසනයක් යැයි සලකති. කෙසේ වෙතත් බටහිර විද්‍යාඥයන් දැක ඇත්තේ හිග්ස් බෝසනය මැයි අපි උපකල්පනය කරමු.

එහෙත් මේ අංශුවට (කොමා ඇතුළෙහි වුවත්) බටහිර විද්‍යාඥයන් ඊනියා දේව අංශුව යැයි කියන්නේ ඇයි? මේ අංශුව හේතුකොට ගෙන බටහිර විද්‍යාවේ සඳහන්වන මූලික අංශුවලට ස්කන්ධය යන ගුණය ලැබේ යැයි බටහිර විද්‍යාඥයෝ කියති. මේ අංශුව මගින් නිරූපණය වන ක්‍ෂෙත්‍රයක් ඇතැයි සලකන බටහිර විද්‍යාඥයෝ වෙනත් අංශු මේ ක්‍ෂෙත්‍රය සමග ඇතිකරන අන්තර් ක්‍රියා හේතුවෙන් ඒ අනෙක් අංශුවලට ස්කන්ධය නම් ගුණය ලැබෙන්නේ යැයි සිතති. එසේ ස්කන්ධයක් නො ලැබිණි නම් ඒ අංශු ද ෆෝටෝන හෙවත් ආලෝක අංශු මෙන් විශ්වයේ සැරිසැරීමට තිබිණි යැයි බටහිර වි්‍යාඥයෝ කියති. එසේ වී නම් අංශු එකතුවීමක් හා ඒ ඔස්සේ සූර්යයා මන්දාකිණි, ග්‍රහ වස්තු ආදී වස්තු ඇතිවීමක් දැකීමට අවස්ථාවක් නොකැබෙනු ඇතැයි බටහිර භෞතික විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. කෙටියෙන් කිවහොත් හිග්ස් බෝසෝනය නොවන්නට අපත් නැත.

හිග්ස් බෝසෝනය යම් ක්‍ෂෙත්‍රයකට තුල්‍ය යැයි ද ඒ ක්‍ෂෙත්‍රය විශ්වය පුරා සෑම තැනම පැතිරී ඇතැයි ද කියැවෙයි. අනෙක් බෝසොාන මෙම ක්‍ෂෙත්‍රය සමග අන්තර්ක්‍රියාවක යෙදීමේ ප්‍රතිඵළය වනුයේ ඒ අනෙක් බෝසෝනවලට ස්කන්ධය නම් ගුණය ලැබීම ය. එහෙත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. හිග්ස් බෝසෝනයට ස්කන්ධයක් ලැබෙන්නේ කෙසේ ද? පීටර් හිග්ස් විද්වතාට හා අනෙක් අයට හිග්ස් බෝසෝනය පිළිබඳ අදහස ඇති වී ඇත්තේ 1964 අවුරුද්දේ ය. ඒ අනෙක් බෝසෝනවලට ස්කන්ධය නම් ගුණය ලැබෙන්නේ කෙසේ දැයි තේරුම් කිරීමට ය. එහෙත් හිග්ස් බෝසෝනයට ස්කන්ධය දෙන්නේ කවු ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමට ඔවුන් උත්සාහ කර නැත.

දැන් අපට අංශුවක ස්කන්ධය යන සංකල්පය තේරුම් ගැනීමට හැකි ද? අපට පාසලේ දී අංශුවක හෝ වස්තුවක හෝ ස්කන්ධය යන්න එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස උගන්වන ලදී. එය දැන් පාසල්වල කෙසේ ඉගැන්වෙන්නේ දැයි නො දනිමි. එකල එය තේරුම් ගැනීමට මට නොහැකි වූ බව නම් කිව යුතු ය. විභාගවලට ඉගෙන ගන්නා විට නොතේරෙන දෙයක් වේ නම් එය මතක තබාගැනීම සාමාන්‍යයෙන් කෙරෙන දෙයයි. එහෙත් විභාගවලින් බාහිර ව යමක් ඉගෙන ගැනීමේ දී අපට එයින් සෑහීමට පත්විය නො හැකි ය. ඒ තේරුම් ගැනීමට උත්සාහ කරමු. අපට එය ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත යුතු ය.

