Main Logo

Showing posts with label තටිල්. Show all posts
Showing posts with label තටිල්. Show all posts

Saturday, 1 September 2012

ආසනික්, උගත්තු හා ආණ්ඩුව - I

මම නූගතෙක්මි. මම හිසෙන් ගැමියෙක්මි. එහෙත් අවාසනාවකට මම “ඇඟෙන්” ගැමියෙක් නො වෙමි. එයට හේතුව මා කුඩා කල සිට ම අර්ධ නාගරික හා නාගරික පරිසරවල ජීවත්වීම ය. මම බටහිර විද්‍යාව ඉගෙන ගතිමි. අවුරුදු පහළොවේ දී පමණ මගේ කැමැත්ත වූයේ එවකට තිබූ ලංකා විශ්වවිද්‍යාලයේ උගන්වන බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමට ය. බටහිර ඉංජිනේරුවකු, වෛද්‍යවරයකු වීමට හෝ වෙනත් රැකියාවක් කිරීමට හෝ මට කැමැත්තක් නො තිබිණි. එහෙත් අවුරුදු විසිපහේ දී පමණ බටහිර විද්‍යාවේ මොකක්දෝ අඩුවක් දුටුවෙමි. අවුරුදු හතළිහේ දී පමණ ඒ අඩුව කුමක් දැයි ක්‍රමයෙන් වැටහෙන්නට විණි. මම අද බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දනිමි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බොරු කතා නිර්මාණය කිරීම පමණකි. ඒ ඇතැම් කතා සමහර අවස්ථාවල නිරීක්‍ෂණ සමග එකඟ වන බවක් පෙනී යයි. එහෙත් එයින් බටහිර විද්‍යාව සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟාවන්නක් හෝ බව නිගමනය කිරීමට නො හැකි ය. විදුසර පුවත්පතට ලිපි ලියන අයකු යුක්ලීඩීය ජ්‍යාමිතියට එකඟ ව නිර්මාණය කරන ගොඩනැගිලි ආදියෙහි සාර්ථකත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ යුක්ලීඩීය ජ්‍යාමිතියෙන් අප අවට අවකාශය නිරූපණය වන බව වැන්නක් කියා තිබිණි. එහෙත් අයින්ස්ටයින් විද්වතාට අනුව (අවකාශය නොව) අවකාශ - –කාලය යුක්ලීඩීය නො වේ. අප අවට අවකාශය යුක්ලීඩීය යැයි කීම පට්ටපල් බොරුවකි. යුක්ලීඩීය ජ්‍යාමිතිය ඊනියා ඇත්තක් නොසොයන බටහිර ගණිතයෙහි කොටසක් ලෙස පමණක් ඉගැන්වෙනතාක් එහි ප්‍රශ්නයක් නැත. එහෙත් එය බටහිර භෞතික විද්‍යාවෙහි කොටසක් ලෙස ගැනෙන්නේ නම් එය පට්ටපල් බොරුවක් ලෙස සැලකිය යුතු ය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය විසින් කරනු ලැබූ එක් කරුණක් වූයේ ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාවේ කොටසක් බවට පත් කිරීම ය. සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශ –- කාලය නිර්ණය කෙරෙනුයේ ද්‍රව්‍ය හා විකිරණ මගිනි. එහෙත් මතක තබාගත යුතු කරුණක් නම් සාපේක්‍ෂතාවාදය ද පට්ටපල් බොරු කතාවක් බව ය.

අද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වර්ජනයක් වෙයි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු උගත්තු යැයි හැඳින්වෙති. ඔවුහු ජනතාවට බොරු කියති. ඔවුන් කියන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් සටන් කරන බව ය. කලින් තම වැටුප් වැඩිකිරීම ගැන කතාකළ ද එය යුක්තියුක්ත කිරීමට නොහැකිව ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ දේශීය නිශ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි ඔවුහු කියති. එය යුනෙස්කෝ වාර්තාවක් අනුව කළ යුතු වූවක් බව ද ඔවුහු කියති. එහෙත් යුනෙස්කෝ වාර්තාවෙන් කියැවෙන්නේ ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු බව නො වේ. සම්මේලනය තම ඉල්ලීම් නිතර් වෙනස් කරයි. මේ කෙරීගෙන යන්නේ පසුගිය වසරේ අත්හිටවී යැයි කියන වර්ජනය නොවේ. එදා සිට අද දක්වා ඇතැම් ඉල්ලීම් වෙනස් කෙරී ඇති අතර 6% ද ඇතුළු අලුත් ඉල්ලීම් එකතු කෙරී ඇත. සම්මේලනයේ අලුත් ම ඉල්ලීම්වලින් ඔවුන් මෙතෙක් වාචිකව පමණක් කී ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු ය යන්න ලිඛිතව ම ඉදිරිපත් කෙරී ඇත. සම්මේලනයේ නිලධාරීන් එදා දැන නොසිටියත් අද දන්නා කරුණක් නම් දැනටමත් මෙරට අධ්‍යාපනයට දළ දේශීය නි’ෂ්පාදිතයෙන් 6%ක් පමණ වෙන් කෙරෙන බව ය. ඉසෙඩ් ලකුණු අවුලට මූලිකව ම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ව්‍යාජ ජනතාවාදී විරයන්ගේ සම්භාවනාවට පත් වී ඇති මහාචාර්ය තටිල් මහතා ය. අද 6000 –- 8000ක පමණ සිසුන් යන එන මං නැතිව සිටින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තටිල් ක්‍රමය අනුව දෙවැනි වර ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට උපදෙස් දීමට සිිදුවීම නිසා ය. පළමුව ඉදිරිපත් කළ ඊනියා විද්වත් කණ්ඩායමේ සූත්‍රය ද සංකල්පීය ව වැරදි නමුත් ඒ අනුව තේරුණු පළමුවරට පෙනී සිටි අයගේ හා නැවත පෙනී සිටි අයගේ අනුපාතය පසුගිය වසර කිහිපය සමග සැසඳීමේ දී සැලකිය යුතු තරමින් වෙනස් නොවිණි. එහෙත් ආණ්ඩුව මේ කිසිවක් ජනතාවට නො කියයි. උසස් පෙළ පරීක්‍ෂණයට ප්‍රශ්න පත්‍ර සකස් කරන්නෝ විශ්වවිි්‍යාලයීය ආචාර්යවරු ය. එහි වැරදි ඇත්නම් එයට වගකිව යුත්තේ ආචාර්යවරුන් ය. එහෙත් ආණ්ඩුව මේ කිසිම අවස්ථාවක තටිල් මහතා ඇතුළු අදාළ ආචාර්යවරුන්ට දොස් පැවරුවේ නැත.

උසස් පෙළ පරීක්‍ෂණයේ ප්‍රශ්නපත්‍රවල පළමුවරට වැරදි තිබුණේ මේ වසරේ නො වේ. මේ වැරදි සැමදාමත් තිබී ඇත. ප්‍රශ්නපත්‍රවල වැරදි නොතිබූ වසරක් කිවහැකි ද? බොහෝ වසරවල මේ වසරට වඩා වැරදි තිබී ඇත. පරමාදර්ශීව ගතහොත් ප්‍රශ්නපත්‍රවල වැරදි නැතිවිය යුතු ය. එහෙත් පෘථග්ජනයන් වීම නිසා ම සිදුවන වැරදි ද වෙයි. ජනතා විමුක්ති පෙරමුණ හා එයට සම්බන්ධ ගුරු සමිති ආණ්ඩුව හා ඇමතිවරු ගෙදර යැවීමේ අරමුණෙන් වැරදි සිදුවී ඇත්තේ මේ වසරේ පමණක් ය යන අදහස ජනතාවට දෙමින් ඒ පිළිබඳ ව ආණ්ඩුව වගකිව යුතු යැයි කියද්දී ආණ්ඩුව නිසි පිළිතුරු නො දුන්නේ ය. ආණ්ඩුවේ ජනමාධ්‍ය ඒවාට පිළිතුරු ඇති අයට දොර වැසී ය. එක්තරා ඇමතිවරයකු තම හෙංචයියන් සමග එකතු වී ආණ්ඩුවේ ජනමාධ්‍ය පාලනය කරන බව පැහැදිලි ය. ආණ්ඩුව විනාශවනු ඇත්තේ මෙවැනි ඇමතිවරුන් නිසා ය. ඇතැම් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු ද පාසල් ගුරුවරු ද ශිෂ්‍යයෝ ද ජ වි පෙ, එ ජා ප හා වෙනත් අය සමග එක්වී ආණ්ඩුව අස්ථායී කිරීමට කටයුතු කරති. අපි ඒ බව මුල සිට ම කීවෙමු. 6% ක් ගැන බොරු කියමින් වෙනත් අය සමග ආණ්ඩුව අස්ථායි කිරීමට කටයුතු කරන සම්මේලනය තම ඊනියා සටනට ශිෂ්‍යයන් සහභාගි කරගැනීමෙන් සිදුවන විනාශය ගැන අටුවා ටීකා අනවශ්‍ය ය. විශ්වවිදාලයීය ගුරුවරුන්ට තම සේවය, ශ්‍රමය සැපයීම අස්කරගත හැක්කේ විශ්වවිද්‍යාලවලිනි. ඔවුන්ට උසස් පෙළ පරීක්‍ෂණයට සහභාගිවීමට පත්වීම් ලිපි ලබන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් මිස විශ්වවිද්‍යාලවලින් නො වේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතියක් මිස උසස් පෙළ පරීක්‍ෂකවරුන්ගේ වෘත්තීය සමිතියක් නො වේ. ආචාර්යවරුන්ට පරීක්‍ෂකයන් ලෙස පත්වීම් ලැබෙන්නේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් වීම නිසා බව සැබෑ නමුත් ඔවුන් පරීක්‍ෂකවරුන් ලෙස සේවය කරන්නේ ආචාර්යවරුන් ලෙස නො වේ. ආචාර්ය සමිති සම්මේලනයට හෝ විශ්වවිද්‍යාලයක ආචාර්ය සමිතියකට හෝ ආවාර්යවරුන් උසස් පෙළ පරීක්‍ෂණයේ පරී්ක්‍ෂකවරුන් ලෙස කටයුතු කිරීම වැළැක්වීමට තීරණ ගැනීමට නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නැත. සම්මේලනයේ ඒ සියළු දුර්වලකම් මැද ආණ්ඩුව උසස් අධ්‍යාපනය පිළිබඳ ඇමතිතුමා හුදු නිරීක්‍ෂකයකු බවට පත්කරමින් එක් ඇමතිවරයකුගේ හා ආණ්ඩුවේ ඉහළ තනතුරු දරණ ඇදුරන් දෙදෙනකුගේ මැදිහත්වීමෙන් සම්මේලනයේ ඉල්ලීම් ලබාදීමට යන බව සැළ ය. මේ ආණ්ඩුව බිඳ වැටෙන්නේ මෙවැනි දුර්වල ක්‍රියාමාර්ග හේතුවෙනි.

මේ ආචාර්යවරු ද පොදුවේ මෙරට උගත්තු ද නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වෙති. ඊනියා අධ්‍යාපනික නිදහසක් ඇතැයි කියන විශ්වවිද්‍යාලවල අපේ දැනුමක් ඉගැන්වීමට, භාවනා වැඩසටහන් පැවැත්වීමට ඇති නිදහස කුමක් ද? එවැනි දේ කිරීමට උත්සාහ කරන විට එයට විරුද්ධවන්නෝ ආචාර්යවරු ය. ඔවුහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් දෙන දැනුම සත්‍ය යැයි ගනිමින් අපේ දැනුම මිථ්‍යාවක් යැයි පවසති. අපේ දැනුම විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට ඔවුන් විරුද්ධ වේය යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔවුන් නිිදහස් අධ්‍යාපනයට විරුද්ධ බව ය. ඔවුහු සමාජවාදීන් වුව ද ලිබරල්වාදීන් වුව ද බටහිර ගැත්තෝ වෙති. ඔවුන් විශ්වවිද්‍යාලවල සනාතන සභාවල කරන එකම දෙය බටහිරයන්ට අවශ්‍ය පරිදි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම ය. දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස සිංහල බෞද්ධයන් සලකන්නේ ප්‍රත්‍යක්‍ෂය පමණකි. ඇතැම් බෞද්ධ උගතුන් යැයි කියාගන්නවුන් බටහිරයන් ඉදිරියේ වැඳ වැටෙමින් අනුමානය ද බෞද්ධයන්ගේ දැනුම ලබාගැනීමේ ක්‍රමයක් ලෙස පෙන්වීමට තැත්කළ ද බුදුන්වහන්සේ ඒ අනුදැන වදාළ තැනක් ගැන දැනගැනීමට නැත. මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයන්ට පළමුව දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් කියැවෙන්නේ ද ප්‍රත්‍යක්‍ෂය පමණක් දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස ගැනීමට ය. එහෙත් මෙරට විශ්වවිද්‍යාලවල මේ ක්‍රමයෙන් දැනුම ලබාගැනීමට කිසිම නිදහසක් නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ දී මෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ දී ද මම ඒ බව අත්දුටුවෙමි. ඇදුරන්ගෙන් අතිවිශාල බහුතරය දන්නේ බටහිර දැනුම ලබාගැනීමේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය පමණකි. එහෙත් බටහිර විද්‍යාවේ ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කෙරුණු පට්ටපල් බොරු කතා පමණකි.

