පසුගිය සතියෙහි පළ වූ ලිපියෙහි වූ දෝෂයක් නිවැරදි කළ යුතුව ඇත. එහි සංගිතය ගැන කියැවෙන ඡෙදයක මේ වගන්තිය පළ වී තිබිණි. “පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගියෝ සිංහල කතෝලිකයෝ හා ඉංගිරිසිහු වූහ”. එය මෙසේ නිවැරදි විය යුතු ය. පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගියෝ සිංහල කතෝලිකයෝ හා ක්‍රිස්තියානිහු වූහ. මෙයින් මා කීමට තැත්කළේ මහාවිහාර සම්ප්‍රදායේ සිංහල බෞද්ධ උගතුන් සංගිතය ගැන එතරම් සැලකිල්ලක් නොදැක් වූ බවත් අපට සිංහල සංගිතයක් සැපයීමේ අරමුණෙන් සිංහල කතෝලිකයන් හා සිංහල ක්‍රිස්තියානීන් ඉන්දියාවට ගිය බවත් ය.
එය එසේ තිබිය දී ඉංගිරිසින්ගේ උසස් අධ්‍යාපනය හේතුකොටගෙන භික්‍ෂූන් වහන්සේට සමාජයේ වැදගත්කම අහිමිවීම අප තවදුරටත් සාකච්ඡා කළ යුතු ය. අප සඳහන් කර ඇති පරිදි අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි මෙරට විඤ්ඤූන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ වූහ. හෙළ බෞද්ධ සංස්කෘතියටත් වඩා සිංහල බෞද්ධ සංස්කෘතිය භික්‍ෂූන් වහන්සේට ඒ තත්ත්වය ලබාදුන්නේ ය. කාළාම සූත්‍රයෙහි සඳහන්වන ආකාරයට මෙළොව හා පරළොව වැඩ සඳහා කළ යුතු දේ හා නොකළ යුතු දේ ජනතාවට අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙන් ද කියා දුන්නො භික්‍ෂූන් වහන්සේ ය.
පසු කාලයක ඉංගිරිසි යටත්විජිත සමයෙහි ඉංගිරිසි උගත් බටහිර ගැති නිවට සිංහල බෞද්ධයෝ බටහිර විද්‍යාවෙන් මත් වී කාළාම සූත්‍රය ද බටහිර විද්‍යාත්මක යැයි පෙන්වීමට උත්සාහ කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ හීනමානය වසාගැනීමට ය. සිංහල බෞද්ධ සංස්කෘතිය හා බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අතර චින්තනය සම්බන්ධයෙන් ගත්කල වෙනසක් නැතැයි පෙන්වීම ඔවුන්ගේ අරමුණ විය. අප විසින් පසුගිය කාලයෙහි නිර්මාණය කෙරුණු සංකල්ප යොදාගන්නේ නම් ඔවුන්ට අවශ්‍ය වූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා සිංහල බෞද්ධ චින්තනය අතර වෙනසක් නැති බව පෙන්වීම ය.
මේ උගත්තු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පිළිගත්තෝ ය. එහි ඊනියා වැදගත්කමක් මෙන් ම ශ්‍රෙෂ්ඨභාවයක් ද පිලිගත්තෝ ය. එය එම චින්තනයේ ආධිපත්‍යය නිසා ඇතිවන්නක් පමණක් බව දැනගැනීමට තරම් බුද්ධියක් මේ උගතුනට නැතිවිය. ඔවුහු ඉංගිරිසි පාසල් මගින් බිහිකරනු ලැබූ උගත්තු වූහ. මාර්ටින් වික්‍රමසිංහ මහතා පසු කලෙක ස්වයං අධ්‍යයනයක යෙදෙන්නට ඇත. එහෙත් ඒ මහතාට වුව ද ඒ සඳහා පසුබිම සකස්කරන ලද්දේ ගාල්ලේ බොනවිස්ටා පාසල මගිනි. බොනවිස්ටා පාසල නොවන්නට මාර්ටින් වික්‍රමසිංහ මහතා හෝ සෙනරත් පරණවිතාන මහතා හෝ බිහි නොවනු ඇත.