ස්කන්ධය යනු අංශුවක ද්‍රව්‍ය ප්‍රමාණය යැයි කී විට අවබෝධ වන්නක් නැත. එහෙත් එය අංශුව හිග්ස් බෝසෝනය සමග ඇතිකෙරෙන අන්තර් ක්‍රියාවකින් පසු අංශුවට ඇති වන ගුණයක් යැයි කී විට එයින් පාසලේ දී උගත් දෙයට වඩා යමක් නූගැන්වෙයි. පාසලේ දී අඩු තරමෙන් ස්කන්ධය යන්න ස්කන්ධය යන සංකල්පය යොදා ගැනීමකින් තොරව විස්තර කෙරෙයි. එහෙත් අංශුවක ස්කන්ධය හිග්ස් බෝසෝනය ඔස්සේ තේරුම් ගැනීමේ දී කුමක් සිදුවේ ද? මෙහි දී ප්‍රධාන ම ප්‍රශ්නය වනුයේ හිග්ස් බෝසෝනයට ද ස්කන්ධයක් තිබීම ය. එහි ස්කන්ධය 125.3 GeV ශක්තියකට තුල්‍ය යැයි සඳහන් වෙයි. මෙහි GeV යනුවෙන් සඳහන් වන්නේ ගිගාඉලෙක්ට්‍රෝනවෝල්ටයකි. 1 GeV ක් කිලෝ ග්‍රෑම් 1.783×10−27 ස්කන්ධයකට තුල්‍ය වෙයි. අයින්ස්ටයිනීය E=mc2 සමීකරණයට අනුව ස්කන්ධය ශක්තියට තුල්‍ය වශයෙන් ලිවිය හැකි ය.

මෙහි දී ප්‍රශ්නය වනුයේ වෙනත් බෝසෝනයක ස්කන්ධය හිග්ස් බෝසෝනයේ ස්කන්ධය උපයෝගී කරගනිමින් ලිවීම ය. හිග්ස් බෝසෝනයට ස්කන්ධය නම් ගුණය ලැබෙන්නේ කෙසේ දැයි නො කියැවෙයි. එය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ ද? බටහිර භෞතික විද්‍යාඥයන් හිග්ස් බෝසෝනයට දේව අංශුව යැයි ප්‍රසිද්ධියේ නොකියනු ඇත. එහෙත් බටහිර විද්‍යාව නිර්මාණය කෙරෙන යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් හිග්ස් බෝසෝනය දැනටමත් දේව අංශුව ලෙස බෞතීස්ම කරනු ලැබ ඇත. මා සිතන අයුරෙන් නම් බටහිර භෞතික විද්‍යාඥයන් බොහෝ දෙනකු ප්‍රසිද්ධියේ නොකීව ද ඔවුන් ද එය අනුමත කරනු නිසැක ය.

එයට හේතුව බටහිර විද්‍යාඥයන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි තම දැනුම නිර්මාණය කිරීම ය. ඔවුන් ඒ පිළිබඳ ව සවිඥානික වුවත් නැතත් හිග්ස් බෝසෝනයට වෙනත් භෞතික හේතුවක් නිසා ස්කන්ධයක් නො ලැබෙයි. බටහිර විද්‍යාඥයෝ විශ්වයේ ඕනෑම ප්‍රපංචයක් ඊනියා භෞතික හේතු ඇසුරෙන් විස්තර කරන බව මහත් උජාරුවෙන් කියති. ඊනියා හේතුවාදීහු හෙවත් බුද්ධිවාදීහු ද ප්‍රපංච සඳහා හේතු දෙති. එහෙත් බටහිර විද්‍යා ආකෘතිය අනුව විශ්වය සම්බන්ධයෙන් ප්‍රධාන ම කරුණ වනුයේ අවුරුදු බිලියන 13.7කට ඉහත දී සිදු වී යැයි කියන මහා පිපිරුම හෙවත් විශ්වයේ ආරම්භය ය. එය ප්‍රධාන ම කරුණ වුවත් බටහිර විද්‍යාඥයන්ට ඒ සඳහා හේතුවක් දැක්විය නො හැකි ය. ඊනියා හේතුවාදීන්ට බටහිර විද්‍යාව ගැන කිව හැක්කේ කුමක් ද? ඔවුහු හේතුවක් දැක්වීමට නොහැකි මහා පිපිරුම පිළිගනිත් ද?

