Main Logo

Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

Sunday, 9 March 2014

ඉතිහාසය ගල්ගැස්සීම


මෙහි මාතෘකාව ඉතිහාසය වුව ද වාස්තවික වූ ඉතිහාසයක් නැත. අප සියළු දෙනාට ම ග්‍රහණය කිරීමට ඇත්තේ එකම ලෝකයක් පමණක් යැයි කියන (නො)දත් දොස්තරලාට නම් ඇත්තේ එකම ඉතිහාසයක් විය හැකි ය. අප එකිනෙකා ඉතිහාස දකින්නේ විවිධ ආකාරයෙනි. මෙරට සම්බන්ධයෙන් ගත්කල ඇතැම්හු රාවණ ඉතිහාස ගැන කියති. ඇතැමුනට අනුව ඉතිහාස පටන්ගෙන ඇත්තේ විජය කුමරුගෙනි. ඇතැමුනට අනුව ඊනියා විද්‍යාව (බටහිර විද්‍යාව) මගින් බෙංගාලයේ ජනතාව හා සිංහලයන් අතර ජාන සම්බන්ධයක් ඇති බව හෙළි වී ඇත. ඒ විද්‍යාවට ම අනුව තවත් අයකු පවසා ඇත්තේ අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙහි හා ලංකාවේ ජනයා අතර ජාන සම්බන්ධයක් ඇත. වාස්තවික ඉතිහාසයක් තබා වාස්තවික භෞතික විද්‍යාවක්වත් නැත. ක්වොන්ටම් සංකල්පය වත්මන් බටහිර භෞතික විද්‍යාවෙහි ඉදිරිපත්කළ සුප්‍රසිද්ධ බටහිර භෞතික විද්‍යාඥයකු වූ මැක්ස් ප්ලෑන්ක්ට අනුව බටහිර භෞතික විද්‍යාවෙහි යම් මතයක් පිළිගැනෙන්නේ තර්කයෙන් හෝ ඊනියා ආනුභවික විධික්‍රමයකින්  හෝ අදාළ විද්‍යාඥයන් ඒ අදහස සමග එකඟ වීමෙන් නොව පැරණි පරම්පරාව මිය යෑමෙනි. බටහිර ඉතිහාසයට බටහිර දන්ත වෛද්‍යවිද්‍යාවට ආදී විෂයයනට වඩා බෙහෙවින් වර්ධනය වී ඇති භෞතික විද්‍යාවෙහි ද තත්වය එබඳු නම් අනෙක් විෂය ගැන කියනුම කවරේ ද? බටහිර භෞතික විද්‍යාව නොහදාරා ජනප්‍රිය පොතපත මගින් බටහිර භෞතික විද්‍යාව ගැන කරුණු දැනගැනීමට උත්සාහ කරන (නො)දත් දොස්තරලාට මේ කිසිවක් නොවැටහීම පුදුමයක් නො වේ. ඔවුන්ට අනුව ඇත්තේ එක් ලෝකයකි. එක් ඉතිහාසයකි. ඔවුහු ද යටත්විජ්තවාදයට සේවය කරති.

ඉහත සඳහන් පුර්විකාව රායප්පු ජෝසෆ් බිෂොප්වරයා ඇතුළු දෙමළ ක්‍රිස්තියානි පූජකවරුන් දෙසිය පස්දෙනකු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් මණ්ඩලයේ සාමාජිකයන් වෙත යවන ලද ලිපියක සඳහන් කරුණු පිළිබඳ ව වචනයක් දෙකක් සඳහන් කිරීමට ය. ජෝසෆ් බිෂොප්වරයා ගැන අමුතුවෙන් යමක් කීම අවශ්‍ය නො වේ. මඩු දේවස්ථානයෙහි තිබූ මරියතුමියගේ සුරුවම කොටින් අතට පත්කර සිංහල කතෝලිකයන්ට එම දේවස්ථානයෙහි පුද පූජා පැවැත්වීම අහිමි කළේ ඔහු ය. පසුගිය දා කිසිම සාක්‍ෂියක් නොමැතිව හමුදාව රසායනික අවි යොදාගත් බවටත් සාමාන්‍ය ජනතාවට බෝම්බ දැමූ බවටත් චෝදනා කළේ ඔහු ය. ඔහු සිංහලයන් සමග විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් සමග බද්ධ වෛරයකින් පසුවන බව පෙනී යයි. ඔහු ඇතුළු පූජකවරුන් (මොවුන් සේවය කරන්නේ දෙවියන් වහන්සේට නො වේ) තම ස්වාමිවරුන් වූ බටහිරයන්ට කියා ඇත්තේ ආණ්ඩුව දෙමළ අනන්‍යතාව නැතිකරන බවත් දෙමළ ජනයාගේ ඉඩම් කොල්ල කන බවත් දෙමළ ජනයා මත සිංහල භාෂාව හා බුද්ධාගම පටවන බවත් ආණ්ඩුව සිංහලයන් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කරවීමෙන් ඒ පළාත්වල ජනගහන ව්‍යාප්තිය වෙනස්කරන බවත් එමගින් එහි දෙමළ ජනයා බහුතරය වීම නැතිකරන බවත් ය. මේ ප්‍රකාශ කිනම් ඉතිහාසයකට අනුව කළත් වෛරී ප්‍රකාශ ය. එමෙන් ම තමන් විශ්වාස කරන ඉතිහාසය වෙනස් නොවිය යුතු බවත් ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි. 

