Main Logo

Showing posts with label බෝර්. Show all posts
Showing posts with label බෝර්. Show all posts

Friday, 30 September 2011

උපකරණ හා මිනිස්සු

එක නෙස්ටෝරියන් කුරුසයක් හමු වූ පමණින් අනුරාධපුරයේ ක්‍රිස්තු භක්තියන් ජීවත් වී යැයි නිගමනය කළ හැකි නො වේ. අනෙක් අතට ඒ කුරුසය හමුවූයේ කෙසේ ද යන්න පිළිබඳව ද විශ්වාස සහගත ව කිව හැක්කේ කුමක් ද? එකල අනුරාධපුරය ලෝකයේ ම වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ බවට සාක්‍ෂි වෙයි. විවිධ රටවලින් විවිධ සංස්කෘතීන්ට අයත් වූවෝ එහි පැමිණියහ. ඒ වෙළෙන්දන් අතර නෙස්ටෝරියන් ක්‍රිස්තු භක්තියන් සිටියේ නම් පුදුම වන්නට දෙයක් නැත. එහෙත් ඔවුන් අනරාධපුරයේ ස්ථිර ව ජීවත් වූ බවක් කිවහැකි නො වේ. එසේ ජීවත් වූයේ නම් ඔවුන්ගේ ව්‍යාප්තියක් සිදු නො විණි ද? මේ ආදී නොයෙකුත් ප්‍රශ්නවලට සංගත පිළිතුරු නොමැති විට ඇතැම්හු ලිපියෙහි එක් කරුණක් උපුටා දක්වමින් ඒ වැරදි බව පෙන්වීමට උත්සාහ දරති.

මෙවැනි පිරිස් ගියවර ලිපියෙන් උපුටා දක්වන්නේ සතුන්ට මනස් නැති බවට බටහිර විද්‍යාඥයන් විශාල බහුතරයක් දක්වන අදහස ය. එහි ඇත්තක් නැතැයි පෙන්වීමට සමහරු උත්සාහ ගනිති. බටහිර විද්‍යාඥයන් කිහිප දෙනකු මිනිසුන් නොවන සතුන්ට මනස් ඇත් ද නැත් ද යන්න දැනගැනීමට පරීක්‍ෂණ පවත්වන බව සැබෑ ය. ඔවුන්ගෙන් යම් පිරිසක් සතුන්ට මනස් ඇති බව පිළිගන්නා බව ද සත්‍යය. එහෙත් එපමණකින් බටහිර විද්‍යාඥයන් සමස්තයක් ලෙස සතුන්ට මනස් ඇතැයි පිළිගන්නා බවක් නො කියැවෙයි. ගිය සතියේ ලිපියෙන් මා කියා ඇත්තේ ද බටහිර ජීවත්වන විද්‍යාඥයබ්ගෙබ් සුළු පිරිසක් පමණක් සතුන්ට මනස් ඇති බව පිළිගන්නා බව ය. එය ද මෑතක සිට ය.

බටහිර විද්‍යාඥයන් විශාල පිරිසකට සතුන්ට මනස් ඇති බව පිළිගත නොහැක්කේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හේතුවෙනි. ඒ සංස්කෘතියෙහි සතුන් මවා ඇත්තේ මිනිසුන් සඳහා යැයි පැවසෙයි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මිනිසා වෙනුවෙන් මවා ඇති සතුන්ට මනස් නැත. ඇතැම් බටහිර විද්‍යාඥයන්ට අද සිදු වී ඇත්තේ හැකි නම් මේ සංස්කෘතික සීමා කඩා බිඳ දැමීම ය. සතුන්ට මනස් නැති බව බටහිර විද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීම බව නිව් සයන්ටිස්ට් සඟරාවෙහි ඒ පිළිබඳ ව විටින් විට පළවන ලිපි මගින් ද තහවුරු වෙයි. බටහිර විද්‍යාවට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නිසා ඇතිවන එකම සීමාව සතුන්ගේ මනස් සම්බනධයෙන් පැන නගින්න පමණක් නො වේ.

