Main Logo

Showing posts with label අධිකරණය. Show all posts
Showing posts with label අධිකරණය. Show all posts

Tuesday, 22 January 2013

බමුණන්ට අන්ත පරාජයක්

තවත් වසන්තයක් හේමන්තයක් බවට පෙරළී ඇත. එහෙත් ඒ අවසාන වසන්තය නො වේ. විශ්වවිද්‍යාල වසන්තය, අලුත්කඩේ වසන්තය ආදියට අමතරව ඉදිරියේ දී ක්‍රිකට් වසන්ත, පූජක වසන්ත ආදිය ඇතිවීමට හැකි ය. බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදය ලබන බමුණු කුලය තම අනුග්‍රහකයන්ගේ ආධාර ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඒ මහතා ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන ගොස් දංගෙඩියට යැවීමට හැකි සියල්ල කරනු ඇත. ඒ අතර බටහිරයන් ආණ්ඩුවට බලපෑම් කර ආණ්ඩුව වැට්ටවීම සඳහා ආර්ථික සම්බාධක පැණවීමට ද අවශ්‍ය වුවහොත් නේටෝ සංවිධානය හෝ වෙනත් සංවිධානයක් හෝ ඔස්සේ ආක්‍රමණයක් ඇතිකිරීමට වුව ද පසුබට නොවනු ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය හොබවනතාක් ඒ මහතා ඊනියා ජාත්‍යන්තර යුද්ධාධිකරණයක් ඉදිරියට ගෙන යෑමේ අපහසුතාවක් ඇත. එබැවින් බටහිරයන්ට ඒ මහතා පළමුවෙන් ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීමේ අවශ්‍යතාව වෙයි. සියළු වසන්ත, සම්බාධක, ආක්‍රමණ ඒ සඳහා වෙයි. මේ එකක්වත් කුමන්ත්‍රණ නො වේ. ඒ බටහිරයන් තමන් අකමැති ආණ්ඩු සම්බන්ධයෙන් ගන්නා පියවර වෙයි. ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වුව ද මේ ආණ්ඩුව ද අනෙක් ශ්‍රි ල නි ප ආණ්ඩු මෙන් ම මුළුමනින් ම ජාතිකත්ව ප්‍රතිපත්ති පිළිපදින ආණ්ඩුවක් නො වේ. එයට ප්‍රධාන හේතුව මෙරට උගතුන් යැයි කියාගන්නා අනුකාරක බමුණන්ට ජාතිකත්ව ප්‍රතිපත්ති සකස්කිරීමට ඇති නො හැකියාව ය. බමුණු කුලයට කළ හැක්කේ ලිබරල් හෝ මාක්ස්වාදී හෝ වෙනත් බටහිරවාදී හෝ මතවාද පුනරුච්චාරණය කිරීම පමණකි. කෙසේ වුවත්් එ ජා ප ආණ්ඩු මෙන් නොව ශ්‍රි ල නි ප ආණ්ඩු ඇතැම්විට බටහිර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරයි. ඒ සමග බමුණු කුලයේ ඇතැම්හු ද පෞද්ගලික හෝ ජාතික හෝ හේතු නිසා ආණ්ඩුව සමග එකතු වෙති. ඒ ව්‍යතිරේක වෙයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බටහිරයන්ට හා ඉන්දියාවට එරෙහිව ජාතිකත්ව මතවාදයක පිහිටා දෙමළ ත්‍රස්තවාදය පරාජය කළේ ය. බටහිරයන් හා ඉන්දියාව (විශේෂයෙන් ම රෝ සංවිධානය) ආණ්ඩුව වැට්ටවීමට වලිකන්නේ එබැවිනි. එහෙත් ඔවුහු ඒ බවක් නො කියති. ඔවුන් හා බමුණු කුලය ඒ වෙනුවට කියන්නේ ඊනියා යහපාලනය, භාෂණයේ නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, බහුවිධත්වය ආදිය මේ ආණ්ඩුව යටතේ නැති බව ය. මේ කිසිවක් ලෝකයේ කොහේවත් නැත. මේ හුදු වචන පමණ ය. වත්මන් ලෝකයෙහි චක්‍රවර්තී රාජ්‍ය හෝ දශරාජ ධර්මය හෝ දකින්නට නැත. එසේ වීමට ඇති සම්භාවිතාව ශූන්‍යයට ආසන්න වුවත් යම් අයුරකින් ඊළඟ මැතිවරණයෙහි දී එ ජා ප බලයට පත්වුවහොත් ඇතිවන ආණ්ඩුවෙන් යහපාලනයක් බලාපෙරොත්තුවීම ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීමකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන ද කිවහැක්කේ එවැන්නක් පමණ ය. එක් තුණ්ඩු කෑල්ලෙන් රටම අකර්මණ්‍ය කළ ජ වි පෙරමුණට සම්ම ජාතියේ බලය නොලැබෙන බැවින් ඔවුන් ගැන හෝ විවිධ ත්‍රිරෝද පක්‍ෂ ගැන හෝ සඳහන් කිරීම අනවශ්‍ය ය. අවුරුදු හයසියයකට පමණ පසු රට එක්සේසත් කළ මහින්ද රාජපක්‍ෂ මහතා හැකිතාක් කල් ජනාධිපති ධුරයෙ රඳවා ගත යුත්තේ ඒ මහතාට වඩා ජාතිකත්වයකින් බටහිරයන්ට මුහුණ දිය හැකි දේශපාලන නායකයකු පේන තෙක් මානයක නොමැති වීමත් බටහිරයන් ඒ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඊනියා ජාත්‍යන්තර අධකරණය ඉදිරියට ගෙන යෑමට අරඇඳීමත් නිසා ය. ඒ සන්දර්භයෙහි ඒ මහතාට තවත් වරක් ජනාධිපති ධුරයට තරග කළ හැකි අයුරින් 18 වැනි සංශෝධනයක් සම්මත කිරීම බොරු යහපාලනයක් ගැන විශ්වාසයක් නැති මට ප්‍රශ්නයක් නො වේ. ඒ මහතා තවත් වරක් ජනාධිපති ධුරයට පත්කිරීමෙන් බටහිරයන්ට හා බමුණන්ට අතුල් පහරක් දීමට මෙරට පොදු ජනයාට හෙවත් සාමාන්‍ය ජනයාාට හැකියාව තිබිය යුතු ය. බහුවිධත්වයක් ගැන කතාකරන බමුණෝ අධ්‍යාපනයෙහි කිසිදු බහුවිධත්වයකට ඉඩ නො දෙති. මෙරට පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ අධිපතිවාදී බටහිර දැනුම පමණකි. සිංහල වෙදකම සිංහල ගොවිකම ආදිය ඉගැන්වෙන ආයතන මෙරට නැත. අපේ දැනුම මිථ්‍යාවන් යැයි කියමින් ඊනියා යථාර්ථවාදී වාස්තවිකවාදී බටහිර විද්‍යාවක් පමණක් උගන්වන බමුණන් බහුවිධත්වයක් ගැන කතාකරන්නේ පුන නූල පමණක් ඇතිව ය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුවරිය ලෙස පත්කරනු ලැබුයේ ඇගේ අතීත වාර්තාව නොදැන යැයි කිව නො හැකි ය. කොළඹ විශ්වවිද්‍යාලයෙහි සාමාන්‍ය කථිකාචාර්යවරියක වූ ඇය ජී එල් පීරිස් මහතා උපකුලපති ව සිටි සමයේ නීති පීඨයේ පීඨාධිතිනිය බවට ද පත්වූවා ය. ඇය ශ්‍රෙෂ්ඨාධිකරණයට පත්කෙරුණේ ද ඒ මහතා ඇමතිවරයකුව සිටි සමයේ චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. ඇය එඩිතර සටන්කාමී අයකු ලෙස ප්‍රසිද්ධියක් නොදැරී ය. ඇය බලය විමධ්‍යගත කිරීමට පක්‍ෂව ලිපි ලියා තිබිණි. ඇය අගවිනිසුරුවරිය වන විට ඇගේ සැමියා පිළිබඳ ආණ්ඩුව නොදැන සිටියා ද නො වේ. ඒ කිසිවක් එදා ආණඩුවටවත් ඇයටවත් තීරණාත්මක හෝ වැදගත් හෝ නො වීය. ඇය ආණ්ඩුවත් සමග විරසක වූයේ කවදා දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් එය පසුගිය වසරේ දිවිනැගුම පණතටත් ඉසෙඩ් ලකුණු විනිශ්චයටත් පෙර සිදු වී යැයි විශ්වාස කළ හැකි ය. ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය ඇයගේ තීන්දුව විසින් අවුල් කෙරිණි. එය අවුල් කළඅනෙක් අය වූයේ තටිල්් මහතා ජෝසෆ් ස්ටැලින් මහතා ආදීන් ය. වෙනත් වසරවලට වඩා පන්දහසක් පමණ සිසුන් වැඩිපුර සරසවිවලට ඇතුළත් කරගැනීමට සිිදු වී ඇත්තේ 2011 උසස් පෙළ පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන් දක්‍ෂයන් වීම නිසා නොව අධිකරණ තීන්දුවේ අවුල් ස්වභාවය නිසා ය. එහෙත් ඇය ඉතා සටන්්කාමී ලෙස දෝෂාභියෝගයට මුහුණ දුන්නා ය. ඇයට එහි දී බමුණු කුලයේ හා බටහිරයන්ගේ නොමඳ සහාය ලැබී ඇති බව පැහැදිලි ය. ඉදිරියටත් ඒ සහාය ඇයට ලැබෙනු ඇත. ඇයට බටහිරයන් ආසියාතිකයන්ට දෙන උසස් රැකියාවක් ලබාදෙනු ඇත. ඇය දෝෂාභියෝගයකින් ඉවත්කරනු ලැබූවකු වීම ඇයට කැලළක් නොවනු ඇත්තේ කැළැල් තීරණය කෙරෙන්නේ ද බටහිරයන් අතින් වීම නිසා ය. කෙසේ වෙතත් පසුගිය වසරේ යම් දිනයක බටහිරයන් විසින් ඇය දිනාගනු ලැබ ඇති බව පැහැදිලි ය. ඒ ඇය අගවිනිසුරුවරිය ලෙස පත්කිරීමෙන් පසුව ය. බටහිරයන් සරත් ෆොන්සේකා දිනාාගත්තේ ඔහු විශ්‍රාම යෑමෙන් පසුව ය. ඔහුට විරුද්ධව ඇමරිකාවේ අධිකරණයක තිබූ යුද්ධාපරාධ නඩුවක් අස්කරගනු ලැබුයේ ඔහු ඊනියා ජාත්‍යන්තර අධිකරණයේ බටහිරයන්ගේ සාක්‍ෂිකරුවකු කිරීමට හා ජනාධිපති අපේක්‍ෂකයකු බවට පත්කිරීමට ය. මේ බව අපි ඒ දිනවල කියා ඔහු අත්අඩංගුවට ගතයුතු බව කීවෙමු. ශිරාණි බණ්ඩාරනායක බමුණන්ගේ සහාය ඇතිව බටහිරයන් විසින් දිනාගනු ලැබුයේ ඇය විශ්‍රාම යෑමට ද කලිනි. ඉන්පසු බමුණෝ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඇගේ අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරය මගින් ආණ්ඩුවට අභියෝග කළහ. ඒ අලුත්කඩේ වසන්තය සඳහා ය. එතරම් එඩිතර කාන්තාවක ලෙස ප්‍රසිද්ධ නැති ඇය ජනාධිපති ආරාධනා ප්‍රතික්‍ෂෙප කිරීමට ඉදිරියට පැමිණියා ය. අධිකරණය හා ව්‍යවස්ථාදායකය (විධායකය) අතර කිසිදා තරගයක් නො වී ය. බමුණෝ තමන් හා පොදු ජනයා ලෙස බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වනු ලැබූ සාමාන්‍ය ජනයා අතර ආධිපත්‍යය සඳහා වූ අරගලය වසන්කිරීමට එවැනි තරගයක් මැවූහ. ජනාධිපතිතුමා පොදු ජනයා නියෝජනය කළේ ය.