මම සිංහල බෞද්ධයෙක්මි. මා අනුගමනය කරන්නේ කාළාම සූත්‍රය ය. මම හැකිතාක් දුරට ඇසූ නිසා පොතක පතක තිබූ නිසා ආදී වශයෙන් නොපිළිගෙන ප්‍රශ්නයක මුලට ගොස් එය විශ්ලේෂණය හා සංස්ලේෂණය කර ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. එසේ නොහැකි වූ විට මගේ විඤ්ඤූන්ගේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. මට පුනබ්භවය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂයක් නැත. එහෙත් මම ඒ පිළිබඳ බුදුන් වහන්සේගේ හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනත් අයගේ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිමි. බයිබල් ක්‍රමය අනුගමනය කරමින් උගතුන් යැයි කියන්නන්ගේ බලාධිකාරී දැනුම උපුටා දැක්වීම මගේ ක්‍රමය නො වේ. මට කර්මවාදයක් අවශ්‍ය නො වේ. බුදුන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් කර්මය පිළිබඳ දැනුම මට ප්‍රමාණවත් ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි පට්ටපල් බොරු කතා ඉදිරියේ වැඳ වැටුණු, වැටෙන මහා ප්‍රාඥයන් යනුවෙන් හැඳින්වුණු, හැඳින්වෙන ඇතැමුන් පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කළ බව, කරන බව මම දනිමි. ඔවුන්ට තිබුණේ, තිබෙන්නේ හීනමානයකි.

අද ආසනික් ගැන බොහෝ දෙනා කතාකරති. දිනේශ් ගුණවර්ධන මහතා ද, ගුණදාස අමරසේකර මහතා ද අද ආසනික් ගැන කියති, ලියති. ඇමතිතුමාගේ අමාත්‍යාංශයට ආසනික් නැත. අමරසේකර මහතාට හා ඊනියා දේශ හිතෛශීන්ට නාථ දෙවියන් නැත. නාථ දෙවියන් නොමැතිව ආසනික් ගැන කතාකරන්නෝත් නාථ දෙවියන් කියද්දීත් ආසනික් ප්‍රතික්‍ෂෙප කරන්නෝත් අපේ දැනුම ලබාගන්නා ක්‍රමය ප්‍රතික්‍ෂෙප කරති. නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුදැයි මම නො දනිමි. එතුමා දෙවියකු, භූතයකු හෝ වෙනත් අමනුෂ්‍යයකු හෝ විය හැකි ය. අප රජරට වකුගඩු රෝගයට හේතුවූ කෘෂි රසායන ද්‍රව්‍යවල ආසනික්, කුඹුරු පස හා කිවුල් ජලය ගැන දැනගත්තේ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණවලින් නොව ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙනි. මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය හා පිරිස ඇදුරු විරෝධතා මැද ඒ බව සනාථ කළහ. රෝගයට පිළියම් දියුණු යැයි කියන බටහිර වෙදකමේ නැත. අපි දෙවිවරුන්ගෙන් ඒ සඳහා පිළියම් ද දන්නෙමු.


Saturday, 25 August 2012

අධ්‍යාපනයේ අර්බුදය හා සම්මේලනයේ අර්බුදය

මූලික වශයෙන් ඇතැම් ගුරු සංගම්, ජඩමාධ්‍යවේදීන්, මහාචාර්ය තටිල් මහතා හා වෙනත් අය විසින් ඇති කරනු ලැනූ ඉසෙඩ් ලකුණු අර්බුදය තවමත් විසඳී නැත. අද අර්බුදය ඇති වී තිබෙන්නේ තටිල් ක්‍රමය අනුව පැරණි හා නව නිර්දේශ සඳහා ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර ඒ ලකුණු අනුපිළිවෙළින් එක් ලැයිස්තුවකට ඇතුළත් කිරීම හේතුකොට ගෙන ය. ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් සඳහන් කෙරී ඇත්තේ තම තීන්දුව අනුව බලධාරීන් ක්‍රියාකර නොමැති බව ය. වෙන වෙන ම ගණනය කරන ලද ඉසෙඩ් ලකුණු අනුව සිසුන් ඇතුළත් කරගන්නේ කිනම් අයුරෙන් දැයි ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවෙන් කියැවී ඇත්දැයි මම නො දනිමිි. කෙසේ වෙතත් පසුගිය වසරවල ප්‍රථම වරට පෙනී සිටි සිසුන් හා නැවත පෙනී සිටි සිසුන් විශ්වවවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී නියෝජනය වූ ප්‍රතිශත හැකිතාක් දුරට අනුගමනය කරමින් සිසුන් විශ්වවිිදාලවලට ඇතුළත් කිරීම පිළිබඳ ක්‍රමවේදයක් සකස්කර ගැනීමට තටිල් ක්‍රමයෙන් නොහැකි බව පැහැදිළි ය. අද අර්බුදය පැන නැගී ඇත්තේ ඒ හේතුවෙනි. එහෙත් මෙහි දී කිසිවකු කියනු ඇත්තේ තටිල් ක්‍රමය නිවැරදී බවත් පසුගිය වසරවල යොදාගත් ක්‍රමයෙහි යම් වරදක් සිිදු වී ඇති බවත් ය. මෙවර ප්‍රථම වරට පෙනී සිටි සිසුන්ගේ හා නැවත පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර පසුව අනුපිළිවෙළ අනුව එක් ලැයිස්තුවකට ඇතුළත් කෙරුණු අතර පසුගිය වසර කිහිපයෙහි පළමුව ලකුණු එක් ලැයිස්තුවකට ගෙන පසුව ඉසෙඩ් ලකුණු ගණනය කෙරී ඇත. පළමුව කළ යුත්තේ වෙන වෙන ම ඉසෙඩ් ලකුණු ගණනය කිරීම ද එසේත් නැත්නම් එක් ලැයිස්තුවකට ගැනීම ද? ඉතා පැහැදිළිව ඒ කුමවේද දෙක මගින් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය නො වේ. බටහිර ගණිතයෙහි කියැවෙන ආකාරයට නම් ඒ කර්ම දෙක න්‍යාදේශ්‍ය නො වේ. ඒ කුමක් වුවත් මේ සිසුන්ගේ කරුමයකි. මේ තීරුවෙන් සති කිහිපයකට පෙර සඳහන් කෙරුණු අයුරෙන් මෙයින්් සිදුවන්නේ උසාවියේ නඩු වැළක් පැවරීම පමණකි. මෙයින් පැහැදිළි වන කරුණ නම් සිසුන්ගේ ඊනියා දක්‍ෂතා මැනීමට අනන්‍ය වූ ක්‍රමයක් ලකුණු ඔස්සේ සකස්කර ගත නොහැකි බව ය. ලකුණු යනු සාපේක්‍ෂ වූ ද අභිමත වූ ද දර්ශක පමණක් වෙයි. එහෙත් බටහිරයන් විසින් ඒ නිරපේක්‍ෂ ලෙස ගැනීමට අප පුරුදු කෙරී ඇත.

මෙය අධ්‍යාපනය සම්බන්ධ පරීක්‍ෂණවලට පමණක් බලපවත්වන එකක් නො වේ. ක්‍රිඩා තරගවලදී ද එය බලපැවැත්වෙයි. අද බෙහෙවින් ජනප්‍රිය වී ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ පිටියේ මායිමට බිම නොවැදී උඩින් යන පන්දුවක් වෙනුවෙන් ලකුණු හයක් ද බිම වැදී යන පන්දුවක් වෙනුවෙන් ලකුණු හතරක් ද පිතිකරුවාට ලැබෙයි. මේ ලකුණු එසේ විය යුතු යැයි තීරණය කළේ කවු ද? ඒ නිරපේක්‍ෂ ලකුණු නො වේ. යම් අයුරකින් ඒ ලකුණු අට හා හය යනුවෙන් පිළිවෙළින් වෙනස් කරනු ලැබී යැයි සළකන්න. එවිට තරගවල ජය පරාජ පිළිබඳ වෙනස්කම් ද ඇතිවනු ඇත. රගර් ක්‍රීඩාවේ ද තත්වය එසේම ය. ඇතැම් බටහිර ක්‍රීඩා පිළිබඳ ජය පරාජය තීරණය වන්නේ ලකුණු දීමේ අභිමත ක්‍රමයක් මත පදනම් වී ය. කෙසේ වුවත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරමේ ක්‍රමවේද රාශියක් ඇති බැවින් හා අද ප්‍රශ්නය ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති හෙයින් ඉසෙඩ් ලකුණු ගණනය කිරීම පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව මත පිහිටා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ ක්‍රමවේදය පිළිබඳ නියෝගයක් ද භ්‍රෙෂ්ඨාධිකරණයෙන් ම ලබාගැනීමට නීතියෙන් ඉඩක් ඇත්දැයි සොයා බැලිය යුතු ය.

අද අධ්‍යාපනයේ අර්බුදය මේ ප්‍රශ්නයෙන් ම පැහැදිළි වෙයි. සමාජයේ ඉහළ යෑම (සමාජ සංචලනය) සඳහා අධ්‍යාපනය යොදා ගැනෙන විට මෙවැනි ප්‍රශ්න ඇතිවීම වැළැක්විය හැකි නො වේ. මෙය බටහිර නූතනත්වයේ ප්‍රශ්නයකි. එහෙත් අපට එසේ කියා ගැලවී යා නො හැකි ය. නූතනත්වය වෙනස් කරන තුරු (එය ඊනියා පශ්චාත්නූතනත්වය නො වේ) සිසුන්ට බලා සිටීමට කිව හැකි නො වේ. ඔවුන්ට අද ම විසඳුමක් අවශ්‍ය වෙයි. අද අධ්‍යාපනය විසින් බිහිකෙරෙන්නේ ශ්‍රමිකයන් (එය බුද්ධිමය හෝ කායික ශ්‍රමය විය හැකි ය) මිස දැනුම් පිපාසයෙන් පෙළී දිය දහරක් සොයා යන්නවුන් නො වේ. ශ්‍රමිකයන් බිහිකෙරීම අද බටහිර අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වුව ද බටහිර රටවල දැනුම නිර්මාණය කරන්නෝ කිහිප දෙනෙක් වුවත් බිහිවෙති. එහෙත් ඒ බටහිර අධ්‍යාපනය අනුකරණය කෙරෙන ලංකාවේ දැනුම නිර්මාණය කරන්නෝ බිහි නො වෙති. එයට හේතුව අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ සංස්කෘතියෙහි මිස බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නො වීම ය. එහෙත් බටහිර අධ්‍යාපනයෙන් බිහි වූවෝ අපට කන් නො දෙති. අපේ අනුකාරක අධ්‍යාපනයෙන් බිහි වී ඇති උගතුනට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට විසඳුමක් දීමට නොහැකි වී ඇත. මේ අධ්‍යාපනයෙන් බිහිවන ඊනියා දක්‍ෂයන්ට සිදු වී ඇත්තේ කුමක් ද? ඔවුන් විසින් බිහිකෙරී ඇති සංකල්ප, ප්‍රවාද ආදිය කවරේ ද? අද බොහෝ දෙනා අධ්‍යාපනය ගැන උනන්දුවන්නේ ඉන් සමාජ සංචලනයට රුකුළක් ලැබෙන නිසා මිස අන් කරුණක් නිසා නො වේ. පසුගිය සියවස් දෙකක පමණ කාලයෙහි මෙරට බිහි වී ඇති චින්තකයෝ කොපමණ වෙත් ද? සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කළ හැකි අය ඉන් බැහැරට ගෙන සිතන්නට නොහැකි එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූ දැනුම ලබාගත හැකි අනුකාරක පුස්සන් රැළක් බිහිකරනු ලැබ ඇත්තේ බටහිරයන් විසින් මෙරටට හඳුන්වාදෙනු ලැබූ අධ්‍යාපනයෙනි.

