Main Logo

Wednesday, 22 June 2022

ක්‍රිකට් හා රට

 

ක්‍රිකට් හා රට

 

රනිල්දාස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතලා. කවුද  එයට ප්‍රතිචාර දක්වමින් කියලා  වෘත්තීය සමිතියක් අටව ගන්න බැරි වුණ එකම තැන බව. ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒ අතර දරුවකු ඇසුවා ලංකාව දිනන්නෙ ලංකාව හොඳ වෙලා නිසා ද නැත්නම් ඕස්ත්‍රේලියාව නරක් වෙලා නිසා ද කියලා. ඒකත් විමසා බලන්න ඕන. අර වෙලාවෙ පා දඟ පන්දු යවන්නන් යොදා ගැනීම හරිද වගේ ප්‍රශ්න ෆින්ච් සලකන්නෙ වැදගත් ප්‍රශ්න ලෙස නො වෙයි. ඒ ඒ අවස්ථාව අනුව නායකයන් තමන් සුදුසු යැයි හිතන පරිදි ක්‍රියා කරනවා. කිසිවකුටවත් වාස්තවික ව කියන්න බැහැ මේ වෙලාවෙදි කළ යුත්තෙ මොකක් ද කියල. ඔය ජාමුලට යනවාද නැද්ද ගිය වෙලාව හරිද වගේ ප්‍රශ්නත් වැදගත් ප්‍රශ්න නො වෙයි.

 

ඒ කොහොම වෙතත් වෘත්තීය සමිති නායකයන් මේ අවස්ථාවෙ අනාථ වෙලා. ඊයෙ මහින්ද ජයසිංහ උත්තර පත්තර ලකුණු කරන ගුරුවරුන්ට තෙල් දීම පිළිබඳ ව ලොකු කතාවක් කළා. එය ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. මා හිතන්නේ ප්‍රමුඛතා නියම කිරීමට කාංචන විජේසේකරට කිහිප දෙනකු සමග සාකච්ඡා කරල කරන්න පුළුවන්. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ ඒ ඒ පිරවුම්හල්වලින් ප්‍රමුඛතා අනුව තෙල් බෙදීමට බාධා ඇති වීමයි. ඒ බාධා ඇති වන්නේ රනිල්දාස දේශපාලනයට මිනිසුන් ඇබ්බැහි වී තිබීම නිසයි. ඒ කණ්ඩායම් හැඟීම නැත්නම් සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු වීම නිසයි. 

 

ඒ ඒ දේශපාලන පක්‍ෂ බලන්නෙ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තම පක්‍ෂයේ ගොඩ ලොකු කර ගැනීමට. මව්බිම පළමුව කියන එක තාප්පවල ලියන සටන්පාඨයක් පමණයි. ඒ මව්බිම ගැන තාප්පවලට හා පාප්පවලට කියා දීමට මිස වෙනත් කරුණකට නො වෙයි. අද බොහෝ දෙනකුට මව්බිමට වඩා වටින වෙනත් දේ බොහොමයක් තියෙනවා. අප අවුරුදු  සීයක පමණ කාලයක රටක් හැටියට හිතල නැහැ. අප සිංහල බෞද්ධයන් හැටියට ධර්මපාලතුමාගෙන් හා ගුණානන්ද හිමිපාණන් වහන්සේගෙන් පසු හිතල නැහැ. අපට සුදුසු පැවිදි නායකත්වයක් තිබිල නැහැ.

 

රනිල්දාසට ක්‍රිකට් කණ්ඩායමේ කල්ලිවාදයක් බිහිකරන්න බැරි වෙලා. අර දරුවා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් තියෙනවා. ලංකාවට අද දිනන්න හැකි වෙලා තියෙනව නම් එසේ කළ හැකිව තිබෙන්නෙ ඔවුන් කල්ලිවාදයක් නැතුව කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන නිසා. මා හිතන්නෙ අර්ජුනගෙ කාලයෙන් පස්සෙ කල්ලිවාදය දැන් ක්‍රිකට් කණ්ඩායමේ නැති වෙලා හරි හුඟක් අඩුවෙලා හරි කියල. තම තමන්ගෙ පෞද්ගලික වාර්තා පිහිටුවීම වෙනුවට කණ්ඩායම් මානසිකත්වයකින් කටයුතු කිරීම ජයග්‍රහණයට හේතුව කියලයි මා හිතන්නෙ. මා ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිවකු හඳුනන්නෙ නැහැ. ඔවුන් සමග කතා බහ කරල නැහැ. මා සඳහන් කරන්නෙ මගෙ හිතළුවක් පමණයි.