මෙරට ව්‍යවස්ථාවට අනුව අධිකරණ බලතල ද ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසිනි. උසාවි, විනිශ්චය සභා හා ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ආයතන හා වෙනත් ආයතන පාර්ලිමේන්තුව විසින් එහිදී යොදාගැනෙන උපකරණ පමණකි. 4(ඇ) ව්‍යවස්ථාවෙහි ඒ බව පැහැදිලිව සඳහන් වෙයි. ඉහළ උසාවිවල විනිසුරුවන් පිළිබඳ අධිකරණ බලතල ඔවුන්ට ම දිය නො හැකි ය. ඔවුන්ට අනෙක් අයගේ නඩු ඇසිය හැකි වුවත් තමන්ගේ වෘත්තීය දෝෂ පිළිබඳ නඩු ඇසිය නො හැකි ය. විනිසුරුවන් පිළිබඳ නඩුවක දී ඔවුහු සාමාන්‍ය පුරවැසියෝ නො වෙති. එබැවින් ඔවුන් සම්බන්ධ නඩු (පෞද්ගලික නඩු නොවේ) ඇසීමට වෙනත් ආයතනයක් තිබිය යුතු ය.ඒ ආයතනයේ තීන්්දුවලට එරෙහිව ඔවුන්ට කිසිවක් කළහැකි නො වේ. ඒ ආයතනය 107(2) ව්‍යවස්්ථාවෙහි සඳහන් වන පරිදි ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව ය. එහි දී පාර්ලිමේන්තුව අදාළ විනිසුරු වැරදිකරුද නිවැරදිකරුද යන්න තීරණය කරන අතර ජනාධිපතිතුමා විනිශ්චය (තීන්දුව) ලබාදෙයි. 107 (3) ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ පාර්ලිමේන්තුව නීතිය (එනම් පණත්) මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ අදාළ අන්වේෂණය හා චෝදනා සාධනය සඳහා සැලසුම් කළ යුතු බව ය. 107 (2) මෙන් ම 107(3) ද මෙරට උපරිම නීතිය වෙයි. 80 වැනි ව්‍යවස්ථාව යටතේ කිසිම උසාවියකට සම්මත වී ඇති පණත් අභියෝගයට ලක්කළ නොහැකි ය. 107 (3) සම්මත වී ඇති නීතියකි. එය අභියෝගයට ලක්කිරීමට සංශෝධනය කිරීමට උසාවියට නො හැකි ය. 107 (3) ට අනුව ස්ථාවර නියෝග මගින් වුව ද පාර්ලිමේන්තුවට අන්වේෂණය හා සාධනය සඳහා සැලසුම් කළහැකි බව ය. ස්ථාවර නියෝග නීතිය නොවන නමුත් දෝෂාභියෝග සඳහා 107 (3) යටතේ ස්ථාවර නියෝග යොදාගැනීම නීතියට එකඟ ය. නීතියට එකඟව ක්‍රියාකිරීම නීත්‍යානුකුල නොවන්නේ කිනම් නීතියක් හෝ න්‍යායයක් හෝ අනුව දැයි අභියාචනාධිකරණයේ හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ අදාළ විනිසුරුවෝ ද, නීීීතිඥ බමුණෝ ද වෙනත් බමුණෝ ද බමුණු උපකුලකයක් වූ ජඩමාධ්‍යකරුවෝ ද පවසත් ද? අනෙක් අතට 1953 පාර්ලිමේන්තු වරප්‍රසාද පණතේ 3 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ බිත්ති හතර තුළ සිදුවන ක්‍රියා උසාවියක දී අභියෝගයට ලක්කළ හැකි නො වේ. මෙරට රිට් ආඥා නිකුත් කරන්නේ බිරිතානි සම්ප්‍රදාය අනුව ය. පසුගිය අවුරුදු සියගණනක් තුළ බිරිතානි අධිකරණයක් පාර්ලිමේන්තුවට රිට් ආඥාවක් නිකුත් කර නැත්නම් එයින් කියැවෙන්නේ පාර්ලිමේන්තුවට එවැනි ආඥා නිකුත් කිරීමට බලය නැති බව මිස එක් ජඩමාධ්‍යකරුවකු කී අන්දමට අපට අනුගමනය කිරීමට සම්ප්‍රදායක් නැති බව නො වේ. විනිසුරුවන් සම්බන්ධ වෘත්තීය නඩුවල දී ඒ සඳහා 107(2) න් වෙනම ආයතනයක් පිළිගැනී ඇත්තේ විනිසුරුවන්ට ඒ සඳහා කිසිදු බලයක් නොමැති බැවිනි. අභියාචනාධිකරණයට දෝෂාභියෝග නඩුවල විනිශ්චය දීමට නොහැකි ය. අදාළ විනිසූරුවන් කළ යුතුව තිබුණේ ඉදිරිපත් වූ පෙත්සම් ඉවතලීම ය. ඔවුන් එසේ කරනු වෙනුවට සැලැස්මකට අනුව ක්‍රියාකරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් 107 (3) පිළිබඳ අර්ථනිරූපණයක් ඉල්ලා සිටි බව පෙනී යයි. ශ්‍රෙෂ්ඨාධිකරණය ද එය ඉවතට දැමිය යුතුව තිබූ නමුත් පාර්ලිමේන්තු බලතල පවරා ගනිමින් 107(3) සංශෝධනය කර නීතිය මගින් පමණක් සැලසුම් කිරීමට හැකි යැයි තීන්දු කළේ ය. මේ වැරදි තීන්දුවලට එරෙහිව පාර්ලිමේන්තුව ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියේ නම් එය 107 (2) ප්‍රතික්‍ෂෙප කිරීමක් වනු ඇත. පාර්ලිමේන්තුවට කළ හැකිව තිබුණේ එ තීන්දු ප්‍රතික්‍ෂෙප කිරීමත් අදාළ විනිසුරුවන්ට එරෙහිව දෝෂාභියෝග ගෙන ඒමත් ය. දෙවැන්න කෙරේ දැයි අපි නො දනිමු. මේ සියල්ලෙන්් පැහැදිලි වන්නේ ව්‍යවස්ථාවට අනුව විනිසුරු දෝෂාභියෝග සම්බන්ධයෙන් පොදු ජනයාගේ් හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ය. අද පොදු රාජ්‍ය මණ්ඩල සභා, ඊනියා අන්තර්ජාතික ජුරි ආදිය හරහා අප රටට බලපෑම් කිරීමට බටහිරයෝ සූදානම් වෙති. එහෙත් මේ බලපෑම්වලට ආණ්ඩුව යටත් නොවනු ඇත්තේ සාමාන්‍ය ජනතාව තවමත් ආණ්ඩුව සමග බැවිනි. මාර්තු මාසයේ ජීනිවාහි පැවැත්වෙන රැස්වීම් ආණ්ඩුව තුට්ටුවකටවත් මායිම් කර නැත. එයට ආණ්ඩුවට අපේ ප්‍රශංසාව හිමිවෙයි. බමුණන් ඊනියා ජාත්‍යන්තරය හරහා කුමක් බලාපොරොත්තු වුවත් කළහැකි කෙන්ගෙඩියක් නැත.

Saturday, 19 January 2013

සාවද්‍ය අධිකරණ තීන්දු

සිංහල වෙදකම තරම් දියුණු නැති බටහිර වෛද්‍ය විද්‍යාවට තවමත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පිහිටෙන් වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි ආධිපත්‍යයක් ඇති නමුත් සාමාන්‍ය ජනයා (ඊනියා උගතුන් නිතර කියන වියුක්ත ජනතාව නොව) සිංහල වෙදකම, ආයුර්වේදය, සිද්ධි, යුනානි ආදී විවිධ වෙදකම් සොයා යති. පට්ටපල් බොරුවක් වූ ද, හුදු කතන්දරවලින් පමණක් සමන්විත වූ ද, ප්‍රත්‍යක්‍ෂයක් නොවූ ද, බටහිර විද්‍යාව ද එලෙසින් ම මෙරට ආධිපත්‍යය දැරුව ද සාමාන්‍ය ජනයා දෙවියන්ගෙන්, ජ්‍යොතිෂයෙන්, යකැදුරන්ගෙන් ආදී විවිධ ප්‍රභවයන්ගෙන් දැනුම ලබාගනිති. ඒ අතර ආධ්‍යාත්මිකව දියුණුවට පත් වී දැනුම ලබාගන්නෝ ද වෙති. බටහිර දැනුම බමුණු කුලයෙහි දැනුම බවට පත් වී තිබුණ ද සාමාන්‍ය ජනයා ඒ දැනුමෙහි ආධිපත්‍යය සෘජුව නො පිළිගනිති. සාමාන්‍ය ජනයා හැඳින්වීමට බණ්ඩාරනායක මහතා යොදාගත් වචනය වූයේ පොදු ජනයා යන්න ය. තමා පොදු ජන යුගයක් උදාකළ බව ඒ මහතා විශ්වාස කළේ ය. එහෙත් ඒ එසේ නො වී ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය හේතුකොටගෙන බමුණු කුලය බිඳ නො වැටිණි. බමුණු කුලය යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ බටහිරයන්ගේ වරප්‍රසාද ලැබ ඔවුන් අනුකරණය කරන්නන්, බටහිර ආර්ථිකයෙහි යම් වැදගත්කමක් හිමිකරගත්තවුන්, අධ්‍යාපනයෙන් ඉහළ තනතුරුවලට පැනගත්තවුන්, අධ්‍යාපනය හේතුවෙන් සමාජයේ ඉහළට බඩගෑමට බලාපොරොත්තුවන්නවුන්, බටහිර දැනුම කරපින්නාගත්තවුන් ආදීන් ය.එය ඉංගිරිසින් විසින් ඇතිකරන ලද කුලයකි. පනස්හයේ ජයග්‍රහණයෙන් පසුව බමුණු කුලයේ බිඳ වැටීම ගැන ලියා දහසින් බැඳි පියලි ලබාගත් මාර්ටින් වික්‍රමසිංහ මහතා බමුණු කුලය යනුවෙන් කුමන පිරිසක් හැඳින් වී දැයි නො දනිමි. ඒ මහතා සංකල්පීය නිරවුල් බවකින් හෙබි අයකු නො වී ය. කෙසේ වෙතත් අපේ නිර්වචනයට අනුව මාර්ටින් වික්‍රමසිංහ මහතා ද බමුණු කුලයට අයත්විය. බමුණු කුලයට අයත්වන්නේ නීතිඥයන් පමණක් නො වේ. බටහිර වෛද්‍යවරුද, පරිපාලන නිලධාරීහු ද, පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන්නෝ ද, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ද, ඊනියා සාහිත්‍යධරයෝ ද තවත් අය ද සමස්තයක් ලෙස බමුණු කුලයේ ඇත්තෝ වෙති.