මේ අධ්‍යාපනය තව දුරටත් පවත්වාගෙන යෑම රටට අහිතකර ය. එහෙත් එයින් කියැවෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය වහාම නතර කළ යුතු බව නො වේ. එසේ ම මේ අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් නොකළ යුතු බවක් ද එයින් නො කියැවෙයි. නමින් චින්තක වුව ද නොසිතන පුහු ඇදුරකු එක් පූවත්පතකට ලිපියක් සපයමින් මේ අධ්‍යාපනයට මුදල් වෙන් නොකරන ලෙස මා කියා සිටි බවක් සඳහන් කරයි. එසේ කළහොත් පාසල් හා විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ කෙසේ ද? ක්‍රම ක්‍රමයෙන් ජාතික වූ විකල්ප අධ්‍යාපනයක් සකස්කර ගන්නා තුරු මේ අධ්‍යාපන ක්‍රමය ඉන් රටට යහපතක් නොවුූවත් පවත්වාගෙන යා යුතු ය. මා නොකී දේ මා නොකළ දේ මට බැර කිරීම පුස්සන්ගේ හා නිවටයන්ගේ කාර්යය වී ඇත. මගේ දරුවන්ට පිටරට අධ්‍යාපනය ලබාදුන් බව පසුගිය දා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු කියා තිබිණි. සියක් වරක් එය එසේ නොවේ යැයි කියා තිබුණ ද මා ඉදිරිපත්කරන මතවලට විරුද්ධව තර්කයක් ඉදිරිපත් කළ නොහැකි නිවට පුස්සෝ මා නොකී දෑට නොකළ දෑට මට තඩි බාති. මා කියා ඇත්තේ අද රජය ප්‍රමුඛතාව දිය යුත්තේ රාජ්‍ය ආරක්‍ෂා කළ රණ විරුවන්ට, මෙරට සංස්කෘතිය ආරක්‍ෂා කරන ශිල්පීන්ට (නුවර පෙරහැරේ නටන ශිල්පීන් ආදී) හා වෙනත් එවැන්නන්ට මිස විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට නොවන බව ය. මෙය ඊනියා ධනපති රාජ්‍යය රැකගැනීම හෝ ඊනියා වැඩවසම් සංස්කෘතිය රැකගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. දෙමළ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ඇතැම් කථිකාචාර්යවරුන්ට හා බටහිර මතවාද පුනරුච්චාරණය කරන ගිරා පෝතකයන්ට ඒ අයුරෙන් පෙනෙනු ඇත. එහෙත් අපට දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මෙහෙයුම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිව කරන සටනකි. බටහිරයන්ගේ අනුග්‍රහය, ආශිර්වාදය හා ආධාරය ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට අප නොසළකන්නේ නම් එය සිංහල ව්‍යවහාරය අනුව කියන්නේ නම් හෙණ ගහන අපරාධයකි. ඔවුන්, ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා නොවන්නට අද රටක් නැත. අපෙන් අය කරන බදු රටට යහපතක් නොවන අනුකාරකයන් බිහිකරණ බටහිර යටත්විජිතවාදී අධ්‍යාපනයක් පවත්වාගෙන යන බටහිරයන්ගේ (සුද්දන්ගේ, යටත්විජිතවාදීන්ගේ යන අරුතෙන්) මත පුනරුච්චාරණය කරන කථිකාචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට යෙදීමට ඉඩ දිය යුත්තේ ඇයි? මෙරට විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ කෙටස්කරුවෝ සරසවි ඇදුරෝ හා ආණ්ඩුව පමණක් නො වෙති. අනධ්‍යයන සේවකයෝ ද පරිපාලන නිලධාරීහු ද වෙනත් රටවැසියෝ ද එහි කොටස්කරුවෝ වෙති. වක්‍ර බදු ගෙවන්නන් ලෙස අපි සියළු දෙනාම එහි කොටස්කරුවෝ වෙමු.

නුවර පෙරහැරේ නටන ශිල්පියකුට විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකුට තරම් වැටුපක් නොගෙවනු ඇත. එයට හේතු සමාජයීය වැදගත්කම ආදී නූතනත්ව වටිනාකම් මිස නිරපේක්‍ෂ හේතු නො වේ. විභාග ලකුණුවල නිරපේක්‍ෂ අගයක් නැතිවිට උසස් පෙළ පරීක්‍ෂණයේ ලකුණක වෙනසක් හේතුවෙන් හා තමන් ඉන්පසු විශ්වවිද්‍යාලයීය පරීක්‍ෂණවල දී ඉහළින් සමත්වීය ආදී නිර්ණායක යොදා ගනිමින් තමන් විශේෂීිත පුද්ගලයන් ලෙස සලකමින් වැඩි වැටුප් ඉල්ලීමට සරසවි ඇදුරන්ට ඇති අයිතිය කුමක් ද? උසස් පෙළ සමත් වූ ඕනෑම අයකුට තම අධ්‍යාපන කටයුතු පිළිවෙළක් ඇතිව කරන්නේ නම් හා ඇතැම් ඇදුරන් අතර නරක නමක් ඇතිකර නොගන්නේ නම් පංති සාමාර්ථයක් ලබාගැනීමේ අපහසුවක් නැත. අද සමාජ සංචලනය සඳහා ඇත්තේ අධ්‍යාපනය පමණක් නොවීම ද අප සැලකිල්ලට ගත යුතු ය. විශාල පිරිසකට නොවුව ද ක්‍රිකට් ක්‍රීඩකයන්ට, සුපිරි තරුවලට ආදීන්ට තම ක්‍ෂෙත්‍ර ඔස්සේ අද සමාජ සංචලනයට අවස්ථා ලැබී ඇත. අනෙක් අතට මා මෑතක දී කියා ඇත්තේ රණවිරුවන්ගේ වටිනාකම ගැන ය. රණවිරුවන්ට ද සමාජ සංචලනය සඳහා අවස්ථා ලබාදිය යුතු ය. සම්මත අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව බිහි වී ඇති මොවුන්ට වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය. මා බොහෝ කලක සිට කියන්නේ අපට අවශ්‍ය දෙයක් විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ නිදහස අපට නැති බව ය. මෙරට විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ට අවශ්‍ය දේ මිස සිංහලයන්ට අවශ්‍ය දේ නො වේ. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මේ කරුණු ගැන සිතා බලා නැති බව පැහැදිලි ය. කෙසේ වෙතත් ආචාර්ය සමිති සම්මේලනය තම ස්ථාවරය හා තම ඉල්ලීම්වලට ලබාදෙන ප්‍රමුඛතාව දිනෙන් දින වෙනස් කරන බව නම් පැහැදිලි ය. වැටුප් වැඩිකිරීම, දළ දේශීය නිෂ්පාදිතය යනු කුමක්දැයි නොදැන කතාකළ කුප්‍රසිද්ධ 5%, ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලයීය සේවාවක් ඇතිකිරීම ආදියට ලබාදුන් ප්‍රමුඛතා අද නො ලැබේ. ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන්ට අද තම සම්මේලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් ධෛර්යයක් නැත. පසුගිය දා චින්තන පර්ෂදය සම්මේලනයේ බලවතුන් කිහිප දෙනකුට ම ආචාර්යවරුන්ගේ වර්ජනය හා ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් පැවැත්වු සම්මන්ත්‍රණයකට ආරාථනා කළේ ය. ඔවුන් කියා සිටියේ ආරාධනය සම්මේලනයට යොමු කරන ලෙස ය. පර්ෂදය නියෝජිතයකු එවන ලෙස සම්මේලනයට ආරාධනය කළේ ය. සම්මේලනය නම්කර තිබුණේ එහි සභාපතිවරයා ය. එහෙත් ඔහු සම්මන්ත්‍රණය ඇමතුවේ තනි පුද්ගලයකු ලෙස මිස සභාපති ලෙස නො වේ. අධ්‍යාපනයේ අර්බුදයෙන් සම්මේලනයද අර්බුදයට ගොස් ඇත.

Sunday, 5 August 2012

ඉසෙඩ් ලකුණ හා පඬියෝ - 2

පසුගිය සතියේ පළ වූ ලිපියෙහි දෝෂයක් ඇති බැවින් පළුමුවෙන් ම ඒ ගැන කණගාටුව පළකර එය නිවැරදි කළ යුතු ය. එහි පහත සඳහන් ඡෙදය සඳහන් ව තිබිණි. “ඒ ඒ විෂයයෙන් පළමුව ඉසෙඩ් ලකුණු ගණනය කිරීමෙන් පසු ඒ ඉසෙඩ් ලකුණුවලට භාරයක් හෝ පරිවර්තන අගයන් යොදාගත නො හැකි ය. එයට හේතුව ඉසෙඩ් ලකුණු ව්‍යාප්තියක මධ්‍යන්‍යය ශූන්‍යය වීම හා සම්මත අපගමනය එක වීම ය. ඒ ඉසෙඩ් ලකුණු කිනම් භාරයකින් වැඩිකර එක ලැයිස්තුවකට ගත්ත ද භාරය වෙනස් වුවත් ලැබෙන්නේ එකම ලැයිස්තුවකි. ඒ ලැයිස්තුව අන් කිසිවක් නොව ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස ගැනීමෙන් සකස් කෙරෙන ලැයිස්තුවම ය. මහාචාර්ය තටිල් මහතා හෝ විද්වත් කමිටුව හෝ මේ පිළිබඳව සිතා බැලි දැයි නො දනිමි. ඒ කෙසේ වෙතත් මහාචාර්ය තටිල් මහතා හඳුන්වා දී ඇති ක්‍රමය අනුව නව නිර්දේෂයේ හා පැරණි නිර්දේශයේ ඒ ඒ විෂයයෙන් ලබාගන්නා ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සැලකෙයි. මෙය මුළුමනින් ම සංකල්පීය හා ෙසෙද්ධාන්තික වශයෙන් ගත්කල දෝෂ සහිත ය.”

ඉසෙඩ් ලකුණු ගණනය කෙරෙන්නේ ම ඒ ලකුණුවල ව්‍යාප්තියෙහි මධ්‍යන්‍ය ශූන්‍ය වන අයුරෙන් හා සම්මත අපගමනය එක වන අයුරෙනි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ඉසෙඩ් ලකුණු ව්‍යාප්තිය ප්‍රමත ව්‍යාප්තියකි. දෙන ලද මුල් (අමු) ලකුණු ව්‍යාප්තියකින් ඉසෙඩ් ලකුණු ව්‍යාප්තියක් ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමයක් වෙයි. එනම් මුල් ව්‍යාප්තියෙහි මධ්‍යන්‍යය ශිෂ්‍යයාගේ මුල් ලකුණෙන් අඩුකර ඒ ලැබෙන ප්‍රතිඵලය මුල් ව්‍යාප්තියෙහි සම්මත අපගමනයෙන් බෙදීමෙනි. මුල් ව්‍යාප්තියෙහි මධ්‍යන්‍යය μ සහ සම්මත අපගමනය σ නම් යම් විෂයයකින් මුල් (අමු) ලකුණු x ගත් සිසුවකුගේ ඉසෙඩ් ලකුණ වූ z පහත සඳහන් සුත්‍රයෙන් ලැබෙයි. z = (x - μ) /σ . මෙය අනන්‍ය සූත්‍රයකි. එනම් ශිෂ්‍යයාගේ මුල් ලකුණ හෙවත් x දුන් කල අනන්‍ය වූ z අගයක් ලැබෙයි.

නැවත නැවතත් කිවයුතු කරුණක් වනුයේ මහාචාර්ය තටිල් මහතා මෙම සූත්‍රය පළමුවෙන් ව්‍යුත්පන්න කළ තැනැත්තා නොවන බව ය. ඔහු කර ඇත්තේ ඒ සූත්‍රය 2001 වසරේ දී නව හා පැරණි නිර්දේශ දෙකක් තිබූ අවස්ථාවෙහි එම ඉසෙඩ් ලකුණු ක්‍රමය ලංකා විභාග දෙපාර්තමේන්තුවට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට හා වෙනත් අදාළ අයට හඳුන්වාදීම පමණකි. ඔහු එහි දී මෙරට උගතුන්ගෙන් අති මහත් බහුතරයෙන් වෙනස් නො වෙයි. මෙරට උගත්තු නිර්මාණශීලීව අළුත් සංකල්පයක්, ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමට අසමත් වෙති.

2001 දී මෙන් ම 2011 දී ද සිසුහු නව නිර්දේශයක් හෝ පැරණි නිර්දේශයක් හෝ යටතේ උසස් පෙළ පරීක්‍ෂණයට පෙනී සිටියහ. එහෙත් 2001 දී සිසුන් නව නිරදේශය යටතේ පෙනී සිටි ඇතැම් විෂයයන් පැරණි නිර්දේශය යටතේ නො වී ය. එමෙන් ම පැරණි නිර්දේශය යටතේ තිබූ ඇතැම් වි’ෂය නව නිර්දේශය යටතේ නො වී ය. එබැවින් ඇතැම් විෂයයන් යටතේ නව නිරදේෂයේ හා පැරණි නිර්දේශයේ ලකුණු ඒකරාශි කර එක් සංචිතයකට ගෙන ඒමක් ගැන කතාකිරීමටවත් නොහැකි විය. එබැවින් 2001 දී මහාචාර්ය තටිල් මහතා සහ අනෙක් අය නිර්දේශ කළ ක්‍රමයට විකල්ප ක්‍රමයක් නොතිබුණා විය හැකි ය.

