Main Logo

Showing posts with label භෞතිකවාද. Show all posts
Showing posts with label භෞතිකවාද. Show all posts

Saturday, 19 January 2013

ද්‍රව්‍යවාදී විඥානවාදීහු

ඊනියා භෞතිකවාදීන් විඥානවාදීන් වනුයේ ඔවුන් මනසේ පැවැත්ම පිළිගන්නා නිසා පමණක් නො වේ. ඔවුන්ට ද මනසින් තොරව කිසිවක් කීමට, කිරීමට නො හැකි ය. ඒ අරුතින් ගත්කල ඔවුන්ට ද මනස ප්‍රධාන ය. එහෙත් ඔවුහු ඒ බව නො පිළිගනිති. ඔවුන් පිළිගන්නේ ඇස් කන් නාසාදී පංචෙන්ද්‍රිය ප්‍රධාන බව ය. පංචෙන්ද්‍රිය නොමැතිව ඊනියා බාහිර ලෝකයක් නොමැති බව ඔවුන්ගේ දැනුමේ වෙයි. වෙනත් අයුරකින් කිවහොත් ඔවුහු ඒ බව උපකල්පනය කරති. පංචෙන්ද්‍රිය තිබුණ ද මනස නැත්නම් ඊනියා බාහිර ලෝකයක් ඔවුන්ට නොමැති බව ඔවුහු නො පිළිගනිති. එහෙත් කැමරා, විවිධ උපකරණ ආදිය කොතෙකුත් තිබුණ ද, ඒ උපකරණවලට ඊනියා බාහිර ලෝකයක් නැත්තේ ඒවාට මනස් නොමැති බැවිනි.

ඊනියා භෞතිකවාදීන්ට මනස නොමැතිව කිසිම සංකල්පයක් තනාගත නො හැකි බව අපි කීප වතාවක් ම කියා ඇත්තෙමු. සංජානනයන් පංචෙන්ද්‍රිය සමග පමණක් නොව මනස ඔස්සේ සංකල්ප සමග ද බැඳී ඇත. එහෙත් ඊනියා භෞතිකවාදීහු ඒ බව ද නො පිළිගනිති. මෙහි දී ඊනියා යන වචනය යොදා ගැනෙන්නේ එසේ හැඳින්වුව ද එසේ නොවන යන අරුතින් ය. භෞතිකවාදීන් තමන් භෞතිකවාදීන් යැයි කියා ගත්ත ද, ඔවුහු එසේ නො වෙති. එබැවින් ඊනියා භෞතිකවාදීන් ට ඊනියා භෞතිකවාදීන් යැයි කීමට සිදු වී ඇත.

ඊනියා භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට ඔවුන් කුමක් කීවත් මනස නොමැතිව සංකල්ප නිර්මාණය කළ නො හැකි ය. මනස නොමැතිව සංකල්ප නිර්මාණය කරන ආකාරයක් හෝ සංකල්ප නොමැතිව සංජානන ලැබෙන ආකාරයක් හෝ ගෙනහැර දැක්වීමට ද්‍රව්‍යවාදීන් යැයි කියාගන්නා අයට නො හැකි ය. ඊනියා ද්‍රව්‍යවාදීන්ගේ ද දැනුම රඳා පවතින්නේ මනස මත ය. මනසින් නිර්මාණය වන සංකල්ප හා ප්‍රවාද නොමැතිව කිසිම ප්‍රාණියකුට (සත්ත්වයකුට) දැනුමක් නැත.

එසේ නම් ඊනියා ද්‍රව්‍යවාදීන් හා විඥානවාදීන් අතර වෙනසක් නැද්ද? වෙනසක් ඇත. විඥානවාදීහු මනස ප්‍රධාන යැයි ගනිති. ද්‍රව්‍යවාදීහු මනස ද්‍රව්‍යයෙහි විකාශයක් ලෙස සලකති. ද්‍රව්‍යවාදීන්ට අනුව මනස යනුවෙන් කිසිවක් නැත. ඒ වෙනත් කරුණක් නිසා නොව ඔවුන්ට මනස හා සම්බන්ධ අවයවයක් දැකගත (නිරී’ක්‍ෂණය) නොහැකි නිසා ය. පෙනීම නමැති ඉන්ද්‍රිය ඇස නම් අවයවය හා සම්බන්ධ වුවත් මනස හා සම්බන්ධ අවයවයක් නැත. එනම් මනස හා සම්බන්ධ සිතීම, විඳීම ආදී දේ සමග සම්බන්ධ වූ අවයවයක් දැකගත නොහැකි බැවිනි. එබැවින් බටහිර ද්‍රව්‍යවාදීහු මනස මොළය නිසා සිදුවන්නක ප්‍රතිඵලයක් ලෙස ගනිති. එහෙත් ඒ තවත් දැනුමක් පමණකි. එ දැනුම ද මනසින් නිර්මාණය කරන ලද්දකි. අප පෙන්වා දී ඇත්තේ මනස හා මොළය අතර ඇත්තේ සහසම්බන්ධයක් පමණක් බව ය.

ද්‍රව්‍යවාදීන් කැමති වුවත් නැතත් ඔවුන් මනසක් ඇතැයි නොපිළිගත්තත්, මනස යනු මොළයේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගත්තත් ඔවුන්ට සිතීමට අවශ්‍ය ය. සංකල්ප නිර්මාණය කිරීම, ප්‍රවාද ගෙතීම ආදී දැනුම සම්බන්ධ ක්‍රියාවන්හි යෙදීමට අවශ්‍ය ය. මොළයක් තිබූ පමණින් මෘත දේහයකට හෝ ජීවත්වන බොහෝ දෙනාට ද එය කළ නො හැකි ය. එහෙත් ජීවත්වන්නෝ භේදයකින් තොරව සිතති. විඳිති. අප කලින් පෙන්වා දී ඇත්තේ මනස මොළයේ ක්‍රියාවලියකට ඌනනය කළ නොහැකි බව ය.

ඊනියා ද්‍රව්‍යවාදීන් මනස යන්නෙන් කිසිවක් නැතැයි කීව ද ඔවුහු මනස යොදා ගනිති. මනස යොදා ගන්නේ, එසේත් නැත්නම් මනස යොදා ගැනීමට හැකිවන්නේ, මනස යනුවෙන් යමක් දැනෙන බැවිනි. ද්‍රව්‍යවාදීන් එහි දී ප්‍රශ්නයෙන් ගැළවෙන්නේ මනස යනු මොළයේ ක්‍රියාවලියක් බව පැවසීමෙනි. මොළයේ එකම ක්‍රියාවලිය මනස නොවන බැවින් මනස යනුවෙන්් අඩුම තරමෙන් අනන්‍ය වූ ක්‍රියාවලියක් පවතින බව පිළිගැනීමට ඊනියා ද්‍රව්‍යවාදීන්ට සිදුවෙයි. එය මොළය සමග සම්බන්ධ වුවත් නැතත් එය අනන්‍ය ක්‍රියාවලියකි.

