Main Logo

Thursday 30 June 2022

සජිත් රනිල්දාසගෙ විරෝධතා දේශපාලනයට

 

සජිත් රනිල්දාසගෙ විරෝධතා දේශපාලනයට 

 

අද මෙරට පවතින්නේ විරෝධතා දේශපාලනයක්. එහෙමත් නැත්තන් විශ්වවිද්‍යාල (කැම්පස්) දේශපාලනයක්. එය වෘත්තීය සමිති දේශපාලනයකට නෑකම් කියන දේශපාලනයක්. බලය ලබා ගැනීමට කරන දේශපාලනයක් නැහැ. ආණ්ඩුවටත් බලය රැක ගැනීමට කරන්න තරම් දෙයක් නැහැ. ආතල්ගම ඊනියා අරගලය පුස්සක් වෙලා ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ක්‍රීඩාංගනයට සටන් පාඨය, ගෝටා ගෝ හෝම් යන්න, ගෙනියනවා. ඔවුන්ට ඕස්ත්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග ඕස්ත්‍රේලියාවට යන්න පුළුවන්.

Wednesday 29 June 2022

අනුරාධපුරයට විදේශ ආධාර ලැබුණෙ නැහැ

 අනුරාධපුරයට විදේශ ආධාර ලැබුණෙ නැහැ

 

ඊයේත් පෙරේදාත් අප සිටියේ අනුරාධපුරයේ. ඊයේ ලිපිය ලිවීමට වෙලාවක් තිබුණේ නැහැ. අනුරාධපුරය කියන්නේ ලෝකයේ පැරණි ම නගරයක් නැත්නම් පුරයක්. මහාවංසය කියන විධියට අනුරාධපුරය ඉතා සැලසුම් සහගත ව ඉදිකරන ලද්දක්. එමෙන් ම එය අවුරුදු දහසකට වැඩි කලක් ලංකාවේ අගනුවර ව පැවතියා. එවැනි අගනුවර ලෝකයේ එතරම් නැහැ. අප අමතක කළත් ලෝකයේ ඓතිහාසක වශයෙන් පැරණිම වෘක්‍ෂය ඇත්තේ අනුරාධපුරයෙයි. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඓතිහාසික වශයෙන් කියන එකේ තේරුම ඒ පිළිබඳ ව ඓතිහාසික වාර්තාවක් තිබෙනවා  කියන එකයි. ඊට වඩා පැරණි ගස් ඇති. එහෙත් ඒ පිළිබඳ ඓතිහාසික සටහන් නැහැ.

Monday 27 June 2022

රනිල්දාසගෙ වාසනාව

 රනිල්දාසගෙ වාසනාව 


රනිල්දාස ඉතා වාසනාවන්ත දේශපාලන නායකයෙක්. ක්වොන්ටම් ජාගොඩත් වාසනාවන්ත දේශපාලනඥයෙක්. ඔවුන් කිසි දා බලයට පත්වන්නේ නැහැ. එබැවින් බලයට පත්වුණොත් අහවල් දේ කරනවා කියා කියන්නත් බලයේ සිටින අයගේ වැරදි කියන්නත් ඔවුන්ට කිසිම බයක් පැකිළීමක් නැහැ. සාමාන්‍යයෙන් දේශපාලනඥයන් බලයේ නැති විට පොරොන්දු දෙන්නත් බලයේ ඉන්නවිට පොරොන්දු කඩන්නත් දක්‍ෂයන්. පොරොන්දු දීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් පොරොන්දු ඉටු නොකිරීීමේ දී ප්‍රශ්න ඇති වෙනවා.

Sunday 26 June 2022

මුළු ලෝකයට ම ඉංගිරිසි දැනුම් ගහ ලබා දීම

 

මුළු ලෝකයට ම ඉංගිරිසි දැනුම් ගහ ලබා දීම

 

ඉංගිරිසින් ඇති කළ අධ්‍යාපනය අද ලෝකය පුරා ආධිපත්‍යවාදීව  පතුරුවලා. ඉංගිරිසින් විසින් වර්ධනය කෙරුණේ යුරෝපයේ, විශේෂයෙන් ම බටහිර යුරෝපයේ බිහිවුණු අධ්‍යාපනයක්. එහි මුල ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි. ග්‍රීකයන් ඇති කළ ඇකඩමි ලයිසියම් වැනි ආයතන බටහිර යුරෝපයේ අධ්‍යාපන ආයතනවල පුරෝගාමින් කියන්න පුළුවන්. පසුව රාජකීය විද්‍යාලය නමින් හැඳින්වුණු ආයතනය මුලින් හඳුන්වනු ලැබුයේ කොළඹ ඇකඩමිය ලෙස. එය මුල සිට ම රජයේ ආයතනයක් ලෙස පැවති බවට මතයක් තියෙනවා. එහෙත් එය ද ඇංග්ලිකන් පල්ලියේ පාසලක් ලෙසයි මුලින් පිහිටුවා ඇත්තේ. රජයේ ආයතනයක් වුවත් එය ක්‍රිස්තියානි සංස්කෘතියෙ.

