`අප අහන්න ඕන පඬි නැට්ටන්ගෙ කතා ද?
එක් පඬි නැට්ටකු කියා තිබුණ අප කුඩා කල අපේ මනසට දාන මනස්ගාත අත්හරින්න ඕන කියල. අප බටහිර දැනුම අපේ මනසට දාන ඊනියා "දෘෂ්ඨිවාදී නොවන" කතා අප ඇසිය යුතු බවයි පඬි නැට්ටා කියන්නෙ. අප ඇසිය යුත්තේ කුමන කතා ද? අපට කුඩා කාලයේ දෙමවුපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් හා විශේෂයෙන් ම හාමූදුරුවන්ගෙන් අහන්න ලැබෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියේ කතා. ඒ කතාවලින් දිව්‍ය ලෝක අපාය ආදිය ගැනත් කියැවෙනවා. සංසාරය හා නිවනක් ගැනත් කියැවෙනවා. අප අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ කතා අපේ කතා බවට පත් කර ගන්නවා. පාසල් යෑමට පටන් ගැනීමෙන් පසු වෙනත් කතා ද අහන්න ලැබෙනවා. ඒ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ කතා.
මා මුලින් ම ගියේ පාණදුරේ වැකඩ බෞද්ධාලෝක මිශ්‍ර
පාඨශාලාවට. ඒ පාසලට ලොකු ඉතිහාසයක් තියෙනවා. පාසල පටන් ගෙන තියෙන්න 1880
දි. එයට මුල් වෙලා තියෙන්නෙ වෑකඩ බෞද්ධාලාක සමිතිය. ඒ සමිතිය පටන් ගෙන තියෙන්නෙ
ඕල්කට්තුමා 1880 දි ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වෑකඩ පන්සලේ
ලොකු හාමුදුරුවන්ගෙ නායකත්වයෙන්. ඒ කාලෙ බෞද්ධ නායකත්වය දැරුවෙ හාමුදුරුවරු. බෞද්ධ
නායකත්වය ගිහි උගතුන්ට, විශේෂයෙන් ම ඉංගිරිසි උගතුනට
ලැබුණෙ ඕල්කට්තුමාගෙ පැමිණීමෙන් පසුව.
බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම, තරුණ ක්‍රිස්තියානි සංගමය ඇසුරෙන්
තනාගත් තරුණ බෞද්ධ සංගමය ආදියෙ නායකත්වය හිමි වුණෙ ගිහියන්ට.
වත්මන් සමාජයෙ කඩා වැටීමට ප්‍රධාන හේතුව සිංහල
බෞද්ධ නායකත්වය ගිහියන් අතට පත්වීම.
ඕල්කට්තුමාගෙන් පස්සෙ සිංහලකමට වඩා ජාත්‍යන්තර බෞද්ධකමක් ඇති කර ගත් ඕල්කට්
බෞද්ධයන් බිහි වුණා. මා අවධාරණය කරන්න ඕන
ඕල්කට් බෞද්ධයන් කියන්නෙ එතුමා මුල්වෙලා පටන්ගත් පාසල්වල ඉගෙනගත් අයට නොවන බව.
ඕල්කට් බෞද්ධයන් හැම පාසලකින් ම පාහෙ බිහිවුණා. ඊනියා උගතුන්ගෙන් සිංහල බෞද්ධ
නායකත්වය හාමුදුරුවන් අතට නැවතත් පත්වෙන්න ඕන. මා හිතන්නෙ සමස්ත ලංකා බෞද්ධ මහා
සම්මේලනයට මේ සම්බන්ධයෙන් ආදර්ශයක් දෙන්න පුළුවන් කියා.
