Main Logo

Showing posts with label සාපේක්‍ෂතාවාද. Show all posts
Showing posts with label සාපේක්‍ෂතාවාද. Show all posts

Tuesday, 22 January 2013

ද්‍රව්‍යවාදී හෝ විඥානවාදී හෝ නොවීම

ඇතැමුන්ට අනුව මම බෞද්ධයෙක් නො වෙමි. ඔවුන් එසේ කියන්නේ මනසෙහි ඊනියා වාස්තවික පැවැත්මක් මා ප්‍රතික්‍ෂෙප කරන බැවිනි. මම සාපේ්ක්‍ෂතාව පිළිගනිමි. අවශ්‍ය නම් අයකුට මා සාපේ්ක්‍ෂතාවාදියකු යැයි කිව හැකි ය. තවත් දුරගොස් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු යැයි කිව හැකි ය. ඒ දාර්ශනිකව ය. එසේ වුවත් තමන් බෞද්ධයන් යැයි කියාගන්නා අය මෙන් ම මම ද මතු දිනයක නිවන් අවබෝධ කරගැනීමට උත්සාහ කරමි. මා නිවන් අවබෝධ කරගත් දිනයක මගේ මනසට කුමක් සිදුවේ ද? නිවන් අවබෝධයෙන් කලක් ගත වී පිරිනිවන් පානා අවස්ථාවේ දී මනසට කුමක් සිදු වේ ද? නිවන් අවබෝධයෙන් පසු මා යන්නෙන් කෙනකු ගැන කිව හැකි ද?

මනසක් පවතින්නේ යැයි කී විට එය නිරපේක්‍ෂව පවතින්නේ ද නැත් ද යන ප්‍රශ්නයට ද පිළිතුරු දිය යුතු ය. මනස නිරපේක්‍ෂව වාස්තවිකව පවතින්නේ යැයි කියන්නෝ ද්‍රව්‍යවාදී විඥානවාදියෝ වෙති. පසුගිය සතියේ් අපේ ප්‍රවාද ලිපියෙහි මාතෘකාව විඥානවාදී ද්‍රව්‍යවාදීහු ලෙස සඳහන් වී තිබුණේ මුද්‍රණ දෝෂයකිනි. එය ද්‍රව්‍යවාදී විඥානවාදියෝ යනුවෙන් නිවැරදි විය යුතු ය. මා දන්නා තරමට බෞද්ධයෝ ද්‍රව්‍යවාදී විඥානවාදීන් තබා විඥානවාදීහුවත් නො වෙති.

පෙර දවස විඥානවාදීන් ලෙස හඳුන්වනු ලැබූ ගුරුකුලයක් තිබූ බව සැබෑ ය. එලෙසින් ම පුද්ගලවාදීන් ආදී වශයෙන් ද ගුරුකුල බෞද්ධයන අතර විය. ශාස්වතවාදීන් උච්ඡෙදවාදීන් ආදී වශයෙන් විවිධ දාර්ශනික කුල පෙර දවස තිබී ඇත. විඥානවාදීන් යනුවෙන් හඳුන්වනු ලැබූ ගුරුකුලයක් පැවතුණු පමණින් සියළු බෞද්ධයන් විඥානවාදීන් නොවන්නේ ඔවුන් පුද්ගලවාදීන් නොවන අයුරින් ම ය.

ජාතිකවාදීන් අතර සිටින මගේ විරදේධවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ ජාතික ව්‍යාපාරයෙන් මා ඉවත්කිරීම ය. ඒ සඳහා ඔවුහු කළහැකි සියල්ල කරති. බලය ලබාගැනීම මගේ ජාතිකවාදී දේශපාලයට අයත් නොවූවත් බොහෝ ජාතිකවාදීන්ට බලය ලබාගැනීමේ ව්‍යාපෘති වක්‍රව හෝ සෘජුව ඇත. ඔවුන්ට මා හිසරදයකි. මා කියන කරන කිසිම දෙයක ගෞරවයක් මට ලබා නොදීමට ඔවුහු කටයුතු කරති. අසංඛ්‍යෙය කල්පවලින් මැනෙන සංසාර චක්‍රයක අවුරුදු හැත්තෑවක අසූවක කාලයක් යනු ගෞරවයක් ලබාගැනීමට තරම්වත් කාලයක් නො වේ.

