Main Logo

Saturday 12 August 2017

විසිවැනි සංශෝධනය  

විසිවැනි සංශෝධනය

හර්තාලයට අදට අවුරුදු 64ක් වෙනවා. මා මෙය සඳහන් කරන්නේ හර්තාලය ගැන ලිවීමට නො වෙයි. සමසමාජ කොමියුනිස්ට් පාක්‍ෂිකයන්ට අද හර්තාල් දවස බව මතක් වේවි ද යන්න දැන ගන්නත් එක්ක. ඒ කාලෙ අප දැන ගෙන හිටියෙ පනස්හයත් හර්තාලයේ ප්‍රතිඵලයක් හැටියට. හර්තාල් කියන්නෙ මා දන්නා විධියට හින්දි නමක්. ඒකට සිංහල නමක් නැහැ. එක කාලයක මේලා වැනි හින්දි නම් රටේ ප්‍රචලිත වුණා. දැන් නම් කෙලින් ම ඉංගිරිසි නම් තමයි කියැවෙන්නෙ. අපේ ගෙදර පොඩි උත්සවයක් තියෙනවයි කිව්වම තරුණයන් මගෙන් අහන්නෙ ෆන්ක්ෂන් එකක් ගැන.ඒ මොනව වුණත් හර්තාලයෙන් වුණු වැඩේ ඩඩ්ලි සේනානානයක අගමැති කමෙන් ඉවත් වෙලා ජෝන් කොතලාවල ඒ තනතුරට පත් වෙච්ච එක. හර්තාලෙ ගැන දැනට ඊට වැඩිය කතා කරන්න ඕනෙ නැහැ.


පළාත් සභා තුනක මැතිවරණ කල් දැමීමට රනිල් ගෙනෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට මෛත්‍රිපාලගේ කණ්ඩායමේ මධ්‍යම කාරක සභාවෙ ඇතැමුන් විරුද්ධ වෙලා. අඩුු තරමෙන් එකී සභාවේ එයට විරුද්ධතාවක් තිබෙනවා.  මෙහි දී මෛත්‍රිපාල ගන්නා ස්ථාවරය කුමක් ද? මෛත්‍රිපාල අද මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්වයක සිටිනවා. මෛත්‍රිපාල ද සංශෝධනයට විරුද්ධ වුවහෙත් දෙමළ ජාතික සංධානයේ ස්ථාවරය අනුව රනිල් පසු පෙළ මන්ත්‍රීන් ලවා මෛත්‍රිපාලට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන්න ඉඩ තියෙනවා. කතානායක කැමති නම් මන්ත්‍රීවරුන් සාමාන්‍ය බහුතරයකගේ ඉල්ලීමට දෝෂාභියෝගයක් පිළිගන්න පුළුවන්.

අද විජයදාස රාජපක්‍ෂට විරුද්ධව පසු පෙළ මන්ත්‍රීවරුන් විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වෙනවා. මේ නිකම් ඇස් බැන්දුන් වැඩ. මිනිසුන්ගෙ අවධනය එක එක පැතිවලට යොමු කෙරෙනවා. ප්‍රශ්නවලට මුල රනිල්. අද රනිල් ගැන කතා කරන්නෙ නැති තරම්. බැඳුම්කරය රවිගෙ වැඩක් නො වෙයි. ඒකෙ මුල ඉන්නෙ රනිල්. නීතිපති දෙපාර්තමේන්තුව රනිල් නොදැන විජයදාස වෙනුවෙන් වැඩ කරනවා කියලා හිතන්න බැහැ. විජයදාස ජාතිකත්වයේ අයකු නො වෙයි. ඔහු උස්සන්නේ මහරගම ආසනයේ කාට විරුද්ධව ද?

