දැනුම හා යථාර්ථය
මා බොහෝ කලක සිට තේරුම් ගැනීමට උත්සාහ කර ඇත්තේ දැනුම යනු කුමක් ද
යන්න දැන ගැනීමට. එය කෙළවර වන්නේ නැහැ. මා දැනට හිතන අයුරින් ඒ කෙළවර වන්නේ
නොදැනුමෙන්. නිවන් අවබෝධයෙන්. එහෙත් මට ඒ සඳහා කල්ප ලක්‍ෂ ගණනක් සසරේ සැරිසැරීමට
සිදු වේවි. මේ විෂය දර්ශනයෙහි හඳුන්වන්නේ ඥානවිභාගය නමින්. මා බටහිරවත් පෙරදිගවත්
දර්ශනය හදාරා නැහැ. මා දාර්ශනිකයකුවත් චින්තකයකුවත් නො වෙයි. ඒ නිසා ඇතැමුන් කියන
ආකාරයට පුහු චින්තකයකු වන්නේත් නැහැ.
බොහෝ දෙනා යථාර්ථයක් ගැන කියනවා. ඒ අය නොකීවත් එය මනසින් තොරව,
නිරීක්‍ෂකයකු නොමැතිව පවතින්නක් විය යුතුයි.
නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ඇති යථාර්ථය කුමක් ද? යථාර්ථය මනසට නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නම් එසේ සාපේක්‍ෂ වන්නේ කිනම්
අයකුට ද? බටහිර විද්‍යාඥයන්ට ද? ඕල්කට් බෞද්ධයන්ට ද? වෛදිකයන්ට ද? ඇස්කිමෝවරුන්ට ද? මලාවි (අප්‍රිකාවේ රටක්) ජාතිකයන්ට ද? චීනුන්ට ද? ඊනියා විද්‍යාත්මක සමාජවාදීන්ට ද? මනසින් තොරව යථාර්ථයක් ඇති බව මනසින් තොරව තේරුම් කිරීමට සමත් පඬියකු
වේ ද?
යථාර්ථය දැන ගැනීමට ඇති මිනුම් දණ්ඩ කුමක් ද? යමකු තමන් යථාර්ථය දැනගත් බව දැනගන්නේ කෙසේ ද?
යථාර්ථය දැන ගැනීමට මිණුම් දණ්ඩක් ඇත්නම් ඒ
මිණුම් දණ්ඩ කාගේ නිර්මාණයක් ද? බටහිර යුදෙව් ක්‍රිස්තියානීන්ගේ ද
එසේත් නැත්නම් වෛදිකයන්ගේ ද චීනුන්ගේ ද? මේ කිසිම කරුණක් ගැන විමසන්නේ නැතිව අති විශාල බහුතරයක් යථාර්ථයක්
ගැන කතා කරනවා. ඔවුන් ඒ ගැන කතා කරන්නේ තමන් යථාර්ථය දන්නා නමුත් අනෙක් අය යථාර්ථය
නොදන්නේ ය යන හැඟීමකින්. අපට බොහෝ වෙලාවට ඇහෙන කතාවක් නම් මෙහි යථාර්ථය මේකයි
යන්න. විශේෂයෙන් ම රූපවාහිනී නිවේදකයන් තමන් දන්නා යථාර්ථය අපට විස්තර කරනවා.
ඇතැම් දේශපාලනඥයන් ද අපට යථාර්ථය කියා දෙනවා.
මා බුදුදහම සාමාන්‍ය පෙළෙන් පසු ඉගෙන ගෙන නැහැ. දහම් පාසලෙත්
(ඕල්කට්තුමාගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තියානි සන්ඩේ ස්කූල්ස් අනුකරණයෙන් පිහිටුවා ගත්
ඉරිදා ඉස්කොලෙ) හතරවැනි පංතියෙන් ඉහළට ඉගෙන ගෙන නැහැ. බෞද්ධ පොතපතත් එතරම් කියවා නැහැ.
මට වඩා බුදුදහම ගැන කියවා ඇති අය අති විශාල පිරිසක් ඉන්නවා. මා කියන බොහෝ දේට
ඔවුන් විරුද්ධයි. ඔවුන් ඒ පිළිගන්නේ නැහැ. අර හාමුදුරුවන්ගෙ පොතේ මේ හාමුදුරුවන්ගේ
ධර්ම දේශනයෙහි මෙහෙම කියා තිබෙනවා කියා ඔවුන් කියනවා. එහෙත් මේ එක එක
හාමුදුරුවරුන් කියා ඇත්තේ එක ම දෙයක් නො වෙයි. බුදුදහමත් ඒ ඒ අය දේශනා කරන්නේ එක ම
විධියට නො වෙයි. අද ලංකාවේ ථෙරවාදය ම කී දෙනකු කී ආකාරයකුට අර්ථකථනය කරනවා ද?