උතුරු පළාතේ කෙසේ වෙතත් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා බහුතරය නො වේ. උතුරු පළාතේ ද දෙමළ ජනයා බහුතරය බවට පත්වූයේ ලන්දේසීන්ගේ පැමිණීමෙන් පසුව ය. ජෝසෆ් බිෂොපහුතරය්වරයාගේ ඉතිහාසයට අනුව එය එසේ නොවිය හැකි ය. හෙත් මෙරටට කතෝලික ආගම හඳුන්වාදුන් පෘතුගීසි ඉතිහාසඥයන්ට අනුව පෘතුගීසීන් මෙරටට පැමිණෙනන විටත් යාපන අර්ධද්වීපයෙහි බහුතරය සිංහල ය. දෙමළ ඉතිහාසඥයකු වූ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ ඉතිහාසයට අනුව මෙරට දොළොස්වැනි සියවසට පෙර ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැත. ජෝසෆ් බිෂොප්වරයාගේ ඉතිහාසය ලියා ඇත්තේ කවුරුන් දැයි නො දනිමි. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනගහණ ව්‍යාප්තිය හැමදාමත් එකම ආකාරයකින් පැවතියේ යැයි බිෂොප්වරයා පවසන්නේ ද? ඔහුගේ ඉතිහාසය කුමක් වුවත් පෘතුගීසීන්ගේ හා මහාචාර්ය ඉන්ද්‍රපාලගේ ඉතිහාසයට අනුව නැගෙනහිර පළාතේ තබා උතුරු පළාතේවත් සැම කල්හිම දෙමළ ජනයා බහුතරය ව පැවතී නැත. අනෙක් අතට උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ ජනගහන ව්‍යාප්තිය ස්වාභාවික යැයි කියන ආකාරයකට වෙනස් වී ද නැත. පෘතුගීසීන් පැමිණෙන විට උතුරේ බහුතරය වූ සිංහලයන් දෙමළ වූයේ කෙසේ ද? ඒ පිළිබඳ ව බිෂොප්වරයාගේ ඉතිහාසය කුමක් ද? බිෂොප්වරයාගේ ආගම ද ඔහුගේ පරම්පරාව මෙරටට පැමිණියේ කවදා වුව ද සියළු කල්හි එකක් ම වී නැත. මෙරට කතෝලික ඉතිහාසය පටන්ගෙන ඇත්තේ දහසයවැනි සියවසෙන් පසුව ය. 

ඉතිහාස කාගේ වුවත් කාහට අනුව ලියැ වී ඇති වුවත් ඒ වෙනස් වෙයි. අද කොළඹ බහුතරය සිංහල නො වේ. එය ඊනියා ස්වාභාවික කරුණු අනුව සිදුවිණි යැයි කිසංිවකු කියනු ඇත. එහෙත් මේ ස්වාභාවිකත්වය යනු කුමක් ද? ඉංගිරිසින් විසින් බලහත්කාරයෙන් අප මත පටවනු ලැබූ අධ්‍යාපනය හා ආර්ථිකය නිසා ඇතිවූවකි. එය ස්වාභාවික ද? ඉංගිරිසින් මෙරටට නොඑන්නට කොළඹ දෙමළ ජනගහනයක් හෝ මුස්ලිම් ජනගහනයක් හෝ පැවතිය හැකි ද? දෙමළ ජනයා උතුරේ බහුතරය වී ඇත්තේ ලන්දේසීන් දුම්කොළ වගාවට අද දකුණු ඉන්දියාව නමැති ප්‍රදේශයෙන් කෘෂිකාර්මික කම්කරුවන් වූ වෙ ල්ලායන් බලයෙන් ගෙන්වීමෙන් පසුව බව ලන්දේසින්ගේ ඉතිහාසයෙන් ගම්‍ය වෙයි.  මුස්ලිමුන් නැගෙනහිර පළාතේ පදිංචිකරවනු ලැබුයේ සෙනරත් රජු විසිනි. ඒ ඔවුන් කතෝලිකයන්ගෙන් ආරක්‍ෂාකිරීම සඳහා ය. මේ සියල්ල කිනම් හේතුවකට කළත් බලහත්කාර පදිංචිකරවීම් ය. අද ඉඩම් නැති සිංහලයන්ට ඉඩම් අවශ්‍ය නම් ඉඩම් ඇත්තේ උතුරු පළාතේ නම් ආණ්ඩුව මැදිහත් වී ඔවුන් ඒ පළාතේ පදිංචි කරවිය යුතු ය. කිනම් ඉතිහාසයකට අනුව වුවත් මිනිසුන් පදිංචිය වෙනස් කිරීමෙන් ජනගහණ ව්‍යප්තිය වෙනස් වෙයි. එයට බිෂොප්වරයා මැසිවිලි නැගිය යුතු නො වේ. අද ඔහුට හා අනෙක් දෙමළ ජතිවාදීන්ට අවශ්‍ය වන්නේ ඉතිහාසය (වාස්තවික අර්ථයකින් නො වේ) ගල්ගැස්වීමට ය. පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංගිරිසින් ඇතිකළ ඉතිහාසය රැකගැනීම බිෂොප්වරයාට අවශ්‍ය ය. ඔහු අනෙක් දෙමළ ජාතිවාදීන් මෙන් ම යටත්විජිතවාදින්ට සේවය කරයි. අපට අවශ්‍ය වන්නේ යටත්විජිතවාදීන්ගේ ඉතිහාසය වෙනස් කිරීමට ය.


නලින් ද සිල්වා

2014-03-09

Friday, 30 September 2011

බුදුන්වහන්සේ මෙරටට වැඩම කිරීම හා නෙස්ටෝරියන් කුරුසය

පැටළුණු අංශු පිළිබඳ තවත් බොහෝ දේ කීමට ඇතත් අපි එය පසුවට කල්දමමු. අද අපට ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වන්නේ දෘශ්‍යමානය සත්‍යය ද අසත්‍යය ද යන්නත් අදෘශ්‍යමානය නිසැකයෙන් ම අසත්‍ය ද යන්නත් දැනගැනීම ය. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති යන බෞද්ධ නොවන සම්ප්‍රදායක ලියැවුණු වාක්‍යයක් වැලිකඩ සිරගෙදර තාප්පවල ප්‍රදර්ශනය කෙරෙන අයුරු ඔබ ඇතැමි විට දැක ඇත. ඒ වැකිය බෞද්ධ සම්ප්‍රදායට අයත් නොවුණත්, අප තේරුම්ගත යුතු කරුණ නම් සිරකරුවන් ද මනුෂ්‍ය ප්‍රජාවට අයත්වන බව ය. මිනිස්සු ද සත්ව ගණයකට අයත් වෙති. මිනිසුන් පමණක් නොව තිරිසන් සත්තු ද සත්ව ගණයට අයත් වෙති. මිනිසුන් හැරෙන්නට අනෙක් සත්වයන්ගේ මනස පිළිබඳ බටහිර බොහෝ ජීව විද්‍යාඥයන්ට ප්‍රශ්න ඇත. ඔවුන් අති විශාල බහුතරයකට අනුව අනෙක් සතුන්ට මනස් නැත.

ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට අනුව අනෙක් සත්වයන්ට ද මනස් ඇත. මේ පිළිබඳ ව මෙරට සිටින පුහු චණ්ඩි බටහිර විද්‍යාඥයන් කියන්නේ කුමක් දැයි අපි නො දනිමු. ඔවුන් නාථ දෙවියන් පිළිබඳ දරණ ස්ථාවරය ද මෙතෙක් නිරවුල් ව කියා නො මැති. ඔවුන් නාථ දෙවියන් නැතැයි කියන්නේ ද? මතු බුදුවන නාථ දෙවි කෙනකු ගැන ඔවුහු විශ්වාස නො කරත් ද? ඔවුහු නාථ දෙවි කෙනකු සිටින බව විශ්වාස කරන නමුත් එතුමා නරයන් (නරයන්ගෙන් කිහිප දෙනකු) සමග ඇතැම් දෑ පිළිබඳ යම් සංනිවේදනයක යෙදෙන බව විශ්වාස නො කරත් ද? නාථ දෙවියන් ඇතැම් දෑ ගැන එලෙස සංනිවේදනයක යෙදුණත් රජරට වකුගඩු රෝගයට හේතු (ප්‍රධාන හේතුව වෙන ම සඳහන් කර) පිළිබඳ ව සංනිවේදනයක නිරතවන බව ඔවුනට අවිශ්වාස ද? බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් ඉහත සඳහන් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත්කල කිනම් ස්ථාවරවල සිටින්නේ දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. කෙසේ වෙතත් වරුණ ගුණතිලක දොස්තර මහතා ඇතුළු ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බටහිර විද්‍යාඥයන්ට ගා බටහිර වෛද්‍යවරුන්්ට අප කියා සිටින්නේ ආසනික් ප්‍රශ්නය පිළිබඳ ව දෙවියන් තවමත් ක්‍රියාකාරී වන බවත් ඔවුන් තව කලකට මිනිස් ලොව සැරිසරන බවත් ය.

බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යචරුන් නොදැන සිටිය ද ප්‍රාණීන්ගේ ලෝකයකට හා අප්‍රාණ ජෛවීන්ගේ ලෝකයකට බටහිර විද්‍යාඥයන් විසින් ජෛවීන් ලෙස හැඳින්වෙන්නවුන්ගේ ලෝකය බෙදිය හැකි බව බෞද්ධයෝ දනිති. මේ ප්‍රාණීහු සසර සැරිසරති. ඔවුන්ට මනස් වෙයි. මනස් තිබීමට මොළය හා කොඳු ඇට පේළිය වැනි අවයව තිබීම අනිවාර්ය නො වේ. පණුවන්ට ද මනස් ඇත. තිරිසන් සත්තු අපා දෙපා සිවුපා බහුපා ලෙස වර්ග කරනු ලැබෙති. බටහිර විද්‍යාඥයන් ඒ සතුන්ට මනස් ඇති බව විශ්වාස නොකළ ද ඒ සතුන් ඇති බව විශ්වාස කරති. ඒ ඔවුන්ට මිනිසුන් මෙන් ම තිරිසන් සතුන් ද පෙනෙන බැවිනි. ඒ සත්වයන් මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන බැවින් ඒ සතුන්ගේ පැවැත්ම බටහිර විද්‍යාඥයන්ට, පශු වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් නො වේ.

එහෙත් ප්‍රශ්නය වනුයේ දෙවිවරුන් වැනි නොපෙනෙන සත්වයන්ගේ පැවැත් ම ය. බටහිර විද්‍යාඥයන්ගෙන් අතිවිශාල බහුතරය දෙවිවරුන්ගේ පැවැත්ම විශ්වාස නොකරන්නේ එවැනි සත්වයන් නොමැති බව ඔවුන්ගේ ඊනියා පර්යේෂණවලින් ඔප්පු වී තිබෙන බැවින් ද? නැති දෙයක් නැති බව ඔප්පු කිරීමට පර්යේෂණ කිරීමට අවශ්‍ය ඇයි දැයි යමකු ප්‍රශ්න කරනු ඇත. කළ යුත්තේ ඇති බව ඔප්පු කිරීම නො වේ දැයි එවැන්නකු තවදුරටත් කියනු ඇත. මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය සමග ද ගැට ගැසෙයි. එහෙත් අද ඒ ගැන ශිෂ්ට යැයි සම්මත සමාජයේ සාකච්ඡා නො කෙරෙයි.

දෙවියන් වහන්සේ නමින් හැඳින්වෙන ලෝකය නිර්මාණය කළා යැයි කියන අයකු ඇත් ද නැත් ද යන වග අප දැනගන්නේ කෙසේ ද? මේ දෙවියන් වහන්සේ ගැන ආබ්‍රහමික ආගම් ලෙස හැඳින්වෙන යුදෙව්, කතෝලික, ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ප්‍රධාන ආගම්වල විවිධ නම්වලින් සඳහන් වෙයි. එවැනි දෙවියන් වහන්සේ කෙනකු නැතැයි කීම යම් ආගමකට කරන අපහාසයක් යැයි කියන්නෝ වෙති. ඒ අතර තවත් අයට අනුව එසේ පැවසීම අන්‍ය ආගම් ඉවසීමට එරෙහිව යන්නකි. මේ අතර හින්දු භක්තිකයෝ ලෝකය නිර්මාණය කළ බ්‍රහ්මන් කෙනකු ගැන විශ්වාස කරති. බ්‍රහ්මන් නැතැයි කීම ද ආගමික සහජීනයට එල්ල කරන පහරක් යැයි කියන්නෝ ද වෙති.