අප කලින් සඳහන් කර ඇති පරිදි අයින්ස්ටයින් විද්වතා ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් බැඳ දමා තිබිණි. ඔහු ක්වොන්ටම් භෞතික විද්‍යාවේ කෝපන්හේගන් විවරණය ප්‍රතික්‍ෂෙප කළේ තම සංස්කෘතිය මත පිහිටා ය. යථාර්ථය, වාස්තවිකත්වය ආදිය පිළිගත් සංස්කෘතියක හැදුණු වැඩුණු අයින්ස්ටයින්ට පරීක්‍ෂණවල ප්‍රතිඵල සම්භාවිතාවක් මගින් පමණක් පුරෝකථනය කිරීම ප්‍රමාණවත් නො වී ය. ඔහුට අවශ්‍ය වූයේ පරීක්‍ෂණ කිරීමට පළමුව ම අංශුවලට ඒ ඒ ගුණය සම්බන්ධයෙන් නිශ්චිත අගය ඇති බව පැවසෙන අර්ථවිවරණයකි. පෞද්ගලික හෝ පොදු හෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද ලෝකයක අංශුවලට ඒ ඒ ගුණය සම්බන්ධව නිශ්චිත අගය ඇතැයි ඔහු විශ්වාස කළේ ය. ඒ විශ්වාසය මත පදනම් ව අයින්ස්ටයින් කියා සිටියේ දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැති බව ය.

බෝර් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ අයින්ස්ටයින්ට දෙවියන් වහන්සේ කළ යුත්තේ කුමක් දැයි කියා දිය නොහැකි බව ප්‍රකාශ කරමිනිි. අනෙක් අතට බෝර්ට චීන දර්ශනයෙහි බලපෑම විය. ඊනියා යථාර්ථය ප්‍රතික්‍ෂෙප කිරීම ඔහුට ප්‍රශ්නයක් නො වී ය. ලෝකය නිර්ණිත එකක් ය යන්න ඔහු විසින් අත්හැර දැමිණි. ඔහු එසේ කියා නැතත් දෙවියන් වහන්සේ දාදු කෙළීම හැරෙන්නට වෙනත් කිසිවක් නොකරන්නේ යැයි කීමේ හැකියාව ඔහුට තිබිණි. අයින්ස්ටයින් තම සංස්කෘතිය පිළිගනිමින් දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි කියා තම මතයේ ම එල්ල ගෙන සිටියේ ය. ඔහුට ඒ සංස්කෘතික බලපෑම නොවන්නට ඔහු අතින් ක්වොන්ටම් භෞතිකයෙහි වර්ධනයට විශාල යහපතක් ඉටුවන්නට තිබිණි.

බටහිර විද්‍යාවේ ඇත්තේ ඒ නුසුදුසුකම පමණක් නො වේ. තාපගතික වි්‍යාව හා ක්වොන්ටම් භෞතික විද්‍යාව හැරෙන්නට බටහිර විද්‍යාවේ අනෙක් සියළු දැනුම් නිර්මාණය වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එහි න්‍යාය (ලඔගඉච) වනුයේ ඇරිස්ටෝටලීය න්‍යාය ය. පසුගිය දා ආසනික් සම්බන්ධ ප්‍රශ්නයෙහි දී ඇතැමුන් ඊනියා සම්පරීක්‍ෂණ හා පරීක්‍ෂණ ගැන කතාකළහ. කැලණිය විශ්වවිද්‍යාලයෙහි රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායමට අනෙක් ඊනියා පිළිගත් නිල කණ්ඩායම්වලට වඩා රජරටින් ලබාගත් ජල හා වෙනත් නියැදිවල ආසනික් ප්‍රමාණයක් දැකගත හැකි වූයේ කෙසේ ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් විය. පහසුකම් ඇතැයි කියන නිල වශයෙන් පිළිගත් පර්යේෂණාගාරවල නිරීක්‍ෂණ පමණක් විශ්වාස කිරීමට රජය එකල කටයුතු කළේ ය. අද රජය එසේ නොසිතන බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.

එහෙත් ප්‍රශ්නය වූයේ මේ ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරවල ද සේවය කරන්නේ මිනිසුන් වීම ය. බටහිර විද්‍යාව කටයුතු කරන ආකාරයට උපකරණවලට වඩා වැදගත් තැනක් ලැබෙයි. එයට ප්‍රධාන හේතුව උපකරණ වාස්තවික ලෙස පිළිගැනීමට ඇති කැමැත්ත ය. උපකරණවලින් ලැබෙන මාපාංක කියවීම් මිනිසුන්ගෙන් (නිරීක්‍ෂකයන්ගෙන්) ස්වායත්ත යැයි සාමාන්‍යයෙන් පිළිගැනෙයි. නමුත් ප්‍රශ්නය වනුයේ උපකරණ ද මිනිසුන් විසින් නිපදවනු ලැබීමත් ඒ ඒ නියැදි සකස්කිරීම, යොදාගන්නා විධික්‍රමය (ඊනියා විද්‍යාත්මක විධික්‍රමය නොවේ) ආදිය මිනිසුන් විසින් තීරණය කරනු ලැබීමත් ය. සියළු උපකරණවලින් එකම මාපාංක කියවීම් ලැබිය යුතු යැයි විශ්වාසයක් පවතින අතර එසේ නොවන්නේ නම් ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරයේ මාපාංක කියවීම් නිවැරදි ලෙස ගැනෙයි.

