Main Logo

Friday 4 August 2017

ඕල්කට් බුද්ධාගම


ඕල්කට් බුද්ධාගම



එංගලන්තයේ පළ කෙරෙන ලංකාවෙබ්  අඩවියට නීල මහා යෝධයා නමින් ලියන අයකු නැවතත් හදිසියේ නැගිටලා. ඔහු කුම්භකර්ණ මෙන් කාලයක් නිදා ගන්නවා ද කියා දන්නේ නැහැ. ඒත් ඒ කුම්භකර්ණ ගැන තියෙන එක් විවරණයකට අනුවයි. ඇතැමුන්ට අනුව කුම්භකර්ණ කියන්නේ කුඹුක්කන් ඔය ප්‍රදේශයට අධිපති වූ අයකු. ඔහු රාවණගේ සොහොයුරකු ලෙස ඒ ප්‍රදේශය රාවණ වෙනුවෙන් කරවූ අයකු ලෙස හැඳින්වෙනවා. බිම්තැන්න මහියංගණය වුණා සේ කුඹුක්කන් කුම්භකර්ණ බවට පත් වී තියෙනවා. ඉන්පසු එයට අර්ථකථන කෙරෙනවා . කුඹුක්කන් නිදා සිටි තැනැත්තකු ලෙස අර්ථදක්වන්න බැහැ. මේ ගැන දැනට තවදුරටත් කතා කරන්නේ නැහැ. මා මෙයින් තැත් කරන්නේ විවිධ අර්ථනිරූපණ, විවරණ ඇති බව පෙන්වීමට පමණයි. ඒ අර්ථනිරුපණ අනුව තව තවත් කතා ගෙතෙනවා. ලෝක විවිධයි. මගේ ලෝකය කියවූ අයකු ඒ ගැන දන්නවා.




නීල මහා යෝධයා තම නමින් නොලියා අවුරුදු දහස් ගණනකට පෙර සිටි යෝධයකු පසු පස සැඟවෙන්නේ ඔහු අඟුටුමිට්ටකු නිසයි. නීල මහා යෝධයා තමාට තම පියා දුන් නමින් පෙනී නොසිටින්නේ පියා කවුදැයි විශ්වාසයක් නැති නිසා ද? මුහුණු පොතෙත් ව්‍යාජ ගිණුම් තනා ගත් අය ඉන්නවා. ඔවුන් ඇතැම් විට අපහාසාත්මක දේ ලියනවා. ඒ සියල්ල එක්සත් රාජ්‍යයේ යම්කිසි තැනක තියෙනවා. අවශ්‍ය වූ විටක ඒ හෙළිදරවු කර ගැනීමටත් පුළුවන්. තමන් සැඟ වී ඇතැයි නීල මහා යෝධයා සිතන්නේ නම් ඒ මුළාවක්. ලංකාවෙබ් සංස්කාරකවරයා හා නීල මහා යෝධයා අතර සම්බන්ධයක් තියෙනවා ද? ඒ දෙදෙනා ම එක් අයෙක් ද?



නීල මහා යෝධයාට ප්‍රශ්නය වී ඇත්තේ ඕල්කට් බුද්ධාගමයි. නීල මහා යෝධයා ඕල්කට් බුද්ධාගම ගැන මා ලියා ඇති කිසිවක් තේරුම් ගෙන නැති පාටයි. අද මෙරට හා පිටරට සිටින සිංහල මධ්‍යම පාංතික උගතුන් තමන් ලැබූ අධ්‍යාපනයෙන් අතරමං වෙලා විවිධ බුද්ධාගම්වල පිහිට පතනවා. ඔවුන් බෞද්ධ ධර්මය, විශේෂයෙන් අභිධර්මය, පිළිබඳ පතපොත කියවනවා. එහෙත් ඒ කියවන්නේ තවත් බටහිර විෂයක් ඉගෙන ගන්නා ආකාරයට. ඔවුන්ට ලැබී ඇති බටහිර දැනුම කල්පනා කිරීමට අනුබල දෙන්නක් නො වෙයි. මේ අය බුදුදහමේ දක්නට ලැබෙන විවිධ කතා කියනවා. ඒත් බුදුදහම දන්න බවක් පේන්නෙ නැහැ. බුදුදහම නියමාකාරයෙන් අනුගමනය කරන අයකු උපහාස අපහාස කරන්නේ නැහැ. මහත්තයෝ යන්න ජ වි පෙ, පෙරටුගාමීන් ආදීන් යොදන්නෙ අපහාසාත්මක ව. නීල මහා යෝධයා ද මහත්තයෝ යන්න එසේ යොදනවා. නීල මහා යෝධයා පළමු ජ වි පෙ භිෂණ දවස්වල එංගලන්තයට පැන ගත්ත අයකු වෙන්න පූළුවන්. ඒත් සත්සමුදුර දෙබෑ කරගෙන නො වෙයි.

