Main Logo

Friday 3 June 2022

දයාසිරිගෙ ආරාධනය

 දයාසිරිගෙ ආරාධනය

 

දයාසිරි ජයසේකර ඊනියා ජනතාවට ආරාධනය කරලා විසිඑක්වැනි සංශෝධනයට පක්‍ෂවන ලෙස මන්ත්‍රීවරුන්ගෙ ගෙවල් වටලල බල කරන්න කියල. එය තර්ජනයක් වෙන්න පුළුවන්. මේ දවස්වල ගෙවල් වටලන්න එන අය ගෙවල් ගිනි තියන්නත් පුරුදු වෙලා.  අර මැයි නවවැනි දා ගෙවල් වටලන්න විතරක් නොවෙයි ගිනි තියන්න කියපු අයත් හිටියා. ඒ සමහරු අද කියනව ප්‍රචණ්ඩත්වට විරුද්ධව අතිප්‍රචණ්ඩත්වයක් ප්‍රකාශ කළාම එයට විරුද්ධ වෙන්න බැහැ කියල. එමගින් ඔවුන් කරන්නෙ ගෙවල් ගිනි තියපු එක සාධාරණීකරණයක්. අද තරම් සමාජය වෛරය ඊර්ෂ්‍යාව පදනම් කරගෙන වැඩ කරනවා පමණක් නොවෙයි එය සාධාරණීකරණය කරන කාලයක් තිබිල නැතුව ඇති.

 

දයාසිරි කියනව ඔහු කළ  පාප කර්මය විස්සට ඡන්දය දීපු එක කියල. එය එක ම පාප කර්මය ද නැත්නම් ප්‍රධාන පාප කර්මය ද කියන එක පැහැදිලි නැහැ. ඒත් මා නම් දන්නව ඔහු කළ තවත් පාප කර්ම. අර යහපාලන ආණ්ඩුවට ගිය එක දහනවයට ඡන්දය දුන් එක ආදියත් පාප කර්ම තමයි. ඒ පාප කර්මවලට මෛත්‍රිපාල සිරිසේනත් හවුල් වුණා. ඔවුන්ට බැසිල්ගෙන් අරියාදු සිදු වුණ බව පැහැදිලියි. බැසිල්ලගෙ උද්ධච්ඡා කමක් තියෙනවා. ඔවුන් තමන්ට නැති සමාජ තත්වයක් මවා ගෙන අනෙක් අය නොසලකා හරිනවා.

 

රාජපක්‍ෂලා හොඳ මිනිසුන් කියා මා කියන්නෙ නැහැ. ඔවුන් අප කියන දෙයක් අහන්නෙ නැහැ. ඒ බව මහින්ද ප්‍රසිද්ධියේ ම කියල තියෙනවා. ඔහු කියා ඇත්තේ නලින් කියන විධියට වැඩ කරන්න බැහැ කියල. ඒත් ඔහු දෙමළ ජාතිවාදී සිංහල විරෝධී ත්‍රස්තවාදය පරාජය කරන්න දේශපාලන නායකත්වය දුන්න. ඔහුට එසේ කරන්න සිද්ධ වුණා. කෙසේ වෙතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දීම ගැන මා කෘතඥ වෙනවා .

 

ආසනික් පිළිබඳ ප්‍රශ්නයේ දී මෙරට උගතුන් විද්‍යාඥයන් බුද්ධිමතුන් සියලු දෙනා ම පාහේ අපට විරුද්ධ වෙද්දී දෙරණ නාළිකාව මා කියන දෙය නොකරන වංචනිකයකු බව කීමට මට 360ට පළමු වරට ආරාධනා කළා. ඒ දිනවල දිලිත් මා තමාගේ ගුරුවරයකු ලෙස සැලකුවේ නැහැ. අපේ කණ්ඩායමේ අයකු සහල්වල ආසනික් තිබෙන බව කී විට බැසිල් කිවුවේ අප ප්‍රීමා සමාගමෙන් සල්ලි අරන් මිනිසුන්ට පාන් කවන්න හාල්වල ආසනික් තියෙන බව කියනවා කියා. ඒ දිනවල ඔය හැමෝ ම රසායනික පොහොර පලිබෝධනාශක ගෙන්වන එකට පක්‍ෂ ව හිටියෙ. එපමණක් නොවෙයි ඔවුන් ඔය රසායනික පොහොර නොමිලේ ලබා දීමටත් කටයුතු කළා. මෙවර රසායනික පොහොර ගෙන්වීම නතර කෙළේ පුංචි බණ්ඩාගේ උපදෙස් අනුව විදේශ විනිමය (ඩොලර්) ඉතිරි කර ගැනීමට මිස දේශීය කෘෂිකර්මයකට ඇති කැමැත්ත නිසා නො වෙයි.

