Main Logo

Tuesday 22 January 2013

බමුණන්ට අන්ත පරාජයක්

තවත් වසන්තයක් හේමන්තයක් බවට පෙරළී ඇත. එහෙත් ඒ අවසාන වසන්තය නො වේ. විශ්වවිද්‍යාල වසන්තය, අලුත්කඩේ වසන්තය ආදියට අමතරව ඉදිරියේ දී ක්‍රිකට් වසන්ත, පූජක වසන්ත ආදිය ඇතිවීමට හැකි ය. බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදය ලබන බමුණු කුලය තම අනුග්‍රහකයන්ගේ ආධාර ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඒ මහතා ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන ගොස් දංගෙඩියට යැවීමට හැකි සියල්ල කරනු ඇත. ඒ අතර බටහිරයන් ආණ්ඩුවට බලපෑම් කර ආණ්ඩුව වැට්ටවීම සඳහා ආර්ථික සම්බාධක පැණවීමට ද අවශ්‍ය වුවහොත් නේටෝ සංවිධානය හෝ වෙනත් සංවිධානයක් හෝ ඔස්සේ ආක්‍රමණයක් ඇතිකිරීමට වුව ද පසුබට නොවනු ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය හොබවනතාක් ඒ මහතා ඊනියා ජාත්‍යන්තර යුද්ධාධිකරණයක් ඉදිරියට ගෙන යෑමේ අපහසුතාවක් ඇත. එබැවින් බටහිරයන්ට ඒ මහතා පළමුවෙන් ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීමේ අවශ්‍යතාව වෙයි. සියළු වසන්ත, සම්බාධක, ආක්‍රමණ ඒ සඳහා වෙයි. මේ එකක්වත් කුමන්ත්‍රණ නො වේ. ඒ බටහිරයන් තමන් අකමැති ආණ්ඩු සම්බන්ධයෙන් ගන්නා පියවර වෙයි. ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වුව ද මේ ආණ්ඩුව ද අනෙක් ශ්‍රි ල නි ප ආණ්ඩු මෙන් ම මුළුමනින් ම ජාතිකත්ව ප්‍රතිපත්ති පිළිපදින ආණ්ඩුවක් නො වේ. එයට ප්‍රධාන හේතුව මෙරට උගතුන් යැයි කියාගන්නා අනුකාරක බමුණන්ට ජාතිකත්ව ප්‍රතිපත්ති සකස්කිරීමට ඇති නො හැකියාව ය. බමුණු කුලයට කළ හැක්කේ ලිබරල් හෝ මාක්ස්වාදී හෝ වෙනත් බටහිරවාදී හෝ මතවාද පුනරුච්චාරණය කිරීම පමණකි. කෙසේ වුවත්් එ ජා ප ආණ්ඩු මෙන් නොව ශ්‍රි ල නි ප ආණ්ඩු ඇතැම්විට බටහිර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරයි. ඒ සමග බමුණු කුලයේ ඇතැම්හු ද පෞද්ගලික හෝ ජාතික හෝ හේතු නිසා ආණ්ඩුව සමග එකතු වෙති. ඒ ව්‍යතිරේක වෙයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බටහිරයන්ට හා ඉන්දියාවට එරෙහිව ජාතිකත්ව මතවාදයක පිහිටා දෙමළ ත්‍රස්තවාදය පරාජය කළේ ය. බටහිරයන් හා ඉන්දියාව (විශේෂයෙන් ම රෝ සංවිධානය) ආණ්ඩුව වැට්ටවීමට වලිකන්නේ එබැවිනි. එහෙත් ඔවුහු ඒ බවක් නො කියති. ඔවුන් හා බමුණු කුලය ඒ වෙනුවට කියන්නේ ඊනියා යහපාලනය, භාෂණයේ නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, බහුවිධත්වය ආදිය මේ ආණ්ඩුව යටතේ නැති බව