Main Logo

Sunday, 21 July 2013

ඉන්දියාවට කළහැකි ඉටිගෙඩියක් නැත

අප රටට වඩාත් ම සතුරු ක්‍රියාමාර්ග ගෙන ඇති රටවල් දෙකෙන් එකක් ඉන්දියාව ය. අනෙක එංගලන්තය ය. එහෙත් මෙරට බොහෝ උගතුන්ට මේ පිළිබඳ කිසිම වැටහීමක් නැත. ඔවුන්ගෙන් අතිමහත් බහුතරය එක්කෝ ඉංගිරිසි  (අද වන විට ඇමරිකන් හා බටහිර) ගැත්තෝ වෙති. නැත්නම් ඉන්දීය ගැත්තෝ වෙති.  බුදුදහම රැකගත්තෝ සිංහලයෝ ය. සිංහලයන් නොවන්නට අද ලෝකයෙන් හීනයාන යනුවෙන් හැඳින්වෙන බුදුදහම තුරන්වීමට ඉඩ තිබිණි. ඉන්දියාව බුදුසසුන රැකගැනීමට උනන්දුවක් නොදක්වයි. පසුගියදා බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ද පෙන්නුම් කෙරෙන්නේ එයයි. බුදුසසුනට ඉතා වැදගත් වූ බිහාර් ප්‍රාන්තය නොදියුණු ප්‍රාන්තයක් ලෙස දිගට ම පැවතෙයි. ඉන්දියාවේ කෞටිල්‍යයෝ එදත් අදත් බුදුසසුන රැකගත් ලංකාව ගැන වෛරයෙන් පසුවෙති. ඔවුන් හැකිනම් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගෙන බුදූසසුන නැති වී යන තැනට කටයුතු කරනු ඇත. එංගලන්තය හා අනෙක් බටහිර රටවල් දෙමළ ජාතිවාදය යොදාගන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට ආධ්‍යාත්මික ව අභියෝග කළහැකි එකම චින්තනය වූ සිංහල බෞද්ධ චින්තනය රට බෙදීම ඔස්සේ හැකිනම් විනාශ කිරමට ය. නැත්නම් දුර්වල කිරීමට ය. ඉන්දියාව දෙමළ ජාතිවාදය යොදාගන්නේ පළමුව ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයක් ඇතිකර රට බෙදා පසුව මුළු ලංකාව ම හැකිනම් ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීමට ය. දෙමළ ජාතිවාදය අද පවතින්නේ බටහිර (එංගලන්තයේ) හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙනි. බටහිරයෝ එහි දී ප්‍රධාන වශයෙන් ම විසුරුණු දෙමල ජනයා යොදා ගනිති. 

අද ඇතැම් දෙමළ හා මුස්ලිම් ප’’ක්‍ෂ (මේ පක්‍ෂ ජාතිවාදී යැයි පඬියෝ නො කියති) මෙහෙයවනු ලබන්නේ ඉන්දියාව විසිනි. දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය මෙහි දී විශේෂ වෙයි. මේ පක්‍ෂවල නායකයෝ කොළඹ කේන්ද්‍රීය වෙති. මේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ ලක්‍ෂණයක් වෙයි. ඉන්දියාව අද වෙහෙසෙන්නේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම ඔස්සේ මෙරට සන්ධීය (හැකිනම් සහසන්ධීය) රාජ්‍යයක් ඇතිකර ඊළමක් ඔස්සේ හැකිනම් ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීම ය. සී වී විග්නේස්වරන් දෙමළ ජාතික සංධානයේ මහඇමති අපේක්‍ෂකයා වී ඇත්තේ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ය. එය සම්බන්ධන්ගේ උපායක් නො වේ. ඉන්දියාවට තවත් ප්‍රභාකරන්ලා අවශ්‍ය නොවන්නේ එවැනි නායකයන්ගේ කුල ගෝත්‍ර නොසරිලන නිසා පමණක් නොව ඔවුන් මෙහෙයවීම ද අපහසු නිසා ය. ඉන්දියාවට අවශ්‍ය දෙමළ ජාතිවාදයේ පළමු හා දෙවැනි යුගවල (ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි විස්තර කෙරී ඇත) සිටි නායකයන් වැනි කොළඹ ප්‍රභූ යැයි සම්මත පාසල්වල අධ්‍යාපනය ලැබූ බටහිර ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, ඉන්දියාවේ ඉංගිරිසි උගත් බමුණු කුලයට බෙහෙවින් සමාන නිවටයන් හා පුස්සන් පිරිසකි. ඔවුන් තමන්ට අවශ්‍ය ආකාරයට නෑටවිය හැකි යැයි ඉන්දියාව සිතයි. කොටි නායකයන් සමග සම්බන්ධකම් තිබූ අය ගැන ඉන්දියාවට විශ්වාසයක් නැත. සේනාධිරාජාට මහඇමති අපේක්‍ෂකත්වය නොලැබී ඇත්තේ මෙවන් පසුබිමක ය.  