එහෙත් 2011 දී සිසුන් පැරණි නිර්දේශයෙන් පෙනී සිටියත් නව නිර්දේශයෙන් පෙනී සිටියත් එසේ කළේ එකම විෂයයන්ට ය. එබැවින් 2001 දී නොතිබු අවස්ථාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මෙන් ම විභාග දෙපාර්තමේන්තුවටත් උදාවිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන් සරසවිවලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට විද්වත් කමිටුවක් පත්කළේ ඒ අරමුණින් ද යැයි සිතිය හැකි ය. අප නිතර ම කියා ඇති පරිදි කිනම් ආකාරයකට සිසුන් විභාගයට පෙනී සිටියත් උසස් පෙළ පරීක්‍ෂණයෙන් සමත්වන සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත හැක්කේ එක් ලැයිස්තුවකින් පමණ ය.

ඒ ලැයිස්තුව යම් පිළිගත හැකි හේතු මත පදනම් වී සකස් කෙරෙන අනන්‍ය ලැයිස්තුවක් විය යුතු ය. යම් ක්‍රමවේදයකට අනුව ලැයිස්තු ගණනාවක් පිළියෙළ කරගත හැකි නම් ඒ ක්‍රමවේදය පිළිගත හැකි එකක් නො වේ. 2011 දී විද්වත් කමිටුව නිර්දේශ ලර ඇත්තේ යම් ස්‍රත්‍රයකට අනුව පැරණි හා නව නිරදේශ දෙකේ ලකුණු ඒකරාශී කර එක් සංචිතයකට ගෙන පසුව ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට ය. ඒ ස්‍රත්‍රය යෙදීමෙන් පසු ඉසෙඩ් ලකුණු ගණනය කිරීමෙන් ලැබෙන්නේ එක් ලැයිස්තුවක් පමණ ය. එය අනන්‍ය වූ ලැයිස්තුවකි. එහෙත් ප්‍රශ්නය ඇත්තේ යොදාගත් ස්‍රත්‍රය සම්බන්ධයෙනි. ඒ සූත්‍රය නිවැරදි නො වේ.

තටිල් මහතා යෝජනා කර පසුව ක්‍රියාත්මක කළ ක්‍රමය අනුව පළමුව ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර පසුව ඒ ඒ විෂයයෙන් සංචිත ඉසෙඩ් ලකුණු ව්‍යාප්ති ලබා ගැනෙයි. එහෙත් එසේ ඉසෙඩ් ලකුණු ව්‍යාප්ති ලබාගැනීමේ අනන්‍ය ක්‍රමයක් නැත. නව නිර්දේශයේ හා පැරණි නිර්දේශයේ ලකුණු ව්‍යාප්ති යම් භාරවලින් වැඩිකර ඉන්පසු ඒ ඉසෙඩ් ලකුණු ඒකරාශි කර සංචිතයක් නිර්මාණය කළේ යැයි සිතමු. නව නිර්දේශයේ ඉසෙඩ් ලකුණුවලට a1 භාරයක් හා පැරණි නිර්දේශයේ ඉසෙඩ් ලකුණුවලට a2 භාරයක් දුන්නේ යැයි සිතමු. එවිට සංචිතයේ ව්‍යාප්තිය a1z1 + a2 z2 මගින් දෙනු ලැබේ. පසුගිය සතියෙහි ලිපියෙහි සඳහන් වූයේ මේ භාර කුමක් වුවත් එකම ලැයිස්තුවක් ලැබෙන බව ය. එය නිවැරදි නො වේ. භාර වෙනස් වන විට අපට වෙනස් සංචිත හා ඒ අනුව වෙනස් ලැයිස්තු ලැබෙයි.

a1z1 + a2 z2 ව්‍යාප්තියෙහි ද සාමාන්‍යය ශූන්‍ය වෙයි. එහෙත් එහි සම්මත අපගමනය එකට සමාන නො වෙයි. සම්මත අපගමනය a1 හා a2 භාර මත පරායත්ත වෙයි. එපමණක් නො වේ. සම්මත අපගමනය එක වන ව්‍යාප්ති ද අනන්තයක් වෙයි. මහාචාර්ය තටිල් මහතාගේ නිර්දේශයෙන් ද සම්මත අපගමනය එකට සමාන වෙයි. එහෙත් එහි දී අ1 හා අ2 භාර සමාන වන බව උපකල්පනය කෙරෙයි. එවිට a1 = a2 =1 වන බව පෙන්විය හැකි ය. එසේ වන්නේ නව නිර්දේශයේ හා පැරණි නිර්දේශයේ ඉසෙඩ් ලකුණු තුල්‍ය නම් පමණකි. මහාචාර්ය තටිල් මහතාවත් විද්වත් කමිටුවවත් ඒ ගැන කල්පනා කළ බවක් දනෙගන්නට නැත. මහාචාර්ය තටිල් මහතාට ප්‍රශංසා කරන ජනමාධ්‍යවේදීන් මේ ගැන කිසිසේත්ම කල්පනා නොකරන්නට ඇත. ඒ මහතා ගැන බොහෝ උද්‍යෝගයෙන් කතාකරන බොහෝ දෙනා ඉසෙඩ් ලකුණ ගණනය කරන්නේ කෙසේද යන්නවත් නො දනිති.

වෙනත් වතාවල බටහිර වෛද්‍ය පීඨවලට ඇතුළත් වූ සිසුන්ගෙන් 58%ක් පමණ නැවත පෙනී සිටි සිසුන් බවත් එහෙත් 2011 ප්‍රතිඵල අනුව බටහිර වෛද්‍ය පීඨවලට ඇතුළත් වන නැවත පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 26% ක් පමණක් බවත් විවෘත විශ්වවිිද්‍යාලයේ ආචාර්ය ගුණතිලක මහතා පෙන්වා දී ඇත. දැන් ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ මේ කරුණ මුල් කරගෙන ය. එහෙත් එක්තරා දේශපාලන පක්‍ෂයකට හිතවත් ජනමාධ්‍යවේදීන් ප්‍රචාරය කරන්නේ විද්වත් කමිටුවේ නිර්දේශ මත ඉසෙඩ් ලකුණු කලින් නිකුත්කිරීම හේතුවෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකර තිබෙන බව ය.

එය කිසිසේත් ම සත්‍යයක් නො වේ. විද්වත් කමිටුවේ නිර්දේශය මත පදනම් වී ඉසෙඩ් ලකුණු නිකුත් කිරීම නිසා ඒ ලකුණු අනුව විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීමට සිටි බොහෝ අයට තටිල් ක්‍රමයට ගණනය කිරීමෙන් පසු නිකුත්කළ ඉසෙඩ් ලකුණු මත පදනම් වී සරසවිවලට ඇතුළත් වීමට නොහැකි බව හෙළි වී ඇති බව පැහැදිලි ය. එහෙත් ඒ නැතත් විද්වත් කමිටුවක් පත්නොකර මුල දී ම තටිල් ක්‍රමයට ඉසෙඩ් ලකුණු ගණනය කර ඒ මත පදනම් වී ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් ඇතුළත් කර ගත්තත් මේ ප්‍රශ්නය ඇතිවීම වැළැක්විය හැකි නො වේ. එයට හේතුව ඒ ක්‍රමය මත විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගන්නා නැවත පෙනී සිටි ශිෂ්‍යයන් සංඛ්‍යාව අඩුවීම ය. ඒ ශිෂ්‍යය සංඛ්‍යාව 58% සිට 26% දක්වා අඩුවීම තේරුම් ගැනීමට එතරම් කාලයක් ගත නො වේ. උසස් ශ්‍රේණි ලබාගත් නැවත පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට තේරී පත් වී නැති බව තේරුම් ගැනීමට එතරම් දක්‍ෂකමක් අවශ්‍ය නොවන බව තේරුම් ගත නොහැක්කේ අදක්‍ෂ ජනමාධ්‍යවේදියකුට විය හැකි ය.

මේ අවුලට සම්පුර්ණයෙන් වගකිවයුත්තේ ඇතැම් දේශපාලන පක්‍ෂවලට හිතවත්කම් දක්වන ගුරු සංගම් නිලධාරීන්, ජනමාධ්‍යවේදීන් හා තමන් නිර්දේශ කළ ක්‍රමය පමණක් නිවැරදි යැයි කී මහාචාර්ය තටිල් මහතා ආදී පිරිස් ය. ඒ ඒ විෂයයෙහි ඒ නිර්දේශයෙහි ඉසෙඩ් ලකුණු පළමුව වෙන වෙන ම ගණනය කර අනන්‍ය ප්‍රමත ඉසෙඩ් ලකුණු ව්‍යාප්තියක් ලබාගත නො හැකි ය. තටිල් මහතා කරන වරද නම් ඒ ඒ විෂයයට නව නිර්දේඃයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ලකුණු හා පැරණි නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ලකුණු තුල්‍ය බව උපකල්පනය කීිරීම ය. එය වැරදි උපකල්පනයකි.

ඒ වැරදි උපකල්පනයක් බව අපි මුලදීම පෙන්වා සිටියෙමු. එසේම විද්වත් කමිටුව විසින් නිර්දේශිත ක්‍රමය, එනම් පළමුව ඒ ඒ විෂයයෙන් පෙනී සිටි සිසුන් එක් සංචිතයකට ඒකරාශි කර පසුව ඉසෙඩ් ලකුණු ගනනය කිරීම නිවැරදි වුවත් ඔවුන් විසින් නිර්දේශ කරනු ලැබූ සූත්‍රය දෝෂ සහිත බව අපි කියා සිටියෙමු. එහෙත් එය ඊනියා ජනතාවාදී ආණ්ඩු විරෝධී ප්‍රකාශයක් නොවූ හෙයින් ආණ්ඩු විරෝධී ජනතාවාදී වීරයෝ එය නොසළකා සිටියහ. එමෙන් ම බලධාරීහු ද ඔවුන්ට ම විශේෂිත වූ යම් හේතුවක් නිසා එය ප්‍රතික්‍ෂෙප කළහ.

එහෙත් මේ පඬියන් විවිධ හේතු නිසා තම තමන්ට ආවේණික අන්දමට ක්‍රියා කිරමෙන් අද අමාරුවට පත් වී ඇත්තේ සිසුන් හා ආණ්ඩුව ය. ඊනියා ජනතාවාදී ආණ්ඩු විරෝධීන් නිසා අද අසාධාරණයට ලක් වී ඇති සිසුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම ආණ්ඩුවේ වගකිම වී ඇත. අද ආණ්ඩු විරෝධීහු සුපුරුදු ආකාරයට තම අවස්ථාවාදය හෙළිදරවු කරමින් අසාධාරණයට පත් වූ සිසුන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්න යැයි ආණ්ඩුවට බලකර ඒ සම්බන්ධයෙන් ද දේශපාලන වාසි ලබාගැනීමට සූදානම් වෙති. එහෙත් සිසුන් අසාධාරණයට ලක්කරනු ලැබුයේ තමන් විසින් බව මේ විරයන්ට නො තේරෙයි.

ආණ්ඩුවට අද සිදු වී ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයට හෝ අඩුපාඩුකම් සහිත විශ්වවිද්‍යාලයකට හෝ ඇතැම් සිසුන් ඇතුළත් කිරීම ය. එය කළ නොහැකි නම් තවත් අඩුපාඩුකම් සහිත විශ්වවිද්‍යාලයක් ඇති කිරීම ය. ඒ කුමක් කළත් ඊනියා ජනතාවාදී වීරයන් නැවතත් කළ එළි බසිනු ඇත. ඔවුන්ට උද්ඝෝෂණ පැවැත්වීමට වර්ජන ඇති කිරීමට එමගින් මාතෘකා සැපයෙනු ඇත. තම දේශපාලන පක්‍ෂවලට වාසි ලබාගැනීමට සිසුන් දඩමීමා කර ගැනීම ඉතා ඛෙජදනක කරුණක් බව අමුතුවෙන් කිවයුතු නො වේ.

විද්වත් කමිටුව විසින් නිර්දේශිත ස්‍රතය වැරදි වුවත් ඒ අනුව ගණනය කිරීමේ දී විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගන්නා සිසුන්ගෙන් 55% ක් පමණ පැරණි නිර්දේශයෙන් පෙනී සිටියවුන්ගෙන් සමන්විත වීමට තිබිණි. එසේ වී නම් පැරණි නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් නොවීමට තිබිණි. මෙය සාධාරණය ඉටුකිරීමේ ප්‍රශ්නයක් නොව ඊනියා දක්‍ෂයන් විශ්වවිද්‍යාලවට තෝරා ගැනීමේ ප්‍රශ්නයක් බව කියන පුහු ජනමාධ්‍යවේදීන්ට හා අනෙක් අයට කිවයුත්තේ 2011 වසරේ හදිසියේ නව නිර්දේෂයට පෙනී සිටියවුන් අතරෙන් මෙතරම් දක්‍ෂයන් පිරිසක් තේරීමට විශේෂ හේතුවක් නැති බව පමණ ය. වෙනත් වසරවල විශ්වවිද්‍යාලවලට තෝරා ගැනෙන සිසුන්ගෙන් පළමු වතාවට පෙනී සිටි සිසුහු 42%ක් පමණ වෙති. 2011 දී එය 74% දක්වා වැඩි වූයේ කෙසේ ද යන්න මහාචාර්ය තටිල් මහතාට හෝ ඔහු නිවැරදි යැයි කියන ගුරු සංගම් නිලධාරීන්ට හෝ ජනමාධ්‍යවේදීන්ට හෝ තේරුම් කර දිය හැකි ද?


