Main Logo

Thursday 9 June 2022

ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි

 

ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි

 

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්‍ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විිදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ. එයට හේතුව වී ඇත්තේ ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වීම බව කියනවා. විදුලි ඉංජිනේරුවන් පිරිසකට රටක් අඳුරේ තබන්න පුළුවන්. ඔවුන් ජනතාව වෙනුවෙන් ජනතාව අඳුරේ තබනවා. ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලය මුදා හැරියේ කවුද? වහා ම එය සොයා බලන්න ඕන. සමහර විට ජනතාව වෙනුවෙන් ජලය මුදා හැරියා වෙන්න ඇති.

 

මේ ජනතාව යන්න වියුක්ත සංකල්පයක් බැවින් ඒ දකින්න නැහැ. ඒක කොයිතරම් දෙයක් ද? ඕනෑම අයකුට ජනතාව වෙනුවෙන් කියා තමා වෙනුවෙන් ක්‍රියා කරන්න පුළුවන්. ජනතාව ඉදිරිපත් වන්නේ නැහැ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන බව කීම බොරුවක් බව ජනතාවට කියන්න. වියුක්ත ජනතාවක් වෙනුවෙන් මොනව කරන්න බැරි ද? වියුක්තය කියන එක මෙරට උගතුන් බුද්ධිමතුන් අනාගන්නා සංකල්පයක්. මහාචාර්යවරුන් යැයි කියැවෙන්නන් අතර වියුක්තය දන්නේ කී දෙනා ද? එය ඉතිහාසය, සමාජ විද්‍යාව ආදිය පිළිබඳ මහාචාර්යවරුන්ට පමණක් නොව බොහෝ ගණිත මහාචාර්යවරුන්ටත් පොදු නොදැනුමක්.

 

විදුලි ඉංජිනේරුවන් ක්‍රියා කර ඇත්තේත් ජනතාව වෙනුවෙන්. මේ ප්‍රශ්නය ගැන විස්තරාත්මක දෙයක් ජනමාධ්‍යයේ කියැවෙන්නේ නැහැ. ජනමාධ්‍යවේදීනුත් වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන් නොවැ. මා දන්නා තොරතුරු අනුව අද පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පනත් සංශෝධනය මගින් 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලි බල පනතේ අටවැනි හා නවවැනි වගන්ති සංශෝධනය වෙනවා.

 

ඒ අනුව ප්‍රධාන වශයෙන් ඕනැම තැනැත්තකුට විිදුලි බලය සැපයීම සඳහා වූ ලංසු තැබීමේ ක්‍රියාවලියකට සහභාගි වීමේ හැකියාව ලැබෙනචා. එමෙන් ම ඕනෑම තැනැත්තකුට විදුලි බලය ජනනය කිරීම වෙනුවෙන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පතක් ඉදිරිපත්  කළ හැකි වෙනවා. එමෙන් ම  කිසියම් තැනැත්තකුට  ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා විදුලි බලය ජනනය කිරීමට ඉල්ලීමට ඇති බාධාවන් ඉවත් කෙරෙනවා.

 

මෙයින් කියැවෙන්නේ නැහැ ලංසු තැබීම එක් අයකුට පමණක් සීමා වෙන බවක්. අනෙක් අතට ලංසු තැබුවන් අතරින් සුදුසු පුද්ගලයා හෝ සමාගම හෝ තෝරා ගනු ලබන්නේ විදුලි බල මණ්ඩලය මගින්. ආණ්ඩුව එහි දී මැදිහත් වන්නේ නැහැ. මෙහි ඒකාධිකාරයක් ඇත්තේ කොතැන ද? විදුලි ඉංජිනේරුවන් සංශෝධිත පනතේ වගන්ති උපුටා දක්වමින් තමන් විරුද්ධ වන්නේ කිනම් වගන්තිවලට ද යන්න පැහැදිලි කරනවා නම් ජනතාව කොහොම වෙතත් මා නම් සතුටු වෙනවා. මා තවම වියුක්ත වෙලා නැහැ.

 

මෙහි දී අදානි හා මන්නාරම විදුලි බල ජනනය කිරීමේ ව්‍යාපෘතිය ගැන කියැවෙනවා. අදානිටත් ඉල්ලුම් පතක් ඉදිරිපත් කර ලංසුවක් තබන්න පුළුවන්. එය සුදුසු නැත්නම් විදුල බල මණ්ඩලයට එය ප්‍රතික්‍ෂෙප කරන්න පුළුවන්. ඉල්ලුම් කරන්නා අදානි පමණක් වුණොත් කියා ද ඉංජිනේරුවන් ජනතාව වෙනුවෙන් තැවෙන්නෙ. මා හිතන්නෙ අයදුම්කරු අදානි පමණක් වුවත් සුළං මගින් විදුලිය ජනනය කීිරීමට ඒකකයකට යන වියදම වැඩි වෙනවා නම් ඒ ජල විදුලි ජනනයට පමණක් වෙන්න ඕන. එය ඉංජිනේරුවකු වීමට කිසිදු ආශාවක් නොතිබූ අයකුගේ හිතිවිල්ලක් පමණක් ද කියන්න බැහැ.

