Main Logo

Tuesday 14 June 2022

අනුබුදු මිහිඳු හිමියන් ඉන්දියාව හා ලංකාව

 

අනුබුදු මිහිඳු හිමියන් ඉන්දියාව හා ලංකාව

 

අද පොසොන් පෝදා. මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දිනය. අප එදිනටත් පෙර බුදුදහම දැන සිටියා. ඒ බවට සාක්‍ෂි තියෙනවා. එදා සිදු වූයේ එක් අතකින් නිල වශයෙන් බුදුදහම මෙරටට හඳුන්වාදීම. එයටත් වඩා වැදගත් වන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇති කිරීම. එයින් කියන්නේ අප එයට පෙර ශිෂ්ට නොවූ බව නොවෙයි. විජය පැමිණෙන විටත් කුවේණිය සිටියේ රෙදි කටිමින්. එකල නිමි ඇඳුම් නම් තිබෙන්න නැතුව ඇති.

 

අප වැවු තනා ඇත්තේ මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර. පණ්ඩුකාභය කුමරු කුඩා කළ මිතුරන් සමග සෙල්ලම් කිරීමට වැවකට ගිය බව සඳහන් වෙනවා. මිහිඳු හිමියන්ගෙන් පසු ථුපාරාමය ඉදි කෙරුණා. වැවට දාගැබ එකතු වුණා. සිංහල (හෙළ) සංස්කෘතියට බුදුදහම අවශෝෂණය කෙරුණා. වැවයි දාගැබයි කියන්නෙ අවශෝෂණයෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතියෙ සංකේත.

 

මිහිඳු හිමියන් වැඩම කර දහම් දෙසීමට පෙර තිස්ස රජුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඒ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මා අවුරුදු තිස්පහකට පමණ පෙර කාලය සඟරාවේ විග්‍රහ කළා. එයින් බටහිර ගණිතයේ කුලකවාදය අනාථ වෙනවා. මා මගේ නෑයකුත් නොව නොනෑයකුත් නොවන බව කියැවුණා. සියළු මිනිසුන්ගේ කුලකයේ තිස්සට  නෑයන්ගේ උපකුලකයෙහි හරි නොනෑයන්ගේ උපකුලකයෙහි හරි සාමාජිකත්වයක් නැහැ. සරල රේඛා කුලකයෙහි යම් සරල රේඛාවක් දෙන ලද සරල රේඛාවකට එක්කෝ සමාන්තරයි. නැත්නම් සමාන්තර නැහැ. එවිට දෙන ලද සරල රේඛාව ඒ රේඛාවට ම සමාන්තර ද නැද්ද කියා ඇසුවොත් බටහිරයන් කුලකවාදය බේරා ගැනීමට මෙන් කියන්නේ දෙන ලද සරල රේඛාව ඒ රේඛාවට සමාන්තර බවයි. තිස්ස රජු තමා තමාගේ නෑයකු යැයි කිවුවේ නැහැ.

 

ඒ චතුස්කෝටිකය. බටහිරයන්ට ඇත්තේ ඇරිස්ටෝටල්ගේ ද්විකෝටිකය පමණයි. චතුස්කෝටිකයේ ද්විකෝටිකයත් අඩංගු බව අමතක කළ යුතු නැහැ. මිහිඳු මහා රහතන් වහන්සේගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට තිස්ස රජුට හැකි වූයේ අප එවකටත් ඇරිස්ටෝටල්ට ඔබ්බෙන් සිටි නිසයි. එපමණක් නොව රජවරුන්ද බුද්ධිමතුන් වූ නිසයි. එයින් කියැවෙන්නේ නැහැ අද රජවරුන් නොවන අය බුද්ධිමතුන් කියා. මුහුණුපොත ඒ ගැන කියාවි. මිහිඳු හිමියන් තිස්ස රජුට මතක් කර දුන්නේ ඔහු රටේ භාරකරු මිස පාලකයා නොවන බවයි. මෙරට බොහෝ රජවරු  බෝසතුන් ලෙස කටයුතු කළා. මෙරට අග්බෝල ම කිහිප දෙනෙක් හිටියා. 

