Main Logo

Tuesday 1 August 2017

ජනාධිපති බලතල


ජනාධිපති බලතල



මෛත්‍රිපාල ඊයෙ පෙරේදා හොඳ කතාවක් කියලා තිබුණා. ඒක ඒකාබද්ධ විපක්‍ෂයට තමන් ඉන්නෙ කොහෙද කියන එක තේරුම් ගැනීමට උපකාරී වේවි.  මෛත්‍රිපාල කියලා තිබුණෙ මන්ත්‍රීවරුන් 113 දෙනකු එකතු කර ගත්තත් ආණ්ඩුවක් පිහිටුවන්න තමන් ළඟට එන්න ඕන කියලා. ඒක තමයි ව්‍යවස්ථානුකුල තත්වය. පාර්ලිමේන්තුවට එකතු වෙලා අගමැතිවරයකු තෝරා ගෙන ඔහු අගමැති ලෙස පත් කරන්න කියලා ජනාධිපතිගෙන් ඉල්ලන්න බැහැ. ජනාධිපති පාර්ලිමේන්තුවෙ වැඩි පුර මන්ත්‍රි සංඛ්‍යාවක් ඉන්න පක්‍ෂයෙ නායකයා අගමැති ලෙස පත් කළ යුතු යැයි ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙත් නැහැ.




අප බොහෝ අවස්ථාවල පෙන්වා දුන් පරිදි ව්‍යවස්ථාවෙ තියෙන්නෙ ජනාධිපති තම අදහස අනුව පාර්ලිමේන්තුවෙ බහුතරයක් ලබාගත හැකි යැයි විශ්වාස කරන පක්‍ෂයෙ නායකයා අගමැති ලෙස පත් කළ යුතුය කියායි. එහි කියැවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති පක්‍ෂය නොව ජනාධිපතිගේ අදහස අනුව පාරලිමේන්තුවේ බහුතරයක් ලබාගත හැකි යැයි සිතන පක්‍ෂය ගැනයි. යම් පක්‍ෂයකට හරි කණ්ඩායමකට හරි බහුතරයක් ඇතැයි ජනාධිපති අදහස් කරන්නේ නම් එකී පක්‍ෂයේ හරි කණ්ඩායමේ හරි නායකයා  අගමැති ලෙස පත් කිරීමට හැකි බවයි ඉන් කියැවෙන්නෙ.



2015 ජනවාරි 09වැනි දා මන්ත්‍රීවරුන් හතළිහක් පමණ සිටි රනිල් අගමැති හැටියට පත් කෙරුණෙ ඒ අනුවයි. සංධානය ඒ පත් කිරීමට විරුද්ධ ව කිසිවක් කළේ නැහැ. වේදිකාවල, මාධ්‍ය සාකච්ඡාවල නම්  එයට විරුද්ධව බෙරිහන් දුන්නා. ඒත් පාර්ලිමේන්තුවෙදි කිසිවක් කළෙ නැහැ. සංධානය හා පසුව ඒකාබද්ධ විපක්‍ෂය එදා සිට වේදිකාවලට, මාධ්‍ය සාකච්ඡාවලට හා මෑතක ඉඳලා රැස්වීම්වලින් පස්සෙ කරන ප්‍රකාශවලට (වොයිස් කට්) වලට සීමා වෙලා. මේ සියල්ලෙන් ඒකාබද්ධ විපක්‍ෂෙ වොයිස් එක කට් වෙලා.



ඒකාබද්ධ විපක්‍ෂෙ නැති වුණත් ආණ්ඩුවෙ වැඩ හින්ද ම ආණ්ඩුව අද අපකීර්තියට පත්වෙලා. විපක්‍ෂෙ වැඩවලින් සමහර වෙලාවට ආණ්ඩුව ශක්තිමත් වෙනවා. අඩු තරමෙන් සමහර ඇමතිවරු ශක්තිමත් වෙනවා. සයිටම් ඇති කෙළෙ තමන් බව අමතක කරලා ඒකාබද්ධ විපක්‍ෂෙ පෙරටුගාමීන් හා දොස්තරලා පස්සෙ ගිහින් ඒකට බොරු විරෝධයක් දැක්වුවා. එයින් රාජිත ශක්තිමත් වුණු එක විතරයි වුණෙ. මේ බොරු විරෝධවලින් වෙන්නෙ ඇත්තටවත් විරෝධයක් පාන්නට බැරි වීමයි.