කොහොමටත් මොන පාසලෙත් කියන්නෙ ඉංගිරිසි (බටහිර)
ක්‍රිස්තියානි කතා. සිංහල බෞද්ධ සංස්කෘතියෙ කතා හා බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ
කතා අතර විශාල වෙනසක් තියෙනවා. ඒ චින්තන දෙකක් අතර ඇති වෙනස. එක චින්තනයකට
ආරම්භයක් රේඛීය චින්තනයක් තියෙනවා. එහි ඊනියා සත්‍යයක් හරි සත්‍යය කරා යැමක් හරි
තියෙනවා. වියුක්ත කතා තියෙනවා. අනෙක් චින්තනයෙ ආරම්භයක් නැහැ. ඇත්තෙ චක්‍රීය
චින්තනය. එහි ඊනියා සත්‍යයක් විශ්වාසයක් නැහැ. වියුක්ත කතා නැහැ. ආරම්භයක් නැති සංසාර චක්‍රය කඩන්නයි කියන්නෙ.
මට කුඩා කල පැවිදී වීමේ අවශ්‍යතාව තිබුණා. අපේ
පියාගෙ මහප්පගෙ පුතෙක් පැවිදි වෙලා
හිටියා. මා විවේකයක් ඇති හැම අවස්ථාවක ම ඒ පන්සලට ගියා. ඒ හාමුදුරවොත් අපේ සීයාත්
කී කතා ඇසීම මා ප්‍රිය කළා. සීයා මා දන්නා තරමින් හරිහමන් රස්සාවක් කෙළේ නැහැ.
එහෙත් වඩුවකු හැටියට තමයි ප්‍රසිද්ධ. ඔහු හොඳ කතාකාරයෙක්. මට පැවිදි වීමේ අවශ්‍යතාව
තිබුණත් අපේ පියා එයට ඉඩ දුන්නෙ නැහැ. එතුමා කියා සිටියෙ ඉගෙන පසුව පැවිදි වෙන්න
කියා. අපේ දෙමවුපියන් ද මාමා ද මුල් වී මා තර්ස්ටන් විදුහලේ දෙවැනි පංතියේ ශිෂ්‍යයකු
කළා. ඒ 1952 වසරේ අදින් හැත්තෑ වසරකට පෙර. තාත්තා මා
තර්ස්ටන් විදුහලට යැවුවත් පැවිදි වීමට අවසර නුදුන්නත් මා පන්සල් යෑම නැවැත්තුවෙ
නැහැ. මා ගණදෙවි හෑල්ල සකස්කඩය ආදී පන්සල් පොත් නමින් හැඳින්වෙන පොත් කියෙවුවා.
තර්ස්ටන් විදුහලේ දී මා වෙනස් වෙන්න පටන්
ගත්තා. මට ඇසුණෙ මුළුුමනින් ම බටහිර ක්‍රිස්තියානි කතා. අපට තුන්වැනි පංතියෙ
ඉගැන්නුවෙ කතෝලික ගුරුතුමියක්. ඇය අපට ක්‍රිස්තියානි සංස්කෘතියෙ ගීත ඉගැන්නුවා.
මමත් මලක් නම් දේවදියණියන් ළඟ සුවඳ දිදී පරවෙන ගීතය ගැන මට තවමත් මතකයි. මා ඇයට
දොස් කියන්නෙ නැහැ. ඒ ඇගේ සංස්කෘතිය. මා කෙසේ වෙතත් ඇයට වෙසක් සුබ පැතුමක් යැවුවා.
මා පහේ පංතියේ ඉන්නවිට පැවිදි වීමේ අවශ්‍යතාව නැති වී ගියා. මට වුවමනා වුණෙ ගුරුවරයකු වීමට. අපට අතිදක්‍ෂ
ගුරුවරයකු හිටියා.