ඉසෙඩ් ලකුණ හා පඬියෝ

මෙවර අපේ ප්‍රවාද ලිපිය අංශුවල වලිතය පිළිබඳ සාකච්ඡාවෙන් ඉවත් වී ඉසෙඩ් ලකුණ සම්බන්ධයෙන් ඇති වී ඇති අවුල ගැන සමාලෝචනයකට වෙන් වෙයි. ගර්ඩ්ල් ප්‍රමේයය ගැන කපිල පීරිස් මහතා පතුරුවන දුර්මතවලින් ද පාඨකයා ගලවාගැනීමට අවශ්‍ය මුත් කාලීන අවශ්‍යතාව සලකා ඉසෙඩ් ලකුණ ගැන කතා කරමු. ඉසෙඩ් ලකුණු යනු ප්‍රමිතිකරණයකි. පරීක්‍ෂණවල දී ලබාගන්නා මුල් හෙවත් අමු ලකුණුවල සාපේක්‍ෂතා තිබිය හැකි බැවින් ඒ සාපේක්‍ෂතා අඩුකිරීමට විවිධ ප්‍රමිතිකරණ යොදාගත යුතු වෙයි. ලකුණු ප්‍රමිතිකරණය අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ දී පමණක් නො වේ. පංතියේ වාරවිභාගයේ දී ද ප්‍රමිතිකරණයක් අවශ්‍ය වේ. මා කලකට පෙර පෙන්වා දී ඇත්තේ සංයුක්ත ගණිතයෙන් ලකුණු 95ක් රසායන විද්‍යාවෙන් ලකුණු 95කට තුල්‍ය නොවන බව ය. ඒ විෂය අතර ඇති වෙනස්කම්, අමාරුකම්, ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනස්කම් සිසුන් පරීක්‍ෂණවලට සූදානම් වීමේ දී ඇතිවන වෙනස්කම් ආදිය හේතුකොටගෙන ඒ ලකුණු තුල්‍ය ලෙස ගැනීම වැරදි ය. එය ඇමරිකන් ඩොලර් 95ක් ලංකා රුපියල් 95කට තුළ්‍ය යැයි සැලකීම වැනි වරදකි. ඩොලරය හා රුපියල සංසන්දනය කිරීමේ දී එහි පරිවර්තන අගය සැලකීමට සිදුවෙයි. සංයුක්ත ගණිතයෙන් ලකුණු 95ක් භෞතික විද්‍යාවෙන් ලකුණු 90ක් සහ රසායන විද්‍යාවෙන් ලකුණු 50ක් ගන්නා ශිෂ්‍යයකු ඒ විෂයන්ගෙන් පිළිවෙළින් ලකුණු 70ක්, 65ක් හා 90ක් ගන්නා ශිෂ්‍යයකුට වඩා ද’ක්‍ෂ යැයි තීරණය වෙයි. එසේ කෙරෙන්නේ ඒ ලකුණු තුල්‍ය යැයි සැලකීම නිසා ය. පරිවර්තන අගයන්් හෙවත් භාර ගැන සැලකිලිමත් වී ප්‍රමිතිකරණයක් කෙළේ නම් දෙවැන්නා පළමුවැන්නාට වඩා මුළු ලකුණු ලබාගෙන වඩා දක්‍ෂයා ලෙස තීරණය වීමට හැකි ය. මෙවර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ දී කලා අංශයේ ගියවර පළමුවැනියා දෙවැනියා බවට පත්වී ඇතැයි වාර්තා වෙයි. මෙහි පුදුම වීමට දෙයක් නැත. පළමුවැන්නා දෙවැන්නා ආදිය යොදාගන්නා පරිවර්තන අගයන්ට සාපේක්‍ෂ වෙයි. අප පාසල් යන අවධියෙහි ඇතැම් පාසල්වල එය සැලකිල්ලට ගෙන ප්‍රමිතිකරණයක් කෙරුණු බව මෙහි ලා සඳහන් කළ යුතු ය. එහෙත් එය වුව ද පරමාදර්ශී යැයි කිව නො හැකි ය.

සාමාන්‍යයෙන් උසස් පෙළ පරීක්‍ෂණයෙහි දී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා සිසුන් තෝරාගැනීමේ දී ඒ ඒ විෂයයෙන් සිසුන් ලබාගත් ලකුණුවල ඉසෙඩ් ලකුණ සලකා බැලෙයි. ඉසෙඩ් ලකුණ ගණනය කරන්නේ අදළ විෂයයෙන් පෙනී සිටි සිසුගහණයෙහි මුල් (අමු) ලකුණුවල මධ්‍යන්‍ය අගය හා සම්මත අපගමනය මත පදනම් වෙමිනි. සිසුවකු ලබාගත් මුල් ලකුණෙන් ගහණයේ මධ්‍යන්‍ය ලකුණ අඩුකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය මුල් ලකුණුවල සම්මත අපගමනයෙන් බෙදීමෙන් සිසුවාගේ ඉසෙඩ් ලකුණ ලැබෙයි. විෂය තුනෙහිම ඒ අයුරින් ඉසෙඩ් ලකුණු ලබාගෙන ඉන්පසු ඒ ඉසෙඩ් ලකුනු තුනෙහි සාමාන්‍යය (මධ්‍යන්‍යය) ගණනය කිරීමෙන් සිසුවාගේ අවසන් ඉසෙඩ් ලකුණ ලැබෙයි. ශිෂ්‍යයන්ට නිකුත් කෙරෙන්නේ මේ අවසන් ඉසෙඩ් ලකුණ ය.

සිසුන් ඒ ඒ ධාරාවෙන් විශ්වවිද්‍යාලවලට තෝරා ගනු ලැබෙන්නේ ඒ අවසන් ඉසෙඩ් ලකුණුවල අනුපිළිවෙළ අනුව ය. මේ ක්‍රමයෙහි මූලික වැරුද්දක් වෙයි. එනම් එක් එක් විෂයයෙන් ලබාගත් ඉසෙඩ් ලකුණු තුල්‍ය යැයි සැලකීම ය. ඒ ඒ විෂයයෙන් ලබාගත් මුල් ලකුණු තුල්‍ය නොවන්නාසේ ම ඒ ඒ විෂයයෙන් ලබාගත් ඉසෙඩ් ලකුණු ද තුල්‍ය නො වේ. එහෙත් 2001 සිට ම යොදාගෙන ඇත්තේ මේ ක්‍රමය ය. එය මහාචාර්ය තටිල් මහතාගේ නිර්මාණයක් නො වේ. ඔහු මෙරට අනෙක් උගතුන් මෙන් ම කර ඇත්තේ බටහිර තිබූ ක්‍රමයක් ලංකාවට හඳුන්වා දීම පමණකි.

2001 ඉසෙඩ් ලකුණු ක්‍රමය හඳුන්වා දීමට ප්‍රධාන හේතුව වූයේ ඒ වසරේ ද 2011 දී මෙන් ම පැරණි හා නව නිර්දේශ යනුවෙන් නිර්දේශ දෙකක් තිබීම ය. එයට අමතරව ඇතැම් අඳ බාල ජනමාධ්‍යවේදීන්ට තේරුම් ගත නොහැකි තවත් වෙනසක් 2001 දී විය. ඒ වසරේ පැරණි නිර්දේශයෙන් පෙනී සිටි සිසන්ට විෂය හතරක් තිබූ අතර නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට තිබුණේ විෂය තුනක් පමණකි. එපමණක් නොව පැරණි නිර්දේශයට අනුව තිබූ ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, උද්භිද විද්‍යාව හා සත්ත්ව විද්‍යාව ආදී විෂය නව නිර්දේශයට නොතිබුණි. නව නිර්දේශයට අනුව තිබුණේ සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව ආදී විෂය ය.

ඒ හේතුවෙන් නව නිර්දේශයට හා පැරණි නිදර්දේශයට අනුව පෙනී සිටි සිසුන්ගේ ලකුණු සංසන්දනය කිරීමේ අපහසුතාවක් පැන නගින්ට ඇත. එබැවින් සිසුන්ගේ මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු ගණනය කර (අදාළ පරිදි හතරෙන් හෝ තුනෙන් හෝ බෙදා) ඒ ලකුණු එක් ලැයිස්තුවකට සකස් කර අනුපිලිවෙළ අනුව සිසුන් ඒ ඒ ධාරාවෙන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම හැරෙන්නට වෙනත් ක්‍රමයක් මහාචාර්ය තටිල් මහතා ඇතුළු ඊනියා විශේෂඥයන්ට නොතිබෙන්නට ඇත. මේ පිළිබඳ ව විස්තරයක් කිරිමට මට නොහැක්කේ ඒ පිළිබඳ ව අද මෙන් සාකච්ඡාවක් එකල නොතිබූ බැවිනි. අප කවුරුත් පාහේ සිතා සිටියේ මහාචාර්ය තටිල් මහතා හඳුන්වා දුන් ක්‍රමයෙහි වරදක් නොමැති බව ය. එහෙත් ඒ එසේ නො වේ.

ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් කිවයුතු ප්‍රධාන ම කරුණ නම් ඒ ලකුණු ව්‍යාප්තියෙහි මධ්‍යන්‍ය ශූන්‍ය බව හා සම්මත අපගමනය එක බව ය. ඉසෙඩ් ලකුණු සකස් කෙරෙන්නේ ම මධ්‍යන්‍ය ශූන්‍ය හා සම්මත අපගමනය එක වන පරිදි ය. එමෙන් ම විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී කිනම් ක්‍රමයට ලකුණු සකස් කළ ද අවසානයේ දී එක් එක් විෂයයෙන් එක් ලැයිස්තුවකින් පමණක් සිසුන් ඇතුළත් කිරීමට සිදුවන බව ය. බොහෝ පඬියන්ට මේ බව නො තේරෙයි.

2011 උසස් පෙළ පරීක්‍ෂණයට සිසුන් කණ්ඩායම් දෙකක් පෙනී සිට ඇත. එක් කණ්ඩායමක් නව නිර්දේෂයෙන් ද අනෙක් කණ්ඩායම පැරණි නිර්දේශයෙන් ද පෙනී සිටියේ ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තිබූ ප්‍රශ්නය වූයේ මේ කණ්ඩායම් දෙකෙන් ඒ ඒ විෂයයට එක් ලැයිස්තුවක් පමණක් සකස් කරන්නේ කෙසේ ද යන්න ය. එහි දීි ඒ සඳහා නිර්දේශයක් කිරීමට මෙරට සංඛ්‍යානය පිළිබඳ විශ්වවවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදී. ඒ කමිටුවේ නිර්දේශය වූයේ ඒ ඒ විෂයයෙන් ලබාගත් මුල් (අමු) ලකුණු යම් සූත්‍රයකට අනුව පළමුව එක් ලැයිස්තුවකට ගෙන ඉන්පසු ඒ ඒ විෂයයෙන් ඉසෙඩ් ලකුණු ගණනය කිරීම ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒ නිර්දේශය මත විභාග දෙපාර්තමේන්තුවට ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට උපදෙස් දුන්නේ යැයි සිතිය හැකි ය. මෙහි දී අධ්‍යාපන ඇමතිතුමා හෝ උසස් අධ්‍යාපන ඇමතිතුමා හෝ එයට මැදිහත් වී නොමැති බව පැහැදිලි ය. ඒ හුදෙක් ම විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් මැදිහත් වී ගත් තීරණයකි.

2011 දී ඒ ඒ විෂයයෙන් සිසුගහණ දෙකක් වෙයි. ඒ ගහණ දෙක එකක් බවට පත්කිරීම අප හමුවේ ඇති ගැටළුව ය. එහි දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තමන්ට ලැබුණු නිර්දේශය මත ක්‍රියාකර ඇත්තේ පළමුව විද්වත් කමිටුවේ සූත්‍රය මත පදනම් වී එක් ලැයිස්තුවක් සකස් කර දෙවනුව ඒ ඒ විෂය සම්බන්ධයෙන් ඉසෙඩ් ලකුණ ගණනය කිරීම ය. මෙහි විධික්‍රමයක්් ලෙස කිසිම වරදක් නොමැතිවා පමණක් නොව කළ යුතුව තිබුණේ ද එය ය. එහෙත් එහි වරදක් විය. ඒ විධික්‍රමයෙහි නොව විද්වත් කමිටුව නිර්දේශ කළ සූත්‍රයෙහි ය.

