Main Logo

Friday 24 June 2022

සිංහලයන් කහ ඇඳීම හා කහ ඇඳ ගැනීම

 

සිංහලයන් කහ ඇඳීම හා කහ ඇඳ ගැනීම

 

ඉන්දීය ඉහළ නියෝජිත පිරිසක් ඊයේ ලංකාවට ඇවිත් පැය කිහිපයකින් පසු ආපසු ගියා. ඔවුන් ජනාධිපති මෙන් ම අගමැතිත් හමුවුණා. අද ලංකාව බලවතුන්ගේ කෙළි මඬලක් වී ඇති බව පැහැදිලියි. බොහෝ දෙනා සඳහන් නොකළත් යුක්‍රේනයට පසුව ලෝක දේශපාලනයේ වැදගත් ම රට ලංකාවයි. අපට හැදෙන්න හරි නැතිවෙන්න හරි අවස්ථාවක් ඇවිත් තියෙනවා. හැදෙන්න නම් කළ යුත්තේ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීමයි. අමතක කරන්න එපා නැවත පිහිටුවීම මිස පිහිටුවීම නො වෙයි. එය කොහේවත් නැති, නොතිබූ සමාජවාදයක් ඇති කරනවා වගේ නො වෙයි. අද ඊනියා මාක්ස්වාදීන් පශ්චාත් මාක්ස්වාදීන් කරන්නේ මාක්ස්වාදය නමින් කොමියුනිස්ට්වාදයක් පංති අරගලයක් නැති බහුබූතයක් ගැන බටහිරයන් කියන දේ තමන්ට තේරෙන අයුරින් ගිරවා දැමීම පමණයි.

 

අපි එයට පසුව එමු. ඉතා කෙටියෙන් නමුත් අද කහ දිනය ගැන  කියන්න ඕන. කහ දිනය කිවුවෙ අද මෙරට මධ්‍යම පංතිය (අඩු තරමෙන් නියෝජනය කරන පිරිසක්) කහ ඇඳ ගන්නා දිනය නිසයි. කහ නිමි ඇඳුම් නිපදවන්නන්ට හා වෙළෙන්දන්ට නම් වාසියක් වේවි. සිංහලයන් හරි ම සංවේදී ජාතියක්. ඔවුන් වැඩ කරන්නෙ හදවතින් මිස බුද්ධියෙන් නො වෙයි. එහෙත් කියන්නෙ බෞද්ධයන් යනු බුද්ධිමතුන් බවයි. මට නම් බෞද්ධ හා බුද්ධිය අතර පෑහීමක් දකින්න බැහැ.

 

ඒ කොහොම වෙතත් අද සිංහලයන් ඕස්ත්‍රේලියාවට කළ ගුණ දක්වන දවස කියා කියනවා. ඕස්ත්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම මේ තෙල් හා වෙනත් දේ හිඟ අවස්ථාවක ලංකාවට පැමිණ ඇති බව පැහැදිලියි. එහෙත් මා හිතන්නෙ නැහැ ඔවුන් මෙරටට පැමිණියේ තෙල් පෝලිම්වල ඉන්නවත් විදුුලිය නැතිව ඉන්නවත් කියා. ඕස්ත්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් තෙල් පෝලීම්වල හිටියා ද කියා මා දන්නෙ නැහැ. එහෙත් එසේ කළා යැයි මා හිතන්නෙ නැහැ.

 

ඕස්ත්‍රේලියානු කණ්ඩායම නුවර ගියේ දුම්රියෙන් නො වෙයි. ගාලු යන්නෙත් දුම්රියෙන් නො වෙයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ට කිසිම අඩුවක් පාඩුවක් කළේ නැහැ. ඕස්ත්‍රේලියානුවන් අඩු පාඩු විඳගෙන අපට ක්‍රිකට් ගෙනාවේ නැහැ. මා හිතනවා අප ගරු කරනවා නම් එසේ කළ යුත්තේ අපටමයි කියා. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයටත් ගරු කරන්න වෙනවා. මේ සංචාරයෙන් අපට ඩොලර් කීයක් ලැබුණා ද කියා මා දන්නේ නැහැ.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් නම් ලැබෙන්න ඇති. ඔවුන් ඒ මුදල් යම් ප්‍රමාණයක් රජයට දී තියෙනවා. ඒ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෘතඥ වෙන්න ඕන.