ය. මේ කිසිවක් ලෝකයේ කොහේවත් නැත. මේ හුදු වචන පමණ ය. වත්මන් ලෝකයෙහි චක්‍රවර්තී රාජ්‍ය හෝ දශරාජ ධර්මය හෝ දකින්නට නැත. එසේ වීමට ඇති සම්භාවිතාව ශූන්‍යයට ආසන්න වුවත් යම් අයුරකින් ඊළඟ මැතිවරණයෙහි දී එ ජා ප බලයට පත්වුවහොත් ඇතිවන ආණ්ඩුවෙන් යහපාලනයක් බලාපෙරොත්තුවීම ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීමකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන ද කිවහැක්කේ එවැන්නක් පමණ ය. එක් තුණ්ඩු කෑල්ලෙන් රටම අකර්මණ්‍ය කළ ජ වි පෙරමුණට සම්ම ජාතියේ බලය නොලැබෙන බැවින් ඔවුන් ගැන හෝ විවිධ ත්‍රිරෝද පක්‍ෂ ගැන හෝ සඳහන් කිරීම අනවශ්‍ය ය. අවුරුදු හයසියයකට පමණ පසු රට එක්සේසත් කළ මහින්ද රාජපක්‍ෂ මහතා හැකිතාක් කල් ජනාධිපති ධුරයෙ රඳවා ගත යුත්තේ ඒ මහතාට වඩා ජාතිකත්වයකින් බටහිරයන්ට මුහුණ දිය හැකි දේශපාලන නායකයකු පේන තෙක් මානයක නොමැති වීමත් බටහිරයන් ඒ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඊනියා ජාත්‍යන්තර අධකරණය ඉදිරියට ගෙන යෑමට අරඇඳීමත් නිසා ය. ඒ සන්දර්භයෙහි ඒ මහතාට තවත් වරක් ජනාධිපති ධුරයට තරග කළ හැකි අයුරින් 18 වැනි සංශෝධනයක් සම්මත කිරීම බොරු යහපාලනයක් ගැන විශ්වාසයක් නැති මට ප්‍රශ්නයක් නො වේ. ඒ මහතා තවත් වරක් ජනාධිපති ධුරයට පත්කිරීමෙන් බටහිරයන්ට හා බමුණන්ට අතුල් පහරක් දීමට මෙරට පොදු ජනයාට හෙවත් සාමාන්‍ය ජනයාාට හැකියාව තිබිය යුතු ය. බහුවිධත්වයක් ගැන කතාකරන බමුණෝ අධ්‍යාපනයෙහි කිසිදු බහුවිධත්වයකට ඉඩ නො දෙති. මෙරට පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ අධිපතිවාදී බටහිර දැනුම පමණකි. සිංහල වෙදකම සිංහල ගොවිකම ආදිය ඉගැන්වෙන ආයතන මෙරට නැත. අපේ දැනුම මිථ්‍යාවන් යැයි කියමින් ඊනියා යථාර්ථවාදී වාස්තවිකවාදී බටහිර විද්‍යාවක් පමණක් උගන්වන බමුණන් බහුවිධත්වයක් ගැන කතාකරන්නේ පුන නූල පමණක් ඇතිව ය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුවරිය ලෙස පත්කරනු ලැබුයේ ඇගේ අතීත වාර්තාව නොදැන යැයි කිව නො හැකි ය. කොළඹ විශ්වවිද්‍යාලයෙහි සාමාන්‍ය කථිකාචාර්යවරියක වූ ඇය ජී එල් පීරිස් මහතා උපකුලපති ව සිටි සමයේ නීති පීඨයේ පීඨාධිතිනිය බවට ද පත්වූවා ය. ඇය ශ්‍රෙෂ්ඨාධිකරණයට පත්කෙරුණේ ද ඒ මහතා ඇමතිවරයකුව සිටි සමයේ චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. ඇය එඩිතර සටන්කාමී අයකු ලෙස ප්‍රසිද්ධියක් නොදැරී ය. ඇය බලය විමධ්‍යගත කිරීමට පක්‍ෂව ලිපි ලියා තිබිණි. ඇය අගවිනිසුරුවරිය වන විට ඇගේ සැමියා පිළිබඳ ආණ්ඩුව නොදැන සිටියා ද නො වේ. ඒ කිසිවක් එදා ආණඩුවටවත් ඇයටවත් තීරණාත්මක හෝ වැදගත් හෝ නො වීය. ඇය ආණ්ඩුවත් සමග විරසක වූයේ කවදා දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් එය පසුගිය වසරේ දිවිනැගුම පණතටත් ඉසෙඩ් ලකුණු විනිශ්චයටත් පෙර සිදු වී යැයි විශ්වාස කළ හැකි ය. ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය ඇයගේ තීන්දුව විසින් අවුල් කෙරිණි. එය අවුල් කළඅනෙක් අය වූයේ තටිල්් මහතා ජෝසෆ් ස්ටැලින් මහතා ආදීන් ය. වෙනත් වසරවලට වඩා පන්දහසක් පමණ සිසුන් වැඩිපුර සරසවිවලට ඇතුළත් කරගැනීමට සිිදු වී ඇත්තේ 2011 උසස් පෙළ පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන් දක්‍ෂයන් වීම නිසා නොව අධිකරණ තීන්දුවේ අවුල් ස්වභාවය නිසා ය. එහෙත් ඇය ඉතා සටන්්කාමී ලෙස දෝෂාභියෝගයට මුහුණ දුන්නා ය. ඇයට එහි දී බමුණු කුලයේ හා බටහිරයන්ගේ නොමඳ සහාය ලැබී ඇති බව පැහැදිලි ය. ඉදිරියටත් ඒ සහාය ඇයට ලැබෙනු ඇත. ඇයට බටහිරයන් ආසියාතිකයන්ට දෙන උසස් රැකියාවක් ලබාදෙනු ඇත. ඇය දෝෂාභියෝගයකින් ඉවත්කරනු ලැබූවකු වීම ඇයට කැලළක් නොවනු ඇත්තේ කැළැල් තීරණය කෙරෙන්නේ ද බටහිරයන් අතින් වීම නිසා ය. කෙසේ වෙතත් පසුගිය වසරේ යම් දිනයක බටහිරයන් විසින් ඇය දිනාගනු ලැබ ඇති බව පැහැදිලි ය. ඒ ඇය අගවිනිසුරුවරිය ලෙස පත්කිරීමෙන් පසුව ය. බටහිරයන් සරත් ෆොන්සේකා දිනාාගත්තේ ඔහු විශ්‍රාම යෑමෙන් පසුව ය. ඔහුට විරුද්ධව ඇමරිකාවේ අධිකරණයක තිබූ යුද්ධාපරාධ නඩුවක් අස්කරගනු ලැබුයේ ඔහු ඊනියා ජාත්‍යන්තර අධිකරණයේ බටහිරයන්ගේ සාක්‍ෂිකරුවකු කිරීමට හා ජනාධිපති අපේක්‍ෂකයකු බවට පත්කිරීමට ය. මේ බව අපි ඒ දිනවල කියා ඔහු අත්අඩංගුවට ගතයුතු බව කීවෙමු. ශිරාණි බණ්ඩාරනායක බමුණන්ගේ සහාය ඇතිව බටහිරයන් විසින් දිනාගනු ලැබුයේ ඇය විශ්‍රාම යෑමට ද කලිනි. ඉන්පසු බමුණෝ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඇගේ අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරය මගින් ආණ්ඩුවට අභියෝග කළහ. ඒ අලුත්කඩේ වසන්තය සඳහා ය. එතරම් එඩිතර කාන්තාවක ලෙස ප්‍රසිද්ධ නැති ඇය ජනාධිපති ආරාධනා ප්‍රතික්‍ෂෙප කිරීමට ඉදිරියට පැමිණියා ය. අධිකරණය හා ව්‍යවස්ථාදායකය (විධායකය) අතර කිසිදා තරගයක් නො වී ය. බමුණෝ තමන් හා පොදු ජනයා ලෙස බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වනු ලැබූ සාමාන්‍ය ජනයා අතර ආධිපත්‍යය සඳහා වූ අරගලය වසන්කිරීමට එවැනි තරගයක් මැවූහ. ජනාධිපතිතුමා පොදු ජනයා නියෝජනය කළේ ය.

