Main Logo

Showing posts with label විඤ්ඤූන්. Show all posts
Showing posts with label විඤ්ඤූන්. Show all posts

Wednesday, 3 July 2013

උසස් ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබීමෙන් නිවටවූවෝ

පසුගිය සතියෙහි පළ වූ ලිපියෙහි වූ දෝෂයක් නිවැරදි කළ යුතුව ඇත. එහි සංගිතය ගැන කියැවෙන ඡෙදයක මේ වගන්තිය පළ වී තිබිණි. “පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගියෝ සිංහල කතෝලිකයෝ හා ඉංගිරිසිහු වූහ”. එය මෙසේ නිවැරදි විය යුතු ය.  පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගියෝ සිංහල කතෝලිකයෝ හා ක්‍රිස්තියානිහු වූහ. මෙයින් මා කීමට තැත්කළේ මහාවිහාර සම්ප්‍රදායේ සිංහල බෞද්ධ උගතුන් සංගිතය ගැන එතරම් සැලකිල්ලක් නොදැක් වූ බවත් අපට සිංහල සංගිතයක් සැපයීමේ අරමුණෙන් සිංහල කතෝලිකයන් හා සිංහල ක්‍රිස්තියානීන් ඉන්දියාවට ගිය බවත් ය.

එය එසේ තිබිය දී ඉංගිරිසින්ගේ උසස් අධ්‍යාපනය හේතුකොටගෙන භික්‍ෂූන් වහන්සේට සමාජයේ වැදගත්කම අහිමිවීම අප තවදුරටත් සාකච්ඡා කළ යුතු ය. අප සඳහන් කර ඇති පරිදි අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි මෙරට විඤ්ඤූන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ වූහ. හෙළ බෞද්ධ සංස්කෘතියටත් වඩා සිංහල බෞද්ධ සංස්කෘතිය භික්‍ෂූන් වහන්සේට ඒ තත්ත්වය ලබාදුන්නේ ය. කාළාම සූත්‍රයෙහි සඳහන්වන ආකාරයට මෙළොව හා පරළොව වැඩ සඳහා කළ යුතු දේ හා නොකළ යුතු දේ ජනතාවට අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙන් ද කියා දුන්නො භික්‍ෂූන් වහන්සේ ය. 

පසු කාලයක ඉංගිරිසි යටත්විජිත සමයෙහි ඉංගිරිසි උගත් බටහිර ගැති නිවට සිංහල බෞද්ධයෝ බටහිර විද්‍යාවෙන් මත් වී කාළාම සූත්‍රය ද  බටහිර විද්‍යාත්මක යැයි පෙන්වීමට උත්සාහ කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ හීනමානය වසාගැනීමට ය. සිංහල බෞද්ධ සංස්කෘතිය හා බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අතර චින්තනය සම්බන්ධයෙන් ගත්කල වෙනසක් නැතැයි පෙන්වීම ඔවුන්ගේ අරමුණ විය. අප විසින් පසුගිය කාලයෙහි නිර්මාණය කෙරුණු සංකල්ප යොදාගන්නේ නම් ඔවුන්ට අවශ්‍ය වූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා සිංහල බෞද්ධ චින්තනය අතර වෙනසක් නැති බව පෙන්වීම ය.

මේ උගත්තු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පිළිගත්තෝ ය. එහි ඊනියා වැදගත්කමක් මෙන් ම ශ්‍රෙෂ්ඨභාවයක් ද පිලිගත්තෝ ය. එය එම චින්තනයේ ආධිපත්‍යය නිසා ඇතිවන්නක් පමණක් බව දැනගැනීමට තරම් බුද්ධියක් මේ උගතුනට නැතිවිය. ඔවුහු ඉංගිරිසි පාසල් මගින්  බිහිකරනු ලැබූ උගත්තු වූහ. මාර්ටින් වික්‍රමසිංහ මහතා පසු කලෙක ස්වයං අධ්‍යයනයක යෙදෙන්නට ඇත. එහෙත් ඒ මහතාට වුව ද ඒ සඳහා පසුබිම සකස්කරන ලද්දේ ගාල්ලේ බොනවිස්ටා පාසල මගිනි. බොනවිස්ටා පාසල නොවන්නට මාර්ටින් වික්‍රමසිංහ මහතා හෝ සෙනරත් පරණවිතාන මහතා හෝ බිහි නොවනු ඇත.

ඒ මහත්වරුන් ඉගෙනගත් සමයෙහි බොනවිස්ටා පාසලෙහි ඉගැන්වූ ගුරුවරුන් ගැන කිසිවෙක් කතා නොකරති. සියල්ලන් ම පාහේ සිතන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාත් සෙරත් පරණවිතාන මහතාත් තනිව ඉගෙනගත් අය බව ය. බොහෝ දෙනා පාසල් හා විශ්වවිද්‍යාල හැරයෑමෙන් පසු අධ්‍යාපනයෙන් ඉවත් වෙති. කිහිප දෙනෙක් පමණක් ඉන් පසුව ද තනිව අධ්‍යාපනය ලබති. විවිධ විෂය හදාරති. එහෙත් ඒ කිහිප දෙනා එසේ කරන්නේ යම්කිසි පදනමක් මත පිහිටමිනි. ඒ පදනම පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් හෝ වැඩිහිටියන්ගෙන් හෝ ලැබෙන්නකි. ඇතැම් අය වැඩිහිටියන්ගෙන් මෙන් ම පාසලෙන් ද යම් පදනමක් ලබා ගන්නවා විය හැකි ය. 

මාර්ටින් වික්‍රමසිංහ මහතාටත් සෙනරත් පරණවිතාන මහතාටත් වැඩිහිටියන්ගෙන්, එනම් තමන් උපත ලද සංස්කෘතියෙන්, යම් පදනමක් ලැබී ඇති බව පැහැදිලි ය. සිංහල සංස්කෘතිය හැදෑරීමට ඔවුන් දෙදෙනා ම උනන්දු වී ඇත්තේ එබැවින් ය. එහෙත් ඔවුන් දෙදෙනාට ම ඉංගිරිසි ක්‍රිස්තියානි පාසලක් වූ බොනවිස්ටා පාසලෙන්  ඔවුන් සිංහල සංස්කෘතියෙන් ලබාගත් පදනමට වැඩි ශක්තිමත් පදනමක් ලැබී ඇති බව පැහැදිලි ය. අධ්‍යාපනයෙහි ලා චින්තනය සම්බන්ධයෙන් ගත්කල ඔවුන්ගේ පදනම වූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය.  ඔවුන් සිංහල සංස්කෘතිය හැදෑරුවේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයක ය. 