අනෙක් අතට මිනිසුන් වැඩ කළයුත්තේ ගෞරව අපේක්‍ෂාවෙන් නො වේ. පෘථග්ජනයන් ලෙස ගෞරවයක් ලැබෙන්නේ නම් එයින් සතුටක් ලබීම එක් දෙයකි. කෙසේ වෙතත් අප යමක් කරන්නේ ම එයින් සතුටක් ලැබෙන බැවිනි. එයට ගෞරවයක් තබා පිළිගැනීමක්වත් නොලැබුනත් එය ප්‍රශ්නයක් නොවිය යුතු ය. ප්‍රශ්න ඇතිකර ගැනීම ම සංසාරය දික්කර ගැනීමකි. ගෞරව අපේක්‍ෂාවෙන් සංසාරය දික්කර ගැනීම නොමනා ක්‍රියාවකි. එසේම අනෙක් අයකුට ලැබිය යුතු ගෞරවය නොදී තමා ම ඒ ගෞරවයට හිමිකම් කීම ද සසර දික්කර ගැනීමකි.

මා බෞද්ධයකු නොවන්නේ ය යනුවෙන් ප්‍රචාරයක් ගෙන යෑමට හැකි නම් මා ජාතික ව්‍යාපාරයෙන් ඉවත්කිරීමට ඇති හැකියාව ද වැඩි ය. එයින් අවසාන වශයෙන් ගත්කල වාසියක් අත්වන්නේ ජාතික ව්‍යාපාරයට නොව ජාතිකත්වයට විරුද්ධ වන්නන්ට ය. එහෙත් තාවකාලිකව ජාතිකත්වය දඩමීමා කරගනිමින් දේශපාලන වශයෙන්් බලයට පත්වීමට උත්සාහ දරන්නන්ට ද වාසියක් වනු ඇත.

අප විසින් හඳුන්වා දෙනු ලැබ ඇති දර්ශනයක් වෙයි. ඒ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයයි. ඒ අනුව දැනුම යනු නිර්මාණය කෙරෙන්නක් මිස සොයාගනු ලබන දෙයක් නො වේ. දැනුම නිර්මාණය කෙරෙන්නේ නිරීක්‍ෂකයන් විිසිනි. නිරීක්‍ෂකයන් යනු මිනිසුන් පමණක් නො වේ. සියළු ප්‍රාණීහු නිරීක්‍ෂකයො වෙති. එසේ නිර්මාණය කෙරෙන දැනුම නිරීක්‍ෂකයාගේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය.

නිරීක්‍ෂකයන් හෙවත් සත්ත්වයන් දැනුම නිර්මාණය කරන්නේ අනිත්‍ය, දුක්ඛ අනාත්ම අනවබෝධය හේතුකොටගෙන ය. නිවන් අවබෝධ කිරීමෙන් පසුවත් දැනුම නිර්මාණය නොකෙරුණත් දැනුම ඇත. දැනුම නැතිවන්නේ පරිනිර්වාණයත් සමග ය. දැනුම නිර්මාණය කරන්නේ නිරීක්‍ෂකයා යැයි කීව ද එසේ කෙරෙන්නේ නිරී’ක්‍ෂකයාගේ මනස විසිනි. මනස දැනුම නිර්මාණය කිරීමේ දී ඇතැම් විට පංචෙන්දියයන්ගේ ද සහාය ලබාගනියි.

මෙය දැනුම පිළිබඳ අපේ ප්‍රවාදය වෙයි. වෙනත් ආකාරයකින් කිවහොත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව අප විසින් දැනුම පිළිබඳ නිර්මාණය කෙරී ඇති දැනුම ය. එසේත් නැත්නම් දැනුම පිළිබඳ ව අප විසින් ගොතනු ලැබ ඇති කතාව ය. මේ කතාවේ හෙවත් ප්‍රවාදයේ තවත් වැදගත් කොටසක් ඉතිරි වී ඇත. තමන් බුදුදහමේ ආරක්‍ෂකයන් ලෙස සිතා සිටින කිහිප දෙනාගේ විවේචනයට භාජනය වී ඇත්තේ ඒ ඉතිරි කොටස ය.