වෛද්‍ය විද්‍යාව ඇතුළු බොහෝ ක්‍ෂෙත්‍රවල විකල්ප ආයතන තිබුණ ද, නීති ක්‍ෂෙත්‍රයෙහි ඒ එසේ නො වේ. බටහිර රෝම ලන්දේසි නීතියට විකල්ප නීති පද්ධතියක් මෙරට නැත. අසාධාරණයක් සිදු වී විට අපට යා හැකි වෙනත් තැනක් නැත. අධිකරණ නායක පදවි රාශියක් ඒ ඒ නිකායවල තිබුණ ද භික්‍ෂූන් වහන්සේ අතර ද කිවයුතු තරමේ විකල්ප නීති පද්ධතියක් නැත. අධිකරණ නායක ස්වාමීන් වහන්සේ ද උසාවිවලට වැඩම කිරීම සුලබ දර්ශනයකි. වෙනත් නීති පද්ධතියක් නොමැතිකම හේතුවෙන් බටහිර නීතිය මෙරට විශාල ආධිපත්‍යයක් දරයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය මෙරට රැකෙන්නේ බටහිර නීතිය, පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා ජනමාධ්‍යය හේතුකොටගෙන ය. මේ ආධිපත්‍යය රැකීම බොහෝ අවස්ථාවල නීතිය හා අණ පිළිපැදීම යන්නෙන් ප්‍රකාශ වෙයි. අධ්‍යාපනය විසින් අප පුරුදු කෙරී ඇත්තේ ඊනියා විශේෂඥයන්ට ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි අධිකාරී බලයක් ඇති බව පිළිගැනීමට ය. අහවල් ක්‍ෂෙත්‍රයෙහි අහවල් උගතා මෙසේ කියා ඇත. එබැවින් එය නිවැරදි විය යුතු ය යන අදහස අපේ සිත්වලට කාවද්දා ඇත. ඇතැම් සිංහල ජාතිකවාදීන් අතර ද මේ මතය තිබීම කණගාටුදායක ය. බොහෝ නාගරික සිංහල ජාතිකවාදීහු බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පිළිගනිති. ඔවුහු අධිකරණයේ ඊනියා ස්වාධීනත්වයක් ගැන කතාකරති. අධිකරණයට වැරදි තීන්දු දීමට ස්වාධීනත්වයක් ඇත් දැයි ඔවුහු නො කියති. ඔවුන් සිතන්නේ අධිකරණය සෑමවිට ම අපක්‍ෂපාත ව නිවැරදි තීන්දු දෙන බව ද? මේ ජාතිකවාදීන් දෝෂාභියෝගය පිළිබඳ ප්‍රශ්නයේ දී අධිකරණයේ ඊනියා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂය එහි දී මුනිවත රැකීම පුදුමයක් නො වේ. මේ සිංහල ජාතිකවාදීන්ට අවශ්‍ය දෙමළ , මුස්ලිම් ජනවර්ග අභිබවා යෑම මිස බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පරාජය කිරීම නො වේ. අද නීති විද්‍යාල ප්‍රවේශයෙහි දී සිංහල ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇත. එය නිවැරදි කර වැරදිකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු ය. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. එහෙත් ඒ සමග රෝම ලන්දේසි නීතියේ ආධිපත්‍යය බිඳීමට ද සිංහල හා අනෙක් සිසුන් එක්වී කටයුතු කළ යුතු ය. සිංහල සිසුන් එහි දී නායකත්වය දීමට සූදානම් ද? ඔවුන් දෝෂාභියෝගය ගැන කියන්නේ කුමක් ද? ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අධිකරණයේ ඊනියා ස්වාධීනත්වය රැකීම තම පරම යුතුකම ලෙස සලකත් ද?

මම නීතිය පිළිබඳ තබා ගණිතය හෝ භෞතික විද්‍යාව හෝ පිළිබඳවවත් විශාරදයෙක් නො වෙමි. භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයකු වීමට නොහැකි බව මට වැටහුණේ මා පශ්චාත් උපාධියට ඉගෙනීමට ගිය විට ය. ඉන් පෙර මා සිතා සිටියේ ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයකු වීමට ය. කෙසේ වෙතත් බටහිර දැනුමට අදාළ කිසිම විෂයයක විශාරදයන් මෙරට නොමැති බව මම දනිමි. එහෙත් බමුණු කුලය එසේ නොසිතයි. ඔවුන්ට අනුව නීති විශාරදයෝ ද, වෛද්‍ය විශේෂඥයෝ ද, විද්‍යා චක්‍රවර්තීහු ද (පැරණි අරුතින් නොවේ) වෙති. පසුගිය දා රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ජලයෙහි ඇති ආසනික් බව අප කණ්ඩායම කී අවස්ථාවේ දී ඊනියා විද්‍යා චක්‍රවර්තීහු අපට දෝස්මුරයක් එල්ල කළහ. ඔවුන් කියා සිටියේ ඒ ප්‍රදේශවල ජලයෙහි ආසනික් නැති බව ය. ජලයෙහි ඇති ආසනික් හැඳිනගැනීම සඳහා විශේෂ පරීක්‍ෂණයක් කළ යුතු ය. එය ඊනියා චක්‍රවර්තීන්ගේ පොතේ නැත. ඔවුහු පොතේ නැති නිසා ආසනික් නැතැයි කියති. බමුණු කුලය අද එකහෙළා කියන්නේ ඒ ප්‍රදේශවල ජලයේ ආසනික් නැති බව ය. ඔවුහු ඊනියා විශාරදයෝ වෙති. ඔවුන්ට අනුව අපි මිථ්‍යා මතධාරීහු වෙමු. මේ ආධිපත්‍යයෙහි ප්‍රතිඵලය වී ඇත්තේ දින දෙකකට වරක් වකුගඩු රෝගියකු මිය යෑම ය. අප රැකිය යුත්තේ වකුගඩු රෝගියා හා ඔහුගේ වකුගඩුව ද නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ වකුගඩුව ද?

උසාවිය පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව බල රහිත කරමින් තීරණයක් දී ඇති නිසා අප එය පිළිගත යුතු ද? උසාවි දෙන තීන්දු වාස්තවික හෝ අපක්‍ෂපාති හෝ නොවන බව පැහැදිලි ය. එසේම ඇතැම් විට ඒවා නිවැරදි නො වේ. පහළ උසාවියක තීන්දුවකට විරුද්ධව ඉහළ උසාවියකට අභියාචනා ඉදිරිපත් කරන්නේ පහළ උසාවියේ තීන්දුව වැරදි බව යමකු විශ්වාස කරන බැවිනි. නීතිය පිළිබඳව හෝ කරුණු පිළිබඳ ව හෝ වැරදි සිදුවිය හැකි බව උසාවිය ද පිළිගනියි. එහෙත් ප්‍රශ්නය වනුයේ ඉහළම උසාවිය වැරදි තීන්දුවක් දුන්නොත් සාමාන්‍ය පුද්ගලයකුට කළහැකි දෙයක් නොමැති වීම ය. දෝෂාභියෝගය පිළිබඳ අභියාචනාධිකරණයට මුලින් ම ඉදිරිපත් වූ පෙත්සම් මගින් ඉල්ලා සිටිනු ලැබුයේ තෝරාගත් කමිටුවට රිට් ආඥාවක් පමුණුවන ලෙස ය. දෙවැන්නෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉල්ලා සිටියේ තෝරාගත් කමිටුවේ තීන්දුව බල රහිත කරන ලෙස ය. අභියාචනාධිකරණය පළමු පෙත්සම්කරුවන් වෙනුවෙන් තීන්දුවක් දීමට පෙර ව්‍යවස්ථාවේ 107 (3) වගන්තිය පිළිබඳ අර්ථනිරූපණයක් කරන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ 1953 පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පණතේ 3 වැනි ඡෙදය යටතේ පාර්ලිමේන්තුවේ විවාද, කතා, කාර්යයන් ආදිය පිළිබඳව කිසිම උසාවියක ප්‍රශ්න කිරීමට ඒවා දෝෂාභියෝගයකට ලක්කිරීමට නොහැකි බව ය. තවද මෙරට රිට් ආඥා නිකුත්කිරීම පිළිබඳව තවමත් අනුගමනය කරන බිරිතානි සම්ප්‍රදාය අනුව කිසිම උසාවියකට පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් රිට් ආඥාවක් නිකුත්කළ නොහැකි ය. ඒ හේතු දෙක උඩ වුව ද සියළු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණයට බල කරනු ලැබී ය. එහෙත් අභියාචනාධිකරණයටත් ශ්‍රෙෂ්ඨාධිකරණයටත් වෙනත් අයටත් වෙනත් න්‍යාය පත්‍ර තිබූ බව පැහැදිලි ය. ජනවාරි 8 වැනි දාට පෙර තෝරාගත් කමිටුව බලරහිත කිරීමේ අවශ්‍යතාවක් විය.

ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා අර්ථනිරූපණයකි. 107 (3) ව්‍යවස්ථාව අනුව දෝෂාභියෝගය සාධනය කෙරෙන සංසදයට අවශ්‍ය දෑ සැලසීම පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් කළ යුතු ද? ප්‍රශ්නයට පිළිතුර ඔව් හෝ නැහැ හෝ යන්න ය. අර්ථනිරූපණය ද එමණ ය. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය එයට වඩා දුර යයි. පළමුවෙන් ම එය සාවද්‍යව තෝරාගත් කමිටුව චෝදනා පිළිබඳ තීන්දුව දෙන සංසදය බව කියයි. දෙවනුව පාර්ලිමේන්තුව එකී කමිටුවට නීතියෙන් අවශ්‍ය දෑ සලසා නැති බව පවසයි. තුන්වැනුව ස්ථාවර නියෝග මගින් අධිකරණ බලතල තෝරාගත් කමිටුවට දිය නොහැකි බව පවසයි. මෙය අර්ථනිරුපණයක් නොව ව්‍යවස්ථාව සංගත නොමැති බවට දෙන ලද තීන්දුවකි. 80 (3) වැනි ව්‍යවස්ථාව යටතේ ශ්‍රෙෂ්ඨාධිකරණයට සම්මත වී ඇති පණත්වල අනුකුලතාව, සංගතබව පිළිබඳ තීන්දු දිය නො හැකි ය. හතරවැනුව ස්ථාවර නියෝග 78 (අ) සඳහන් වී ඇත්තේ විවාද රීති යටතේ බව කියයි. එයින් අදහස් කරන්නේ 78 (අ) විවාදවලට අදාළ දෙයක් පමණක් බව ය. එහෙත් 78 ස්ථාවර නියෝගය ඇත්තේ විශේෂ කරුණක් කීමට ය. ජනාධිපතිතුමා ඇමතිවරුන් විනිසුරුවන් ආදීන් සම්බන්ධ කරුණු ඒ සඳහා ම ගෙනෙන විශේෂ යෝජනාවක් මගින් විවාද කළ යුතු බවත් සංශෝධන ආදිය මගින් ඒ නෙකෙරිය යුතු බවත් කියැවෙයි. එයින් කර තිබෙන්නේ ද විනිසුරුවන් ආරක්‍ෂා කිරීම ය. 78 හි එසේ සඳහන් කිරීමෙන් පසු විනිසුරුවන්ට එරෙහිව ගෙනෙන දෝෂාභියෝග පවත්වන්නේ කෙසේ ද යනුවෙන් 78 (අ) යටතේ සඳහන් කිරීම ඉතාමත් සුදුසු ය. පස්වැනුව කියන්නේ ස්ථාවර නියෝග මගින් අවශ්‍ය සැලසුම් කර ඇති නමුත් නීති මගින් ද එසේ සැලසුම් කිරීමට බාධාවක් නැති බව ය. බාධාවක් නැති වුවත් 107 (3) හි නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ යැයි කියා තිබිය දී නීතියෙනුත් සැලසුම් කිරීම අවශ්‍ය නැති බව සාමාන්‍යයෙන් ඇරිස්ටෝටලීය න්‍යාය තේරෙන කාහට වුවත් අවබෝධ වෙයි. හයවැනුව ශ්‍රෙෂ්ඨාධිකරණය පුන පුනා කියන්නේ ස්ථාවර නියෝග මගින් අධිකරණ බලතල තෝරාගත් කමිටුවට පැවරීම 4 (ඇ) ව්‍යවස්ථාවට පටහැණි බව ය. එබැවින් එය නීතියට ද පටහැණි යැයි ශ්‍රෙෂ්ඨාධිකරණය පවසයි. එහෙත් මේ බොහෝමයක් අර්ථනිරුපණ නොව 80 (3) ව්‍යවස්ථාවට පටහැණීව අවුරුදු 34කට පෙර සම්මත ව ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව එම ව්‍යවස්ථාවට එකඟ නොවේ යැයි තීන්දු කිරීමකි. දෝෂාභියෝග පිළිබඳ අධිකරණ බලතල 4 (ඇ) අනුව 107 (2) මගින් ඇත්තේ ජනාධිපතිතුමාට හා පාර්ලිමේන්තුවට මිස තෝරාගත් කමිටුවට නො වේ. තෝරාගත් කමිටුව එහි දී යොදාගැනෙන යාන්ත්‍රණයක් පමණකි. එය පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය. එයට කළ හැක්කේ චෝදනා සාධනය වී ඇත්දැයි වාර්තා කිරීම ය. පාර්ලිමේන්තුව ඒ වාර්තාව පිළිගැනීමට බැඳී නැත. පාර්ලිමේන්තුවට වුව ද කළ හැක්කේ අදාළ විනිසුරුවරයාට එරෙහි චෝදනා සාධනය වී ඇත් ද නැත් ද යන්න ජනාධිපතිතුමාට දැන්වීම පමණකි. තීන්දුව දෙන්නේ ජනාධිපතිතුමා ය. අප කිහිප වතාවක් කියා ඇත්තේ 107 (2) මගින් තීරණය හා තීන්දුව වෙන් කෙරී ඇති බව ය. මේ ලිපිය ලියන මොහෙත වන තුරුත් තීන්දුව තබා තීරණයවත් ගෙන නැත. නැති තීන්දුවක් නිෂ්ප්‍රභා කිරීමේ ගෞරවය අභියාචනාධිකරණයට හිමි වෙයි. තමන්ට දී ඇති වරමෙන් පිටගොස් ශ්‍රෙෂ්ඨාධිකරණය වැරදි තීන්දු කිහිපයක් ම දී පාර්ලිමේන්තු බලතල පවරාගැනීමට උත්සාහ කරයි. පාර්ලිමේන්තුව මේ වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට බැඳී නැත.

Saturday, 12 January 2013

ව්‍යවස්ථාව නීතිය නො වේ ද?

සියළු විනිසුරුවෝ ද, නීතිඥයෝ ද සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති. මෙය බෞද්ධ සම්ප්‍රදායට අයත් වාක්‍යයක් නොවූවත් මේ දිනවල ඒ බව නැවත නැවතත් තහවුරු වෙමින් ඇත. අලුත්කඩේ වසන්තය හේමන්තයක් වන දවස එතරම් ඈත නො වේ. අගවිනිසුරුවරියට අමතරව තවත් විනිසුරුවන් කිහිප දෙනකුට විරුද්ධව දෝෂාභියෝග ගෙන ඒමට ආණ්ඩුවට බල කෙරී ඇත්තේ ඒ විනිසුරුවන් විසින්ම ය. විනිසුරුවන් වැරදි කරන විට ඔවුන් ගෙදර යැවිය යුතු ය. නීතියේ ඊනියා කන්‍යාවියගේ ඇස් බැඳ ඇය දූෂණය කෙරෙන්නේ අධිකරණයේ දී ම නම් කළ යුත්තේ කුමක් ද? අපි නම් කිසි දිනෙක නීතියේ කන්‍යාවියක ගැන විශ්වාසයක් නො තැබුවෙමු. නීතියේ ඇත්තේ කන්‍යාවක් නොව ගණිකාවක් බව කීම වෙන කිසිවක් කරගැනීමට නොහැකිව තම දරුවන් හදාවඩා ගැනීමට ඒ වෘත්තියෙහි යෙදෙන අසරණ කතුන්ට කරන නිගරුවකි. නීතියේ ඊනියා කන්‍යාවිය බමුණු කුලයේ බමුණන්ට ඇඟ විකුණන ගණිකාවක් පමණකි.

ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් අභියාචනාධිකරණය ඉදිරියට පළමුවර ගියේ පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට ඇයට එරෙහිව ඇති දෝෂාභියෝගය අන්වේෂණය කිරීමට අධිකරණ බලතල නොමැති බව කියමිනි. දෙවැනි වර ඇය ම අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තෝරාගත් කමිටුව එළඹි ඇති නිගමන නිෂේධ කරන ලෙස ය. දෙවැනි වර අභියාචනාධිකරණය තෝරාගත් කමිටුව ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තිය යටතේ ව්‍යවස්ථාව විසින් පිළිගැණුනු තවත් ආයතනයක් බව තීරණය කළේ ය. අභියාචනාධිකරණය එම කමිටුවේ සාමාජිකයන්ට අධිකරණය ඉදිරියෙ පෙනී සිටීමට නොතීසි නිකුත් කළේ ඒ පදනමින් ය. එහෙත් පළමුවර අභියාචනාධිකරණය ව්‍යවස්ථාවේ අර්ථනිරූපනයක් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ ස්ථාවර නියෝග 78 (අ) සම්බන්ධයෙනි. ප්‍රශ්නය වනුයේ තෝරාගත් කමිටුවට දෝෂාභියෝගය සම්බන්ධයෙන් අන්වේෂණය කිරීමට බලය ඇත් ද යන්න ය. අද ශ්‍රෙෂ්ඨාධිකරණය අනුව යමින් අභියාචනාධිකරණය තෝරාගත් කමිටුවට අන්වේෂණය සඳහා බලයක් නොමැති බව කියයි. මේ කිසිම අධිකරණයක් නිරපේක්‍ෂ ඊනියා වාස්තවික තීරණයක් නොදෙන බව පැහැදිලි ය. අපට ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දු පිළිගැනීමට සිදුවන්නේ එහි තීරණ සෑවිට ම නිවැරදි නිසා නොව එහී තීනදු හා තීරණවලට එරෙහිව යෑමට එයට වඩා ඉහළ උසාවියක් නැති බැවිනි. සිරකරුවන් මෙන් ම නීතිඥයෝ ද විනිසුරුවෝ ද මනුෂ්‍යයෝ වෙති.