ඒ ඒ විෂයයෙන් පළමුව ඉසෙඩ් ලකුණු ගණනය කිරීමෙන් පසු ඒ ඉසෙඩ් ලකුණුවලට භාරයක් හෝ පරිවර්තන අගයන් යොදාගත නො හැකි ය. එයට හේතුව ඉසෙඩ් ලකුණු ව්‍යාප්තියක මධ්‍යන්‍යය ශූන්‍යය වීම හා සම්මත අපගමනය එක වීම ය. ඒ ඉසෙඩ් ලකුණු කිනම් භාරයකින් වැඩිකර එක ලැයිස්තුවකට ගත්ත ද භාරය වෙනස් වුවත් ලැබෙන්නේ එකම ලැයිස්තුවකි. ඒ ලැයිස්තුව අන් කිසිවක් නොව ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස ගැනීමෙන් සකස් කෙරෙන ලැයිස්තුවම ය. මහාචාර්ය තටිල් මහතා හෝ විද්වත් කමිටුව හෝ මේ පිළිබඳව සිතා බැලි දැයි නො දනිමි. ඒ කෙසේ වෙතත් මහාචාර්ය තටිල් මහතා හඳුන්වා දී ඇති ක්‍රමය අනුව නව නිර්දේෂයේ හා පැරණි නිර්දේශයේ ඒ ඒ විෂයයෙන් ලබාගන්නා ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සැලකෙයි. මෙය මුළුමනින් ම සංකල්පීය හා ෙසෙද්ධාන්තික වශයෙන් ගත්කල දෝෂ සහිත ය.

ඉසෙඩ් ලකුණු පළමුවර නිකුත් කිරීමෙන් පසුව කළයුතුව තිබුණේ විද්වත් කමිටුුවේ සූත්‍රය නිවැරදි කර ගැනීම ය. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකි. කිනම් සටන් පාඨයකින් වුවත් ආණ්ඩුවට පහර දීමට උත්සාහ කරන ඇතැම් වෘත්තීය සමිති නිලධාරීහු ද, ඒ ඒ ආණ්ඩු විරෝධී දේශපාලන පක්‍ෂවලට හිතවත් මාධ්‍යවේදීහු ද තමන්ට වළ ඉහගෙන කෑමට අවස්ථාවක් ලැබිණි යැයි උද්දාමයට පත් වී විවිධ ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වූහ.

දැන් මහාචාර්ය තටිල් ක්‍රමයට ඉසෙඩ් ලකුණු නිකුත් කර ඇත. එහි දී පැරණි නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් වන බව පැහැදිලි ය. මෙහි දී අපට අවශ්‍ය වන්නේ අසාධාරණයක් වීම වැළැක්වීම නොව විශ්වවිද්‍යාලවලට දක්‍ෂයන් තෝරා ගැනීම යැයි පඬි ජනමාධ්‍යවේදියකු තම දේශපාලන පක්‍ෂයට තල්ලුවක් දීම සඳහා ප්‍රකාශ කිරීමට ඉඩ කඩ ඇත. මේ වසරේ පසුගිය වසරවලට වඩා දක්‍ෂයන් පළමු වතාවට පෙනී සිටි සිසුන් අතර සිටිය හැකි නො වේ. එහෙත් පැහැදිලිව ම විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගුණතිලක මහතා පිලියෙළ කර ඇති මේ සමග වූ වගුවෙන් පෙන්නුම් කෙරෙන්නේ වෙනත් කතාවකි. ඒ මහතා පිළියෙළ කර ඇති වගුවලින් වෛද්‍ය පීඨයට අදාළ වගුව පමණක් මෙහි දී ඉදිරිපත් කෙරෙයි. වගුව උපුටාගනු ලැබුයේ පසුගිය ජූලි 22 වැනි දා සන්ඩේ අයිලන්ඩ් පුවත් පතෙනි.

පසුගිය වසරවල වෛද්‍ය පිඨවලට පළමු වරට පෙනී සිටි අයගෙන් තේරී ඇත්තේ 58% ක පමණ ප්‍රමාණයකි. එහෙත් මහාචාර්ය තටිල් ක්‍රමයට මෙවර එය 74%ක් පමණ වනු ඇත. ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති නිලධාරීන්ගේ හා පඬි ජනමාධ්‍යවේදින්ගේ අවශ්‍යතාව ඉටු වී ඇත. පළමු වතාවට පෙනී සිටි සිසුන්ගෙන් මෙතරම් ද’ක්‍ෂයන් පිරිසක් බිහිකිරීම පිළිබඳ ව අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතු ය. එහෙත් අනෙක් සිසුන්ට නඩුකීම හැර වෙනත් මගක් ඉතිරි වී නැත. මේ සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් ගැන මට ඇත්තේ තදබල කණගාටුවකි. මේ අවුල් ඇතිකිරීම පිලිබඳ ව වගකිවයුත්තේ ඊනියා වෘත්තිය සමිති නායකයන්, පුහු මානව අයිතිවාසිකම් ගැන කතා කරන්නන් හා පුහු පඬියන් මිස දේශපාලකයන් නො වේ.

ඉසෙඩ් අවුලේ පසුබිම හා අනාගතය

ඇතැම්හු සෑම ආයතනයක් ම කරුණක් ම දේශපාලනීකරණයට ලක්කිරීම පිළිබඳ ව ආණ්ඩුවට දොස් පවරති. එහෙත් ඔවුන්ගේ අවධානයට ලක් නොවන කරුණ නම් විරුද්ධ පක්‍ෂ ද, වෘත්තීය සමිති ද, රාජ්‍ය නොවන සංවිධාන ද, විවිධ පුද්ගලයන් ද ආදී වශයෙන් වෙනත් අය ද සෑම කරුණක් ම පාහේ දේශපාලනීකරණයට ලක්කරන බව ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මෙරට ක්‍රියාත්මක වන්නේ එ පරිදි ය. මෙරට බොහෝ දෙනකු සෑම දෙයක් දෙස ම පාහේ බලන්නේ පක්‍ෂ දේශපාලන ඇසකිනි. ඕනෑම කරුණකින් දේශපාලන වාසියක් ලබාගැනීමට විරුද්ධ පක්‍ෂ ද වෘත්තීය සමිති ද රාජ්‍ය නොවන සංවිධාන ද ක්‍රියාකරයි. අපට කිසිවක් පිළිබඳ ව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගැනීමට නොහැකි වී ඇත්තේ ද එබැවිනි. වර්තමානයෙහි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් මෙහෙයවනු ලබන වෘත්තීය සමිති අරගලය, මා ද දායක වී අසූවේ දශකයේ අග සකස් කරන ලද එම සම්මේලනයේ ව්‍යවස්ථාව ඉන්පසු සංශෝධනය වී නොමැති නම්, නීති විරෝධි වන අතර ආණ්ඩුව අස්ථායී කිරීම සඳහා ගෙන යන්නා වූ දේශපාලනික ක්‍රියා මාර්ගයකි. එය අසවල් පක්‍ෂයේ දේශපාලන ව්‍යාපෘතියක් යැයි හැඳින්විය නො හැකි ය. එහෙත් එහි ඇත්තේ ආණ්ඩු විරෝධී දේශපාලනයකි. මේ බව පසුගියදා සරසවි ඇදුරු වැටුප් ප්‍රශ්නය ගැන පැවැත්වුණු රූපවාහිනී සාකච්ඡා දෙකක දී ම පෙන්වා දෙනු ලැබිණි. දළ ජාතික නිෂ්පාදිතය ගණනය කරන්නේ කෙසේ ද යන්න නොදත් ූ දේශපාලන විද්‍යාව උගන්වන කථිකාචාර්යවරු ද වෙති. අන් අය ගැන කියනු කවරේ ද? වැටුප් වැඩිකරන්නේ මෙවැන්නන්ගේ ද?

පසුව සකස් කරන ලද ඉසෙඩ් ලකුණු හේතුවෙන් 2011 උසස් පෙළ පරීක්‍ෂණයට නැවත පෙනී සිටි සිසුන්ට මහත් අසාධාරණයක් සිදු වී ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය එච් ඩී ගුණතිලක මහතා සකස් කර ඇති වගු අනුව පසුගිය වසර කිහිපයක මෙරට වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගත් සිසුන්ගෙන් 58%ක් පමණ නැවත පෙනී සිටියෝ වෙති. එහෙත් මහාචාර්ය තටිල් මහතා කී ආකාරයට ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර පසුව ඒ ලකුණුවල මධ්‍යන්‍යය අනුපිළිවෙළට එක් ලැයිස්තුවකට සකස් කර ඒ ලැයිස්තුවෙන් සිසුන් තෝරා ගැනීමේ දී 2011 දී නැවත පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් වන්නේ 26% ක පමණ ප්‍රමාණයකි. එනම් වෙනත් වසරවල ඇතුල් වූ එවැනි සිසුන් සංඛ්‍යාවෙන් හරි අඩකටත් අඩු ප්‍රමාණයකි. මෙය අසාධාරණයකි. එයට වගකිව යුත්තෝ අදාළ ඇමතිවරුන් නොව ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කළ එ ජා ප, ජ වි පෙ ආදී දේශපාලන පක්‍ෂවල නායකයෝ, ඇතැම් ගුරු සංගම් නිලධාරීහු, ජනමාධ්‍ය වේදීහු, අන්තරයේ නායකයෝ ආදීහු වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉසෙඩ් අගය ගණනය කරන්නේ කෙසේ දැයි නොදන්නා බව ඉතා පැහැදිලි ය. මේ පඬියන් තේරුම් නොගන්නා කරුණ නම් සිසුන් පැරණි හා නව නිර්දේශවලට පෙනී සිටියත් අවසානයේ දී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කළ යුත්තේ එක් ලැයිස්තුවකින් පමණක් බව ය. ප්‍රශ්නය වූයේ නව හා පැරණි නිර්දේශවලට පෙනී සිටි ගහණ දෙක, ඒකරාශී කර එක් ගහණයක් (සංචිතයක්) ලබාගන්නේ කෙසේ ද යන්න ය. එහි දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තමන් විසින් පත්කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය මත පළමුව ගහණ දෙක ඒකරාශි කර ඉන්පසු සංචිතයෙහි ඉසෙඩ් ලකුණු ගණනය කර සිසුනට නිකුත් කරන මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු ලබාගන්නා ලෙසට විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අපට සිතිය හැකි ය. මේ ක්‍රමයෙහි වරදක් නැතිවා පමණක් නොව පළමුව ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර ඉන්පසු මධ්‍යන්‍ය සොයා ඒකරාශී කරනවාට වඩා තර්කානුකුල ය. (දෙවියන්ගේ නාමයෙන් ඊනියා විද්‍යාත්මක වීමේ කතාවක් මෙහි නැත.) එහෙත් අවාසනාවකට ලකුණු ඒකරාශි කිරීම සඳහා විද්වත් කමිටුව නිර්දේශ කළ සූත්‍රය දෝෂ සහිත ය. කළ යුතුව තිබුණේ දෝෂ රහිත සූත්‍රයක් ව්‍යුත්පන්න කර (ලබාගෙන) ඒ අනුව සංචිතය පිළියෙළ කර ගැනීම ය. වෘත්තිය සමිති නායකයන්ට, දේශපාලනඳයන්ට හා දේශපාලන පක්‍ෂවලට හෝයියා කියන පුහු ජනමාධ්‍යවේදීන්ට සූත්‍රයෙහි වැරුද්ද පෙන්වා දීමට තිබිණි. එහෙත් ඔවුන් කළේ එය නො වේ. ඒ සියළු ආණ්ඩු විරෝධීහු ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කර ඉන් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ කළහ. ක්‍රම වේදය සකස් කළේ විද්වත් කමිටුව බව දැන දැනත් මේ කුහකයෝ ඇමතිවරුන්ට වැරැද්ද පැටවුහ. ඇමතිවරුනට ඉල්ලා අස්වන ලෙස කීහ. මහාචාර්ය තටිල් මහතා ද ගහණ දෙක වෙන වෙන ම ගෙන ඉසෙඩ් ලකුණු සොයා ඉන්පසු මධ්‍යන්‍ය ඉසෙඩ් අගයන් අනුපිළිවෙළට එක් ලැයිස්තුවකට සකස් කිරීම නිවැරදි යැයි කීවේ ය. අද එ ජා පක්‍ෂයේ එක් මන්ත්‍රීවරයකු නව ක්‍රමයට ඉසෙඩ් ලකුනු ගණනය කළේ කිනම් ක්‍රමයකට දැයි අසයි.