මෙරට ව්‍යවස්ථාවට අනුව අධිකරණ බලතල ද ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසිනි. උසාවි, විනිශ්චය සභා හා ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ආයතන හා වෙනත් ආයතන පාර්ලිමේන්තුව විසින් එහිදී යොදාගැනෙන උපකරණ පමණකි. 4(ඇ) ව්‍යවස්ථාවෙහි ඒ බව පැහැදිලිව සඳහන් වෙයි. ඉහළ උසාවිවල විනිසුරුවන් පිළිබඳ අධිකරණ බලතල ඔවුන්ට ම දිය නො හැකි ය. ඔවුන්ට අනෙක් අයගේ නඩු ඇසිය හැකි වුවත් තමන්ගේ වෘත්තීය දෝෂ පිළිබඳ නඩු ඇසිය නො හැකි ය. විනිසුරුවන් පිළිබඳ නඩුවක දී ඔවුහු සාමාන්‍ය පුරවැසියෝ නො වෙති. එබැවින් ඔවුන් සම්බන්ධ නඩු (පෞද්ගලික නඩු නොවේ) ඇසීමට වෙනත් ආයතනයක් තිබිය යුතු ය.ඒ ආයතනයේ තීන්්දුවලට එරෙහිව ඔවුන්ට කිසිවක් කළහැකි නො වේ. ඒ ආයතනය 107(2) ව්‍යවස්්ථාවෙහි සඳහන් වන පරිදි ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව ය. එහි දී පාර්ලිමේන්තුව අදාළ විනිසුරු වැරදිකරුද නිවැරදිකරුද යන්න තීරණය කරන අතර ජනාධිපතිතුමා විනිශ්චය (තීන්දුව) ලබාදෙයි. 107 (3) ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ පාර්ලිමේන්තුව නීතිය (එනම් පණත්) මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ අදාළ අන්වේෂණය හා චෝදනා සාධනය සඳහා සැලසුම් කළ යුතු බව ය. 107 (2) මෙන් ම 107(3) ද මෙරට උපරිම නීතිය වෙයි. 80 වැනි ව්‍යවස්ථාව යටතේ කිසිම උසාවියකට සම්මත වී ඇති පණත් අභියෝගයට ලක්කළ නොහැකි ය. 107 (3) සම්මත වී ඇති නීතියකි. එය අභියෝගයට ලක්කිරීමට සංශෝධනය කිරීමට උසාවියට නො හැකි ය. 107 (3) ට අනුව ස්ථාවර නියෝග මගින් වුව ද පාර්ලිමේන්තුවට අන්වේෂණය හා සාධනය සඳහා සැලසුම් කළහැකි බව ය. ස්ථාවර නියෝග නීතිය නොවන නමුත් දෝෂාභියෝග සඳහා 107 (3) යටතේ ස්ථාවර නියෝග යොදාගැනීම නීතියට එකඟ ය. නීතියට එකඟව ක්‍රියාකිරීම නීත්‍යානුකුල නොවන්නේ කිනම් නීතියක් හෝ න්‍යායයක් හෝ අනුව දැයි අභියාචනාධිකරණයේ හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ අදාළ විනිසුරුවෝ ද, නීීීතිඥ බමුණෝ ද වෙනත් බමුණෝ ද බමුණු උපකුලකයක් වූ ජඩමාධ්‍යකරුවෝ ද පවසත් ද? අනෙක් අතට 1953 පාර්ලිමේන්තු වරප්‍රසාද පණතේ 3 