Main Logo

Wednesday 30 August 2017

නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ


නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ



ලංකාවෙබ් අඩවියේ නීල මහා යෝධයා හෙවත් ධර්මසිරි වීරසිංහ තමා බෞද්ධයකු බව කියනවා. ඔහු බෞද්ධයකු යැයි කියා ගත්තත් ඔහුට කිසිම වැටහීමක් නැති බවත් ඇත්තේ වෛරයක් පමණක් බවත් පහත සඳහන් උපුටා ගැනීම්වලින් මනාව පැහැදිලි වෙනවා. ඔහු ඉදිරිපත් කරන ආගම, සංස්කෘතිය, ඥානය, විඥානය, දැනුම ආදිය පිළිබඳ ව පිළිතුරු දීමට පෙර ඔහුගේ බෞද්ධකම හා තර්කඥානය (දැනුම නොව) මනාව පිළිබිඹු කරන කියුම් ගැන අවධානය යොමු කළ යුතු යැයි සිතනවා.




නීල මහා යෝධයාට පිළිතුරු වශයෙන් සෙනෙවිරත් විසින් දක්වන ලද ප්‍රතිචාරයක් පහත පළ වෙනවා.

 

පරම වින්ඥානය බුදුදහමට එකඟද ඕල්කොට් ඇතිකළ ”බෞද්ධ පාසල් වල ඉගැන්වුයේ පොදුවේ අනෙකුත් රජයේ පාසල්වල ඉගැන්වූ ”මිෂනාරී අධ්ධ්යාපනයෙන් වෙනස් බෞද්ධ අධ්‍යාපනයක්ද .ධර්මපාලතුමාට ඕල්කොට් එපාවුයේ ය් . නලින් විසින් නිර්මාණය කල ‘ප්‍රවාද” වලින් අංශුමාත්‍රයක් හෝ වෙන කවුරුන් විසින් හෝ කර ඇත්ද ඔල්කොට්ලාගේ අ ය තමය ගමරාල ගේ කතා කියල ගම්ප්‍රධානීන් උපහාසයට ලක් කලේ සිංහල බුද්ධාගම කියන්නේ සංස්කෘතියක් ලෙස රට බේරාගැනීමට බෞද්ධයෝ යොදා ගැන දෙයක් එකගනය් නලින් කියන්නේ .පුහුචින්තකයා යය නලින්ට ගරහන අ ය නිර්මාණය කල එකම එක සංකල්පයක් කියන්න .මොනවනතත් ‘කොටි පරදන්න පුළුවන් ”කියල නිර්භයව කිව්ව”මතයම ඇති නලින් පුහු නැහැ කියල කියන්න.”



ඉන් පසු නීල මහා යෝධයා පිළිතුරු වශයෙන් එක් එක් වතාවල කියන්නේ මෙයයි.



කොටි පරදන්න පුළුවන් කියල නිර්භයව කිව්වේ කොටි ගහනකොට සරම කරට අරන් පැනලා ගිහින් හැන්ගුනු චින්තකයෝ නෙවෙයි සතුරා සමග මුහුනට මුහුනලා සටන්කල අපේ වීරෝදාර සෙබලායි. අපේ වීරෝදාර සෙබලාට ලැබියයුතු ගෞරවය උදුරාගෙන චින්තකයින්ට පිරිනමන්න වෙර දරන්නෝ හීනතා සංකීර්ණතාවයෙන් පීඩා විඳින අයයි.



ශ්‍රී ලංකාවේ ආගමික අන්තවාදය විවිධ මුහුණුවර වලින් ක්‍රියාත්මක වන අතර බොහෝ විට ආගමික මතවාද උපයෝගී කරගනිමින් සමාජයේ කැපී පෙනීමට වෙරදරයි. මෙම ආගමික අන්තවාදින් විශේෂයෙන්ම ආගමික කටයුතු වලදී පොදු සම්මතයෙන් බැහැර ක්‍රියාමාර්ග අනුමත කරන හෝ තෝරා ගන්නා අයෙකි. මොහුගේ සමාජ විරෝධි ආකල්ප බොහෝ විට සැගවී පවතින අතර සුදුසු අවස්ථාව එළඹි කල්හි ඒවා පිටතට ප්‍රදර්ශනය වේ. ආගමික අන්තවාදීහු බොහෝ විට ආගම හෝ ජනවර්ගය මත පදනම් වූ සර්වසම සමාජයක් නිර්මාණයෙහිලා උත්සුක වෙති.පුහු චින්තකයා මෙයට කදිම උදාහරනයකි



එදා වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් හා වාදකල  ඩේවිඩ් ද සිල්වා නැමැති කතොලික පියතුමා ගේ පුනර්භවය නලින් ද සිල්වා තුලින් මනාව දෘශ්ෂමානවේ.



