Main Logo

Saturday 26 August 2017

විජේදාසගෙන් පාඩමක්  


විජේදාසගෙන් පාඩමක්



විජේදාස රාජපක්‍ෂට කුමක් වේ ද යන්න ජනමාධ්‍යවේදීන්ට නම් හොඳ කතාවක්. ඒකාබද්ධ විපක්‍ෂෙට යයි ද ස්වාධීන ව කටයුතු කරයි ද 2020 පොදු අපේක්‍ෂයා වෙයි ද ආදිය ඊනියා දේශපාලන විචාරකයන්ටත් තම පඬි බව ප්‍රකාශ කිරීමට හොඳ මාතෘකා. එහෙත් විජේදාසට විශේෂ අනාගතයක් නැහැ. මෛත්‍රිපාලට ඔහු ආරක්‍ෂා කර ගැනීමට බැරි වුණා. විජේදාස බැඳුම්කර කොමිසමේ කටයුතුවලට මැදිහත් නොවුණේ මෛත්‍රිපාලගේ අනුග්‍රහයෙන්. ඔහුට ඇමතිකම් අහෝසි වුණේ බැඳුම්කරයට රනිල් මලික් අර්ජුන් මහේන්ද්‍රන් බේරා ගැනීමට ඔහු කටයුතු නොකළ නිසා  මිස ඇතැම් දේශපාලන විචාරකයන් කියන පරිදි අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම කඩ කිරීම නිසා නො වෙයි. සාමූහික වගකීම කඩ කළ ඇමතිවරුන් තවත් අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා. ඔවුන් ආණ්ඩුවත් සමග ඡන්දය දෙනවා. ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් රජයේ සේවකයන්ගේ මැතිවරණ අයිතිවාසිකම් අහෝසි කරනවා. එවැනි ක්‍රියාවල දී ජ වි පෙරමුණෙත් සහාය ආණ්ඩුවට ලැබෙනවා. ජ වි පෙ  තනතුරු අහෝසි වන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් පිට මැතිවරණ කොමිසමේ සභාපති සුපුරුදු බයිලා කියනවා.




විජේදාස සිද්ධියෙන්වත් ඒකාබද්ධ විපක්‍ෂය පාඩමක් ඉගෙන ගනීවි ද? විශ්වාසභංග යෝජනා නරක නැහැ. එහෙත් ඒවාට එතරම් වැදගත්කමක් නැහැ. අද අස්කළ යුත්තේ රාජිත සේනාරත්න පමණක් නො වෙයි. රනිල් හා ඔහුගේ සහායකයන් සියල්ල ඇමතිකම්වලින් ඉවත් කළ යුතුයි. අප කාලයක් තිස්සේ කියන කතාවට ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාලගේ කණ්ඩායම සවන් නොදෙන්නේ ඇයි? සංධානයෙන් තරග කළ අයට දැන්වත් සමගි වීමට නො හැකි ඇයි? ඔවුන්ට රනිල්ගෙන් රට බේරා ගැනීමට අවශ්‍ය නැද්ද?



රනිල් දැනට අනුගමනය කරන්නේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක්. මෙයින් මා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳය කියන එක නො වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය පල් බොරුවක් වුවත් අප එය ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වුවත් අප එය ද ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. ඒ බව නොතේරෙන්නේ නූතන නීල මහා යෝධයන්ට! ඔවුන්ට අනුව අප සිංහල දරුවන්ට බටහිර විද්‍යාව අහිමි කිරීමට කටයුතු කරනවා. මා පට්ටපල් බොරු වුවත් බටහිර විද්‍යාව ඉගැන්වූයේ වැඩියෙන් ම සිංහල දරුවන්ට. නූතන නීල මහා යෝධයා කියන්නේ මා උසස් පෙළෙන් පසු විද්‍යාව ඉගෙන ගෙන නැති බවයි. විශ්වවිද්‍යාල කිහිපයක් ම මට ශිෂ්‍යයන්ට සාපේක්‍ෂතාවාදයත් ක්වොන්ටම් භෞතිකයත් තාරකා භෞතික විද්‍යාවත් ඉගැන්වීමටත් ඒ ක්‍ෂෙත්‍රවල පර්යේෂණ කරන සිසුන්ට උපදෙස් දීමටත් පත් කිරීමෙන් කර ඇති හානියට එරෙහිව නීල මහා යෝධයාට ලංකාවට පැමිණි දිනෙක විශ්වවිද්‍යාලවලට එරෙහිව නඩු පැවරිය හැකියි. මෙරට ඊනියා උගතුන් දන්නේ පොතක පතක තිබෙන දෙයක් හරි කවුරුන් හරි කී දෙයක් විශ්වාස කිරීමට පමණයි. තමන් කාලාම සූත්‍රය පාඩම් කර ඇති බව පමණක් මොවුන් පෙන්නුම් කරනවා.



