Main Logo

Sunday 23 July 2017

මා නිහඬ නැහැ


මා නිහඬ නැහැ



බොහෝ දෙනකු මගෙන් අහන ප්‍රශ්නයක් වී ඇත්තේ මා දැන් නිහඬ ඇයි යන්නයි. ඔවුන් ඒ ප්‍රශ්නය අසන්නේ පිළිතුරක් බලා ගෙන නො වෙයි. ඒ ගැන එක් එක් අයට විවිධ උපකල්පන තියෙනවා. මේ රටේ මිනිසුන් එවැනි ප්‍රශ්න අසන්නේ තම තමන්ගෙ උපකල්පන වෙනස් කරගන්න නො වෙයි. මා මොන පිළිතුරක් දුන්නත් ඔවුන් තමන්ට හා තම මිතුරන්ට කියන්නේ ඔහොම කිව්වට මිනිහට කුට්ටියක් හම්බ වෙලා ඇති. මිනිහා දැන් ඉස්සර මිනිහා නො වෙයි. මිනිහා දැන් නිදහස් අධ්‍යාපනයටත් විරුද්ධයි කියලා කිහිප දෙනෙක් ම කිව්වා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන තැනකට ආවට පස්සෙ හුඟ දෙනෙක් ඔහොම තමයි. මිනිහා දැන් ඒකාබද්ධ විපක්‍ෂයත් විවේචනය කරනවා කියලා ආරංචියි. මහින්ද මහත්තයගෙන් මිනිහා ගත්ත දේවල් දැන් අමතක කරලා. කෙළෙහි ගුණයක් දන්නැති මිනිහා.




මහින්දගෙන් මට සේවා දිගුවක් ලැබුණා. ඒ ප්‍රියන්ත සේනානායක ආධ්‍යාත්මික ව මැදිහත්වෙලා ලබා දීපු සේවා දිගුවක්. ඒ සේවා දිගුව මට ලැබුණෙ ආසනික් පර්යේෂණ දිගට ම කරගෙන යන්න පීඨාධිපති ලෙස කැලණියේ විද්‍යා පීඨය මෙහෙයවන්න. ඒ පර්යේෂණ කළේ බොහොම අමාරුවෙන්. පීඨයෙ ඉතා වැඩි පිරිසක් පමණක් නොවෙයි ලංකාවෙ ඉන්න ඊනියා විද්‍යාඥයන් වැඩි පිරිසක් විරුද්ධ වෙද්දි, මා විද්‍යාභිවර්ධන සංගමයෙන් අස් කරන්න එහි හිටපු සභාපතිවරයකු හා ඔහුගේ බිරඳ ප්‍රමුඛ පිරිසක් කටයුතු කරද්දි. ඔවුන් කැලණියෙ මහාචාර්යවරුන්  දෙදෙනකුට තර්ජනය කළා මා සමග වැඩ කළොත් ඒ දෙදෙනා විද්‍යාඥයන් හැටියට නොසලකන බවට. මා කැලණියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මගේ ඡායාරූපයක් අනෙක් හිටපු පීඨාධිපතිවරුන්ගේ ඡායාරූප සමග එල්ලා තැබුමට පීඨය විරුද්ධ වුණා. 



මහින්ද ඒ දිගුව ලබා දුන්නත් බැසිල් අපට චෝදනා කළා අප ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන හාල්වල ආසනික් තියෙනවයි කියනව කියලා. මහින්දත් මා ගෙන්නලා ආසනික් කතාව නිසා තේ කර්මාන්තයට පහරක් වදින බව කිව්වා. ඒත් මහින්ද බැසිල් වගේ චෝදනා කළේ නැහැ. මහින්ද මා පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ලෙස පත් කළා. එය වැටුපක් ලබන රැකියාවක් නො වෙයි. රැස්වීම්වලට පමණක් ගෙවීමක් ලැබුණා. මසකට රැස්වීම් දෙකක් තිබුණා. මා ඒ සාමාජිකත්වය ප්‍රතික්‍ෂෙප කිරීමට කටයුතු කළත් ඒ වන විට මගේ පත්වීම දී තිබුණු නිසා මා ඒ උත්සාහය අත්හැරියා. ඒ බව ඇතැමුන් දන්නවා. මෛත්‍රිපාල ජනාධිපති වූ විගස නිවටයකු යටතේ සේවය කිරීමට අකමැති බව දන්වමින් මා කොමිසමෙන් අස්වුණා. මගේ අස්වීමේ ලිපියේ පිටපතක් කොමිසමේ ඇති. පසුව මහින්ද මා ජාතික ලැයිස්තුවට නම් කළා. මා එය ප්‍රතික්‍ෂෙප කළා. එපමණයි.