බෞද්ධ පාසැල් වලින් පිටවෙන සිංහල බෞද්ධ උගතුන්   ඕල්කොට් බෞද්ධයෝ යයි මනඃකල්පිතව වර්ග කරනන්හට කිවයුත්තේ බෞද්ධ පාසැල් පිහිටවීමට කරදුන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ  පෙරදැරිකරගෙන හික්කඩුවේ සුමංගල හිමි  , බුලත්ගම ධම්මලංකාර හිමි, පොතුවිල ඉන්ද්රජෝති හිමි, කොග්ගල සංඝතිස්ස හිමි සහ වැලිගම ශ්රී සුමංගල හිමි වැනි භික්ෂූන් වහන්සේලාත්, අනගාරික ධර්මපාල  ඩී. බී. ජයතිලක සහ ඩබ්ලිව්. ඒ. ද සිල්වා යන අයත් ඕල්කොට් බෞද්ධයෝද.?”



නීල මහා යෝධයාගේ දීර්ඝ ලිපියට ප්‍රතිචාර දක්වන ධර්මසිරි වීරසිංහ මෙසේ කියා තිබුණා.





ඇත්ත වශයෙන්ම නලින් ද සිල්වා කපටියකි.



ඔහු ගණිත විද්‍යව ගැන උපාධියක් ඇතිමුත් විද්යාව ගැන ඔහුට ඇත්තේ අ. පො. ස. උසස්පෙල දැනීමකි.



නවීන විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීමට තරම් ඔහුට විද්‍යාව අතින් සුදුසු කමක් නැත.



නවීන විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කියමින් බටහිර වෛද්‍ය වරුන් ලවා ශල්‍යකර්ම කරගන් කරගන්නේත්,නවීන විද්‍යාවෙන් සොයාගන්නලද බෙහෙත් ගිලදමන්නෙත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගතේ කියමින් කපටි විදියටය.



නවීන විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි ලෝකයට හඩගා කියන්නේ ගම්බද සිංහල පමනක් උගත් සිංහල බෞද්ධ ළමයින්ට නවීන විද්‍යාව එපාකරවීමටය



සත්තකින්ම එදා වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් හා වාදකල ඩේවිඩ් ද සිල්වා නැමැති කතොලික පියතුමා ගේ පුනර්භවය නලින් ද සිල්වා තුලින් මනාව දෘශ්ෂමානවේ.



ඔහු බෞද්ධාගම ගැන ඇති දැනුම අ. පො. ස. සාමාන්‍යපෙල දැනීමකි. නමුත් ඔහු වරක් ඥානය හා විඤ්ඤානය ගැන පමනක් නොව සඛ්කාය දිට්ඨිය පලමුව පිහිටා ගතයුතුයි කියා ලෝකයාට පුහු චින්තනයෙන් ප්‍රකාශ කර ඇත.



එමනිසා ඔහුට සත්තකින්ම ඇත්තේ පුහු කපටි චින්තනයකි.”



නීල මහා යෝධයා හා ධර්මසිරි වීරසිංහ එක් අයකු බව ඉහත සඳහන් උදාහරණවලින් පෙන්නුම් කරනවා. භාෂා ශෛලිය, අක්‍ෂර වින්‍යාසය, ව්‍යාකරණ අතින් ඊනියා දෙදෙනා අතර වෙනසක් නැහැ.



මා කර ඇති දේ ගැන අමුතුවෙන් කියන්න මට ඕනෑ කමක් නැහැ. මා ඩේවිඩ් (දාවිත්) ද සිල්වා පියතුමාගේ පුනර්භවයක් යැයි ඔවුන් දෙදෙනා ම කියනවා. එය දෙදෙනා ම එක් අයකු බව පෙන්වීමට සාක්‍ෂියක් නො වෙයි. පළමුවෙන් ම කිව යුත්තේ දාවිත් ද සිල්වා කතෝලික පියතුමකු නොවන බවයි. ඊනියා දෙදෙනාගේ දැනුම (ඥානය නොව) එයින් පැහැදිලි වෙනවා. දෙවනුව මා දාවිත් ද සිල්වා පියතුමාගේ පුනර්භවයක් වන්නේ කෙසේ ද යන්න මට පැහැදිලි නැහැ. නීල මහා යෝධයාට (ධර්මසිරි වීරසිංහට) පෙර විසූ කඳ පිළිවෙළ දැනගැනීමේ ඥානය පහළ වී ද? ද සිල්වා යන්න උපයෝගී කර ගනිමින් මගේ වර්ග කතාවක් ද කියා තිබුණා. මෙය බෞද්ධයකුට වටින දෙයක් නො වෙයි.



