Main Logo

Monday, 31 July 2017

සිංහල ජාතිය නිවන් දැක්කවීම  


සිංහල ජාතිය නිවන් දැක්කවීම



මේ රටේ දැන් මාර්ගඵල ලාභීන් රාශියක් සිටින බව ආරංචියි. එයින් ඇතැමුන් රහතන් වහන්සේ බව කියනවා. රහතන් වහන්සේ නමක හඳුනාගැනීමට නිර්ණායක නැහැ. බුදු හාමුදුුරුවන් හඳුනා ගැනීමත් එකල බොහෝ දෙනාට ප්‍රශ්නයක් ව තිබූ බව පැහැදිලියි. මා කියන්නේ නැහැ දැන් මෙරට මාර්ගඵල ලාභීන් නැහැ කියා. මෙකල බුදුන් වහන්සේ දෙසූ ධර්මය තියෙනවා. පාරමී දම් පිරූ තැනැත්තන් සමාජයේ ඉන්න පුළුවන්. කිසිවකුට මාර්ගඵල ලාභියකු රහතන් වහන්සේ නමක වීමට බාධාවක් ඇතැයි මා සිතන්නේ නැහැ.




මෙකල ඊනියා සිංහල බෞද්ධ උගතුන් අතරමං වූ දෙබිඩ්ඩන් බවට පත් වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැමුන් සිංහල බෞද්ධකම නැති කර ගෙන ඕල්කට් බෞද්ධයන් වෙලා. ඒ අතරමං වීම දහනවවැනි සියවසේ ඉඳන් ම තියෙන එකක්. අපට, විශේෂයෙන් ම ඊනියා උගතුන්ට සංගත සංස්කෘතියක් නැහැ. කිසිම සංස්කෘතියක් නිර්මල පිරිසිදු එකක් නො වෙයි. සංස්කෘතීන් මිශ්‍රයි. විවිධ කාලවල විවිධ අංග ආභ්‍යන්තරිකවත් බාහිරවත් සංස්කෘතියකට ඇතුල් වෙනවා. සංගත සංස්කෘතියක් යනුවෙන් මා හඳුන් වන්නේ අමිශ්‍ර සංස්කෘතියක් නො වෙයි.



අපේ සංස්කෘතියේ සාරය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. අපට නැත්තේ සංගත සාරයක්. සංගත සාරයක් ඇති සංස්කෘතියකට විවිධ අංග මතුපිටින් එකතු වන්න පුළුවන්. ඒ සමහරක් ටික කලක් තිබී හැලී යන්න පුළුවන්. අද ප්‍රශ්නය අපේ සංස්කෘතියේ සාරය සංගත නොවීමයි. අප එක් පැත්තකින් බෞද්ධයන්, තවත් පැත්තකින් ක්‍රිස්තියානීන්. ඒ ආගමික වශයෙන් නොව සංස්කෘතික වශයෙන්.



ඉස්සරත් අපේ සංස්කෘතියේ විවිධ අංග තිබුණා. අප සැමදාමත් බෞද්ධයන් ව සිටි අය නො වෙයි. සිදුහත් කුමරු නේපාලයේ උපන්නත්, කාලිංගයේ උපන්නත්, ලංකාවේ උපන්නත් එතුමා බුදුවීමට කලින් බුදුදහමක් මෙරට තබා කොහේවත් තිබුණේ නැහැ. මෙරට විසූ හෙළයන්ට, යක්‍ෂ නාග දේව ආදී ජනතාවට තම තමන්ගේ සංස්කෘතීන් තිබෙන්න ඇති. ඒ අය විවිධ නම්වලින් හැඳින්වෙන්නේ ම ඔවුන්ට විවිධ සංස්කෘතීන් තිබූණු නිසා. යක්‍ෂ ජනතාවක් ගැන කී විගස ඇතැමුන්ට යකා වැහෙනවා. ඔවුන් සිතන්නේ යක්‍ෂ ජනතාව යනු අමනුෂ්‍යයන් කියා. යක්‍ෂ ජනතාව අමනුෂ්‍යයන් ලෙස හැඳින්වීමට බ්‍රාහ්මණයන්ට හා වෛදිකයන්ට වුවමනාවක් තිබූ බව ඉතිහාසයෙන් පැහැදිලීියි. අද චීනුන්ටත් ඒ අවශ්‍යතාව තියෙනවා. මේ කිසිවකු නාග ජනතාව බඩගා යන සර්පයන් ලෙස හඳුන්වන්නේ නැහැ. නාගයන් මනුෂ්‍යයන් වීමටත් යක්‍ෂයන් අමනුෂ්‍යයන් වීමටත් හේතුව මහාවංසයේ එසේ ලියා තැබීම ද? එහෙත් අදත් තමන්ගේ යක්‍ෂ උරුමය ගැන කියන ජනතාවක් ලංකාවේ විසිරී සිටිනවා.