ඉතිරි කොටසෙන් කියැවෙන්නේ මනසේ පැවැත්ම පිළිබඳ ව අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම ය. සියල්ල පවතින්නේ සාපේක්‍ෂව ය. නිරපේක්‍ෂව වාස්තවිකව නිරීක්‍ෂකයාගෙන් ස්වායත්තව පවත්නා කිසිවක් නැත. එහි තේරුම සියල්ල නැත යන්න නො වේ. පැහැදිලිව ම සියල්ල ඇත යන්න ද ඉන් නො කියැවෙයි. යමක් පවතින්නේ යමකට සාපේක්‍ෂව ය යන්න පමණක් ඉන් කියැවෙයි.

අපේ දැනුම සංකල්ප හා ඒ ඇසුරෙන් ගොඩනගාගන්නා ප්‍රවාදවලින් සමන්විත වෙයි. මේ දැනුම ශූන්‍ය වෙයි. එනම් සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. අප විසින් නිර්මාණය කෙරෙන සංකල්ප මනසට සාපේක්‍ෂ ය. එහි නිරපේක්‍ෂ බවක් නැත. කිසිවක් නිරපේක්‍ෂව නොපවතියි. සෑම දෙයක් ම, එනම් පවතින්නේ යැයි අප සිතන සෑම දෙයක් ම මනසට සාපේක්‍ෂ වෙයි.මෙය පටිච්ච සමුප්පදායට පටහැණි නො වේ. එහි කියැවෙන්නේ යමක්් ඇත්නම් එවිට තවත් යමක් ඇත යන්නත් යමක් නැත්නම් එවිට තවත් යමක් නැති බවත් ය.

බෞද්ධයන්ට මනස ප්‍රධාන ය. එහෙත් අපට මනස තවත් ඉන්ද්‍රියයක් වෙයි. අනෙක් ඉන්ද්‍රිය පහෙන් එකකටවත් මනස නමැති ඉන්ද්‍රිය නොමැතිව ක්‍රියාත්මක විය නො හැකි ය. මනස හැරෙන්නට අනෙක් සියල්ල පවතින්නේ මනසට සාපේක්‍ෂව ය. ඒ සියල්ල මනසේ නිර්මාණ වෙයි. නැවතත් අවධාරණය කළ යුතු කරුණ නම් සියල්ල මනසෙහි නිර්මාණ වේය යන්නෙන් සියල්ල නැත යන්න ගම්‍ය නොවන බව ය.

අනෙක් සියල්ල, එනම් සංකල්පීය ලෝකය නිර්මාණය කෙරී ඇත්තේ මනස විසින් නිසා මනස නොමැතිව ඒ එකක් වත් සංකල්ප ලෙස නොපවතියි. පුටුව යන්න අපේ සංස්කෘතිය තුළ මනස විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයකි. එය වාස්තවික නො වේ. එය නිරපේක්‍ෂ නො වේ. එය මනසට සාපේක්‍ෂව පමණක් පවතියි. පුටුව පමණක් නොව අනෙක් සියළු සංකල්ප ගැන ද කිව හැක්කේ එපමණකි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස පවතින්නේ කාහට සාක්‍ෂෙව ද යන්න ය. එය තවත් සුපිරි මනසකට සාපේක්‍ෂ වන්නේ යැයි සිතමු.එවිට සිදුවන්නේ ප්‍රශ්න වෑළක් ඇසීමකි. එයින් නිශ්චීිත පිළිතුරක් නො ලැබෙයි. ඒ අනෙක් ස්වභාවික යැයි සිතන සංකල්ප සත්තකින්ම පවතින්නේ ද? ඒවා පවතින්නේ සුපිරි මනසට සාපේක්‍ෂව ද? සුපිරි මනස යනු කුමක් ද? මේ ප්‍රශ්න වැලට අප දෙන පිළිතුරු වාස්තවික පවතින සුපිරි මනසක් ගැන කියන්නේ ද?