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරයෙ ශක්තිමත් වීමක් ද වුණා. ඒකාබද්ධ විපක්‍ෂෙ ඒ සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන්නා. අද මෛත්‍රිපාල ඉහත කී ප්‍රකාශය කරන්නෙ ඒ නිල බලයෙන් ශක්තිමත් වීම උඩ. අද අගමැති පත් කිරීම නිල වශයෙන් ජනාධිපතිගෙ තනි කැමැත්තට (රනිල්ගෙ හා චන්ද්‍රිකාගෙ උපදෙස් ඇතිව) සිදු කරන දෙයක් බවට පත් වෙලා. මෛත්‍රිපාලට අවශ්‍ය නම් රනිල්ගෙ හා චන්ද්‍රිකාගෙ උපදෙස් නොතකා ක්‍රියා කරන්නත් පුළුවන්. ඒත් ඒ සඳහා ඔහුට ශක්තිය අවශ්‍යයි. ශක්තිය නැත්නම් රනිල් තමයි ජනාධිපතිත්.



අප කලක ඉඳන් කියන්නෙ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමට කටයුතු කරන්න කියා. මේ ආණ්ඩුව පෙරළනවා කියන්නෙ රනිල් ඉවත් කිරීමයි. අද ව්‍යවස්ථාව අනුව කළ හැක්කෙ එපමණයි. මෛත්‍රිපාල කියන්න වගේ මන්ත්‍රීවරුන් 113 දෙනකු සොයා ගත් පමණින් එය කරන්න බැහැ. මන්ත්‍රීවරුන් 113 දෙනකු නැතිවත් එය කරන්න  පුළුවන්. එය කිරීමට හරි නොකිරීමට හරි බලය තියෙන එකම පුද්ගලයා ජනාධිපති.



අප මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න කියන විට ඒකාබද්ධ විපක්‍ෂයට හිතවත් පඬියන් අපට හිනා වුණා. අප විහිළු කරනවා ද කියලා ඇහුවා. අපට පිස්සුද කියලත් ඇහුව. එහෙම ඇසීමෙන් මානසික රෝගීන්ට කරන අපහාසය පඬියන්ට රෙන්නෙ නැහැ. කිසිම රෝගියකුට අපහාස කරන එක හොඳ වැඩක් නො වෙයි. අප මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න කියන්නෙ ඒකාබද්ධ විපක්‍ෂෙ ශක්තිය ඇතිව. ඒ ශක්තිය නැතිව මෛත්‍රිපාලට එය කරන්න බැහැ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ මෛත්‍රිපාල සමග තියෙන පෞද්ගලික වෛරයක්, සැකයක්, නිවට කමක් ආදී දේ කියමින් එය මගහරිනවා. එයින් මෛත්‍රිපාල තව තවත් දුර්වල වෙනවා, රනිල් වෙතට තල්ලු වෙනවා. එසේ නොවුණහොත් රනිල් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනල්ලා වෙනත් ජනාධිපති කෙනකු පත් කර ගනීවි.



කවුදෝ පඬියකු අසා තිබුණා කලින් මෛත්‍රිපාල අවිශ්වාස කළ මා දැන් ඔහුට රනිල් ඉවත් කරන්න කියන්නෙ කොහොමද කියලා. මට හැම දේශපාලනඥයකු ම විතරක් නොවෙයි හැම පඬියකු ම අවිශ්වාසයි. එහෙත් අද ආණ්ඩු පෙරළනවා කියන්නෙ රනිල් ඉවත් කිරීමට. එය කළ හැකි එකම පුද්ගලයා මෛත්‍රිපාල. ඔහුට එය කළ හැක්කේ ඒකාබද්ධ විපක්‍ෂෙ ශක්තිය දෙනව නම් පමණයි. ඒකාබද්ධ විපක්‍ෂෙ එලෙස ශක්තිය දේවි ද කියලා මට සැකයක් තියෙනවා. ඒත් මා ඒ ලබා දීම සඳහා උත්සාහයක් දරනවා. 



පඬියන් මගේ අදහස්වලට හිනහ වෙනවා. ඔවුන් ආණ්ඩුව පෙරළීමට යෝජනා කරන විකල්පය කුමක් ද? පෙරටුගාමීන් පසුපස යෑම ද? මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ද? ජනතාව පාරට බැස්සවීම ද? ජනතාව මැරවීම ද? රනිල්ගේ ඉතිහාසය, අධ්‍යාපන ධවල පත්‍රිකාව , භීෂණ යුගය ආදිය ගැන දන්නා අයකු පෙරටුගාමීන් පසුපස යන එකක් නැහැ. පෙරටුගාමින් වීරයන් කිරීම  ජනමාධ්‍ය පොරවල්වලට භාර කරලා ඒකාබද්ධ විපක්‍ෂය රනිල් ඉවත්කිරීමට මෛත්‍රිපාල ශක්තිමත් කරන ක්‍රමයක් ගැන සිතා බලනවා නම් හොඳයි.









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 01