මා නිහඬ වෙලා නැහැ. එහෙත් මගේ හඬ පිට වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. ජනමාධ්‍යකරුවන් මට විරුද්ධයි. ඔවුන් මට ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. අප සම්මන්ත්‍රණයක් පැවැත්වුවත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවත් මා ප්‍රකාශ කරන අදහස්වලට නිසි ප්‍රචාරය ලැබන්නේ නැහැ. පසුගිය ජූනි හත්වැනි දා කොළඹ පුස්තකාල ශාලාවේ පැවැත්වූ සම්මන්ත්‍රණයට හිරු, සිරස හා ලංකාදීප පමණයි සහභාගි වුණෙ. දෙරණ සම්මන්ත්‍රණය පැවැත් වූ භූමියට පැමිණියත් සම්මන්ත්‍රණයට පැමිණියේ නැහැ. සම්මන්ත්‍රණය වාර්තා කළේ හිරු පමණයි. එයත් තත්පර තිහක් පමණ. මුද්‍රිත මාධ්‍යවලින් ඉරිදා රිවිර පමණක් දැන් ලිපි පළ කරනවා. ඒත් දේශපාලන නොවන ලිපි. මගේ හඬ පිටවෙන්න ක්‍රමයක් නැහැ. මා දැන් කරන්නෙ කාලය වෙබ් අඩවියට දිනපතා ලියන එක පමණයි. ඒත් ඒ ලිපි කියවන පිරිස ඉතා අල්පයි. එබැවින් මා නිහඬයි කියලා බොහෝ දෙනකු හිතනවා. ඔවුන් එසේ හිතන්නත් කැමතියි. අර වගේ උපකල්පනත් එක්ක.



මට ජාතික ව්‍යාපාරයේ අයත් තැනක් දෙන්නේ නැහැ. ඉඳහිට බෙංගමුවේ නාලක හාමුදුරුවන් හා ඇල්ලේ ගුණවංස හාමුදුරුවන් මැදිහත් වී ජාතික ව්‍යාපාරයේ රැස්වීමක කතාවක් දුන්නොත් මිස ජාතික ව්‍යාපාරයේ වෙන කිසිවකු මට කතාවකට ආරාධනය කරන්නේ නැහැ. හාමුදුරුවන් ආරාධනා කරන රැස්වීමක වුවත් කරන කතාවකට ජනමාධ්‍ය ප්‍රචාරයක් දෙන්නේ නැහැ. ජාතික ව්‍යාපාරයටත් පොදුවේ ගත්කල මගේ අදහස්වල වැදගත්කමක් නැති වෙන්න පුළුවන්. අවුරුදු තිස්පහක් පමණ මා කර ඇත්තේ කාලය නාස්ති කිරීමක් වෙන්න පුළුවන්. මගෙන් ඉගෙන ගත් බොහෝ දෙනකු මගේ අදහස්වල වැදගත්කමක් නැති බව තේරුම් අරගෙන.



මා තොරතුරු මත පදනම් වන අයකු නො වෙයි. මා පදනම් වන්නේ කතන්දර මතයි. කතන්දරයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. තොරතුරු ලබා ගන්න බැරි කතන්දරවලින් වැඩක් නැහැ. තොරතුරු ලබා ගන්න පුළුවන් කතන්දරවලින් බොහෝ වෙලාවට ඉස්සරහට වෙන්නෙ මොකක් ද කියලා කියන්න පුළුවන්. මගේ කතන්දර බොහෝ වෙලාවට බොහෝ අය ඉවත දානවා. ඒ සමහර කතන්දර වියුක්ත නිසා හරි තම දේශපාලන ව්‍යාපෘතියට ගැලපෙන්නෙ නැති නිසා හරි. වියුක්ත කතන්දරයකට උදාහරණයක් ලෙස නන්දිකඩාල් කතාව කියන්න පුළුවන්. දෙමළ ජාතිවාදයෙ ආරම්භය 1831 දක්වා දිවෙන බව උදාහරණයක් ලෙස නන්දිකඩාල් කතාව කියන්න පුළුවන්. දෙමළ ජාතිවාදයෙ ආරම්භය 1831 දක්වා දිවෙන බව අති විශාල බහුතරය පිළිගන්නෙ නැහැ. දහතුන්වැනි සංශෝධනය නන්දිකඩාල් කලපුවෙ දි දේශපාලනික ව පරාජය කළ බව මහින්දවත් පිළිගන්නෙ නැහැ. එය නෛතිකව ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට මහින්ද තදින් හිටියේ නැහැ. සංධානයෙ බොරු සමාජවාදියො ජයගත්තා. අද රනිල් අස්කිරීමට මහින්ද හා මෛත්‍රිපාල එකතු විය යුතු ය කියන කතාවට සහායක් නැහැ. මේ ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකුල නොවන බව පිළිගැනෙන්නෙ නැහැ. ජනමාධ්‍ය පඬියන් ඒ අදහස්වලට ප්‍රචාරයක් දෙන්නෙ නැහැ.