 

ඊයේ ඒ කණ්ඩායම් හැඟීම හොඳින් ම පේන්න තිබුණ.  කණ්ඩායමකට නායකයකු ඉන්න ඕන. නායකයා අනෙක් අය කියන දේට ඇහුම්කන් දෙන්න ඕන. ඊයේ අවසන් පන්දු වාරය යැවුවෙ නායකයා. ඒත් නායකයා අවසන් පන්දුව යවන තෙක් ම අනෙක් අයට සවන් දුන්න. කල්ලිවාදයෙන් ප්‍රවේසම් වුණොත් මේ තරුණ කණ්ඩායමට අනාගතයක් තියේවි.

 

රටේ ඇත්තෙ එහි අනෙක් පැත්ත. මව්බිම නැත්නම් මරණය කියන එක බොරු තාප්ප සටන් පාඨයක් පමණයි. පක්‍ෂය නැත්නම්, කල්ලිය නැත්නම්, මව්බිමට මරණය තමයි ක්‍රියාත්මක සටන් පාඨය. දේශපාලන පක්‍ෂ ඇතුළෙත් කල්ලි තියෙනවා. රට මෙතරම් ආර්ථික අර්බුදයකට ගිහින් තියෙද්දිත් කරන්නෙ බොරු හේතු දක්වමින් තව තවත් රට අගාධයට හෙළීම පමණයි. ඊනියා සර්වපාක්‍ෂික කතා කියන්නෙ රට ගොඩ ගන්න නොව තම තමන් ගොඩ ඒමට. තම පක්‍ෂය නැත්නම කල්ලිය ගොඩ ගැනීමට.

 

රට අර්බුදයට ගිහින් තියෙන්නෙ අප හැමෝගෙම වරද නිසා මිස ගෝඨාභය හොරකම් කළ නිසා නො වෙයි. ගෝඨාභයගෙ කාලෙ අලි හෙම්බිරිස්සාව ආව. සංචාරක ව්‍යාපාරය නැත්තට ම නැති වුණා. අපනයන කරුවන් රටට ඩොලර් ගෙන එන එක තව තවත් අඩු කළා. ආනයනයෙදිත් ඩොලර් යම් ප්‍රතිශතයක් උණ්ඩියල් ක්‍රමයට ගණුදෙනු වෙනවා. මේ ව්‍යාපාරිකයන් කවුද? ඔවුන් පාලනය කිරීමට නීති රීති නැත්තෙ ඇයි?

 

රටක් හැටියට අපට කණ්ඩායම් මානසිකත්වයකින් කටයුතු කරන්න බැහැ. අපට ඇත්තෙ මං පොර මානසිකත්වයක්. අපි හොරකමට තක්කඩිකමට බොරුවට පුරුදු වෙච්ච ජාතියක්. තෙල් පෝලිමෙත් හොරකම් සිද්ධ වෙනවා. එතනත් මං පොරලා දකින්න පුළුවන්. මා ඒ බව කියන්නේ පෞද්ගලික අත්දැකීමකින් නො වෙයි. තෙල් පෝලිමේ ඉන්න තරම් මට අහේනියක් නැහැ. මට වාහනයක් නැහැ. අන් අයගේ අත්දැකීම් ගැනයි මා කියන්නෙ.

 

අපට ක්‍රිකට් කණ්ඩායමෙන් ඉගෙන ගන්න තියෙන්නෙ සාමූහිකත්වයෙ අගය. ඒත් අපට එය ඉගෙන ගන්න පුළුවන් ද? ඒ වෙනුවට සමාජයේ කුඩා උපකුලකයක් වූ ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයෙ මෙන් නැවතත් පෞද්ගලික වාර්තා ගැන පමණක් සිතාවි ද? කල්ලිය නැත්නම් රටට මරණය අපේ එකම සටන් පාඨය ද? .