පැටළුණු අංශු පිළිබඳ තවත් බොහෝ දේ කීමට ඇතත් අපි එය පසුවට කල්දමමු. අද අපට ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වන්නේ දෘශ්‍යමානය සත්‍යය ද අසත්‍යය ද යන්නත් අදෘශ්‍යමානය නිසැකයෙන් ම අසත්‍ය ද යන්නත් දැනගැනීම ය. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති යන බෞද්ධ නොවන සම්ප්‍රදායක ලියැවුණු වාක්‍යයක් වැලිකඩ සිරගෙදර තාප්පවල ප්‍රදර්ශනය කෙරෙන අයුරු ඔබ ඇතැමි විට දැක ඇත. ඒ වැකිය බෞද්ධ සම්ප්‍රදායට අයත් නොවුණත්, අප තේරුම්ගත යුතු කරුණ නම් සිරකරුවන් ද මනුෂ්‍ය ප්‍රජාවට අයත්වන බව ය. මිනිස්සු ද සත්ව ගණයකට අයත් වෙති. මිනිසුන් පමණක් නොව තිරිසන් සත්තු ද සත්ව ගණයට අයත් වෙති. මිනිසුන් හැරෙන්නට අනෙක් සත්වයන්ගේ මනස පිළිබඳ බටහිර බොහෝ ජීව විද්‍යාඥයන්ට ප්‍රශ්න ඇත. ඔවුන් අති විශාල බහුතරයකට අනුව අනෙක් සතුන්ට මනස් නැත.
ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට අනුව අනෙක් සත්වයන්ට ද මනස් ඇත. මේ පිළිබඳ ව මෙරට සිටින පුහු චණ්ඩි බටහිර විද්‍යාඥයන් කියන්නේ කුමක් දැයි අපි නො දනිමු. ඔවුන් නාථ දෙවියන් පිළිබඳ දරණ ස්ථාවරය ද මෙතෙක් නිරවුල් ව කියා නො මැති. ඔවුන් නාථ දෙවියන් නැතැයි කියන්නේ ද? මතු බුදුවන නාථ දෙවි කෙනකු ගැන ඔවුහු විශ්වාස නො කරත් ද? ඔවුහු නාථ දෙවි කෙනකු සිටින බව විශ්වාස කරන නමුත් එතුමා නරයන් (නරයන්ගෙන් කිහිප දෙනකු) සමග ඇතැම් දෑ පිළිබඳ යම් සංනිවේදනයක යෙදෙන බව විශ්වාස නො කරත් ද? නාථ දෙවියන් ඇතැම් දෑ ගැන එලෙස සංනිවේදනයක යෙදුණත් රජරට වකුගඩු රෝගයට හේතු (ප්‍රධාන හේතුව වෙන ම සඳහන් කර) පිළිබඳ ව සංනිවේදනයක නිරතවන බව ඔවුනට අවිශ්වාස ද? බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් ඉහත සඳහන් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත්කල කිනම් ස්ථාවරවල සිටින්නේ දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. කෙසේ වෙතත් වරුණ ගුණතිලක දොස්තර මහතා ඇතුළු ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බටහිර විද්‍යාඥයන්ට ගා බටහිර වෛද්‍යවරුන්්ට අප කියා සිටින්නේ ආසනික් ප්‍රශ්නය පිළිබඳ ව දෙවියන් තවමත් ක්‍රියාකාරී වන බවත් ඔවුන් තව කලකට මිනිස් ලොව සැරිසරන බවත් ය.
බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යචරුන් නොදැන සිටිය ද ප්‍රාණීන්ගේ ලෝකයකට හා අප්‍රාණ ජෛවීන්ගේ ලෝකයකට බටහිර විද්‍යාඥයන් විසින් ජෛවීන් ලෙස හැඳින්වෙන්නවුන්ගේ ලෝකය බෙදිය හැකි බව බෞද්ධයෝ දනිති. මේ ප්‍රාණීහු සසර සැරිසරති. ඔවුන්ට මනස් වෙයි. මනස් තිබීමට මොළය හා කොඳු ඇට පේළිය වැනි අවයව තිබීම අනිවාර්ය නො වේ. පණුවන්ට ද මනස් ඇත. තිරිසන් සත්තු අපා දෙපා සිවුපා බහුපා ලෙස වර්ග කරනු ලැබෙති. බටහිර විද්‍යාඥයන් ඒ සතුන්ට මනස් ඇති බව විශ්වාස නොකළ ද ඒ සතුන් ඇති බව විශ්වාස කරති. ඒ ඔවුන්ට මිනිසුන් මෙන් ම තිරිසන් සතුන් ද පෙනෙන බැවිනි. ඒ සත්වයන් මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන බැවින් ඒ සතුන්ගේ පැවැත්ම බටහිර විද්‍යාඥයන්ට, පශු වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් නො වේ.
