Main Logo

Monday 20 June 2022

සජිත්ට හා රනිල්දාසට යෝජනාවක්

 

සජිත්ට හා රනිල්දාසට යෝජනාවක්

 

ඊනියා නිර්පාක්‍ෂික අරගලයටත් පෙර ඇති වූ ඉල්ලීමක් වූයේ සරවපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමයි. මේ කෙටි සටහන සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හා මැතිවරණයක් ගැනයි.

 

අද පවත්නා දේශපාලන අර්බුදයක් නැහැ. මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් ඉන්නවා. මහජන ඡන්දයෙන් පත් නොවූ අගමැතිවරයෙක් ඉන්නවා. ඒ පත්වීම් දෙක ම ව්‍යවස්ථානුකුලයි. රනිල් සජිත් රනිල්දාස ආදීන් ඒ බව පිළිගන්නවා. ඒත් එදා යහපාලන ආණ්ඩුව තිබිය දී මෛත්‍රිපාල රනිල් වෙනුවට මහින්ද අගමැති බවට පත්කළ විට ඉහත නම් සඳහන් අය පමණක් නොව මංගල හා දිලිත් ද විරුද්ධ වුණා. එදා කිසිවකු ඇහුවෙ නැහැ රනිල් ඉවත් කර මහින්ද පත් කෙළේ රනිල් මහින්ද රැකීමට ද කියා. මෙරට ඊනියා දේශපාලන විචාරකයන්ගේ විග්‍රහ අතිවිශිෂ්ටයි. සුවස් ඇලෙන් නැගෙනහිරට විශිෂ්ටතම බුද්ධිමතුන් ඉන්නෙ ලංකාවෙ!

 

කෙසේ නමුත් යටත්විජිත මීටර් සීයේ වාර්තාව කඩා  විශ්වාසභංගයක් ගෙනාවා. එය පිටුපස රනිල් මංගල හා දිලිත් සිටියා. අද රනිල් තමාට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනේවි කියා දේශපාලන විචාරකයකුවත් හිතන එකක් නැහැ. සජිත්ට නරක ද රනිල්ට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනාව නම්. කොහොමටත් වැඩි කල් යන්න ඉස්සර රනිල් විසිවෙනවා. වජිර අබේවර්ධන නම් කියාවි රනිල් දැනටමත් ප්‍රශ්නවලින් සියයට මෙච්චර ගණනක් විසඳලා කියලා. ඒත් පොහොට්ටුව ඒක විශ්වාස කරන්නෙ නැහැ.

 

සර්වපාක්‍ෂික  අන්තර්කාලීන ආණ්ඩු කතා විමල් හා ගම්මන්පිළ මේ ආණ්ඩුව අස්ථාවර කිරීමට පියවර ගත් කාලෙ ඉඳන් ම තියෙනවා. ඒ ගරු මන්ත්‍රීවරුන් , එදා ඇමතිවරුන් , තමයි ආණ්ඩුව අස්ථාවර කිරීම පටන් ගත්තෙ. ආතල්ගම නාගරිකයන් නො වෙයි. ආතල්ගමට ඕන කෙළෙ ගෝඨාභය ගෙදර යවන්න. අද ගෝඨාභයට ඉන්න ඇරල ආතල්ගම ගෙදර ගිහින්. ඒත් විමල්ල ගම්මන්පිළලා මහින්ද ගෙදර යවාල රනිල් ගෙනාවා. මොන තරම් දුරදර්ශී ක්‍රියාවක් ද? දැන් ආණ්ඩුව ස්ථාවරයි.

 

ඒත් රනිල්ට බටහිරින් හිතන තරම් ආධාර ලැබෙන්නෙ නැහැ. විමල් හා ගම්මන්පිළ තමන් නැතුව ස්ථාවර ආණ්ඩුවක් ඇති කරල. ඒත් සජිත් හා රනිල්දාස හිතනව ඔවුනුත් ආණ්ඩුවෙ ඉන්නව නම් බටහිරයන් රුසියාච වීනය පමණක් නොව තව්තිසා දිව්‍ය ලෝකයත් අකනිටා බ්‍රහ්ම ලෝකයත් අපට ආධාර කරාවි කියල.

 

සර්වපාක්‍ෂික ආණ්ඩුවක මොන ගුණයක් නිසා ද වෙනත් රටවල් අපට ආධාර කරන්නෙ. තව්තිසාව හා අකනිටා බ්‍රහ්ම ලෝකය හැරෙන්න අනෙක් අය අපට දෙන්නෙ ණයට මිසක් පිනට නොවෙයි. ඊනියා සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ණය ලබා ගැනීම සඳහා දෙන්න පුළුවන් සහතිකේ මොකක් ද? සජිත්ගෙ අසහාය දැනුම ද, එහෙම නැත්නම් රනිල්දාසගෙ විප්ලවීය කතා ද?   සර්වපාක්‍ෂික ආණ්ඩුවක් කියන්නෙ ගැලරියට කරන තවත් බොරු යෝජනාවක් පමණයි.

 

ඒ කොහොම වෙතත් සජිත් කිරිඇල්ල රනිල්දාස ආදීන් මැතිවරණයක් ඉල්ලන එක නම් හොඳයි. තමන් අතුගෑවිලා යන හැටි තමන්ට ම බලා ගන්න පුළුවන්. අද පාර්ලිමේන්තුව විසුරුුවා හරින්න ජනාධිපතිටත් බැහැ. එය කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින්ම යෝජනාවක් සම්මත කරනු ලැබීමෙන් පමණයි.  මා සජිත්ට හා රනිල්දාසට ආරාධනය කරනවා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙස. ආමෙන්!