විසිඑකේ පෙරහුරු වූ එයරෆ්ලොට් හා දුමින්ද
එක් පඬි නැට්ටකු කියා තිබුණා මා වැන්නන් කියන දේ අධෝවාතයක් තරමටවත් සලකන්නෙ නැති බව. තවත් අයකු අසා තිබුණා මා තුන්වැනි පංතියේ වියුක්ත චින්තකයකු නම් පළමු හා දෙවැනි පංතියේ වියුක්ත චින්තකයන් කවුද කියා. ලංකවේ නම් එවැනි චින්තකයන් නැහැ. මෙරට ඉන්නේ ඉන්ද්‍රිය ගෝචර අධෝවාත ගැඹුරින් අධ්‍යයන කරන විද්වතුන් පමණයි. සමහර විට දෙවැන්නා අසන්න ඇත්තේ ලෝකයේ පළමුවැනි හා දෙවැනි පංතිවල වියුක්ත චින්තකයන් කවුරුන් ද කියා වෙන්න ඇති.
ලෝකයේ පළමු පංතියේ වියුක්ත චින්තකයන් ප්‍රධාන වශයෙන් ම ඇත්තේ ගණිතඥයන් අතර. විශේෂයෙන් ම නැගෙනහිර යුරෝපයෙ හා ජර්මනියේ යුදෙවුවන් අතර. ගර්ඩ්ල් ඒ සඳහා හොඳ ම උදාහරණය. පැරුන්නන් අතර නිවුටන්, ගවුස්, ඔයිලර්, ලයිබ්නීට්ස්, හිල්බට්, කැන්ටර්, ගලුවා ආදීන් ඉන්නවා. රාමනුජන් වෙන ම ආරක ගණිතඥයෙක්. පැරණි ග්‍රිසියේ ආකිමිඩිස්, යුක්ලීඩ් ආදීන් ද භාරතයේ ආර්යභට්ට වැන්නන් ද හිටියා. ලංකාවේ ගණිතඥයන් බිහි වී නැති බව සඳහන් කරන්න ඕන. ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන් අතර පළමු පංතියේ වියුක්ත චින්තකයන් වන විට්න්, වයින්බර්ග්, ඩිරැක්, මැක්ස්වෙල්, ලොරෙන්ට්ස්, පුවන්කරේ, ෆයින්මාන්, ගෙල්මාන්, ප්ලෑන්ක්, ඉන්දියාවේ බෝස්, චන්ද්‍රසේකර් වැන්නන් ඉන්නවා, ආකිමිඩිස් නිවුටන් හා අයින්ස්ටයින් තිදෙනා ඔවුන්ට ම විශේෂීිත වූ පංතියක ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන්.
ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන් අතර දෙවැනි පංතියේ වියුක්ත චින්තකයන් වන මාටින් රීස්, ෆ්‍රෙඩ් හොයිල්, මගේ ගුරුවරයා වූ විලියම් මැක්රේ ආදීන් ඉන්නවා. ස්ටීවන් හෝකීන් එවැනි දක්‍ෂයෙක් නො වෙයි. ඔහු මාධ්‍ය විසින් පුම්බනු ලැබූ තුන්වැනි පංතියේ ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයෙක්. ෆොන් නියුමාන්ට ඉතාමත් තීක්‍ෂණ මනසක් තිබුණා. එහෙත් ඔහුගෙන් එතරම් ප්‍රදානයක් සිදු වී නැහැ. ලංකාව ගැන කියා වැඩක් නැහැ. මෙරට වියුක්ත චින්තන සම්ප්‍රදායක් නැහැ. ඒ නිසා තමයි මෙරට විද්වතුන් ඉන්ද්‍රිය ගෝචර අධෝවාත අධ්‍යයනය කරන්නෙ.