ආසනික් සම්බන්ධයෙන් ඒ ඒ පරීක්‍ෂණාගාරවල යොදාගත් විධික්‍රම (මේ සූපශාස්ත්‍ර විධික්‍රම මිස අනෙකක් නො වේ) වෙනස් විය. ඉවත යන වායු ප්‍රමාණය මෙන් ම අවක්‍ෂෙප ගැනීමද ඒ ඒ විද්‍යාඥයන් දැන සිටි ආකාරයට සිදු කෙරිණි. පරීක්‍ෂණයෙහි දී පිටවී යන වායු ප්‍රමාණය වැඩි නම් මිශ්‍රණය යම් උෂ්ණත්වයකට වඩා ඉහළට රත්කළ විට ආසනික් වායු අවස්ථාවට පත්වී ඉවත්වීමේ සම්භාවිතාව වැඩිවෙයි. පිටවී යන වායු ප්‍රමාණය වැඩි පරීක්‍ෂණාගාරයක සිදුකරන ලද පරීක්‍ෂණවලින් නිරීක්‍ෂණය කෙරෙන ආසනික් ප්‍රමාණය පිටවී යන වායු ප්‍රමාණය අඩු පරීක්‍ෂණාගාරයක සිදු කරන ලද පරීක්‍ෂණවලින්් නිරීක්‍ෂණය කෙරෙන ආසනික් ප්‍රමාණයට වඩා අඩු වී නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. එහෙත් රජය මුල දී තීරණය කළේ ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරවල දත්ත නිවැරදි විය යුතු බව ය.

බටහිර විද්‍යාවේ ධුරාවලියක් ඇත. එය බටහිර සමාජයේ ද දක්නට ලැබේ. වැදගත් යැයි සැලකෙන ගෞරවනීය පවුල්වල සාමාජිකයන් වැරදි නොකරන්නේ ය යන මතය අද සමාජයේ මුල් බැසගෙන ඇත. ඊනියා වැදගත් තනතුරු හොබවන පුද්ගලයන් අතින් වැරදි සිදු නොවේ යැයි විශ්වාසයක් පවතියි. වැදගත් පවුල්වල සාමාජිකයන් රැකියාවලට බඳවා ගැනීමට විශාල සම්භාවිතාවක් ඇත. යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ධුරාවලිය සකස් කිරීමෙහි දී යොදා ගැනෙන නිර්ණායක අනුව මේ පිළිගැනීම් සිදුවෙයි.

ඉංගිරිසි ආණ්ඩුව පැවති සමයෙහි ඉංගිරිසි ආණ්ඩුවට දැක්වූ පක්‍ෂපාතිත්වය අනුව ද පුද්ගලයකුගේ වැදගත්කම තීරණය විය. අද ද බොහෝ විට වැදගත් වනුයේ නිල බලයට ගරු කරන්නවූන් ය. සිංහල බෞද්ධයන් අතර ද එක්තරා ආකාරයක ධුරාවලියක් වෙයි. එය නිවන හා සම්බන්ධ ධුරාවලියකි. බුදුරජාණන් වහන්සේට පසුව රහතන් වහන්සේලා ප්‍රධාන වෙති. අපේ ධුරාවලියෙහි රජවරු ද සාමණේර භික්‍ෂුවකට වඩා පසුපසින් වෙති. අශෝක රජුගේ මාළිගාවට වැඩම කළ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුදුසු අසුන ලෙස තෝරාගත්තේ සිංහාසනය ය. එයට හේතුව ඒ රාජසභාවෙහි උන්වහන්සේට ඉහළින්, එනම් ගුණයෙන් ඉහළින්, වෙනත් කිසිවකු නො වීම ය. අපේ ධුරාවලියෙහි එදා ගරු කෙරුණේ නිලයට නොව නිවන් දැකීමට හේතුවන වෙනත් ගුණවලට ය.

බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි උපත ලැබූ බටහිර විද්‍යාවට ඒ සංස්කෘතියෙන් උරුම වූ පිලිගැනීම් ඇත. ආසනික් අඩු යැයි හෝ නැතැයි හෝ කියූ පර්යේෂණාගාරවල මාපාංක කියවීම් පිළිගැණුනේ ඒ අයුරින් මිස යොදාගත් සූපශාස්ත්‍ර ක්‍රමවේදයෙහි ඌණතා අනුව නො වේ. කෙසේ වුවත් ඌණතා වැඩි පරීක්‍ෂණාගාරවලට ලැබුණු පිළිගැනීම වැඩිවිය. ඒ නිල බලයෙනි. මේ ඌණතා හා වෙනත් හේතු කරණ කොටගෙන බටහිර විද්‍යාවේ උජාරුවෙන් කියැවෙන ඕනෑම කෙනකුට කළහැකි පර්යේෂණ යන්නට තවත් පහරක් වැදෙයි.

ඒ පිළිබඳ ව අප දැනටමත් බොහෝ කරුණු කියා ඇත. ඒ පුහුණුව ආදිය සම්බන්ධයෙනි. එකම ආකාරයේ පුහුණුව ලැබූ අය සිටිය ද තමන් පරීක්‍ෂණ කරන පරීක්‍ෂණාගාරයේ ඇති උපකරණ මත අනුගමනය කෙරෙන සූපශාස්ත්‍ර විධික්‍රමය මත තමන් ලබාගන්නා මාපාංක කියවීම් වෙනස් වෙයි. එමෙන් ම එකම ආකාරයේ පුහුණුවක් ලබාගත්ත ද ඒ ඒ පුද්ගලයාගේ දක්‍ෂතා අතර වෙනස්කම් වෙයි. ඇතැම්හු නිර්මාණශීලී වෙති. සූපශාස්ත්‍ර විධික්‍රමයෙහි වුව ද සුළු සුළු වෙනස්කම් කිරීමට හැකි අය සිටිති. ඔවුන් ලබාගන්නා මාපාංක කියවීම් සාම්ප්‍රදායිකව ම ක්‍රියා කරන්නකු ලබාගන්නා මාපාංක කියවීම්වලට වඩා වෙනස් විය හැකි ය.

එමෙන් ම උපකරණවල සියුම් බව ද මෙහි දී බලපාන බව රහසක් විය නො හැකි ය. එකම පරීක්‍ෂණාගාරයක, එකම පුහුණුව ලැබූ අය එකම යන්ත්‍ර සූත්‍ර යොදාගෙන පරීක්‍ෂණ කළ ද ඒ ඒ අයගේ සියුම් බව අත්ගුණය ආදිය මත ප්‍රතිඵල වෙනස් විය හැකි ය. එබැවින් ඊනියා වාස්තවික අගයන් ඒ ඒ ගුණවලට ඇතැයි යනුවෙන් ගැනීම බටහිර විද්‍යාවේ ආධානග්‍රාහී සිතුවිල්ලක් මිස අන් කිසිවක් නො වේ. ආසනික් සම්බන්ධයෙන් ගතහොත් විවිධ පරීක්‍ෂණාගාරවල ජලයේ, පලිබෝධ නාශකවල ආදී වශයෙන් අඩංගු ආසනික් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිඵල ලැබී ඇත. එහෙත් ඇතැම් විට ඒ නිරීක්‍ෂණය කෙරුණු උපරිම අගයට ද වඩා ආසනික් ඒ නියැදිවල තිබෙන්නට ඇත. අපට බොහෝ විට කිව හැක්කේ විවිධ පරීක්‍ෂණාගාරවල ලැබුණු දත්තවල උපරිම ඒ ඒ නියැදිවල ඇති අවම ආසනික් ප්‍රමාණ බව ය.

මේ ලබාගත් ප්‍රතිඵල නිවැරදි දැයි යමකුට ප්‍රශ්න කළ හැකි ය. මිනිසුන් අතින් මෙන් ම උපකරණ මගින් ද වැරදි සිදුවෙයි. එහෙත් ආසනික් තිබෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් මැන ගැනීමට ඇති සම්භාවිතාව අඩුවෙන් මැන ගැනීමට ඇති සම්භාවිතාවට අඩු යැයි සිතමි. යොදාගන්නා උපකරණවල කලින් ම ආසනික් තිබීම නිසා මාපාංක කියවීමෙන් ලබාගන්නා ආසනික් ප්‍රමාණය වැඩිවීමට ඉඩ ඇත. එහෙත් ඒ සඳහා ඒ උපකරණ ඒ ඒ රසායනික ද්‍රව්‍යවල (ද්‍රවණවල) සෝදා තිබිය හැකි ආසනික් ප්‍රමාණය දියකර හැරීමෙන් එලෙස ආසනික් වැඩිවීමට ඇති සම්භාවිතාව අඩුකර ගත හැකි ය.