Saturday 25 June 2022

ඉන්දීය බලපෑම

 

ඉන්දීය බලපෑම

 

මෙයත් කෙටි සටහනක් පමණයි. අද අපේ ආර්ථික අර්බුදයට හේතුව අවුරුදු හැත්තෑවක් පමණ අප අපේ ආදායමට වඩා වියදම් කිරීම බව අති විශාල බහුතරය පිළිගන්නේ නැහැ. විශේෂයෙන් ම  නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මධ්‍යම පංතියේ බහුතරය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් අද තම දරුවන්ට බොහෝ විට මුදල් ගෙවා පෞද්ගලික පාසල්වල ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වනවා. තමන්ට නියම තැනට යෑමට නොහැකි වූයේ සිංහලෙන් අධ්‍යාපනය ලැබීම නිසා යැයි සිතන්නන් ද බොහෝමයි.

Friday 24 June 2022

සිංහලයන් කහ ඇඳීම හා කහ ඇඳ ගැනීම

 

සිංහලයන් කහ ඇඳීම හා කහ ඇඳ ගැනීම

 

ඉන්දීය ඉහළ නියෝජිත පිරිසක් ඊයේ ලංකාවට ඇවිත් පැය කිහිපයකින් පසු ආපසු ගියා. ඔවුන් ජනාධිපති මෙන් ම අගමැතිත් හමුවුණා. අද ලංකාව බලවතුන්ගේ කෙළි මඬලක් වී ඇති බව පැහැදිලියි. බොහෝ දෙනා සඳහන් නොකළත් යුක්‍රේනයට පසුව ලෝක දේශපාලනයේ වැදගත් ම රට ලංකාවයි. අපට හැදෙන්න හරි නැතිවෙන්න හරි අවස්ථාවක් ඇවිත් තියෙනවා. හැදෙන්න නම් කළ යුත්තේ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීමයි. අමතක කරන්න එපා නැවත පිහිටුවීම මිස පිහිටුවීම නො වෙයි. එය කොහේවත් නැති, නොතිබූ සමාජවාදයක් ඇති කරනවා වගේ නො වෙයි. අද ඊනියා මාක්ස්වාදීන් පශ්චාත් මාක්ස්වාදීන් කරන්නේ මාක්ස්වාදය නමින් කොමියුනිස්ට්වාදයක් පංති අරගලයක් නැති බහුබූතයක් ගැන බටහිරයන් කියන දේ තමන්ට තේරෙන අයුරින් ගිරවා දැමීම පමණයි.

 

Thursday 23 June 2022

ආතල්ගම නව වටයේ සාමකාමී මානව අයිතිවාසිකම්

 

ආතල්ගම නව වටයේ සාමකාමී මානව අයිතිවාසිකම්

 

 

ආතල්ගම නව වටයක් ආරම්භ කරල ගෝඨාභය  පුටුවෙ තියලා ගෙදර ගිහිල්ලා. වමාලා සුපුරුදු පරිදි නිර්මාලාප හා නර්මාලාප කියවනවා. ඔවුන්ට සකර්බර්ග් අනාථ කඳවුර තියෙන කම් ප්‍රශ්නයක් නැහැ. අද මෙරට පවතින්නෙ අමෙරිකන් එක්සත් ජනපද හා ඉන්දියන් අණසක යටතෙ නොවුණත් ඔවුන්ගෙ කැමැත්ත පරිදි කටයුතු කරන  රාජ්‍යයක්. මෙරට රාජ්‍යයට ඒ රටවල කැමැත්තට පිටින් ගිහින් කිසිවක් කරන්න බැහැ. අප ඒ රටවල අණසකට  තවම යටත් නැහැ. එහෙත් රනිල් තව කලක් අගමැති වෙලා හිටියොත් අප ඔවුන්ගෙ අණසකට යටත් වේවි. රනිල් අගමැති වුණෙත් ඔවුන්ගෙ අවශ්‍යතාවට.

