Main Logo

Thursday 24 August 2017

රනිල් ගොඩ මෛත්‍රී යට


රනිල් ගොඩ මෛත්‍රී යට



විජේදාස ඇමතිකම්වලින් ඉවත් කරලා. ඉවත් කෙරුණේ මෛත්‍රිපාල විසින් ජනාධිපති ලෙස. මෛත්‍රිපාලට විජේදාස ඉවත් කිරීමට අවශ්‍ය වුණා ද? විජේදාසට බුද්ධ ශාසන ඇමතිකමත් නැහැ. විජේදාස ඉවත් කරන්න ඕන වුණෙ අධිකරණ ඇමතිකමෙන් විතරයි. ඒත් එහෙම කළා නම් එ ජා ප අවශ්‍යතාව හෙළිදරවු වෙනවා. ඒ නිසා බුද්ධ ශාසන ඇමතිකමෙනුත් ඉවත් කෙරුණා. මා කැමති නැහැ හාමුදුරුවරුන් විජේදාස වෙනුවෙන් දැක් වූ උනන්දුව ගැන කිසිවක් කියන්න. ඒත් සිංහල බෞද්ධයාගේ තත්වය නම් එන්න එන්න පිරිහෙනවා. ඒ විජේදාස බුද්ධ ශාසන ඇමතිකමෙන් ඉවත් කළ නිසා නො වෙයි. කලකට පෙර විජේදාසට මේ රට සිංහල බෞද්ධ රටක් වුණේ නැහැ. විජේදාස සංධානයට එරෙහිව එ ජා පෙරමුණෙන් තරග වැදුණා. ඔහු අදටත් එ ජා ප සාමාජිකයෙක්. එ ජා ප සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂයක්. ඩී එස් සේනානායක ඒ පක්‍ෂය පිහිටෙව්වෙ සිංහල බෞද්ධ විරෝධී ඊනියා එක්සත් වූ ජාතික පක්‍ෂයක් ලෙස. ඒ නමේ ම සංධීය (ෆෙඩරල්) ගතියක් තියෙනවා. ඩී එසේ ගොවි ජනපද පිහිටුවපු බව ඇත්ත. ඒත් ඒ සිංහල පක්‍ෂපාතීත්වයකින් නො වෙයි. ජනපද පිහිටුවීමෙන් දෙමළ ජාතිවාදීන්ට රජ රටෙන් මෙහාට එන්න බැරි වුණයි කියලා කාට හරි කියන්න පුළුවන්. ඒත් පසු කාලයක ඉරණමඩු ජනපද සඳහාවත් දෙමළ ජනයා අයදුම් කෙළේ නැහැ. ඔවුන්ට ඉරණමඩුවත් ආගන්තුකයි. ඩී එස්ගේ රජරට ජනපද පිහිටුවීම අවසානයේ දී සිංහලයන්ට යහපත් ප්‍රතිඵල ගෙන දුන් බව ඇත්තයි. එහෙත් ජනපද පිහිටුවීමේ අරමුණ සිංහල පක්‍ෂපාතීත්වයක් සමග බැඳී නැහැ.




විජේදාස ඉවත් කිරීමට එ ජා ප මෙතරම් උනන්දුවක් දැක්වූයේ ඇයි? ඔහු අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම කැඩූ නිසා ද? ඔහු අමාත්‍ය මණ්ඩල තීරණ විවේචනය කළ නිසා ද? එසේ නම් ඒ සාමූහික වගකීම කඩන වෙනත් ඇමතිවරු නැද්ද? එසේත් නැත්නම් මහින්දලාට විරුද්ධව පරීක්‍ෂණ ඉක්මන් නොකළාට ද? මේ හේතු අප රැවටීම සඳහා ගෙනෙන ඒවා පමණයි. අපත් බලා ගෙන ඉන්නෙ රැවටෙන්න. විජේදාස ඉවත් කෙරුණෙ රනිල් මලික් අර්ජුන මහේන්ද්‍රන් බේරා ගන්න. ඒ සමග අර පාද සටහන් කල්ලියටත් හැංගෙන්න පුළුවන්.



විජේදාස එ ජා ප සාමාජිකයකු වුණත් මෛත්‍රිපාල සමග සම්බන්ධකමක් තිබූ බව පැහැදිලියි. විජේදාස බැඳුම්කර මගඩිය පිළිබඳ රනිල් සමග අමනාපයක් තිබූ බවත් පැහැදිලියි. මේ ඊනියා ජාතික ආණ්ඩුව අද දෙදරලා. නීතිගරුක බව පෙන්වමින් නීති විරෝධි වැඩ කරන වෙනත් ආණ්ඩුවක් තිබිලා නැහැ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය නිසා ආණ්ඩුව පවත්වා ගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මෛත්‍රිපාල හා රනිල් අතර බල අරගලයක් තියෙනවා. මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට වුවමනාවක් තිබුණත් ඔහුට ඒ සඳහා ශක්තියක් නැහැ. ඒ අවශ්‍ය ශක්තිය ඒකාබද්ධ විපක්‍ෂෙන් ලැබෙන්නෙත් නැහැ. මෛත්‍රිපාල රනිල්ට වඩා මහින්දට විරුද්ධයි. මහින්ද රනිල්ට වඩා මෛත්‍රිපාලට විරුද්ධයි. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. ඒ ගැටය ලෙහෙසියෙන් ලිහන්න බැහැ. රනිල් පවතින්නේ මේ විරසකය නිසයි. චන්ද්‍රිකා හා ඇගේ ඇමතිවරු මේ විරසකය වර්ධනය කිරීමට හැකි සියල්ල කරනවා.