අද දේශපාලනයේ අපට පෙනෙන බෙදීම්වලට වෙනස් බෙදීම් යට තියෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල කණ්ඩායම එකතු වුණොත් රනිල් ඉවත් කරන්න පුළුවන්. ඒත් අද ඒ එකතුවීමට ඇති ඉඩකඩ අඩුයි. මෛත්‍රිපාලත් මහින්දත් එයට වගකිව යුතුයි. දෙදෙනකුගේ පෞද්ගලික වෛරයක් නිසා රට අගාධයට යනවා. රනිල් ඉවත් කළ හැක්කේ මෛත්‍රිපාලට විතරයි. බොරු හර්තාල් කරල ආණ්ඩුව වට්ටන්න බැහැ. ඉක්මනින් රනිල් ඉවත් කෙළෙ නැත්නම් හා මෛත්‍රිපාල රනිල්ට දිගින් දිගට ම බාධාවක් වුවහොත් රනිල් මෛත්‍රිපාලට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනේවි. එවිට රනිල් තවත් ශක්තිමත් වේවි. මෛත්‍රිපාල මොන තරම් ද්‍රෝහි කමක් කරල තිබුණත් මේ අවස්ථාවෙ රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල ශක්තිමත් කළ යුතුයි. මෛත්‍රිපාලගෙ වැරදි කිය කිය ඉඳීමෙන් කරන්නෙ රනිල් ඒකාධිපතියකු කරන එක විතරයි.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා සම්බන්ධයෙන්. පළාත් සභා අහෝසි කිරීමට බැරි නම් (සිංහලයන් ජාති ප්‍රේමියකු යතේ එකතු වූණොත් බැරි කමක් නැහැ ) කළ යුත්තේ එහි බලතල තව තවත් පාර්ලිමේන්තුව යටතට ගැනීමයි. පළාත් සභාවල ඡන්ද විමසීම කල් දැමීමට විසිවැනි සංශෝධනය ගෙන ඒම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට නම් එකඟ නැහැ. මේ සංශෝධනයට දෙමළ ජාතික සංධානය විරුද්ධයි. ඒ පළාත් සභාවල බලතල පාර්ලිමේන්තුව යටතට ගැනීම සම්බන්ධයෙන්. ආණ්ඩුව බොහෝ විට දෙමළ ජාතිවාදීන්ට යටත් ව පළාත් සභාවල බලතල අඩු නොවන විධියට සංශෝධනය ඉදිරිපත් කරාවි.

මේ ප්‍රශ්නය දෙස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් පමණක් සලකා බලා තීරණ ගන්න හොඳ නැහැ. පළාත් සභා නිසා රටේ ඒකීය භාවය නැති වී ගිහින්. අප බොරුවට ඒකීය රටක් කියා කියනවා. ජේ ආර් ගේ හා රනිල්ගේ ඒකීය කම වචනවලට පමණයි. ඩොයිලිගේ වචන වගේ. සිංහලයන් හැමදාමත් බොරුවලට රැවටෙනවා. මෛත්‍රිපාලගේ කණ්ඩායමටත් ඒකාබද්ධ විපක්‍ෂයටත් විසිවැනි සංශෝධනය උපයෝගී කරගෙන ආණ්ඩුව වට්ටවන්න පුළුවන් නම් සංශෝධනයට විරුද්ධ වීමේ කිසි වරදක් නැහැ. දෙමළ එක්සත් සංධානයේ දෙමළ ජාතිවාදීන් සංශෝධනය සම්බන්ධයෙන් දරණ මතය ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි.

විසිවැනි සංශෝධනයට විරුද්ධත්වය පා රනිල් ඉවත් කිරීමට හැකි නම් එය කළ යුතුයි. අපේ ප්‍රමුඛතා පිළිබඳ වැටහීමක් අපට තිබිය යුතුයි. අද රටේ ප්‍රධාන ම ප්‍රමුඛතාව රනිල් ඉවත් කිරීමයි. රටේ ඒකීයභාවය හා බුද්ධාගම (නීල මහා යෝධයා වැනි සංකල්ප ගැන නිරවුල් අවබෝධයක් නැති ඊනියා බෞද්ධ ඉංජිනේරුවන්ට අනුව බුද්ධාගම හා බුදුදහම අතර ඇති වෙනස කුමක් ද? ඔවුන් ආගම ගැන කතා කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංකල්පවලින්!)  රැකිය හැක්කේ රනිල් ඉවත් කර දහතුනත් ඉවත් කිරීමෙන්. විසිවැනි සංශෝධනය ගැනත් අප සලකා බැලිය යුත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ඇසකින් නොව රනිල් ඉවත් කර බුද්ධාගම රැක ගෙන නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය හා දේශපාලනික ව දෙමළ ජාතිවාදය පරාජය කර ලබාගත් ජයග්‍රහණ තහවුරු කිරීමේ පැත්තෙන්. රටේ ඇති ආණ්ඩු විරෝධය රනිල් ඉලක්ක කර ගෙන (නාභිගත කර) මෙහෙයවීමට අප කටයුතු කළ යුතුයි.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 අගෝස්තු 12