Main Logo

Sunday 19 June 2022

දහම අත්හැර ඩොලර් බදා ගැනීම

 දහම අත්හැර ඩොලර් බදා ගැනීම

 

අද මූලික ප්‍රශ්නය ඩොලර් නැතිකම. ඩොලර් හොයා ගන්නෙ කොහොමද කියන එකයි අද ප්‍රශ්නය. ඒකට කාටවත් විසඳුමක් නැහැ. යැපුම් ආර්ථිකය නැතුව නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම ගැන අද හැමෝ ම පාහෙ කතා කරනවා. ඒත් ඒක කරන්නෙ කොහොමද කියන එක ගැන එකඟත්වයක් නැහැ. සමහරු රාජ්‍ය අංශය ගැන කියනවා. තවත් සමහරු දේශීය පෞද්ගලික ව්‍යාපාරිකයන් ගැන කියනවා. තවත් සමහරු විදේශීය ව්‍යාපාරිකයන් ගැන කියනව.

 

ක්‍රමය කුමක් වුවත් ඒ එක දවසකින් කරන්න පුළුවන් දේ නො වෙයි. හැත්තෑ ගණන්වල මුල බ්‍රෙට්න් වුඩ්ස් ගිවිසුම බිඳ දමා ඩොලරය මුදල් හුවමාරුවේ ඒකකය බවට පත් කළාට පසු අප ඩොලරය මත යැපෙනවා. 1944 දි ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මිත්‍ර ජාතීන් යැයි හැඳින්වූ පිරිස් නිව් හැම්ප්ෂයර්හි බ්‍රෙට්න් වුඩ්ස් හි රැස් වී රත්තරන් හා ඩොලරය අතර අගයක් නියම කර ගත්තා. ඒ අතර තම රටවල මුදල් ඩොලරය සමග හුවමාරු අග ඇති කර ගත්තා. එහෙත් හැත්තැගණන්වල මුල ඇමරිකාවේ ඇති වු උද්ධමනය හා නිසලනය (stagnation) නිසා ජනාධිපති නික්සන් ඩොලරය හා රත්තරන් අතර තිබූ බැඳීම කඩා දැම්මා. දැන් ඩොලරය සමග හුවමාරුවක් තමයි තියෙන්නෙ.  

 

අප ඩොලර් හුවමාරුවෙන් ඈත් වෙන්න ඕන. ඒත් අපට තනිවම එය කරන්න බැහැ. 2009 දි එහෙම කරන්න උත්සාහ කළ ලිබියාවේ ගඩාෆි ගැන අපි දන්නවා. ඔහු ඩොලරය වෙනුවට රන් ඩිනාරය (Gold Dinar) නම් මුදල යෙදවීමට යෝජනා කළා. ඔහුගේ වෑයම වුණෙ ඩොලරය නිසා ඇමරිකාවෙ බැංකුවලට ඇදී යන තෙල් මුදල් ඒ ඒ රටවල ම නවතා ගැනීම. 2011 දි ඇමරිකාව ඊනියා නිදහස නාමයෙන් ලිබියාව ආක්‍රමණය කළා. 2011 ඔක්තෝම්බර් විසිවැනි දා ගඩාෆි ඝාතනය කෙරුණා.

 

අද එංගලන්තය හා ඇමරිකාව (එක්සත් ජනපද) මූලික ව පවත්වාගෙන යන්නේ මූල්‍ර්‍ය පදනමක් මත. ඔවුන්ගේ බැංකුවලට මුදල් ඇදී යනවා. ඔවුන් එය වෙනස් කිරීමට විරුද්ධ ව ඕනෑම දෙයක් කරනවා. අද යුක්‍රේන යුද්ධයටත් මේ කතාවත් බලපානවා. බ්‍රෙට්න් වුඩිස් ගිවිසුම බිඳ දැමූ අවස්ථාවේ පසු කලෙක නව සමසමාජ පාක්‍ෂිකයන් වූ අප හිතන් හිටියේ  දැන් විප්ලවීය අවස්ථාව ඇවිත් කියා. ඒත් විප්ලවය ආපසු හැරී ගිහින්. මාර්ග තදබදයක් තියෙන්න ඇති. අද ඩොලරයෙන් ඈත් වෙනවා නම් එය රුසියාවේ හා චීනයේ මැදිහත්වීමකින් සිදු වෙන්න ඕන. ඒත් එයට කොපමණ කලක් යාවි ද?

 

රුපියලත් ඩොලරය සමග බැඳිලා. ඒත් අප ඒ බැඳීම පාලනය කරල තියෙනවා. ඊනියා විවෘත වෙළෙඳපොළේ ඩොලරයේ අගය තීරණය කරනවා වෙනුවට කෘත්‍රිම ව ඩොලරයේ අගය පහත මට්ටමක තබා ගැනීමට මහා බැංකුව කටයුතු කරල තියෙනවා. අද ඒ කෘත්‍රිම අගය නැති කරල රුපියල පා කරලා. අපිත් දැන් පා වෙනවා. මේ එක් එක් ආර්ථික විද්‍යාඥයා හිතන හැටියට කෙරෙන දේ. ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව.