ඒ අන් ක්‍රමයකට නොව තටිල් ක්‍රමයට යැයි ඔහු නො දන්නේ ද? එ ජා පක්‍ෂයේ නායකයන් ද තප්පු ලෑවේ සටිල් ක්‍රමයට වෙන වෙන ම ඉසෙඩ් ලකුණු ගණනය කරන ලෙසට ය. ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කළ ඔවුන් ජනතාව රැවටීමට උත්සාහ කරන්නේ අදාළ ඇමතිවරු දෙදෙනා ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කළ බව කියමිනි. මම ඇමතිවරු දෙදෙනාට කඩේ නොයමි්. මා ඔවුන් දන්නා නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන මගේ පැහැදීමක් නැත. මට ඔවුන් ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවක් ද නැත. මා ඉදිරිපත් කරන ජාතික අධ්‍යාපනයක් පිළිබඳ මතවාදයට ඔවුහු විරුද්ධ වෙති. ඔවුන් දන්නේ ඉංගිරිසි, තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීමෙන් මෙරට අධ්‍යාපනය ඊනියා ලෝක මට්ටමකට ගෙන ඒමක් ගැන ය. මේ ඇමතිවරු ජාතික අධ්‍යාපනයක් ගැන මා කියන දේ සත පහකටවත් මායිම් නොකරන අනුකාරක උපාධිධාරීහු පමණක් ම වෙති. ඔවුන්ට අනුව මම අන්තවාදියෙක් වෙමි. අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව දෙමළ ප්‍රශ්නය ගැන ද මා කියන දේ ඔවුහු ප්‍රතික්‍ෂෙප කරති. එහෙත් ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් ඔවුන් අත වරද නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දොස් කියන්නෝ ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කරන බලලෝභී ආණ්ඩු විරෝධීහු වෙති.

එක් දේශපාලන පක්‍ෂයකට හිතවත් ජනමාධ්‍යවේදියකු කියා තිබුණේ විද්වත් කමිටුව දක්‍ෂයන් තෝරාගැනීම ගැන නොව සිසුන්ට සාධාරණය ඉටුකිරීම ගැන පමණක් කල්පනා කර ඇති බව ය. තම හිතවත් දේශපාලන පක්‍ෂයට ප්‍රචාරය දීම හැරෙන්නට වෙනත් දක්‍ෂකමක් නැති ඔහු දක්‍ෂයන් හඳුනන්නේ ද? නව ඉසෙඩ් ලකුණු නිකුත් කෙරුණේ මේ පඬියන් අනුදැන වදාළ තටිල් ක්‍රමයට ය. වෙනත් වසරවල ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව 42%ක් පමණක් වුව ද තටිල් ක්‍රමය මගින් මේ වසරේ දක්‍ෂයන් හඳුනාගනිමින් එය 74% දක්වා වැඩිකෙරී ඇත! (මා වෛද්‍ය පීඨ ගැන සඳහන් කරන්නේ අද මෙරට සමාජ වැදගත්කම අනුව මේ විජාතික පීඨවලට රටේ පිළිගැනීමක් ඇති බැවින් මිස එහි ඉගැන්වෙන රෝග කළමණාකරණයට මගේ ඇති කැමැත්තක් නිසා නො වේ. මේ ආණ්ඩුවට සිංහල වෙදකමට සමාජ වටිනාකමක් ලබාදීමට කටයුතු කළ නොහැකි බව ද මම දනිමි. එහෙත් එය කළ හැකි වෙනත් ආණ්ඩුවක් ගැන ද මට සිතිය නො හැකි ය. ගුණදාස අමරසේකර මහතා වෛද්‍ය හා ඉංජිනේරු පීඨ පමණක් ඇති කළ යුතු යැයි කියන්නේ ඇයි දැයි මට තේරුම් ගත නො හැකි ය. ඒ මහතා බටහිර විද්‍යාවන් කෙරෙහි ඇති විශ්වාසය එයින් හෙළිදරවු වනවා විය හැකි ය. මෙරට වෛද්‍ය පීඨ ද අනෙක් පීඨ මෙන් ම බටහිර ගැති ජාතික විරෝධී පීඨ වෙයි. බටහිර වෛද්‍ය පීඨවලින් මෙරටට වන යහපතක් නැත.) අර ජනමාධ්‍යවේදියා ඊනියා ජනතාවාදී ආණ්ඩු විරෝධී විරයන්ගේ සම්භාවනාවට පත්වු තටිල් මහතාගෙන් හෝ වෙනත් අයකුගෙන් හෝ අසා අපට තේරුම් කළ යුතුව ඇත්තේ 2011 වසරේ පළමු වරට පෙනී සිටි සිසුන් වෙනත් වසරවල පළමු වරට පෙනී සිටි සිසුන්ට වඩා දක්‍ෂයන් වූයේ කෙසේ ද යන්න ය. තටිල් ක්‍රමය මුළුමනින් ම වැරදි ය. විද්වත් කමිටුවේ ක්‍රමය අනුගමනය කළේ නම් මේ වතාවේත් පසුගිය අවුරුදුවල මෙන් ම සරසවිවලට ඇතුළත් කරගන්නවුන්ගෙන් 55% කට වැඩි ප්‍රමාණයක් නැවත පෙනී සිටි සිසුන්ගෙන් සමන්විත වීමට තිබිණි. 2001 දී වෙනත් විකල්පයක් නොමැතිකම නිසා තටිල් ක්‍රමය අනුගමනය කළේ යැයි උපකල්පනය කළ ද 2011 දී විකල්ප ක්‍රම අනුගමනය කිරීමේ හැකියාව තිබිණි. ඉසෙඩ් ලකුණු ගණනය කෙරෙන්නේ ප්‍රමත ව්‍යප්තියක් ලැබෙන අයුරෙනි. ගහණ දෙකේ ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කිරීමෙන් පසුව ඒ ගහණවලට භාර එකතුකර අනන්‍ය ප්‍රමත ව්‍යාප්තියක් ඇති සංචිතයක් ලබාගත නො හැකි ය. කිනම් භාරයක් තිබිණ ද සංචිත ව්‍යාප්තියේ මධ්‍යන්‍ය ශූන්‍ය වෙයි. එහෙත් එහි සම්මත අපගමණය එක වන භාර යුගළ අනන්තයක් වෙයි. භාර සමාන ලෙස ගැනීමෙන් පමණක් තටිල් සංචිතය ලබාගත හැකි ය. එහෙත් එහි දී ගහණ දෙකෙහි ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සැලකෙයි. එය වැරදි ය. මේ පිළිබඳ ව විද්වත් කමිටුව හෝ තටිල් අනුගාමිකයන් හෝ කල්පනා කළේ දැයි නො දනිමි.

පරීක්‍ෂණයට නැවත පෙනී සිටින්නන් පිළිතුරු දෙන්නේ වෙනස් ප්‍රශ්න පත්‍රවලට පමණක් නො වේ. ඔවුන්ගේ ආකල්ප, සූදානම ආදිය ද පළමු වරට පෙනී සිටින්නන්ට වඩා වෙනස් ය. අද අවුලට මුල විද්වත් කමිටුවේ නිරදේශ සංශෝධනය කිරීමෙන් පසුවවත් ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට යොදා ගැනීම වැළැක්වු දේශපාලන වාසි ලබාගැනීම සඳහා ක්‍රියා කළ ආණ්ඩු විරෝධින් ය. විිද්වත් කමිටු නිිර්දේශය නැතිව මුලින් ම තටිල් ක්‍රමයට ඉසෙඩ් ලකුණු ගණනය කළත් වත්මන් අවුල වැළැක්විය නොහැකි ය. දැන් නැවත පෙනී සිටි අයගෙන් සරසවිවලට ඇතුලත් කරගන්නා සංඛ්‍යාව වැඩිකළ යුතු යැයි ඊනියා අන්තරය ද අනෙක් ආණ්ඩු විරෝධීන්ද උද්ඝෝෂණය කරනු ඇත. උද්ඝෝෂණ ඇතත් නැතත් මේ සිසුන් සරසවිවලට ඇතුළත් කර ගත යුතු ය. එහෙත් එක්කෝ සිසුන් පිරිසක් යාපනයට යැවිය යුතු වනු ඇත. නැත්නම් අඩුපාඩුකම් සහිත වෛද්‍ය පීඨයකට හෝ අළුතෙන් ඇති කෙරෙන අඩුපාඩුකම් සහිත පීඨයකට හෝ යැවිය යුතු වනු ඇත. ඉන් සිදුවන්නේ ආණ්ඩු විරෝධීන්ට තව තවත් උද්ඝෝෂණ කිරීමට මාතෘකා සැපයීම පමණ ය. ප්‍රශ්නය කිසි දිනෙක මුළුමනින් විසඳීමට නොහැකි වනු ඇත. මෙරට ප්‍රශ්න විසඳනු වෙනුවට වැවෙන්නේ ජරාජීර්ණ විපක්‍ෂ දේශපාලනය ද හේතුකොට ගෙන ය.

Sunday, 5 February 2012

උසස් පෙළ Z ලකුණ

උසස් පෙළ පරීක්‍ෂණයෙන් පසු සිසුන් විශ්වවිිද්‍යාලවලට ඇතුළත් කිරීමේ දී ඉසෙඩ් ලකුණ හෙවත් සම්මත ලකුණ භාවිතයට ගැනුමට යෝජනා වූයේ 2001 දී යැයි කියැවෙයි. එය යෝජනා කළේ මහාචාර්ය තටිල් මහතා බව ද සඳහන් ය. එතුමා සංඛ්‍යානය පිළිබඳ විශේෂඥයකු බව ද පැවසෙයි. කෙසේ වෙතත් ඒ මහතා කර ඇත්තේ ඉසෙඩ් ලකුණ උසස් පෙළ පරීක්‍ෂණය සඳහා හඳුන්වා දීම ය. ඒ අරුතෙන් ඒ මහතා ලංකාවේ උසස් පෙළ සම්බන්ධයෙන් ඉසෙඩ් ලකුණ යොදාගැනීමේ පියා ය. එහෙත් ඒ මහතා ඉසෙඩ් ලකුණේ පියා නො වේ. ලංකාවේ බොහෝ උගතුන් මෙන් ම ඔහු ද කර ඇත්තේ යම් සංකල්පයක්, ප්‍රවාදයක් ලංකාවට හඳුන්වා දීම ය. එසේ හඳුන්වා දීමේ ගෞරවය ඒ මහතාට හිමි විය යුතු ය. ඒ මහතා යෝජනා කර ඇත්තේ සිසුවකුට ඒ ඒ වි’ෂයට ලැබෙන ඉසෙඩ් ලකුණු එකතු කර එහි සාමාන්‍යය ලබා ගැනීමට ය. මේ ක්‍රමය යෝජනා කිරීමට හේතු වී ඇත්තේ 2001 වර්ෂයේ දී ඇතැම් සිසුන් විෂය හතරකටත් අනෙක් සිසුන් විෂය තුනකටත් පෙනී සිටීම නිසා ඔවුන්ගේ ලකුණු එක් ප්‍රමිතියකට ගෙන ඒමට අවශ්‍ය වීම බව ද කියැවෙයි. එහෙත් අවශ්‍ය නම් විෂයයන්හි මුල් ලකුණු එකතු කර අදාළ පරිදි තුනෙන් හෝ හතරෙන් හෝ බෙදා ලකුණුවල සාමාන්‍යය සොයා ඒ අනුව සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත හැකිව තිබිණි. එහෙත් එසේ නොකිරීමට වෙනත් හේතුවක් තිබිණි. එනම් විෂය සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම් ය. ඇතැම් විෂය අමාරු ය. තවත් විෂය පහසු ය. එවිට ඒ ඒ විෂයයෙන් ලැබෙන ලකුණුවල ප්‍රමිතියක් නොමැති වේ. යම් පීඨයකට ඇතුල්වීමට බලාපොරොත්තුවන ශිෂ්‍යයන් පෙනී සිටින්නේ එකම විෂය සංයෝජනයකට නම් එහි දී මුල් ලකුණු එකතු කිරමේ වරදක් නැතැයි ද එහෙත් විෂය සංයෝජන වෙනස්වන විට මුල් ලකුණු එකතු කිරීමෙන් වඩා සුදුස්සන් හඳුනාගැනීමට නොහැකි බව ද කියැවිණි. 2011 දී එක් කණ්ඩායමක් විෂය තුනකට පෙනී සිටි අතර අනෙක් කණ්ඩායම විෂය හතරකට පෙනී සිටිම හේතුවෙන් ඔවුන්ගේ විෂය සංයෝජන වෙනස් වී තිබිණි.

