අධිපෝය නිර්ණය කිරීම
මේ රටේ දේශපාලනය පහත් ම අඩියකට වැටිලා. අධිපෝයත් දේශපාලන ප්‍රශ්නයක්
වෙලා. ඒකාබද්ධ විපක්‍ෂයේ අය කියන්නේ වෙසක් පෝය (පුර පසළොස්වක) අප්‍රේල් මාසයේ
ලබන්න බැහැ කියා. ඔවුන්ට අනුව වෙසක් පෝය මැයි මාසයේ ලබන්න ඕන. වජිර අබේවර්ධන එයට
පිළිතුරු දීමට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා. එහි පෝය කමිටුවේ සාමාජිකයන් යැයි සිතිය
හැකි පිරිසක් සිටියා. සුපුරුදු පරිදි මෙයට පෙර වෙසක් පෝය අප්‍රේල් මස ලබපු
අවස්ථාවලට නිදර්ශන ලැබුණා. කවුදෝ ජනමාධ්‍යවේදියකු වෙසක් පෝය විසා නැකතෙන් ලැබිය
යුතු බවක් කියා සිටියා. එයට පිළිතුරක් ලැබුණා එය එසේ වීම අවශ්‍ය නැති බව. ප්‍රශ්නය
එතැනින් අවසානයි.
දැනට වසර අටකට නවයකට පමණ ඉහත මා කැලණිය විශ්වවිද්‍යාලයේ පට්ටපල් බොරු
උගන්වන අවධියේ අධිපෝය ලබන්නේ කෙසේ දැයි දැනගැනීමට අවශ්‍ය වුණා. විශේෂ විද්‍යා
උපාධිය සඳහා ගණිතමය භෞතික විද්‍යාව හැදෑරූ චතුරිකා රසංජලී රූපසිංහ ශිෂ්‍යාවට තම
සිවුවැනි වසරේ ව්‍යාපෘතිය සඳහා මේ ප්‍රශ්නය අධ්‍යනය කර නිබන්ධයක් ඉදිරිපත් කරන ලෙස
මා යෝජනා කළා. මෙය ජ්‍යොතිෂයට පමණක් අයත් වූවක් නම් විිද්‍යා පීඨය එයට අවසර නොදීමට
ඉඩ තිබුණා. එහෙත් එහි බටහිර තාරකා විද්‍යාවට අදාළ මිණිතය පිළිබඳ කොටසකුත් තිබුණා.
ඇය උනන්දුවෙන් මහන්සි වී ප්‍රශ්නයේ මුලට ම ගොස් ඒ අධ්‍යනය නිම කළා. මෙරට බොහෝ දෙනා
ප්‍රශ්නවලට මැදින් පැන පඬි කතා කියනවා. ඇය එසේ කළේ නැහැ. ඇගේ නිබන්ධනයට ඒ වසරේ ශ්‍රි
ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙන් භෞතීය විද්‍යා අශයෙන් සියළු ම විශ්වවිද්‍යාලවලින්
ඉදිරිපත් කෙරෙන නිබන්ධන අතරෙන් හොඳ ම නිබන්ධනයට ප්‍රදානය කෙරෙන තෑග්ගත් ලැබුණා. එය
ජ්‍යොතිෂයටත් මෙරට සංස්කෘතියටත් අදාළ නමුත් ජ්‍යෙතිෂවේදීන්වත් ජනමාධ්‍යවේදීන්වත්
කිසිම සැලකිල්ලක් දැක්වූයේ නැහැ. එයට හේතුව ආසනික් කතාව වෙන්න බැහැ. නාථ දෙවියන්
හා ආසනික් ආවෙ ඊට පස්සෙ. මෙහි පහත පළවන්නේ ප්‍රධාන වශයෙන් ම තම අධ්‍යයනයෙන් රසංජලී
දැනගත් කරුණුයි.
අධිපෝය මාස ක්‍රම තුනක් පිළිබඳ කතාවක් බවට දැන් පත්වෙලා. එහෙත් එය
මාස ක්‍රම දෙකක් පිළිබඳ කතාවක්. මේ මාස ක්‍රම දෙක චන්ද්‍ර මාස හා සූර්ය මාස.