ඊනියා ද්‍රව්‍යවාදීන්ට ඒ අනන්‍ය ක්‍රියාවලිය නොපවතින්නේ යැයි කිව නො හැකි ය. එනම් ඔවුන් කෙතරම් වලිකෑවත්් මනස ලෙස ගතහැකි යම් අනන්‍ය ක්‍රියාවලියක පැවැත්ම පිළිගැනීමට ඔවුන්ට සිදු වෙයි. අපි ඊනියා ද්‍රව්‍යවාදීන් මනස මොළයේ ක්‍රියාවලියක් ය යන්න සමග එකඟ නො වෙමු. අප මෙහි දී කියා සිටින්නේ ඊනියා ද්‍රව්‍යවාදීන් කෙතරම් නැතැයි කීවත් ඔවුන් මනස පවතින්නේ යැයි පිළිගන්නා බව ය. ඔවුන්ට මනසක් (අඩුම තරමෙන් මොළයේ අනන්‍ය වූ ක්‍රියාවලියක් ලෙස) ඇති බව පිළිගැනීමට සිදුවෙයි.

ද්‍රව්‍යවාදීන් එසේ මනසක් ඇති බව පිළිගැනීම හේතුවෙන් ඔවුන් එක්තරා ආකාරයක විඥානවාදීන් පිරිසක් ලෙස අපි ගනිමු. සාම්ප්‍රදායික විඥානවාදීහු මනසක් ඇති බව පිළිගනිති. ඔවුන්ට එය මොළයේ අනන්‍ය ක්‍රියාවලියක් නො වේ. ඔවුන්ට සැකයකින් තොරව මනස පවතියි. එහෙත් මනසෙහි පැවැත්ම කාහට කුමකට සාපේක්‍ෂ ද යන ප්‍රශ්නයට විඥානවාදීහු පිළිතුරු නො දෙති. විඥානවාදීන්ට අනුව මනස පවතියි. එය පවතින්නේ කොහේ ද?

මනස පවතින්නේ කිසිවකට සාපේක්‍ෂ ව නොවේ නම් එයින් කියැවෙන්නේ එය නිරපේක්‍ෂව පවතින බව ය. මනස නිරපේක්‍ෂව ද සාපේ’ක්‍ෂව ද පවතින්නේ යැයි කියා ප්‍රශ්නයෙන් පැන යා හැකි නො වේ. ඇතැම් විඥානවාදීන්ට අනුව ද්‍රව්‍ය පවතින්නේ මනස නිසා ය. ඔවුන්ට අනුව ද්‍රව්‍ය යනු මනසෙහි නිර්මාණයකි. මෙහි දී කියැවෙන්නේ මනස විසින් අහසෙහි ද්‍රව්‍ය නිර්මාණය කෙරෙන්නේ ය යන්න නො වේ. එයින් කියැවෙන්නේ ද්‍රව්‍ය පිළිබඳ සංකල්ප මනසින් නිර්මාණය කෙරෙන බව ය.

සියළු සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. පුටුව යනු මනසෙහි නිර්මාණයකි යන්නෙහි තේරුම මනස විසින් පංචෙන්ද්‍රියයන්ගේ ද ආධාර ඇතිව පුටුව නම් සංකල්පය නිර්මාණය කෙරී ඇති බව ය. අප පුටුව යන්නෙන් නිර්මාණය කර ඇති සංකල්පය වෙනත් සංස්කෘතියක අයකු නිර්මාණය කරන සංකල්පයක් සමග සර්ව සාම්‍ය විය යුතු නො වේ. බසයේ ඇති ආසන අපට පුටු නො වේ. සිංහල බෞද්ධයන්ගේ ආසන යන සංකල්පය මිනිසුන් වාඩිවීම සඳහා යොදාගන්නා වූ උපකරණවලට පමණක් සීමා නො වේ. සිංහල බෞද්ධයනට මල් ආසන යනුවෙන් ද ආසන වර්ගයක් වෙයි.

සිංහල බෞද්ධයන් ආසන යනුවෙන් හඳුන්වන උපකරණ කුලකය හැඳින්වීම සඳහා තනි වචනයක් හෝ වචන කිහිපයක් හෝ වෙනත් සංස්කෘතියක තිබිය යුතු නො වේ. සංකල්ප ඇතුළු දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ වෙයි. එසේ ම සංකල්ප ඇතුළු දැනුම නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. එය විඥානවාදියාට මෙන් ම ද්‍රව්‍යවාදියාට ද පොදු ය. විඥානවාදියා මනසෙන් තොරව වාස්තවිකව පවත්නා ද්‍රව්‍ය නැතැයි කියයි. පුටුව යන්න පංචෙන්ද්‍රිය සමග එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන්නකි.

එහෙත් ද්‍රව්‍යවාදියාට මනසෙන් තොරව පවත්නා පුටුවක් වෙයි. ද්‍රව්‍යවාදියාට වාස්තවිකව පවත්නා පුටුවක් වෙයි. විඥානවාදියාට වාස්තවික ව පවත්නා පුටුවක් නැත. විඥානවාදියාට අනුව පුටුව යනු පංචෙන්ද්‍රියයන් සමග එකතු වී මනසෙන් නිර්මාණය කෙරෙන්නකි. ඒ නිර්මාණයෙහි දී සංස්කෘතිය ද බලපාන බව පැහැදිලි ය. එසේම ඒ ඒ නිර්මාණය පංචෙන්ද්‍රියයන්ට ද මනසට ද සංස්කෘතියට ද සාපේක්‍ෂ ය.

ඇතැම් විඥානවාදීන්ට අනුව තවත් ආකාරයක නිර්මාණ මනසින් හෝ ආධ්‍යත්මික ව හෝ කළ හැකි ය. ඇතැම්හු අහසෙහි රත්රන් මවති. මා මෙවැනි ක්‍රියාවක් දැක නොමැති වුව ද මෙය තේරුම්ගත හැකි ක්‍රම ක’ිහිපයක් වෙයි. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කළ අයකුට ඇතැම් විට එක් තැනක ඇති වස්තුවක් වෙන තැනකට ගෙන යෑමේ හැකියාව තිබෙන්නට පුළුවන. ඒ ගෙන යෑම යන්නෙන් අදහස් වන්නේ අවකාශය හා කාලය ඔස්සේ ගෙන යෑමක් ම නොවිය හැකි ය. අවකාශය හා කාලය යන සංකල්ප ද අප විසින් නිර්මාණය කෙරී ඇති සංකල්ප ය. නිව්ටෝනීය මෙන් ම සාමාන්‍ය පෘථග්ජනයන් නිරීක්‍ෂණය කරන චලිතයෙහි දී අවකාශය හා කාලය යොදා ගැනෙන නමුත් වෙනත් චලිත ද තිබිය හැකි ය.

