සාමාන්‍ය ජනයාට කතාවක්
දේශපාලනයේ ජනතාව කියන්නන් අතර ප්‍රශ්න සාකච්ඡා
වන්නේ දේශපාලනඥයන්, ඊනියා උගතුන්, සිවල්
සාමාජිකයන්, රාජ්‍ය නොවන බැළයන් ආදීන් සාකච්ඡා කරන ආකාරයට
නො වෙයි. සයිටම් ප්‍රශ්නය වැදගත් වුණේ පසුව සඳහන් වූ අයට පමණයි. ඇතැම් ජනමාධ්‍ය
කෙතරම් උත්සාහ කළත් ඒ ප්‍රශ්නය ජනතාව යැයි කියන්නන් අතරට ගියේ නැහැ. ඒ ජනමාධ්‍ය
කරන්නේ ආණ්ඩු විරෝධී රැල්ල මත පිහිනා තමන්ගේ ජනප්‍රියතාව වැඩි කරගෙන වෙළෙඳ
දැන්වීම් ලබා ගෙන ආදායම වැඩි කර ගැනීමයි. හැකි නම් ආණ්ඩුව පෙරළා දැමීමට ද ඔවුන්
උත්සාහ කරනවා. එහෙත් එයට තරමක් බයයි. තම බලපත්‍රය තහනම් කරාවි ද කියලා බයක්
තියෙනවා. ඒ අතර ඔවුන්ගේ ලොක්කන් අගමැතිට වතුර අල්ලනවා.
අද ආණ්ඩු විරෝධී රැල්ලක් තියෙනවා.
ඡන්දදායකයන්ගෙන් අතිවිශාල ප්‍රමාණයක් (ලක්‍ෂ හැටදෙකෙන් ද යම් ප්‍රමාණයක් සහිත ව)
ආණ්ඩු විරෝධීයි. මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වැඩ කළ (ආණ්ඩුව පත් කෙළේ ඔවුන් යැයි
ඉන් කියැවෙන්නේ නැහැ) අයගෙන් යම් ප්‍රමාණයකට අද නාමිකවවත් ආණ්ඩු විරෝධීන් වීමට
සිදු වෙලා. ජ වි පෙ හා ඇතැම් 6% ටී ෂර්ට් ඇදුරන් එයට උදාහරණ. ඔවුන්
උපකල්පනය කෙළේ රනිල්ලා අවංක දක්‍ෂ පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදීන් කියා ද? මහින්දලා
හොරුන් කියා ද? කම්බ හොරුන් ගැන ඔවුන් නොදැන සිටියේ නම්
ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක චින්තනයේත් ඔවුන්ගේත් ප්‍රශ්නයක් තියෙන්න ඕන. මේ අයටත් පිහිටට සිටින්නේ ජනමාධ්‍ය. ජනමාධ්‍ය
ඔවුන්ගෙ ප්‍රකාශවලට ප්‍රසිද්ධිය ලබා දෙනවා. සිරස මට කතා කරනවා. ඒත් මා සිරස සමග
කිසිම සම්බන්ධකමක් පවත්වන්නේ නැහැ. දෙරණ අපේ සම්මන්ත්‍රණයක් වාර්තා කිරීමට නොව
බැලීමටවත් එන්නේ නැහැ. ජාතික ව්‍යාපාරයෙ ඉන්න එක් කුහකයකු පසුගිය දිනක අසා තිබුණා
ආණ්ඩුව ව්‍යවස්ථාදායක සම්පාදන කටයුතුවලට අප සහභාගි කරගන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒත්
ඔහු තම රැස්වීම් එකකවත් අදහස් ප්‍රකාශ කරන්න මට ආරාධනය කරන්නෙ නැහැ.