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ බිත්ති හතර තුළ සිදුවන ක්‍රියා උසාවියක දී අභියෝගයට ලක්කළ හැකි නො වේ. මෙරට රිට් ආඥා නිකුත් කරන්නේ බිරිතානි සම්ප්‍රදාය අනුව ය. පසුගිය අවුරුදු සියගණනක් තුළ බිරිතානි අධිකරණයක් පාර්ලිමේන්තුවට රිට් ආඥාවක් නිකුත් කර නැත්නම් එයින් කියැවෙන්නේ පාර්ලිමේන්තුවට එවැනි ආඥා නිකුත් කිරීමට බලය නැති බව මිස එක් ජඩමාධ්‍යකරුවකු කී අන්දමට අපට අනුගමනය කිරීමට සම්ප්‍රදායක් නැති බව නො වේ. විනිසුරුවන් සම්බන්ධ වෘත්තීය නඩුවල දී ඒ සඳහා 107(2) න් වෙනම ආයතනයක් පිළිගැනී ඇත්තේ විනිසුරුවන්ට ඒ සඳහා කිසිදු බලයක් නොමැති බැවිනි. අභියාචනාධිකරණයට දෝෂාභියෝග නඩුවල විනිශ්චය දීමට නොහැකි ය. අදාළ විනිසූරුවන් කළ යුතුව තිබුණේ ඉදිරිපත් වූ පෙත්සම් ඉවතලීම ය. ඔවුන් එසේ කරනු වෙනුවට සැලැස්මකට අනුව ක්‍රියාකරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් 107 (3) පිළිබඳ අර්ථනිරූපණයක් ඉල්ලා සිටි බව පෙනී යයි. ශ්‍රෙෂ්ඨාධිකරණය ද එය ඉවතට දැමිය යුතුව තිබූ නමුත් පාර්ලිමේන්තු බලතල පවරා ගනිමින් 107(3) සංශෝධනය කර නීතිය මගින් පමණක් සැලසුම් කිරීමට හැකි යැයි තීන්දු කළේ ය. මේ වැරදි තීන්දුවලට එරෙහිව පාර්ලිමේන්තුව ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියේ නම් එය 107 (2) ප්‍රතික්‍ෂෙප කිරීමක් වනු ඇත. පාර්ලිමේන්තුවට කළ හැකිව තිබුණේ එ තීන්දු ප්‍රතික්‍ෂෙප කිරීමත් අදාළ විනිසුරුවන්ට එරෙහිව දෝෂාභියෝග ගෙන ඒමත් ය. දෙවැන්න කෙරේ දැයි අපි නො දනිමු. මේ සියල්ලෙන්් පැහැදිලි වන්නේ ව්‍යවස්ථාවට අනුව විනිසුරු දෝෂාභියෝග සම්බන්ධයෙන් පොදු ජනයාගේ් හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ය. අද පොදු රාජ්‍ය මණ්ඩල සභා, ඊනියා අන්තර්ජාතික ජුරි ආදිය හරහා අප රටට බලපෑම් කිරීමට බටහිරයෝ සූදානම් වෙති. එහෙත් මේ බලපෑම්වලට ආණ්ඩුව යටත් නොවනු ඇත්තේ සාමාන්‍ය ජනතාව තවමත් ආණ්ඩුව සමග බැවිනි. මාර්තු මාසයේ ජීනිවාහි පැවැත්වෙන රැස්වීම් ආණ්ඩුව තුට්ටුවකටවත් මායිම් කර නැත. එයට ආණ්ඩුවට අපේ ප්‍රශංසාව හිමිවෙයි. බමුණන් ඊනියා ජාත්‍යන්තරය හරහා කුමක් බලාපොරොත්තු වුවත් කළහැකි කෙන්ගෙඩියක් නැත.