Saturday, 17 September 2011

ආලෝකයේ වේගයට වැඩි වේගවලින් කෙරෙන සංනිවේදනය

අයින්ස්ටයින් විශේෂ සාපේක්‍ෂතාවාදය නිර්මාණය කළේ ය. ඔහු එහි දී කාලය හා අවකාශය යන සංකල්ප එකතු කළේ ය. ඉන්පසු කාලය හා අවකාශය වෙන වෙන ම ගැනීම ඔහුට අනුව වරදක් විය. එපමණක් නොව විශේෂ සාපේක්‍ෂතාවාදයේ කියැවෙන කරුණු අනුව අංශුවකට ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය විය නො හැකි ය. එහෙත් ෆෝටනයක්, අවශ්‍ය නම් ආලෝක තරංග පොදියක්, ආලෝකයේ වේගයෙන් චලනය වෙයි. අයින්ස්ටයින්ට අනුව අපට සංනිවේදනය කළ හැක්කේ උපරිම ව ගතහොත් ආලෝකයේ වේගයෙනි. ඒ ෆෝටෝන යොදාගෙන ය. වෙනත් අංශු යොදගෙන සංනිවේදනයෙහි යෙදෙන්නේ නම් ඒ අංශුවලට චලනය විය හැක්කේ ආලෝකයට අඩු ප්‍රවේගයකින් බැවින් සංනිවේදනයෙහි වේගය ද එයට අඩුවෙයි.

ශබිදයේ වේගය ද ආලෝකයේ වේගයට අඩුවන්නේ ශබිද තරංග යැවීමේ දී ද අප යොදාගන්නේ සාමාන්‍ය අංශු බැවිනි. එහෙත් ප්‍රශ්නය වනුයේ අලෝකයේ වේගයට වැඩි වේගයකින් සංනිවේදනය කිරීමට අපට නො හැකි ද යන්න ය. පැටළුණු ක්වොන්ටම් අංශු (entangled quantum particles) එකිනෙක සමග අනන්ත වේගයකින් සංනිවේදනය කරන බව බෝර් කීවේ ය. ඔහුට එසේ කීමට සිදුවූයේ එසේ පැටළුණු අංශුවක යම් ගුණයක් මැන්නවිට අනෙක් අංශුවට ද ඒ ක්‍ෂණයෙහි ම ඒ ගුණයට අගයක් ලැබෙන බව ඔහුට උපකල්පනය කිරීමට සිදු වූ බැවිනි.

අප මෙය කලින් යම් ප්‍රමාණයකට විස්තර කර තිබුණ ද බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය (සංස්කරණය) කෙරෙන ආකාරය තේරුම් ගැනීමට ඒ උපකාරී වන බැවින් තරමක විස්තරයක් කළ යුතු යැයි සිතමි. ක්වොන්ටම් භෞතිකයෙහි කෝපන්හේගන් විවරණයට අනුව අංශුවක යම් ගුණයක අගය එය මැනීමට පෙර කිව නො හැකි ය. නිව්ටෝනීය අංශුවක් සම්බන්ධයෙන් වුව ද ඒ එසේ නොවන්නේ දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. බසයක වේගය මැනීමට පෙර බසයෙහි වේගය කුමක් දැයි කිව නොහැකි බව මෙහි දී පෙන්වා දෙනු ඇත.

එහෙත් බසයෙහි වේගය මැනීමට පෙර ද බසයට වේගයක් ඇත. බසය යම්කිසි වේගයකින් ගමන්කරන බව අපි දනිමු. අප මැනීමෙන් කරන්නේ ඒ වේගය කුමක් දැයි දැනගැනීම පමණකි. බසය එක්වර වේග කිහිපයකින් ගමන්කරන බවත් මැනීමෙන් පසුව බසය ඉන් එක් අගයක් පමණක් ගන්නා බවත් යම් කිසිවකු කීවොත් අපි එය විශ්වාස නො කරමු. එක්වර වේග රාශියකින් ධාවනය වන බසයක් ගැන අපි නො දනිමු. එහෙත් බෝර්ට හා කෝපන්හේගන් විවරණයට අනුව ක්වොන්ටම් අංශුවක පිහිටීම දන්නේ නම් එහි වේගය කුමක් දැයි අපි නො දනිමු. අපට කිව හැක්කේ අංශුවේ වේගය මැන්නොත් එයට අහවල් අගය ලැබීමට අහවල් සම්භාවිතාවක් ඇති බව ය.