මෙහි දී අප නෛතික තත්වයන් ගැන කතාකළ ද අද උද්ගත වී ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් මිස ඊනියා නෛතික ප්‍රශ්නයක් නොවන බව ය. අගවිනිසුරුවරියට ස්වාභාවික යුක්තිය යටතේ ඇගේ නිර්දෝෂිභාවය පෙන්වීමට අවස්ථාවක් තිබිණි ද නැද්ද යන්නවත් මෙහි දී වැදගත් නො වේ. ඇයට තම නිර්දෝෂිභාවය පෙන්වීමට අවස්ථාව ලබා දී තිබූ නමුත් ඇය හා ඇගේ නීතිඥයෝ තෝරාගත් කමිටුවේ අන්වේෂණයෙහි දී කාලය කා දමා අභියාචනාධිකරණය බ්‍රහස්පතින්දා දුන් තීන්දුව ලැබෙන තෙක් අන්වේෂණය දිගගැස්සීමට උත්සාහ කළහ. ඔවුන් සිතන්නට ඇත්තේ බ්‍රහස්පතින්දා වන තෙක් අන්වේෂණය කල්දමා ගත්තේ නම් ඒ තීන්දුව ඔස්සේ තෝරාගත් කමිටුව අහෝසි කිරීමට ය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් තෝරාගත් කමිටුව පසුගිය මාසයේ 8 වැනි දා සිය වාරතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අද අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඊනියා අර්ථනිරූපණයක් මත පදනම් ව තෝරාගත් කමිටුවට අන්වේෂණය සඳහා බලතල නැතිබව තීරණය කර ඇත. එහෙත් පාර්ලිමේන්තුව ඒ තීරණය ඉවත දමන බව පැහැදිලි ය. යම් අයුරකින් අගවිනිසුරුවරියගේ නීතිඥයන්ගේ ප්‍රයත්නය සාරථක වී අන්වේෂණය පසුගිය බ්‍රහස්පතින්දා වන තුරු කල්දමාගත්ත ද පාර්ලිමේන්තුව අභියාචනාධිකරණ තීරණය ඉවත දමන බව පැහැදිලි ය. ඒ අභියාචනාධිකරණ තීරණය වැරදි නිසා පමණක් නො වේ. අද ඇත්තේ තම වෘත්තිය පිළිබඳව නැති වැදගත් කමකින් සිතන නීතිඥයන් හා බමුණු කුලය හා ඒ කුලයට පැන ගැනීමට උත්සාහ කරන්නන්, දෙමළ ජාතිවාදීන් ඇතුළු විජාතික බලවේග සහ පොදු ජනයා අතර සටනක් වන බැවිනි. ජාතිකවාදීන් ව සිටි ඇතැම් නීතිඥයන් මේ ප්‍රශ්නයේ දී දෝෂාභියෝගයට විරුද්ධ වන්නේ ඔවුන් බමුණු කුලයට ආවඩන බැවිනි. බටහිර අධ්‍යාපනයේ ගැත්තන් වූ මොවුන්ට ප්‍රශ්නයේ දේශපාලනය නො පෙනෙයි. බමුණු කුලයට අවශ්‍ය අගවිනිසුරුවරිය එම තනතුරෙහි ම තබාගෙන ආණ්ඩුව අස්ථාවර කර මහින්ද රාජපක්‍ෂ මහතා තනතුරෙන් ඉවත්කර අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ වරදට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමගින් දංගෙඩියට යැවීම ය.

දෝෂාභියෝගය සම්බන්ධයෙන් තවමත් අවසන් තීන්දුව දී නැත. එය දෙන්නේ ජනාධිපතිතුමා ය. පාරලිමේන්තු විවාදයෙන් පසුව ඇතැම් විට එතුමා අගවිනිසුරුවරිය ඉවත් නොකර සමාව දීමට ද ඉඩ ඇත. කෙසේ වෙතත් දෝෂාභියෝගය සම්බන්ධයෙන් තීන්දුවක් දී නොමැති විටක එය නිෂේධ කරන ලෙස අගවිනිසුරුවරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ ඇයටවත් ඇගේ නීතිඥයන්ටවත් සාමාන්‍ය තර්කනය පිළිබඳ අවබෝධයක් නොමැති බව ය.ඔවුන් නිෂේධ කරන ලෙස ඉල්ලන්නේ තවමත් නොදුන් තීන්දුවකි. නැති තීන්දුවක් නිෂේධ කරන්නේ රෝම ලන්දේසි නීතිය පදනම් වී ඇති ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ ව නම් නො වේ. නෛතික තත්වය කෙසේ වෙතත් දැන් දේශපාලනය පැහැදිලි ය. විජාතික බලවේගවලට අවශ්‍ය අධිකරණය හා ව්‍යවස්ථාදායකය (විධායකය) අතර ප්‍රශ්නයක් ඇතැයි පෙන්වීම ය. 1978 ව්‍යවස්ථාව යටතේ ම 78 (අ) ස්ථාවර නියෝග යටතේ ම ගෙනා වෙනත් දෝෂාභියෝග අවස්ථාවල නැතිවූ තත්වයක් අද ඇතිවන්නේ කෙසේ ද? 1984 සිට අද දක්වා නීතියේ වෙනසක් සිදු වී නැත. එහෙත් එදා අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ඊනියා ගැටුමක් නො විණි. අද ද එවැනි ගැටුමක් නැත. එහෙත් බමුණු කුලය ඇතුළත් විජාතික බලවේග එවැනි ගැටුමක් ඇති බව පෙන්වයි. ඒ අද ඇති දේශපාලනය වසා ගැනීමට ය. සාමාන්‍ය ජනතාවට තනි තනිව ගත්කල ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දු සමග එකඟ නොවුණත් එය පිළිගැනීමට සිදුවෙයි. ඒ එයට වඩා ඉහළ උසාවි නැති බැවින් හා තීන්දු නොපිළිගතහොත් හිරේ විලංගුවේ වැටීමට සිදුවන බැවිනි. එහෙත් පාර්ලිමේන්තුව එවැනි තීන්දුවක් නොපිළිගන්නේ නම් වියුක්ත ජනතාව පාර්ලිමේන්තුව සමග නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව හිරේ දැමිය නොහැකි ය. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතුවලට බාධා පැමිණවිය නො හැකි ය. පාර්ලිමේන්තුව අවලංගු කළ නො හැකි ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නො හැකි ය. එහෙත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට තම බලය පැහැරගැනීමට උත්සාහ කරන විනිසුරුවන් දෝෂාභියෝග මගින් ගෙදර යැවිය හැකි ය. අද බමුණු කුලයට ජනතාව පාර්ලිමේන්තුවට එරෙහිව පාරට බැස්සවිය නොහැකි ය. එය සරත් ෆොන්සේකාටවත්, ශිරානි බණ්ඩාරනායකටවත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ටවත් කුමාර් සංගක්කාරටවත් බමුණු කුලය වෙනුවෙන් කළ නො හැකි ය. විජිත හේරත්ට හා සුදන්දිරම්ට ද ඒ කළ නොහැකි ය. ඔවුන් පාර්ලිමේන්තු වරප්‍රසාද බිඳ දමා ඇත්තේ දැයි සොයා බැලිය යුතු ය.

ඒ දෝෂාභියෝගයෙහි දේශපාලනය ය. නීතිය පැත්තෙන් බැලූ කල අධිකරණය පඹගාලක පැටලී ඇත. පළමුවන් ම ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව ඒකකයක් ලෙස ගත්කල විනිසුරුවන්ගේ දෝෂාභියෝග සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන අධිකරණ බලතල සහිත ආයතනයකි. 4 (ඇ) වගන්තියෙන් කියැවෙන්නේ අධිකරණ බලතල පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන බවත් එහි දී වෙනත් දේ අතර උසාවි, විනිශ්චය සභා හා ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ආයතන මගින් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන බවත් ය. 107 (2) වගන්තියෙන් ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව එකට ගත්කල විනිසුරුවන්ගේ දෝෂාභියෝග සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ආයතනයක් වෙයි. විවාදයට භාජනය වී ඇති 107 (3) වගන්තිය ද නීතිය වෙයි. ඒ වගන්තිය අනුව දෝෂාභියෝග සම්බන්ධයෙන් සියළු කටයුතු සඳහා අවශ්‍ය සැලසීම් පාර්ලිමේන්තුවට නීතිය හෝ ස්ථාවර නියෝග හෝ මගින් සම්පාදනය කළ හැකි ය. මෙහි දී වැදගත් වන්නේ ඒ සම්පාදන නීතිය මගින් පමණක් කළ යුතු යැයි ව්‍යවස්ථාවෙහි 107 (3) යටතේ හෝ වෙනත් වගන්තියක් යටතේ හෝ සඳහන් නොවීම ය. ඒ සම්පාදන ස්ථාවර නියෝග මගින් පමණක් වුව ද කළ හැකි බව 107 (3) වගන්තියේ හෝ යන්නෙන් පැහැදිලි වෙයි. ස්ථාවර නියෝග 78 (අ) හුදු ස්ථාවර නියෝග නො වේ. ඒ නියෝග දෝෂාභියෝග සම්බන්ධයෙනි. ඒ නියෝග සම්පාදනය කර ඇත්තේ 107 (3) වගන්තිය අනුව කටයුතු කිරීමට ය. 107 (3) මෙරට නීතියකි. එහි දෝෂාභියෝග කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවට බලතල ඇත. 107 (3) යටතෙහි ස්ථාවර නියෝග මගින් අවශ්‍ය සැලසුම්සම්පාදනය කළ හැකි බව කියැවෙයි. එය නීතියකි. නීති යනු ව්‍යස්ථාදායකය විසින් අණ පනත් මගින් පැනවෙන්නේ වෙයි. 78 (අ) ස්ථාවර නියෝග පනවා ඇත්තේ නීතියකට අනුව ය. කෙසේ වෙතත් 107 (3) අනුව නීතියක් වුවත් නැතත්, දෝෂාභියෝගයට අවශ්‍ය සැලසුම් ස්ථාවර නියෝග මගින් පමණක් සම්පාදනය කළ හැකි ය. ශ්‍රෙෂ්ඨාධිකරණය එසේ නො වේ යැයි කියන්නේ කෙසේ ද? ව්‍යවස්ථාවේ 107 (3) හා ස්ථාවර නියෝග 78 (අ) අනුව පත්කෙරී ඇති තෝරාගත් කමිටුව කතානායකවරයා විසින් දෝෂාභියෝගයෙහි අන්වේෂණය සඳහා පත්කර ඇති කමිටුවකි.එයට කළ හැක්කේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම ය. කමිටුවේ නිගමන අවසාන තීරණයක් ද නො වේ. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ බව අමතක කරයී. අවසාන තීන්දුව දෙනු ලබන්නේ ජනාධිපතිතුමා විසිනි. භ්‍රෙෂ්ඨාධිකරණයට හැකි නම් කළ යුත්තේ ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කිරීම ය. ව්‍යවස්ථාවෙහි 170 වගන්තිය අනුව නීතිය වනුයේ පාර්ලිමේන්තුවේ සම්මත වන අණ පනත් ය. 107 (3)වගන්තිය ව්‍යවස්ථාවෙහි ම කොටසකි. තවද 1953 පාර්ලිමේන්තු වරප්‍රසාද පණතේ 3 වැනි ඡෙදය යටතේ පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිදු ක්‍රියාවක් ගැන ප්‍රශ්න කිරීමට කිසිම උසාවියකට බලයක් නැත. ශ්‍රෙෂ්ඨාධිකරණයට බලය ඇත්තේ පණත් කෙටුම්පත් ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද යන්න ගැන තීරණයක් දීම ය. එහෙත් සම්මත වූ පණත් ගැන තීන්දු දුමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාවේ 80 (3) වගන්තිය යටතේ කිසිදු බලයක් නැත. මෙරට උපරිම නීතිය වූ ව්‍යවස්ථාවෙහි 107 (3) වගන්තිය නීතියක් වී බොහෝ කල් ය. ඒ පිළිබඳ තීන්දු දීිමට ශ්‍රෙෂ්ඨාධිකරණයට බලයක් නැත. 107 (3) යටතෙහි 1984දී පැනවූ 78 (අ) ස්ථාවර නියෝග ගැන අද තීන්දුවක් දීමට ද ශ්‍රෙෂ්ඨාධිකරණයට නො හැකි ය. ශ්‍රෙෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාව හා නීතිය පිළිබඳ අර්ථනිරූපණ දිය හැකි බව සැබෑ ය. එහෙත් පණත් ව්‍යවස්්ථාවට එකඟ ද නැද්ද යැයි කල්ගත වී තීරණය කිරීමට එයට බලයක් නැත. 78 (අ) ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය කර ඇත්තේ අර්ථනිරූපණයක් නො වේ. 78 (අ) නීතියට එකඟ ද නැද්ද යන්න හෝ එය නීතිය ද නැද්ද යන්න හෝ විනිශ්චය කිරීම අර්්්ථනිරුපණයක් නො වේ. කෙසේ වුවත් 78 (අ) නීතියට එකඟ බව පැහැදිලි ය. අනෙක් අතට විනිසුරුවකු සම්බන්ධ සිද්ධියක දී විනිසුරුවන් ව මැදිහත් වී තීන්දු දීම තමාගේ නඩුව තමාම අසාගැනීමකි.