Wednesday 22 June 2022

ක්‍රිකට් හා රට

 

ක්‍රිකට් හා රට

 

රනිල්දාස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතලා. කවුද  එයට ප්‍රතිචාර දක්වමින් කියලා  වෘත්තීය සමිතියක් අටව ගන්න බැරි වුණ එකම තැන බව. ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒ අතර දරුවකු ඇසුවා ලංකාව දිනන්නෙ ලංකාව හොඳ වෙලා නිසා ද නැත්නම් ඕස්ත්‍රේලියාව නරක් වෙලා නිසා ද කියලා. ඒකත් විමසා බලන්න ඕන. අර වෙලාවෙ පා දඟ පන්දු යවන්නන් යොදා ගැනීම හරිද වගේ ප්‍රශ්න ෆින්ච් සලකන්නෙ වැදගත් ප්‍රශ්න ලෙස නො වෙයි. ඒ ඒ අවස්ථාව අනුව නායකයන් තමන් සුදුසු යැයි හිතන පරිදි ක්‍රියා කරනවා. කිසිවකුටවත් වාස්තවික ව කියන්න බැහැ මේ වෙලාවෙදි කළ යුත්තෙ මොකක් ද කියල. ඔය ජාමුලට යනවාද නැද්ද ගිය වෙලාව හරිද වගේ ප්‍රශ්නත් වැදගත් ප්‍රශ්න නො වෙයි.

 

Tuesday 21 June 2022

හූල්ගේ හාමදුරුවාදය

 

හූල්ගේ හාමදුරුවාදය

 

සියලු ආකාරයේ සිංහල බෞද්ධ විරෝධීන් සිතන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අවසානය ළඟා වී ඇති බවයි. සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහස පරාජය වී ඇතැයි ඔවුන් සිතනවා. ගෝඨාභය රාජපක්‍ෂ සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩ නගාවි යැයි අප සිතූ බව ඔවුන්ගේ මතයයි. එහෙත් අප ජනාධිපතිවරණයට පෙර සිට ම කියා ඇත්තේ මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටවත් නුසුදුසු බවයි. රාජපක්‍ෂලා පොදුවේ ගත්කල දේශීය දැනුම ගැන  විශ්වාසයක් තැබුවේ නැහැ. පහුගිය කාලයේ රසායනික පොහොර තහනම් කෙළේ දේශීය ගොවිතැනකට පදනම දැමීමට නොව පුංචි බණ්ඩාගේ වුවමනාවට ඩොලර් ටිකක් ඉතුරු කර ගැනීමට පමණයි. වකුගඩු රෝගය ගැන ආණ්ඩුව ක්‍රියා කෙළේ බටහිර වෙදමහතුන්ට අවශ්‍ය ආකාරයට. අප කියන විධියට වැඩ කිරීමට නොහැකි බව මහින්ද රාජපක්‍ෂ කියා ඇති අතර බැසිල් රාජපක්‍ෂ කිවුවේ අප ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන ආසනික් ගැන කතා කරන බවයි. වකුගඩු රෝගය හා රසායනික පොහොර අතර සම්බන්ධයක් ඇතැයි රාජපක්‍ෂලා විශ්වාස නොකළ බවට හොඳම  උදාහරණය ඔවුන් අවුරුදු කිහිපයක් ඒ පොහොර ගොවීන්ට නොමිලයේ ලබාදීමයි.

Monday 20 June 2022

සජිත්ට හා රනිල්දාසට යෝජනාවක්

 

සජිත්ට හා රනිල්දාසට යෝජනාවක්

 

ඊනියා නිර්පාක්‍ෂික අරගලයටත් පෙර ඇති වූ ඉල්ලීමක් වූයේ සරවපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමයි. මේ කෙටි සටහන සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හා මැතිවරණයක් ගැනයි.

Sunday 19 June 2022

දහම අත්හැර ඩොලර් බදා ගැනීම

 දහම අත්හැර ඩොලර් බදා ගැනීම

 

අද මූලික ප්‍රශ්නය ඩොලර් නැතිකම. ඩොලර් හොයා ගන්නෙ කොහොමද කියන එකයි අද ප්‍රශ්නය. ඒකට කාටවත් විසඳුමක් නැහැ. යැපුම් ආර්ථිකය නැතුව නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම ගැන අද හැමෝ ම පාහෙ කතා කරනවා. ඒත් ඒක කරන්නෙ කොහොමද කියන එක ගැන එකඟත්වයක් නැහැ. සමහරු රාජ්‍ය අංශය ගැන කියනවා. තවත් සමහරු දේශීය පෞද්ගලික ව්‍යාපාරිකයන් ගැන කියනවා. තවත් සමහරු විදේශීය ව්‍යාපාරිකයන් ගැන කියනව.