තුන්වැනි මාස ක්‍රමය ඉදිරිපත් කෙළේ ඒකාබද්ධ විපක්‍ෂයයි. ඒ බටහිර මාස ක්‍රමය. එනම්
ජනවාරි පෙබරවාරි ආදී මාස ක්‍රමය. මැයි මාසය කියන්නෙ ඒ මාස ක්‍රමයෙ පස්වැනි මාසය.
ඒකාබද්ධ විපක්‍ෂයේ හා ජනමාධ්‍යයේ ජාතිකත්වයක් ගැන කතා කරන සමහරුන්ට වෙසක් පෝය
ලබන්න ඕන සුද්දන්ගෙ මැයි මාසෙ! සිද්ධාර්ථ කුමරු ඉපදෙන කාලෙ සුද්දන්ගෙ මැයි තිබුණ
නම් ප්‍රශ්නයක් වෙන්නත් තිබුණා. වාසනාවකට සුද්දන් ඒ දවස්වල මේ පැත්තට ඇවිල්ල
හිටියෙ නැහැ. කොහොමටත් ඒ කාලෙ සුද්දන්ට ජූලි අගෝස්තු මාස තිබුණෙ නැහැ. සුද්දන්
ජූලියන් දින දර්ශනය යොදා ගත්ත කාලෙ නුවර පෙරහැර පැවැත්තුවෙ සුද්දන්ගෙ මොන මාසවල ද
දන්නෙ නැහැ. රොබට් නොක්ස් ඒ ගැන කියලා තියෙන්නෙ මොනවද කියලා රසංජලී අධ්‍යයනය කරලා
නැහැ. රොබට් නොක්ස් යොදා ගෙන තියෙන්නෙ ග්‍රෙගරියානු
දින දර්ශනය නොව ජුලියන් දින දර්ශනයයි. ඒ කාලෙ අලුත් අවුරුද්ද ලබල තියෙන්නෙ මාර්තු
මාසෙ. සමහර උදවිය අහන්න තිබුණ අලුත් අවුරුද්ද අප්‍රේල් මාසෙ පැවැත්තුවෙ නැත්තෙ ඇයි
කියලා.
චන්ද්‍ර මාසය එක්කෝ අමාවකින් ඇරඹෙනවා නැත්නම් පුර පසළොස්වකින්
ඇරඹෙනවා. එය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. සිංහල සංස්කෘතියෙ චන්ද්‍ර මාසය
ඇරඹෙන්නෙ අමාවකින්. නොක්ස්ට පෙර සිටි රොබෙයිරො නම් පෘතුගිසි කපිතාන්වරයකුට අනුව
අලුත් අවුරුද්ද ඇරඹිලා තියෙන්නෙ මැදින් මාසෙ අවසන බක් අමාවකින් පස්සෙ අලුත් දවාලෙ.
ඒ දවස බුදුහාමුදුරුවො ලංකාවට වැඩම කරපු දවසක් ලෙස සිංහලයන් සලකපු බව රොබෙයිරො කියා
තිබෙනවා. මහාවංසයට අනුවත් බුදුහාමුදුරුවො එක් වරක් ලංකාවට වැඩම කරලා තියෙන්නෙ බක්
අමාවක දවසක.
චන්ද්‍ර මාසයක් දින විසිනවයකට ටිකක් වැඩියි. චන්ද්‍ර මාසයක අමාවකින්
පස්සෙ පුර පෑලවිය දියවක වැනි තිථි තියෙනවා. පසළොස්වකින් පස්සෙ අව පැලවිය ආදී තිථි
තියෙනවා. අටවක, පසළොස්වක, අමාවක ආදියත් තිථි. අමාවක
කියන්නේ හඳ නැති තිථිය. මා කියලා හඳට කියනවා. මාසය කියන වචනය ලැබෙන්නෙ මා යන්නෙන්.