Monday, 24 December 2012

දෝෂාභියෝගයෙහි ආශිර්වාදය


අගවිනිසූරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය රටට ආශිර්වාදයක් වී ඇත. තෝල්ක මුදලිගේ සිට විනිසුරු දක්වා අවශ්‍ය අය සාමාන්‍ය මිනිසුන් අපහාසයට ලක්කරමින්, ඔවුන් බිය කරමින් පවත්වාගෙන ගිය උසාවිවල ව්‍යාජ ගාම්භීරත්වය දැන් හෙළිදරවු වෙමින් ඇත. ඇතැම් නීතිඥයන් හා විනිසුරුවන් හරස් ප්‍රශ්න ඇසීමේ දී හා ප්‍රශ්න කිරීම්වල දී සාක්‍ෂිකරුවන්ට කරන අපහාස උපහාස උසාවිවලට ගොස් ඇති සැවොම දනිති. අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවෙන් ඉවත් වූයේ ඇයට අපහාස කළ බව පවසමිනි. උසාවි යන මහජනයා ඒ පූර්වාදර්ශය අනුගමනය කළහොත් බොහෝ උසාවිවල වැඩකරගෙන යෑමට නොහැකිවනු ඇත. එපමණක් නොව උසවියට අපහාස කිරීමේ වරදට බොහෝ දෙනකුට සිරබත් කෑමට සිදුවනු ඇත. කචිචේරියේ ඒජන්ත හාමුදුරුවන් ඉවත්කිරීමට මහජනයාට හැකිවුව ද උසාවියේ නඩුකාර හාමුදුරුවන් ඉවත්කිරීමට ඔවුන්ට නොහැකි විය. පන්සලේ හිසකෙස් නැති හාමුදුරුවන්ට මිනිසුන්ගේ ඇත්තේ ගෞරවයක් වුවත් බොරු කොණ්ඩ පැළඳි නඩුකාර හාමුදුරුවන්ට ඇත්තේ ගෞරවයක් නොව බයකි. ඒ බය යටත්විජිත සමයේ ඇතිකරන ලද බියකි. ශිරානි බණ්ඩාරනායක මහත්මිය අධිකරණය දේශපාලනීකරණයට ලක් කලෙන් මේ බය දැන් අඩුවෙමින් පවතී. ඇය ජයවේවා භංගවේවා කාරයන්ට උසාවි පරිශ්‍රය ලබාදුන්නා ය. උසාවි පරිශ්‍රයේ දී භික්‍ෂූන් වහන්සේ ලවා සෙත්පතා ගත්තා ය. පක්‍ෂපාතී නීතිඥයන්ට ජනමාධ්‍ය සාකච්ඡා සඳහා උසාවි පරිශ්‍රය ලබාදුන්නා ය. ඇය උසාවිය හා එහි දොරටු ලාභ ජනප්‍රියතාව සඳහා යොදා ගත්තා ය. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ බමුණු කුලය නියෝජනය කරති. නීතිඥයන් අපක්‍ෂපාතී නැති බව දෝෂාභියෝගයෙන් පෙන්නුම් කෙරිණි. බණ්ඩාරනායක මහත්මිය විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරියක ලෙස සේවය කරද්දී දෙමළ ජාතිවාදයට පක්‍ෂ ලිපි ලියා ඇත. ඇය අවුරූදු තිස්අටක තරම් අඩු වයසක දී ශ්‍රෙෂ්ඨාධිකරණයට පත්කරනූ ලැබුයේ ශ්‍රී ල නි ප දෙමළ ජාතිවාදයට පක්‍ෂපාත ස්ථාවරයකට යොමුකළ චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. නීතිඥයන්ගේ පක්‍ෂග්‍රාහී බව ඔවුන්ගේ තර්ක හුදෙක් තම වාසිය සඳහා පමණක් යොදා ගැනෙන බව දෝෂාභියෝගයේ දී කාහටත් දී දැකගත හැකි විය. උසාවිය යනු බමුණු කුලයේ අවසන් බළකොටුව ය. ජේ ආර් ජයවර්ධන විසින් හෑල්ලු කෙරුණු ඒ බලකොටුව අද කඩාවැටෙමින් පවතී. ඒ ගැන මගේ අසතුටක් නැත. බයිබල් සම්ප්‍රදායේ වාක්‍යයකින් කියන්නේ නම් හිරකරුවෝ ද, විනිසුරුවෝ ද, නීතිඥයෝ ද මනුෂ්‍යයෝ වෙති.

එ ජා පක්‍ෂයෙන් විනිසුරුවන්ට විරුද්ධව මේ ව්‍යවස්ථාව හා ඒ වෙනුවෙන් ම පනවනු ලැබූ ස්ථාවර නියෝග යටතේ දෝෂාභියෝග ගෙන ආවිට උසාවියේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න නොනැඟූ බටහිරයන්ට, රාජ්‍ය නොවන සංවිධානවලට, බමුණු කුලයට, හා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් බමුණු කුලයට පැන ගැනීමට වෑයම් කරන්නන්ට අද නීතියේ දෙවොළ මතක් වී ඇත්තේ ඇයි? එයට හේතුව මෙය පුද්ගලයකුට එරෙහිවූ දෝෂාභියෝගයක් පමණක් නොවන බව ඔවුන්ට වැටහීම ය. ශ්‍රී ල නි පක්‍ෂයේ මොන දුර්වලකම් තිබුණත් මෙරට බමුණු කුලයට එරෙහිව සටන් කර ඇත්තේ ඒ පක්‍ෂය පමණකි. මාක්ස්වාදී පක්‍ෂ ද කටයුතු කරන්නේ අධිරාජ්‍ය හා ධනේශ්වර විරෝධී වුව ද බටහිර ගැති බමුණු කුලයෙහි ය. ශ්‍රී ල නි පක්‍ෂයට ලිබරල් හා මාක්ස්වාදී සම්ප්‍රදායයන් බලපාන නමුත් එහි මුල් ඇත්තේ බමුණු ආධිපත්‍යයකට ඉඩක් නැති සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ය. ශී්‍ර ල නි පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබෙන ආණ්ඩුවලට බමුණු කුලය ද, නිදහස් අධ්‍යාපනය මගින් එයට පැනගැනීමට උත්සාහ කරන සමාජ හිණි පෙතේ ඉහළ නගින්නවුන් ද, මාක්ස්වාදීන් ද, රාජ්‍ය නොවන සංවිධාන ද, බටහිර බලවේග ද, කෙටියෙන් නම් සියළු විජාතික බලවේග විරුද්ධ වන්නේ එබැවිනි. ශ්‍රී ල නි පක්‍ෂයේ එවැන්නන් නැතිවා නොවේ. එහෙත් ඒ පක්‍ෂයට ඡන්දය දෙන්නෝ බෞද්ධ වුවත් නැතත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූවෝ ය. දෝෂාභියෝගය ගෙන ආවේ දිවිනැගුම පණත සම්බන්ධ තීන්දුව නිසාවත් ඉසෙඩ් ලකුණුු තීන්දුව නිසාවත් නො වේ. අද දෝෂාභියෝගය පිටුපස ඇත්තේ බටහිර අනුග්‍රහය ලබන උද්ධච්ඡ බමුණන් ජනතා බලය ප්‍රතික්‍ෂෙප කිරීම ය. ශ්‍රී ල නි ප ක්‍රියාකාරීත්වය හා සාමාන්‍ය ජනතා අපේක්‍ෂා අතර ප්‍රතිවිරුද්ධතා නැතිවා නො වේ. අපට අපේම වූ දැනුමක් තවමත් නොමැතිවීම හා තිබෙන දැනුම මිථ්‍යා ලෙස පිළිකෙව් කිරීමට බටහිර අධ්‍යාපනයෙන් ලැබෙන රුකුල මේ ප්‍රතිවිරුද්ධතාවල මුල වෙයි. සිවිල් සේවය ඉංගිරිසින් විසින් පිහිටුවන ලද්දේ ඉංගිරිසින්ගේ අනුකාරක පරිපාලනයක් ස්ථාපිත කිරීමට ය. අපට කළ හැකිවූයේ සිවිල් සේවය අහෝසි කර සිවිල් සේවකයන් අනුකරණය කරන තුන්වැනි ගණයේ අනුකාරකයන් පරිපාලකයන් ලෙස පත්කර ගැනීම පමණ ය. විශ්වවිද්‍යාලවල ද මේ තත්වය දැකගත හැකි ය. එහි කිසිම සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ නිර්මාණය නොකළ අනුකාරකයන් වෙනුවට දැන් ඇත්තේ අනුකාරකයන් අනුකරණය කරන තුන්වැනි ගණයේ අනුකාරකයන් ය. මෙරට පාසල් ද එබඳු ය. ප්‍රභූ යැයි සම්මත පාසල් පිහිටුවනු ලැබුයේ එංගලන්තයේ පෞද්ගලික පාසල් අනුකරණය කරමිනි. මධ්‍ය මහා විදුහල් පිහිටුවනු ලැබුයේ ඒ අනුකාරක පාසල් අනුකරණයෙනි.