රනිල් එක හොඳක් රටට කළා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ
නිරුවත පාර්ලිමේන්තුව මගින් ම පෙන්නීමයි. රනිල්ගේ දෙවැනි භීෂණය තව ඉදිරියටයි. අද
පාර්ලිමේන්තුව ම විහිළුවක් වෙලා. කතානායකකම කරන්නේත් රනිල්. රවිට එරෙහි
විශ්වාසභංගය විවාදයට ගනීවි ද යන්න තවමත් සැකයක්. විවාදයට ගත්තත් ඡන්ද විමසීමක්
සිදු වේවි ද යන්න ප්‍රශ්නයක්. රවි අද හෙට අස්වුණත් ආණ්ඩුව පෙරළෙන්නේ නැහැ. රවිට
විරුද්ධව නඩු වැටෙන්නට තියෙන ඉඩත් ඉතා අඩුයි. නීතිපතිත් හොඳ රඟපෑමක් කරනවා. වසරේ
හොඳ ම නළුවා කවුරුන් වේවි ද? රවි ප්‍රශ්නයේ මුල නො වෙයි. සෑම ප්‍රශ්නයක ම මුල ඇත්තේ රනිල්. ඔහු
ඉවත් නොකර කිසිදු ප්‍රශ්නයක් විසඳන්න බැහැ. රනිල් පොතෙන් සිංහල බෞද්ධ කතා පාඩම් කර
ගත්තත් ඉරටු තියෙන කොස්ස ගැන නොකියා බැහැ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයවත් මෛත්‍රිපාලවත්
රනිල් ඉවත් කිරීමට එකඟ වන්නේ නැහැ.
ඩොයිලි ඇති කරපු ක්‍රමය තවමත් ක්‍රියාත්මක
වෙනවා. උගුල් ඇටවීම්, භේද කිරීම්, දැනුම්
ආධිපත්‍යය පැටවීම් ඉතා හොඳීන් ක්‍රියාත්මක වෙනවා. දැනුම් ආධිපත්‍යය අද වන විට
පිළිකාවක් මෙන් වර්ධනය වෙලා. පිළිකා ගැන ඇතැම් බටහිර විද්‍යාඥයන් දැන් වෙනස්
විධියකට හිතනවා. එය තවමත් ඊනියා පර්යේෂණාත්මක මට්ටමක පවතින්නේ. ඒ පර්යේෂකයන්ට අනුව
පිළිකාව ඉතා පැරණි රෝගයක්. ඒ කොහොම වෙතත් බටහිර දැනුම් ආධිපත්‍යය අද පිළිකාවක්
වෙලා. අද උගතුන් ඇත්තේ නගරබද පමණක් නො වෙයි. ඊනියා උගත් ගැමි පරපුරත් ලබා ඇත්තේ
බටහිර අධ්‍යාපනයක්. ලබන අධ්‍යාපනය සිංහල මාධ්‍යය මතවත් ඉංගිරිසි මාධ්‍යය මතවත්, ක්‍රිස්තියානි
පාසල් මතවත්, රජයේ පාසල් මතවත්, ඊනියා
බෞද්ධ පාසල් මතවත් රඳා පවතින්නේ නැහැ. ඒ හැම එකක් ම බටහිර ක්‍රිස්තියානි. බෞද්ධ
සංස්කෘතිය, බෞද්ධ දර්ශනය ආදිය ඉගෙන ගන්නෙත් ක්‍රිස්තියානි
ක්‍රමයට. නීල මහා යෝධයා වැනි ඕල්කට් අනුගාමික විද්‍යාත්මක බෞද්ධයනුත් ආගම කියන එක
නිර්වචනය කරන්නෙ බටහිර දැනුම ආශ්‍රයෙන්.
අද බටහිරයන්ට අවශ්‍ය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයවත්
සයිටම්වත් නො වෙයි. ඔවුන්ට වුවමනා දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට දඬුවම්
දීමත් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමත්. ඩොයිලිගේ සිංහල බෞද්ධ
විරෝධී ආකල්ප රනිල් ඉදිරියට ගෙන යනවා. රනිල් ඩොයිලිගේ අනුප්‍රාප්තිකයෙක්.
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ගිවිසුමෙන් ලබා දී ප්‍රායෝගික ව එය නොකර භික්‍ෂූන් වහන්සේ
අත් අඩංගුවට ගැනීමට ඩොයිලි ක්‍රියා කළා. රනිලුත් එසේ කරාවි.