Saturday 18 June 2022

මධ්‍යම පංතියට තම ප්‍රශ්නයට විසඳුම් නැහැ

 

මධ්‍යම පංතියට තම ප්‍රශ්නයට විසඳුම් නැහැ

 

රනිල් අගමැති වෙලා මාසෙකට වැඩියි. ආණ්ඩුව ඔහුට භාර දුන්නෙ ආර්ථික අර්බුදය විසඳන්න. ඔහුට ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන බව රංගෙ බණ්ඩාර වජිර අබේවර්ධන වැනි විද්වතුන් කියල තිබුණ. මේ ජාත්‍යන්තර සම්බන්ධකම් කියන්නෙ බටහිර ක්‍රිස්තියානි රටවල් හා ජපානය සමග තියෙන සම්බන්ධකම්වලට. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ බටහිරයන් ජපානයෙ දේශපාලන අඬු කැඩුවා. ඒ යුද්ධෙ ඉවර වුණාටත් පස්සෙ හිරෝෂිමා නාගසාකි ප්‍රදේශවලට පරමාණු බෝම්බ දාලා. බටහිරයන් ඉතාලියටවත් ජර්මනියටවත් ඒ වැඩේ කළේ නැහැ. ඒ රටවල් දෙක තමයි නට්සිවාදය ක්‍රියාත්මක කළ රටවල්. නට්සිවාදය කියන්නෙ ප්‍රධාන වශයෙන් අනෙක් මතවාද ආයුධවලින් ත්‍රස්තවාදයෙන් ඊනියා මූලධර්මවලින් යටපත් කිරීම. ලෝකයේ පළමු නට්සිවාදය තිබුණෙ වතිකානුවෙ පාප්වහන්සේ යටතේ.

Friday 17 June 2022

අනෙක් රටවල් තියෙන්නෙ අපට තෙල් ගන්න ණය දෙන්න ද?

 

අනෙක් රටවල් තියෙන්නෙ අපට තෙල් ගන්න ණය දෙන්න ද?

 

ජනතා විමුක්ති පෙරමුණ අද පවත්නා ආර්ථික අර්බුදය අනෙක් දේශපාලන පක්‍ෂවලට වඩා හොඳින් තේරුම් ගනිමින් ඉන්න බවක් පේන්නෙ නැහැ. කවුරුත් ප්‍රශ්නය ගැන කියන්නෙ තම තමන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුරූප ව. ලාල් කාන්ත කියනවා සමහරුන්ට අනුව ප්‍රශ්නයට හේතුව බැසිල්. එසේ කියන්නේ විමල් ගමන්පිළ වැනි බැසිල් විරෝධීන්. තවත් සමහරුන්ට අනුව ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ පහුගිය අවුරුදු දෙකහමාරෙදි. ඒ ප්‍රධාන වශයෙන් ම ස ජ බ කණ්ඩායම. තවත් සමහරු ප්‍රශ්නය 1977න් පසුව ඇති වූ එකක් ලෙස දකිනවා. ඒ මූලික වශයෙන් ජේ ආර් හා විවෘත ආර්ථික විරෝධීන්.

Thursday 16 June 2022

කෝ මේ ආතල්ගම

 

කෝ මේ ආතල්ගම

 

මෙය ඉතා කෙටි සටහනක්. දැන් ජාතික රූපවාහිනයේ ප්‍රවෘත්ති ප්‍රචාරයේ ආතල්ගම ගැන සඳහන් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ රූපවාහිනිය රනිල් අගමැති වූ පසුත් ආතල්ගම දිගින් දිගට ම ප්‍රචාරය කළා. රනිල් ආතල්ගමේ හිතවතෙක්. ඔහු රුවන් විජේවර්ධනට ආතල්ගම ගැන සොයා බලන්නත් කිවුවා. රුවන් හොයා බැලුවෙ නැද්ද? ආතල්ගමට සිද්ධවෙලා තියෙන්නෙ මොකක් ද කියල රුවන්ට පුළුවන් ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වල අර ජනතාවට කියල දෙන්න.

Wednesday 15 June 2022

අප බටහිරයන්ගෙ ගෑස් බලන්නෙ ඇයි?

 

අප බටහිරයන්ගෙ ගෑස් බලන්නෙ ඇයි?