ඉංගිරිසින් මෙරට සිටි සමයෙහි දී උගතුන්ට සෘජු අනුකාරක අධ්‍යාපනයක් හා පුහුණුවක් ලැබිණි. මෙරට ප්‍රභූ පාසල්වල ප්‍රථම විදුහල්පතිවරු බටහිර ජාතිකයෝ වූහ. එකල අනුකාරකයෝ පළමු ගණයේ (සෘජු) අනුකාරකයෝ වූහ. 1948න් පසු අනුකරණය සඳහා මෙරට ඉංගිරිසින් සිටියේ මඳ වශයෙනි. ඉන් පසු බිහිවූයේ අනුකාරකයන් අනුකරණය කළ තුන්වැනි ගණයේ (වක්‍ර) අනුකාරකයන් ය. අවාසනාවකට මේ තත්වය බෞද්ධ පාසල් ඇතිවීමේ දී ද පසුව මධ්‍ය මහා විදුහල් ඇති කිරීමේ දී ද කල්තබා ම සිදු වී තිබිණි. කන්නන්ගර මහතා පළමු මධ්‍ය මහා විදුහල් පිහිටුවීමේ දී ප්‍රභූ යැයි සම්මත පාසල්වලින් බිහි වූ විදුහල්පතිවරුන් තෝරාගෙන ඔවුන්ට උපදෙස් දී ඇත්තේ තමන් ඉගෙන ගත් පාසල් වැනි පාසල් බිහිකිරීමට ය! සුද්දන්ගේ කාලයට සාපේක්‍ෂව කඩා වැටීම ඇරඹුණේ තුන්වැනි ගණයේ අනුකාරකයන් බිහිවීම නිසා මිස අධ්‍යාපන මාධ්‍යය ඉංගිරිසිය වෙනුවට සිංහල වීම නිසා හෝ ද්විභාෂික පරම්පරාවක් නැතිවීම නිසා හෝ නො වේ. සුද්දන්ගේ ක්‍රමය පවත්වාගෙන යා හැක්කේ ඔවුන් හරිහැටි අනුකරණය කිරීමෙනි. ඒ සඳහා සුද්දන් ජීවමාන ව ඇසුරු කරන පළමු ගණයේ අනුකාරකයන් සිටිය යුතු ය. අනුකාරකයන් අනුකරණය කරන්නන්ට සුද්දන්ගේ ක්‍රමය පවත්වාගෙන යෑමට නො හැකි ය. එවිට සුද්දන්ට සාපේක්‍ෂව කඩා වැටීමක් සිදුවේ. පාර්ලිමේන්තුවේ මේ කඩා වැටීම සිදු වී බොහෝ කල් ය. අධිකරණය ද මේ කඩාවැටීමට භාජනය නොවූවා නො වේ. එහෙත් බොරු කොණ්ඩ හා ලෝගුවලින් කඩාවැටීම සඟවා ගෙන සාමාන්‍ය ජනයා බිය වැද්දීමට හැකි විය. දෝෂාභියෝගයත් සමග බොරු කොණ්ඩ ගැලවී යෑම ඇරඹුණි. එහෙත් අවාසනාවකට අපට අපේ ම වූ දැනුම, ආයතන නැත. එබැවින් කඩාවැටී ඇති, කඩාවැටෙන පාර්ලිමේන්තුව, විශ්වවිද්‍යාල, පරිපාලනය, අධිකරණය තව තවත් සාපේක්‍ෂව කඩා වැටෙනු බලා සිටීමට අපට සිදු වී ඇත. ඉංගිරිසි හා තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීමෙන් මේ කඩා වැටීම වැළැක්විය නො හැකි ය. අනෙක් අතට සුද්දන්ගේ ආයතන ද කඩාවැටෙන මෙකල අපි අගාධයට ම යමු. එසේ නොයෑමට නම් අපේ ම වූ දැනුමක් හා ආයතන අපට අවශ්‍ය වෙයි.

දෝෂාභියෝගයේ නෛතික බව ගැන ද යමක් කිව යුතු ය. 104 (ඇ) ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කෙරෙන්නේ උසාවි විසින් නොව පාර්ලිමේන්තුව විසිනි. පාර්ලිමේන්තුව එහි දී වෙනත් කරුණු අතර ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන උසාවි, විනිශ්චය සභා හා ආයතන මගින් අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. අගවිනිසුරුවරිය 107 (1) යටතේ ජනාධිපතිතුමා විසින් පත්කෙරෙයි. ඇය ඉවත්කළ හැක්කේ 107 (2) යටතේ ජනාධිපතිතුමාට ය. එහෙත් ඒ සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස පාර්ලිමේන්තුව එතුමියගේ විෂමාචාර ක්‍රියා හෝ නුසුදුසු බව හෝ සාධනය වීම මත ජනාධිපතිතුමා ඇමතිය යුතු ය. 107 (2)න් පැහැදිලි වන්නේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවත් ජනාධිපතිතුමාත් එකට ගත්විට ව්‍යවස්ථාවේ 104 (ඇ) අනුව පිළිගැනෙන අධිකරණ බල සහිත ආයතන බව ය. මෙහි දී පාර්ලිමේන්තුවට අගවිනිසුරුවරිය වැරදිකාරිය බව සාධනය වී ඇති බව තීරණය කළ හැකි නමුදු තීන්දු දීමේ බලය නැත. ඒ බලය ඇත්තේ ජනාධිපතිතුමාට ය. තීරණය හා තීන්දුව වෙන් කෙරී ඇත. 107 (3) යටතේ පාර්ලිමේන්තුවට නීතිය හෝ ස්ථාවර නියෝග හෝ මගින් එකී ඇමතීමකට අවශ්‍ය යෝජනාව සම්මත කිරීමේ පිළිවෙළ, විෂමාචාරය හෝ නුසුදුසු බව හෝ අන්වේෂණය (විමර්ෂණය) කර සාධනය කිරීම පිළිබඳ අවශ්‍ය සියළු දේ සැලසිය හැකි ය. මෙහි වැදගත් කරුණ වන්නේ නීතිය මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ ඒ කළ හැකි වීම ය. ඒ අවශ්‍ය දේ 1984 දී එ ජා ප ආණ්ඩුව පැනවූ ස්ථාවර නියෝග 78 (අ) මගින් සැලසෙයි. 78 (අ) (2) යටතේ කථානායකතුමා චෝදනා පිළිබඳ අන්වේෂණය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තෝරාගත් කමිටුවක් පත්කළ යුතු ය. ඒ අනුව කමිටුවට ද අධිකරණ බලතල ඇති බව ව්‍යවස්ථාවෙන් පිළිගැනෙයි. 78 (අ) (4) යටතේ ඒ කමිටුවට පුද්ගලයන්, ලිපි ලේඛන, වාර්තා ආදිය කැඳවීමට බලය ඇත. මෙහි සාක්‍ෂි විභාගයක් ගැන නො කියැවෙයි. විවිධ උසාවි, කම්කරු විනිශ්චය සභා ආදිය අන්වේෂණයෙහි දී විවිධ අයුරින් කටයුතු කරයි. සාක්‍ෂි විභාග නොමැති උසාවි ද ඇත. 78 (අ) (6) යටතේ කමිටුව සාමාන්‍යයෙන් මසක් ඇතුළත තම සොයාගැනීම් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. සොයාගැනීම් යන්නට වැරදිකරුද නැත් ද තීරණය කිරීම ද අඩංගු බව කිවයුතු නො වේ. කමිටු වාර්තාව දෙසැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 78 (අ) (1) යටතේ පාර්ලිමේන්තුවට ජනවාරි 8 වැනි දා වන තෙක් අදාළ යෝජනාව සම්මත කරගත නො හැකි ය. එදිනට පසු පැවැත්වෙන විවාදය අවසානයේ දී පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාට යෝජනාව භාරදෙනු ඇත. අගවිනිසුරුවරිය චෝදනා එකකට හෝ කිහිපයකට හෝ වැරදිකාරිය යැයි පාර්ලිමේන්තුව තීරණය කළත් ඇය ඉවත්කිරීමට ජනාධිපතිතුමා ව්‍යවස්ථාව අනුව බැඳී නැත. එය පාර්ලිමේන්තවේ යෝජනාව හෝ තෝරාගත් කමිටුවේ වාර්තාව හෝ නොසලකා හැරීමක් හෝ පාර්ලිමේන්තුව අභිබවා යැමක් හෝ කමිටුවේ සාමාජිකයන් කෙරෙහි විශ්වාසයක් නැතැයි කීමක් හෝ නො වේ. තීන්දුව දෙන ජනාධිපතිතුමා දඬුවම් පැමිණවීමේ දී තමාට ඉදිරිපත් කෙරී ඇති යෝජනාව හැදෑරිය යුතු ය. එතුමා ව්‍යවස්ථාවේ සඳහන් නොවූවත් ස්වාධීන කමිටුවක් පත්කිරීමට යන්නේ අවශ්‍ය උපදෙස් ලබාගැනීමට බව පැහැදිලි ය. විදේශිකයන් සහිත කමිටුවක් පත්කළ යුතු යැයි කියන්නෝ පරමාධිපත්‍යය පාවා දෙන්නෝ ය. ආණ්ඩු පක්‍ෂය ක්‍රියාකර ඇත්තේ ව්‍යවස්ථාවට එකඟව ය. අගවිනිසුරුවරිය නම් කමිටුවෙන් ඉවත්වීමෙන් 78 (අ) (5) යටතේ චූදිතයාට චෝදනා විසාධනය කිරීමට ඇති අයිතිය පැහැර හැර ඇත. කලින් ම දෝෂාභියෝගය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ විට ඇය විනිසුරුවන් පත්කරන බැවින් අගවිනිසුරු ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු වූවා ය.