 

මෙරට තිබූ සිංහල (හෙළ) සංස්කෘතිය ඉතා පොහොසත් එකක්. එහි චින්තනය චක්‍රීයයි. බුදුදහමේ ඇත්තේ හේතුවාදයක් නොව හේතුඵලවාදයක්. හේතුවාද තියෙන්නෙ ආරම්භයක් සහිත රේඛීය චින්තනවල. හේතුඵලවාද ඇත්තේ චක්‍රීය චින්තනවල. අපට බුදුදහම අවශෝෂණය කර ගැනීමට හැකි වූයේ අප චක්‍රීය චින්තනක හිටි නිසයි. පටිච්චසමුප්පදාය චක්‍රිය චින්තනයෙහි දෙසූ දහමක්. භාරතයේ බමුණන්ට තිබුණේ රේඛීය චින්තනයක්. බ්‍රහ්මන් තමයි ආරම්භය. භාරතයේ බුදුදහම පැවතුණේ නැහැ. අපේ රටේ බුදුදහම පැවතුණා. ඒ චින්තන වෙනසක ප්‍රතිඵල. අද මෙරට ඇතැම් බෞද්ධයන් ඒ සියල්ල අමතක කර තමන් හේතුවාදීන් බව ගර්වයකින් කියනවා. ඒ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයෙහි ප්‍රතිඵල.

 

මෙරට පළමුවෙන් මාර්ගඵල ලැබුවේ අනුලා දේවිය. ඒ ස්ත්‍රියක්. හෙළ සංස්කෘතියේ ස්ත්‍රියට තිබූ තැන ඉන් පැහැදිලි වෙනවා. කුවේණිත් ස්ත්‍රියක්. අප ලෝකයේ පළමු අගමැතිණිය බිහිකිරීම පුදුමයක් නො වෙයි. අද ස්ත්‍රියට මෙරට අඩු තැනක් ලැබෙන්නේත් බටහිර ක්‍රිස්තියාෆනි සංස්කෘතිය නිසා. අද ඊනියා ස්ත්‍රී විමුක්තිවාදීන් ඇති වී තිබෙන්නේත් බටහිර අනුකරණය කරමින්. අප කළ යුත්තේ ඊනියා ස්ත්‍රී විමුක්තියක් ගැන පල් හෑලි ලිවීම නොව අනුලා දේවිය අනුගමනය කිරීමයි. අප අම්මාට කීවේ ගෙදර බුදුන් කියා. බුදුහාමුදුරුවන්ට අප අමා මහ මැණියන් වහන්සේ කියනවා.

 

මිහිඳු මහා රහතන් වහන්සේ දෙසූ චුල්ලහත්ථිපදෝපම සූතයෙහි වැදගත්කම ගැන වැඩි දෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ. රනිල් තම පොසොන් පණිවුඩයෙන් කුමක් අදහස් කළත් එය ඊනියා ප්‍රවාදවලට විරුද්ධ කතාවක්. චුල්ලහත්ථි කියන්නේ පොඩි ඇතා යන්නයි. මේ සූත්‍රය එව බලව මත පදනම් වූ එකක්. ඉතා කෙටියෙන් කිවුවොත් දඩයක්කාරයකු වණයේ විශාල අඩි දැකීමෙන් පමණක් විශාල ඇතකු ගමන් කර ඇතැයි යන නිගමනයට පැමිණෙන්නෙ නැහැ. එයට හේතුව විශාල අඩි ඇති මිටි ඇතින්නන් ද සිටින නිසා. එමෙන් ම ගස්වල ඉහළ අතුවල දළ පහර තිබීමෙන් ද දඩයක්කරූ විශාල ඇතකු ගමන් කර ඇතැයි නිගමනයට එන්නේ නැහැ. ඒ දළ ඇති විශාල අඩි ඇති මිටි ඇතින්නන් ද සිටින නිසා. දඩයක්කරු විශාල ඇතකු යන නිගමනයට එන්නේ එවන් ඇතකු දැකීමෙන් පමණයි. මෙය ඊනියා ප්‍රවාදවලින් නිගමනවලට එළඹීමට විරුද්ධ ක්‍රමයක්. 