 

මා උගතකුවත් බුද්ධිමතකුවත් නො වේ. මා කියන කිසිවකින් සමාජයට වැඩක් වෙන්නෙ නැහැ. ඒ සමාජය පොදුවෙ ගත්ත ම මට වඩා උගත් හා බුද්ධිමත් නිසා. ජාතිකවාදීන් ද මට වඩා උගත් හා බුද්ධිමත්. මා ලියන්නේ ඒ කිසිවකුටවත් නොවෙයි. මගේ අදහස් නිරවුල් කර ගැනීමට පමණයි. මා හිතන්නෙ නැහැ හාමුදුරුවරු වැඩි නමක්, ගුණදාස අමරසේකර, වසන්ත බණ්ඩාර, අශෝක අමරතුංග, කල්‍යානන්ද තිරාණගම වැනි ජාතිකවාදීන් මේ ලිපි කියවනවා කියා. ඔවුන් කිසිවකු බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන්නේ නැහැ. ඔවුන් වැඩිම වුවහොත් විද්‍යාත්මක බෞද්ධයන්. පොදුවේ ගත්ත ම වමාලත් මේ ලිපි කියවන්නේ නැහැ. කියවන්න ඕනත් නැහැ. බුද්ධිමත් ඔවුන් මගෙන් මොනව ඉගෙන ගන්න ද? කොහොමටත් මා කිසිවකුට කිසිම දෙයක් උගන්වා නැහැ. සමාජයට මගෙන් ඉගෙන ගන්න දේකුත් නැහැ. පොදුවේ ගත්තම උගත් සමාජය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අදහස් දරන්නෙ. මා සිංහල බෞද්ධ සංස්කෘතියෙ. මෙතෙක් මා මේ පිටුවේ හඳුන්වා ගත්තේ ගුරුවරයකු වශයෙන්. එය වැරදියි. මා ගුරුවරයකු නො වෙයි.

Tuesday 14 June 2022

අනුබුදු මිහිඳු හිමියන් ඉන්දියාව හා ලංකාව

 

අනුබුදු මිහිඳු හිමියන් ඉන්දියාව හා ලංකාව

 

අද පොසොන් පෝදා. මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දිනය. අප එදිනටත් පෙර බුදුදහම දැන සිටියා. ඒ බවට සාක්‍ෂි තියෙනවා. එදා සිදු වූයේ එක් අතකින් නිල වශයෙන් බුදුදහම මෙරටට හඳුන්වාදීම. එයටත් වඩා වැදගත් වන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇති කිරීම. එයින් කියන්නේ අප එයට පෙර ශිෂ්ට නොවූ බව නොවෙයි. විජය පැමිණෙන විටත් කුවේණිය සිටියේ රෙදි කටිමින්. එකල නිමි ඇඳුම් නම් තිබෙන්න නැතුව ඇති.

Monday 13 June 2022

වමාලා, නාපු විප්ලවය හා ජාතිකත්වය

 

වමාලා, නාපු විප්ලවය හා ජාතිකත්වය

 

ඉස්සර තිබුණු වමටත් දැන් ඉන්න වමක් නැති වමාලාටත් ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නම් මෙරට ජාතිකත්වය හඳුනා ගැනීමට නොහැකි වීම. ජාතිය සංස්කෘතිය ආදිය මත නොව ඊනියා පංතිය මත පදනම් ව ලෝකය දකින මාක්ස්වාදීන්ට එසේ නොහැකි වීම පුදුමයට කරුණක් නො වෙයි. ඩිව් ගුණසේකරගෙන් නිකමට අහල දැන ගන්න දෙන උත්තරේ මොකක් ද කියල. මාක්ස්වාදය කියන්නෙ විලම්බීතයක්. එය මාක්ස් ඊනියා විද්‍යාඥයකු වෙන්න ගිහිල්ල අනාගත්ත කතාවක්.

Sunday 12 June 2022

රනිල්දාස හා ධම්මික පෙරේරා සංයෝගය

 

රනිල්දාස හා ධම්මික පෙරේරා සංයෝගය

 

රනිල්දාසත් කියල තිබුණ අපේ පරිභෝජන රටා වෙනස් කරන්න ඕන කියලා. එතන තියෙන්නෙ ටීයුබ් ලයිට් ප්‍රමාදයක්. අධිපරිභෝජනය හැමෝට ම වගේ පොදු වුණත් වඩාත් ම ගැලපෙන්නේ මධ්‍යම පංතියටයි. ඉහළ හා පහළ දෙගොල්ලන්ට ම. ඉහළ ධනපතියන් මෙරට නැහැ. ධම්මික පෙරේරා වුණත් ඉහළ මධ්‍යම පංතියේ අයකු පමණයි. ධම්මික පෙරේරා හා රනිල්දාස හොඳ මිතුරන්. සමහර විට සාමාන්‍ය ජෙප්පන් ඒ මිතුරුකම දන්නෙ නැතුව ඇති. ලාල් කාන්ත නම් දන්නව ඇති.