මේ ප්‍රශ්න වැළට පිළිතුරු දුන්නත් ඉන් ගැලවීමක් නැත. ප්‍රශ්න වැළෙන් හා පිළිතුරුවලින් ගොඩ ඒමක් මනස මනසට සාපේක්‍ෂ යැයි සැලකීමෙන් සිදු වෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද පවතින්නේ මනසට සාපේ්ක්‍ෂව ය. මනසක් යනුවෙන් කිවහැකි දෙයක් නැත. කෙටියෙන් කිවහොත් මනසට සාපේක්‍ෂ නොවන මනසක් නැත. මනස ද ඇත්තෙහි මනසෙහිම ය. මනස ද මනසෙහි මවා ගැනීමක් පමණකි.

වෙනත් වචනවලින් කිවහොත් මනසක් යනුවෙන් කිවහැකි කිසිවක් නැත. ඇත්තේ මනසක් නොව නැති මනසකි. මනසක් නැති තැන අපි මනසක් ඇතැයි ගනිමු. එය පුටුවක් නැති තැන පුටුවක් ඇතැයි ගැනීමට සමාන වෙයි. පුටුව නැතැයි ගැනීම හා සියල්ල නැතැයි ගැනීම අතර වෙනසක් වෙයි. පුටුවක්, ආදී වශයෙන් කිසිවක් නැති වුවත් එසේ වන්නේ සංකල්පීය වශයෙනි. එබැවින් සියල්ල නැතැයි ගැනීම හා පුටුවක් නැතැයි ගැනීම අතර වෙනසක් ඇත.

සියල්ල නැතැයි ගැනීම මෙන් ම සියල්ල ඇතැයි ගැනීම ද වැරදි ය. එහෙත පුටුවක් ඇතැයි ගැනීම පමණක් වුවත් වැරදි ය. පුටුවක යනුවෙන් දෙයක නැත. පුටුව යන සංකල්පය ශූන්‍ය වෙයි. පුටුවක් යනුවෙන් පමණක් නොව මනසක් යනුවෙන් දෙයක් ඇතැයි ගැනීම වුවත වැරදි ය. අප ඇතැයි යනුවෙන් ගන්නේ නැති මනසකි. නැති පුටුවකි.

අද ඇතැමුනට ප්‍රශ්නයක් වී ඇත්තේ මනස යනුවෙන් දෙයක් නොමැති යැයි අප විසින් පවසනු ලැබීම ය. මනස ද මනසෙහි ම නිර්මාණයකි. මනස නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. මනස යනුවෙන් යමක් ඇතැයි ගන්නේ ම මනස ය. නැති මනසක් ඇති මනසක් ලෙස ගැනීම ම සියළු ප්‍රශ්නවලට මුල ය. නැති මනසක් ඇතැයි ගැනීම නිසා ම අපි දැනුම නිර්මාණය කරමු. සංසාරයේ සැරිසරමු.

නැති මනස නැති මනසක් බව අවබෝධ වූ විට දැනුම නිර්මාණය ද නවතියි. එහෙත් එතෙක පැවති දැනුම නැති වී නො යයි. ඒ දැනුම එසේ ම පවතින අතර අළුතෙන් දැනුම් නිර්මාණය නවතියි. දැනුම නිර්මාණය නැතිවීම යනු නිවන් අවබෝධය ය. දැන් ප්‍රශ්නය වනුයේ නැති මනස නැති මනසක් බව අවබෝධ කරගන්නේ කවු ද යන්න ය. එය කිසිසේත්ම මනස විය නො හැකි ය.

නැති මනස නැති මනසක් බව අවබෝධ කර ගත යුත්තේ නැති මනස විසින් බව පැහැදිලි ය. එසේ නොවුනහොත් මනසේ නිරපේක්‍ෂ පැවැත්මක් ඇතැයි පිළිගැනීමට සිදුවෙයි. යමකු මනසින් නිවන් අවබෝධ කරගැනීමට සිතන්නේ නම් එය තව තවත් ප්‍රශ්නවලට තුඩු දෙනු ඇත.