Thursday, 13 December 2012

සුදු බැනියං-කලු කෝට් ආණ්ඩු ක්‍රමය

පාර්ලිමේන්තුවත් උසාවියත් මේ රටේ රාජ්‍ය බලය ක්‍රියා කරවන ප්‍රධාන ආයතන දෙක ලෙස හැඳින්වේ. මේ ආයතන අපට ලබා දුන්නේ ඉංග්‍රීසීන් බව අපි කවුරුත් දනිමු. 1815 දී ඔවුන් විසින් පැහැර ගන්නා තෙක් අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීමට මෙවැනි ආයතනවල අවශ්‍යතාවක් නොතිබිනි. නමුත් 1948 දී ඔවුන් රට භාර දුන්නේ මේ ආයතන දෙක නොමැතිව ක්‍රියාත්මක කල නොහැකි රාජ්‍යයකි. අද හිටපු ජනාධිපතිනිය ඇතුළු බොහෝ බටහිර උගත්තු අපට උපදෙස් දෙන්නේ මේ බටහිර රාජ්‍ය ක්‍රමය ආරක්‍ෂා කරන ලෙසය. ඔවුන්ට රාජ්‍ය ක්‍රමය ආරක්‍ෂා කිරීමට මිස රජය ආරක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් නැත. අපි ඒ ක්‍රමය ආරක්‍ෂා කල යුත්තේ එය මිනිසා විසින් චිරාත් කාලයක් තිස්සේ අත්හදා බලා සොයා ගත් මානුෂිකම ආණ්ඩු ක්‍රමය නිසා යැයි ඔවුහු අපට කියා දෙති. මේ ඊනියා අත්හදා බැලීම කෙරී ඇත්තේ යුරෝපයේ මිස වෙන කොහේවත් නොවන බව අපි කවුරුත් දනිමු. එය සැම ජාතියකටම සරිලන ආණ්ඩු ක්‍රමය යැයි ඔවුන් කියන්නේ ඔවුන්ගේ උද්ච්ඡ බව නිසාය. ඒ කෙසේ වෙතත් අපට නම් මේ ක්‍රමයේ බැලූ බැල්මට පෙනෙන දුර්වල බවක් ඇත. එනම් සාමාන්‍ය මිනිසුන්ට මේ බලවත් ආයතන සමඟ සෘජුව ගනුදෙනු කිරීමට නොහැකි වීමය. ඔවුන්ට එය කල හැක්කේ ඔවුන්ගේ නියෝජිතයින් වන මන්ත්‍රීවරු හා නීතිඥවරු හරහාය. නියෝජිතවරුන් නොමැතිව ක්‍රියාත්මක කල නොහැකි ආණ්ඩු ක්‍රමයක් කෙතරම් මානුෂික විය හැකිද යන්න ප්‍රශ්ණයකි.

බොහෝවිට අපි වැරදි වැඩ නොකර සිටින්නේ පිං පව් හෝ යුතු අයුතු කම් ගැන සංස්කෘතියෙන් අපට කියා දී ඇති දැනුම නිසා මිස නීතිය හදාරා ඇති නිසා නෙවේ. නමුත් උසාවියේ තීරණ ගන්නා ආකාරය අපි පිං පව් හෝ යුතු අයුතු කම් අළලා තීරණ ගන්නා ආකාරයට වඩා සංකීර්ණය. ඒ සංකීර්ණ බවට එක හේතුවක් නම් එහි ගුරු කොට සකලන නීති ගෙතී ඇත්තේ ඊනියා වියුක්ත මිනිසකුගේ වියුක්ත ගැටළුවක් කේන්ද්‍ර කරගෙන මිස යම් අයෙකුගේ දන්නා ප්‍රශ්ණයට අදාලව නොවන නිසාය. මේ සංකීර්ණ බව හසුරුවා ගැනීමට අපට නීති විශේෂඥයින්ගේ සහය පැතීමට සිදුවේ. ඒ අනුව යුක්තිය ඉටුකර ගැනීමට යාමේදී අපේ අවශ්‍යයතාව සපුරාලන්නේ නීතිඥවරයාය. අධිකරණයය ඉදිරියේදී එතුමා අපේ නියෝජිතයාය. ඒ අතර මන්තී්‍රතුමා පාර්ලිමේන්තුවේ අපේ නියෝජිතයාය. මෙතුමා සුදු රෙද්දක් සහ බැනියමක් අඳින අතර අනිත් උතුමා කලු කබායක් අඳියි. ඔවුහු අප වෙනුවෙන්ද අප රට වෙනුවෙන්ද විවිධ තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුව හා අධිකරණය ඉදිරියේ අපව නියෝජනය කරති. මේ නියෝජන ක්‍රමය සාමාන්‍ය වැසියන් රජයෙන් ඈත් කර තබන බව පැහැදිලිය. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය උදෙසා යැයි කෙරෙන දෝශාභියෝග ගැටුමේදී සාමාන්‍ය ජනතාවට වඩා කළු කෝට් සහ සුදු බැනියං ඇඳගත් අය වැදගත් තැනක් ගන්නේ මේ ආණ්ඩු ක්‍රමයේ ඇති දුර්වල බව නිසාය.

මේ නියෝජිතයින් දෙදනාගේ මැදිහත් වීමෙන් තොරව එකම ආයතනයක් සමඟ පුද්ගලිකව ගනුදෙනු කිරීමෙන් මේ සියලු අවශ්‍යතා සපුරා ගන්නට හැකි ක්‍රමයක් වේ නම් එය මීට වඩා මානු’ෂික නොවේද?

සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික කටයුතු වලදී වැදගත්වන තීන්දු තීරණ පරිපාලණ හෝ අධිකරණ යැයි වෙන්කර ගැනීමට ඊට ආවේනිකවූ හේතු නැත. එසේ වෙන් කර අර්ථදක්වා ගත්තත් යම් නියත ප්‍රශ්ණයකදී පරිපාලණ හා අධිකරණ කටයුතු එකිනෙකින් සම්පූර්ණයෙන්ම ස්වායත්ත නොවේ. ඒ නිසා ඒ කටයුතු එකම ආයතනයකින් හෝ එක බලධාරියකු හරහා ඉටු කර ගැනීමට නොහැකි හේතුවක් තිබිය නොහැකිය. අවශ්‍ය වන්නේ ඔහුට හෝ එම ආයතනයට ඒ සඳහා බලයක් තිබීම පමණි. නමුත් අද පවතින ආණ්ඩු ක්‍රමයට අනුව එය කළ නොහැකිය. එයට ප්‍රධාන හේතුව මේ බටහිර ආණ්ඩු ක්‍රමය තුල රජ්‍ය බලය කේන්ද්‍රගත වී තිබීමය. රට පුරා විසිර සිටින සියලු වැසියන් සම්බන්ධයෙන් රජ්‍ය බලය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා එහිදී පාර්ලිමේන්තුව උසාවිය වැනි ආයතන අතර රාජකාරි බෙදී ඇත. තවද කේන්ද්‍රගතවූ පරිපාලන ආයතන සමඟ පුද්ගලිකව ගනුදෙනු කිරීම ප්‍රායෝගික නොවන නිසා මහජන නියෝජිතයන් එනම් මන්ත්‍රීවරුන් පත්කෙරී ඇත. මේ ආකරයට ප්‍රශ්ණය කළමනාකරණය කරගෙන ඇතත්. පවතින ක්‍රමය මානුශික යැයි කිව නොහැකිය. මීට විකල්පයක් ඇත. ඒ රාජ්‍ය බලය විමධ්‍යගත කිරීමය.

රජ්‍ය බලය ගම් මට්ටමට විමධ්‍යගත කල විට එය ක්‍රියාත්මක කිරීම සඳහා උසාවියත් පාර්ලිමේන්තුවත් වෙනුවට ගමේ පිහිටි ගම්මුන් විසින් මෙහෙයවන තනි ආයතනයක් හෝ පුද්ගලයෙකු යොදා ගැනීමට අපහසුවක් නැත. එවිට ගමේ වැසියන්ට මහජන නියෝජිතයකුගෙන් තොරව ඒ ආයතනය සමඟ සෘජුවම ගනුදෙනු කිරීමට බාධාවක්ද ඇති නොවෙනු ඇත. ඒ නිසා ප’ක්‍ෂ දේශපාලනයද ගමට වැදගත් නොවනු ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එහි වියුක්තබව අඩුවී සංයුක්ත ස්වභාවයක් ගනු ඇත. එමඟින් නීති ක්‍රියාදාමය සරලවී සාමාන්‍ය වැසියෙකුට නීති විශේෂඥයෙකුගේ සහය නොමැතිව එම ආයතනය සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාවක් සැලසෙනු ඇත. වැදගත් වන්නේ ඒ ගමේ රාජ්‍ය බලය ඇති ආයතනය හෝ පුද්ගලයා සධාරණව සදාචාරාත්මකව කටයුතු කරන්නේද යන්නය. එකල නම් ගමේ පංසලේ හාමුදුරුවන් විසින් ඒ බවට වග බලාගන්නට ඇතැයි සිතිය හැකිය.

කේන්ද්‍ර ගතව සුදු බැනියං හා කලු කෝට් හරහා ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයට වඩා විමධ්‍යගතව ගම් මට්ටමින් සාමාන්‍ය මිනිසුන් සමඟ සෘජුව ගනුදෙනු කෙරෙන ආණ්ඩු ක්‍රමය සරලය, කාර්යක්‍ෂමය මානුෂිකය. 1815 දක්වා මෙරටේ ක්‍රියාත්මක වන්නට ඇත්තේ මීට සමාන ක්‍රමයක් යැයි සිතිය හැකිය. අද බලය විමධ්‍යගත කරනවා යැයි කියා කරන්නේ පවතින ක්‍රමය සතු පාර්ලිමේන්තු උසාවි වැනි ආයතන එසේම තබාගෙන ඒවා කුඩා ඒකක වලට කැඩීමය. නමුත් කෙතරම් කුඩා ඒකක වලට කැඩුවත් ඉන් සැබෑවටම බලය විමධ්‍යගත වීමක් සිදු නොවේ. කේන්ද්‍රීයකරණය බටහිර විදි ක්‍රමයයි. එය අපට සුදුසු නැත. අසාර්ථක වී ඇති ප්‍රාදේශීය සභා සහ පලාත් සභා එයට සාක්‍ෂි දරයි. නමුත් අප තවම සිටින්නේ පාර්ලිමේන්තු සහ උසාවි නැති කල හැකි තැනක නොවේ. අද අපට කළ හැක්කේ බටහිරුන් විසින් අප මත පටවා ඇති ආණ්ඩු ක්‍රමය අපි දකින මානුෂිකම ආණ්ඩු ක්‍රමය නොවන බවත් ඒනිසා එය ආරක්‍ෂා කිරීමට අප බැඳී නැති බවත් අවබෝධ කරගැනීමය.