ඕල්කට් බෞද්ධයා යන්න ගැන  නීල මහා යෝධයාට (ධර්මසිරි වීරසිංහට) කිසිම වැටහීමක් නැහැ. ඕල්කට් බෞද්ධයන් යනු ඕල්කට්තුමාගේ අනුග්‍රහයෙන් පිහිටුවන ලද පාසල්වල ඉගෙන ගත් අය නොවන බව මා කිහිප වරක් කියා තිබෙනවා. ඕල්කට් බෞද්ධයන් යනු ඊනියා ජාත්‍යන්තරවාදී බෞද්ධයන්. ඔවුන් සිංහල බෞද්ධයන් නො වෙයි. ධර්මපාලතුමා සිංහලයන්ට ආමන්ත්‍රණය කළා. එතුමා සිංහලයන්ට බුද්ධගයාව බේරා ගැනීමට එක්වන ලෙස ආරාධනා කළා. ඒ සිංහල බෞද්ධකම. එතුමා බුද්ධගයාව බේරා ගැනීමට බෞද්ධයනට ආමන්ත්‍රණය කළේ නැහැ. ඕල්කට්තුමා ඇති කළ බෞද්ධ පුනර්ජීවනය සිංහල බෞද්ධ ස්වරූපයක් ගත්තේ නැහැ. ඕල්කට්තුමා ක්‍රියාත්මක වූයේ එතුමා දැන සිටි පරම විඥානාර්ථවාදය මුසු වූ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි. එතුමා පිහිටුවූ පාසල්වල ඇත්තේ බටහිර අධ්‍යාපනයක්. එහි ජාත්‍යන්තරවාදී බෞද්ධ ආරෝපණයක් පමණක් තිබුණා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බිත්තිවල බෞද්ධ කොඩිය ඇඳ තිබෙනවා. එහෙත් එහි ඉගැන්වෙන්නේ බටහිර දැනුම. බුද්ධාගම ඉගැන්වෙන්නේත් ක්‍රිස්තියානි රාමුවක. එය ඕල්කට්තුමා ඇති කළ විශ්වවිද්‍යාලයක් නො වෙයි. එහෙත් එය හා ඊනියා බෞද්ධ පාසල් අතර දැන් වෙනසක් නැහැ. නීල මහා යෝධයාගේ අපහාසාත්මක බසින් නම් එය පිරිවෙන් විශ්වවිද්‍යාලයක්. එවිට ඊනියා බෞද්ධ පාසල් ගැන කිව හැක්කේ කුමක් ද?


නීල මහා යෝධයා අපූරු ප්‍රශ්නයක් අසා තිබුණා. බෞද්ධ පාසල්වලින් පිටවූ අය ඕල්කට් බෞද්ධයන් නම් බෞද්ධ පාසල් පිහිටුවීමට කටයුතු කළ ඕල්කට් බෞද්ධයන් දැයි ඔහු අසා තිබුණා. මෙය කිසිම න්‍යායක (ලොජික්) වලංගු වන්නේ නැහැ. පළමුවෙන් ම මෙහි නිර්වචනය (අර්ථදැක්වීම) වැරදියි. දෙවනු ව නිගමනය වැරදියි. ඥානය හා දැනුම  පටළවා ගත් නීල මහා යෝධයාට ඒ බව තේරෙන්නේ දැයි මා දන්නේ නැහැ.



මගේ ශල්‍යකර්මය ගැන මා කිහිප වතාවක් කියා ඇති. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීම එය ප්‍රතික්‍ෂෙප කිරීමක් නොවන බව පසුගිය දිනෙකත් මා පැහැදිලි කළා. මා සක්කාය දිට්ඨිය පළමුව පිහිටුවා ගත යුතු යැයි කියා ඇත්තේ කොතනක දැයි උපුටා ගැනීමක් සහිතව නීල මහා යෝධයා පෙන්නා දෙන්නේ නම් පාඨකයාට වැදගත් වේවි.    





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 අගෝස්තු 30