මාර්ටින් වික්‍රමසිංහ මහතාත් සෙනරත් පරණවිතාන මහතාත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දරුවෝ වූහ. ඔවුනට ඒ චින්තනයෙන් කැඩෙන්නට නො හැකි විය. ඔවුන්ටත් වෙනත් අයටත් බලපෑ ගුරුවරයකු හෝ ගුරුවරුන් එකල බොනවිස්ටා පාසලෙහි උගන්වා ඇති බව පැහැදිලි ය. ඒ කවුරුන් දැයි අපි අද නො දන්නෙමු. ඒ කුමක් වුවත් එකල බොනවිස්ටා පාසලෙහි සම්ප්‍රදාය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇති බව නම් නිසැක ය. 

මෙවැනි උගත්තු එකල මෙරට ඉංගිරිසි පාසල්වලින් බිහිවූහ. ඔවුහු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දරුවෝ වූහ.  ඔවුහු එහි දරුවන්ටත් වඩා දාසයෝ වූහ. මේ දාසයන්ට කළ හැක්කේ කුමක් ද? ඔවුන්ට කළහැකි උපරිමය වුයේ සිංහල බෞද්ධ සංස්කෘතිය ක්‍රිස්තියානි ඇසකින් බලා අර්ථවිවරණය කිරීම ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ගැන මහත් අභිරුචියකින් ඉගෙනගත් ඔවුහු එවැනි විධික්‍රමයක් නැති බව නො දත්හ. එසේ වූයේ බටහිර ආධිපත්‍යය මගින් එසේ ඇතැයි සිතීමට ඔවුන් පොළඹවා තිබූ බැවිනි.

බටහිර විද්‍යාව යනු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට සාපෙක්‍ෂව ගෙතන ලද වියුක්ත කතා පමණක් බව මේ උගත්තු නොදැන සිටියහ. බටහිර විද්‍යාවේ ඇතැයි කියන විවෘත මනසක් ගැන අසා ඔවුහු වශී වූහ. එහි කිසිම ආකරයේ විවෘත මනසක් නොමැති බවත් මිනිසුන්ට විවෘත මනස් තිබිය හැක්කේ නොසිතන්නේ නම් පමණක් බවත් ඔවුහු නොදත්හ. වෙනත් වචනවලින් කිවහොත් විවෘත මනස් ඇත්නම් ඒ තිබිය හැක්කේ මෘතශරීරවලට පමණ ය. ඕනෑම පෘථග්ජන මිනිසකු සිතන්නේ යම් චින්තනයක යම් සංස්කෘතියකට සාපේක්‍ෂව ය.

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම මහත් සේ අගය කළ මේ උගත්තු තම සංස්කෘතියෙන් ද යමක් ලබා තිබිණි නම් තම සංස්කෘතිය ද බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට නොදෙවෙනි බව පෙන්වීමට උත්සාහ කළහ. ඒ හීනමානය නිසා මිස වෙනත් කරුණක් නිසා නො වේ. සිංහල සංස්කෘතියෙන් යමක් ලබා නොගත් පාසලෙන් හෝ විශ්්වවිද්‍යාලයෙන් හෝ පුස්තකාල වැනි වෙනත් ආයතනවලින් බටහිර දැනුම පමණක් ලබාගත්තවුනට මේ ප්‍රශ්නය නො වී ය. ඔවුන්ට සිංහල සංස්කෘතියෙහි ගතයුත්තක් නො වී ය. ඔවුහු ලංකා විශ්වවිද්‍යාලයෙහි පළමු උපකුලපති වූ අයිවෝර් ජෙනිංග්ස් කොළඹ කාන්තා විද්‍යාලයෙහි කරන ලදැයි කියන කතාවක සඳහන් පරිදි ලංකාව සංස්කෘතික කාන්තාරයක් සේ දුටුවෝ ය. ඔවුන්ට බටහිර දැනුම සමග සංසන්දනය කළ හැකි කිසිවක් මෙරට නො වී ය. 

ප්‍රශ්නය වූයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි යමක් ඇතැයි සිතූ අයට ය. මේ අයගේ ද මිනුම් දණ්ඩ වූයේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ය. ඔවුහු බටහිර විද්‍යාව නවීන විද්‍යාව නමින් හැඳීන්වූහ. ඊනියා නවීන විද්‍යාව මිනුම් දණ්ඩ ලෙස ගත්විට සිංහල සංස්කෘතියෙහි නිපන් දැනුමට ද යම්කිසි වටිනාකමක් ලබාදිය හැකි වුයේ තම මිනුම් දණ්ඩෙහි ඇති ලක්‍ෂණ සිංහලයන්ගේ දැනුමෙහි, එනම් සිංහල බෞද්ධ දැනුමෙහි ඇති බව පෙන්වීමෙනි.

බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දාසයන්ට කාළාම සූත්‍රය පිහිටට පැමිණියේ සිංහල බෞද්ධ දැනුමට මේ බොරු වටිනාකම ලබාදීමට ය. මේ උගත්තු කාළාම සූත්‍රයෙහි සන්දර්භය අධ්‍යයනය නො කළහ. ඔවුහු එය සම්පූර්ණයෙන් ම නො කියවූහ. බුද්ධ ධර්මය බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම මෙන් නොව සංයුක්ත විය. බටහිර විද්‍යාව යනු ගොතන ලද වියුක්ත කතන්දර කිහිපයක් පමණකි. එහෙත් බුදුන් වහන්සේ වියුක්ත ධර්මයක් නො දෙසූහ. උන්වහන්සේ ධර්ම දේශනා කළේ යම් සන්දර්භයක ය. ආනන්ද හිමිපාණන් වහන්සේ ඇසූ ධර්මවල මේ සන්දර්භය පැහැදිලිව ම දක්වා ඇත. උන්වහන්සේ මා විසින් මෙසේ අසන ලදැයි යනුවෙන් පවසන්නේ ඒ සන්දර්භය ය.

කාළාම සූත්‍රය දේශනා කළේ කාළාමයනට ය. ඔවුන්ට ප්‍රශ්නයක් විය. විවිධ  ගුරුවරු ඔවුන්ට විවිධ දේ උගන්වා තිබිණි. ඉන් පිළිපැදිය යුත්තේ කුමක් ද යන ප්‍රශ්නය විය. බුදුන් වහන්සේ ඒ ප්‍රශ්නයට කොටස් දෙකකින් පිලිතුරු දුන්හ. පළමු කොටසින් උන්වහන්සේ දේශනා කළේ මේ මේ නිසා පමණක් පිළිපැදිය යුතු නො වේ ය යන්නට උදාහරණ ය. ඇසූ පමණින්, පොතක පතක තිබූ පමණින්, සම්ප්‍රදාය වූ පමණින් යමක් නො පිළිගතයුතු යැයි උන්වහන්සේ දෙසූහ. එහෙත් එයින් කියැවෙන්නේ පොතක පතක තිබූ කිසිවක් ආදී වශයෙන් නො පිළිගත යුතු බවක්වත් සියල්ල තමන් කල්පනා කර පරීක්‍ෂාකර පිළිගත යුතු බවක්වත් නො වේ.

කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටසින් බුදුන් වහන්සේ පිළිපැදිය යුතු දේ හා නොපිළිපැදිය යුතු දේ කවරේ දැයි විස්තර කළහ. උන්වහන්සේ ප්‍රකාශ කළේ විඤ්ඤූන් මෙලොවටත් පරලොවටත් වැඩක් ඇති දෙයක් දැන ඒ කරන්නේ නම් තමන් ද ඒ දේ කළයුතු බව ය. එමෙන් ම විඤ්ඤූන් මෙලොවටත් පරලොවටත් අවැඩක් වේ යැයි සලකා යමක් නොකරන්නේ ද තමන් ද එය නොකළ යුතු බව ය. එසේ නොමැතිව සියල්ල පරීක්‍ෂා කිරීමෙන් පසුව පමණක් යමක් පිළිගත යුතු යැයි උන්වහන්සේ නො දෙසූහ. මෙහි ඇති ඊනියා බටහිර විද්‍යාත්මක විධික්‍රමයක් නැත.

මෙහි දී වැදගත් ම  කරුණ වනුයේ විඤ්ඤූන් යනු කවුරුන්දැයි හඳුනාගැනීම ය. අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ මෙරට විඤ්ඤූන් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. මෙලොවටත් පරලොවටත් වැඩක් වන්නේ කුමකින් ද අවැඩක් වන්නේ කුමකින් ද යන්න උන්වහන්සේ දැන සිටියහ. නිවන අරමුණු කරගත් ක්‍රියා මෙලොවටත් පරලොවටත් වැඩදායක විය. එවැනි ක්‍රියා අප නිවනට ළඟා කරයි.  නිවනට පටහැණි ක්‍රියා මෙලොවටත් පරලොවටත් අවැඩදායක විය. එවැනි ක්‍රියා අප නිවනින් ඈත් කරයි. මෙරට ධර්මද්වීපයක් වූයේ ජනතාව එසේ පිළිපැදි නිසා ය. 

බටහිර උසස් ඉංගිරිසි අධ්‍යාපනයක් උසස් පෙළ පංතියේ සිට හෝ පොතපතින් තනිව ම එහෙත් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පදනම් ව හෝ ලබාගත් අය කාළාම සූත්‍රයට දුන්නේ වෙනත් අර්ථකථනයකි. ඔවුහු කාළාම සූත්‍රයෙහි පළමු කොටසට පමණක් සීමාවූහ. එවිට කිසිවකු යමක් කිරීමට පෙර පරීක්‍ෂාකර බලා දැනගත යුතුව තිබිණි. සියල්ල පරීක්‍ෂාකර බලා දැනගැනීමට කිසිවකුට ඉඩක් නැත. ඒ සඳහා වෙලාවක් නැත. බටහිර විද්‍යාවේ ද සියල්ලෝ සියල්ල පරීක්‍ෂා නො කරති. කිහිප දෙනකු පරීක්‍ෂාකර හෝ නොකර (දෛ්ධාන්තික ව) හෝ කියන දේ අනෙක් සියල්ලෝම තමන්ට අවශ්‍ය පරිදි පිළිගනිති. බටහිර විද්‍යාවට ද විඤ්ඤූහු වෙති. ඒ බටහිර විද්‍යාඥයෝ ය. එසේත් නැත්නම් බටහිර වියුක්ත දැනුම නිර්මාණය කරන්නෝ වෙති. ඔවුන් නිර්මාණය කරන දැනුම් පද්ධතිය ලෝක ආධිපත්‍යය බවට පත්කෙරී ඇත. මේ ඊනියා විඤ්ඤූන්ට තම දැනුම මෙලොවට හා පරලොවට වැඩ සඳහා වේ ද යන්න ප්‍රශ්නයක් නො වේ. 

මෙරට උසස් ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබ තම සංස්කෘතිය ගැන ද යම් සැලකිල්ලක් දැක් වූ අය කාළාම සූත්‍රයෙහි පළමු කොටස තම හීනමානයට පිළියමක් ලෙස යොදාගත්හ. සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වැඩිහිටියන්ගෙන් ඉගෙන නොගත් කාලෝ ෆොන්සේකා වැන්නෝ ද කිසිම විචාරයකින් තොරව කාළාම සූත්‍රය යොදාගත්හ. ඔහු අද කුමක් කිමට තැත් කළ ද ඔහුගේ මුල් ලේඛනවල හා දේශනවල අඩංගු වූයේ කාළාම සූත්‍රයෙහි පළමු කොටස පමණකි.                             

නලින් ද සිල්වා

2013-07-03

Wednesday, 12 June 2013

දැනුම අවශෝෂණය කිරීම

අපේ දැනුම ලබාගැනීමේ ක්‍රමය බටහිර විද්‍යාවේ දැනුම ලබාගැනීමේ ක්‍රමයට හාත්පසින් වෙනස් ය. බටහිර විද්‍යාව උද්ගමනය හා කතන්දර ගෙතීම තම විධික්‍රමය ලෙස සලකයි. බටහිර විද්‍යාවේ දර්ශනයෙහි සාමාන්‍යයෙන් දැනට සඳහන්වන, එනම් බටහිර විද්‍යාඥයන් වැඩිදෙනා පිලිගන්නා, අදහස කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයාගේ ඊනියා අසත්‍යකරණ ප්‍රවාදය මත පදනම් වෙයි. පොපර්ට අනුව බටහිර විද්‍යාවේ දැනුම අසත්‍යකරණයට ලක්කළ හැකි ය. එහෙත් ලෝකයේ තිබූ හෝ තිබෙන හෝ අනෙක් දැනුම් පද්ධතීන් එසේ අසත්‍යකරණයට ලක්කළ නො හැකි ය. ඒ අනෙක් දැනුම් මිථ්‍යා ලෙස සැලකීමට බටහිරයන් යොමු වී ඇත. එහෙත් මේ මිථ්‍යා යැයි කියැවෙන දැනුම් ඊනියා විද්‍යාවට වඩා ලොවට හිතකර බවත් සංගත බවත් පෙනී යයි.