එහෙත් සිංහල බෞද්ධයන් විශ්වාස කරන දෙවිවරුන්ගේ පැවැත්ම ගැන තම තමන්ට කැමති දෙයක් කීමේ නිදහස මෙරට ඕනෑම අයකුට ඇත. ඒ දෙවිවරුන් නැතැයි කීමේ දී ආගමික සහජීවනයට, අන්‍ය ආගමික මත ඉවසීම ආදී සම්මතයන්ට කුමක් සිුවන්නේ දැයි ප්‍රශ්න කරන කිසිවකු නැත. එහිදී ඊනියා යථාර්ථවාදී බෞද්ධයන්ගේ සහාය ඔවුන්ට ලැබෙයි. මේ යථාර්ථවාදී බෞද්ධයෝ බොහෝ විට බටහිර විද්‍යාව කටගාගත්තෝ වෙති. මේ ඇතැමුන්ට අනුව බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර නැත. ඔවුන් එසේ කියන්නේ බුදුන්වහන්සේ ලංකාවට වැඩි බවට සාක්‍ෂි නැතැයි කියමිනි. මේ සාක්‍ෂි අන් කිසිවක් නොව එකල, එනම් බුදුන් වහන්සේ වැඩි සමයෙහි ලිඛිත සාක්‍ෂි ය. පසු කලෙක ලියු ලේඛන ඔවුහු නො පිළිගනිති. තවත් සමහර යථාර්ථවාදී බෞද්ධයනට අනුව පුනරුත්පත්තියක් නැත. මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මේ ගණයට අයත් වෙති. ඒ පුනරුත්පත්තිය බටහිර විද්‍යාවට අනුව පෙන්විය නොහැකි නිසා ය. පුනරුත්පත්තිය නැතහොත් පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නොවේය යන්න එසේත් නැත්නම් ඒ සඳහා ආනුභවික පදනමක් නැත යන්න මේ යථාර්ථවාදී බෞද්ධයන්ගේ මතය වෙයි.

ඇතැම් යථාර්ථවාදී බෞද්ධයෝ (ඔවුන්ට බටහිර විද්‍යාත්මක බෞද්ධයන් යැයි කීමේ ද වරදක් නැත) පුනබ්භවයක් නැත යන්න ද ඉක්මවා ගොස් බුදුන්වහන්සේ රැවටිලිකරුවකු ලෙස පෙන්වීමට උත්සාහ දරති. කලක් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වූ ද දැනට ඕස්ටේ‍ර්ලියාවේ පදිංචිකරුවකු වූ ද වික්ටර් ගුණසේකර මහතා පවසන්නේ බුදුන් වහන්සේ ආචාරධර්ම පද්ධතියක් දේශනා කළ බවත් එහෙත් මිනිසුන් එලෙස ආචාර ධර්ම පද්ධතියක් නිසගයෙන් ම නොපිළිගන්නා බැවින් ඔවුන් ඒ සඳහා යොමුකරවීමට එවකටත් දඹදිව විශ්වාසයක් ලෙස පැවති පුනබ්භවයක් ගැන සඳහන් කළ බවත් ය. එයින් අදහස් කරන්නේ බුදුන්වහන්සේ මිනිසුන් ලවා තමන්වහන්සේගේ ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරවීමට පමණක් නැති පුනබ්භවයක් ගැන කතාකළ බව ය. බුදුන්වහන්සේට මෙතරම් නිග්‍රහයක් කළහැකි බෞද්ධයන් මේ රටින් ම බිහිවීම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් මිස අනෙකක් නො වේ.

අප ඉතිහාසය ගොඩනගන්නේ, එනම් සංස්කරණය කරන්නේ වර්තමානයේ දී ය. සෑම ඉතිහාසයක් ම එසේ ය. එමෙන් ම වර්තමානය හා අනාගතය ද ඉතිහාසය විසින් සකස්කරනු ලැබෙයි. මෙහි ඇත්තේ චක්‍රීය ස්වභාවයකි. අද වැනි කාලයක සිද්ධි පිළිබඳ වාර්තා එදිනෙදා ම ලියැවෙන නමුත් අනාගතයේ දී ඒ ලියකියවිලි වුවත් කියැවෙන්නේ එකල ඇතිවන සමාජයට හෝ සමාජයේ විවිධ කොටස්වලට හෝ සාපේක්‍ෂව ය. අද පශ්චාත්නූතනවාදීන් මහත් උජාරුවෙන් අලුත් කියැවීමක් ආදී වශයෙන් සඳහන් කරන්නේ නව සාපේක්‍ෂ අර්ථවිවරණයකට මිස අනෙකකට නො වේ. අද ලියැවෙන ලිපි ලේඛන අනාගතයේ දී ඒ ඒ අයට (ඒ ඒ සමාජ කොටස්වලට) සාපේක්‍ෂව අර්ථවිවරණය කෙරෙන්නේ නම් ඉතිහාසය යනුවෙන් ඊනියා යථාර්ථයක් නොමැති බව එයින් පැහැදිලි වෙයි. අනාගතයට කල් නොදී වර්තමානයේ වුව ද සිද්ධීන් එකිනෙකා වාර්තා කරන්නේ ද තම තමන්ට සාපේක්‍ෂව බව අපට පෙනී යයි. එකම පුවත්පත් කාර්යාලයෙන් නිකුත් කරන සිංහල හා ඉංගිරිසි පුවත්පත්වල එක සිද්ධියක් පිළිබඳ ව අර්ථකථන දෙකක් දෙනු ලැබීම සුලබ කරුණක් වෙයි.

එසේ නම් පඬියන් ලිඛිත සාක්‍ෂි ඉල්ලීම එතරම් තේරුමක් ඇති දෙයක් නො වෙයි. ඇතැම් දේ ජනප්‍රවාදයෙහි අලිඛිත ව පරම්පරාවෙන් පරම්පරාවට සංනිවේදනය වෙයි. එසේ සංනිවේදනය වීමේ දී යම් යම් දේ එකතුවීම් අඩුවීම් සිදුවන බව පැහැදිලි ය. එහෙත් එසේ වන්නේ මුඛ පරම්පරාගත කරුණුවල දී පමණක් නො වේ. ලේඛන ද පරම්පරාවෙන් පරම්පරාවට පිටපත් කිරීමේ දී වෙනස් වෙයි. එසේ නොවුණ ද අර්ථකථන ලෙස ගතහොත් ඒ සියල්ල වෙනස් වෙයි. ඒ වෙනස සිිදුවන්නේ ඒ ඒ සමාජයේ ජීවත්වන විවිධ සමාජ කොටස්වලට අවශ්‍ය පරිදි ය. අප අනාගතය සකස්කරගන්නේ අතීතය හා වර්තමානය අනුව බැවින් අනාගතය වර්තමානයේ දී අප අතීතය දකින ආකාරයෙන් සකස් කෙරෙයි. ඒ අර්ථයෙන් ගතහොත් අප අනාගතය සකස්කරගැනීම සඳහා ඉතිහාසය අර්ථකථනය කරන්නේ යැයි කිසිවකුට කිව හැකි ය.

