Main Logo

Saturday 18 June 2022

මධ්‍යම පංතියට තම ප්‍රශ්නයට විසඳුම් නැහැ

 

මධ්‍යම පංතියට තම ප්‍රශ්නයට විසඳුම් නැහැ

 

රනිල් අගමැති වෙලා මාසෙකට වැඩියි. ආණ්ඩුව ඔහුට භාර දුන්නෙ ආර්ථික අර්බුදය විසඳන්න. ඔහුට ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන බව රංගෙ බණ්ඩාර වජිර අබේවර්ධන වැනි විද්වතුන් කියල තිබුණ. මේ ජාත්‍යන්තර සම්බන්ධකම් කියන්නෙ බටහිර ක්‍රිස්තියානි රටවල් හා ජපානය සමග තියෙන සම්බන්ධකම්වලට. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ බටහිරයන් ජපානයෙ දේශපාලන අඬු කැඩුවා. ඒ යුද්ධෙ ඉවර වුණාටත් පස්සෙ හිරෝෂිමා නාගසාකි ප්‍රදේශවලට පරමාණු බෝම්බ දාලා. බටහිරයන් ඉතාලියටවත් ජර්මනියටවත් ඒ වැඩේ කළේ නැහැ. ඒ රටවල් දෙක තමයි නට්සිවාදය ක්‍රියාත්මක කළ රටවල්. නට්සිවාදය කියන්නෙ ප්‍රධාන වශයෙන් අනෙක් මතවාද ආයුධවලින් ත්‍රස්තවාදයෙන් ඊනියා මූලධර්මවලින් යටපත් කිරීම. ලෝකයේ පළමු නට්සිවාදය තිබුණෙ වතිකානුවෙ පාප්වහන්සේ යටතේ.

 

කොහොම නමුත් නට්සිවාදයක් නොතිබුණු ජපානයටයි පරමාණු බෝම්බ දැම්මෙ. අද කතෝලික ඉතාලියවත් ජර්මනියවත් නො වෙයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ  දේශපාලන ආධිපත්‍යයට යට වෙලා ඉන්නෙ. මහායාන බෞද්ධ ජපානයයි. රනිල්ට ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා කිවුවෙ ඔය බටහිර රටවල් හා ජපානය සමග. ආණ්ඩුව හිතන්න ඇති ඒ රටවල් තමන්ට නුදුන් ණය රනිල්ට දේවි කියල. ඒත් රනිල්ගෙ තිබුණෙ වෙනත් බලාපොරොත්තුවක්. රාජපක්‍ෂලා සමග වෛර බැඳගෙන ඉන්න විජේදාස රාජපුර හෙවත් රාජපක්‍ෂ සමග ජනාධිපතිගෙ බලතල කැපීම. ජේ ආර් තමයි ඔය ජනාධිපති බලතල ඇති කර ගත්තෙ. රනිල්ට ඒ දවස්වල නම් මාමගෙ බලතල ප්‍රශ්නයක් වුණේ නැහැ. බටහිර රටවලටත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න තිබුණෙ නැහැ. අර නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ තමයි ඔක්කොට ම ජනාධිපති බලතල කප්පාදු කරන්න මතක් වුණෙ.

 

රනිල් විජේදාසත් එක්ක එකතු වෙලා විසි එක ගෙනාවා. ඒත් එයට අද නොවෙයි හෙට ලෙඩේ හැදිල. රනිල්ට ණය හම්බ වෙන්නෙත් නැහැ. අපට තෙල් ගන්න ගෑස් ගන්න වෙනත් රටවල් ණය දෙන්නෙ අහවල් දේකට ද? අනෙක් අතට ණය දෙන විට බලනව ණය ගෙවන්න පුළුවන් ද කියල. අමාරුවෙන් හරි ණය ගෙවල තිබුණ නම් ණය ගන්න තිබුණ. අපි හැමදාමත් කෙළෙ ණය අරගෙන ණය ගෙවීම. ඒත් ඒක කිරීමට සමහර ආර්ථික විශේෂඥයන් අකමැති වුණා. ඔවුන් කිවුවෙ ණය ගෙවීම කල් දාගන්න කියල. ඔවුන් ඒකට බරපතළ වචනයකුත් යොදා ගත්තා. ඒක කළා. දැන් අපි ගිවිසුම් කඩ කරපු ජාතියක් වෙලා. බටහිරයන් අපට ණය දෙන්නෙ නැහැ. මොනව කරන්න ද ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව. මොනව වුණත් විද්‍යාවක් නොවැ.