 

බැසිල් අපට එසේ අපහාස කළත් මට ඔහු සමග පෞද්ගලික වෛරයක් නැහැ. මා හොඳ මිනිහකු බව කියන්න මට වුවමනාවක් නැහැ. මා නරක මිනිහකු බව පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හොඳාකාරව ම දන්නවා. අහල බලන්න. මා දේශපාලනයේ දී මට පෞද්ගලික ව කළ අපහාස ගණන් ගන්නේ නැහැ. එපමණයි. විසිඑකට ඡන්දය දීමේ දී හරි විරුද්ධ වීමේ දී හරි අප සැලකිය යුත්තේ අහවලා අපට නොසලකා ඇත් ද ආදිය නො වෙයි.

 

දයාසිරි කියාවි ඔහු විසිඑකට ඡන්දය දෙන්නේ පෞද්ගලික කරුණු මත පදනම් වෙලා නො වේය කියා. මට එයට අභියෝග කරන්න බැහැ. ඔහු ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඡන්දය දෙනවා කියාවි. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ විසිඑකට ඡන්දය දීමෙන් ඔහු පාර්ලිමේන්තුවේ බලය අඩු කිරීමට කැමති වීමයි. සමහර විට වාසුදේවට මේ කාරණය තේරෙනවා ඇති. පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට අර පාසලක සාහිත්‍ය සංගමයක් වැනි යොවුන් පාර්ලිමේන්තුවටත් විසිඑක මගින් අවස්ථාව ලැබෙනවා.

 

නරක ද පාසල් සාහිත්‍ය සංගම්වල නියෝජිතයන් අර කමිටුවලට සභාවලට පත් කර ගත්තම. දැන් කාලෙ පාසල් ශිෂ්‍යයන් ඉන්නවා අවුරුදු දහඅටට වැඩි. ඔය අන්තරේ නියෝජිතයනුත් කමිටුවලට පත් කර ගනිමු ද? ජෙප්පන්ට හා විශේෂයෙන් සෙප්පන්ට මැතිවරණවලින් ජයගන්න බැරී වෙලාවෙ ඔවුන්ගෙන් කාට හරි බැරි යැයි කමිටුවකටවත් රිංග ගන්න. රනිල්ටත් අනාගතයේ දී ඔය මොකක් හරි කමිටුවකට තමයි පත් වෙන්න ඉඩ තියෙන්නෙ. 

 

මට කොහොමටත් තේරෙන්නෙ නැහැ මේ ජනතාව කියන්නෙ කාට ද කියල. ඒ මා නූගතකු අප්‍රබුද්ධයකු නාකියකු මැන්ටලයක් වීම නිසා වෙන්න පුළුවන්. ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. දයාසිරි වියුක්තය දන්නවා ඇතැයි හිතනවා. ජනමතය කියන්නෙ අහවල් පුවත්පතේ හරි නාළිකාවෙ හරි මතය නො වෙයි. ජනමතය බලන්න පුළුවන් ජනමත විචාරණයක දී පමණයි. දයාසිරි ජනතාවට ගෙවල් වටලන්න ආරාධනය කරන විට කවුද එන්නෙ. අර මැයි නවවැනි දා ආ ජනතාව එයි ද? මැයි නව වැනිදාත් විවිධ අය ජනතාවට විවිධාකාරයෙන් වටලන්න බස් පරීක්‍ෂා කරන්න ආරාධනය කළා. ඇතැම් නාළිකා වක්‍රව ආරාධනය කළා. ජනතාව ආවා. දයාසිරිගෙ ගෙදරකට ආවෙ නැද්ද? දැන ගන්නයි අහන්නෙ.

 

මට හිතෙන්නෙ දයාසිරිල තවමත් කරන්නෙ විශ්වවිද්‍යාල (කැම්පස්) දේශපාලනය. ජෙප්පන් හා සෙප්පන් ද එහෙමයි. විශ්වවිිද්‍යාලයෙන් පිටවෙන විට ඒ දේශපාලනයත් තියල එන්න ඕන. රනිල් කැම්පස් දේශපාලනයක් කළ අයකු නො වෙයි. මහින්ද විශ්වවිිද්‍යාලයට ගියෙ පුස්තකාලයෙ වැඩ කරන්න. මා හිතන්නෙ නැහැ ඔහු පොත් කියෙවුව කියල. ඔහු අර පංති පහේ දේශපාලනයත් කරන්නෙ නැතුව ඇති. දයාසිරිගෙ නායකයා මෛත්‍රීපාලත් විශ්වවිද්‍යාලයකට ගිහින් නැහැ. ඒ දවස්වල ජෙප්පන් විශ්වවිද්‍යාලවල කළෙ වැටලීම් තමයි.