Main Logo

Monday 27 June 2022

රනිල්දාසගෙ වාසනාව

 රනිල්දාසගෙ වාසනාව 


රනිල්දාස ඉතා වාසනාවන්ත දේශපාලන නායකයෙක්. ක්වොන්ටම් ජාගොඩත් වාසනාවන්ත දේශපාලනඥයෙක්. ඔවුන් කිසි දා බලයට පත්වන්නේ නැහැ. එබැවින් බලයට පත්වුණොත් අහවල් දේ කරනවා කියා කියන්නත් බලයේ සිටින අයගේ වැරදි කියන්නත් ඔවුන්ට කිසිම බයක් පැකිළීමක් නැහැ. සාමාන්‍යයෙන් දේශපාලනඥයන් බලයේ නැති විට පොරොන්දු දෙන්නත් බලයේ ඉන්නවිට පොරොන්දු කඩන්නත් දක්‍ෂයන්. පොරොන්දු දීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් පොරොන්දු ඉටු නොකිරීීමේ දී ප්‍රශ්න ඇති වෙනවා.


රනිල්දාස ක්වොන්ටම් ජාගොඩ වැනි අයට ඕනෑ තරම් පොරොන්දු දීමේත් බලයේ සිටින්නන් විවේචනය කිරීමේත් අසීමිත නිදහසක් තියෙනවා. ඔවුන් කිසි දිනෙක පොරොන්දු කඩ කරන්නේ නැහැ. එයට හේතුව ඔවුන් කිසි දිනෙක බලයට පත් නොවීමයි. පොරොන්දු කඩකරන්න පළමුව බලයට එන්න ඕන. රනිලාදාසට ක්වොන්ටම් ජාගොඩට හා වෙනත් අයට ඒ බය නැහැ. ක්වොන්ටම් ජාගොඩ වැන්නන්ට පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් අඩු මිලට කෑම වේලක් ගත් බවට චෝදනාවක් අහන්නවත් ලැබෙන්නේ නැහැ. මා කියන්නේ නැහැ ඔවුන් පරිගණක දෝෂයක් නිසා බැරිවෙලාවත් පාර්ලිමේන්තුවට පත් වුණොත් පාර්ලිමේන්තු කෑම කාවි කියා. ඔවුන් ගෙදරින් බත් මුලක් බැඳගෙන ඇවිත් කාවි. 


රනිල්දාස පසුගිය දා කියා තිබුණා තමන්ට මාස හයකින් ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න පුළුවන් කියා. ඔහුගෙන් කවුරුන්වත් අහන්න යන්නෙ නැහැ අර වැවු දාහට මොකද වුණේ කියල. රනිල්දාසලා චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ හිටිය එක ඇත්තයි. ඒත් ඒක රනිල්දාසලගෙ ආණ්ඩුවක් නොවෙයි. රනිල්දාසලා යහපාලනෙත් හිටියා. ඒත් ඇමතිකම් ගත්තෙ නැහැ. රනිල් වෙනුවෙන් මීටර් සීය දුවන එක වගේ පොඩි පොඩි දේ තමයි කෙරුවෙ. 


මිනිසුන් හරි අර ජනතාව කියන අය හරි රනිල්දාසලාට බලය දෙන්නෙ නැත්තෙ ඇයි. ඉතා පැහැදිලිව ජනතාව කෙසේ වෙතත් සිංහලයන් මෝඩයන්. සිංහලයා මෝඩයා කියන කතාව කිවුවෙ පෘතුගීසීන් ද කියන එක මා දන්නෙ නැහැ. සමහර විට අර අනුරාධපුරයෙ රජ කළ අසේල කිවුව ද දන්නෙ නැහැ. අස්ස වෙළෙන්දෙකුට අල්ල ගන්න පුළුවන් රටක ඉන්න මිනිසුන් ගැන මොනව කියන්න ද? ෆින්ච් නම් කවදාවත් එහෙම කියන එකක් නැහැ. 


රනිල්දාස යාපනේ යන එක හොඳයි. එකක් ඔහු කියන්නෙ මොනව ද කියල එහෙ මිනිසුන්ට තේරෙන්නෙ නැහැ. රනිල්දාස තම කතාව දෙමළට පරිවර්තනය කරන්න ඉඩක් දෙන්නෙත් නැහැ. ඒත් සම්බන්දන්ල රනිල්දාසලාට යාපනෙන් පාර්ලිමේන්තු එන්න ඉඩ තියන්නෙ නැහැ. හැබැයි සම්බන්දන්ලටත් දැන් තම ආසන රැක ගැනීමේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දෙමළ ජනයා තවම දන්නෙ නැහැ ඔවුන්ට දෙමළ වීම නිසාම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද කියා. ඒ ප්‍රශ්නයට සකර්බර්ග් අනාථ කඳවුරෙනුත් පිළිතුරක් නැහැ. 


රනිල්දාසලාට ක්වොන්ටම් ජාගොඩලාට සිංහලයන් සමස්තයක් ලෙස ගත්ත ම බලය නොදෙන්නෙ සිංහලයන්ගෙ මෝඩකම නිසා ම වෙන්න ඕන. දැන් බලන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. ලංකාවෙ බුද්ධිමතුන් ඉන්නෙ කොහේ ද? අනිවාර්යයෙන් ම විශ්වවිද්‍යාලවල. අපි නොදන්න ලයිව් කිවුවලු. බුද්ධිමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බලය දෙන්නෙ කාට ද? ශිෂ්‍යයන්ගෙ දෙමවුපියන් ඒ ගැන කල්පනා කරන්නෙ නැත්තෙ ඇයි? දෙමවුපියන් තම දරුවන් ගැන ඉතා හොඳින් දන්න නිසා ද? 


ධම්මික පෙරේරා විශ්වවිද්‍යාලෙ හිටිය කාලෙ (ඔහු ටික කාලයක් තාක්‍ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හදාරල තියෙනවා) කාට ද දන්නෙ නැහැ ඡන්දෙ දුන්නෙ. ඔහු දැන් මුදල් දෙන්නෙ කාටද කියන එක නම් රනිල්දාසත් දන්නව ඇති. වෘත්තීය සමිති ව්‍යාපාරයත් ධම්මික පෙරේරාගෙ ව්‍යාපාර වගේ ම තවත් ව්‍යාපාරයක්. ධම්මික පෙරේරා කියල තිබුණෙ තමන් තාම නැවට නැග්ග විතරයි කියල. ඔහු සුක්කානම ඉල්ල ගනීවි ද? රනිල්දාස ඒකට කැමති වේ ද? 


රනිල්දාසලා ක්වොන්ටම් ජාගොඩල නොදන්න කාරණයක් තියෙනවා. ඔවුන් කැම්පස් (විශ්වවිිද්‍යාල) දේශපාලනයෙ හා ජාතික දේශපාලනයෙ වෙනස දන්නෙ නැහැ. විශ්වවිද්‍යාල දේශපාලනය කරල උපකුලපති වෙන්න බැහැ. ජනාධිපති අගමැති වෙන්න විශ්වවිද්‍යාල දේශපාලනය කරල බැහැ. විශ්වවිිද්‍යාල දේශපාලනයෙ දි පොරොන්දු දෙන එක හා ජාතික දේශපාලනයෙ පොරොන්දු දෙන එක අතර වෙනසක් තියෙනවා. පංති පහේ දි ඒක උගන්නන්නෙ නැතුව වගේ.