උදාහරණයක් ලෙස විසිකරන ලද දාදු කැටයක් අවසානයේ දී කිනම් පැත්තක් උඩට සිටින ලෙස පෙරළේ දැයි අපට කිව නො හැකි ය. එවැනි අවස්ථාවක දී අපට කිව හැක්කේ දාදුව ඕනෑම පැත්තකට පෙරළිමට හයෙන් එකක සම්භාවිතාවක් තිබෙන බව පමණ ය. එහෙත් දාදුව අවසානයේ දී බිමට වැටීමෙන් පසු (එහි අගය මැනීමෙන් පසු) එයට නිශ්චිත අගයක් ලැබෙයි. දාදුව බිමට වැටීමට පෙර ඒ කුමන පැත්තකට හැරී තිබුණේ ද යන ප්‍රශ්නයට කෝපන්හේගන් විවරණයෙන් ලැබෙන පිළිතුර නම් එයට අගයක් ඇති බවක් කිව නොහැකි ය යන්න යැයි සිතමු. අප එසේ සිතන්නේ ක්වොන්ටම් අංශුවක යම් ගුණයක් මැනීමට පෙර ඒ අංශුවට ඒ ගුණය සම්බන්ධයෙන් අගයක් ඇතැයි කීමට නොහැකි යැයි කෝපන්හේගන් විවරණයෙන් කියැවෙන නිසා ය.

කෝපන්හේගන් විවරණයෙන් එවැනි පිළිතුරු ලැබෙන්නේ බෝර් ආදීන් ඉන්ද්‍රියානුභූතවාදීන් (positivists) වු බැවිනි. ඉන්ද්‍රිය ගෝචර නොවන දෑ ඇතැයි කීමට ඉන්ද්‍රියානුභූතවාදියෝ මැළිවූහ. එහෙත් දැන් දැන් බටහිර භෞතික විද්‍යාඥයෝ එවැනි අංශුවලට එක්විට ඒ ගුණයට අදාළ සියළුම අගය ගතහැකි බව විශ්වාස කරති. එසේ කීමේ දී ඔවුන්ට ඇරිස්ටෝටලීය න්‍යායට (logic) විරුද්ධව යෑමට සිදුවන බව ඔවුහු දනිති. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් ඔවුන්ට අද එසේ කිරීමට සිදු වී ඇත. ඇරිස්ටෝටලීය න්‍යායට අනුව අංශුවකට එක් ගුණයක් සම්බන්ධයෙන් එක්විට එක් අගයකට වඩා තිබිය නො හැකි ය. එහෙත් චතුස්කෝටික න්‍යායෙහි එවැනි බාධාවක් නොමැති බව අවධාරණය කළ යුතු ය.

පැටළුණු අංශු සම්බන්ධයෙන් කෝපන්හේගන් විවරණයට ප්‍රශ්නයක් මතු කළේ අයින්ස්ටයින් ය. යථාර්ථවාදය දැඩිව විශ්වාස කළ අයින්ස්ටයින් කෝපන්හේගන් විවරණය ප්‍රතික්‍ෂෙප කළේ ආධානග්‍රාහීව ය. ඔහුට අනුව ක්වොන්ටම් අංශුවලට ද මනින්නට පෙර යම් ගුණයකට නිශ්චිත අගයක් තිබිය යුතු විය. ඔහු දැඩිව ඒ මතයෙහි එල්බගෙන සිටියේ ය. දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි ඔහු කීවේ සම්භාවිතාවන් ගැන විශ්වාසයක් නොතබමිනි. ඔහු එසේ නිශ්චිත අගයක් තිබෙන බවට තර්ක කිරීම සඳහා පැටළුණු අංශු යොදා ගත්තේ ය. ඔහු කියා සිටියේ පැටළුණු අංශු ආරම්භයේ දී යම්කිසි ගුණයක් සම්බන්ධයෙන් අංශුවල අගයන්ගේ එකතුව ශුන්‍ය වන්නේ නම් එක් අංශුවක එම ගුණය මැන්න විට අනෙක් අංශුව ඒ අදාළ අගයට විරුද්ධ අගය ගත යුතු බව ය. අයින්ස්ටයින්ට අනුව එයින් කියැවෙන්නේ පළමු අංශුවේ ගුණයක් මැන්න කළ දෙවැනි අංශුවේ අදාළ ගුණය මැනීමට පෙර ම එම අංශුවට ඒ ගුණය සම්බන්ධයෙන් නිශ්චිත අගයක් ඇති බව ය. එහෙත් අයින්ස්ටයින් කියා සිටියේ දෙවැනි අංශුවට එලෙස අගයක් ගැනීමට පළමු අංශුවෙහි අදාළ ගුණය මැනීමෙන් පසුව පළමුවැන්නේ සිට දෙවැන්නට ක්‍ෂණිකව සංනිවේදනයක් විය යුතු බව ය. එහෙත් සාපේක්‍ෂතාවාදයට අනුව එලෙස ක්‍ෂණික සංනිවේදනයකට ඉඩ නැති බව ද එවැනි සංනිවේදන (අන්තර් ක්‍රියා) ඇත්නම් ඒ අද්භූත ක්‍රියා (spooky action) විය යුතු යැයි ද ඔහු කියා සිටියේ ය. ඔහු කෙටියෙන් කියා සිටියේ කොාපන්හේගන් විවරණය අසම්පුර්ණ බව ය.