කාලාම සූත්‍රයෙහි මෙන් අද අපට බුදුහාමුදුරුවන්
දෙසූ දහම කුමක් දැයි බුදුන් වහන්සේගෙන් ම ඇසීමට සිදු වෙලා. එහෙත් අපේ අවාසනාවට අද
බුදුහාමුදූරුවන් පිරිනිවන් පාලා.
මා බුදුදහමෙන් ඉගෙන ගත් ප්‍රධාන ම කරුණක් වන්නේ නිවන් අවබෝධය සඳහා
හේතු නො සෙවීමට. අනවශ්‍ය විශ්ලේෂණයේ නො යෙදීමට. මට හිතෙන්නේ හේතු සෙවීම, විශ්ලේෂණය ආදිය පසු කාලීනව සසුන්ගත වූ වෛදික
බමුණන් ඇතුල් කළ අංග කියා. මා මේ කරුණු ගැන ලියන්නේ බුදුදහම තවත් ආකාරයකට අර්ථකථනය
කර අනුගාමිකයන් පිරිසක් ඇති කර ගැනීමට නො වෙයි. අනුගාමිකයන් කල් යෑමේ දී මූසිලයන්
වෙනවා. මා ලියන්නේ හුදෙක් සසරෙන් ගැළවීමට. අප අද චතුරාර්ය සත්‍යය හේතුවාදයක් ලෙස
ඊනියා විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක් ලෙස ඉගෙන ගන්නවා. දුක, දුකට හේතුව, දුක නැති කිරීම ආදී වශයෙන් ඉගෙන ගන්නේ හේතුවාදයක්. චතුරාර්ය සත්‍යය
ධම්මචක්කපවත්තන සූත්‍රයෙහි සඳහන් වෙනවා. ඇතැමුන්ට අනුව නම් චතුරාර්ය සත්‍යය
ධම්මචක්කපවත්තන සූත්‍රයට එකතු කර ඇත්තේ පසු කාලීන ව. ඒ කොහොම වුණත් චතුරාර්ය සත්‍යයෙහි
ඇත්තේ දුඃඛ සත්‍යය, සමුදය සත්‍යය ආදී වශයෙන්. එහි හේතුවක්
ගැන කියැවෙන්නේ නැහැ. දුක තණ්හාව එකට උපදින දේ.
නිවන් අවබෝධයට හේතු නොසෙවිය යුතු වුවත් අපට එදිනෙදා ජීවිතයේ හේතු
අවශ්‍ය වෙනවා. බටහිරයන් තරමට ම, අඩු තරමෙන් වෛදිකයන් තරමටවත් නැති
වුවත් අපට හේතු අවශ්‍ය වෙනවා. ඒ හේතු වියුක්ත හේතු වීමට අවශ්‍ය නැහැ. වියුක්ත හේතු
සෙවීම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ අංගයක්. වෛදික බමුණන් ද තරමක් ඒ
මගෙහි ගිය අය. පෘථග්ජනයන් වූ අප හේතු සොයනවා. අප විශ්වාස කරන බුදුදහම (බුදුදහම්
රාශියක් ආසියාවේ තියෙනවා. බටහිර ද යථාර්ථවාදී බුදුදහමක් තියෙනවා. බුද්ධාගම් ඊටත්
වඩා තියෙනවා) විශ්වාස කිරීමට හේතුව කුමක් ද? අප සමහරුන් බෞද්ධ (සිංහල හෝ කුමක් හෝ) පවුල්වල උපන් අය වීම එක්
හේතුවක් වන්න පුළුවන්.
මටත් බුදුදහම විශ්වාස කිරීමට හේතුවක් තියෙනවා. මා සිංහල බෞද්ධ පවුලක
උපන් අයකු වුවත් පසුව මාක්ස්වාදියකු හා බටහිර විද්‍යාව පිළිගත් අයකු වුණා. එහෙත්
මා නැවත බුදුදහමට පැමිණියා. එය එක් රැයකින් වූවක් නො වෙයි. චතුස්කෝටිකය, ක්වොන්ටම් භෞතිකය, බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව තේරුම් ගැනීම, මා විශ්වාස කරන බුදුදහම හේතු නොසොයන බව තේරුම්
ගැනීම, බුදුහමෙහි දැනුම යනු සංස්කරණයක් බව
විස්තර කිරීම, ඒ සංස්කරණය අනිත්‍ය දුඃඛ අනාත්ම
අනවබෝධය නිසා කෙරෙන්නක් බව පටිච්චසමුප්පදායෙහි සඳහන් වීම ආදිය මට බුදුහාමුදරුවන්
විශ්වාස කිරීමට හේතු වුණා. උන්වහන්සේ වෛදික බමුණන්ගෙන් කැඩෙන්නේ වර්ණ භේදයට
විරුද්ධවීම නිසා නො වෙයි. වර්ණ භේදය අනිත්‍ය දුඃඛ අනාත්ම අනවබෝධය මත පදනම් වන තවත්
බොරුවක්.