සිංහල ජනයා මුලින් ම ජාතිකත්වයට ඡන්දය දුන්නේ 1956
දී. ඉන්පසු ඔවුන් ජාතිකත්වයට ඡන්දය දුන්නේ 2005 දී හා 2010 දී. බණ්ඩාරනායක මැතිණිය ජාතිකත්ව
අගමැතිණියක් වුවත් 1970 දී සිංහල ඡන්දදායකයන් ඡන්දය දුන්නේ
බොරු සමාජවාදයට. 2010 ජාතිකත්ව ජයග්‍රහණය මහින්ද නිසා
පැරදුණා. ඇතැමුන් හිතනවා මහින්ද අප කියන විධියට වැඩ කළා කියලා. ඔහු කිසි විටෙකත් 2010න්
පසු ජාතිකත්වයට සවන් දුන්නේ නැහැ. ඔහු 2015 දී පරාජය වීමට එයත් බලපෑවා. අදත් ඔහු
ජාතිකත්වයේ නැහැ. එහෙත් දෙමළ ත්‍රස්තවාදයත් දේශපාලනික ව දෙමළ ජාතිවාදයත් පරාජය කළ
වීරයා ලෙස ඔහුට ජනතා ආකර්ෂණයක් තියෙනවා. ජනතාවට යම් ජාතිකත්වයක් තියෙනවා. මහින්දට
දෙමළ ජාතිවාදය නෛතිකව පරාජය කිරීමට නොහැකි වූයේ ඔහු රාජිත, ඩිව්, වාසු, තිස්ස
විතාරණ, ඩලස් වැනි බොරු සමාජවාදීන්ට යට වුණු නිසා.
දෙමළ ජනයාට අද පැහැදිලි ජනවාර්ගිකත්වයක් (ඔවුන්
ජාතියක් නො වෙයි) නැහැ. ඔවුන්ගේ දේශපාලන නායකයන්ට හා පඬියන්ට, සිවල්
සාමාජිකයන්ට, රාජ්‍ය නොවන බැළයන්ට දෙමළ ජාතිවාදයක් (ජනවාර්ගිකත්වයක්)
තියෙනවා. ඒක ඔවුන්ට සුද්දන් දීපු ජාතිවාදයක්. එයට කතාවකුත් තියෙනවා. ඒ කතාවත්
සුද්දන් හදපු එකක්. ඒ කතාවට අනුව සිංහලයන් දෙමළ ජනයාට අසාධාරණයක් කර තියෙනවා. ඒ
කතාව පොන්නම්බලම් රාමනාදන් කාලයටත් පෙර සිට තියෙන එකක්. මේ අසාධාරණය මොකක් ද කියා
කවුරුන්වත් කියන්නෙ නැහැ. මෙරට සිංහල බෞද්ධ විරෝධී පඬියන්ට අවුරුදු විසිපහකට වැඩි
කාලයක් තිස්සේ දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් දැයි කියන්න බැහැ.
දෙමළ ජනයාත් අපත් පෙළන්නේ මේ පඬියන් බත් බැළයන්. මොවුන්ට ඇත්තේ ක්‍රිස්තියානි
බටහිරයන් හදන කතා පමණයි. ඊනියා යථාර්ථයක් ගැන විශ්වාස කරන මොවුන් කතා හදනවා
කියන්නේ මොකක් ද කියන එකවත් දන්නේ නැහැ. මේ පඬියන්ට පමණක් නොව බටහිරයන් අනුව යන
විද්‍යාත්මක බෞද්ධයන්ටත් නිවන යනු යථාර්ථයක්.
සිංහල දෙමළ සාමාන්‍ය ජනයා බටහිර ක්‍රිස්තියානි
කතාවලින් බැට කනවා. පඬියන්ට සිවල් සාමාජිකයන්ට ඒ ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට
සුද්දන්ගේ කතා විශ්වාස කරනවාට ඒ ප්‍රචාරය කරනවාට තෑගි, ශිෂ්‍යත්ව, අධි
ශිෂ්‍යත්ව, 6% ටී ෂර්ට් ලැබෙනවා. ඒත් පොදුවේ 6%
ලැබෙන්නේ නැහැ. අද මේ පඬියන් සිවල් සාමාජිකයන් බය වෙලා අප සිංහල බෞද්ධයන්ට හා දෙමළ
හින්දූන්ට පිළිගත හැකි කතාවක් හදලා සුද්දන්ගෙ ඊනියා අසාධාරණ කතාව හෙළිදරවු කරාවි
කියලා. බටහිරයන් හා කසිකබල් ජනමාධ්‍ය නැත්නම් පඬියන්ට කිසිම වැදගත්කමක් නැහැ.
මේ ලිපිිය ද තවත්
ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 අගෝස්තු 10