බෝර්ගේ පිළිතුර වූයේ පැටළුණු අංශු දෙක සමස්තයක් ලෙස මිස අංශු දෙකක් ලෙස නොගත යුතු බව ය. එමගින් බෝර් ක්‍ෂණික සංනිවේදනය පිළිබඳ ප්‍රශ්නය මග හැරියේ ය. කෙසේ වෙතත් පසුව ඇස්පෙ විසින් කරන ලද පරීක්‍ෂණවලින් පෙනී ගියේ අංශු අතර යම් සංනිවේදනයක් ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදුවන බව ය. එහෙත් එයින් අංශු අතර ක්‍ෂණිකව සංනිවේදනයක් සිදුවන බවක් (අංශු දෙක සමස්තයක් ලෙස ගතහැකි බවක්) නො කියැවෙයි. ඇතැම් විට අංශු අතර ආලෝකයට වැඩි වේගයකින් සංනිවේදනයක් සිදුවන නමුත් ක්‍ෂණික සංනිවේදනයක් සිදු නොවනවා විය හැකි ය. ඒ කෙසේ වෙතත් පැටළුණු අංශු නිව්ටෝනීය (අයින්ස්ටයිනීය) අංශු මෙන් ක්‍රියා නොකරන බව පැහැදිලි ය. එහෙත් අයින්ස්ටයින් යථාර්ථවාදයේ හා තම ප්‍රවාදවල ආධානග්‍රාහීව එල්බ ගනිමින් පැටළුණු අංශු ද, සාධාරණ වශයෙන් ගත්කල ක්වොන්ටම් අංශු ද, සම්භාව්‍ය අංශු මෙන් ඊනියා යථාර්ථවාදයට හා ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ වෙමින් හැසිරිය යුතු යැයි විශ්වාස කළේ ය.

මේ පිළිබඳ බටහිර භෞතික විද්‍යාවට මෙයට වැඩි යමක් කිවහැකි නො වේ. එයට අනුව අඩුතරමෙන් ඊනියා ස්ථානීය යථාර්ථවාදය (local reality) ප්‍රතික්‍ෂෙප වී ඇත. එහෙත් මෙරට ඊනියා යථාර්ථවාදීන්ට මේ පිළිබඳ හාන්කවිසියක්වත් නැත. තමන්ට නොවැටහෙන ක්වොන්ටම් භෞතියක් ගැන ලියූ ජනතා විමුක්ති පෙරමුණේ කසිකබල් පූබුදු ජාගොඩ නමැත්තෙක් තමාගේ නොදැනුම පමණක් ලොවට හෙළි කළේ ය. බටහිර භෞතික විද්‍යාව අද සංසන්දනය කළ හැක්කේ ගලේ මළ පහකළ බළලකුට ය. පැටළුණු අංශු සමස්තයක් ලෙස ක්‍රියා කරන්නේ ද එසේ ක්‍රියා කළත් සමස්තබව නැතිවන්නේ කෙසේ ද එවැනි අංශු අතර සංනිවේදනය යනුවෙන් හැඳින්විය හැකි ක්‍රියාවලියක් සිදුවන්නේ ද ආදී ප්‍රශ්නවලට බටහිර භෞතික විද්‍යාවට පිළිතුරු නොමැත.