බටහිර විද්‍යාව පළමුවෙන් නිරීක්‍ෂණ කරන බව කියයි. මේ නිරීක්‍ෂණ, හුදු නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, එසේත් නැත්නම් සම්පරීක්‍ෂණ විය හැකි ය. ඒ කුමක් වුවත් යම්කිසි ගහණයක් සම්බන්ධයෙන් යම් ගුණයක් පූර්ණ වශයෙන් නිරීක්‍ෂණ කිරීමේ හැකියාවක් බටහිර විද්‍යාඥයන්ට නොමැත. එබැවින් ඔවුහු තම නිරීක්‍ෂණ යම් නියැදි කිහිපයක් සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයකට පමණක් සීමා කරති. ප්‍රායෝගික ව ගත්කල මුළු ගහණයෙහි ම අදාළ ගුණය නිරීක්‍ෂණ කිරීමට බටහිර විද්‍යාඥයන්ට පරම්පරා ගණනාවක දී වුවත් සිදුකළ නො හැකි ය.

මේ හේතුවෙන් නියැදි කිහිපයක් සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයක් මුළු ගහණයට ම පොදු යැයි උද්ගමනය කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවෙයි.   එම උද්ගමනය යුක්තියුක්ත කිරීම උදෙසා ඔවුහු ඊනියා සංඛ්‍යානාත්මක ක්‍රම උපයෝගී කර ගනිති. අසවල් පරීක්‍ෂාව සිදුකිරීමෙන් තම උද්ගමනය යම් සම්භාවිතාවක් ඇතුළත නිවැරදි යැයි කීමට ඔවුහු පුහුණුු කෙරෙති. එහෙත් එය උද්ගමනයක් පමණක් බව අපට අමතක කළ නො හැකි ය. මේ බව වසන්කිරීමට මෙන් යම් ගහණයකින් නියැදි තෝරාගැනීම පිළිබඳ ඊනියා විද්‍යාත්මක ක්‍රම ගැන සඳහන්කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවෙයි.

උද්ගමනය සාධාරණීකරණයක් බැවින් එහි ප්‍රතිඵලය වියුක්ත වෙයි. සමස්ත ගහණය සඳහා ම අදාළ නිරීක්‍ෂණ කළ හැක්කේ උසස් ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තකුට ය. පෘථග්ජන විද්‍යාඥයකුට කෙතරම් බුද්ධිමත් වුවත් ගහණය සඳහා ම නිරීක්‍ෂණ කළ නො හැකි ය. එබැවින් බටහිර විද්‍යාවේ උද්ගමනය ද තවත් වියුක්ත කතන්දරයක් පමණ ය. කෙසේ වෙතත් උද්ගමනයක් කිරීමෙන් පසුව අදාළ නිරීක්‍ෂණය තේරුම් ගැනීමට බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය වෙයි. මෙහි දී බටහිර විද්‍යාඥයන් ඒ ඊනියා තේරුම් ගැනීම කරනුයේ වියුක්ත කතන්දර ගෙතීමෙනි.

බටහිර විද්‍යාවේ වියුක්ත කතන්දර ගෙතීම ඇරඹුණේ කොපර්නිකස් හා ගැලීලියෝගෙන් පසුව ය. එය ශක්තිමත් ක්‍රමයක් බවට පත්කෙරුණේ නිවුටන් අතිනි. පොළොව ඉර වටා යෑම අපේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වේ. ලංකාවේ කිසිවකු තම දෑසින් පොළොව ඉර වටා යන බව නිරීක්‍ෂණය කර නැත. අඩුම තරමෙන් පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බවවත් ලංකාවේ කිසිවකු විසින් නිරීක්‍ෂණය කෙරී ඇතැයි නො සිතමි. ඒ සියල්ල අප විශ්වාස කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබගත් දැනුමක් නිසා නොව අපට හා අපේ ගුරුවරුන්ට ද වැඩිහිටියන්ට ද බටහිරයන් සෘජුව හෝ වක්‍රව හෝ කියා දී ඇති බැවිනි.

කොපර්නිකස්ට පෙර භාරතයේ ජීවත් වූවෝ පොළොව ඉර වටා ගමන්කරන බව දැනසිටියෝ ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂයක් විය. ඒ ප්‍රත්‍යක්‍ෂය ආධ්‍යාත්මික ව ලබාගත්තකි. භාවනාවෙන් යෝගී අභ්‍යාසවලින් ආදී වශයෙන් මේ රටවල සිටි පඬිවරුන්ට ඒ දැනුම ලබාගත හැකි විය. එහෙත් මේ දැනුම පළමුව නැගෙනහිර යුරෝපයටත්, දෙවැනුව දකුනු යුරෝපයටත් ගිය විට එහි වැසියන්ට (බුද්ධිමතුන්ට) එය ආධ්‍යාත්මික ව ලබාගැනීමට නොහැකි විය.  ඔවුන්ට එය මනසෙන් ග්‍රහණය කරගත හැක්කක් නො විය. ඔවුන්ට එය වියුක්ත කතන්දරයක් පමණක් විය. ඒ කතන්දරය ඔවුන්ට සුර්යග්‍රහණ ඇතුළු ග්‍රහණ ආදිය තේරුම් ගැනීමට යොදාගත හැකි විය.

මෙය එක් සංස්කෘතියක ඇති දැනුමක් තවත් සංස්කෘතියකට අවශෝෂණය කෙරෙන්නේ කෙසේ ද යන්න දැනගැනීමේ දී ද වැදගත් වෙයි. පොළොව සූර්යයා වටා යන්නේ ය යන දැනුම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමක් විය. එය ඇතැම් පඬිවරුන්ට ප්‍රත්‍යක්‍ෂ දැනුමක් විය. ඒ සංස්කෘතියේ විඤ්ඤූන් වූ එම පඬිවරුන්ගෙන් ලබාගත් දැනුම අනෙක් අයට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි වුවත් විඤ්ඤූන්ගෙන් ලබගත් විශ්වාස කටයුතු දැනුමක් විය.

එහෙත් බටහිර පඬිවරුන් ඒ දැනුම ලබගත්තේ වියුක්ත කතන්දරයක් ලෙස ය. බටහිර සංස්කෘතියෙහි ඒ දැනුම ආධ්‍යාත්මික ව ලබාගත හැකි පඬිවරු නො සිටියහ. එහෙත් එම සංස්කෘතියෙහි භාරතයෙහි තිබුණාට වඩා වියුක්ත චින්තනයක් විය. බටහිර පඬිවරු භාරතීයයන්ගේ ආධ්‍යාත්මික දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගත්තේ තම සංස්කෘතියට සාපේක්‍ෂව වියුක්ත දැනුමක් ලෙස ය. ඔවුන්ට එය උද්ගමනයක් ද විය. පොළොව ඉර වටා යෑම සියළු කාලයට ම නිරීක්‍ෂණය කළ නොහැකි වත ඔවුහු පරිමිත නිරීක්‍ෂණ යම් ප්‍රමාණයක් සියළු කාලයට ම සාධාරණ වූ දැනුමක් බවට පත්කර ගත්හ.       