එහෙත් ප්‍රශ්නය වනුයේ දෙවිවරුන් වැනි නොපෙනෙන සත්වයන්ගේ පැවැත් ම ය. බටහිර විද්‍යාඥයන්ගෙන් අතිවිශාල බහුතරය දෙවිවරුන්ගේ පැවැත්ම විශ්වාස නොකරන්නේ එවැනි සත්වයන් නොමැති බව ඔවුන්ගේ ඊනියා පර්යේෂණවලින් ඔප්පු වී තිබෙන බැවින් ද? නැති දෙයක් නැති බව ඔප්පු කිරීමට පර්යේෂණ කිරීමට අවශ්‍ය ඇයි දැයි යමකු ප්‍රශ්න කරනු ඇත. කළ යුත්තේ ඇති බව ඔප්පු කිරීම නො වේ දැයි එවැන්නකු තවදුරටත් කියනු ඇත. මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය සමග ද ගැට ගැසෙයි. එහෙත් අද ඒ ගැන ශිෂ්ට යැයි සම්මත සමාජයේ සාකච්ඡා නො කෙරෙයි.
දෙවියන් වහන්සේ නමින් හැඳින්වෙන ලෝකය නිර්මාණය කළා යැයි කියන අයකු ඇත් ද නැත් ද යන වග අප දැනගන්නේ කෙසේ ද? මේ දෙවියන් වහන්සේ ගැන ආබ්‍රහමික ආගම් ලෙස හැඳින්වෙන යුදෙව්, කතෝලික, ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ප්‍රධාන ආගම්වල විවිධ නම්වලින් සඳහන් වෙයි. එවැනි දෙවියන් වහන්සේ කෙනකු නැතැයි කීම යම් ආගමකට කරන අපහාසයක් යැයි කියන්නෝ වෙති. ඒ අතර තවත් අයට අනුව එසේ පැවසීම අන්‍ය ආගම් ඉවසීමට එරෙහිව යන්නකි. මේ අතර හින්දු භක්තිකයෝ ලෝකය නිර්මාණය කළ බ්‍රහ්මන් කෙනකු ගැන විශ්වාස කරති. බ්‍රහ්මන් නැතැයි කීම ද ආගමික සහජීනයට එල්ල කරන පහරක් යැයි කියන්නෝ ද වෙති.
එහෙත් සිංහල බෞද්ධයන් විශ්වාස කරන දෙවිවරුන්ගේ පැවැත්ම ගැන තම තමන්ට කැමති දෙයක් කීමේ නිදහස මෙරට ඕනෑම අයකුට ඇත. ඒ දෙවිවරුන් නැතැයි කීමේ දී ආගමික සහජීවනයට, අන්‍ය ආගමික මත ඉවසීම ආදී සම්මතයන්ට කුමක් සිුවන්නේ දැයි ප්‍රශ්න කරන කිසිවකු නැත. එහිදී ඊනියා යථාර්ථවාදී බෞද්ධයන්ගේ සහාය ඔවුන්ට ලැබෙයි. මේ යථාර්ථවාදී බෞද්ධයෝ බොහෝ විට බටහිර විද්‍යාව කටගාගත්තෝ වෙති. මේ ඇතැමුන්ට අනුව බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර නැත. ඔවුන් එසේ කියන්නේ බුදුන්වහන්සේ ලංකාවට වැඩි බවට සාක්‍ෂි නැතැයි කියමිනි. මේ සාක්‍ෂි අන් කිසිවක් නොව එකල, එනම් බුදුන් වහන්සේ වැඩි සමයෙහි ලිඛිත සාක්‍ෂි ය. පසු කලෙක ලියු ලේඛන ඔවුහු නො පිළිගනිති. තවත් සමහර යථාර්ථවාදී බෞද්ධයනට අනුව පුනරුත්පත්තියක් නැත. මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මේ ගණයට අයත් වෙති. ඒ පුනරුත්පත්තිය බටහිර විද්‍යාවට අනුව පෙන්විය නොහැකි නිසා ය. පුනරුත්පත්තිය නැතහොත් පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නොවේය යන්න එසේත් නැත්නම් ඒ සඳහා ආනුභවික පදනමක් නැත යන්න මේ යථාර්ථවාදී බෞද්ධයන්ගේ මතය වෙයි.