               

මා බුද්ධාගම යන්න යොදා ගන්නේ සංස්කෘති නිරූපණය කිරීමටයි. බුදුදහම යොදා ගන්නේ ධර්ම නිරූපණය කිරීමටයි. විවිධ බුද්ධාගම් මෙන් ම විවිධ බුදුදහම් ද තිබෙනවා. ථෙරවාදය එක් බුදුදහමක් පමණයි. එය එක් හීනයානයක්. තවත් හීනයාන පමණක් නොව මහායාන තන්ත්‍රයාන බුදුදහම් තිබෙනවා. අප සිතන්නේ ථෙරවාදය පමණක් සත්‍ය කියා. වෙනත් අය වෙනත් බුදුදහම් සත්‍ය කියා සිතනවා. ඕල්කට් බුද්ධාගම එක් බුද්ධාගමක් පමණයි. සිංහල බුද්ධාගම තවත් බුද්ධාගමක්. මා සිංහල බෞද්ධයෙකු යැයි කියන්නේ මා සිංහල බුද්ධාගමට අයත් බව කියන්නයි. එනම් සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් බව කියන්නයි. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු ය යන්නෙන් මා අදහස් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රමුඛස්ථානය දිය යුතු බවයි. වෙනත් චචනවලින් කියන්නේ නම් මෙරට සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගත යුතු බව මා තරයේ කියා සිටිනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු යැයි කියන බොහෝ දෙනකු තමන් එසේ කියන්නේ කිනම් අරුතකින් දැයි දන්නවා ද?



ඕල්කට්තුමා ඕල්කට් බුද්ධාගමක් මෙන් ම ඕල්කට් බුදුදහමක් ද මෙරටට හඳුන්වා දුන්නා.  ඕල්කට්තුමා බුදුදහම වෙනස් නොකළේ යැයි නීල මහා යෝධයා කියන්නේ කෙසේ ද? ඕල්කට්තුමා ථෙරවාදී බුදුදහමින් ඈත් වුණා. ඔහු පරම විඥානාර්ථවාදී බුදුදහමක් හඳුන්වා දුන්නා. බ්ලැවට්ස්කි මැතිණියත් ඒ බුදුදහම අනුගමනය කළ අයෙක්. පරම විඥානයක් ථෙරවාදය සමග ගැලපෙන්නේ කෙසේ ද? නීල මහා යෝධයා නිවන් දොරටු ගැන කියනවා. ඕල්කට්තුමාගේ පරම විඥානය ඇතිව මේ දෙරටුවලින් යන්න පුළුවන් ද? නිවන යන්න තියෙන තැනක් ද?



ඕල්කට් බුද්ධාගමෙන් ඊනියා උගතුන් අතර සිංහල බුද්ධාගම නැති කෙරුණා. පාණදුරාවාදයෙන් මතු වූ සිංහල බෞද්ධ පුනර්ජීවනය බාල්දු කෙරුණා. අනගාරික ධර්මපාලතුමාට අවසාන වශයෙන් රට අත්හැර යෑමට සිදු වුණා. ගැමුණු රජ දවස සිට මෙරට සිංහල බුද්ධාගම නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය පැවතුණා. ඩොයිලි උපක්‍රමශීලීව එය නැති කිරීමට කටයුතු කළා. ප්‍රභූ ඉංගිරිසි පාසල් සිංහල බෞද්ධයන්ගෙන් සංස්කෘතික සිංහල ක්‍රිස්තියානීන් ද ඒ බැරි නම් ඕල්කට් බෞද්ධයන් ද බිහි කළා. ඕල්කට් බුද්ධාගම ජාත්‍යන්තර බුද්ධාගමක්. එහි සංස්කෘතික පසුබිම ක්‍රිස්තියානි. මා එය කියන්නේ සංස්කෘතික සිංහල ක්‍රිස්තියානි ගණනාථ ඔබේසේකර කියන අර්ථයෙන් නො වෙයි. ඕල්කට් බෞද්ධයන් තමයි වැඩි පුර ම බුදුදහම බටහිර විද්‍යාත්මක බව පෙන්වීමට උත්සාහ කරන්නේ. සමහර සිංහල බෞද්ධයන් ද තම අධ්‍යාපනය හේතුවෙන් බුදුදහම ඊනියා විද්‍යාත්මක බව පෙන්වීමට තැත් කරනවා. ඇතැම් හාමුදුරුවරන් ද බොහෝ කලක සිට එසේ කිරීම කණගාටුදායකයි.



දෙමළ ජාතිවාදය තේරුම් ගැනීමට බාධා කරන්නේ ඕල්කට් බෞද්ධයන්. ඔවුන් එය තිස් අවුරුදු යුද්ධයකට සීමා කරනවා. දෙමළ ජාතිවාදයෙහි ඉතිහාසය නොදැන එය නැති කරන්නේ කෙසේ ද? නන්දිකඩාල් ජයග්‍රහණයෙන් අවුරුදු එකසිය අසූවක පමණ දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය වූ බව ඕල්කට් බෞද්ධයන්ට තේරෙන්නේ නැහැ. ඒත් දෙමළ ජාතිවාදය තවමත් නෛතික ව දහතුන්වැනි සංශෝධනය මගින් ක්‍රියාත්මක වෙනවා. ඕල්කට් බෞද්ධයන් අදහන්නේ බටහිර දැනුම. බටහිර නීතිය එහි කොටසක් පමණයි.



ලංකාවෙබ් කලක් මගේ ලිපි පළ කෙළේ නැහැ. එහෙත් පසුගිය දා නැවතත් මගේ ලිපි පළ කිරීම ඇරඹුවා. ඒ මා ඔවුන්ට මගේ ලිපි ඉදිරිපත් කිරීමකින් තොරව. ඔවුන් නැවතත් ලිපි පළ කිරීම නැවැත්වීමට ඉඩ තියෙනවා. මෙරට බොහෝ ජනමාධ්‍ය හා ජාතික ව්‍යාපාරය මා කොන්කර ඇති අවධියක මට එය කිසිසේත් ම ප්‍රශ්නයක් නො වෙයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 04