දැන් ප්‍රශ්නය වනුයේ ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම නිසා ම මා බෞද්ධයකු නොවන්නේ කෙසේ ද යන්න ය. ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම හේතුකොටගෙන මා බෞදධයකු නොවන්නේ කෙසේ ද? විඥානවාදීන් පුද්ගලවාදීන් ආදීන් බෞද්ධයන් වීමටත්් නිර්මාණාත්මක සාපේක්‍ෂවාදීන් යැයි හැඳින්වෙන්නන් අබෞද්ධයන් වීමටත් හේතුව කුමක් ද?

ඉතා පැහැදිලිව මෙහි ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකි. එසේ නොවන්නට කළ යුතුව තිබුණේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ද වැඩිම වුවහොත් තවත් බෞද්ධ ගුරු කුලයක් ලෙස හඳුනාගැනීම ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීහු බෞද්ධයන් වනු පමණක් නොව ඔවුහු විඥානවාදීහු හෝ ද්‍රව්‍යවාදීහු ද නො වෙති.

Monday, 12 March 2012

බටහිර යටත්විජිතවාදයෙන් නිදහස්වීම

අපි සියල්ලෝ ම නැති ආත්මයක්, නැති විඤ්ඤාණයක්, නැති මනසක් ඇතැයි ගනිමින් කෙළවරක් නොපෙනෙන සංසාරයේ සැරිසරමු. ඔවුන්ගෙන් සමහරකු නැති නිදහසක් ඇතැයි ගනිමින් ජෙනීවාහි හා වෙනත් සංසදවල බටහිරයන් අපට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම්, යුද්ධාපරාධිකරණ ආදිය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම් කුමන්ත්‍රණ ලෙස සලකති. තවත් සමහරු නැති ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි ගනිමින් එයට විසඳුම් ඉදිරිපත් කරති. උගත් පාඩම් කොමිසමේ මහත්වරු ද ඇතැම් වාමාංශික යැයි කියාගන්නා ඇමතිවරු ද ඒ ගණයට අයත් වෙති. මේ අතර මගේ ලිපි තම වෙබ් අඩවියේ පළකර ඒවාට තම දේශපාලන අඥාන හිතවතුන් ලවා විවේචන ලියා ගන්නා ව්‍යාජ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරිකයෝ නැති ජර්මන් ප්‍රොතෙස්තන්තයක් ඇමරිකාවේ ඇතැයි සිතති. ඔවුන්ගේ ම එකෙක් නැති සංකල්පීය ශූන්‍යතාවක් ඇතැයි ගනිමින් මට නැති මාධ්‍යමිකවාදයක් ඇති කිරීමට උත්සාහ කරයි. නැති දේ ඇතැයි ගැනීම එසේ ගන්නා අයට අවසානයේ දී දුකක් වෙයි.

මා ජාතිකත්වය පැත්තෙන් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විවේචනය කරන්නේ අද ඊයේ නො වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ සිට ම මම එසේ කරමි. එපමණක් නොව විශ්වවිද්‍යාල ඇතුළු ඔවුන්ගේ අධ්‍යාපනය ද විවේචනය කරමි. එහෙත් ව්‍යාජ දේශහිතෛශී ජාතික ව්‍යාපාරිකයන් පෙන්වීමට උත්සාහ කරන්නේ මා විශ්‍රාම යෑමෙන් පසුව පමණක් මෙරට ඇති බටහිර විශ්වවිද්‍යාල විවේචනය කරන බව ය. කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාලවල ඇති වූ ප්‍රශ්නවල දී සිදුවූයේ කුමක් දැයි නොදන්නේ මෙවැනි අඳ බාලයන් පමණක් විය හැකි ය. මෙරට දෙමළ ජනතාවට නැති ඉතිහාසයක් ඇති කළෝ බටහිර මෙන් ම මෙරට ද සිටින පඬියෝ ය. ව්‍යාජ දේශහිතෛෂීහු ද ඒ නැති ඉතිහාසය ඇතැයි කීහ. ඇතැයි කී ඒ ඉතිහාසය නැති බව පෙන්වා දුන්නේ කාලය වෙබ් අඩවියෙන් මිස කසිකබල් වෙබ් අඩවිවලින් නො වේ. කසිකබල් වෙබ් අඩවියට අනුව දෙමළ ජනයාගේ ඉතිහාසය දහහත්වැනි සියවසෙන් ඔබ්බට නොයන බව දන්නා බහුතරයක් ඇත. එහෙත් ඒ නැති බහුතරයකි. තවමත් බටහිර විද්‍යාවට පින් සිදුවන්නට තම ජීවිකාව කරගන්නන්ට බටහිර විද්‍යාව විවේචනය කිරීම නයාට අඳුකොළ බව මම ඔවුන් ඉඳහිට කරන ප්‍රකාශවලින් දනිමි. තම ගෝලබාලයන් ලවා මා ථෙරවාදයට විරුද්ධ මාධ්‍යමිකවාදියකු කර ප්‍රෙතෙස්තන්තවාදය ගැනවත් නොදන්නා අඥානයකු බවට පත්කර ජාතික ව්‍යාපරයෙහි පොල්මඃකාරයන් වීමට යත්න දරන මොවුහු මා බටහිර විශ්වවිද්‍යාලවල උගන්වමින් ම ඒ විවේචනය කළ ආකාරයට තමන් ජීවිකාව කරගැනීමට යොදාගන්නා බටහිර විද්‍යාව හා දැනුම විවේචනය නො කරති.