ඇතැම් යථාර්ථවාදී බෞද්ධයෝ (ඔවුන්ට බටහිර විද්‍යාත්මක බෞද්ධයන් යැයි කීමේ ද වරදක් නැත) පුනබ්භවයක් නැත යන්න ද ඉක්මවා ගොස් බුදුන්වහන්සේ රැවටිලිකරුවකු ලෙස පෙන්වීමට උත්සාහ දරති. කලක් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වූ ද දැනට ඕස්ටේර්ලියාවේ පදිංචිකරුවකු වූ ද වික්ටර් ගුණසේකර මහතා පවසන්නේ බුදුන් වහන්සේ ආචාරධර්ම පද්ධතියක් දේශනා කළ බවත් එහෙත් මිනිසුන් එලෙස ආචාර ධර්ම පද්ධතියක් නිසගයෙන් ම නොපිළිගන්නා බැවින් ඔවුන් ඒ සඳහා යොමුකරවීමට එවකටත් දඹදිව විශ්වාසයක් ලෙස පැවති පුනබ්භවයක් ගැන සඳහන් කළ බවත් ය. එයින් අදහස් කරන්නේ බුදුන්වහන්සේ මිනිසුන් ලවා තමන්වහන්සේගේ ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරවීමට පමණක් නැති පුනබ්භවයක් ගැන කතාකළ බව ය. බුදුන්වහන්සේට මෙතරම් නිග්‍රහයක් කළහැකි බෞද්ධයන් මේ රටින් ම බිහිවීම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් මිස අනෙකක් නො වේ.
අප ඉතිහාසය ගොඩනගන්නේ, එනම් සංස්කරණය කරන්නේ වර්තමානයේ දී ය. සෑම ඉතිහාසයක් ම එසේ ය. එමෙන් ම වර්තමානය හා අනාගතය ද ඉතිහාසය විසින් සකස්කරනු ලැබෙයි. මෙහි ඇත්තේ චක්‍රීය ස්වභාවයකි. අද වැනි කාලයක සිද්ධි පිළිබඳ වාර්තා එදිනෙදා ම ලියැවෙන නමුත් අනාගතයේ දී ඒ ලියකියවිලි වුවත් කියැවෙන්නේ එකල ඇතිවන සමාජයට හෝ සමාජයේ විවිධ කොටස්වලට හෝ සාපේක්‍ෂව ය. අද පශ්චාත්නූතනවාදීන් මහත් උජාරුවෙන් අලුත් කියැවීමක් ආදී වශයෙන් සඳහන් කරන්නේ නව සාපේක්‍ෂ අර්ථවිවරණයකට මිස අනෙකකට නො වේ. අද ලියැවෙන ලිපි ලේඛන අනාගතයේ දී ඒ ඒ අයට (ඒ ඒ සමාජ කොටස්වලට) සාපේක්‍ෂව අර්ථවිවරණය කෙරෙන්නේ නම් ඉතිහාසය යනුවෙන් ඊනියා යථාර්ථයක් නොමැති බව එයින් පැහැදිලි වෙයි. අනාගතයට කල් නොදී වර්තමානයේ වුව ද සිද්ධීන් එකිනෙකා වාර්තා කරන්නේ ද තම තමන්ට සාපේක්‍ෂව බව අපට පෙනී යයි. එකම පුවත්පත් කාර්යාලයෙන් නිකුත් කරන සිංහල හා ඉංගිරිසි පුවත්පත්වල එක සිද්ධියක් පිළිබඳ ව අර්ථකථන දෙකක් දෙනු ලැබීම සුලබ කරුණක් වෙයි.
එසේ නම් පඬියන් ලිඛිත සාක්‍ෂි ඉල්ලීම එතරම් තේරුමක් ඇති දෙයක් නො වෙයි. ඇතැම් දේ ජනප්‍රවාදයෙහි අලිඛිත ව පරම්පරාවෙන් පරම්පරාවට සංනිවේදනය වෙයි. එසේ සංනිවේදනය වීමේ දී යම් යම් දේ එකතුවීම් අඩුවීම් සිදුවන බව පැහැදිලි ය. එහෙත් එසේ වන්නේ මුඛ පරම්පරාගත කරුණුවල දී පමණක් නො වේ. ලේඛන ද පරම්පරාවෙන් පරම්පරාවට පිටපත් කිරීමේ දී වෙනස් වෙයි. එසේ නොවුණ ද අර්ථකථන ලෙස ගතහොත් ඒ සියල්ල වෙනස් වෙයි. ඒ වෙනස සිිදුවන්නේ ඒ ඒ සමාජයේ ජීවත්වන විවිධ සමාජ කොටස්වලට අවශ්‍ය පරිදි ය. අප අනාගතය සකස්කරගන්නේ අතීතය හා වර්තමානය අනුව බැවින් අනාගතය වර්තමානයේ දී අප අතීතය දකින ආකාරයෙන් සකස් කෙරෙයි. ඒ අර්ථයෙන් ගතහොත් අප අනාගතය සකස්කරගැනීම සඳහා ඉතිහාසය අර්ථකථනය කරන්නේ යැයි කිසිවකුට කිව හැකි ය.