මේ කාරණය තව දුරටත් පසුව සාකච්ඡා කළ යුතුයි. ඒ අපේ සිංහල බෞද්ධකම තේරුම් ගැනීමටයි. වෙනත් ථෙරවාද රටවල තියෙන්නෙ චීන සංස්කෘතිය මත ආරෝපනය වූ බෞද්ධ සංස්කෘතියක්. අද චීනුන්ට අපේ සංස්කෘතියත් එවැන්නක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. එය පහසු නැහැ. ඒත් චීනුන් ඒ සඳහා උත්සාහයක් දරනවා. අපට මතුපිටින් පෙනෙන්නේ හම්බන්තොට වරාය හා පෝට් සිටි යයි පමණයි. අපේ සංස්කෘතියේ සාරය අශෝක සංස්කෘතිය බවට, ක්‍රිස්තියානි සංස්කෘතිය බවට පත්කිරීමට ගත් උත්සාහයන් තිබුණා, තිබෙනවා. චීන කතාවත් එවැනි ම දෙයක්.



අශෝක රජුට හා අශෝක බුද්ධාගමට අපේ සංස්කෘතියේ සාරය වෙනස් කිරීමට නොහැකි වුණා. එහෙත් රජවාසළ හා එහි යන එන්නන් අතර නම් යම් යම් දේ  වෙනස් කළා. ගැමුණු රජු මේ වෙනසට මුහුණ දුන් තැනැත්තෙක්. විහාර මහා දේවිය ගැමුණු රජුගේ මතයට පැමිණියා. එහෙත් රජවාසළ වෙනස් කිරීමට ඔවුන්ට නොහැකි වුණා. සාලිය කුමරුට රජකම හිමි වුණේ නැහැ. එළාර සටනින් පස්සෙ විහාර මහා දේවියට වෙච්ච දේකුත් නැහැ. විහාර මහා දේවිය මිය ගියා ද? ඒ කවදා ද? ගැමුණු රජුගේ යක්‍ෂ මෙහෙසියට සිද්ධ වෙච්ච දේකුත් නැහැ. රජවාසළ යම් යම් වෙනස්කම් සිදු කිරීමට අශෝක රජුට පුළුවන් වුණත් ජනතාවට ඉන් විශාල බලපෑමක් වුණෙ නැහැ.



එහෙත් අද තත්වය එහෙම නො වෙයි. අප කලකට පෙර සිංහල බෞද්ධයන්. පෘතුගීසින්ගෙ කාලයේ සිට අප ක්‍රිස්තියානි කිරීමට උත්සාහයක් දැරුවා. ඒ උත්සාහය ඉංගිරිසින් ඉතා සූක්‍ෂම ව සැලසුම් සහගත ව ගෙන ගියා. උගතුන් සිංහල බෞද්ධ කමෙන් ඉවත් කෙරුණා. ඕල්කට්තුමාගෙන් ඒ සඳහා දායකත්වයක් ලැබුණා. සිංහලකම නැති කරගත් ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් හෙවත් ඕල්කට් බෞද්ධයන් මෙරට ඇති වුණා. ඕල්කට්තුමාගේ බුද්ධාගම ගණනාථ ඔබේසේකර කියන ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් නො වෙයි. එය ජාත්‍යන්තර බුද්ධාගමක්.