අපි ඉතිහාසය සකස්කර ගැනීමේ දී ලිඛිත සාක්‍ෂි මත ද ජනප්‍රවාද මත ද පදනම් වෙමු. ලිඛිත සාක්‍ෂි, එනම් අදාළ යුගයේ ම ලියැවුණු ලිඛිත සාක්‍ෂි නොමැතිව ඉතිහාසය හැදෑරිය නොහැකි නම් ප්‍රාග් ඉතිහාසයට කුමක් සිදුවේ ද? අද පුරාවිද්‍යාව නමින් හැදෑරෙන ක්‍ෂෙත්‍රයෙහි ඒ ඒ යුගවල ලියැවුණු ලිඛිත සාක්‍ෂි නොමැත. එහෙත් අපි ඒ සඳහා වෙනත් සාධක සාක්‍ෂි වශයෙන් ගනිමු. අපට අවශ්‍ය වන්නේ ජනප්‍රවාද, ලිපි ලේඛන (ශිලා ලේඛන ඇතුළත්ව), පුරාවිද්‍යාත්මක සාධක ආදිය උපයෝගී කරගනිමින් සංගත කතාවක් ගොඩනගා ගැනීම ය. කුමන ඉතිහාස කතාවක් වුව ද අර්ථකථනයක් බව අමතක නොකළ යුතු ය. එය විවිධ කරුණුවලට සාපේක්‍ෂ වූවකි. ඉතිහාසය පමණක් නොව බටහිර භෞතික විද්‍යාව ද සාපේක්‍ෂ වූ කතන්දර රාශියක එකතුවක් පමණකි.

එහෙත් අද ඇතැමුන් එක් පැත්තකින් ඊනියා සාක්‍ෂි නොමැතිව ලෝකය මැවූ දෙවියන් වහන්සේ පිළිගන්නා අතර සාක්‍ෂි නොමැති යැයි කියමින් දෙවිවරුන්ගේ පැවැත්ම නොපිළිගන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ බලපෑම හේතුකොටගෙන ය. ඒ අතර අද සමහර ක්‍රිස්තියානි අන්තවාදීහු කිසිම සාක්‍ෂියක් නොමැතිව කාශ්‍යප රජු ක්‍රිස්තු භක්තිකයකු යැයි කීමට උත්සාහ ගනිති. ඇතැම් ප්‍රසිද්ධ දේවස්ථානවල ක්‍රිස්තියානි කාශ්‍යප රජකුගේ පිළිම ඇඹීමකට උත්සහ ගනු පෙනෙයි. අනුරාධපුරයේ හමු වී යැයි කියන නෙස්ටෝරියන් කුරුසයක් මත පදමනම් වී එකල මෙහි ක්‍රිස්තියානින් ජීවත් වී යැයි කීමට හැකි නො වේ. පළමුවෙන් ම නෙස්ටෝරියන් කුරුසය හමුවීම පිළිබඳ සාම්‍ය සමාලෝචනයට බඳුන් වූ ඊනියා පර්යේෂණ පත්‍රිකාවක් තිබේ ද?

අප මේ ප්‍රශ්නය නගන්නේ සාම්‍ය සමාලෝචන හා පර්යේෂණ පත්‍රිකා ගැන අප විශ්වාස කරන බැවින් නොව එය ක්‍රිස්තියානි සම්ප්‍රදායට අයත් නිසා ය. නෙස්ටෝරියන් කුරුසයේ මතුවීම පිළිබඳ ව ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව පළ වී ඇති පත්‍රිකා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමේ කිසිදු වරදක් නැත. එවැනි කුරුසයක් තිබිණි ද එයින් ක්‍රිස්තියානි ස්ථිර පදිංචිකරුවන් සිටි බවක් ඔප්පු කිරීමට අන්තවාදීන්ට නො හැකි ය. බටහිර ආසියාවෙන් පැමිණි ක්‍රිස්තියානි වෙළෙන්දන් එවැනි කුරුසයක් ගෙන ඒමට ඇති සම්භාවිතාව ඉතා අධික ය. අන්තචාදීන් නෙස්ටෝරියන් කුරුසය තිබූ පමණින් කාශ්‍යප රජු ක්‍රිස්තියානි යැයි කියන්නේ කවර පදනමකින් ද? මේ නම් පැහැදිලිව ම ඉතිහාසය විකෘති කිරීමකි. ඉතිහාසය එලෙස විකෘති කරමින් ම බුදුන්වහන්සේ මෙරටට වැඩම කළ බවට සාක්‍ෂි නැතැයි කියන්නේ ජනප්‍රවාදය ඉවතලමිනි.