අපි ඉතිහාසය සකස්කර ගැනීමේ දී ලිඛිත සාක්‍ෂි මත ද ජනප්‍රවාද මත ද පදනම් වෙමු. ලිඛිත සාක්‍ෂි, එනම් අදාළ යුගයේ ම ලියැවුණු ලිඛිත සාක්‍ෂි නොමැතිව ඉතිහාසය හැදෑරිය නොහැකි නම් ප්‍රාග් ඉතිහාසයට කුමක් සිදුවේ ද? අද පුරාවිද්‍යාව නමින් හැදෑරෙන ක්‍ෂෙත්‍රයෙහි ඒ ඒ යුගවල ලියැවුණු ලිඛිත සාක්‍ෂි නොමැත. එහෙත් අපි ඒ සඳහා වෙනත් සාධක සාක්‍ෂි වශයෙන් ගනිමු. අපට අවශ්‍ය වන්නේ ජනප්‍රවාද, ලිපි ලේඛන (ශිලා ලේඛන ඇතුළත්ව), පුරාවිද්‍යාත්මක සාධක ආදිය උපයෝගී කරගනිමින් සංගත කතාවක් ගොඩනගා ගැනීම ය. කුමන ඉතිහාස කතාවක් වුව ද අර්ථකථනයක් බව අමතක නොකළ යුතු ය. එය විවිධ කරුණුවලට සාපේක්‍ෂ වූවකි. ඉතිහාසය පමණක් නොව බටහිර භෞතික විද්‍යාව ද සාපේක්‍ෂ වූ කතන්දර රාශියක එකතුවක් පමණකි.
එහෙත් අද ඇතැමුන් එක් පැත්තකින් ඊනියා සාක්‍ෂි නොමැතිව ලෝකය මැවූ දෙවියන් වහන්සේ පිළිගන්නා අතර සාක්‍ෂි නොමැති යැයි කියමින් දෙවිවරුන්ගේ පැවැත්ම නොපිළිගන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ බලපෑම හේතුකොටගෙන ය. ඒ අතර අද සමහර ක්‍රිස්තියානි අන්තවාදීහු කිසිම සාක්‍ෂියක් නොමැතිව කාශ්‍යප රජු ක්‍රිස්තු භක්තිකයකු යැයි කීමට උත්සාහ ගනිති. ඇතැම් ප්‍රසිද්ධ දේවස්ථානවල ක්‍රිස්තියානි කාශ්‍යප රජකුගේ පිළිම ඇඹීමකට උත්සහ ගනු පෙනෙයි. අනුරාධපුරයේ හමු වී යැයි කියන නෙස්ටෝරියන් කුරුසයක් මත පදමනම් වී එකල මෙහි ක්‍රිස්තියානින් ජීවත් වී යැයි කීමට හැකි නො වේ. පළමුවෙන් ම නෙස්ටෝරියන් කුරුසය හමුවීම පිළිබඳ සාම්‍ය සමාලෝචනයට බඳුන් වූ ඊනියා පර්යේෂණ පත්‍රිකාවක් තිබේ ද?
අප මේ ප්‍රශ්නය නගන්නේ සාම්‍ය සමාලෝචන හා පර්යේෂණ පත්‍රිකා ගැන අප විශ්වාස කරන බැවින් නොව එය ක්‍රිස්තියානි සම්ප්‍රදායට අයත් නිසා ය. නෙස්ටෝරියන් කුරුසයේ මතුවීම පිළිබඳ ව ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව පළ වී ඇති පත්‍රිකා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමේ කිසිදු වරදක් නැත. එවැනි කුරුසයක් තිබිණි ද එයින් ක්‍රිස්තියානි ස්ථිර පදිංචිකරුවන් සිටි බවක් ඔප්පු කිරීමට අන්තවාදීන්ට නො හැකි ය. බටහිර ආසියාවෙන් පැමිණි ක්‍රිස්තියානි වෙළෙන්දන් එවැනි කුරුසයක් ගෙන ඒමට ඇති සම්භාවිතාව ඉතා අධික ය. අන්තචාදීන් නෙස්ටෝරියන් කුරුසය තිබූ පමණින් කාශ්‍යප රජු ක්‍රිස්තියානි යැයි කියන්නේ කවර පදනමකින් ද? මේ නම් පැහැදිලිව ම ඉතිහාසය විකෘති කිරීමකි. ඉතිහාසය එලෙස විකෘති කරමින් ම බුදුන්වහන්සේ මෙරටට වැඩම කළ බවට සාක්‍ෂි නැතැයි කියන්නේ ජනප්‍රවාදය ඉවතලමිනි.