අද අපි බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූ බටහිර විද්‍යාව අපේ සංස්කෘතියට අවශෝෂණය කරනු වෙනුවට අනුකරණය කරන්නෙමු. ඒ අනුකරණය හේතුවෙන් මෙරට බිහිවන්නේ අනුකාරක බටහිර විද්‍යාඥයන් පිරිසක් පමණකි. ඔවුන්ට ආචාර්ය උපාධියක් ලබාගත හැකි වුවත් විද්‍යාවේ මධ්‍යයෙහි දැනුම නිර්මාණය කළ නො හැකි ය. මෙරටින් හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි නොවන්නේ එබැවිනි. වියුක්ත චින්තනයක් නොමැති අපේ සංස්කෘතියෙහි බටහිර විද්‍යාව ජනප්‍රිය කළ නො හැකි ය. එය ඉතා සුළුවෙන් වියුක්ත ව සිතිය හැකි පඬියන් කිහිප දෙනකු හා බටහිර දැනුමෙන් සිහි විකල්කර ගෙන ඇති අනුකාරකයන් කිහිප දෙනකු අතර පමණක් ජනප්‍රිය වෙයි.

එහෙත් බුදුදහම එසේ නො වේ. සිදුහත් කුමරු කොහේ උපන්නත් එතුමා ඉප දී ඇත්තේ වෛදික සමාජයක නො වේ. වෛදික සමාජයක උපත ලැබුවේ නම් බමුණන්ගේ තරමක වියුක්ත දැනුමෙහි හා විශ්ලේෂණයෙහි කොටු වී එතුමාට බුද්ධත්වය ලබාගැනීමට නොහැකි වනු ඇත. සිදුහත් කුමරු ඉපදීමට පෙර පස්මහ බැලුම් බලා ඇත්තේ බුදුවීමට සුදසු සංස්කෘතියක උපත ලැබීමට ය. සිදුහත් කුමරු ඇස්කිමෝවරයකු ලෙස උපත ලැබීනම් බුදුවීමට නොහැකි වනු ඇත.

මහින්දාගමනයට පෙර මෙරට හෙළ බෞද්ධයන් සිටි බව අපි කීවෙමු. මේ අයට බෞද්ධයන් වීමට හැකි වී ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතියෙහි බුදුදහම බිහිවුවත් නැතත් එම සංස්කෘතිය බුදුදහමට තෝතැන්නක් වූ බැවිනි. මහින්දාගමනයෙන් පසුව හෙළ බෞද්ධ චින්තනයෙහි වෙනසක් සිදු වී නැත. සිදුව ඇත්තේ ක්‍රමයෙන් හෙළ බෞද්ධයන් සිංහල බෞද්ධයන් බවට පත්වීම ය. මිහිඳු හිමියන් ඇසූ ප්‍රශ්නවලට කිසිදු ආයාසයකින් තොරව පිලිතුරු දීමට දේවානම්පිය තිස්ස රජුට හැකිවීීමෙන් පෙන්නුම් කරන්නේ මෙරට සංස්කෘතිය මහින්දාගමනයට පෙර සිට ම බුදුදහම පිලිගැනීමට සූදානමින් සිටි බව ය.

බුදුදහම මෙරට ප්‍රචලිත වීමටත් ජනප්‍රියවීමටත් හේතුව රාජ්‍ය අනුග්‍රහයවත් වෙනත් කරුණක්වත් නොව මෙරට සංස්කෘතිය, එනම් හෙළයන්ගේ සංස්කෘතිය බුදුදහමෙහි පදනම් සංස්කෘතිය ම හෝ එයට ඉතාමත් සමීප සංස්කෘතියක් වීම ය. රාජ්‍ය අනුග්‍රහ සහිත ව වුවත් බටහිර විද්‍යාව මෙරට ජනප්‍රිය නොවන්නේත් මුල්බැස නොගන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතිය බටහිර විද්‍යාව නිර්මාණය වන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඉතා දුරස්ථව පිහිටි නිසා ය.

භාරතයෙන් බුදුදහම නැතිවී යැමට මුස්ලිම් ආක්‍රමණය ආදිය හේතු වී ඇති නමුත් වෛදික සංස්කෘතිය බුදුදහමේ සංස්කෘතියට ආගන්තුක වීම වඩා වැදගත් හේතුව වී යැයි සිතිය හැකි ය. මුස්ලිම් ආක්‍රමණය හේතුවෙන් වෛදික සංස්කෘතිය හා හින්දු ආගම නැති නො වී ය. මුස්ලිම් ආක්‍රමණයට වෛදික සංස්කෘතිය හා හින්දු ආගම අතුගා දැමීමට නොහැකි විය. එයට හේතුව භාරතය යනු වෛදික සංස්කෘතියෙහි නිජභූමිය වීම ය. එහෙත් මුස්ලිම් ආක්‍රමණයට බුදුදහම භාරතයෙන් පහසුවෙන් ම අතුගා දැමීමට හැකි විය.

හින්දු ආගම භාරතයේ කෙතරම් මුල්බැසගෙන තිබේ ද යන්න සික් ආගමෙන් පැහැදිලි වෙයි. සික් ආගම යනු අන් කිසිවක් නොව ඉස්ලාම් ආගම වෛදික සංස්කෘතිය තුළට ගැනීමේ ප්‍රතිඵලයකි. අඩු තරමෙන් භාරතයේ එක් ප්‍රදේශයක ඉස්ලාම් ආගම තම සංස්කෘතිය තුළට අවශෝෂණය කරගැනීමට වෛදිකයන්ට හැකි විය. එහෙත් බුදුදහම භාරතයෙන් අතුගෑවී ගියේ ය. මුස්ලිම් ආක්‍රමණය එසේ අතුගෑවී යෑමට හේතුවක් වී ඇති නමුත් එය එකම හේතුව ලෙස සැලකිය නො හැකි ය. බෞද්ධ සංස්කෘතිය වෛදික භාරතයට ආගන්තුක විය.

මුස්ලිම් සංස්කෘතිය ද යම් ප්‍රමාණයකට භාරතයේ මුල් බැස ගෙන ඇත. අප සිතන තරම් මුස්ලිම් සංස්කෘතිය භාරතීය වෛදික සංස්කෘතියෙන් ඈත් නො වේ. සංස්කෘති දෙකෙහි ම ලෝක නිර්මාණයක් හා නිර්මාපකයෝ වෙති. සංස්කෘති දෙකම ආත්මවාදී වෙයි. ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ද ඒ දැකිය හැකි නමුත් සමස්තය දක්නට නැත. ඇතැම් විට සාමූහිකත්වය අගයන කතෝලික සංස්කෘතිය භාරතයේ ද මුල් බැස ගැනීමට තිබිණි.