මාසය හඳත් එක්ක සම්බන්ධයි. අවශ්‍ය නම් පෝයට පුර පසළොස්වක කියනව වගේ අමාවකට අව
පසළොස්වක කියන්න පුළුවන්. ඉස්සර තිබුණෙ චන්ද්‍ර මාස. පස්සේ සූර්ය මාසත් ඇති වුණා.
සූර්ය මාසය කියන යෙදුමෙ පොඩි පරස්පරයක් තියෙනවා. හරියට කියනව නම චන්ද්‍ර මාස
කියන්න ඕනෙ නැහැ. මාස කිව්වම ඇති.
සූර්ය මාසය ගැනෙන්නෙ සූර්යයා ඉන්න රාශිය අනුව. සූර්යයා මේෂ රාශියෙ
ඉන්න කොට ඒ මාසය මේෂ මාසය වෙනවා. මේ දිනවල නම් එය අප්‍රේල් 14 වැනි දා සිට මැයි 14වැනි දා වෙනකම් මාසය. වෘෂභ මාසය මැයි 15වැනි දා සිට ජූනි 14වැනි දා වෙනකම් ආදී වශයෙන්. මේ මාස ක්‍රමය
සුද්දන්ගෙ ජනවාරි පෙබරවාරි නොවෙයි. මේ මාසයකට දින තිහක් තිස් එකක් පමණ තියෙනවා.
දින ගණන තිහ ද තිස් එක ද කියන එක අදාළ ලග්නය මත රඳා පවතිනවා. මාස 12කින් (ලග්න 12කින්) යුත් අවුරුද්දක් දින 365ක් පමණ වෙනවා. සුද්දන්ගෙ මාසවලත් දින ගණන වෙනස් වෙනවා. පෙබරවාරියට
දින 28ක් නැත්නම් දින 29ක් තියෙනවා. ඉර හඳ ග්‍රහයන් පොළොව වටා යන්නෙ
මිනිසුන් හදාගත් සංඛ්‍යාවලට ගැලපෙන විධියට නො වෙයි. මායා දින දර්ශනය අනෙක් දින
දර්ශනවලට වඩා වර්ධනය වෙලා තියෙනවා.
චන්ද්‍ර මාස වෙසක් පොසෙන්
ආදී වශයෙන් නම් කෙරී තිබෙනවා. චන්ද්‍ර මාසයක් දින විසිනවයකට ටිකක් වැඩි නිසා චන්ද්‍ර
මාස දොළහක් දවස් 365ක් වන්නේ නැහැ. එය 350කට ටිකක් වැඩියි. ඒත් 365ට අඩුයි. චන්ද්‍ර මාස දොළහ හා සූර්ය මාස දොළහ
සමපාත වන්නේ නැහැ. එහි දින කිහිපයක වෙනසක් තියෙනවා. අවුරුදු පතා මේ වෙනස වැඩි වෙනවා. දළ වශයෙන් අවුරුදු දෙකහමාරකින් පමණ ඒ වෙනස දින
තිහක් පමණ වෙනවා. එවිට අධි මාසයක් නිර්ණය කරගන්න අවශ්‍ය වෙනවා.
දැන් ප්‍රශ්නය වන්නේ මේ අධිමාසය නිර්ණය කර ගන්නෙ කොහොමද කියන එක.
රසංජලිට තම අධ්‍යයනයෙන් තේරුම් ගියෙ ඒ සඳහා ක්‍රමයක් තියෙන බව. ඒ ක්‍රමය ජ්‍යෙතිෂවේදීන්
දන්න එකක් වෙන්න ඕන. රසංජලි එය හොයාගත්තා නො වෙයි. ඒක පැරණි ජ්‍යෙතිෂවේදීන්
නිර්මාණය කරපු එකක් වෙන්න ඕන.