 

අපේ ආර්ථික අර්බුදයට මූලික වරදකරුවා මෙරට මධ්‍යම පංතිය. ඒත් අද මාධ්‍යයෙන් ඒ බවක් කියන්නෙ නැහැ. ජඩමාධ්‍යවේදීනුත් ජඩමාධ්‍ය අයිතිකරුවනුත් මධ්‍යම පංතියෙ විවිධ ස්ථරවල ඉන්න අය. ඔවුන් තම වරද පිළිගන්න එකක් නැහැ. පහුගිය අවුරුදු හැටක පමණ කාලයෙ නිදහස් අධ්‍යාපනය නිසා මධ්‍යම පංතිය ප්‍රසාරණය වුණා. නිදහස් අධ්‍යාපනයෙන් අපට ලැබුණෙ තකතීරු අධ්‍යාපනයක්. හිතන්න බැරි බටහිර දැනුම එක ම දැනුම බව බටහිර  දියුණුව එක ම දියුණුව බව කියා දුන් තකතීරු අධ්‍යාපනයක්.  අපට ගොඩ එන්න ඉගැන්නුවෙ අධ්‍යාපනය මගින්. අපේ ඊනියා දැනුමෙන් ගොඩ එන්න තමයි ඉගැන්නුවෙ. අප කුඹුරෙන් ත්‍රිරෝදයට ගොඩ වුණා. මඩෙන් ගොඩ ආවා. අප ඒ සියල්ලෙහි ප්‍රතිඵල භුක්ති විඳිනවා.

 

දැන් හැමෝම පඬි කතා කියනවා. ඉංගිරිසි පත්තරවල පඬි නැට්ටන් වැහි වැහැලා. හැමදාම විසඳුම් ඉදිරිපත් වෙනවා. ඒත් විසඳුමක් නැහැ. විසඳුම් සාගරයක් මැද විසඳුමක් නැති හැටියක්. ඒකත් ඔය ලැබුණු අධ්‍යාපනයෙ ම ප්‍රතිඵලයක්. සකර්බර්ග් අනාථ කඳවුරෙත් විසඳුම් තියෙනවා. ඒවත් එහෙම තමයි. ඒ මදිවට ඒව සිංහලෙන් ඉදිරිපත් කෙරෙන්නෙ. විසඳුම් නැති නිසා බොරු දේශපාලන අර්බුදයක් ගැන කියවනවා.

 

එහි ප්‍රධානීන් කිහිප දෙනෙක් ඉන්නවා. සජිත් ප්‍රමුඛ ස ජ බ. සිරසක් නැති සිරසෙන් පැමිණි මරික්කාර්, හන්තානෙ කිරිඇල්ල, ආර්ථික විද්‍යාඥ හර්ෂ, දොම්පෙ හර්ෂණ,  කාවින්ද වෙද මහත්තයා සහ තවත් අය. ඒ අතර අනාවැකි චම්පක සහ තවත් පිරිසක්. අනුර ප්‍රියදර්ශන යාපා වැනි අය. ඔවුන් සියල්ලන් ම නන්නත්තාර වූ දේශපාලනඥයන්. මේ අය කියන්නෙ ජනාධිපති බලතල කප්පාදු කිරීම හරි ජනාධිපති ඉවත් කිරීම හරි. ඒත් අර තරම් අරගලයක් කරලත් ගෝඨා ගෙදර ගියෙ නැහැ. ඊනියා අරගලකරුවන් නම් ගෙදර ගිහිල්ල.  

 

සමහරු සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදන්න කියනවා. ඔය අය කවද කවද හරි ඇමතිවරුන් වෙලා හිටපු අය. ඒ සියලු දෙනාම මධ්‍යම පංතිය සනසන්න වෙන වෙන ම ණය ලබාගෙන පිනට කන්න දුන් අය. පිනට කිවුවට ඡන්දෙ බලාගෙන කන්න දීපු අය. ඔවුන් සියල්ලන් ම එකතු වුණත් මොනව කරන්න ද? ණය ගැනීම පමණයි දන්නෙ. ඒත් ණය දෙන්න කවුරුන්වත් නැහැ. වෙන වෙන ම ණය ගත්තත් එකට ණය ගත්තත් අර්බුදය අර්බුදයෙන් අර්බුදයට යනවා.

 

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් කියන්නෙත් නිර්පාක්‍ෂික ආතල්ගම වගේ ම පුස්සක්. තමන්ට විසඳුමක් නැති විට කෝඳුරු තෙල් හත්පට්ටයක් හා ටිකක් ඉල්ලීමක්. අපේ ආකල්ප බොරු උගත්කම නිසා ඇති වුණු ආර්ථික අර්බුදයට විසඳුම හැටියට පොඩි පොඩි දේ ඉදිරිපත් කරන එක නරක වැඩක් නො වෙයි. ඒත් ගල්කිස්සෙ ඉඳන් කන්කසන්තුරේට සුඛෝපභෝගි දුම්රියක් යැවීම ප්‍රමාණවත් නැහැ.