බටහිර භෞතික විද්‍යාවට අවශ්‍ය වූයේ මුළු විශ්වයට ම බලපාන ප්‍රවාද සොයාගැනීමට ය. සියළු අංශු එක් අයුරකින් ක්‍රියා කළ යුතු යැයි බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කළහ. එය ආධානග්‍රාහී විශ්වාසයක් විය. ඒ පිටුපස ඇත්තේ යථාර්ථවාදයක් කෙරෙහි වූ ආධානග්‍රාහි විශ්වාසයයි. ඇරිස්ටෝටලීය න්‍යාය කෙරෙහි ද බටහිරයන්ට වූයේ ආධානග්‍රාහී විශ්වාසයකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද ගැන කතාකරන්නවුන් අපට කියන දෙයක් නම් බටහිර විද්‍යාව ආධානග්‍රාහී නොවන බව ය. ඔවුන් කියන්නේ ප්‍රවාද දිගින් දිගට ම වෙනස්වන බව ය. එහෙත් බටහිර විද්‍යාවට පදනම් වූ යථාර්ථය ආදිය වෙනස් කිරීමට ඔවුන් සූදානම් නැත. කෝපන්හේගන් විවරණය යථාර්ථවාදයට පිටුපා ඉන්ද්‍රිනුභූතවාදයක් පසුපස ගිය ද අද බටහිර භෞතික විද්‍යාඥයෝ කෙසේ නමුත් නැවතත් යථාර්ථයට පිවිසීමට උත්සාහ කරති. කෝපන්හේගන් විවරණය ඔවුන් අතින් විවේචනයට ලක්වන්නේ එබැවිනි. ඉන්ද්‍රියගෝචර සංසිද්ධි පිටුපස ඇති ඊනියා යථාර්ථයක් මතුකර ගැනීමට ඔවුහු උත්සාහ දරති.

ඔවුන්ට අද ඇරිස්ටෝටලීය න්‍යායට පිටුපෑමට සිදු වී ඇති නමුත් ඒ තාවකාලික යැයි මම සිතමි. ඇරිස්ටෝටලීය න්‍යායෙහි පදනමෙහි ඇත්තේ ම ද්‍රව්‍යවල පැවැත්ම ය. ද්‍රව්‍ය චලනය වෙයි. එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට මාරු වෙයි. එහෙත් ද්‍රව්‍ය, ද්‍රව්‍ය ලෙස ගත්කල වෙනස් නොවන්නේ යැයි බටහිරයෝ විශ්වාස කරති. මතුපිටින් පෙනෙන වෙනස ඉක්මවා යන වෙනස් නොවන ද්‍රව්‍යභාවයක් තිබෙන්නේ යැයි බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරති. මේ ආත්මවාදය මිස අනෙකක් නො වේ. බටහිරයෝ ආධානග්‍රාහීව ආත්මවාදයක එල්ලී සිටිති.

ඊනියා යථාර්ථයක් ක්‍ෂණයකට වුව ද ගැනීම ආත්මවාදී වෙයි. ක්‍ෂණයක් යන්න ද පඤ්ඤත්තියක් වනුයේ කාලය පඤ්ඤත්තියක් බැවිනි. ක්‍ෂණය යන්න එලෙස පණවන ලද්දක් වූ කල ඊනියා යථාර්ථයක් ක්‍ෂණයකට වුවත් පැවතීම යන්න අර්ථශූන්‍ය ප්‍රකාශයකි. අප ආත්මවාදයට විරුද්ධවන්නේ ආධානග්‍රාහීව නොවන බව මෙහිලා සඳහන් කළ යුතු ය. එසේ විරුද්ධවන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් හා අවශ්‍ය අවස්ථාවල අනුමානයෙනි (inference). මේ බුදුන්වහන්සේ අනුදැන වදාළ ක්‍රමය වෙයි. මෙහි දී ප්‍රත්‍යක්‍ෂය යන්න හුදු පංචෙන්ද්‍රියන්ට ගෝචරවන සංසිද්ධි පමණක් නොවන බව ද අමතක නොකළ යුතු ය.

පංචෙන්ද්‍රියන්ට අමතරව මනස ද ඉන්ද්‍රියක් ලෙස බෞද්ධයෝ සළකති. මනස ප්‍රධාන ඉන්ද්‍රිය වෙයි. එහෙත් බටහිරයෝ ඒ ප්‍රධාන ඉන්ද්‍රිය නො සළකති. බෞද්ධයන්ට අනුව මනස පමණක් වුවත් ක්‍රියාත්මක විය හැකි අතර අනෙක් ඉන්ද්‍රියන්ට ක්‍රියාත්මක වීමට නම් මනස ද අවශ්‍ය වෙයි. මනස නොමැතිව අනෙක් ඉන්ද්‍රියන්ට තනි තනි ව ක්‍රියාත්මක විය හැකි නො වේ. බටහිරයන්ගේ චින්තනයෙහි වූ දුර්වලකම හේතුකොටගෙන ඔවුහු මනසට පමණක් පෙනෙන දෙවියන් මායාවක් යැයි ගනිමින් මනසටවත්, අනෙක් ඉන්ද්‍රිය ඇතිව මනසටවත්, නොපෙනෙන ගුරුත්වාකර්ෂණයක් ඊනියා යථාර්ථය ලෙස සළකති.