               

බැඳුම්කර මගඩියට මෛත්‍රිපාල හා ඔහුගේ ඇමතිවරු විරුද්ධයි. මෛත්‍රිපාල බැඳුම්කරය ගැන විමර්ශනය කිරීමට කොමිසමක් පත් කළා. එය යහපත් දෙයක්. එයට දඬුවම් පැමිණවීමේ බලතල නැති වුවත් විමර්ශනය කෙරී ගෙන ගියා. එහි දී නීතිපතිට යම් ස්වාධීනත්යක් ලැබුණා. ජනාධිපති කොමිසමක් වීමත් විජේදාස මේ ප්‍රශ්නයේ දී මෛත්‍රිපාල සමග සිටීමත් නිසා නීතිපතිට බලපෑම් කිරීමට මෛත්‍රිපාලටවත් විජේදාසටවත් අවශ්‍ය වුණේ නැහැ. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය රනිල්ට හා සෙසු එ ජා පාක්‍ෂිකයන්ට දිරවා ගන්න බැරි වුණා.



අපත් මුල දී සිතා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව යම් රඟපෑමක යෙදෙනවා කියා. රවි කරුණානායකගෙන් ප්‍රශ්න කිරීම නිසා ප්‍රශ්නය ටිකක් පැහැදිලි වුණා. රවි ඉවත් කිරීම අලවංගුව විසි කිරීමක් ලෙස අප දුටුවා. ප්‍රශ්නය අලවංගුව ගෙට ගන්නේ කෙසේ ද යන්නයි. අකුණු සැර නැවතිලා නැහැ. ඒ එන්න එන්න වැඩි වුණා. නීතිපති දෙපාර්තමේන්තුවට මෛත්‍රිපාලගෙන් හා විජේදාසගෙන් ස්වාධීනත්වයක් ලැබී තියෙන්න ඇති. ඒ ස්වාධීනත්වය නැති කිරීමේ අවශ්‍යතාව මතු වුණා. තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව ඒ ස්වාධීනත්වයෙන් කටයුතු කළහොත් රනිල්,මලික්, අර්ජුන්ට අත්වන ඉරණම පැහැදිලි වුණා. රනිල් ඉවත් කරන්න පෙර මෛත්‍රිපාලත් විජේදාසත් ඉවත් කිරීමට එ ජා ප නායකත්වයට අවශ්‍ය වුණා. මෛත්‍රිපාල ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි. එය තරමක සංකීර්ණ ක්‍රියාවලියක්. එහෙත් බැරි දෙයක් නො වෙයි.  විජේදාස ඉවත් කිරීම ඊට වඩා පහසුයි. එහෙත් එයට මෛත්‍රිපාල කැමති විය යුතුයි. මෛත්‍රිපාලට ශක්තියක් නැති නිසා රනිල්ට යට වුණා.



විජේදාසට විරුද්ධව මහා ප්‍රහාරයක් ඇරඹුණා. සාමූහික වගකීම මෙන් ම මහින්දලාට විරුද්ධව ඉක්මන් පියවර නොගැනීමත් ඔහුට විරුද්ධ චෝදනා ලෙස ඉදිරිපත් කෙරුණා. මහින්දලාට ඉක්මණින් දඬුවම් කිරීමට මෛත්‍රිපාලටත් අවශ්‍යයි. ඒ ඉක්මන් නොකෙරුණේ විජේදාස විසින් නොවන බව මෛත්‍රිපාල දන්නවා. එහෙත් මෛත්‍රිපාල වගකිව යුතු කවුරුන් ද කියා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඒ වරදත් විජේදාස පිටින් ම යවන්න එකඟත්වයක් ඇති වුණා. විජේදාස දැන් ස්වාධීන වෙලා. ඔහුට හා රතන හිමියන්ට පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මන්ත්‍රීකම් දරන්න පුළුවන් වේවි. 2020 පොදු අපේක්‍ෂක කතා එ ජා ප කතන්දර පමණයි.  



විජේදාස රඳවා ගෙන බැඳුම්කර කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය සියලු සහාය ලබා දීමට මෛත්‍රිපාලට අවශ්‍ය වෙන්න ඇති. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තිය දෙන්නේ කවු ද? දුමින්ද දිසානායක සහ තවත් ඇමතිවරුන් කිහිප දෙනකු ඉන්නේ චන්ද්‍රිකාගේ පැත්තේ. ඔවුන්ගෙන් මෛත්‍රිපාලට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ. මහින්දත් අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ නැහැ. මෛත්‍රිපාලට අධිකරණ ඇමති ධුරය ඔහුගේ ඇමතිවරයකුට හෝ ඒකාබද්ධ විපක්‍ෂයේ අයකුට හෝ දී නීිතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දිය හැකි ද? විජේදාස එ ජා ප සාමාජිකයකු යන පදනමේ සිට රනිල් තමාට පක්‍ෂපාති එ ජා පාක්‍ෂිකයකු අධිකරණ ඇමති ධුරයට පත් කිරීමට බල කරාවි. යථා කාලයේ දී අලවංගුව ගෙට ගනීවි. රනිල් බලය තහවුරු කර ගනීවි. මෛත්‍රිපාල රනිල්ට හා චන්ද්‍රිකාට අවශ්‍ය දේ කරාවි. එසේ නොකළොත් දෝෂාභියෝගයකින් ගෙදර යන්න වේවි. ඊනියා ජාතික ආණ්ඩුව තවත් අවුරුදු තුනක් පවත්වාගෙන යෑමට රනිල් හා මෛත්‍රිපාල තීරණය කරලා. එය පක්‍ෂවල සාකච්ඡා වුණා ද? සාකච්ඡා නැතිවත් රනිල් මෛත්‍රිපාල එකඟතාව පක්‍ෂවල අනුමත කර ගන්නා ආකාරය මා අමුතුවෙන් කිව යුතු නැහැ. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 24