එහෙත් බුදුදහම ලෝක නිර්මාණයක් ප්‍රතික්‍ෂෙප කරයි. එහි නිර්මාපකයකු නැත. විශ්ලේෂණයක් ද කිඳා බැස නැත. තුන්වැනි සංගායනාවෙන් පසු විශ්ලේෂණයක් (විභජ්ජවාදයක්) එකතු වුණ ද එය එතරම් ජනතාව අතරට නො ගියේ ය. තුන්වැනි සංගායනාවේ විභජ්ජවාදයට එරෙහි ව ක්‍රියාකර ඒ පරාජය කිරීමට වෛදික බමුණෝ වැඩිකල් නොගොස් ම සමත්වූහ. බුදුදහම භාරතයේ ප්‍රචලිත වූයේ ධර්මාශෝක රජු දවස හා ඉන් පසුව ටික කලකට ය. අශෝක රජුට පෙර භාරතයේ කිසිම පෙදෙසක බුදුදහම මුල් බැසගෙන තිබූ බවක් කිව නො හැකි ය.

අශෝක සමයේ හා ඉන් පසුව භාරතයේ බුදුදහම පැතිර ගියේ රාජ්‍යානුග්‍රහයෙන් බව පැහැදිලි ය. එමෙන් ම පසු කලෙක මහායාන බුදුදහම පැතිරීමට ද රාජ්‍යානුග්‍රහය හේතු විය. රාජ්‍යානුග්‍රහය නැති වූ විට බුදුදහමට හා බෞද්ධ සංස්කෘතියට භාරතයේ වැදගත් තැනක් හිමි නොවූ බව කිව හැකි ය. මෙය ඉතා වැදගත් කරුණක් වෙයි. එහෙත් ලංකාවේ බුදුදහම ප්‍රචලිත වූයේ රාජ්‍යානුග්‍රහයක් නොමැතිව ය. බුදුදුහම මෙරට සංස්කෘතිය, එනම් හෙළ සංස්කෘතිය සමග ගහට පොත්ත මෙන් බැඳිණි. පසු කලෙක අග්නිදිග ආසියාවට බුදුදහම පැතිරී ගියේ ද ලංකාවෙනි. ආගමකින් සංස්කෘතියක් වෙනස් කළ හැකි ය. එහෙත් ආගමක් බිහිවන්නේ ම එයට අදාළ සංස්කෘතියක ය.

2013-06-12


නලින් ද සිල්වා

Sunday, 5 August 2012

නිල අධ්‍යාපනය

මෙරට තරම් බණ කියන බණ අසන තවත් රටක් ලෝකයේ නැත. අනෙක් කිසිම බෞද්ධ රටක අප රටේ තරම් ධර්ම දේශනා නො පැවැත්වෙයි. පන්සල් යන බෞද්ධයන් පොහෝ දින සිල් සමාදන්වන බෞද්ධයන් සංඛ්‍යාව අවුරුදු පතා සුළුවෙන් නමුත් වැඩිවනු මිස අඩුවනු දකින්නට නැත. තම දරුවන් දහම් පාසල්වලට යැවීමට බොහෝ බෞද්ධ දෙමව්පියෝ කටයුතු කරති. ඊනියා සමාජයීය විද්‍යාඥයෝ, දෙමළ ජාතිවාදීහු, රාජ්‍ය නොවන සංවිධානවල කුලීකාර ලියන්නෝ, කසිකබල් මාක්ස්වාදීහු, පශ්චාත් මාක්ස්වාදීහු, පශ්චාත් නූතනවාදීහු ආදී සමාජයේ විද්වතුන් (විඤ්ඤූන්) ලෙස පිළිගැනේනෝ මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ඇතැයි කියති. එහෙත් මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් නැතිවා පමණක් නොව 1815න් පසුව මෙරට සිංහල බෞද්ධ රටක්වත් නො වේ. මෙරට වැඩි බලයක් ඇත්තේ මහානායක හිමිවරුන්ට ද එසේත් නැත්නම් කාදිනල්තුමා හා වෙනත් ක්‍රිස්තියානි සභාවල නායක පූජකවරුන්ට ද? පසුගිය කාලයේ ඇති වූ සිද්ධිවලින් පෙනී යන්නේ ආණ්ඩුව මහානායක හිමිවරුන්ගේ අනුශාසනාවලට වඩා කාදිනල්තුමාගේ ප්‍රකාශවලට ගරුකරන බව ය. පසුගිය දිනවල එක්තරා සිද්ධියක දී අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී කාදිනල් තුමා ප්‍රකාශ කළේ ඒ පුද්ගලයන් නිදහස් කර චෝදනා අස්කර ගත්තේ නැත්නම් තමන් රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ය. එය නීතිය ඉක්මවා කළ ප්‍රකාශයක් බව හෝ නීතිය අතට ගැනීමක් බව හෝ තර්ජනයක් හෝ යැයි කිසිදු පඬියකු කී බවක් මම නො දනිමි. කෙසේ වෙතත් ආණ්ඩුව කාදිනල්තුමාට අවනත විය. අපේ මහානායක හිමිවරුන් කිසි දා ආණ්ඩුවේ වගකිව යුත්තන්ට එවැනි ප්‍රකාශ නොකරන්නේ ඇයි?

භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යෑම (එයට වැඩම කිරීම යැයි කිව හැකි ද?) සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව කෙරුණක් නො වේ. එයට විරුද්ධව එකල ම මම මැතිවරණය හා හාමුදුරුවෝ යන මැයෙන් පොත් පිංචක් ද ලියා ප්‍රසිද්ධ කළෙමි. එහෙත් භික්‍ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු යන්නේ ද නැත් ද යන්න තීරණය කළ යුත්තේ උන්වහන්සේ ම මිස පාර්ලිමේන්තුව නො වේ. භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත්වන විට ම උන්වහන්සේ සඟ විනයට යටත් වෙති. මෙරට සඟ විනය කුමක් දැයි තීරණය කරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බිහි වූ පාර්ලිමේන්තුව ද? මහානායක හිමිවරුන් කළ යුත්තේ කුමක් දැයි කීමට තරම් මම සුදුස්සෙක් නො වෙමි. උන්වහන්සේ ම ඒ පිළිබඳ තීරණයක් ගනිත්වා! එහෙත් ඒ තීරණය කාදිනල්තුමාගේ ප්‍රකාශ අහළින් තැබීමටවත් නොහැකි වන බව නම් මම දනිමි. පඬියන් කියන ආකාරයට මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් තිබේ නම් මෙවැනි ක්‍රියා සිදුවන්නේ කෙසේ ද?