එහෙත් මට අද අවශ්‍ය වෙනත් අධෝවාතයක් ගැන කතා කරන්න. විද්වතුන් එය ඔවුන්ට පුරුදු විධියට අධ්‍යයනය කරනවා. ඒ විසිඑක්වැනි සංශෝධනය. එහි කතෘ අවිනිශ්චිතයි. විද්වතුන්ට දුගඳ අනුව විසිඑකේ කතෘ අනුමාන කරන්න නම් පුළුවන්. අද සජබ මේ නම් කිරීමටත් විරුද්ධ වෙනවා. ඔවුන් කියන්නෙ විසිඑක ඔවුන්ගෙ කියා. ඔවුන් හා ජ වි පෙ ඕන අධෝවාතයකට උරුමකම් කියනවා. ඒ විසිඑක තවමත් අධිකරණයේ විභාග වෙනව කියනවා. ආණ්ඩුවේ එක විසිතුනලු. අංකය මොකක් වුණත් ඒ සංශෝධනයෙන් කෙරෙන්නෙ ජනාධිපති මගින් ක්‍රියත්මක වන ජනතාවගේ විධායක බලතල කපා දමා ඒ බලතල අගමැති මගින් ක්‍රියාත්මක කිරීම. එය ජනමත විචාරණයකින් තොරව කරන්න බැහැ. දහනවයෙ දි එය කෙරුණෙ ඉතා ජඩ ආකාරයකින්. මා කලින් කියා ඇති කරන්න තිබුණෙ දහනවය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවෙ පනතක් ගෙනෙන එක. එහෙත් එය කෙරුණෙ නැහැ. ඒ වෙනුවට විස්සක් ගෙනාවා. කළ යුතු හොඳ ම දේ නම් දහනවයත් විස්සත් දෙක ම අහෝසි කිරීමයි.
එහෙත් එය කරන්නෙ නැහැ. ජේ ආර්ගෙ 1978 ව්‍යවස්ථාව මෙන් ම සංශෝධන ද ගෙනැත් තියෙන්නෙ පෞද්ගලික කාරණා මත මිසක් රට ගැන හිතල නො වෙයි. විධායක ජනාධිපති ක්‍රමය ඇති කෙළෙ ජේ ආර්. ඒ ඔහුට බලය ගැනීමට. එහෙත් මහින්ද අතින් එය දෙමළ ත්‍රස්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමට යෙදුණ. එදා පටන් සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධීන් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණා. රනිල් තම මාමගෙ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වීමට තවත් හේතුවක් තියෙනවා. ඒ සම්ම ජාතියෙ ඔහුට දැන් තිබෙම ක්‍රමයට ජනාධිපති වෙන්න බැරි වීම.
මෙරට ජනතාව සතු පරමාධිපත්‍යයේ අධිකරණ බලය ක්‍රියාත්මක වන්නෙ පාර්ලිමේන්තුව මගින්. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට අධිකරණයක් හැටියට රැස් වී අධිකරණ තීන්දු ගන්න පුළුවන් කියා හිතනවා. අද පවත්නා සියලු වර්ගවල උසාවි පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වන අධිකරණ බලය විධානය කීිරීමට පිහිටුවා ඇති ආයතන. අද විවිධ උපාමාරුවලින් ඇතැමුන් ඒ ආයතන යොදා ගන්න උත්සාහ කරනවා ජනාධිිපති හා රාජ්‍ය තීන්දුවලට එරෙහිව යෑමට.
පැහැදිලි උදාහරණ දෙක තමයි දුමින්ද සිල්වාට දුන් සමාවට හා එයරෆ්ලොට් ගුවන් යානය මෙරටින් පිටව යෑමට එරෙහිව අධිකරණයට යෑම. මේ එකක්වත් ගැන අධිකරණය තවම තීන්දුවක් දී නැහැ. එයරෆ්ලොට් සමාගම හා අයර්ලන්ත සමාගමක් අතර ඇති ගිවිසුමක් උල්ලංඝනය කළා යැයි අයර්ලන්ත සමාගම වාණිජ අධිකරණයට ගිහින් තියෙනවා. එයරෆ්ලොට් ගුවන් යානාවලට අද බොහෝ ගුවන් තොටුපළවලට යන්න බැහැ. ඒ බටහිරයන් එකතු වී නැගෙනහිර යුරෝපීය චින්තනයේ ප්‍රධාන රට වූ රුසියාවට පහර දීමට යුක්‍රේනය යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ගත වී ඇත්තක්.
එයරෆ්ලොට් හා අදාළ අයර්ලන්ත සමාගම අතර ගිවිසුම අත්සන් කෙළේ මොන රටක දී ද කියා මා දන්නේ නැහැ. එහෙත් බටහිර යුරෝපීය රටක් වූ අයර්ලන්ත සමාගම ලංකාවේ දී අධිකරණයට යෑමෙන් කරුණු කිහිපයක් කියැවෙනවා. ලංකාව යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට විරුද්ධ නොවීම බටහිරයන් සතුටින් භාර ගත්තෙ නැහැ. එකල මෙරට බටහිර ප්‍රධාන නියෝජිතයා වූ රනිල් නොවෙයි අගමැති.