 

අප මේ අමාරු කාලයේත් ඕස්ත්‍රේලියානුවන්ට ඉතා හොඳින් සැලකුවා. සලකනවා. අප අපට ම නැත්නම් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට පින් දෙන්න ඕන. ක්‍රීඩා ඇමතිතුමාත් තරග කිහිපයක් බලන්න ගිහින් තිබුණා. ඒකත් හොඳයි. අගමැතිතුමා ගියෙ නැති එක නම් අඩුවක්. සිංහලයන් ආගන්තුක සත්කාරයේ විශිෂ්ටයන්. අපි අමාරුවෙන් ඉඳන් හරි අගන්තුකයන්ට සලකනවා. අප ආගන්තුකයන්ට සලකා ඔවුන්ගේ පැමිණීම ගැනත් ස්තුති වන්ත වෙනවා. ආගන්තුකයන් ගිය පසු සමහර විට කුස ගින්නේ ඉන්නවා.  ඒ අර පරණ සිංහල බෞද්ධ රාජ්‍යයෙන් අප ලබා ගත් වටිනා ගුණයක්.  තවමත් සිංහල බෞද්ධ රාජ්‍යයේ සිංහල බෞද්ධ සංස්කෘතික ලක්‍ෂණ අප ළඟ තියෙනවා.

 

සිංහල බෞද්ධයන් ජීවත්වන්නේ වර්තමානයේ. ඔවුන් විශ්ලේෂණයේ අදක්‍ෂයන්. වියුක්ත ව හිතන්න පුරුදු වෙලා නැහැ. මට නම් අතීතය මතක් වෙනවා. බුදුහාමුදුරුවන් අතීතය අමතක කරන්න කියාවත් අනාගතය ගැන හිතන්න එපා කියාවත් දේශනා කර නැහැ. අතීතය අමතක කරනවා නම් ජාතක කතාවල ඇති වැදගත් කම  කුමක් ද? අප පාරමී දම් පුරන්නේ යළි යළිත් පෙම්වතුන් වීමට නොව අනාගතයේ දී හරි නිවන සම්මාබෝධ කිරීමටයි. යළි ඉපදීම නැති කිරීමටයි. නිවන් සම්මාබෝධය වර්තමානයේත් කළ හැකියි. ඒ අතීතයේ පාරමි දම් පිරූ අයට. අතීතය ගැන පසුතැවිලි වන්න එපා. අනාගතයේ සසර දික්කරගන්නත් එපා. 

 

මට මතක් වෙන්නෙ අනුහය හා ඊට ආසන්න වකවානුව. එකල ලංකාවේ බෝම්බ පිපිරුණා. චන්ද්‍රිකා  පැකේජ මගින් ප්‍රභාකරන්ට රටෙන් කොටසක් දී බෝම්බ පිපිරවීම නවත්වන්න හැදුවා. දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ රුහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පරෂදය පැකේජයට විරුද්ධව කළුතර සිට කතරගමට පාගමන් කැලණියේ සිට කතරගමට රිය ගමන් පමණක් නොව කිරින්ද දක්වා බෝට්ටු ගමන් ද සංවිධානය කළා. ඒ  ගමන්වලදී බෙංගමුවේ නලක හිමියන් හා ඕමාරේ කස්සප හිමියන් මූලිකත්වය ගත්තා. කස්සප හිමියන් දියපට්ටා මතුවුණත් පා ගමන අත්හැරියේ නැහැ. සිංහලයන්ට ඒ සියල්ල අමතකයි. පසුගිය දිනවල ඒ දෙනම ම අසනීප වුණත් ඒ ගැන අතිවිශාල බහුතරයකට වගේ වගක් වුණේ නැහැ. මාධ්‍ය ඔස්තාද්ලා වගේ වගක් නැතුව හිටියා.

 

ඔය කියන දිනවල ඕස්ත්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ලංකා සංචාරයක් යෙදී තිබුණා. එහෙත් ඔවුන් බෝම්බ පුපුරණවා කියා ලංකාවට ආවේ නැහැ. ලක්‍ෂමන් කදිරගාමර කිවුවෙ ඔවුන් පිරිමින් නො වේ කියා. ඒ අවස්ථවේ අඩුව පිරිමහන්න ඉන්දියාවෙ හා පකිස්ථානයෙ ඒකාබද්ධ කණ්ඩායමක් ලංකාවෙ සංචාරය කළා. ලෝක කුසලාන සඳහා ලංකාව සමග තරගවලට ඕස්ත්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම් ලංකාවට පැමිණියේ නැහැ. ඒ තරග සඳහා ලංකාවට නිතරගයෙන් ලකුණු ලැබුණා.

 

මා මේ කරුණු සඳහන් කෙළේ ඕස්ත්‍රේලියාව සමග ඇති කෝන්තරයක් පිරිමහා ගන්න නො වෙයි. මා එරට මෙල්බන් හා සිඩ්නි නගරවල වාසය කර තියෙනවා. වික්ටොරියා නිවු සවුත් වේල්ස් හා දකුණු ඕස්ත්‍රේලියා ප්‍රාන්තවල හා කැන්බරා අගනුවර සංචාරය කරල තියෙනවා. මා එහි ස්වින්බර්න් විශ්ව විද්‍යාලයේ සේවය කර තියෙනවා. මගේ මිතුරන් රාශියක් එහි ජීවත් වෙනවා. ඒ අය අතර පාසල් හා සරසවි මිතුරන් ද බොහෝ දෙනකු ඉන්නවා. මා එරටට කැමතියි. එහෙත් අපට අප ගැන හරි තක්සේරුවක් නැහැ. ඒ නිසා අපට අන් අය තේරෙන්නෙත් නැහැ.