විග්නේස්වරන් ඊනියා මධ්‍යස්ථ අපේක්‍ෂකයකු නො වේ. මධ්‍යස්ථ පුද්ගලයෝ ලොවේ නො වෙති. සෑම අයකුට ම පදනම් චින්තනයක් ඇත. ඒ ඒ අය ඒ ඒ චින්තනයේ දරුවෝ ය. 2001 දී විග්නේස්වරන් විනිසුරුවකු ලෙස දිවුරුම් දුන් දිනයේ කළ කතාවෙන් ඔහුගේ දෙමළ ජාතිවාදී ස්ථාවරය හෙළිදරවු විණි. අද ඔහු කියන්නේ දහතුන මදි බව ය. ආණ්ඩුකාරයාගේ බලතල කපා දැමිය යුතු බව ය. ගොනා හැරෙන්නේ කුමකට දැයි පැහැදිලි ය. මේ කඹයක් නැති ගොනකු නො වේ. කඹය ඇත්තේ කෞටිල්‍යයන් ළඟ ය. උතුරු පළාතේ මහඇමති වුවහොත් විග්නේස්වරන් ඉන්දියාවේ අනුග්‍රහයෙන් පොලිස් බලතල, ඉඩම් බලතල පමණක් නොව වෙනත් දේ ද ඊනියා නීතියට අනුව ඉල්ලනු ඇත. එහි දී ඉන්දියාව හා එංගලන්තය පවත්වන මිශ්‍ර රාගධාරී හා සිම්ෆනි සංගීතය පසුබිමේ ඇසෙනු ඇත. ඉන්දියාව කියනු ඇත්තේ අප ඉන්දු ලංකා ගිවිසුම ගරු කළ යුතු බව ය. එහෙත් ඉන්දු ලංකා ගිවිසුම එය ක්‍රියාත්මක වීම අරඹා දින තුනකින් අහෝසි වී ගියේ ඉන්දියාවට කොටින් නිරායුධ කිරීමට නොහැකි වූ බැවිනි. ඉඩකඩ මදි බැවින් ගිවිසුමේ පරස්පර හා දෝෂ පෙන්වා දිය නො හැකි ය. එහෙත් කිවයුතු කරුණු දෙකක් වෙයි. ඉන්දු ලංකා ගිවිසුම වලංගු යැයි පිළිගත්තත් එහි 2.10 වගන්තියෙන් පොලිස් බලතල ගැන කියැවෙන්නේ ලංකාවේ අනෙක් පළාත්වල නීතිය හා සාමය රැකීමේ දී භාවිතා කරන ක්‍රමවේදය උතුරු හා නැගෙනහිර පළාත්වල ද අනුගමනය කළ යුතු බව ය. අමුතුවෙන් ප්‍රාන්ත පොලිස් කොමිසම් පිහිටුවිය යුතු යැයි එහි නො කියැවෙයි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් පමණකි. ඒ පිලිබඳ ව ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් නො වේ. ලංකාණ්ඩුව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ ඉන්දියාව සමග කිසිම ගිවිසුමකට බැඳී නැත. අපට අවශ්‍ය පරිදි දහතුන අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම හෝ කළ හැකි ය. ඉන්දියාවට ඒ සම්බන්ධයෙන් කළහැකි ඉටිගෙඩියක් නැත. විග්නේස්වරන් නිකම් ම නිකන් පුස්සකු හා ඉන්දීය රූකඩයක් බව පෙන්විය හැකි ය.  


ඒ කෙසේ වුවත් උතුරේ ඡන්දයට පෙර කළයුත්තක් වෙයි. දහතුන සංශෝධනය කිරීමට පනත් දෙකක් ඇමති මණ්ඩලය විසින් සම්මත කෙරී ඇත. ඒ පනත් දෙක වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙයි. පාර්ලිමේන්තුවේ තෝරාගත් කමිටුව කල් මරණ උපක්‍රමයක් ලෙස යොදාගැනීමට එහි සාමාජිකයන් ව සිටින සිංහල විරෝධීන්ට ඉඩදිය යුතු නො වේ. ලොවේ කිසි තැනක සිදු නොවූ හා නොවන පංති සටන පිලිබඳ මාක්ස්වාදී සුරංගනා කතා (මේවා බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුවලටත් වඩා බොරු වෙයි. මාක්ස්වාදී බබාලා නිදිකරවීමට නම් මේ කතා හොඳ ය) විශ්වාස කරන ඇතැම්හු ජාතියක් ජනවර්ගයක් නැතැයි කියමින් එහෙත් පරස්පර ලෙස දෙමළ ජනවර්ගයක් ඇතැයි කියමින් සිංහලත්වයට හිමි තැන දීමට විරුද්ධ වෙති. අප ඔවුන් ඇතුළු දෙමළ ජාතිවාදීන්ටවත් ඒ සියල්ලන් නටවන ඉන්දියාවටවත් කිසිම ඉඩක් නොදිය යුතු ය. ඉන්දියාව කරන්නේ පුහු තර්ජන හා ගර්ජන ය. ඔවුන්ට අවශ්‍ය බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඉන්දීය සාගරයේ බලවතා වීමට යෂ අප යටත් කිරීමට ය. එහෙත් ඔවුන්ට එය එදත් කළ නොහැකි විය. අදත් කළ නොහැකි බවට අපි වග බලාගනිමු.


නලින් ද සිල්වා

2013-07-21