බටහිර විද්‍යාවේ ඌනිතවාදය
බටහිර විද්‍යාව පිළිබඳ ඇතැම් බටහිර දාර්ශනිකයන් හා බටහිර විද්‍යාවේ
දාර්ශනිකයන් අතර ඇති එක් විවේචනයක් නම් එහි ඇතැයි කියන ඌනිතවාදයයි. මෙයට
ඉංගිරිසියෙන් රිඩක්ෂනිසම් කියා කියනවා. මෙරට බොහෝ දෙනා ඌනිතවාදය ගැන අසා නැතිවා
විය හැකියි. එහෙත් අවුරුදු තිහකට පමණ පෙර අප බටහිර විද්‍යාවෙන් කැඩීමේ දී අපත්
ඇතැම් බටහිරයන් මෙන් ඌනිතවාදයට විරුද්ධ වුණා. මෙරට සිටින බටහිර විද්‍යාව පිළිබඳ
දාර්ශනිකයකුට අනුව මෙවැනි බොහෝ දේ ලෝකයට පළමුවෙන් කියා ඇත්තේ ඔහු සිතන විධියට මෙරට
පහළ වූ ඉහළ ම බුද්ධිමතෙක්. ඒ බුද්ධිමතාගේ පොතකට දාර්ශනිකයා ලියූ පෙරවදනක ඒ බව
සඳහන් වෙනවා. අද ලංකාවේ විශ්වවිද්‍යාලවල බටහිර විද්‍යාවේ දර්ශනය ගැන පශ්චාත්
උපාධියක් ඇති එකම තැනැත්තා ඒ දාර්ශනිකයා වුවත් ඔහු කියන දේ ගැන මට විශ්වාසයක්
නැහැ. ලංකාවේ බටහිර විද්‍යාවේ දර්ශනය ගැන පශ්චාත් උපාධියක් ලත් අනෙක් එකම තැනැත්තා
එහෙම දෙයක් කියා නැහැ. ඔහු සමහරවිට අර අද්වීතීය බුද්ධිමතා ගැන නොදන්නවා විය
හැකියි. ඒ බුද්ධිමතා දැන් වැඩිපුර ඉන්නේ චීනයේ.
මෙරට තරම් දාර්ශනිකයන් සිටින වෙනත් රටක් නැතිව ඇති. විශ්වවිද්‍යාලවලින්
පමණක් බිහිවූ දාර්ශනිකයන් දසදහස් ගණනක්. දාර්ශනික අදහස් පළකරන තවත් අය එමට
සිටිනවා. රසල්වාදීන්, මාක්ස්වාදීන්, පොපර්වාදීන්, කූන්වාදීන්, විට්ගන්ස්ටයින්වාදීන්, ඩෙරීඩාවාදීන්, ෆූකෝවාදීන් ආදී වශයෙන් දාර්ශනිකයන් විවිධාකාරයි. කාලෝ වැනි
ඇතැමුන් එකවිට රසල්වාදීන් හා මාක්ස්වාදීන්
හා පොපර්වාදීන්! මෙරට දාර්ශනික කටහඬවල් ද
තියෙනවා. දාර්ශනික කටහඬවල් ගැන කියන දාර්ශනිකයන් ද ඉන්නවා. ඇතැම් බෞද්ධයන් ද
දාර්ශනිකයන්. ඔවුන්ට අනුව බුදුදහම දර්ශනයක්. ඇතැම් දාර්ශනිකයන්ට අනුව නිවන පවතින
දෙයක්. මේ දාර්ශනිකයන් මැද ඌනිතවාදය හරි පොදුවේ දර්ශනය ගැන හරි ගැන යමක් කීම තරමක්
භයානකයි. මා කිසිම අරුතකින් දාර්ශනිකයෙක් නො වෙයි. මට දැක්මක් නැහැ. මා එකල ලියූ
දැක්ම ලිපි පෙළටත් දැක්මක් නැහැ. ඒත් බොහෝ දෙනා ඒ බව තේරුම් ගත්තේ නැහැ. අවශ්‍ය ම
නම් කෙනකුට කියන්න පුළුවන් මගේ දැක්ම නොදැක්ම කියා. නිවන් දැකීම යන්න ම වැරදි ව්‍යවහාරයක්.
කිසිවකුටවත් නිවන් දකින්න බැහැ.
ඌනිතවාදයෙන් කියන්නේ යම් දැනුමක් එයට වඩා මූලික දැනුමකට, ප්‍රවාදයකට ඌනනය කිරීම. එයින් අදහස් වන්නේ යම්
දැනුමක් වෙනත් ඊනියා මූලික දැනුමකින් තේරුම් ගැනීම. උදාහරණයක් ලෙස ගතහොත් පොළොවට
වස්තු වැටෙන්නේ ය කියන දැනුම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් තේරුම් ගැනීම. පොළොවට
වස්තු වැටීම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට ඌනනය කෙරෙන්නේ යැයි කියනවා. ඌනිතවාදය එක්
පැතතකින් සමස්තය යනු කොටස්වල එකතුවක් ය යන්න මත රඳා පවතිනවා. එය සත්භව ඌනිතවාදය
ලෙස හැඳින්වෙනවා. විධික්‍රම ඌනිතවාදයක් කියා එකකුත් තියෙනවා. ඒ අනුව යම් ඊනියා
යථාර්ථයක් වෙවනත් ඊනියා යථාර්ථවලින් ප්‍රකාශ කරන්න පුළුවන්.