Thursday, 18 August 2011

මඩු පල්ලියේ පුරාණය

මඩු පල්ලිය කතෝලිකයන්ට මෙන් ම බෞද්ධයනට හා හින්දූනට ද වැදගත් වූ ස්ථානයකි. එහි ඉතිහාසය අවුරුදු දහස් ගණනක් ඈතට යයි. එහෙත් ඒ කතෝලික පූජනීය ස්ථානයක්, පල්ලියක් ලෙස නොව පත්තිනි දේවාලයක් පිහිටි ස්ථානයක් ලෙස ය. අපේ ඉතිහාසයේ කියැවෙන ආකාරයට පත්තිනි අම්මා සංකල්පය ගජබා රජු දවස ලංකාවට හඳුන්වා දී ඇත. එකල, එනම් කිතුවසින් දෙවැනි සියවසේ භාරතයේ ද හින්දු ආගමක් නො වීය. හින්දු ආගම යනු කිතුවසින් හයවැනි සියවසින් පසු ශංකරාචාර්යයන් විසින් බුදුදහම හා වෛදික ආගම් එකතුකිරීමෙන් නිර්මාණය කරන ලද්දකි. ගණනාථ ඔබේසේකරලාගේ ඊනියා පත්තිනි කල්ලි ගැන කතාකිරීම් හැර තවමත් පත්තිනි දෙවියන් ගැන විධිමත් අධ්‍යයනයක් කෙරී නැති බව පැහැදිලි ය. දෙවැනි සියවසේ හින්දු ආගමක් ලෝකයේ කොහේවත් නොතිබූ බැවින් පත්තිනි දෙවියන් හින්දු වීමට නො හැකි ය. සර්වපල්කලි රාධාක්‍රිෂ්ණවුන් වැන්නන් සිදුහත් කුමරු හින්දුවරයකු ලෙස ඉපිද හින්දුවරයකු ලෙස ජීවත් වී හින්දුවරයකු ලෙස මියගිය බව පවසන්නේ උගත්කමක් තිබුණ ද නිරවුල් ව කල්පනාකිරීමට නොහැකි බව හෙළි කරමිනි.

ලංකාවේ කතෝලික ඉතිහාසය කිතුවසින් 1506 න් ඈතට නොයයි. යුරෝපීයයන් ආසියාවේ හා අප්‍රිකාවේ සාමාන්‍යයෙන් ක්‍රියා කළ අන්දමට පෘතුගීසීහු ලංකාවේ දී ක්‍රියාත්මක වූහ. ඔවුන්ගේ නැව්වල යුද්ධ භටයෝ ද කතෝලික පූජකවරු ද වූහ. දෙපාර්ශ්වය ම එකම අරමුණක් ඇතිව වැඩකළහ. ඒ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරට ප්‍රචලිත කිරීම ය. කතෝලික මිෂනාරිවරුනට පැවරුණු කාර්යයක් විය. එය කැත්තෙන් හෝ පොල්ලෙන් හෝ කිරීම ඔවුන්ගේ රාජකාරිය විය. එහි දී මිනිසුන් මැරීමට සිදුවිණි නම් මිෂනාරිවරුන් එය ද කළ බවට සාක්‍ෂි වෙයි. මිෂනාරි යන්න බිඳෙන්නේ ඉංගිරිසි මිෂන් යන්නෙනි. මිෂන් යනු එක් අතකින් ගත්කල කෙසේ නමුත් ඉටුකළ කළයුතු දේව කැමැත්තකි. ඇතැම්හු මිහිඳු මහරහතන් වහන්සේ ද මිෂනාරිවරයකු ලෙස හැඳින්වීමට උත්සාහ කරති. මිහිඳු මහරහතන් වහන්සේ ද මෙරටට නව දහමක් නිල වශයෙන් හඳුන්වා දී ඇති බව සැබෑ ය. එහෙත් උන්වහන්සේ බුදුදහම පැතිරවීමට මිනිසුන්ට හිංසා නොකළහ. උන්වහන්සේ මෙරට එකල තිබූ සංස්කෘතියට අනුගත ව ක්‍රියාකළහ. එකල මෙරට තිබූ දේවාගම්වලට පහර ගැසීමක් උන්වහන්සේගෙන් සිදු නො වී ය. අද ද ඊනියා බුද්ධිවාදී බෞද්ධයන් කෙතරම් උත්සාහ කළ ද පැරණි දෙවි දේවාතාවුන් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් (සිංහල බුද්ධාගමෙන්) පිටමං කෙරී නැත. මේ ඇතැම් දෙවි දේවතාවුන් සිංහල බුද්ධාගමෙහි බෞද්ධ වී තිබීම හැරෙන්නට වෙනත් වෙනසක් වී ඇති බවක් නො පෙනෙයි.

සිංහල බුද්ධාගම යනු මෙරට තිබූ සිංහල සංස්කෘතියට බුදුසසුන අවශෝෂණය කරගැනීමෙන් නිර්මාණය වූවකි. මා සිංහල බුද්ධාගම යන්න යොදාගන්නේ බටහිර ගැති සමාජයීය මානවවිද්‍යාඥයන් ඒ නම යොදාගන්නා අරුතින් නො වේ. සිංහල බුද්ධාගමෙහි ඇතැම් දෙවියෝ බුදුසසුනට ද වඩා පැරණි වෙති. එහෙත් බොහෝ බුද්ධිවාදී උගතුන් තැත්කරන්නේ සිංහලයන්ගේ බුදුදහමට දෙවියන් පසුව ඇතුල්වූ බව කියාපෑමට ය. නායක්කාර් රජවරුන්ගේ හින්දු බිරියන් හේතුවෙන් දෙවියන් බුදුදහමට එකතු වී ඇතැයි පෙන්වීමට ද බොළඳ උත්සාහයක් ගනු පෙනෙයි. එවැනි දෙවියන් එක් කෙනකු දෙදෙනකු නැතැයි අපි නො කියමු. එහෙත් සිංහල බුද්ධාගමෙහි අතිමහත් දේව බහුතරය මෙරටට ම ආවේණික වූ දෙවිවරු වෙති.

මිහිදු මහරහතන් වහන්සේ හෝ වෙනත් රහතන් වහන්සේ නමක හෝ කිසි දිනෙක කිසිවකු හිංසාවෙන් නොව බලයෙන්වත් බෞද්ධයකු නොකළහ. බුදුන්වහන්සේ තමන්වහන්සේ කෙරෙහි පැහැදුණු උපාලි ගෘහපතියාට නිඝන්ඨනාථගෙන් වෙන්වීමට උපදෙස් නුදුන්හ. බුදුන්වහන්සේගේ හා රහතන්වහන්සේලාගේ අවවාදය වූයේ එව බලව යන්න මිස පිළිපදිවු නැත්නම් මරණය යන්න නො වේ. අද අප අපේ විද්‍යාවක් ගොඩනැගීමේ දී එව බලව යන්න අනුගමනය කිරීමට සූදානම් වුවත් නිල විද්‍යාවෙන් කියැවෙන්නේ පිළිගනිවු නැත්නම් (විද්‍යාවෙන්) පිටවෙවු යන්න ය. විද්‍යාවෙන් පිටවෙවු යන්න බොහෝ විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට විද්‍යා ක්‍ෂෙත්‍රයෙහි මරණය ගෙන දෙන්නකි. එය සිහිගන්වන්නේ එකල කතෝලික වෙවු නැතහොත් ජීවිතයෙන් පිටවෙවු යන පෘතුගීසි ආඥාව ය.