සාමාන්‍යයෙන් චන්ද්‍ර මාසයක් ආරම්භ වන සූූරය මාසයෙන් නොවෙයි අවසන්
වන්නෙ. උදාහරණයක් වශයෙන් ගතහොත් සාමාන්‍යයෙන් බක් මාසය ආරම්භ වන්නෙ මීන සූර්ය
මාසයෙන්, අවසන් වන්නෙ මේෂ සූර්ය මාසයෙන්. මේ
දිනවල මේෂය ආරම්භ වන්නෙ අප්‍රේල් 14
වැනි දා. සූර්යයා පඬියන් නොතකා මීනයෙන් මේෂයට ගියාමයි මේෂ මාසය ආරම්භ වන්නෙ. වෙසක්
මාසය මේෂ සූර්ය මාසයෙන් ආරම්භ වෙලා වෘෂභ සූර්ය මාසයෙන් අවසන් වෙනවා. පොසොන් මාසය
වෘෂභ සූර්ය මාසයෙන් ආරම්භ වෙලා මිථුන සූර්ය මාසයෙන් අවසන් වෙනවා.
ඒත් අර අවුරුදු දෙකහමාරකට පමණ වරක් චන්ද්‍ර මාසයක් යම් සූර්ය
මාසයකින් ආරම්භ වෙලා ඒ සූූර්ය මාසයෙන් ම අවසන් වෙනවා. අන්න ඒ මාසය අධිමාසයක්
වෙනවා. ඒ මාසය ආරම්භ වන හා අවසාන වන සූර්ය මාසයේ සාමාන්‍යයෙන් ආරම්භ වන චන්ද්‍ර
මාසය නමින් ඒ අධිමාසය නම් කෙරෙනවා. එය පැරණි ජ්‍යෙතිෂවේදීන් නම් කරපු ආකාරය. එය
දේශපාලනඥයන්ට කරන්න පුළුවන් වැඩක් නො වෙයි.
උදාහරණයක් වශයෙන් 2018
එක් චන්ද්‍ර මාසයක් ආරම්භ වන්නේත් අවසන්
වන්නේත් වෘෂභ සූර්ය මාසයෙන්. මේ මාසය අධි මාසයක්. එය ආරම්භ වන්නේ සාමාන්‍යයෙන්
පොසොන් මාසය ආරම්භ වන වෘෂභ මාසයෙන්. එබැවින් ඒ මාසය අධි පොසොන් ලෙස නම් කෙරෙනවා. 2018 වෙසක් මාසය සුපුරුදු පරිදි මේෂ මාසයෙන් ආරම්භ
වී වෘෂභ මාසයෙන් අවසන් වෙනවා. එහි ආරම්භය අප්‍රේල් 17 වැනි දා, අවසානය මැයි 15 වැනි දා. එහි පුර පසළොස්වක උදාවන්නේ අප්‍රේල්
මාසෙ 30 වැනි දා. සුද්දන්ට ඇරෙන්න අනෙක් අයට එය ප්‍රශ්නයක්
වෙන්නෙ නැහැ. අපට මැයි නොවෙයි වැදගත්. වෙසක් මාසයයි වැදගත්. වෙසක් පෝය ලබන්න ඕන
මැයි මාසෙ නොවෙයි වෙසක් මාසයෙ. 2018 දී මැයි මාසෙ ලබන්නෙ අධි පොසොන් පෝය මිසක්
වෙසක් පෝය නො වෙයි. 2018 අධි පොසොන් මාසය මැයි 16 වැනි දා ඇරඹිලා ජූනි 13 වැනි දා අවසන් වෙනවා. ආරම්භයත් අවසානයත් දෙකම
වෘෂභ මාසයේ. එහි පුර පසළොස්වක මැයි 29
වැනි දා ලබනවා.
අර මාධ්‍යවේදියාගේ දැන ගැනීම පිණිස කිව යුත්තේ සිංහලයන් (නාගයන්) අහස
නැකැත් විසිහතකට බෙදූ බවත් 2017 දිත් 2018 දීත් වෙසක් අව පෑලවිය තිථිය (පුර පසළොස්වකට පසු තිථිය) සූර්යයා විසා
නැකතේ ගමන්කරන විට යෙදී ඇති බවත්. යමකුට
වැඩි විස්තර අවශ්‍ය නම් රසංජලීගෙන් දැන ගන්න පුළුවන්.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජූලි 26