වර්ණ භේදය ද ඇතුළු සියලු
දැනුම අනිත්‍ය දුඃඛ අනාත්ම අනවබෝධය පදනම් කරගෙන සංස්කරණය කෙරෙන (අවිජ්ජා
පච්චයා සංඛාරා) බොරු. ඒ බොරු වියුක්ත කර ඒ තේරුම් කිරීමට යැයි කියමින් ගොතන
වියුක්ත හේතු (හිතළු, කතන්දර) පට්ටපල් බොරු. බටහිර විද්‍යාව
පට්ටපල් බොරු වන්නේ ඒ අරුතෙන්. ඒ සියල්ලත් සමග ඊනියා යථාර්ථයත් පට්ටපල් බොරුවක්
වෙනවා. යථාර්ථය පංචෙන්ද්‍රිය ආශ්‍රයෙන් ගෝචර කර ගත් පඬියකු සිටින්නේ ද?
ඒ සියල්ල මැද අප හේතු සමග ජීවත් වෙනවා. අප පරිගණක යොදා ගන්නවා. මේ
ලිපිය ලියන්නේත් කියවන්නේත් පරිගණකය ඇසුරෙන්. අප මෝටර් රථවල ගමන් කරනවා. හදවත්
සැත්කම් කර ගන්නවා. ඒ බටහිර තාක්‍ෂණය. අප
ජීවත් වීමේ දී ආහාර අනුභව කරනවා. ඒ ජීවත් වීම සඳහා කරන දේ. ජීවත් නොවී මළ පමණින්
සසර කෙළවර වන්නේ නැහැ. එසේ කෙළවර වන්නේ නම් ජීවත් නොවන්නට කටයුතු කරන්න පුළුවන්.
සියලු දැනුම් බොරු යන්න මට බුදුදහමෙන් ලැබෙන ඉගැන්වීම. මට එය
බුද්ධියෙන්, මනසෙන් තේරෙනවා. මනස නොමැතිව ඒ අවබෝධ
කර ගැනීමට කල්ප ලක්‍ෂ ගණනක් සසර සැරිසැරීමට සිදුවන බව මා දන්නවා. මට සසර ප්‍රත්‍යක්‍ෂයක්
නො වෙයි. එහෙත් සියලු දැනුම් බොරු යයි දෙසූ බුදුන්වහන්සේ විශ්වාස කරමින් මා සසර ද
විශ්වාස කරනවා. සසර යන්න ද දැනුමක් බව මා නොදන්නවා නො වෙයි. මට මා ගැන තේරුම් කර
ගැනීමේ දී සංකල්ප අවශ්‍ය වෙනවා. බොරු වලින් තොරව අපට පැවැත්මක් නැහැ. බොරුව ඇත්ත
යැයි පිළිගැනීම පැවැත්මේ මුලයි. බොරුව, බොරුව
බව අවබෝධ කළ විට පැවැත්ම නැති වෙනවා. නිවන් අවබෝධ වෙනවා. එය නිෂේධයක්, උච්ඡෙදයක් නො වෙයි. පැවැත්ම ම බොරුවක්. බොරුව, බොරුවක් බව අවබෝධ කර ගැනීම උච්ඡෙදයක්
නො වෙයි.
මා දැනට හිතන නිවන ගැන බොහෝ දෙනා එකඟ වන්නේ නැහැ. ඔවුන් සමහර අයකුට
නිවන් දකින්න ඕන. සමහරකුට නිවන සදාකාලික සුවයක්. සමහරුන්ට පරම සත්‍යයක්.
පරමාර්ථයක්. නිවන තැනක්වත් දෙයක්වත් නො වෙයි. එය මනසින් තොරව පවතින්නක් හෝ
නොපවතින්නක් හෝ නො වෙයි. නිවන යන නාම පදය අපට අවශ්‍ය වුවත් එහි නාම අරුතක් නැහැ.
මනසින් තොරව පවතින නිවනක් මනසින් තොරව විස්තර කරන්න යැයි ඉල්ලන්නේ ලන්ඩනයේ බටහිර
දර්ශනය ඉගෙන ගත් පඬියන්. ඔවුන් තමන් දන්නේ බොරු පමණක් බව දන්නේ නැහැ.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 අගෝස්තු 22