ධනවාදය හා ප්‍රොතෙස්තන්තවාදය ගැන අධ්‍යයනයක් කර පොතක් ලියු මැක්ස් වෙබර් ප්‍රොතෙස්තන්තවාදය ලෙස හැඳීන්වූයේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ප්‍රෙතෙස්තන්තය ය. මේ ප්‍රොතෙස්තන්තය කතෝලික චින්තනයට විරුද්ධ එකක් විය. එය බිඳී එන්නේ ම ප්‍රොටෙස්ට් යන ඉංගිරිසි වදනෙනි. වෙබර්ට අනුව ධනවාදය ඇතිවීමට ප්‍රොතෙස්තන්තවාදය බලපෑවේ ය. සිංහල ථෙරවාද බෞද්ධ චින්තනනයෙහි පදනම්වන නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ලෙස චින්තන පර්ෂදයෙහි අප කියන්නේ මේ සියල්ල පහළොස්වැනි සියවස අග ඇරඹි බව ය. අපි නාගර්ජුනපාදයන් වහන්සේ ලොව පහළ වූ විශිෂ්ටතම දාර්ශනිකයා ලෙස පිළිගත්ත ද උන්වහනසේ මතුකළ බුදුන් වහන්සේ දෙසූ ශූන්‍යය (අභාවප්‍රාප්ත මහාචාර්ය ඩබ් ඇස්කරුණාරත්න මහතාගේ කෘති කියවීමෙන් බුදන් වහන්සේ ශූන්‍යය දේශනා කර ඇති ආකාරය දැනගත හැකි ය) හා සංකල්පීය ශූන්‍යභාවය ඉතා ඉහළින් අගය කළ ද සසරට සාපේක්‍ෂව නිවන ගැනීම සහ පරම ශූන්‍යතාවය නො පිළිගනිමු. අපේ සාපේක්‍ෂතාවාදය නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය නො වේ. එය අයින්ස්ටයින්ගේ ඊනියා සාපේක්‍ෂතාවාදය ද නොවන්නේ ඔහු සැබවින් ම කතා කළේ සාපේක්‍ෂතාවක් ගැන නොව නිරපේක්‍ෂ ගැන වීම නිසා ය. නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය ද අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට වෙනස් ය. අප මේ සියල්ල පිලිබඳව බොහෝ දේ ලියා ඇත.