අනෙක් අතට අවකාශ කාලයට ද ශක්තියක් ඇති බවත් ඒ ශක්තිය වෙනත් ශක්තීන්ට හැරවිය හැකි බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. වසන්ත කටුගම්පොළ මහතාගේ අධ්‍යයනයකට අනුව විශ්වයේ ත්වරණයක් සහිතව සිදුවන ප්‍රසාරණය අවකාශ කාලයේ ශක්තිය හේතුකොටගෙන සිදුවෙයි. මෙයින් කියැවෙන්නේ අවකාශ කාලය යනුවෙන් වාස්තවික ව පවත්නා දෙයක් ඇති බව නො වේ. බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ අප නිරීක්‍ෂණය කරන ඇතැම් සංසිද්ධීන් තේරුම් ගැනීම සඳහා කතන්දර ගෙතීම පමණ ය.

ඒ කෙසේ වෙතත් මනස වර්ධනය කරගත් අයට සාමාන්‍ය අයට කළ නොහැකි දේ කිරීමට හැකි බව බුදුදහමට වුව ද එකඟ ය. බුදුන් වහන්සේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා ප්‍රාතිහාර්ය පෑම තම ශ්‍රාවකයන් වහන්සේට තහනම් කළ නමුදු අවශ්‍ය අවස්ථාවන්හි දී උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෑ සේක. වෙනත් ආගම්වල ද ඇතැම් ප්‍රාතිහාර්යයන් ගැන කියැවෙයි. විඥානවාදීන් ආධ්‍යාත්මික වර්ධනය ඇති අය ගැන කියන කතා ඉවත දැමීමට අප ඉක්මන්විය යුතු නො වේ. මනස පිළිබඳ හරිහමන් ප්‍රවාදයක් ගොඩනගා ගැනීමට නොහැකි බටහිර විද්‍යාඥයන් හා ද්‍රව්‍යවාදීන් කියන කතා අපේ අවධානයට යොමු කළ යුතු ද නො වේ.

එහෙත් අපට ප්‍රශ්නය වනුයේ විඥානවාදීන් මනසේ පැවැත්ම ගැන කියන කතාව ය. ඔවුන්ට අනුව මනස පවතියි. එපමණක් නොව මනස නිරපේක්‍ෂව පවතියි. ඒ වාස්තවික පැවැත්මකි. මනසේ පැවැත්ම ප්‍රශ්නයක් නොවන නමුත් නිරපේක්‍ෂ වාස්තවික පැවැත්මක් පිළිගත නො හැකි ය. මනසේ වාස්තවික පැවැත්මක් පිළිගන්නා විඥානවාදීහු එක්තරා අයුරකින් ගත්කල ද්‍රව්‍යවාදීහු වෙති. අපි ඔවුන්ට ද්‍රව්‍යවාදී විඥානවාදීන් යැයි කියමු.

මනසේ පැවැත්ම ක්‍ෂණයකට වුවද උපකල්පනය කරන විඥානවාදීහු ද ද්‍රව්‍යවාදී විඥානවාදීහු වෙති. පළමුවෙන් ම ක්‍ෂණයක් යනු කුමක් ද යන ප්‍රශ්නය වෙයි. කාලය පඤ්ඤත්තියක් වන කල ක්‍ෂණයක් යන්න කිසිසේත්ම වාස්තවික වූවක් විය නො හැකිි ය. ‘ක්‍ෂණය යන්න අර්ථදක්වා ගැනීමට නොහැකිව ක්‍ෂණයක දී පවත්නා මනසක් හෝ චිත්තයක් හෝ චිත්ත පරම්පරාවක් හෝ ගැන කතාකරන්නේ කෙසේ ද? බෝධි හිමියන් අනුව යමින් චිත්තක්‍ෂණයක් යනු අපේ මනසට ගෝචර වන අවම කාලය යැයි අර්ථදැක්විය හැකි ය. එවිට චිත්තක්‍ෂණය ද සාපේක්‍ෂ සංකල්පයක් බවට පත්වෙයි.

ද්‍රව්‍යවාදීන් මෙන් විඥානවාදීන් ද තම තම දර්ශනවල ගැටළුවලට මුහුණ පා ඇති අන්දම පැහැදිලි ය. අපට මෙයින් ගැලවීමට ක්‍රමයක් නැද්ද? එයට ඇති එක් මගක් නම් මනස පවතින්නේ සාපේක්‍ෂව යැයි ගැනීම ය. දැන් ප්‍රශ්නය වනුයේ මනස පවතින්නේ කාහට සාපේක්‍ෂව ද යන්න ය. එයට ඇති පිළිතුරක් නම් මනස පවතින්නේ මනසට සාපේක්‍ෂවය යන්න ය. මනස මනසට සාපේක්‍ෂව පවතින්නේ ය යන්න ද යම් ප්‍රමාණයක ගැටළු සහගත ය.

එයින් කියැවෙන්නේ මනසක් කලින් තිබී තවත් මනසක් කලින් කී මනසට සාපේක්‍ෂව පවතින බව ද? මේ සියල්ලෙන් කියැවෙන්නේ මනස මනසට සාපේක්‍ෂව ඇතිවන බව ය. මනස නිර්මාණය වන්නේ ම මනසට සාපේක්‍ෂව ය. ඒ කලින් තිබූ මනසට සාපේක්‍ෂව ඇතිවන්නක් නො වේ. මනස එලෙස මනසට සාපේක්‍ෂව නිර්මාණය වන්නේ කෙසේ ද යන්න කලකට පෙර ලියන ලද සිංහල බෞද්ධ මනස යන ලිපියෙහි සඳහන් වෙයි.


Saturday, 2 July 2011

කෝප්පයේ භෞතිකවාදී කෙප්පය

භෞතිකවාදයේ හෙවත් ද්‍රව්‍යවාදයේ පදනම වාස්තවිකත්වය නොවේ යැයි වාස්තවිකත්වය යනු විඥානවාදී සංකල්පයක් බව පෙන්වාදීමෙන් පසුව කිසිවකුට කිවහැකි ය. වාස්තවිකත්වය යන්න වස්තුව යන සංකල්පය මත පදනම් වී ඇති බවත් වස්තුව යනු පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බවත් වටහාගත් භෞතිකවාදියකු ඇතැම් විට කියනු ඇත්තේ භෞතිකවාදයෙහි සඳහන්වන්නේ ඒ ඒ ද්‍රව්‍ය මිස සාධාරණ වස්තු නොවන බව ය. උදාහරණයක් ලෙස එවැනි භෞතිකවාදියකු තමා කතාකරන්නේ තමාට පෙනෙන කෝප්පයක් ගැන මිස ලෝකයේ ඇති ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කෝප්පයක් ගැන නොවන බව ය.