අද මෙරට ප්‍රධාන ප්‍රශ්නය දෙමළ ජනයාට කෙරෙන ඊනියා අසාධාරණයක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු තැන තවමත් නො ලැබීම ය. 1506න් පසුව මුහුදුකරයේවත් 1815න් පසුව රට අභ්‍යන්තරයේවත් ඒ තැන ලැබී නැත. සිංහලයන් ඒ තැන ලබාගැනීමට ක්‍රියා කිරීම පඬියෝ සිංහල ජාතිවාදය, බෞද්ධ අන්තවාදය ආදී බටහිර සංකල්ප යොදා ගනිමින් හඳුන්වති. ඊනියා උඩරට ගිවිසුම ලෙස හැඳින්වෙන 1815 සිංහල –- ඉංගිරිසි ගිවිසුම මගින් ඉංගිරිසි රජු වෙනුවෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා බුදුසසුන රැකීමටත් සිංහල නීතිය අනුව රට කරවීමටත් පොරොන්දු විය. ඒ ගිවිසුමට එදා එංගලන්ත පාර්ලිමේන්තුවේ දැඩි විරෝධතාවක් මතුවූයේ ක්‍රිස්තියානි තුන්වැනි ජෝර්ජ් රජු මිථ්‍යාදෘෂ්ටික ආගමක් රුකීමට පොරොන්දු වූ බැවිනි. එදා භික්‍ෂූන් වහන්සේ ඒ වගන්ති දෙක සිංහල –- ඉංගිරිසි ගිවිසුමට ඇතුළත් කරවීමට කටයුතු කළ බව නිසැක ය. එහෙත් ඉංගිරිසිහු තම ජඩ බව හෙළි දරවු කරමින් ඒ ගිවිසුම කැඩූහ. ඔවුහු අවශ්‍ය වූ විට හිත්පිත් නැති වධකයන්් ලෙස ද තවත් විටෙක සියුම් ව ද කටයුතු කරති. ඔවුන් ගිවිසුමට අත්සන් කළේ එසේ නොකර බැවින් මිස ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් නො වේ. ඔවුහු ගිවිසුම කඩාදැමීමෙන් නොනැවති ක්‍රම ක්‍රමයෙන් භික්‍ෂූන් වහන්සේගේ කොන්ද කඩා දැමීමට ද කටයුතු කළහ. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා දැන සිටි දෙයක් නම් භික්‍ෂූන් වහන්සේ හා ගිහියන් අතර ඇති සම්බන්ධය තිබෙනතාක් සිංහල බෞද්ධයන් ආධ්‍යාත්මික ව වැට්ටවීමට නොහැකි බව ය. මේ සම්බන්ධයෙහි ප්‍රධාන කරුණක් වූයේ භික්‍ෂූන් වහන්සේ කාළාම සූත්‍රයෙහි කියැවෙන දැන උගත් විඤ්ඤූන් ලෙස සැලකීම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන අංගයක් වීම ය.

භික්‍ෂූන් වහන්සේ වෙනුවට වෙනත් පිරිසක් විඤ්ඤූන් බවට පත්කිරීමට ඉංගිරිසිහු කටයුතු කළහ. ඒ බිෂොප්වරුන් හා ඉංගිරිසියෙන් ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලත් අය ය. ඉංගිරිසින් මෙරට පාසල් ඇති කළේ ම ඒ පරමාර්ථයෙනි. 1815ට පෙර ද ලන්දේසීහු අධ්‍යාපනය ඔස්සේ එවැනි විඤ්ඤූන් ඇතිකිරීමට උත්සාහ ගත් නමුත් අසාර්ථක වූහ. එහෙත් ඉංගිරිසිහු ඉතා සාර්ථක ව තම අරමුණ ඉටුකරගත්හ. මෙරට අද ක්‍රියාත්මක වන පාසල් හා සරසවි අධ්‍යාපනය සිංහල බෞද්ධ විරෝධී වෙයි. එය වර්ධනය කිරීමෙන් සිදුවන්නේ සිංහල බෞද්ධයනට හා සංස්කෘතියට මෙරට හිමි තැන තව තවත් නැතිවීම පමණකි. නායක පදවි පිරිනැමීමේ දී අක්තපත්‍රයෙහි ඒ පදවියෙන් පිදුම් ලබන භික්‍ෂූන් වහන්සේ රාජ්‍ය විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඉංගිරිසින්ට ඔත්තු සපයන බවට ද ප්‍රකාශයක් විය. ඒ ප්‍රකාශය අද ද ඉවත් කෙරී නොමැති බව මගේ අදහස ය. කෙසේ වෙතත් මේ සියළු දෙයින් කෙරුණේ භික්‍ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත්කිරීම ය. අද උන්වහන්සේ බණට, පාංශුකූලයට, පිරිතට, දානයට හා වෙනත් එවැනි පරලොවට සම්බන්ධ පිංකම්වලට පමණක් සීමා වී ඇත. මෙලොවට සම්බන්ධ පිංකම් ද වෙයි. මෙලොව ජීවිතය වැඩදායක ලෙස පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද යන්න ජනතාවට කියා දුන්නේත් විඤ්ඤූන් ලෙස නායකත්වය දුන්නේත් භික්‍ෂූන් වහන්සේ ය. අද පාසල් අධ්‍යාපනය මගින් උන්වහන්සේ එතැනින් ඉවත් කෙරී ඇත.