හයවැනි පංතියේ දී මා රාජකීය විදුහලට ඇතුළත්
වුණා. ඒ 1956 දී. එකල රාජකීය විදුහලට පහේ ශිෂ්‍යත්වයෙන්
සිසුන් ඇතුළත් කර ගත්තෙ නැහැ. ඒ සඳහා රාජකීය විදුහලේ පරීක්‍ෂණයකට පෙනී සිටින්න
සිදු වුණා. රාජකීය විදුහලේ දී මා
මුළුමනින් ම මෙන් වෙනස් වුණා. එහෙත් මා පනස් හයේ දරුවකු වුණා. හත්වැනි පංතියේ දී
අපට සිංහල ඉගැන්වූයේ කතෝලික ගුරුතුමෙක්. ඔහු අපට කියා දුන්නේ ජාතක කතා ප්‍රශ්න
කරන්න. සතුන්ට කතා කරන්න පුළුවන් ද වගේ ප්‍රශ්න ඔහු ඇසුවා. ඔහු අපට ගණිතයත් ඉගැන්වූවා.
මා ක්‍රමයෙන් භෞතිකවාදියෙක් වුණා. හයවැනි පංතියෙන් පසු මට ගණීිතය උගන්වා ඇත්තේ
සිංහල බෞද්ධයන් නො වෙයි. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට මා ඇදී ගියා කීම පුදුමයක්
නො වෙයි.
මා වෑකඩ පාසලේ සිට ම ගණිතයට ප්‍රිය කළා. ප්‍රාථමික
පාසලේ උගන්වන්නේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම හා ඒකීය ක්‍රමය පමණයි.
එහෙත් එයත් වියුක්තයි. 2022න් 1984ක් අඩු කිරීම හරි 25න් 18
වැඩි කිරීම හරි වියුක්තයි. එහෙත් 1984 උපන් අයකුගේ අද වයස ඇහුවොත් එය
සංයුක්ත ව ගණනය කරන්න පුළුවන්. 94ට දහයයි 2004ට
විස්සයි 2014ට තිහයි. 2020ට තිස්හයයි. 2022ට තිස්
අටයි අදී වශයෙන් සංයුක්තව ප්‍රශ්නය විසඳ ගන්නවා. 25න් 18 වැඩි කරන්න බැරි වුණත් එකක් රුපියල් 25
ගණනෙ කෙහෙල්ගෙඩි 18ක් කීය ද කියල කියන්න පුළුවන්. දහයක් 250යි.
අටක් දෙසීයයි (හතරක් සීයයි ආදී වශයෙන්) ලෙස එය හදන්න පුළුවන්. එසේ කිරීමේ දී ඔවුන්
නොදැනුවත් ම ගණිතයේ විඝටන න්‍යාය (distributive law – a(b+c) = ab +ac ) යොදා ගන්නවා. එහෙත් විඝටන න්‍යාය වියුක්ත ව
දන්නෙ නැහැ. කියා දෙන එකත් ලෙහෙසි නැහැ.
අපට නවවැනි හා දහවැනි පංතිවල දී (සාමාන්‍ය පෙළ)
ගණිතය ඉගැන්නුවෙ දෙමළ හින්දු භක්තිකයෙක්. ඔහු අපට ගණිතයේ දී (ශුද්ධ හා උසස්)
අර්ථදැක්වීම් (නිර්වචන) අනුමාන නීති තර්ක කිරීම හොඳින් කියා දුන්නා. එමෙන් ම ව්‍යවහාරික ගණිතයේ දී ලෝකයේ සංයුක්ත ව පවතින
ගැටළු වියුක්ත කරන ආකාරයත් සෘජුව ම නොමැති වුවත් කියා දුන්නා. මට ප්‍රවාදාත්මක (Theoretical) භෞතික විද්‍යාඥයකු වීමට අවශ්‍ය වුණෙ
ගුරුවරයකු වීමත් සමග. අප එදිනෙදා ජීවිතයෙ දි කරන්නෙ වියුක්ත නියම (විඝටන නියමය
වගේ) සංයුක්ත ව යොදා ගැනීම. එහෙත් ප්‍රවාදාත්මක භෞතික විද්‍යවෙ දී සංයුක්ත ප්‍රශ්න
වියුක්ත කරල පළමුව වියුක්ත ප්‍රවාදයක් ඉදිරිපත් කරල පසුව එය සංයුක්ත ව වැඩ කරනවා ද
කියල බලනවා. මේ ක්‍රමය මගේ සිත්ගත්තා.