එහෙත් ප්‍රශ්නය වනුයේ අප සෑම විට ම පංචෙන්ද්‍රියන්ට ගෝචරවන කෝප්ප ගැන පමණක් කතා නො කිරීම ය. අපට අවශ්‍ය නම් ඇමරිකාවේ සුපිරි වෙළෙඳසලක විකිණීමට ඇති කෝප්පයක් ගැන කතාකළ හැකි ය. දැන් ප්‍රශ්නය වනුයේ එලෙස කෝප්පයක් ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. ඒ කෝප්පය අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. පරිගණක තාෂණය යොදාගෙන ඇතැම් කෝප්ප අපට මෙරට සිට බැලිය හැකි ය. එහෙත් ඇමරිකාවේ තබා ලංකාවේ ද ඇති කෝප්ප සියල්ල අපට බලාගත හැකි නො වේ.

එසේ වුවත් එවැනි කෝප්ප ඇති බව අපි නිගමනය කරමු. හුදු ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නම් එසේ කළ හැකි නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිිද්්ධි හැරෙන්නට වෙනත් සංසිිද්ධි ඇති බව අප නිගමනය කරන්නේ කෙසේ ද? එය එක්තරා ආකාරයකින් ගතහොත් අභ්‍යුහනයකි. ලෝකයේ ඇත්තේ අප දැනටමත් පංචෙන්ද්‍රියන්ගේ ආධාරයෙන් නිරීක්‍ෂණය කර ඇති කෝප්ප පමණක් යැයි අපට කිවහැකි නො වේ. අප දැනට දැක නැති කෝප්පයක් වෙළෙඳසලකට ගියවිට හෝ වෙනත් අයකුගේ නිවසකට ගිය විට හෝ අපට දැකගත හැකි වෙයි.

එලෙස අපේ පංචෙන්ද්‍රිය ගෝචර කෝප්ප කුලකයට අවයව එකින් එක එකතු වන බැවින් අප මෙතෙක් නිරීක්‍ෂණය කර නොමැති කෝප්ප ද ඇති බව අපි නිගමනය කරමු. ඒ කෝප්ප එකක්වත් අප දැක නැත. එහෙත් එවැනි කෝප්ප ලෝකයේ ඇති බව අපි නිගමනය කරමු. අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නෙවන කෝප්ප ඇති බව භෞතිකවාදියාට පිළිගැනීමට සිදු වෙයි. අභ්‍යුහනය වියුත්ත ක්‍රියාවලියකි. ඒ කියාවලිය ඇත්තේ සිතෙහි ය. එය කිසිසේත්ම පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා එකක් නො වේ.

වාස්තවිකත්වය යන වියුක්ත සංකල්පය නොපිළිගත්ත ද අපට නොපෙනෙන අප කිසි දිනෙක අතපත ගා බලා නැති රස බලා නැති ගඳ සුවඳ බලා නැති කෝප්ප ඇති බව පිළිගැනීමට අපට සිදුවෙයි. එවැනි කෝප්ප ලෝකයේ ඇතැයි භෞතිකවාදියා කියනු ඇත. එහෙත් භෞතිකවාදියා එවැනි කෝප්ප පංචෙන්ද්‍රිය ඇසුරෙන් නො දනියි. ඔහු ඒ බව දන්නේ මනසින් පමණකි. මනසින් පමණක් දන්නා, එනම් පංචෙන්ද්‍රිය ගෝචර නොවන කෝප්ප ඔහු අභ්‍යුහනයෙන්, එනම් මනසේ ඇතිවන ක්‍රියාවලියකින් පමණක් දැනගනියි. එවිට භෞතිකවාදියාගේ කෝප්ප විඥානවාදී  නොවන්නේ ද? භෞතිකවාදීන්ට හුදු පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් පමණක් ලෝකය තේරුම් ගත නො හැකි ය.

අප ඉදිරිපිට ඇති කෝප්ප, මේස, පුටු කිහිපයක් පමණක් පදනම් කරගනිමින් මුළු ලෝකයම එවැනි ද්‍රව්‍යවලින් සෑදී ඇතැයි නිගමනය කිරීම තරම් ඊනියා විඥානවාදී ක්‍රියාවලියක් තවත් නැත. ඊනියා සැබෑ භෞතිකවාදියකු හෝ ද්‍රව්‍යවාදියකු හෝ තමන්ගේ පංචෙන්ද්‍රියන්ට පමණක් හසුවන ද්‍රව්‍යවලට පමණක් සීමාවිය යුතු ය. එහෙත් එසේ කරන භෞතිකවාදියකු ගැන දැනගැනීමට නැත. ඉන්ද්‍රිනුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් විද්වතා භෞතික විද්‍යාව පංචෙන්ද්‍රියට ගෝචර වන සංකල්ප මගින් පමණක් තේරුම්කර දිය යුතු යැයි කලකට පෙර කියා සිටියේ මේ ගැටලුව ගැන යම් අවබෝධයකින් යුක්තව ය.

එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ ඔහුට සවන් නුදුන්හ. ඔවුහු දිගින් දිගට ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු, පරමාණු, ඉලෙක්ට්‍රෝන ආදිය තම පද්ධතියෙහි රඳවා ගත්හ. ඒ බටහිර භෞතික විද්‍යාඥයන්ට මනසෙහි පමණක් ඇතිවන සංකල්ප නැතිව බැරි හෙයිනි. ඉලෙක්ට්‍රෝන ආදිය භෞතික වස්තූන් යැයි භෞතිකවාදීන් කියන්නේ කිනම් පදනමකින් ද? එහෙත් භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න එපමණ යැයි කිසිවකු වරදවා තේරුම් ගත යුතු නො වේ.

අපට ඇසට පෙනෙන කෝප්පය මනසෙන් තොරව පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් දැනගත හැකි සමතා කවු ද? එපමණක් නොව කෝප්පයේ භෞතිකවාදී කතාව පංචෙන්ද්‍රියන් සම්බන්ධයෙන් වුව ද සම්පුර්ණ ද? කෝප්පයේ භෞතිකවාදී පැවැත්ම කෙප්පයක් නොවන්නේ ද? කෝප්පයට තද බවක් ඇත්තේ නිරීක්‍ෂකයාගෙන් තොරව ද? අපට වඩා ශක්තිමත් හස්තයක් තිබිණි නම් අපට අතින් ම කෝප්පය පොඩිකිරීමට හැකිවන්නට තිබිණි. අප ඊනියා වස්තුවකට ඇතැයි කියන ගුණ අපේ පංචෙන්ද්‍රිය මත රඳා පවතින බව පැහැදිලි ය. ඒ සඳහා ඇති උදාහරණවල කෙළවරක් නැත.  