Saturday 11 June 2022

මාක්ස්වාදය ලොකු පිම්මක් පැනලා

 මාක්ස්වාදය ලොකු පිම්මක් පැනලා

 

පසුගිය සියවසේ ලෝකයේ සිටි ඉහළ ම ගණිතඥයකු වූ ජී එච් හාඩි ගණිතඥයන්ගේ සංගමයේ වාර්ෂික රැස්වීමේ දී ගණිතයට සවුදිය පුරමින් මෙය ගණිතයට වේවා. ගණිතයෙන් ලෝකයට කිසිම වැඩක් නො වේවා කියා පැවසුවා කියනවා.  හාඩි එකල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හිටි විශිෂ්ටතම ගණිතඥයා වූවා පමණක් නොව රාමනුජන් එංගලන්තයට ගෙන්වා ගැනීමට කටයුතු කළ පුද්ගලයා ද වුණා.

Friday 10 June 2022

කෙටි සටහනක්

 කෙටි සටහනක්

 

සර් ෆේල් ව්‍යාපෘතිය පටන් ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී මාස දෙකක් යැමටත් පෙර. එය ඉතා පැහැදිලි ව ඉංගිරිසි ව්‍යාපෘතියක්. ඒත් ඒ ව්‍යාපෘතිය අසමත් වෙලා. කාදිනල්තුමා එතුමාගේ දෑගසවුවන් සජිත් රනිල් රනිල්දාස පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ආදී සියල්ලන් හා ආතල්ගම ඊනියා අරගලකරුවන් මැද ගෝඨාභය ගෙදර ගිහින් නැහැ. අරගලකරුවන් හා ඔවුන්ගේ දේශකයන් නම් ගෙදර ගිහින්.

Thursday 9 June 2022

බැසිල්ගේ සමු ගැනීම

 බැසිල්ගේ සමු ගැනීම 


ඇතැමුනට මහින්ද එළවා ගැනීමට අවශ්‍ය වූයේ එමගින් බැසිල් එළවා ගැනීමට හා ගෝඨාභය පාලනය කිරීමට. 


ඔවුන් මහින්ද එළවා ගත්තා. 


අද බැසිල් දේශපාලනයෙන් කෙසේ වෙතත් රාජ්‍ය පාලනයෙන් ඉවත් වුණා.


ඒ ආතල්ගම නිසා නො වෙයි. අර මහින්ද එළවා ගත් ඇතැමුන් නිසා. මහින්ද නැතුව බැසිල්ට රාජ්‍ය පාලනයක් නැහැ.


එහෙත් ඒ ඇතැමුනට තවමත් ගෝඨාභය මෙහෙයවන්න බැහැ.   ඒ ගෝඨාභය ශක්තිමත් නිසා ද? 


ඒ කුමක් වුවත් එකී  ඇතැමුන් දේශපාලනයේ නන්නත්තාර වෙලා. 


පඬි නැට්ටන් අර ආතල්ගම දේශන පැවැත් වූ විද්වත් මහාචාර්යවරුන් ඊටත් වඩා නන්නත්තාර වෙලා පමණක් නොව තම විදග්ධ නග්නත්වයත් ප්‍රදර්ශනය කරලා.


ගෝඨාභය ශක්තිමත් කියා මා කියන්නේ නැහැ.  මාක්ස්වාදය මුසු නොවූ ජාතිකත්වය නම් රටේ ශක්තියෙන් වැඩෙනවා.  


ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි

 

ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි

 

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්‍ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විිදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ. එයට හේතුව වී ඇත්තේ ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වීම බව කියනවා. විදුලි ඉංජිනේරුවන් පිරිසකට රටක් අඳුරේ තබන්න පුළුවන්. ඔවුන් ජනතාව වෙනුවෙන් ජනතාව අඳුරේ තබනවා. ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලය මුදා හැරියේ කවුද? වහා ම එය සොයා බලන්න ඕන. සමහර විට ජනතාව වෙනුවෙන් ජලය මුදා හැරියා වෙන්න ඇති.