රනිල්ගේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම දිනපතා ප්‍රදර්ශනය වෙනවා. ඔහුට ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජ වි පෙ ද දෙමළ ජාතික සංධානය ද ජාතික හෙළ උරුමය ද ආධාර කරනවා. එමෙන් ම කතානායක ද ඔහුට ආධාර කරන්නේ රනිල් සැබෑ කතානායක කරමින්. ඔහුට අගමැති ලෙස කටයුතු කිරීමට ඉඩ හැරීමෙන් සංධානය ලෙස තරග කළ සියල්ලන් ද මෛත්‍රිපාල ද කරන්නේ ජාතික අපරාධයක්. ඔහු ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගනිමින් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව ද සම්මත කර ගනීවි. එයට ජයම්පති වික්‍රමරත්න ලාල් විජේනායක වැනි පුස් කෑ ට්‍රොට්ස්කිවාදීන්ගේ ද සහාය ලැබේවි. පාක්‍යසෝතිලා වැනි දෙමළ ජාතිවාදීන්ගේ ද සිවල් සාමාජිකයන්ගේ ද සහාය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.



දේශපාලනඥයන් දේශප්‍රේමීන් වන්නේ කලාතුරකින්. එහෙත් සංධානයෙන් තරග කළ අයට දේශය ජාතිය වෙනුවෙන් කළ යුතු කාර්යයන් තියෙනවා. සංධානයේ සමසමාජ කොමියුනිස්ට් මන්ත්‍රීවරුන් ගැන මා කියන්නේ නැහැ. ඔවුන්ගේ භක්තිය ඔවුනුත් ප්‍රත්‍යක්‍ෂයෙන් නොදන්නා ඊනියා කම්කරු පංතියකටයි. එහෙත් අනෙක් මන්ත්‍රීවරුන් අද වෙනදාටත් වඩා රට ජාතිය ආගම මුහුණ පා ඇති භයානක තත්වය ගැන සියලු භේද පෞද්ගලික එදිරිවාදුකම් දුරැර මෙනෙහි කළ යුතු කාලයයි. ඔවුන් මා කියන අයුරින් කටයුතු කරන්නේ නැහැ. එහෙත් මා සිතන දේ නොකියා බැහැ.



රනිල් යනු ඩොයිලිගේ අනුප්‍රාප්තිකයායි. ඔහු අද අවි අතට ගෙන සිටින්නේ සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව. ඔහු චෝලයන්ටත් කාලිංග මාඝටත් වඩා භයානක පුද්ගලයෙක්. බටහිරයන් හා ඉන්දියානුවන් ඔහු බලයට පත්කර ගත්තේ සිංහලයන්ට සිංහල බුද්ධාගමට එරෙහිව කටයුතු කිරීමට. එහි දී ඇතැම් ඕල්කට් බෞද්ධයන්ගේ ද සහාය බටහිරයන්ට හා ඉන්දියානුවන්ට ලැබුණා. ඇතැම් රාජපක්‍ෂ කෙනකු ශ්‍රී ල නි පක්‍ෂයේ මැති ඇමතිවරුන්ට කළ කෙණෙහිළිකම් නිසා ඒ මැති ඇමතිවරු රනිල්ට එකතු කෙරුණා. මෛත්‍රිපාල 2014 දීම ඒ පාවාදීම කළා. ඇතැමුන් 2015 ජනවාරියේ දී ද තවත් සමහරුන් 2015 අගෝස්තුවේ ද ඒ පාවාදීම කළා. ඇතැම් රාජපක්‍ෂලා තමන්ට කොතරම්  කෙණෙහිළිකම් කළත් ඔවුන් ඒ සියල්ල ජාතිය වෙනුවෙන් ඉවසන්න තිබුණා.



ඇතැම් රාජපක්‍ෂලාත් මෛත්‍රිපාලත් ඔහු සමග ගිය අයත් ජාතියට අති විශාල හානියක් කර තිබෙනවා. දැන්වත් ඒ හානිය අවම කර ගැනීමට කටයුතු කළ යුතුයි. සියල්ලන් ම කර ඇති වරදට ජාතිය සමාව දේවි. ඒ ඔවුන් එකතු වී රනිල්ගෙන් රට බේරා ගත්තොත්. ඒ කරන්න බැරි දෙයක් නො වෙයි.



අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයක් තව දුරටත් අඛණ්ඩව ගෙන යෑමට සංධානය සමගි වෙනවා ද? මෛත්‍රිපාල හා මහින්ද රනිල්ට විරුද්ධව දැන්වත් එකතු වෙනවා ද? ඔවුන් එකතු වී තිබිණි නම් මෙලහකටත් බැඳුම්කර මගඩිය අවසන් කර වරදකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමට තිබුණා. ඔවුන්ගේ අසමගියෙන් වන්නේ රනිල් තවදුරටත් පැවතීමත් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව සම්මත වීමත් පමණයි. මෛත්‍රිපාලට රනිල් ඉවත් කර සුදුස්සකු අගමැති පදවියට පත් කළ හැකියි. එසේ නොකළහොත් ඔහුට දෝෂාභියෝගයක් බලාපොරොත්තු විය හැකියි. මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන නොව නව ව්‍යවස්ථාවට විරුද්ධවීම ගැන පොදුවේ සිතිය යුතු කාලයක්.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.


නලින් ද සිල්වා

2017 අගෝස්තු 26