 

ආගන්තුකයන් වූ ඕස්ත්‍රේලියානු කණ්ඩායමට අප ඉතා හොඳින් සලකන්න ඕන. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ ඔන්න මැන්ටලය දැන් ක්‍රිකට්වලට ආවඩනවා කියා. එය නම් ප්‍රශ්නයක් නො වෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ෆයින් ලෙග් මෙන් ම ලෙග් කටර් ගැනත් මට අවබෝධයක් තියෙනවා.  අද ඔය තරගය පවත්වන ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනය සමගත් මගේ සම්බන්ධයක් තියෙනවා. පඬි නැට්ටන් කුමක් කීවත් ඉර පොළොවට සාපේක්‍ෂව ගමන් කරනවා. ජූනි මාසෙ විසිඑක්වැනි දා තමයි ඉර වැඩියෙන් ම උතුරට යන්නෙ. අදත් ඉර තියෙන්නෙ සෑහෙන උතුරකින්. දෙසැම්බර් විසිඑක තමයි දකුණට වැඩියෙන් ම යන්නෙ. ඉර ඒ ඒ දවස්වල ඒ ඒ මාර්ගවල ගමන් කරන නිසා කුළුණක හරි වෙනත් වස්තුවක හරි හෙවනැල්ලේ දිග පමණක් නොව දිශාව ද වෙනස් වෙනවා.

 

ප්‍රේමදාස ක්‍රිඩාංගනයෙ විිදුලි කුළුණු සවිකිරීම භාරව සිටියේ මගේ සරසවි මිතුරකු වූ අභාවප්‍රාප්ත ගැමුණු සිල්වා. ඔහු දක්‍ෂ ඉංජිනේරුවෙක් වුණා. ඔහු මට කිවුවා කුළුණුවල හෙවනැල්ල කිසිම දවසක කිසිම වෙලාවක තණතිල්ලට නොවැටෙන සේ තනතිල්ලෙන් අවම දුරක දී කුළුණු සවිකළ යුතු තැන් ගණනය කරල දෙන්න කියා. එකල ඒ සඳහා පරිගණක ප්‍රක්‍රමණ තිබුණේ නැහැ. පොළොවට සාපේක්‍ෂව සූර්යයාගේ දෛනික හා වාර්ෂික චලිතය සලකමින් ඒ ගණනය කළ යුතුව තිබුණා.  අලුත් අවුරුද්ද ගැන මා කර තිබූ අධ්‍යයනයත් මට එහි දී උපකාර වුණා. පඬි නැට්ටන් කෙසේ සිතුවත් අපේ දැනුම කියන්නෙ ධම්මික පැණිය පමණක් නො වෙයි. ධම්මක පැණියට හිනහවෙන ජඩමධ්‍යකරුවන් රාමනුජන්ට හිනහවෙන්නෙ නැහැ. 

 

පැරණි සිංහල බෞද්ධ රාජ්‍යයේ ක්‍රිකට් තිබුණේ නැහැ. ඒත් අලුත් අවුරුද්ද තිබුණා. අලුත් අවුරුද්ද ලබන වෙලාව හා දිනය  අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. තව කාලයක් යන විට අවුරුද්ද අප්‍රේල් පහළොස්වැනි දා ලබාවි. ඒ කුමක් වුවත් අනාගත සිංහල බෞද්ධ රාජ්‍යයක ක්‍රිකට් තියේවි. මා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ මෙන්ම ඕස්ත්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් පිටියේත් (MCG) ක්‍රිකට් නරඹා තියෙනවා. එංගලන්තය හා ඕස්ත්‍රේලියාව අතර මෙල්බන්හි පැවති ශතක ටෙස්ට් තරගයත් නැරඹීමට මටත් භාර්යාවටත් ලොකු පුතාටත් අවස්ථාව හිමිවුණා.

 

සිංහලයන් අතීතය අමතක කිරීම තරමක ප්‍රශ්නයක්. අද ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ කළ දේ මතක නැහැ. නාලක හිමියන් හා කස්සප හිමියන් කළ දේ මතක නැහැ. උන්වහන්සේලාගේ පාද චාරිකා නොවන්නට මහින්ද කොටි පැරදවීමට දේශපාලන නායකත්වය නොදෙන්නට අදත් කොළඹ හා අනෙක් ප්‍රදේශවල බෝම්බ පුපුරනවා. එසේ වී නම් ඕස්ත්‍රේලියානුවන් ලංකාවට එයි ද කියන එක ප්‍රශ්නයක්. කහ ඇඳීම මට ප්‍රශ්නයක් නොවෙයි. කහ ඇඳ ගැනීම නම් ප්‍රශ්නයක්.