එහෙත් මේ ක්‍රමය ගැන මගේ සිතේ කුකුසක් ඇති
නොවුණා ම නො වෙයි. ඒ කුකුස ඇති කෙළෙ අපට නවවෑනි පංතියේ දී රසායන විද්‍යාව ඉගැන් වූ සිංහල ක්‍රිස්තියානි
ගුරුතුමා. ඔහු අපට අර්ථදැක්වීම පැහැදිලි කරන්නත් පැහැදිලි කිරීම අර්ථදක්වන්නත්
කිවුව. රේඛීය චින්තනයේ අඩුවක් තිබෙන බව මට යම් ආකාරයකට වැටහුණා. සිංහල ක්‍රිස්තියානි
ගුරුවරයකු වුවත් ඔහුට සිංහල බෞද්ධ චක්‍රීය චින්තනය ගැන ඉවක් තියෙන්න ඇති.
මේ කාලයේ මට මාක්ස්වාදය ගැන ද ඇල්මක් ඇති වුණා.
සමාජ අසධාරණයට මාක්ස්වාදයෙ ඊනියා විද්‍යාත්මක විසඳුම් ඇතැයි මා ද සිතුවා. මා
විශ්වවිද්‍යාලයෙ පළමු වසරෙදීම ලංකා සමසමාජ පක්‍ෂයෙ සාමාජකත්වය ඉල්ලුම් කරන්නකු බවට
පත්වුණා. දෙවැනි වසරෙදි මට සාමාජිකත්වය ලැබුණා.
මා එංගලන්තයට ගියේ ඊනියා දක්‍ෂ ශිෂ්‍යයකු ලෙස
ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු (විශ්වවේදියකු) වීමට. එහෙත් මට එහි දී තේරුණා මා
වැඩිම වුවහොත් තුන්වැනි පංතියේ වියුක්ත චින්තකයකු බව. මා විද්‍යාඥයකු වීමේ අභිලාෂය
අත්හැර දමා ආපසු ලංකාවට ආව. මා නැවතත් වෙනස් වෙන්න පටන් ගත්තා. මා පළමුව
මාක්ස්වාදයෙන් කැඩුණා. ඉන්පසු බටහිර විද්‍යවෙන් ද කැඩුණා. මා ආපසු සිංහල බෞද්ධ
සංස්කෘතියට ආවා. සංයුක්ත සියල්ල බොරු බවත් වියුක්තය පට්ටපල් බොරු බවත් මට අවබෝධ
වුණා. එහෙත් එයත් අවබෝධයක් පමණයි. තවත් දෘෂ්ඨිවාදයක් පමණයි. අවබෝධය ලෑබෙන්නෙ
දෘෂ්ඨිවාද මගින්. බටහිර විද්‍යාව ද පදනම් වන්නෙ දෘෂ්ටිවාදයක. නිවන සම්මාබෝධය ඇති
වන්නෙ දෘෂ්ඨිවාදවලින් ගැලවීමෙන්. බටහිර දැනුම උත්සාහ කරන්නෙ එය දෘෂ්ඨිවාදයක් නොවන
බව පෙන්වීමට. එය පාසල් හා විශ්වවිිද්‍යාල හරහා කෙරෙනවා.
අප අහන්න ඕන කාගෙ කතා ද? අරගලය
ගැන පඬියන් පඬි පෝතකයන් පඬිනැට්ටන් මොන කතා කිවුව ද? කතෝලික සම්භවයක් ඇති බටහිර විද්‍යාව
දන්නේ යැයි කියන පඬිනැට්ටකු කිවුවේ අපට අරගලය තේරෙන්නෙ නැහැ කියා. දැන් අරගලය
තේරිලා තියෙන්නෙ කාට ද කියල දැනගන්න පුළුවන්. එහෙමත් නැත්තන් හරි ගිහිල්ල (හරි
නොවේ) තියෙන්නෙ කාගෙ කතා ද?