හිග්ස් බෝසෝනය විශ්වය ඇති වී තත්පරයෙකින් ට්‍රිලියනයකින් එකක් ඇතුළත නිර්මාණය වී යැයි කියනු ලැබෙයි. එහෙත් එය ඇතිවීමටවත් එයට ස්කන්ධයක් තිබීමටවත් හේතුවක් බටහිර භෞතික විද්‍යාවෙන් නො කියැවෙයි. මෙය ඕනෑම රේඛීය දැනුම් පද්ධතියක ඇති ප්‍රශ්නයකි. රේඛීය දැනුම් පද්ධතිවල මුලක් ඇත. ඒ මුල තේරුම් කර දීමට වෙනත් මුලක් නැත. ප්‍රත්‍යක්‍ෂය මත නොව උද්ගමනය මත පදනම්වන වියුක්ත දැනුම් පද්ධතියක් වූ බටහිර විද්‍යාවෙහි මේ ප්‍රශ්නය වඩාත් තීව්‍ර ආකාරයකින් මතුවෙයි.

බටහිර යුදෙව් සංස්කෘතියෙහි හිග්ස් බෝසෝනයට ස්කන්ධයක් ලැබීමට හේතුව නො කියැවෙයි. එහෙත් ඊනියා හිග්ස් ක්‍ෂෙත්‍රය සමග අන්තර්ක්‍රියාවෙන් පසු අනෙක් බෝසෝනවලට ස්කන්ධ ලැබෙයි. වෙනත් වචනවලින් කිවහොත් බෝසෝනය එක් අතෙකින් ගත්කල තමන් ම තමන්ට ස්කන්ධය ලබා ගෙන අනෙක් අංශුවලට ස්කන්ධය ලබාදෙන දේව අංශුවක් ලෙස ක්‍රියා කරයි. තවත් පැත්තකින් ගත්කල හිග්ස් බෝසෝනයට ස්කන්ධය ලබාදුන්නේ දෙවියන් වහන්සේ යැයි ගෙන එයට දේව අංශුව යැයි කිව හැකි ය. බටහිර භෞතික විද්‍යාඥයන් කුමක් කීවත් ඔවුන්ට දෙවියන් වහන්සොගෙන් වෙන් විය නො හැකි ය.

බටහිර විද්‍යාව නිර්මාණය වන්නේ ම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. එහි දැනුම් පද්ධතියට ආරම්භයක් ඇත. එනම් මැවීමක් ඇත. ඒ මැවීමට මැවුම්කරුවකු නැතැයි බටහිර විද්‍යාඥයන්ට කිව හැකි ය. එසේ වුවත් හේතුවක් නොමැතිව ඇතිවූවක් එහි වෙයි. මහා පිපිරුම මෙන් ම හිග්ස් බෝසෝනය ද එයට උදාහරණ වෙයි. ඒවා ප්‍රත්‍යක්‍ෂයෙන් වියෝ වූ සංසිද්ධි ය. මේ වියුක්ත සංසිද්ධිවලට ඊනියා තේරුමක් ලබාගත හැක්කේ එලෙස ම ප්‍රත්‍යක්‍ෂ නොවූ වියුක්ත දෙවියන් වහන්සේ කෙනකු හෝ ඒ දෙවියන් වහන්සොගේ යම් තුල්‍ය සංකල්පයක් ඔස්සේ ය.