පහළොස්වැනි සියවස අගභාගයේ කතෝලික චින්තනයට අභියෝගාත්මක ව නව චින්තනයක් දකුණු යුරෝපයෙහි සංස්කරණය වීමට පටන් ගත්තේ ය. නව චින්තනයට ග්‍රීක චින්තනය ද යුදෙව් චින්තනය ද වෙබර් සඳහන් කරන පරිිදි කතෝලික පල්ලියෙහි ජෙසුයිට් වැනි නිකායවල කැපකිරීම ආදිය ද එකතුවීණි. ඒ අර්ථයෙන් අපි ඒ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. එය ප්‍රධාන වශයෙන් ම කතෝලික චින්තනයට එරෙහිව ඇතිවිණි. එහි මූලික ලක්‍ෂණ අතර සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු කර එයට වැදගත් තැනක් දීම, ඉන්ද්‍රිය පිනවීමට මූලිකත්වය දීම, ස්වාභාවික සම්පත් (ගැහැණුන් හා යුරෝපීය නොවන මිනිසුන් ද ඇතුළුව) මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්‍රයෝජනය සඳහා මවා හෝ මැවී හෝ ඇතැයි සැලකීම (මෙය කතෝලික චින්තනයට ද පොදු වූ නමුත් ඔවුන්ට ඒ ප්‍රයෝජනයට ගැනීමට නොහැකි විය), දෙවියන් වහන්සේ ලෝකය සුදු පිරිමියාට පවරා දී ඇතැයි සෑලකීම, ඒ හේතුවෙන් ස්වාභාවික සම්පත් හා මිනිස් ශ්‍රමය සූරාකෑමට යොමු වීම, තම සංස්කෘතිය එකම සංස්කෘතිය ලෙස සෑලකීම, එබැවින් ලෝකයාට එම සංස්කෘතිය පැටවීීමට කටයුතු කිරීම, තම ආර්ථික ක්‍රමය අනෙක් රටවලට ද පැටවීීම, ඒ සඳහා දේශපාලන හා අවි බලය යෙදවීම (චීනයට ද වෙඩි බෙහෙත් පිළිබඳ දැනුමක් තිබූ නමුත් ඔවුහු අනෙක් රටවලට තම සංස්කෘතිය පැටවීමට අවි බලය යොදා නොගත්හ), තරගකාරීත්වය අගය කිරීම, කතෝලික ත්‍රිකෝටික න්‍යාය අත්හැර ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය වෙත ආපසු යෑම, වියුක්ත චින්තනය, රූපික වියුක්ත දැනුම හා සාධාරණීකරණය (කතෝලික චින්තනයෙහි දැනුම සංයුක්ත විය. පැරණි වෛදික දැනුමෙහි සාධාරණීකරණයට වැදගත්කමක් නොවීය), ස්වසිද්ධාත්මක ක්‍රමය, ඌනිතවාදය, පද්ධතීන් සමස්තයක් ලෙස නොගැනීම, ඒ වෙනුවට පද්ධතිය යන්න කොටස්වල එකතුවක් ලෙස සෑලකීම, අනෙක් පැත්තට පද්ධතිය කොටස්වලට කැඩීම හා වෙන් කිරීම, ඒ සමග පද්ධතීන් යාන්ත්‍රික ලෙස ගැනීම, බාහිර ලෝකයක් ඇතැයි උපකල්පනය කිරීම, බාහිර ලෝකය වාස්තවික යථාර්ථයක් ලෙස සැලකීම, දෙවියන් වහන්සේ බාහිර ලෝකය යම් නීති පද්ධතියකට අනුව මවා ඇතැයි සැලකීම, ඒ නීති දෙවියන් වහන්සේගේ ප්‍රතිබිම්බය ලෙස මවා ඇති මිනිසාට විශේෂයෙන් ම සුදු පිරිමියාට දැනගත හැකි යැයි සැලකීම, සංසිද්ධිවලට බාහිර හේතු සෙවීම (මෙය දෙවියන් වහන්සේ බාහිර හේතුවක් වීම නිසා පැන නෑගෙන්නකි), පද්ධතියක අභ්‍යන්තරය ද ඊනියා බාහිර ක්‍රියා හා ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් සැලකීම ආදිය වෙයි.