අප බොහෝ විට කියා ඇති පරිදි අපට නොපෙනන වර්ණ වෙනත් සතුන්ට පෙනෙයි. අප අද අධොරක්ත, පාරජම්බුල ආදී වශයෙන් නම්කර ඇති කිරණ අපේ ඇස්වලට දර්ශනය විණි නම් අප ඒවාට යම් වර්ණයක් දීමට තිබිණි. අපට නොඇසෙන ශබිද බල්ලන්ට ඇසෙයි. අපේ පංචෙන්ද්‍රියන්ගේ සීමාකාරීත්වය එබඳු ය. අප නිරීක්‍ෂණය කරන ලෝකය අපේ පංචෙන්ද්‍රියන්ට සාපේක්‍ෂ ය. අද ඇතැම් පඬියන් දෙවියන් නැතැයි කියන්නේ ඔවුන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බව පවසමිනි. එහෙත් ඒ පඬියෝ ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ඉලෙක්ට්‍රෝන ද ගුරුත්වාකර්ෂණ බලය ද වෙනත් දේ ද ඇතැයි පිළිගනිති. ඒ ගුරුත්වාකර්ෂණ බලයක් නැතැයි අයින්ස්ටයින් විද්වතා කියා තිබිය දී ය.

බාහිර වස්තු යැයි කියැවෙන වස්තුවලින් අපට, එනම් නිරීක්‍ෂකයන්ට, සංජානන ලැබෙන්නේ යැයි භෞතිකවාදීහු කියති. නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වස්තු තිබෙන බවත් සංජානන නිකුත් කරන බවත් ඔවුහු විශ්වාස කරති. එහෙත් ඒ බව ඔවුන් දන්නේ කෙසේ ද? අප කලින් ද කියා ඇති පරිදි එය පෞද්ගලික නිරීක්‍ෂණවලින් වියුක්තියට යෑමක් පමණකි. කිසිම නිරීක්‍ෂකයකු නැති විට සිදුවන්නේ කුමක් දැයි නිරීක්‍ෂණය කිරීමට කිසිවකු නැත. එසේ නම් නිරීක්‍ෂකයන් නැතිවිට කුමක් සිදුවේ ද යන්න දැනගත හැක්කේ පංචෙන්ද්‍රිය ගෝචර පරීක්‍ෂණ හෝ නිරීක්‍ෂණ හෝ යොදාගෙන නොව හුදෙක් මනස යොදගෙන කරන උපකල්පනවලින් හා තර්කයෙන් පැමිණෙන නිගමනවලින් පමණකි. එයටත් වඩා විඥානවාදී ක්‍රියාවලියක් තවත් ඇද්ද? 

ඊනියා වාස්තවිකවාදී භෞතිකවාදීන් උපකල්පනය කරන තවත් කරුණක් නම් සංජානන සංකල්පවලින් ස්වායත්ත බව ය. සංජානන පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත වන්නේ යැයි කියන භෞතිකවාදීහු ඒවා මනසෙන් ද ස්වායත්ත යැයි කියති. සංජානන නිරීක්‍ෂකයන්ගෙන් ස්වායත්ත බව දැනගැනීමට භෞතිකවාදී ක්‍රමයක් භෞතිකවාදීන්ට නැත්තේ නිරීක්‍ෂකයකු නොමැති කල සිදුවන්නේ කුමක් දැයි දැනගැනීමට ක්‍රමයක් නොමැති බැවිනි. කලින් ද කියා ඇති පරිදි නිල්බව (බලඋඉසහනඑසස) යන්න නිරීක්‍ෂකයාගේ පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත නො වේ. බර්ට්‍රන්ඩ් රසල් විද්වතා වැනි බොහෝ බටහිර දාර්ශනිකයන් ඒ එසේ යැයි පිළිගත්ත ද අපේ ඇස් නිල්බව යන්නට හැරෙන්නට වෙනත් සංඛ්‍යාතිවලට ප්‍රතිචාර දැක්වී නම් අපට ඊනියා නිල්බව නැතිවීමට තිබිණි. එහෙත් යම් කිසිවකු නැවතත් කියනු ඇත්තේ නිල්බව ඇසට නොපෙනුනත් ඒ සංඛ්‍යාතිය ඇති විකිරණ ඇති බව ය. එහෙත් ප්‍රශ්නය වනුයේ කිසිවකු නැතිව ඒ බව දැනගන්නේ කෙසේ ද යන්න ය.

අනෙක් අතට සංකල්පයක් නොමැතිව සංජානනයක් හටගන්නේ කෙසේ ද? නිල්බව යන්න නිල්බව යන සංකල්පය සමග බැඳී ඇත. මිනිස් නිරීක්‍ෂකයන් හෝ වෙනත් විඥානයක් සහිත සත්වයකු ඊනියා බාහිර වස්තු ග්‍රහණය කරන්නේ යම් ඉන්ද්‍රිය ඔස්සේ හෝ එසේ නැතිව හෝ මනස උපයෝගී කරගනිමිනි. මනසක් නැතිව නිරීක්‍ෂකයකු සංජානනයක් ඇතිකර ගන්නේ කෙසේ ද? සිංහල බෞද්ධයනට මනසෙහි ප්‍රධානත්වය අමුතුවෙන් කියා දිය යුතු නො වේ. අමනුෂ්‍යයන්ට ද, තිරිසනුන්ට ද, මිනිසුන්ට ද, දෙවියන් ට ද, බඹුන්ට ද මනස් ඇත. පාරමී දම් පිරීමටවත්, කුසල් අකුසල් රැස්කිරීමටවත් මනසක් නොමැතිව නො හැකි ය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මනස ඇත්තේ මිනිසුනට පමණ ය. එය ද දෙවියන් වහන්සේ විසින් දෙන ලද ඊනියා සදාකාලික ආත්මය සමග සම්බන්ධ ය.