1956න් පසුවයි ලංකාව සෝවියට් දේශය සමග තානාපති සම්බන්ධකම් ඇුති කර ගත්තෙ. ඊට පෙර අප බටහිරයන්ට අවශ්‍ය අන්දමට සෝවියට් දේශය ප්‍රතික්‍ෂෙප කළා. එ ජා ප කියන්නෙ යූ එන් පී. එකල යූ එන් පී කියන සංකේ්තවලට පටබැඳි‘ නාමය වුණෙ උන්ගෙ නෑදෑයන්ගෙ පක්‍ෂය. ඒ නෑයන් ලංකාවෙ අය පමණක් නොවෙයි. බටහිරත් නෑයො හිටියා. ඒ බටහිර නෑයන්ට අවශ්‍ය විධියට තමයි යූ එන් පිය ක්‍රියාත්මක වුණෙ. අදත් එහෙමයි.
අයර්ලන්ත සමාගම මෙරට අධිකරණයට ගියෙ අපට පාඩමක් උගන්වන්න එක්කයි. අප යුක්‍රේන යුද්ධයේ දී රුසියාවට විරුද්ධ වුණෙ නැහැ. එපමණක් නො වෙයි. රුසියාවෙන් තමයි අපට සංචාරකයන් ටිකක් හරි එන්නෙ. ඔවුන් අපේ තේ ගන්නවා. ඔවුන් අපට තෙල් දෙන්න සූදානම්. එහෙත් මෙරට උන්ගෙ නෑදෑයන්ගෙ නිලධාරීන් එයට විවිධ ගිවිසුම් දක්වමින් විරුද්ධ වෙනවා. මේ නිලධාරීන් චීනයටත් කැමති නැහැ. අයර්ලන්ත සමාගමට අවශ්‍ය වෙන්නෙ ලංකාව හා රුසියාව අතර ඇති සම්බන්ධකම් කඩාකප්පල් කරන්න. ඔවුන් රාජ්‍ය තීන්දුවකට විරුද්ධ වෙන්න අධිකරණය යොදා ගන්න උත්සාහ කරනවා. මේ කාරණය රාජ්‍ය තාන්ත්‍රික එකක් නිසා එය අධිකරණයේ වැඩක් කියා ආණ්ඩුවට අත හෝද ගන්න බැහැ.
දුමින්දට දුන් සමාවට අභියෝග කිරීමත් එවැන්නක්. එය ජනාධිපති බලතලවලට විරුද්ධව අධිකරණය යොදා ගන්න පුළුවන් ද කියන එක සොයා බැලීමක්. එහි ප්‍රධාන නීතිඥයෙක් වන්නෙ සුමන්තිරන්. මේ සියල්ල කෙරෙන්නෙ ජනාධිපති බලතල කප්පාදු කරල ගෝඨාභය ගෙදර යැවීමට. ගෝඨා ගෝ හෝම් ආතල්ගම නැති වුණාට ඒ අරමුණ නැති වෙලා නැහැ. අද කෙරෙන්නෙ ගෝඨා ගෙදර යැවීමට අධිකරණය යොදා ගන්න පුළුවන් ද කියන එක පරීක්‍ෂා කිරීමක්.
විසිඑක ඒ සඳහා විහිදුවන තවත් අධෝවාතයක් පමණයි. එමගින් ජනාධිපති බලතල කප්පාදු කර ජනාධිපති තීරණ අධිකරණය මගින් නිෂ්ප්‍රභ කිරීමට උත්සාහ ගැනීමයී උපක්‍රමය. ගෝඨාභය ජනාධිපත ධුරයෙන් ඉවත් කර රනිල් බලයට පත්වීමටයි මේ සූදානම. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු එයට එකඟ ද? මෙය බැසිල් මත පදනම් වෙලා ගන්න තීරණයක් නොවිය යුතුයි. බැසිල් විරෝධය නිසා විසිඑකට පක්‍ෂ නොවිය යුතුයි. පෞද්ගලික කරුණු ඉවත දමා රනිල් බටහිර අනුග්‍රහයෙන් බලතල අත්පත් කර ගැනීමට දක්වන උත්සාහය පරාද කරන්න ඕන.