Wednesday 8 June 2022

රනිල් සජිත් පරිගණක හා මතකය

 

රනිල් සජිත් පරිගණක හා මතකය

 

රනිල් මේ අගමැතිකම බාර ගත්තෙ එකම එක කාරණයක් හින්ද පමණයි. ඒ ගෝඨාභය ගෙදර අරින්න බැරි නම් ජනාධිපති බලතල කප්පාදු කරල අගමැති බලතල වැඩි කරන්න. ඔහුට ආර්ථික අර්බුදය විසඳන්න බැරි බව පැහැදිලියි. ඔහු කොහොමටවත් විශ්වකර්මයකු නො වෙයි. ඔහු විශ්වකර්ම ගැන කියවල ඇති. ඒත් ඔහුගෙ සංස්කෘතියෙ විශ්වකර්ම නැහැ. ඇලඩින් නම් ඉන්නවා. ඒත් පහන හොයාගන්න බැරුවයි ඉන්නෙ.

Tuesday 7 June 2022

එයරොෆ්ලොට් හා තවත් කතා

 

එයරොෆ්ලොට් හා තවත් කතා

 

එයරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි ව පැවරූ වාරණ නියෝගය ඉවත් කෙරිලා. ගුවන් යානය ආපහු ගිහින්. එහෙත් සිදු වූ හානිය අති විශාලයි. මේ සිද්ධියෙන් එක් පැත්තකින් මෙරට නීතියේ ඇති අඩුපාඩුකම් පෙනී ගියා. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් අභිබවා කුඩා සමාගමකට රාජ්‍ය දෙකක් අතර ප්‍රශ්නයක් ඇති කිරීමට අධිකරණය යොදා ගැනීමට හැකි බව පෙනී ගියා. අධිකරණය  වාරණ නියෝගය දීමේ දී එක් පාර්ශ්වයකින් කරුණු විමසා නැහැ. එය සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නොවනවා ඇති. එහෙත් රාජ්‍ය දෙකක් අතර ඇති විය හැකි ප්‍රශ්නයක දී කළ යුත්තේ කුමක් ද?

 

Monday 6 June 2022

හඳුන්නෙත්ති නියමය

 

 

හඳුන්නෙත්ති නියමය

 

බොහෝ දෙනා තමන් නිවුටන්ගේ තුන්වැනි නියමය  දන්නා බව දන්නවා. ඕන නම් තමන් දන්නා බව හිතනවා කියා කියන්න. මා දන්නේ නැහැ නිවුටන්ගේ නියම පාසලේ උගන්වන්නේ මොන පංතිවල ද මොන ශිෂ්‍යයන්ට ද කියා. මා හිතන්නේ සාමාන්‍ය පෙළට විිද්‍යාව විෂයක් ලෙස උගන්වනවා කියා.  සාමාන්‍ය පෙළ විද්‍යාව බොහෝ දෙනා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. එහි නිවුටන්ගේ තුන්වැනි නියමය උගන්වනවා ද කියා මා දන්නෙ නැහැ.

Sunday 5 June 2022

විසිඑකේ පෙරහුරු වූ එයරෆ්ලොට් හා දුමින්ද

 විසිඑකේ පෙරහුරු වූ එයරෆ්ලොට් හා දුමින්ද  


එක් පඬි නැට්ටකු කියා තිබුණා මා වැන්නන් කියන දේ අධෝවාතයක් තරමටවත් සලකන්නෙ නැති බව. තවත් අයකු අසා තිබුණා මා තුන්වැනි පංතියේ වියුක්ත චින්තකයකු නම් පළමු හා දෙවැනි පංතියේ වියුක්ත චින්තකයන් කවුද කියා. ලංකවේ නම් එවැනි චින්තකයන් නැහැ. මෙරට ඉන්නේ ඉන්ද්‍රිය ගෝචර අධෝවාත ගැඹුරින් අධ්‍යයන කරන විද්වතුන් පමණයි. සමහර විට දෙවැන්නා අසන්න ඇත්තේ ලෝකයේ පළමුවැනි හා දෙවැනි පංතිවල වියුක්ත චින්තකයන් කවුරුන් ද කියා වෙන්න ඇති. 

Saturday 4 June 2022

`අප අහන්න ඕන පඬි නැට්ටන්ගෙ කතා ද?

 

`අප අහන්න ඕන පඬි නැට්ටන්ගෙ කතා ද?