සිංහල බෞද්ධයනට සත්වයන්ගේ මනස ප්‍රධාන ය. සිරුර නැතිව වුව ද සිත මිස කය නැති බඹලොව බ්‍රහ්මයෝ වෙති. සියලු සත්වයෝ සංකල්ප සංස්කරණය කරති. සංකල්ප යනු මනසේ නිර්මාණය කෙරෙන්නකි. අපට සංකල්ප අඩුම තරමෙන් දෙවර්ගයක් ඇති බව පෙනී යයි. පළමුවෙන් ඇත්තේ සංයුක්ත සංකල්ප ය. සංයුක්ත සංකල්ප ඇතිවන්නේ සංජානන සමගින් ය. අප පුටුව, මේසය ආදී වශයෙන් දකින්නේ සංකල්ප - සංජානන පොදියකි. මේසයක් හෝ පුටුවක් හෝ අපට දැකගත හැකි ය. එහි දී ඇස හා මනස එකතු වී මේසය යන දෘශ්‍යමානය ඇති කරයි. එසේත් නැතහොත් ස්පර්ශය හා මනස එකතු වී මේසයෙහි තදබව යන්න ඇතිකරයි. එලෙස පංචේන්ද්‍රිය හා මනස (මනස ද සිංහල බෞද්ධයනට ඉන්ද්‍රියකි) එකතු වී ඊනියා මේසයෙහි විවිධ ගුණ ඇතිකරයි. ඒ ගුණ නිරීක්‍ෂණය කරනු ලබන්නේ අප වැනි මනුෂ්‍ය නිරීක්‍ෂකයන් විසිනි. වෙනත් සත්ව වර්ගයන් වෙනත් නිරීක්‍ෂණයන් ලබාගනු නො අනුමාන ය. ඒ සියල්ලන්ට ම ලැබෙන්නේ සංයුක්ත සංකල්ප යැයි අපි කියමු. සංයුක්ත සංකල්පයක් යම්කිසි රූපයක්, තදබවක්, ගඳක් සුවඳක් ආදිය සමග බැඳී ඇත. කෙටියෙන් කිවහොත් සංයුක්ත සංකල්පයක් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් සමග බැඳී ඇත.

මේ සංයුක්ත සංකල්ප ද දෙවර්ගයකි.  එක් වර්ගයක් අපට සෘජුව පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. අප දකින මේසය, පොල්ගස ආදිය එවැනි සෘජු පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප වෙයි. ඒ අතර තවත් සංයුක්ත සංකල්ප වර්ගයක් සෘජුව ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන එහෙත් රූප ගඳ සුවඳ ආදිය මනසෙන් මවාගත හැකි ගුණ සහිත වෙයි. ඒ මවාගැනීම අවශ්‍යයෙන් ම ඒ දුටු ආකාරයෙන් ම විය යුතු නො වේ. උදාහරණයක් ලෙස ගතහොත් ජීවිතයේ කිසිම දිනක ඇපල් ගසක් නොදුටුවකුට ඇපල් ගස ගැන සංකල්පයක් තිබිය හැකි ය. එසේ ඇපල් ගසක් නොදුටුවකු සිතෙහි මවාගන්නා ඇපල් ගස සාමාන්‍ය ඇපල් ගසකින් හාත්පසින් වෙනස් විය හැකි ය. එහෙත් එසේ මවාගන්නේ ද ඒ පුද්ගලයාගේ, එසේත් නැත්නම් ඒ පුද්ගලයාට සාපේක්‍ෂ ඇපල් ගසකි. සෑම සංකල්පයක් ම ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ බැවින් මෙහි ගැටලුවක් පැන නො නගී.

විඥානවාදී භෞතිකවාදියෝ

බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ විද්වතා ඒ ඒ නිරීක්‍ෂකයාට නිරීක්‍ෂණය කළ හැකි ඊනියා පෞද්ගලික පරීක්‍ෂණ ක්‍රමය ඉදිරිපත් කෙළේ යැයි කීව ද ඔහු කර ඇත්තේ චිත්ත පරීක්‍ෂණ ඉදිරිපත් කිරීම බව අපි සඳහන් කළෙමු. බටහිර විිද්‍යාවේ දාර්ශනිකයන් කෙසේ කීව ද නිරීක්‍ෂණ මත පදනම් වී නිගමනවලට එළඹී තිබුණේ ඇරිස්ටෝටලීය පද්ධතියෙහි ය. අපේ එදිනෙදා නිරීක්‍ෂණය පිහාටුවට වඩා ඉක්මණින් පොල් ගෙඩිය බිමට වැටෙන ව ය. එවැනි නිරීක්‍ෂණ මත පදනම් වී සාධාරණීකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස බරින් වැඩි වස්තුව බරින් අඩු වස්තුවට වඩා ඉක්මණින් පොළොවට වැටෙන බව ඇරිස්ටෝටලීය පද්ධතියෙහි සඳහන් වී තිබිණි.

එසේ නම් ගැලීලියෝ විද්වතා කර ඇත්තේ එදිනෙදා සාමාන්‍ය නිරීක්‍ෂණයට පිටින් යෑමකි. ඔහුට පෙන්වීමට වුවමනා වූයේ රික්තයක වස්තු එකම ත්වරණයකින් පහතට වැටෙන බව ය. එහෙත් ඔහු ඒ බව කිසි දිනෙක නො පෙන්වී ය. ඒ වෙනුවට වියුක්ත රික්තයක වස්තු වැටීම පිළිබඳව ඔහු කරුණු ඒත්තු ගැන්වී ය. ඉන්පසු බටහිර භෞතික විද්‍යාවේ එසේ එක් එක් පුද්ගලයාට ඇතිවන අත්දැකීම්, එසේත් නැතහොත් ඒ ඒ පුද්ගලයාගේ නිරීක්‍ෂණ සියළු පුද්ගලයන්ට එක ම ආකාරයෙන් වේ යැයි උපකල්පනය කරමින් සාධාරණ ව (in general) නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන කරුණු ගැන සඳහන් කෙරිණි.

ඉන්පසුව එසේ සියළුම නිරීක්‍ෂකයන්ට එකලෙස නිරීක්‍ෂණය වන්නේ නම් නිරීක්‍ෂකයන් නැතිව වුව ද ඒ සංසිද්ධි ඇතිවන්නේ ය යන්න උපකල්පනය කෙරිණි. උදාහරණයක් ලෙස ගතහොත් සියළු නිරීක්‍ෂකයනට සාපේක්‍ෂ ව වස්තු ඒකාකාර ත්වරණයකින් පොළොවට වැටෙන්නේ නම් නිරීික්‍ෂකයන් නැතිව වුව ද වස්තු ඒකාකර ව පොළොවට වැටෙන්නේ ය යන්න උපකල්පනය කෙරී එය ඊනියා සත්‍යයක් බවට පත්විණි. ඒ සමග වාස්තවික යථාර්ථය (objective reality) බටහිර විද්‍යාවට, මුල දී බටහිර භෞතික විද්‍යාවට, එකතුවිණි. 

නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ලෝකයේ විවිධ සංසිද්ධි ඇතිවන බවත් ඒ සංසිද්ධි ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වූ නියම අනුව සිදුවන බවත් නිව්ටෝනීය චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමයෙහි පසුබිමෙහි විය. විවිධ වස්තු නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ඒකාකාර ත්වරණයකින් පොළොවට ඇද වැටීම ගැලීලියෝ විද්වතාගේ නිරීක්‍ෂණවලින් සාධාරණය (generalize) කෙරුණකි. වස්තු එසේ ඇද වැටෙන්නේ විශ්වයේ සියළු අංශු එකිනෙක එක්තරා නියමයකට අනුව ආකර්ක්‍ෂණය වීම නිසා යැයි නිවිටන් විද්වතා තම චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමය යොදා ගනිමින් පෙන්නුම් කළේ ය.

චලිත නියම මෙන් ම ගුරුත්වාකර්ෂණ නියමය ද පසුව බටහිර විද්‍යාවට එකතු වූ විවිධ නියමවල පුරෝගාමී කාර්යය ඉටු කළේ ය. එයින් කියැවුණේ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්තු (අංශු) එකම ආකාරයකින් (යම් ගණිත ප්‍රකාශනයකට යටත් ව) ආකර්ක්‍ෂණය කරන බවත් වස්තු බාහිර බල යටතේ එකම ආකාරයෙන් යම් ත්වරණයකින් චලනය වන බවත් ය. නිවිටන් ගැලීලියෝ ආදීන් ඇතත් නැතත් වස්තු එසේ චලනය වන බව උපකල්පනය කෙරිණි.නිව්ටෝනීය නියමයට අනුව එක් අංශුවක් අනෙක් වස්තු විසින් ආකර්ෂණය කෙරෙයි. නීිරීක්‍ෂකයන් නැතිවත් කෙරෙන ආකර්ෂණය බටහිර භෞතික විිද්‍යාවට අනුව වාස්තවික නියමයක ප්‍රතිඵලයක් වෙයි.

සියළු වස්තු (අංශු) සඳහා එසේ නියම ඉදිරිපත් කෙරුණේ සාධාරණවය. එහෙත් විශ්වයේ ඇති සියළු අංශු සඳහා එවැනි පරීක්‍ෂණ නිරීක්‍ෂණ කළ අයකු නැත. මෙහි දී සිදුවන්නේ අංශු කිහිපයක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ හා ඊනියා නියම සාධාරණීකරණයට ලක්කිරීම ය. ඒ සාධාරණයට ලක්කිරීමට ඒ ඒ වස්තු එකිනෙක නිරී’ක්‍ෂණය කළ යුතු නො වෙි. අංශු කිහිපයක් නිරීක්‍ෂණය කිරීම ප්‍රමාණවත් වෙයි. මේ සාධාරනීකරණය අභ්‍යුහනය (induction) නමින් ද හැඳින්විය හැකි ය. අභ්‍රුහනයෙන් ලබාගන්නේ නිරපේක්‍ෂ සාධාරණත්වයකි. එක් අංශුවක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ ඒ ඒ නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වෙයි. ඒ නිරපේක්‍ෂත්වය ය.

අනෙක් අතට බටහිර භෞතික විද්‍යාවට අනුව සියළු වස්තු එකම ආකාරයෙන් චලනය වෙයි. එහි දී වස්තුව පොල් ගෙඩියක් වුවත් යකඩ බෝලයක් වුවත් එකම ගුරුත්වාකර්ෂණ නියමයට යටත්වෙයි. එමෙන් ම එකම චලිත නියම යටතේ චලනය වෙයි. නිරීක්‍ෂකයා කවුරුන් වුවත් නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්තු ඊනියා වාස්තවික නියමවලට යටත් වෙයි. මෙය බටහිර විද්‍යාවේ දක්නට ලැබෙන ඊනියා විශ්වීය (universal) නියමයකි. පොල් ගෙඩි දෙල් ගෙඩි පමණක් නොව සූර්යයා හා ග්‍රහවස්තු ද මන්දාකිණි ද මේ නියමයට යටත්වන්නේ යැයි නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඉගැන්වෙයි.

මේ කිසිවක් ඊනියා පර්යේෂණවල හෝ නිරීක්‍ෂණවල හෝ ප්‍රතිඵල නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. බටහිර භෞතික විද්‍යාව ඇතුළු බටහිර විද්‍යා ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් ගැන අවධාරණය කළ ද ඊනියා වාස්තවිකත්වය හා නිරපේක්‍ෂත්වය එවැනි පර්යේෂණාත්මක ක්‍රමවලින් ලබාගත හැක්කක් නො වේ. කිසිවකුට විශ්වයේ (ලෝකයේ) සිටින සියළු නිරීක්‍ෂකයන් අරභයා ඒ සියල්ලන් ම එකම ආකාරයෙන් ඒ ඒ සංසිිද්ධි නිරීක්‍ෂණය කරන්නේ දැයි නීරීක්‍ෂණයෙන් හෝ පර්යේෂණයෙන් හෝ දැනගත හැකි නො වේ. එසේ දැනගත්තත් කලින් සිටි නිරීක්‍ෂකයන් හා ඉපදීමට සිටින නිරීක්‍ෂකයන් සම්බන්ධයෙන් එසේ කරන්නේ කෙසේ ද? එමෙන් ම කලින් පැවති වස්තු හා අනාගතයේ දී ඇතිවන වස්තු සම්බන්ධයෙන් එවැනි පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ කරන්නේ කෙසේ ද?

වාස්තවිකත්වය හා නිරපේක්‍ෂත්වය හුදු උපකල්පන පමණක් වෙයි. ඊනියා අභ්‍යුහනය එහි දී යොදා ගැනෙන විධික්‍රමය යැයි කියනු ලැබෙයි. අභ්‍යුහනය නම් ගාම්භීර නමකින් හැඳින්වුව ද, එයින් කියැවෙන්නේ වස්තු කිහිපයකට නිරීක්‍ෂකයන් කිහිප දෙනකුට ගැලපෙන යම් යම් ලක්‍ෂණ මුළු මහත් විශ්වයට ම ගැලපෙන බව ය. මෙය ගණිත අභ්‍යුහනයෙන් (Mathematical Induction) ලබාගත හැකි වූවක් ද නො වේ. අනෙක් අතට ගණිත අභ්‍යහනය පියානෝගේ ස්වසිද්්ධි හෙවත් ප්‍රත්‍යක්‍ෂ (axioms) මත පදනම් වෙයි. මේ ස්වසිද්ධි ගණිතයේ අනෙක් ස්වසිද්ධි මෙන් ම ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයකින් ලබාගත් ප්‍රතිඵල නො වේ. ඒවා හුදෙක් වියුක්ත උපකල්පන පමණක් වෙයි. මුළු මහත් ගණිතය ම පදනම් වන්නේ එවැනි ස්වසිද්ධි හා ඇරිස්ටෝටලීය න්‍යාය (logic) මත ය. හැකිනම් නිරපේක්‍ෂත්වය, වාස්තවිකත්වය හුදු පරීක්‍ෂණයෙන් හෝ නිරීක්‍ෂණයෙන් හෝ සම්පරීක්‍ෂණයෙන් හෝ පෙන්වන මෙන් අභියෝග කරමි.

