Main Logo

Saturday 25 June 2022

ඉන්දීය බලපෑම

 

ඉන්දීය බලපෑම

 

මෙයත් කෙටි සටහනක් පමණයි. අද අපේ ආර්ථික අර්බුදයට හේතුව අවුරුදු හැත්තෑවක් පමණ අප අපේ ආදායමට වඩා වියදම් කිරීම බව අති විශාල බහුතරය පිළිගන්නේ නැහැ. විශේෂයෙන් ම  නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මධ්‍යම පංතියේ බහුතරය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් අද තම දරුවන්ට බොහෝ විට මුදල් ගෙවා පෞද්ගලික පාසල්වල ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වනවා. තමන්ට නියම තැනට යෑමට නොහැකි වූයේ සිංහලෙන් අධ්‍යාපනය ලැබීම නිසා යැයි සිතන්නන් ද බොහෝමයි.

 

අප රටේ අවුරුදු එක්දහස් පන්සියකට පමණ බුද්ධි සම්ප්‍රදායක් තිබී නැහැ. අපට ඇත්තේ අනුකාරක පරිවර්තනය මුල් කර ගත් සම්ප්‍රදායක්. ඉංගිරිසින් යටතේ එය තවත් තීව්‍ර වුණා. ඉංගිරිසි අධ්‍යාපනයෙන් (මාධ්‍ය කුමක් වුවත්) හිතන්න පුරුදු කළේ නැහැ. අද අපට කොහොමටවත් හිතන්න බැහැ. යුද්ධයෙන් නැතත් අප හිතන්න පුළුවන් ජාතීන්ට යටවෙනවා. මෙරට ආර්ථික අර්බුදයට හේතුව ඇතැමුන්ගේ හොරකම් යැයි කියන්නේ බටහිරයන් ඒ බව කියන නිසා මිස හිතා බලා නො වෙයි.

 

ඉන්දියාවේ බුද්ධි සම්ප්‍රදායක් තියෙනවා. එය ඉතා ඈත අතීතයට යනවා. එය බ්‍රාහ්මණ සම්ප්‍රදාය. අදත් ඉන්දියාවේ බලය ඇත්තේ බ්‍රහ්මණයන්ට. ඔවුන් ජාතිකවාදීන්. ඔවුන් බටහිර දැනුම ලබාගත්තත් තම සම්ප්‍රදායේ ඉන්නවා. ඔවුන් නම් පළමුව බලන්නේ තම දේශය ගැන. ඉන්දියාව කියා රටක් ඉංගිරිසින් ඒමට පෙර නොතිබුණත් උතුරේ හා දකුණේ බුද්ධි සම්ප්‍රදායන් තිබුණා පමණක් නොව ඔවුනොවුන් අතර අවශෝෂණ ක්‍රියාවලින් ද තිබුණා.

 

අද වන විට ඒ සම්ප්‍රදාය දෙක තමිල්නාඩුවේ හැරෙන්න එකතු වී තියෙනවා.  ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන් ඉන්දියාවට විරුද්ධ ව තවමත් තමිල්නාඩුව, විශේෂයෙන් ම එහි කතෝලික පල්ලිය  යොදා ගන්නවා. අද ඉන්දියාවේ ආණ්ඩු පක්‍ෂය මෙන් ම විපක්‍ෂය ද ලංකාවට ආධාර කිරීමට එකතු වී තියෙනවා. එය භයානකයි. ඒ එකතුවෙන් කියැවෙන්නේ ඔවුන් තම අණසක අප මත පැටවීමට එකඟ වන බවයි.

 

ඉන්දියාව බටහිරයන් සමග ඇතැම් කරුණුවල දී එකට වැඩ කරන්නේ චීනය නිසයි. එහෙත් ඔවුන් බටහිරයන්ගෙන් ස්වාධීනව ද ක්‍රියා කරනවා. විශේෂයෙන් රුසියාව සම්බන්ධයෙන් එසේ කරනවා. එමෙන් ම ලංකාව සම්බන්ධයෙන් ද ඉන්දියාව බටහිරයන්ගෙන් ස්වාධීන වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. එය ඇතැම් විටෙක වෙනස් වුවොත් ඒ තමිල්නාඩුව හරහා එන බලපෑම නිසයි.

 

අද මෙරට ආර්ථික අර්බුදය බටහිරයන් මෙන් ම ඉන්දියාව ද අප මත තම අණසක පැටවීමට යෙදා ගන්න උත්සාහ කරණවා. පෙරේදා මෙරට පැමිණි ඉන්දීය බලවත් දූත පිරිස ඒ අරමුණින් පැමිණි අය. ඔවුන් කැමති නැහෑ බටහිර රටවල් අපට කරන බලපෑම්වලට. ඉන්දියාව කිසිසේත් ම කැමති වෙන එකක් නැහැ ලංකාවේ බටහිර බලපෑම් වැඩි වෙනවාට.

 

අද අපට කටයුතු කිරීමට සිදු වී ඇත්තේ මේ බලපෑම් මැද. එහෙත් අපට සැලැස්මක් නැහැ. අප තවමත් කරන්නේ ණයට ඩොලර් ගන්න උත්සාහ කිරීම පමණයි. මෙරටට ගැලපෙන නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කරන්න (දීර්ඝ කාලීනව) අප තවම හිතලවත් නැහැ. හිතන්න බැරි අයට හිතන්න කියන එකත් අසාධාරණයි.