අද පිරිවෙන් අධ්‍යාපනය යනුවෙන් කිවහැකි සුවිශේෂ අධ්‍යාපනයක් නැත. විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් බටහිර අච්චුවේ විශ්වවිද්‍යාල බවට පත්කිරීමෙන් පසුව සියළු පිරිවෙන්වල අධ්‍යාපනය ක්‍රම ක්‍රමයෙන් කඩා වැටිණි. එදා පිරිවෙනෙන් බිහි වූ පඬිවරුන් වහන්සේ අද බිහි නො වෙති. එමගින් භික්‍ෂූ පරපුරට වූ හානිය සුළුපටු නො වේ. දහම් පාසල් ද ක්‍රියාත්මක වනුයේ බටහිර ක්‍රිස්තියානි ආකෘතියෙහි ය. එහි පුදුමයක් නැත්තේ ඕල්කට්තුමා එදා ඉරිදා පාසල් ඇති කළේ ම ක්‍රිස්තියානි ආකෘතියෙහි වීම ය. මැටි පහන වෙනුවට ඉටිපන්දම් බකට් පහන් හඳුන්වා දුන් ඕල්කට්තුමා නිසා අපට කිසි දිනෙක මෙරට බෞද්ධ පාසල් ඇතිකර ගැනීමට නො හැකි විය. අප ඇති කළේ බෞද්ධ ආලේපය තැවරූ ක්‍රිස්තියානි පාසල් ය. ඕල්කට්තුමාට ඉංගිරිසින්ගේ හා ඕල්කට් බෞද්ධයන්ගේ සහායෙන් ධර්මපාලතුමා හා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් පැරදවීමට හැකිවීම මෙරට ඛෙදජනකයක් විය. පාණදුරා වාදයෙන් ඇති වූ බෞද්ධ පුනර්ජිවනය ඒ හේතුවෙන් ම මෙරටට පැමිණි ඕල්කට්තුමා විසින් පීළිපන්නනු ලැබිණි. එකල අප ජීවත්වූයේ ක්‍රිස්තියානි යටත්විජිතයක නිසා ක්‍රිස්තියානි අධ්‍යාපනය මෙරටට රිංගීම පුදුමයක් නො වේ යැයි කිසිවකු කියනු ඇත. එහෙත් අපට එම ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් අවශෝෂණය කළහැකි යමක් වී නම් එසේ කරමින් වෙනත් දිශාවකට ගමන් කරන විකල්ප බෞද්ධ අධ්‍යාපනයක් ඇතිකර ගැනීමට මූලික පියවර ගැනීමටවත් නොහැකිවීම කණගාටුදායක ය. මෙම ක්‍රිස්තියානි අධ්‍යාපනයේ ආදීනව බෞද්ධයන් නොදැක්කා නො වේ. ඔවුන් පෞද්ගලික පාසල් රජයට ගෙන ආගමික නොවන අධ්‍යාපනයක් ඇති කිරීමට බෞද්ධ කොමිෂන් සභාව මගින් ද ඉල්ලා සිටියේ එබැවිනි. එහෙත් බෞද්ධයන් අද මෙන් ම එකල ද නොදැන සිටි කරුණ නම් රජයේ පාසල්වල ද ලැබෙන්නේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් බව ය. එහෙත් එවැනි ක්‍රිස්තියානි අධ්‍යාපනයකට ද කතෝලික සභාව විරුද්ධ විය. ප්‍රධාන පූජකවරුන්ට අවශ්‍ය වූයේ තමන් යටතේ ම සෘජු ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීමට ය. පාසල් රජයට ගැනීමට ගිය විට ඔවුහු හා ප්‍රභූ කතෝලිකයෝ සාමාන්‍ය කතෝලික ජනයා ආණ්ඩුවට විරුද්ධව උසි ගැන්වූහ. සාමාන්‍ය ජනයා පාසල්වල ලැගුම් ගත්හ. එහෙත් ප්‍රධාන පූජකවරුන්ගේ හා ප්‍රභූ කතෝලිකයන්ගේ විරෝධය හමුවේ බණ්ඩාරනායක මැතිණිය නොසැලී සිටියා ය. පාසල් කිහිපයක් හැරෙන්නට ඉතිරි පාසල් රජයට ගනු ලැබිණි. ප්‍රභූවරු එතුමියගේ ආණ්ඩුව පෙරළීමට අබෞද්ධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළහ. අපරාධ කරුවන්ට මෙරට අධිකරණයෙන් දඬුවම් නියම කෙරුණ ද එංගලන්තයේ සාමි මණ්ත්‍රණ සභා අධිකරණයෙන් තාක්‍ෂණික හේතු මත ඔවුහු නිිදහස් කරනු ලැබුණහ. පාසල් රජයට ගැනීමෙන් එතරම් වැඩක් නොවූයේ සමස්ත අධ්‍යාපනය ම බටහිර ක්‍රිස්තියානි වීම නිසා ය. මෙරට ගුරුදෙවියන් වූ භික්‍ෂූන් වහන්සේ අවසානයේ දී පාංශුකූලයට හා වෙනත් ලෝකෝත්තර පිංකම් කිහිපයකට පමණක් සීමා වී ඇත්තේ මේ තකතීරු විජාතික ඔළමොට්ටල අධ්‍යාපනය හේතුකොටගෙන ය. මේ අධ්‍යාපනයෙන් සිදුවන දෙය කිහිප දෙනකුට සමාජ හිණිමගේ ඉහළට යෑමට ලැබීම හා වැඩි දෙනකුගේ මොළ සෝදා ඔවුන් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි කිරීම ය. ඔවුන්ට ලෞකික වශයෙන් භික්‍ෂූන් වහන්සේ අවශ්‍ය නො වේ. බ්‍රවුන්රිග්ට අවශ්‍ය වූ දෙය 1815න්් අවුරුදු දෙසියයකට පසු සිදු වී ඇත. අප 2015 ට පය නැගිය යුත්තේ මෙය වෙනස් කිරීමට අදිටන් කර ගනිමිනි.

අද අවශ්‍ය වන්නේ නැවතත් භික්‍ෂූන් වහන්සේ මෙරට ගුරු දෙවිවරුන්, විඤ්ඤූන් බවට පත්කර ගැනීම ය. ඒ සඳහා කළ යුතු කාර්යයන් රැසක් වෙයි. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබ රටේ විඤ්ඤූන් බවට පත්ව කාළාම සූත්‍රය ද ඊනියා විද්‍යාත්මක අයුරෙන් අර්ථදක්වන පුහු අනුකාරකයන් කවුදැයි හඳුන්වා දිය යුූතුව ඇත. බටහිරයන්ගේ මතිමතාන්තර තමන්ට තේරෙන ආකාරයට ඉංගිරිසියෙන් කියවා එය සිංහලෙන් ප්‍රකාශ කිරීම හැර වෙනත් දෙයක් කිරීමට මේ අනුකාරකයෝ නො දනිති. එහෙත් ඔවුහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයෙහි බලයෙන් මෙරට විඤ්ඤූන් බවට පත් ව සිටිති. ඔවුහු අපේ දැනුම මිථ්‍යාවක් යැයි කියති. මොවුන්ගෙන් පසුගිය අවුරුදු එකසිය හැත්තෑපහක පමණ කාලයක් තිසසේ රටට සිදු වී ඇති යහපත කුමක් ද? මේ රට ආශ්චර්යයක් වූයේ භික්‍ෂූන් වහන්සේ මෙරට විඤ්ඤූන් ව සිටි සමයෙහි ද, එසේත් නැත්නම් බටහිර යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබූ අනුකාරකයන් විඤ්ඤූන් බවට පත් සමයෙහි ද? භික්‍ෂූන් වහන්සේ මේ අධ්‍යාපනය මගින් බිය කෙරී ඇත. මේ බිය නැති කළ යුතු ය. බටහිර විද්‍යාව ද ඇතුළත් බටහිර දැනුම බෞද්ධ දැනුම හමුවේ හිරු දුටු කදෝ පැණියකු පමණක් වෙයි.