 

එක් පඬි නැට්ටකු කියා තිබුණ අප කුඩා කල අපේ මනසට දාන මනස්ගාත අත්හරින්න ඕන කියල. අප බටහිර දැනුම අපේ මනසට දාන ඊනියා "දෘෂ්ඨිවාදී නොවන" කතා අප ඇසිය යුතු බවයි පඬි නැට්ටා කියන්නෙ.  අප ඇසිය යුත්තේ කුමන කතා ද? අපට කුඩා කාලයේ දෙමවුපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් හා විශේෂයෙන් ම හාමූදුරුවන්ගෙන් අහන්න ලැබෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියේ කතා. ඒ කතාවලින් දිව්‍ය ලෝක අපාය ආදිය ගැනත් කියැවෙනවා. සංසාරය හා නිවනක් ගැනත් කියැවෙනවා. අප අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ කතා අපේ කතා බවට පත් කර ගන්නවා. පාසල් යෑමට පටන් ගැනීමෙන් පසු වෙනත් කතා ද අහන්න ලැබෙනවා. ඒ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ කතා.

Friday 3 June 2022

දයාසිරිගෙ ආරාධනය

 දයාසිරිගෙ ආරාධනය

 

දයාසිරි ජයසේකර ඊනියා ජනතාවට ආරාධනය කරලා විසිඑක්වැනි සංශෝධනයට පක්‍ෂවන ලෙස මන්ත්‍රීවරුන්ගෙ ගෙවල් වටලල බල කරන්න කියල. එය තර්ජනයක් වෙන්න පුළුවන්. මේ දවස්වල ගෙවල් වටලන්න එන අය ගෙවල් ගිනි තියන්නත් පුරුදු වෙලා.  අර මැයි නවවැනි දා ගෙවල් වටලන්න විතරක් නොවෙයි ගිනි තියන්න කියපු අයත් හිටියා. ඒ සමහරු අද කියනව ප්‍රචණ්ඩත්වට විරුද්ධව අතිප්‍රචණ්ඩත්වයක් ප්‍රකාශ කළාම එයට විරුද්ධ වෙන්න බැහැ කියල. එමගින් ඔවුන් කරන්නෙ ගෙවල් ගිනි තියපු එක සාධාරණීකරණයක්. අද තරම් සමාජය වෛරය ඊර්ෂ්‍යාව පදනම් කරගෙන වැඩ කරනවා පමණක් නොවෙයි එය සාධාරණීකරණය කරන කාලයක් තිබිල නැතුව ඇති.

Thursday 2 June 2022

දහනවයත් විස්සත් දෙක ම අහෝසි කරමු

 දහනවයත් විස්සත් දෙක ම අහෝසි කරමු


අද රටේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් මිස දේශපාලන ප්‍රශ්නයක් නො වෙයි. ආර්ථික ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් ම මධ්‍යම පාංතිකයන් ඇති කළ එකක්. මධ්‍යම පාංතියන් අතරත් හොරු ඉන්නව. ඔවුන් සමහරු රාජ්‍ය සේවකයන්. ඒ ඇතැම් නිලධාරීන් ද සමගින්. දේශපාලනඥයන් අතර ද හොරු ඉන්නවා. ඒ්ත් මේ කිසිම හොරකමකින් නොවෙයි වර්තමාන ආර්ථික අර්බුදය ඇති වී තියෙන්නෙ. ආර්ථික අර්බුදය මධ්‍යම පාංතික ජීවන රටාව විසින් හා සුබ සාධන රාජ්‍යය විසින් ඇති කෙරුණක්. අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක්, බොරු උගත්කම වගේ ම පිනට කෑම, එහෙම නැත්නම් වැඩ නොකර කෑම එයට ප්‍රධාන හේතු වෙනවා. මධ්‍යම පංතිය විශේෂයෙන් හා අප සියල්ලන් පොදුවේ තමයි ප්‍රශ්නය ඇති කර තිබෙන්නේ.

Wednesday 1 June 2022

වගා සංග්‍රාමය

වගා සංග්රාමය


 ව්යවස්ථා සංශෝධන කතා පැත්තකට විසි කර ආර්ථික අර්බුදයට විසඳුම් සොයමු. ඇති විය හැකි ආහාර අර්බුදය ජය ගැනීමට ඒ ගැන කතා කර කර නොසිට වගා සංග්රාමය වහා ම අරඹමු. එය ආරම්භ කළ යුතු ව තිබුණේ මාස කිහිපයකට පෙර ය.

අපේ ජීවන ක්රමය වෙනස් කර ගනිමු. අධිපරිභා්ජනය බොරු ෂෝක් බොරු උගත්කම් පසෙක ලා අල්පේච්ඡ සැහැල්ලු ජීවිත ගත කරමු.
සංවර්ධන මාවත් උගත්කම් දැනුම් පද්ධති ඇත්තේ එකක් පමණක් නොවන බව දැන්වත් අවබෝධ කර ගනිමු.