බුදුදහම මෙරටට හඳුන්වාදීමෙන් පසුව ඇතැම් බෞද්ධ සිද්ධස්ථානයක් එකල පැවති වෙනත් ආගමික ස්ථානයක ඉදි නොවිණි යැයි අපි නො කියමු. උදාහරණයක් ලෙස ජනප්‍රවාදය අනුව ස්වර්ණමාලී චෛත්‍යය ගොඩනගා ඇත්තේ එනමින් වූ දෙවඟනකගේ සිද්ධස්ථානයක ය. එහෙත් එය බලහත්කාරයෙන් කරන ලද්දක් නොවන බව පෙනී යයි. චෛත්‍යය ඉදිකිරීමේ දී ඒ දෙවඟනගෙන් අවසර ලබාගෙන ඇති බවත් අවසර දීම සම්බන්ධයෙන් කළගුණ සැලකීමක් ලෙස චෛත්‍යය දෙවඟන නමින් නම් කෙරී ඇති බවත් පැහැදිලි ය. මහාවංසයේ සඳහන් කරුණු විශ්ලේෂණය කළහොත් එම ස්ථානයේ කාශ්‍යප බුදුරජුන්ගේ සසුනෙහි බෞද්ධ සිද්ධස්ධානයක් තිබූ බවත් පසුව එතැන දෙවඟනකගේ නමින් සිද්ධස්ථානයක් තිබී ඇති බවත් උපකල්පනය කළ හැකි ය.

ඉතිහාසයේ එක් ආගමක සිද්ධස්ථානයක් තිබූ තැනක වෙනත් ආගමක සිද්ධස්ථානයක් පසුව ඉදිකිරීම සිදු නොවී නොමැත්තක් නො වේ. එබැවින් පත්තිනි දේවාලයක් තිබූ තැනක කතෝලික පල්ලියක් ඉදිවීම පුදුමයක් ද නො වේ. මන්නාරම අවට ප්‍රදේශයේ බෞද්ධ බලය ආයුධ බලයෙන් පාගා දමා පල්ලි ඉදි කෙළේ නම් අප එයින් පුදුමයට පත්විය යුතු නො වේ. එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට පටහැණි නො වේ. ලංකාවේ ඇතැම් පෙදෙස්වල සිංහල බුද්ධාගමේ පත්තිනි දේවාල තිබූ තැන්වල ම කතෝලික පල්ලි ඉදිකිරීමට තවත් හේතුවක් ඇතැයි අපි සිතමු.

කතෝලික ආගම යුදා ආගමෙන් ප්‍රධාන වශයෙන් ම වෙන්කරන චරිත මරිය තුමිය හා ක්‍රිස්තුස් වහන්සේ වෙති. කතෝලික ආගමේ පිළිම නිර්මාණය කිරීමේ දී ක්‍රිස්තුස් වහන්සේගේ හා මරියතුමියගේ පිළිමවලට මුල්තැන හිමිවෙයි. යුදා ආගමේ දෙවියන් වහන්සේගේ පිළිම ඇඹීම තහනම් වෙයි. කතෝලික ආගමේ ප්‍රධානම සාන්තුවරිය වූ මරියතුමිය හා සම්බන්ධ පල්ලි පත්තිනි දේවාල තිබූ තැන්වල ඉදිකිරීමෙන් කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් කරුණු දෙකක් බලාපොරොත්තුවන්නට ඇත. එය බටහිර ප්‍රස්තා පිරුළකට අනුව එක් ගලකින් කුරුල්ලන් දෙදෙනකු මැරීමකි. එක් පැත්කින් පත්තිනි දේවාලය කඩා බිඳදැමීමෙන් සිංහල බෞද්ධයන්ට සිද්ධස්ථානයක් අහිමි කෙරෙයි. අනෙක් පැත්තෙන් පත්තිනි දේවාලයට ආ ගිය අය ඉන් පසු පල්ලියට යෑමට පටන් ගනියි. දෙවැන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ පත්තිනි දේවාල හා සම්බන්ධ හාස්කම් ය. දේවාලය පල්ලියක් වූ පමණින් හාස්කම් නැතිවේ යැයි ජනතාව නොසිතන බව කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් දැන සිටින්නට ඇත.

අද ද ලංකාවේ ඇතැම් පළාත්වල කතෝලික පල්ලිවලට යන සිංහල බෞද්ධයෝ භාරහාර වෙති. එහි යන සිංහල කතෝලිකයන්ගේ මුතුන් මිත්තන් ද සිංහල බෞද්ධයන් ලෙස පෙර දා එතැන තිබූ පත්තිනි දේවාලවලට යන්නට ඇති බව පැහැදිලි ය. මඩු පල්ලිය සම්බන්ධයෙන් ද එහි වෙනසක් නැත. ඒ ඉතිහාසය හා වර්තමානය අමතක කර මඩු පල්ලිය සම්බන්ධයෙන් ඇතැම් කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් අසත්‍ය ප්‍රකාශකිරීම කණගාටුදායක ය. ඇතැමුන් මඩු පල්ලියට කතෝලික පල්ලියක් ලෙස අවුරුදු හයසියක ඉතිහාසයක් තිබිණි යැයි කීම දේශපාලන ආධිපත්‍යයක් සඳහා සූදානම් වීමක් මිස අනෙකක් නො වේ. එවැනි ප්‍රකාශවලින් අපට සිහිවන්නේ අඟේ ඉඳන් කණ කෑමේ කතාව ය.