 

මා මුල සිට ම කියන්නෙ අද අපේ ප්‍රශ්නයට මුල අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම කියා. ඒත් අද අපට එක රැයෙන් ඒ වෙනස් කරන්න බැහැ. අද වමක් නැති වමාලා ලෝකයේ කොහේවත් නැති සමාජවාදයක් ගැන කියවනවා. ඔවුනුත් නිෂ්පාදන ආර්ථිකයක් ගැන කියවනවා. ඔවුන් තමන් අධිරාජ්‍ය විරෝධීන් බව කියනවා. අප අධිරාජ්‍ය විරෝධී නැතිලු. අප සුළු ධනේෂ්වරලු. ඔය සුළු ධනේෂ්වර කියන්නෙත් මාක්ස්වාදයෙ දරිද්‍රතාව කියන ඊනියා සංකල්පයක්. නිෂ්පාදනයේ පංති පදනම ගැන කියන විට ගොනු කර ගන්න බැරි ඇතැමුනට සුළු ධනේෂ්වර කියනවා. සුළු ධනේෂ්වරයන්ට ධනේෂ්වර අභිලාෂ තියෙනව කියනවා.

 

හරියට ම කියනව නම් ඊනියා කම්කරු පංතියට තමයි ධනපති අභිලාෂ තියෙන්නෙ. ධනපති පංතියට සමාජය ඉදිරියට ගෙන යන්න බැරි නිසා නොවැ කම්කරු පංතිය බලය ගන්නෙ. ඊනියා විප්ලවයෙන් සිද්ධ වෙන්නෙ නිෂ්පාදන මාතයෙ වෙනසක් පමණයි. ආකල්පවල වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ. ඊනියා සුළු ධනේෂ්වරයකු කියන මා නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට විරුද්ධ වන්නෙ   ආකල්පවලටත් විරුද්ධ ව. අප අපේ ආකල්පත් වෙනස් කරන්න ඕන. අධි පරිභෝජනය, බොරු ෂෝක් පමණක් නොව බොරු උගත්කමත් අත්හරින්න ඕන.

 

අප ඇති කර ගත යුත්තේ අපේ ආශාවන් හඹා යන අර්ථ ක්‍රමයක් නොව නිවන අරමුණු කරගත් ආර්ථකයක්. සිංහල බෞද්ධ රාජ්‍යයේ පස්වැනි සියවස පමණ වන තෙක් තිබුණෙ එවැනි අර්ථ ක්‍රමයක්. ධාතුසේන රජුගෙන් පස්සෙ තමයි ඒ වෙනස් වෙන්න පටන් ගත්තෙ. අවුකන බුදු පිළිම වහන්සේ හා කලාවැව එහි සංකේත. සමාධි පිළිම වහන්සේ හා පැරණි වැවු සමග ඒ සංසන්දනය කරන්න. එහෙත් අපට ඒ වෙනස්වීම නිසා මහා අහේනියක් සිද්ධ වුණෙ නැහැ. පස්සෙ පස්සෙ හින්දු සංස්කෘතියෙ ඇතැම් අංග ද සිංහල බෞද්ධ සංස්කෘතියට ඇතුල් වුණා. ලන්දේසීන් සඟ සසුනට  කුල භේදය ඇතුල් කළා. තිස්ස කාරියවසම්ගෙ ආචාර්ය උපාධි නිබන්ධනය කියවන විට ඒ නිගමනයට එන්න වෙනවා. ඉංගිරිසින් අප මත පටවපු තකතීරු අධ්‍යාපනය නිසා අප වල්මත් වෙලා. සරච්චන්ද්‍රයන් කියන විධියට වල්මත් වී හසරක් නොදිටුමු.

 

මේ සියල්ල අපට එක දවසෙන් වෙනස් කරන්න බැහැ. ඒ ගැන දැන් කතා කරන්නත් තරමක් අපහසුයි. ඒ දීර්ඝකාලීන විසඳුම්. අද අවශ්‍ය වන්නෙ ආකල්ප වෙනස් කරගත් මිනිසුන්ට තෙල් ගැස් විදුලිය සැපයීම. ගැස් නම් අවශ්‍ය වන්නෙ සීමිත පිරිසකට පමණයි. අනෙක් අයට විකල්ප තියෙනවා. අප විකල්පවලට මාරුවෙන්න ඕන. අද අප කෙතරම් ප්‍රශ්නයකට මුහුණ දෙනවා ද කියනව නම් අපට අඳුරෙ ඉන්නවද ගමන් යනව ද වගේ ප්‍රශ්න රටක් හැටියට අහන්න වෙලා. ඊළඟ තෙල් නැව එන්නෙ කවද ද කියල බලන් ඉන්න වෙලා. අපට කවුරුන්වත් ණය දෙන්න කැමති නැහැ. මහා බැංකුව මුදල් දුන්නත් ණයවර ලිපි විවෘත කිරීම ප්‍රශ්නයක් වෙලා. 

 

මේවට දේශපාලනඥයන්ට වඩා වග කියන්න ඕන අපිමයි. වඩාත් පැහැදිලිව කියනවා නම් මධ්‍යම පංතියයි. නාගරික මෙන් ම ගැමි උගත් මධ්‍යම පංතියයි. බස් නැවතුම් පොළවල් දෙකක් පයින් යන්න බැරි මධ්‍යම පංතියයි. අත්හරින්න බැරි මධ්‍යම පංතියයි. සසර කෙළවර කරන්න දැනුමත් අත්හරින්න කියන දහමක් ඇති රටකට මේ කල ගියෙ අනෙක් දේ කෙසේ වෙතත් දහම අත්හැරිය නිසයි.  ඩොලර් බදා ගත් නිසයි.