2004 න් පමණ පසුව සියළු ශිෂ්‍යයන් විෂය තුනකට පමණක් පෙනී සිටිය දී ද ඉසෙඩ් ලකුණ ක්‍රියාත්මක වූයේ ශිෂ්‍යයන් පෙනී සිටින විෂය සංයෝජන වෙනස් වීමත් විෂය අමාරු බවෙන් එකිනෙකට වෙනස් වූ නිසාත් ය. 2001 සිට 2010 දක්වා ම කෙරුණු උපකල්පනයක් විය. එනම් දක්‍ෂතාව අතින් ගතහොත් ඒ ඒ විෂයට පෙනී සිටින සිසුන් සමස්ත ලෙස ගත්කල එකිනෙකාගෙන් වෙනස් නොවන බව ය. උදාහරණයක් වශයෙන් ගතහොත් සංයුක්ත ගණිතය විෂයයට පෙනී සිටින සිසුන් හා සිංහල විෂයයට පෙනී සිටින සිසුන් අතර දක්‍ෂතාව අතින් ගත්කල වෙනසක් තිබිය නො හැකි ය. වෙනස ඇත්තේ විෂයවල අමාරුකමේ ප්‍රමාණය මත ය. මෙහි දී එක් විෂයයක වුව ද ප්‍රශ්න පත්‍රවල අමාරුකමේ ප්‍රමාණත්ව වෙනස්වන බව නොසලකන ලදී. වෙනත් වචනවලින් කියන්නේ නම් ඒ ඒ විෂයයට පෙනී සිටින සිසුන් සංගහන වෙනස් වූයේ දක්‍ෂතාව අතින් නොව විෂයවල අමාරුකමේ ප්‍රමාණත්වය මත යැයි උපකල්පනය කරන ලදී. ඒ වෙනස ඉසෙඩ් ලකුණු ක්‍රමයෙන් නැතිවන්නේ හෝ අවම වන්නේ හෝ යැයි ද උපකල්පනය කෙරිනි යැයි සිතිය හැකි ය. ශිෂ්‍යයකුට ඒ ඒ විෂයවලින් ලැබෙන ඉසෙඩ් ලකුණුවල සාමාන්‍යය විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමේ දී සැලකිය යුතු ඉසෙඩ් ලකුණ බවට ද තීරණය වී යැයි කීව හැකි ය. මේ උපකල්පන හා තිරණ ඉහත සඳහන් ආකාරයෙන් ම නොගැනෙන්නට ඇත. එහෙත් ප්‍රායෝගික ව එවැනි පිළිවෙතක් ක්‍රියාත්මක විය.

මා සිතන අයුරෙන් නම් මෙහි දී වැරදි තුනක් සිදු වී ඇත. පළමුවෙන් ම ඉසෙඩ් ලකුණු ක්‍රමයෙන් සිදුවන්නේ යම් විෂයක සිසුන් ලබාගන්නා ලකුණු යම් සම්මතයකට අනුව සකස්කිරීමක් පමණකි. යම් සංගහණයක ඉසෙඩ් ලකුණු සකස් කරන්නේ ඒ ලකුණුවල සාමාන්‍යය ශූන්‍යයවන ලෙසත්් බටහිර සංඛ්‍යානඥයන් විසින් සම්මත අපගමණය ලෙස හැඳින්වෙන රාශිය එකට සමානවන ලෙසත් ය. ශිෂ්‍යයන්් ඒ ඒ විෂය සම්බන්ධයෙන් දක්වා ඇති දක්‍ෂතා සංසන්දනය කිරීමට එය උචිතවන නමුත් එමගින් ඉසෙඩ් ලකුණු අතර තුල්‍යතාවක් ඇති නො වේ. උදාහරණයක් ලෙස ගතහොත් සිංහල විෂයයේ 2.57 ක ඉසෙඩ් ලකුණ ආර්ථික විද්‍යාවේ 2.57ක ඉසෙඩ් ලකුණට තුල්‍ය නො වේ. විවිධ විෂයවල ඉසෙඩ් ලකුණු එකතු කරන්නේ ඒ ලකුණුවල තුල්‍යතාවක් ඇතැයි උපකල්පනය කිරීමෙනි. මෙය ඉසෙඩ් ලකුණුවලට හෝ විශ්වවිද්‍යාල ප්‍රවේශයට හෝ පමණක් බලපාන්නක් නො වේ. මේ ප්‍රශ්නය පාසල්වල වාර විභාගවල දී් ශිෂ්‍යයන්ගේ අනුපිළිවෙළ සකස්කිරීමේ දී ද උද්ගත වෙයි. ශිෂ්‍යයන්ගේ අනුපිළිවෙළ සකස්කිරීමේ දී ඔවුන් ඒ ඒ විෂයවලින් ලබාගන්නා ලකුණු එකතුකර ඒ අනුව පටිපාටගත කෙරෙයි. එහි දී කෙරෙන උපකල්පනය නම් ඒ ඒ විෂයන්ගෙන් ලබාගන්නා ලකුණු තුල්‍ය බව ය. ගණිතය විෂයයෙන් ගන්නා ලකුණු 95 සිංහල විෂයයෙන් ලබාගන්නා ලකුණු 95 ට තුල්‍ය යැයි හෝඩිය පංතියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ම උපකල්පනය කෙරෙයි. එහෙත් එය එසේ නො වේ. සඳුන් සතුව රුපියල් 5000ක් ද ඇමරිකන් ඩොලර් 60ක් ද පවුම් 40ක් ද සඳුනි සතුව රුපියල් 6000ක් ද ඇමරිකන් ඩොලර් 45ක් ද පවුම් 50ක් ද ඇතැයි සිතමු. දෙදෙනාගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ඇත්තේ කාහට දැයි සොයාගැනීමට අපට විදේශ විනිමය අගය දැනගැනීමට සිදුවෙයි. වෙනත් වචනවලින් කිවහොත් ඇමරිකන් ඩොලරයක් හා පවුමක් වෙන වෙන ම රුපියල් කීයකට තුල්‍ය වන්නේ දැයි දැනගැනීමට අපට අවශ්‍ය වෙයි. එලෙස ම පංතියේ පළමුවැන්නා කවුරුන් දැයි දැනගැනීමේ දී ලකුණුවල තුල්‍ය බව දැනගැනීමට අවශ්‍ය වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ගණිතය ලකුණු 50ක් සිංහල ලකුණු කීයකට තුල්‍ය වන්නේ දැයි දැනගැනීම අවශ්‍ය වෙයි. එකතුකිරීම සරල යැයි පෙනී ගිය ද එය එසේ නො වේ. එහි දී ද සන්දර්භය වැදගත් වෙයි. පොල් ගෙඩි සහ නොමළ අයගේ ඔළු ගෙඩි එකතු කරන්නේ කෙසේ ද? වැලි ගොඩක් මත තවත් වැලි ගොඩක් දැමීමෙන් වැලි ගොඩවල් දෙකක් නො ලැබේ.

දෙවැනි වරද නම් එකම විෂයයක වුව ද ප්‍රශ්න පත්‍ර අතර ඇති අමාරුකමේ ප්‍රමාණත්වය නො සැලකීම ය. බොහෝ විට එක් විෂයයකට ප්‍රශ්න පත්‍ර දෙකක් ඇත්නම් ඒ ප්‍රශ්න පත්‍රවලින් එකක් අනෙකට වඩා අමාරුවන අවස්ථා එමට ය. ඒ ප්‍රශ්න පත්‍රවල ලකුණුවල සාමාන්‍යය විෂයයෙහි ලකුණු ලෙස ගැනීම සුදුසු නො වේ ය යන්න මගේ වැටහීම ය. තුන්වැනි වරද 2001, 2002 හා ඇතැම් විට 2003 වර්ෂවල ශිෂ්‍ය සංගහණ අතර තිබූ වෙනස්කමක් නොසලකා හැරීම යැයි සිතමි. ඒ වර්ෂවල, විශේෂයෙන් ම 2001 වර්ෂයේ ශිෂ්‍ය සංගහන අතර වෙනස්කම් තිබියේ විෂයවල අමාරුබවේ ප්‍රමාණය වෙනස් වූ නිසා ම පමණක් නො වේ. සාමාන්‍යයෙන් ඒ ඒ විෂයයට පෙනී සිටින සිසුන්ගේ සංගහන, දක්‍ෂතාව අතින් වෙනස් නොවන්නේ යැයි උපකල්පනය කෙරෙන නමුදු 2001 වර්ෂයේ දී පැරණි නිර්දේශයට හා නව නිර්දේශයට පෙනී සිටි ශිෂ්‍ය සංගහන අතර පැහැදිලි වෙනස්කමක් තිබිණි. පළමු සංගහනය දෙවැනි හෝ තුන්වැනි හෝ වතාවට පෙනී සිටයවුන්ගෙන් සමන්විත වූ අතර දෙවැනි කණ්ඩායම පළමු වතාවට පෙනී සිටි ශිෂ්‍යයන්ගේ සංගහනය විය. ඒ සංගහන ප්‍රධාන වශයෙන් ම වෙනස් වූයේ දක්‍ෂතාව අතින් ය. ඒ අතර ඒ ඒ නිර්දේශවල නිර්දේශ හා විෂය අතර ද අමාරුකමේ අඩුවැඩි වීම් තිබිණි. නිර්දේශ හා විෂය අතර අමාරුකමේ වැඩිවීම මහාචාර්ය තටිල් මහතා හඳුන්වාදුන් ක්‍රමයට ප්‍රමිතිකරණයට ලක්කළ හැකි යැයි සැලකුව ද සිසුන්ගේ දක්‍ෂතා අතර වූ වෙනස්කමට එය පිළියමක් නො වී ය. ඒ සඳහා වූ එක් ක්‍රමයක් නම් පැරණි හා නව නිර්දේශ සංගහන එකම සංචිතකයකට (සංගහනයකට) ඒකරාශි කර එසේ ලැබෙන සංගහනයෙහි සාමාන්‍යය ශූන්‍යයට හා සම්මත අපගමනය එකට සමාන වන ලෙස ලකුණු අතර පරිනාමණයක් ලබාගැනීම ය. එහෙත් 2001 දී එසේ කිරීමට ක්‍රමයක් නො වි ය. එයට හේතු දෙකක් විය. එකක් නම් විෂය හතර වෙනුවට විෂය තුනක් පමණක් තිබීම හේතුවෙන් නව නිර්දේශ හා පැරණි නිර්දේශ සංගහන ඒකරාශි කිරීමේ අර්ථාන්විත ක්‍රමයක් නොමැති වීම ය. දෙවැනුව නව නිර්දේශයෙන් ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය වැනි ඇතැම් විෂය ඉවත්කර සංයුක්ත ගණිතය වැනි විෂය එකතු කර තිබීම ය. 2001 දී ඒ නොහැකියාව හේතුවෙන් සංගහන ඒකරාශි නොකළේ යැයි උපකල්පනය කිරීමට නොහැක්කේ අදාළ පුද්ගලයන් අද ඒ සම්බන්ධයෙන් දක්වන විරෝධතාව සෑලකිල්ලට ගැනීමේ දී ය. 2001 දී සංගහන ඒකරාශි කිරීම හැරෙන්නට ශිෂ්‍ය සංගහන අතර දක්‍ෂතාව සම්බන්ධයෙන් වූ වෙනස සැලකිල්ලට ගන්නා වෙනත් ක්‍රමයක් වුව ද යෝජනා නොවිණි යැයි සිතමි. 2011 වසරේ දී ද නව නිරදේශයට හා පැරණි නිර්දේශයට පෙනී සිටි ශිෂ්‍ය සංගහන අතර දක්‍ෂතා අතින් වෙනසක් වෙයි. එහි දී විෂය සංඛ්‍යාව වෙනස්කිරීමක් හෝ විෂය ඉවත්කිරීමක් එකතුකිරීමක් හෝ සිදු නොවූ බැවින් අදාළ සංගහණ ඒකර්ශිකිරීමේ හැකියාවක් වෙයි. එහි දී එසේ ඒකර්ශි කළ සංගහනයේ සාමාන්‍යය ශූන්‍යයට හා සම්මත අපගමනය එකට සමාන කිරීම සඳහා ලකුණු අතර පරිණාමනයක් අවශ්‍ය වෙයි. සංඛ්‍යානඥයන් පස්දෙනකුගෙන් සමන්විත විද්වත් කමිටුව සූත්‍රයක් ඉදිරිපත් කර ඇත්තේ ඒ සඳහා යැයි සිතමි. මේ සූත්‍රය ආණ්ඩුවේ් හෝ අදාළ අමා්‍යාංශවල හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ විභාග දෙපාර්තමේන්තුවේ හෝ සූත්‍රයක් නො වේ. එය මහාචාර්ය තටිල් මහතාගේ ගණයේ ම විශේෂඥයන් ලංකාවට හඳුන්වා දී ඇති සූත්‍රයකි. සංගහන ඒකරාශි කිරීමට මූලධර්මයක් ලෙස මගේ විරුද්ධතාවක් නැතත් විද්වත් කමිටුව හඳුන්වා දී ඇති සූත්‍රය හෙවත් පරිණාමනය සමග මා එකඟ නොවන්නේ එයින් ඒකරාශිත සංචිතයේ සම්මත අපගමනය එකට සමාන නොවන බැවිනි්. සංචිතයේ සම්මත අපගමනය එකට සමාන වන ලෙස ලකුණු අතර පරිණාමනයක් පහසුවෙන් ම ලබාගත හැකි ය. එලෙස ලකුණු ප්‍රමිතකර දෙවනුව ප්‍රමිතිකෘත ලකුණු මහාචාර්ය තටිල් මහතා හඳුන්වා දී ඇති ක්‍රමයට ද, ප්‍රමිතිකරණයකට ලක්කිරීම සුදුසු යැයි සිතමි. එමගින් සංගහන අතර වූ වෙනස්කම් දෙකට ම යම් පිළියමක් ලැබේ යැයි ද සිතමි.