ඒ මහත්වරුන් ඉගෙනගත් සමයෙහි බොනවිස්ටා පාසලෙහි ඉගැන්වූ ගුරුවරුන් ගැන කිසිවෙක් කතා නොකරති. සියල්ලන් ම පාහේ සිතන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාත් සෙරත් පරණවිතාන මහතාත් තනිව ඉගෙනගත් අය බව ය. බොහෝ දෙනා පාසල් හා විශ්වවිද්‍යාල හැරයෑමෙන් පසු අධ්‍යාපනයෙන් ඉවත් වෙති. කිහිප දෙනෙක් පමණක් ඉන් පසුව ද තනිව අධ්‍යාපනය ලබති. විවිධ විෂය හදාරති. එහෙත් ඒ කිහිප දෙනා එසේ කරන්නේ යම්කිසි පදනමක් මත පිහිටමිනි. ඒ පදනම පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් හෝ වැඩිහිටියන්ගෙන් හෝ ලැබෙන්නකි. ඇතැම් අය වැඩිහිටියන්ගෙන් මෙන් ම පාසලෙන් ද යම් පදනමක් ලබා ගන්නවා විය හැකි ය.
මාර්ටින් වික්‍රමසිංහ මහතාටත් සෙනරත් පරණවිතාන මහතාටත් වැඩිහිටියන්ගෙන්, එනම් තමන් උපත ලද සංස්කෘතියෙන්, යම් පදනමක් ලැබී ඇති බව පැහැදිලි ය. සිංහල සංස්කෘතිය හැදෑරීමට ඔවුන් දෙදෙනා ම උනන්දු වී ඇත්තේ එබැවින් ය. එහෙත් ඔවුන් දෙදෙනාට ම ඉංගිරිසි ක්‍රිස්තියානි පාසලක් වූ බොනවිස්ටා පාසලෙන් ඔවුන් සිංහල සංස්කෘතියෙන් ලබාගත් පදනමට වැඩි ශක්තිමත් පදනමක් ලැබී ඇති බව පැහැදිලි ය. අධ්‍යාපනයෙහි ලා චින්තනය සම්බන්ධයෙන් ගත්කල ඔවුන්ගේ පදනම වූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. ඔවුන් සිංහල සංස්කෘතිය හැදෑරුවේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයක ය.
මාර්ටින් වික්‍රමසිංහ මහතාත් සෙනරත් පරණවිතාන මහතාත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දරුවෝ වූහ. ඔවුනට ඒ චින්තනයෙන් කැඩෙන්නට නො හැකි විය. ඔවුන්ටත් වෙනත් අයටත් බලපෑ ගුරුවරයකු හෝ ගුරුවරුන් එකල බොනවිස්ටා පාසලෙහි උගන්වා ඇති බව පැහැදිලි ය. ඒ කවුරුන් දැයි අපි අද නො දන්නෙමු. ඒ කුමක් වුවත් එකල බොනවිස්ටා පාසලෙහි සම්ප්‍රදාය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇති බව නම් නිසැක ය.
මෙවැනි උගත්තු එකල මෙරට ඉංගිරිසි පාසල්වලින් බිහිවූහ. ඔවුහු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දරුවෝ වූහ. ඔවුහු එහි දරුවන්ටත් වඩා දාසයෝ වූහ. මේ දාසයන්ට කළ හැක්කේ කුමක් ද? ඔවුන්ට කළහැකි උපරිමය වුයේ සිංහල බෞද්ධ සංස්කෘතිය ක්‍රිස්තියානි ඇසකින් බලා අර්ථවිවරණය කිරීම ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ගැන මහත් අභිරුචියකින් ඉගෙනගත් ඔවුහු එවැනි විධික්‍රමයක් නැති බව නො දත්හ. එසේ වූයේ බටහිර ආධිපත්‍යය මගින් එසේ ඇතැයි සිතීමට ඔවුන් පොළඹවා තිබූ බැවිනි.
බටහිර විද්‍යාව යනු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට සාපෙක්‍ෂව ගෙතන ලද වියුක්ත කතා පමණක් බව මේ උගත්තු නොදැන සිටියහ. බටහිර විද්‍යාවේ ඇතැයි කියන විවෘත මනසක් ගැන අසා ඔවුහු වශී වූහ. එහි කිසිම ආකරයේ විවෘත මනසක් නොමැති බවත් මිනිසුන්ට විවෘත මනස් තිබිය හැක්කේ නොසිතන්නේ නම් පමණක් බවත් ඔවුහු නොදත්හ. වෙනත් වචනවලින් කිවහොත් විවෘත මනස් ඇත්නම් ඒ තිබිය හැක්කේ මෘතශරීරවලට පමණ ය. ඕනෑම පෘථග්ජන මිනිසකු සිතන්නේ යම් චින්තනයක යම් සංස්කෘතියකට සාපේක්‍ෂව ය.
බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම මහත් සේ අගය කළ මේ උගත්තු තම සංස්කෘතියෙන් ද යමක් ලබා තිබිණි නම් තම සංස්කෘතිය ද බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට නොදෙවෙනි බව පෙන්වීමට උත්සාහ කළහ. ඒ හීනමානය නිසා මිස වෙනත් කරුණක් නිසා නො වේ. සිංහල සංස්කෘතියෙන් යමක් ලබා නොගත් පාසලෙන් හෝ විශ්්වවිද්‍යාලයෙන් හෝ පුස්තකාල වැනි වෙනත් ආයතනවලින් බටහිර දැනුම පමණක් ලබාගත්තවුනට මේ ප්‍රශ්නය නො වී ය. ඔවුන්ට සිංහල සංස්කෘතියෙහි ගතයුත්තක් නො වී ය. ඔවුහු ලංකා විශ්වවිද්‍යාලයෙහි පළමු උපකුලපති වූ අයිවෝර් ජෙනිංග්ස් කොළඹ කාන්තා විද්‍යාලයෙහි කරන ලදැයි කියන කතාවක සඳහන් පරිදි ලංකාව සංස්කෘතික කාන්තාරයක් සේ දුටුවෝ ය. ඔවුන්ට බටහිර දැනුම සමග සංසන්දනය කළ හැකි කිසිවක් මෙරට නො වී ය.
ප්‍රශ්නය වූයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි යමක් ඇතැයි සිතූ අයට ය. මේ අයගේ ද මිනුම් දණ්ඩ වූයේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ය. ඔවුහු බටහිර විද්‍යාව නවීන විද්‍යාව නමින් හැඳීන්වූහ. ඊනියා නවීන විද්‍යාව මිනුම් දණ්ඩ ලෙස ගත්විට සිංහල සංස්කෘතියෙහි නිපන් දැනුමට ද යම්කිසි වටිනාකමක් ලබාදිය හැකි වුයේ තම මිනුම් දණ්ඩෙහි ඇති ලක්‍ෂණ සිංහලයන්ගේ දැනුමෙහි, එනම් සිංහල බෞද්ධ දැනුමෙහි ඇති බව පෙන්වීමෙනි.
බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දාසයන්ට කාළාම සූත්‍රය පිහිටට පැමිණියේ සිංහල බෞද්ධ දැනුමට මේ බොරු වටිනාකම ලබාදීමට ය. මේ උගත්තු කාළාම සූත්‍රයෙහි සන්දර්භය අධ්‍යයනය නො කළහ. ඔවුහු එය සම්පූර්ණයෙන් ම නො කියවූහ. බුද්ධ ධර්මය බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම මෙන් නොව සංයුක්ත විය. බටහිර විද්‍යාව යනු ගොතන ලද වියුක්ත කතන්දර කිහිපයක් පමණකි. එහෙත් බුදුන් වහන්සේ වියුක්ත ධර්මයක් නො දෙසූහ. උන්වහන්සේ ධර්ම දේශනා කළේ යම් සන්දර්භයක ය. ආනන්ද හිමිපාණන් වහන්සේ ඇසූ ධර්මවල මේ සන්දර්භය පැහැදිලිව ම දක්වා ඇත. උන්වහන්සේ මා විසින් මෙසේ අසන ලදැයි යනුවෙන් පවසන්නේ ඒ සන්දර්භය ය.
කාළාම සූත්‍රය දේශනා කළේ කාළාමයනට ය. ඔවුන්ට ප්‍රශ්නයක් විය. විවිධ ගුරුවරු ඔවුන්ට විවිධ දේ උගන්වා තිබිණි. ඉන් පිළිපැදිය යුත්තේ කුමක් ද යන ප්‍රශ්නය විය. බුදුන් වහන්සේ ඒ ප්‍රශ්නයට කොටස් දෙකකින් පිලිතුරු දුන්හ. පළමු කොටසින් උන්වහන්සේ දේශනා කළේ මේ මේ නිසා පමණක් පිළිපැදිය යුතු නො වේ ය යන්නට උදාහරණ ය. ඇසූ පමණින්, පොතක පතක තිබූ පමණින්, සම්ප්‍රදාය වූ පමණින් යමක් නො පිළිගතයුතු යැයි උන්වහන්සේ දෙසූහ. එහෙත් එයින් කියැවෙන්නේ පොතක පතක තිබූ කිසිවක් ආදී වශයෙන් නො පිළිගත යුතු බවක්වත් සියල්ල තමන් කල්පනා කර පරීක්‍ෂාකර පිළිගත යුතු බවක්වත් නො වේ.
කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටසින් බුදුන් වහන්සේ පිළිපැදිය යුතු දේ හා නොපිළිපැදිය යුතු දේ කවරේ දැයි විස්තර කළහ. උන්වහන්සේ ප්‍රකාශ කළේ විඤ්ඤූන් මෙලොවටත් පරලොවටත් වැඩක් ඇති දෙයක් දැන ඒ කරන්නේ නම් තමන් ද ඒ දේ කළයුතු බව ය. එමෙන් ම විඤ්ඤූන් මෙලොවටත් පරලොවටත් අවැඩක් වේ යැයි සලකා යමක් නොකරන්නේ ද තමන් ද එය නොකළ යුතු බව ය. එසේ නොමැතිව සියල්ල පරීක්‍ෂා කිරීමෙන් පසුව පමණක් යමක් පිළිගත යුතු යැයි උන්වහන්සේ නො දෙසූහ. මෙහි ඇති ඊනියා බටහිර විද්‍යාත්මක විධික්‍රමයක් නැත.
මෙහි දී වැදගත් ම කරුණ වනුයේ විඤ්ඤූන් යනු කවුරුන්දැයි හඳුනාගැනීම ය. අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ මෙරට විඤ්ඤූන් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. මෙලොවටත් පරලොවටත් වැඩක් වන්නේ කුමකින් ද අවැඩක් වන්නේ කුමකින් ද යන්න උන්වහන්සේ දැන සිටියහ. නිවන අරමුණු කරගත් ක්‍රියා මෙලොවටත් පරලොවටත් වැඩදායක විය. එවැනි ක්‍රියා අප නිවනට ළඟා කරයි. නිවනට පටහැණි ක්‍රියා මෙලොවටත් පරලොවටත් අවැඩදායක විය. එවැනි ක්‍රියා අප නිවනින් ඈත් කරයි. මෙරට ධර්මද්වීපයක් වූයේ ජනතාව එසේ පිළිපැදි නිසා ය.
බටහිර උසස් ඉංගිරිසි අධ්‍යාපනයක් උසස් පෙළ පංතියේ සිට හෝ පොතපතින් තනිව ම එහෙත් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පදනම් ව හෝ ලබාගත් අය කාළාම සූත්‍රයට දුන්නේ වෙනත් අර්ථකථනයකි. ඔවුහු කාළාම සූත්‍රයෙහි පළමු කොටසට පමණක් සීමාවූහ. එවිට කිසිවකු යමක් කිරීමට පෙර පරීක්‍ෂාකර බලා දැනගත යුතුව තිබිණි. සියල්ල පරීක්‍ෂාකර බලා දැනගැනීමට කිසිවකුට ඉඩක් නැත. ඒ සඳහා වෙලාවක් නැත. බටහිර විද්‍යාවේ ද සියල්ලෝ සියල්ල පරීක්‍ෂා නො කරති. කිහිප දෙනකු පරීක්‍ෂාකර හෝ නොකර (දෛ්ධාන්තික ව) හෝ කියන දේ අනෙක් සියල්ලෝම තමන්ට අවශ්‍ය පරිදි පිළිගනිති. බටහිර විද්‍යාවට ද විඤ්ඤූහු වෙති. ඒ බටහිර විද්‍යාඥයෝ ය. එසේත් නැත්නම් බටහිර වියුක්ත දැනුම නිර්මාණය කරන්නෝ වෙති. ඔවුන් නිර්මාණය කරන දැනුම් පද්ධතිය ලෝක ආධිපත්‍යය බවට පත්කෙරී ඇත. මේ ඊනියා විඤ්ඤූන්ට තම දැනුම මෙලොවට හා පරලොවට වැඩ සඳහා වේ ද යන්න ප්‍රශ්නයක් නො වේ.
මෙරට උසස් ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබ තම සංස්කෘතිය ගැන ද යම් සැලකිල්ලක් දැක් වූ අය කාළාම සූත්‍රයෙහි පළමු කොටස තම හීනමානයට පිළියමක් ලෙස යොදාගත්හ. සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වැඩිහිටියන්ගෙන් ඉගෙන නොගත් කාලෝ ෆොන්සේකා වැන්නෝ ද කිසිම විචාරයකින් තොරව කාළාම සූත්‍රය යොදාගත්හ. ඔහු අද කුමක් කිමට තැත් කළ ද ඔහුගේ මුල් ලේඛනවල හා දේශනවල අඩංගු වූයේ කාළාම සූත්‍රයෙහි පළමු කොටස පමණකි.
නලින් ද සිල්වා
2013-07-03