 

ඒ කොහොම වුණත් මා දන්නා හඳුනන ඇතැම් ඉංජිනේරුවන් හා විදුලි බල මණ්ඩලයේ වෙනත් සේවකයන් කියන්නේ විදුලි ඉංජිනේරුවන්ගේ විරුද්ධතාව අර මෙගාවොට් විසිපහට වැඩියෙන් පුනර්ජනනීය ලෙස විදුලිය ජනනය කිරීමට බලය ලබා දීම සම්බන්ධයෙන් බව. එවිට තෙල් අඟුරු ආදියෙන් විශාල පිරිවැයක් දරා විදුලිය ජනනය කිරීම අඩු කර ගත හැකි බව පැහැදිලියි. පැහැදිලි නැත්තේ එවැනි ක්‍රමවලින් ජනනය කෙරෙන විදුලිය අඩු වූවිට විදුලි ඉංජිනේරුවන්ගේ බැංකු ගිණුම් ශේෂය ද අඩු වන්නේ ද යන්නයි. ඒ සඳහා අර තෙල් සූත්‍රය වගේ සූත්‍රයක් තියෙනවා ද?

 

අදානි ගැන සඳහන් වූ නිසා එක් කරුණක් කියන්න ඕන. අපට අදානිලාගේ මට්ටමේ ව්‍යවසායකයන් නැහැ. අප හැම අතින් ම වැඩිම වුවහොත් ඉතා ම මධ්‍යම ගණයේ පුද්ගලයන්. මෙරට බටහිර දැනුමේ මහාචාර්යවරුන් ගැන හිතන්න. ඒ අයගෙන් එක් අලුත් සංකල්පයක් කතන්දරයක් තම විෂයට එකතු වී තියෙනවා ද? ඔවුන් දන්නේ බටහිරයන්ගේ පොතක් පතක් තමන්ට වැටහෙන අයුරින් කියවා එය අප වැනි දුහුනන්ට ඉදිරිපත් කිරීම පමණයි. ආමේන්!

 

අපට බුද්ධිමය සම්ප්‍රදායක් හරි වාණිජ සම්ප්‍රදායක් හරි පස්වැනි සියවසෙන් පමණ පසුව තිබී නැහැ. බොහෝ කලකට පෙර ඔය මන්නාරම ම ආශ්‍රිත තම්මැන්නාව මේ කලාපයේ වෙළෙඳ මධ්‍යස්ථානය. කුවේණිය එහි පාලිකාව. විජයත් ආවේ තම්මැන්නාවට. එහෙත් භාරතීය බමුණන් ඒ වෙළෙඳ මධ්‍යස්ථානය කඩා කප්පල් කිරීමට විවිධ දේ කළා. ඔවුන් ගෙතූ එක් කතාවකට අනුව මෙරට හිටියෙ අමනුෂ්‍යයන්. එමගින් වෙළෙඳුන් මෙහි පැමිණීමට බාධා ඇති කළා. අපේ පොත්පත් ගිනි තියා මෙරට බුද්ධි සම්ප්‍රදාය නැති කිරීමට කටයුතු කළා. එදා සිට අද වන තුරු අපට බුද්ධි සම්ප්‍රදායක් හරි වාණිජ සම්ප්‍රදායක් හරි නැහැ.

 

එදත්  අපට ඉන්දීය ආක්‍රමණ තිබුණා. අප එදා ඉන් බේරිලා හිටියා. අද අපේ ජීවන රටාව නිසා මහා අර්බුදයකට ගිහින්. එයට වරද කරුවා මෙරට නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ ඉංජිනේරුවන් ද ඇතුළු මධ්‍යම පංතියයි. ඉතා මධ්‍යම ගණයේ බුද්ධිමතුන් වුවත් අප ඉතා ම ඉහළ ම ගණයේ අනුකාරකයන්. අද අර්බුදයෙන් ගොඩ ඒමට අපට ජීවන රටාව වෙනස් කර ගන්න වෙනවා. එලෙස එක් වාක්‍යයකින් කිවුව ම බොහෝ දෙනකුට තේරෙන්නෙ නැහැ. අපට වියුක්තය තේරෙන්නෙ නැහැ. නිදර්ශන මගින් ඇඟිල්ලෙන් ඇන සංයුක්ත ව කිවුවොත් තේරෙනවා.  පුනර්ජනනීය බල ශක්තිය වුණත් අඩුවෙන් යොදා ගන්නා ක්‍රම සොයා ගන්න ඕන. අප දේශීය බුද්ධිමතුන් බිහි කර ගන්න ඕන. දේශීය බුද්ධි සම්ප්‍රදායක් ගොඩ නගා ගන්න ඕන.

 

එසේ නොකළොත් අපට අදානිලාගෙන් හා ඉන්දීය බමුණන්ගෙන් ගැලවීමක් නැහැ. අප දැනටමත් ඉන්දීය ග්‍රහණයට විශාල ප්‍රමාණයකින් හසු වී අවසන්. අප පහුගිය මාස කිහිපයෙහි ඉන්දියාවට කොපමණ ණය වුණා ද? අප දන්නේ බොරු සමාජවාදී සටන් පාඨ කියමින් වැඩ නොකර කකා බීබී ඉන්න පමණයි. අප ඒ විධියට තව දුරටත් කටයුතු කළොත් රට ඉන්දියාවේ අණසකට යටත් වී තවත් නේපාලයක් වීම නවත්වන්න බැහැ. අද ඇති ආර්ථික අර්බුදයට බොරු උගත්කමත් හේතුවක්. ඒ බොරු උගත්කමට බොරු සමාජවාදයත් අයත් බව මා කිහිප විටක් ම කියා ඇති.