වියුක්ත චින්තනය බටහිර විිද්‍යාවට නැතිව ම බැරි ය. වියුක්තය ඊනියා පුද්ගල බද්ධ පරීක්‍ෂණාත්මක ක්‍රමයට පටහැණි වෙයි. වියුක්ත චින්තනයෙහි දී පංචෙන්ද්‍රිය ගෝචර ලක්‍ෂණ බැහැර කෙරෙයි. ගැලීලියෝ විද්වතාට පීසා නුවර ඇලවෙන කුලුන වටා රික්තයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නො වී ය. ඔහු කීවේ රික්තයක් සිතෙන් මවා ගැනීමට ය. ඔහුගේ ඊනියා පරීක්‍ෂණයේ පංචෙන්ද්‍රියන්ට ගෝචර රික්තයක් නො වී ය. එහෙත් රික්තයක් නොමැතිව වස්තු වැටීම පිළිබඳ පරීක්‍ෂණයක් ද නො වී ය.

අනෙක් අතට වස්තුව යනු කුමක් ද? වස්තුව යන්න ම වියුක්ත සංකල්පයකි. වියුක්ත සංකල්ප පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. ගැලීලියෝ විද්වතාට අවශ්‍ය වූයේ යකඩ බෝල අතහැරිය ද, ඇපල් ගෙඩි අතහැරිය ද, අශ්වයන් දෙදෙනකු අතහැරිය ද, ඒ සෑම අවස්ථාවක දී ම ඒ සියල්ල එකම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීම ය. එසේ එක ම ත්වරණයකින් ඇද වැටීමේ ගුණය ඒ ඒ ද්‍රව්‍ය මත රඳා නොපවතින බව ද ඔහුගේ කෙසේ වෙතත් පසුව පැමිණි බටහිර භෞතික විද්‍යාඥයන්ගේ අදහස (උපකල්පනය) විය. ඇපල් ගෙඩියේ වර්ණය හෝ යකඩ බෝලයේ තදබව හෝ වෙනත් ගුණයක් හෝ අත්හරිනු ලැබූ ගෙඩියේ හෝ බෝලයේ හෝ ත්වරණය තීරණය කිරීමේ දී වැදගත් නො වේ. එබැවින් අපට පැහැයක් නැති ඇපල් ගෙඩියක් පමණක් නොව අහවල් ගෙඩිය යැයි කිව නොහැකි ගෙඩියක් හෝ කකුල් ඇති නැති ඕනෑම සතකු හෝ වෙනත් දෙයක් හෝ මෙහි දී යොදාගත හැකි ය.

වස්තුවක් යනු අතිශයින් ම වියුක්ත සංකල්පයකි. එය කිසිසේත් ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. එපමණක් නොව එය සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. කලින් අපේ ප්‍රවාදවල සඳහන් කර ඇති ආකාරයට අපට දෙල් ගෙඩියක් හෝ කෙසෙල් ගෙඩියක් හෝ සිතෙන් මවාගත හැකි වුවත් ගෙඩියක් සිතෙන් මවාගත නො හැකි ය. එය සරල රේඛාවක් වැනි සිතෙන් මවාගත නොහැකි වූවකි. ගෙඩිය, ගස, සිවුපාවා ආදිය සිතෙන් මවාගත නොහැකි සංකල්ප වෙයි. වස්තුව යන්න ඒ සියල්ලටත් වඩා වියුක්ත වූ සංකල්පයකි. එයට හේතුව ගෙඩිය, ගස, සිවුපාවා ආදී මේ ඕනෑම සංකල්පයක් වස්තුවක් විය හැකි බැවිනි.

බටහිර භෞතික විද්‍යාව පමණක් නොව මුළු මහත් බටහිර දැනුම් පද්ධතිය ම ඊනියා වාස්තවිකත්වය මත රඳා පවතියි. එහෙත් වාස්තවිකත්වය යන්න පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවනවා පමණක් නොව සිතෙන් ද මවාගත නොහැකි සංකල්පයකි. එයින් අදහස් කෙරෙන්නේ ඒ පිළිබඳ කිසිවක් සිතෙහි පහළ නොවන බව නො වේ. වාස්තවිකත්වය යනු සිතෙහි ඇතිවන සංකල්පයකි. එය පංචෙන්ද්‍රියන්ගෙන් සංජානනය කළ නොහැකි සංකල්පයකි. එපමණක් නොව එහි රූපයක්, ගඳක් සුවඳක්, හැඩයක්, රසයක්, ශබිදයක්, තදබවක්, මොළොක්බවක් ගැන සිතෙහි මවාගත නො හැකි ය. එය යුදෙව්වන්ගේ වියුක්ත යෙහෝවා දෙවියන් වහන්සේ මෙනි. ඒ දෙවියන් වහන්සේගේ පිළිමයක්වත් ඇඹීම යුදෙව් ආගමේ තහනම් කෙරී ඇත. 

බටහිර භෞතික විද්‍යාවේ ප්‍රමුඛ බටහිර විද්‍යාවේ පමණක් නොව ඊනියා භෞතිකවාදී හෙවත් ද්‍රව්‍යවාදී (materialistic) දර්ශනවල ද පදනමේ ඇත්තේ ඊනියා වාස්තවිකත්වය වැනි කිසිසේත් ම භෞතිකවාදී නොවන මතිමතාන්තර ය. වස්තුව යන්න සිතෙහි ඇති සංකල්පයක් පමණක් වන විට වාස්තවිකත්වයක් ගැන මැත දොඩවන භෞතිකවාදීන් ගැන අප කළයුත්තේ කුමක් ද? තම පඬි බවෙන් උදම් වී භෞතිකවාදී පඬි කතා කියන පඬියන්ට අනුකම්පා කිරීම හැර කළ යුතු අන් දෙයක් ඇතැයි නො සිතමි. භෞතිකවාදී පඬියන්ට අනුව නම් භෞතිකවාදී නොවන සංකල්ප ගැන කතාකරන්නෝ විඥානවාදියෝ ය. එසේත් නැත්නම් පාර භෞතිකවාදියෝ ය. ඒ අරුතින් ගත්කල  ඊනියා වාස්තවිකත්වයක් ගැන කතාකරන භෞතිකවාදයෝ ද  විඥානවාදියෝ වෙති.