මේ සියල්ල එක රැයකින් ඇතිවූවා නො වේ. ඉතාලි පුනරුදයෙන් ආරම්භ වී, පෘතුගීසි ස්පාඤ්ඤ ආක්‍රමණ, යටත්විජිතවාදය, ලූතර්ගේ රෙපරමාදු ප්‍රතිසංස්කරණවාදය හා ප්‍රොතෙස්තන්තවාදය, ගැලීලියෝගේ ඊනියා පරීක්‍ෂණ, නිව්ටන්ගේ වියුක්ත ප්‍රවාද නිර්මාණය, එංගලන්තය පාප්වහන්සේගෙන් මිදීම, කාර්මික විප්ලවය, ප්‍රංශ විප්ලවය, හේතුවාදය, ධනවාදය, ආලෝකනය ආදී අවස්ථා රාශියක් පසුකර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ගමන්කර ඇත. මේ සියල්ල පහළොස්වැනි සියවසේ ඇරඹි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පිය සටහන් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මානව හිතවාදය යන්න හුදු දේශපාලන සටන්පාඨයක් වී ඇති අතර ස්වභාව ධර්මය විනාශ වී යයි. බටහිරයන්ට කිසි දිනෙක පරිසරය රැකිය හැකි නො වේ. ඔවුන්ට අද ප්‍රශ්නවලට විසඳුම් නැත. අද ඔවුන්ට කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. එය ද වැඩි කලකට නො වේ. පශ්චාත්නූතනත්වය යනු නූතනත්වයේ කඩාවැටීම ය. ඔවුන්්ට අද සාධාරණ ප්‍රවාදවත් ගොඩනගා ගත නො හැකි ය. බටහිරයන්ගේ තකතීරු රසායනික කෘෂිකර්මය හේතුවෙන් අද පස විස වී සතුන් හා මිනිසුන් වස විස ආහාර වශයෙන් ගන්නා පිරිසක් බවට පත් වී ඇත. රජරට පෙදෙස්වල ගොවි ජනතාව පලිබෝධනාශක නිසා පසට එකතුවන ආසනික් හේතුවෙන් දින දෙකකට එක් අයකු බැගින් මිය යන තත්වයකට පත් වී ඇත. රජරට වකුගඩු රෝගීන්ගේ සිරුරුවල ආසනික් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙ හා වෙනත් තැන්වල කරන ලද පර්යෙෂණවල ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, ආචාර්ය කිත්සිරි සේනානායක, වෛද්‍ය කේ දහනායක, වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු තවත් බටහිර වෛද්‍යවරුන් හා සාරංග ෆොන්සේකා මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත්කරන ලද පත්‍රිකාවකට පසුගිය දා බටහිර වෝහාරික ව්‍යාධිවේදීන්ගේ සැසි වාරයක දී රිදී පදමක්කමක් හිමි වී ඇත. මා මෙවැනි පදක්කම් සතපහකටවත් මායිම් නොකරන නමුත් මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන්ට ඇස් ඇර බැලීමට පදක්කමේ දිස්නය හේතුවනු ඇත. මේ පරීක්‍ෂණ සිංහල විද්‍යාවක් නැවත බිහිකිරීම සඳහා ගත් සංක්‍රමණීය පියවරක් පමණකි. අද ඇතැමුන්ට කැලණිය විශ්වවවිද්‍යාලයේ ඒ සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ නැවැත්වීමට අවශ්‍ය වී ඇත. ඒ රටේත් ජනතාවගේත් සුභ සිද්ධිය සඳහා නම් නොවන බව පැහැදිලි ය. ජෙනීවාහි දී පමණක් නොව, රජරටේදීත්, කැලණියේදීත් වෙනත් විශ්වවිද්‍යාලවලත් ක්‍රියාත්මක වන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. අපේ ම මුදල්වලින් වස විස ගෙන ඒ අපේ ආහාර පද්ධතියට එකතුකර අපි මිය යන්නෙමු. බටහිර අධ්‍යාපනයෙන් බිහිකෙරෙන අයගෙන් ඉතා වැඩි පිරිස රටට ද්‍රෝහී ප්‍රතිපත්තියක් බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය වෙනුවෙන් අනුගමනය කරති. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා සිංහල වෙදකම දියුණු බවත් මිනිසුන් ජීවත්කිරීමට නොව මැරීමට බටහිර කෘෂිකර්මය හේතු වන බවත් පැහැදිලි ය. අප බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වනු ඇත්තේ අවසානයේ දී බටහිර දැනුමෙන් නිිදහස් වීමෙනි.