මඩු පල්ලියේ ඉතිහාසය සම්බන්ධ වැදගත් තොරතුරු අමරසේන ගමගේ නම් මහතකු විසින් ලියන ලද ලිපියක අඩංගු වෙයි. අදාළ ලිපිය අන්තර්ජාලයේ ඇත. පහත සඳහන් වන්නේ ඒ ලිපියෙහි ඇතුළත් කරුණු කිහිපයකි. 1911 සංගණන වාර්තාව සංස්කරණය කළ ඩෙන්හම් මහතා යාපනයේ කතෝලික බිෂොප්වරයාගෙන් ලබාගත් තොරතුරු මත ඒ මහතා ලියා ඇති කරුණු හා ඉංගිරිසි සිවිල් සේවකයකු වූ ලීවර්ස් මහතා උතුරු මැද පළාත පිළිබඳ අත්පොතක ලියා ඇති කරුණු මත ගමගේ මහතාගේ ලිපිය ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත. යාපනයේ බිෂොප්වරයා මඩු පල්ලිය පිහිටි තැන පත්තිනි දේවාලයක් තිබූ බව වසන්කිරීමට සූදානම් වී ඇති නමුත් ඩෙන්හම් මහතා ඉන් මුළා වී නැත.

මඩු මංගල්‍යය ආරම්භ කෙරී ඇත්තේ 1870 ජූලි මාසයේ යාපනයේ එවකට සිටි කතෝලික බිෂොප්වරයා විසිනි. එහෙත් එකල මඩු පල්ලියක් තිබී නැත. පල්ලියට මුල්ගල තබා ඇත්තේ 1876 දී ය. 1870 මඩු මංගල්‍යය කිනම් පදනමක් මත පටන්ගැණි දැයි අපි නො දනිමු. ඇතැම් විට ඒ වන විට ඒ ප්‍රදේශයේ කතෝලිකයන් කිහිප දෙනකු සිටින්නට ඇත. එසේත් නැත්නම් ඒ ප්‍රදේශය කතෝලික කිරීම සඳහා මංගල්‍යය අරඹන්නට ඇත. අද ද එක දු ක්‍රිස්තියානි පවුලක් නැති ප්‍රදේශවල ද පල්ලි ඉදිකරන බව අපි දනිමු. ඒ කෙසේ වෙතත් 1911 සංගණන වාර්තාවට අනුව වුව ද මඩු පල්ලිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් ඉඳ නැත. එහි ඉඳ ඇත්තේ වන්දනාකරුවන් 320 දෙනකු පමණකි. ඉන් 230 දෙනකු කොළඹින් හා හලාවතින් එහි ගිය සිංහල වන්දනාකරුවන් බව සංගණන වාර්තාවෙන් හෙළි වෙයි. ඔවුන් අතර බෞද්ධයන් කී දෙනකු වී දැයි අපි නො දනිමු.

මඩු පල්ලියක් අඩු තරමෙන් 1835 ට පෙර නොතිබූ බවට පහත සඳහන් සාක්‍ෂි ද වැදගත් වෙයි. 1804 දී මන්නාරම ප්‍රදේශයේ සංචාරය කර වැදගත් විස්තරයක් ලියා තැබු කෝඩිනර් නමැති අය මඩු පල්ලිය පිහිටා ඇති ප්‍රදේශය ආසන්නයේ පිහිටි අරිප්පු හා කොන්ඩාචි ප්‍රදේශ ගැන සඳහන් කළ ද මඩු පල්ලියක් ගැන කිසිවක් නො කියයි. සිලෝන් ගැසටියර් නම් පත්‍රය සැකසූ සයිමන් කාසිචෙට්ටි මුදලිතුමා විශාල කැලෑවක් මැද මරදොද්ද නම් ප්‍රදේශයක තිබූ තානායමක් (රෙස්ට් හවුස්) ගැන සඳහන් කළ ද මඩු පල්ලියක් ගැන සඳහනක් නො කරයි. මරදොද්ද යන්නෙන් ඔහු අදහස් කළේ මරදමඩු යන්න විය හැකි ය. එසේ නම් තත්වය වඩා බරපතළ වන්නේ මඩු පල්ලිය ගැන එහි ද සඳහන් නොවීම නිසා ය.

මේ සියල්ලෙන් කියැවෙන්නේ කතෝලික පල්ලියක් ලෙස මඩු පල්ලියේ ඉතිහාසය එතරම් ඈතට නොයන බව හා එතැන කලින් තිබූ පත්තිනි දේවාලයක් කඩා දමා යාපනය කතෝලික බිෂොපතුමාගේ මැදිහත්වීමෙන් 1870න් පමණ පසුව පල්ලියක් ගොඩනගා ඇති බව ය. අද ද මඩු පල්ලියට සිංහල බෞද්ධයන් ද යන්නේ පැරණි සංස්කෘතික සම්බන්ධතා හේතුවෙනි. මඩුපල්ලිය අද වන විට මෙරට කතෝලිකයන්ගේ වැදගත් සිද්ධස්ථානයක් බවට පත් වී ඇත. කවදත් අන්‍යාගම්වලට ගරු කළ සිංහල බෞද්ධයන් එහි ඉතිහාසය කුමක් වුවත් මඩු පල්ලියට ද ගරු කරනු ඇත. එපමණක් නොව එය ආරක්‍ෂා කරනු ඇත. මඩු පල්ලිය දැනට අයත්වන මන්නාරම බිෂොප් පදවියේ රායප්පු ජොසෆ් බිෂොප්වරයාගේ කොටි හිතවාදී ක්‍රියා තිබියදීත් අපේ හමුදා මඩු පල්ලිය කොටින්ගෙන් බේරාගෙන කතෝලික බැතිමතුන්ට ද අනෙක් අයට ද එහි යෑමට හැකිවන පරිදි ඒ ආරක්‍ෂා කළහ. අපි ඉදිරියේදීත් එසේ කරමු. එහෙත් සිංහල බෞද්ධයන්ගේ අන්‍යාගම් ඉවසීම නිවටකමක් ලෙස සිතා මඩු පල්ලියට බොරු ඉතිහාස ගෙතීමෙන් කතෝලික උගතුන් වැළකිය යුතු ය.

 
නලින් ද සිල්වා

(11/08/14 දිවයින අතිරේකය සඳහා සැපයූ ලිපියකි)