අද බිහිවෙලා ඉන්න මාර්ගඵලධාරීන් යැයි කියන අය අනුගමනය කෙරෙන්නේ සිංහල බෞද්ධකම නැතිකරගත් ඊනියා උගතුන් පිරිසක් විසින්. ඔවුන් තනිව ම නිවන් දකින්නන හදනවා. නිවන් අවබෝධය සාමුහික ක්‍රියාවක් නොවන බව පැහැදිලියි. ඒ ගැන අටුවා ටීකා ප්‍රතිචාර අවශ්‍ය නැහැ. මේ අනුගාමිකයන් බොහෝ දෙනා දෙමළ ජාතිවාදය ගැන එට්කා ගිවිසුම ගැන හම්බන්තොට වරාය චීනුන්ට දීම ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය තමන් අනුගමනය කරන මාර්ගඵලධාරීන් අනුව යැයි කියමින් හැකි ඉක්මණින් නිවන් අවබෝධ කිරීම. ඔවුන් නොදන්නා කරුණක් නම් බෝධිසත්වයන් වහන්සේලා අනුන්ගේ නිවන වෙනුවෙන් තම නිවන කල් දැමූ අය බව. සුමේධ තවුසාණන්ට දිපංකර බුදු රජුන් දවස නිවන් අවබෝධ කර ගැනීමේ ශක්තිය තිබුණා. එහෙත් එතුමා තම නිවන කල් දැම්මා.



අද ඉන්නා මාර්ගඵලධාරීන් එක මාර්ගයක යන බවක් පෙනෙන්නේ නැහැ. කවුරු හරි සිරීපාදෙ  විවිධ මාර්ගවලින් යන්න පුළුවන් වගේ නිවනත් විවිධ මාර්ගවලින් අවබෝධ කර ගැනීමට හැකි යැයි කියන්න පුළුවන්. මගේ ප්‍රශ්නය සිරීපාදෙ යන්න විවිධ පාරවල් තිබුණත් ආර්යාෂ්ඨාංගික මාර්ග එකකට වඩා තියෙනව ද කියන එකත් විවිධ සිරීපාද තියෙනවා ද කියන එකත්. මේ මාර්ගඵලධාරීන් තම අනුගාමිකයන් සිංහල බෞද්ධ කමෙන් ඈත් කරනවා මදිවට ඔවුනොවුන් අතරිනුත් ඈත් වෙන බවක් පේනවා. මාර්ගඵලධාරීන් එකම මණ්ඩපයක එකතු වන්නේ නැත්තේ ඇයි? 



අපට දකින්ට  ඇත්තේ තම තමන්ගේ අනුගාමිකයන් වැඩි කර ගැනීමට විවිධ වෙළෙඳ ප්‍රචාරක කටයුතු (ඇඩ්වටයිසින්) කරන පිරිසක්. ඔවුන් ජනමාධ්‍ය තම තමන් ගැන ප්‍රචාරය කිරීම වැන්නක් කරනවා. ඒ සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඒ මොකක් වුණත් විශේෂයෙන් ම බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා තම සංස්කෘතික සාරය වෙනස් කරගත් පිරිසක් සිංහල බෞද්ධකමෙන් ඈත් වී නිවන් අවබෝධයකට ඉක්මන් ගමනක් යන බවක් පේන්න තියෙනවා. මෙවැනි පිරිසක් බටහිරට ඉන්දියාවට මෙන් ම චීනයටත් අවශ්‍යයි. ඒ සිංහල ජාතිය “නිවන්” දැක්කවීමට.



 



මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 31