හිග්ස් අංශුව දේව අංශුව ලෙස නම් කළේ කවුරුන් දැයි නො දනිමි. කවුරුන් විසින් එසේ නම් කෙරුණ ද ඒ තැනැත්තා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඇති දැඩි වූවකු බව පැහැදිලි ය. ඔහු බටහිර විද්‍යාඥයකු වුවත් නැතත් තමන් කරන දේ පිළිබඳ ඉවෙන් දැනගත් අයකු විය යුතු ය. තම සංස්කෘතියෙහි අවසන් වශයෙන් යමක් තේරුම් ගන්නේ වියුක්ත වූ ද ප්‍රත්‍යක්‍ෂයක් නොවු ද දෙවියන් වහන්සේ කෙනකු මගින් බව ඔහු දැනගෙන සිටි බව පැහැදිලි ය. තම සංස්කෘතියට අදාළ ආකාරයට ඔහු ප්‍රත්‍යක්‍ෂයෙන් නොදන්නා එහෙත් හුදු විශ්වාසයෙන් පමණක් අදහන දෙවියන් වහන්සේ කෙනකු ඔස්සේ අනෙක් සියල්ල තේරුම් ගැනීමට උත්සාහ කරයි.

බටහිර විද්‍යාව මොන තරම් පාරම් බෑවත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වන බටහිර විද්‍යාවට දෙවියන් වහන්සේගේ ම පිහිට යැදීමට සිදුවෙයි. එහෙත් මෙරට බෞද්ධ යැයි කියාගන්නා ඊනියා විද්‍යාඥයෝ ද හේතුවාදීහු ද තවත් එවැනි පම්පෝරිකරුවෝ ද බටහිර විද්‍යාව සරණ යති. අප දැන්වත් මේ භයානක උගුලෙන් ඉවත් විය යුතු ය. බුදු දහම යනු ලොවේ වටිනා ම දැනුම ය. එවැනි දැනුමක් සහිතව අප බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි දේශපාලන හා සංස්කෘතික යටත්විජිතවාදයට යටවන්නේ ඇයි?

තේරුම් ගැනීම යන්න තේරුම් ගැනීම ම අසීරු කරුණකි. බටහිර විද්‍යාවෙහි යම් යම් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් ගැනෙන්නේ උද්ගමනයෙන්, වියුක්තකරණයෙන් හා තවත් උද්ගමනයක් පමණක් වූ ඇරිස්ටෝටලීය න්‍යායෙනි. එහි ප්‍රත්‍යක්‍ෂයක් ගැන කතා නො කෙරෙයි. එහි දී කෙරෙන්නේ ඊනියා ප්‍රවාද මත යැපීමකි. එහෙත් බටහිරයෝ ඒ ගැන තැකීමක් නොකර ඔවුන්ගේ වියුක්ත දැනුම පිළිගන්නා ලෙස අපට බලකරති.

බටහිරයෝ් හිග්ස් බෝසෝනය ගැන ලොකු ඝෝෂාවක් නගති. එහෙත් විශ්වයෙහි දැනට ඇතැයි කියන අංශුවලින් ඉතා සුළු ප්‍රමාණයක ස්කන්ධ පමණක් ඉහත සඳහන් අඩුපාඩු මැද හිග්ස් බෝසොානයෙන් තේරුම් ගත හැකි ය. බටහිර විද්‍යාඥයන්ට අනුව විශ්වයෙහි ඉතා වැඩි ප්‍රමාණයක් ඇත්තේ අඳුරු ද්‍රව්‍ය වෙයි. අඳුරු ද්‍රව්‍යවල ස්කන්ධය හිග්ස් බෝසෝනයෙන් විස්තර කළ නො හැකි ය. හිග්ස් බෝසෝනයෙන් තේරුම් ගත හැක්කේ ඊනියා සාමාන්‍ය අංශු ය.

ඒ හැරෙන්නට ඊනියා ගුරුත්වය ඇත්තේ සම්මත ආකෘතියෙන් බාහිර ව ය. අයින්ස්ටයිනීය සාධාරණ සාපේක්‍ෂතාවාදය සම්මත ආකෘතිය තුළට ගැනීමට තවමත් හැකි වී නැත. එහෙත් බටහිර විද්‍යාඥයන් කතා කරන්නේ සියල්ල තේරුම් කර දෙන මහා ප්‍රවාදයක් ඔවුන් කියන ආකාරයට සොයා ගැනීමට ය. ඔවුන්ගේ මහන්තත්වය එබඳු ය.