 

මේ උපමාව එතැනින් නවතින්නේ නැහැ. බුදුන්වහන්සේ බුද්ධත්වය ලබා ඇති බව දැන ගැනීමට අවශ්‍ය අයකුට ධ්‍යානවලට සමවැදීමෙන් පමණක් දැන ගැනීමට බැහැ. ඒ බුදුන්වහන්සේගේ පා සළකුණු පමණයි.  එවැනි උදාහරණ කිහිපයකින් පසු බුදුන්වහන්සේ දේශනා කරන්නේ අදාළ පුද්ගලයා ඉපදීම නැති කිරීමෙන් පසු බුදුන්වහන්සේ බුද්ධත්වය ලබා ඇතැයි යන නිගමනයට පැමිණෙන බවයි. මේ කතාව අර කළු කුහරවල යැයි කියමින් සංස්කරණය කරන ලද ඡායාරූප බලා කළු කුහර ඇතැයි නිගමනය කිරීම සමග සංසන්දනය කරන්න. ඒ බුද්ධිමත්තු, ඒත් බෞද්ධයන් නම් නොවෙයි. ඔය බුද්ධිමතුන්ගෙන් කී දෙනෙක් කළු කුහර නොවෙයි සාපේෂතාවාදය හදාරල තියෙනවා ද?

 

මිහිඳු මහා රහතන් වහන්සේ මේ සූත්‍රය ම දේශනා කළේ ඇයි? මා හිතන්නේ හෙළ සංස්කෘතියේ එසේ බලා ම නිගමනවලට පැමිණීමට උගන්වා තිබූ බැවින් බුදුදහම එකී සංස්කෘතියට පිටින් යන්නක් නොවන බව පෙන්වීමට උන්වහන්සේට අවශ්‍ය වූ නිසා ඒ සූත්‍රය දේශනා කළ බවයි. උන්වහන්සේ මෙරට සංස්කෘතියත් සමග පෑහීමට අවශ්‍ය වූ බැවින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම්මවීමට කටයුතු කළ බව ද අවධාරණය කරන්න ඕන.

 

ඒ සමග  තවත් දෙයක් කියන්න ඕන. අශෝක රජුට අවශ්‍ය වී තිබුණේ සිංහල (හෙළ) සංස්කෘතිය තම අණසක යටතට ගැනීමයි. තිස්ස රජුට දෙවැනි අභිෂේකයක් ලබා දීමෙන් හා දේවානම්පිය යන නම දීමෙන් අශෝක රජු අණසක පැතිරවීමට දිග්විජය වෙනුවට ධම්මවිජය  යොදා ගැනීමට උත්සාහ කළ බවක් පේනවා.  මිහිඳු හිමියන් නිසා අප බේරුණ බවක් පේන්න තියෙනවා. එහෙත් ඉන්පසු අප කිහිප විටක් ම විවිධ පාණ්ඩ්‍ය චෝල ආක්‍රමණවලට මුහුණ දුන්නා. මිහිඳු හිමියන්  හඳුන්වාදුන් බුදුදහම තුන්වැනි පස්වැනි සියවස් කාලවල ආන්ද්‍ර බුද්ධාගමකින් නැති වූ බවත් පේනවා. හෙළටුවා ගිනි තැබීම එහි එක් අංගයක් පමණයි.

 

අද වන විට මෙරට ඇත්තේ මිහිඳු හිමියන් හඳුන්වාදුන් බුදුදහම නොවන බවයි මගේ නිගමනය. කෙසේ වෙතත් මෙහි සිංහල බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. අද එය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙන් වැහිලා.

 

ඉංගිරිසින් මුල දී ලංකාව මදුරාසි ප්‍රාන්තයේ කොටසක් ලෙසයි පාලනය කෙළේ. පසුව 1802 දී තමයි ෆ්‍රෙඩ්රික් නෝත් ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස එවුවෙ. බැරිවෙලාවත් අප දිගට ම මදුරාසි ප්‍රාන්තයේ කොටසක් ලෙස පාලනය කෙරිණි නම් නිදහස ලැබෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොටසක් ලෙස.

 

කෙසේ වෙතත් ඉන්දියාව නිදහස  දිනාගත් අවධියේ සිට ලංකාව තම අණසක යටතේ තියා ගන්න උත්සාහ කළා. නේරුලාට සහ තවත් අයට ඒ අවශ්‍යතාව තිබුණා. ශාස්ත්‍රි ගැන නම් එවැන්නක් කියන්න බැහැ. එහෙත් අද මෝදි එන්නෙ හොඳ පොටකට නො වෙයි.