ඌනිතවාදය ග්‍රීකයන්ගේ ස්වසිද්ධාත්මක විධික්‍රමයෙන් ගලා එන්නක්. ග්‍රීකයන්
එකල තිබූ ජ්‍යාමිතික (භූමිතික) දැනුම
ස්වසිද්ධි කිහිපයකින් ප්‍රකාශ කළා. මේ ජ්‍යාමිතිය අද යුුක්ලීඩිය ජ්‍යාමිතිය ලෙස
පාසලේ දී ද විශ්වවිද්‍යාලයේ දී ද ඉගැන්වෙනවා. එසේ වුවත් ඇරිස්ටෝටල් පවසා තිබෙනවා
සමස්තය යනු කොටස්වල එකතුවක් නොවන බව. මෙවැනි පරස්පර කතා ඕනෑම දැනුම් පද්ධතියක
තියෙනවා.
සමස්තය කොටස්වල එකතුවක් කිව්වත් එකතුවක් නොවේ ය කිව්වත් ඒ ආනුභවික
නැහැ. එය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඒ දෙක ම හිතළු පමණයි. අවසාන වශයෙන් ගත්තම අපේ
සංකල්ප ප්‍රවාද ඇතුළු සියල්ල ම හිතළු පමණයි. නාම රූප වශයෙන් කියන තැන පවා රූප යනු
අවසාන වශයෙන් නාම යි.
.
බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ හිතළු කීමයි. ඒ හිතළු කියන්නේත් වෙනත්
හිතළුවලට. ඒ කියන්නේ වියුක්ත නිරීක්‍ෂණවලට. නැත්නම් ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ
සාධාරණීකරණයෙන් හදාගන්නා හිතළුවලට. ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණත් හිතළු. එවැනි හිතළු
පංචෙන්ද්‍රියත් සමග සම්බන්ධ වෙනවා. අප මේසය කියන්නෙ පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ ව
තනාගන්නා හිතළුවකට. ගුරුත්වාකර්ෂණ බලය කියන්නෙ පංචෙන්ද්‍රිය ගෝචර නොවන හිතළුවකට.
ඌනිතවාදයට මරු පහරක් එල්ල වුණේ ගර්ඩ්ල් ප්‍රමේයයෙන්. එය රූපික න්‍යාය
(ෆෝර්මල් ලොජික්) කියන ගණිත ධාරාවේ ප්‍රමේයයක්. ගර්ඩ්ල් ප්‍රමේයය කෙළින් ම භෞතික
විද්‍යාවට හරි රූපික න්‍යාය නොවන ගණිතයට හරි වෙනත් විද්‍යාවකට හරි යොදාගන්න බැහැ.
එහෙත් ඒ ප්‍රමේයය නිසා අනෙක් ක්‍ෂෙත්‍රවල ගම්‍ය වන දේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ
පිළිබඳ මූලික අධ්‍යයනයක් මෙරට විවෘත විශ්වවිද්‍යාලයේ කෙරී තිබෙනවා.
කිසිම හිතළුවක් වෙනත් හිතළුවලින් සම්පූර්ණයෙන් ම ප්‍රකාශ කරන්න බැහැ.
අප හිතළු ප්‍රකාශ කරන්නේත් බොහෝ විට හිතළු නිර්මාණය කර ගන්නේත් භාෂාවෙන්. ළදරුවන්ට
ඒ කියමන අදාළ නැහැ. ඔවුන්ගේ හිතළුවල භාෂාව නැහැ. අපට භාෂාවේ කිසිම වචනයක් වෙනත්
වචනවලින් තේරුම් කරන්න බැහැ. සෙනෙහස කියන්නේ ආදරය නො වෙයි. සෙනෙහස අපේ සංස්කෘතියේ
අයට දැනෙන දෙයක්. ආදරය බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ අයට දැනෙන දෙයක්.
දැන් ඉන්න නිවේදකයන් නිවේදිකාවන් නම් ගායකයන්ට ගායිකාවන්ට පමණක් නොවෙයි ගීතවලටත්
ආදරය කරනවා. වාසනාවකට ඔවුන් මට ආදරය කරන්නේ නැහැ. ආදරය කැමැත්තට ඌනනය වෙලා ද
නැත්නම් කැමැත්ත ආදරයට ඌනනය වෙලා ද? නිවේදක
නිවේදිකාවන්ට ඒ ගැන හිතන්න වෙලාවක් නැහැ. ඔවුන්ගේ වචනවලින් ම ඔවුන් හරිම කාර්ය
බහුලයි.
අවුරුදු තිහකට පෙරට වඩා අද අප බටහිර විද්‍යාවේ ඌනිතවාදය ගැන දන්නවා.
ඒ පිළිබඳ දැනුම නිර්මාණය කර තිබෙනවා. හිතළුවලට කරන්න පුළුවන් තවත් හිතළුවකට
ගොරහැඩි සන්නිකර්ෂණයක් (ආසන්නයක්) ඉදිරිපත් කිරීම පමණයි. හිතළු දෙකක් සමාන වන්නේ
නැහැ. වචනත් එහෙමයි. පොළොවට පොල් වැටීම, ග්‍රහ වස්තූන් ඉර වටේ යෑම ආදී නිරීක්‍ෂණ එක් හිතළුවක්.
ගුරුත්වාකර්ෂණය තවත් හිතළුවක්. මේ හිතළු දෙක වෙනස්. එක් අතකින් ආදරය කැමැත්ත වගේ.
අර නිවේදකයන් නිවේදිකාවන් කැමැත්තට ආදරය කියනවා වගේ ඇතැමුන් පොල් වැටීමට
ගුරුත්වාකර්ෂණය කියලා කියනවා. අයින්ස්ටයින් පොල් වැටෙනවට කිව්වෙ වෙනත් හිතළුවක්.
එක් හිතළුවක් තවත් හිතළුවකින් කියන්න බැහැ. හිතළුවක් තවත් හිතළුවකට ඌනනය කරන්න
බැහැ.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 අගෝස්තු 08