සයිටම් විරෝධීන් ඔවුන්ගේ බොරු සමාජවාදී දේශපාලන ව්‍යාපෘති නිසා මට විරුද්ධ වෙනවා. බුදුහාමුදුරුවො සමාජවාදියෙක් නො වෙයි. අනේපිඬු සිටාණන් රජවරුන් විසාකා උපාසිකාව විජේවීරගේ නිර්ධන පංතියටවත් මාක්ස්ගෙ කම්කරු පංතියටවත් වැඩවසම් ගොවි පංතියටවත් අයත් වුණේ නැහැ. මා සිංහල බෞද්ධයකු මිස සමාජවාදියකු නො වෙයි.  දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල නව රෝහල මෙන් රාජ්‍ය පෞද්ගලික බද්ධ ව්‍යවසායක් ලෙස පවත්වා සයිටම් සිසුන්ට තවත් සායනික පුහුණුව සඳහා අවස්ථා සලසා දෙන ලෙස මා කියා සිටි බව ජනමාධ්‍යකරුවන් නිසා කාලය වෙබ් අඩවියෙන් පිටතට ගියේ නැහැ. දැන් පඬියකු අහන්න පුළුවන් නෙවිල් ප්‍රනාන්දු අනේපිඬු සිටාණන් කෙනකු ද කියා. ඒ සාදෘශ්‍යයෙන් මතුපිටින් තර්ක කිරීමක්.



අපේ දේ රැකගන්නේ යැයි කියන දෙරණ පමණක් නොව බෞද්ධයා නාළිකාවත් මට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මගේ මිතුරන්ගේ මැදිහත්වීමෙන් බෞද්ධයා නාළිකාවෙන් සාකච්ඡා තුනක් පමණක් ලැබුණා. සමහර විට මා නාළිකාවට අවශ්‍ය ප්‍රමාණයට සිංහල බෞද්ධ නොවනවා වෙන්න පුළුවන්. සියත මගේ වැඩ සටහන් ප්‍රචාරය කිරීම අවුල් කළා. මා ජනමාධ්‍යවලට චෝදනා කරන එක වැරදි වෙන්න පුළුවන්. මගේ  අදහස් ප්‍රචාරය කිරීමට තරම් සුදුසු නැති වෙන්න පුළුවන්. 



දේශපාලන ව්‍යාපෘතිය අනුව මා සමග එකඟ නොවන අදහසකට තවත් උදාහරණයක් ලෙස ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් වීම සලකන්න පුළුවන්. එසේ ඉවත් විය යුතු බව මා කලක් තිස්සේ කියන නමුත් ජනමාධ්‍ය ඒ සතපහකට ගණන් ගත්තේ නැහැ. ඒත් මහානායක හාමුදුරුවන් නව ව්‍යවස්ථාවක් එපයි කිව්ව ම ජනමාධ්‍ය ඒ ප්‍රකාශය අල්ල ගත්තා. ජා නි පෙ ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වුණෙ මා කිව්ව නිසයි කියලා මා කියන්නෙ නැහැ. මා කලක සිට ඒකාබද්ධ විපක්‍ෂයට ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වෙන්න කිව්ව බව ජනමාධ්‍ය අදවත් දන්නෙ නැහැ. ඇතැම් ජනමාධකරුවන්ට හා ප්‍රධානීන්ට මා කාලයට ලියන ලිපි විද්‍යුත් තැපෑලෙන් යැව්වත් ඔවුන් ඒ නොසලකා හිටියා. සමහරවිට ඔවුන් ඒ කියවන්නේවත් නැතිව ඇති. අද ඇතැම් ජනාධිපති නීතිඥයන් බොරු තර්ක ගේනවා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහභාගි වීමට. ඔවුන්ගේ නායකයන්ට ඒ සඳහා ඡන්දය දුන්නේ කවු ද?  



මා නිහඬ යැයි සිතන අය එසේ සිතා ගනිත්වා. ඔවුන්ගේ උපකල්පනත් එසේ ම තබා ගනිත්වා. ඔවුන්ට කෙසේ වෙතත් මට ඇති ප්‍රශ්නය මගේ අදහස් පිට කර ගැනීමට ජනමාධ්‍යය හා ජාතික ව්‍යාපාරය කටයුතු නො කිරීමයි. එය ජනමාධ්‍යයේ වරදක් නොවිය හැකියි. මගේ අදහස් සතපහක් නොවටිනා මිථ්‍යා මත ලෙස ඔවුන් සිතනවා ඇති. නාථ දෙවියන් පිළිබඳ අදහස්වලට ඊනියා උගත් සමාජයේ වැදගත් කමක් නැහැ. ඒත් ජනමාධ්‍ය ප්‍රචාරය කරන ඇතැම් කතා වැදගත් ද කියන එක ප්‍රශ්නයක්.                      





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 23