Main Logo

Showing posts with label සරත්. Show all posts
Showing posts with label සරත්. Show all posts

Sunday, 3 June 2012

සරත් ෆොන්සේකාගේ දේශපාලනයේ අවරෝහණය

රෝහලේ සිටි සරත් ෆොන්සේකා ජනාධිපති සමාවක් ලැබීමෙන් පසු ගෙදර ගියා මිස ආපසු රෝහලට නො ගියේ ය. ඔහුගේ ආදරණීය බිරිඳ කලින් කියා සිටි අන්දමට නම් ඔහුගේ සෞඛ්‍යය තත්වය එතරම් යහපත් නො වීය. බිරිඳ කී කරුණු අනුව නම් ජනාධිපති සමාව නොලබන්නට ඔහු තවමත් රෝහලේ බව පැහැදිලි ය. ඒ කෙසේ වෙතත් ඔහුට සුවය ලැබේවා යැයි අපි පතමු. එහෙත් ඔහුගේ දේශපාලන සෞඛ්‍යය නම් අසාධ්‍යය බව කිව යුතු ය. එය සුව කිරීමට හිලරි ක්ලින්ටන්ට හෝ හිටපු විනිසුරුවන්ට හෝ වෙනත් අයට හෝ නො හැකි ය. සරත් ෆොන්සේකා යුද්ධයෙහි දක්‍ෂයෙකි. ඔහුට සතුරෝ මෙන් ම සෙබළු ද බියවුහ. ඔහුගෙන් කොටි ත්‍රස්තවාදීන් පැරදවීමේ දී විශාල දායකත්වයක් ලැබුණු බව අමතක නොකළ යුතු ය. එහෙත් ඔහු ද අනෙක් අය ද අමතක නොකළ යුත්තක් නම් ඔහුගෙන් ඒ දායකත්වය ලැබුණේ ආරක්‍ෂක ලේකම්තුමාගේ සමස්ත යුද්ධ නායකත්වය යටතේ හා ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වය යටතේ බව ය. ආරක්‍ෂක ලේකම්තුමාගේ උපදෙස් මත ජනාධිපතිතුමා ඔහු හමුදාපති වශයෙන් පත්කිරීමෙන් පෙන්නුම් කෙරුණේ එතුමන්ලාගේ දේශපාලන හා හමුදා විඥානය ය. සරත් ෆොන්සේකාට වඩා දක්‍ෂ හමුදාපතිවරුන් හා නිලධරීන් සිටින්නට ඇති නමුදු ඔවුන්ට වත්මන් ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වය නො ලැබිණි. ජනාධිපතිතුමා නොවන්නට ලෝකයේ මෙතෙක් සිටි දක්‍ෂතම හමුදා නිලධාරියාටවත් කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට නොහැකිවනු ඇත. ත්‍රස්තවාදය පැරදවීමේ ගෞරවය ජනාධිපතිතුමාට අහිමිකළ නො හැකි ය.

2009 මැයි මස කොටි පැරද වූ දින සිට 2010 ජනාධිපතිවරණය දක්වා කාලය මෙරට ඉතාමත් තීරණාත්මක කාලයක් විය. බොහෝ කරුණු අතින් ගත්කල 2010 ජනාධිපතිවරණය මහින්ද රාජපක්‍ෂ මහතා හා බටහිරයන් අතර වූ තරගයක් විය. එය මෙරට ජාතික නිදහස් අරගලයේ සන්ධිස්ථානයක් විය. ජනාධිපතිතුමා බටහිර් හා ඉන්දීය බලපෑම් ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිට කොටින් පරාජය කළේ ය. ආරක්‍ෂක ලේකම්තුමා නම්බියාර්ලාගේ සැලසුම් පරාජය කරමින් ප්‍රභාකරන්ට රටෙන් පිට වී යෑමට කිසිදු අවස්ථාවක් ලබා නොදිණි. එහි දී යුද්ධ හමුදාවේ මෙන් ම නාවික හා ගුවන් හමුදාවල ද දායකත්වය ඉතාමත් ඉහළ මට්ටමක විය. මානුෂික මෙහෙයුම්වල අවසාන දින කිහිපයෙහි සරත් ෆොන්සේකා මෙරට නො සිටියේ ය. එහෙත් නාවික හා ගුවන් හමුදාපතිවරු මෙරට රැඳී සිටිමින් තම කාර්යයන් නිසිලෙස ඉටු කළහ. බටහිරට ද අනෙක් දෙමළ ජාතිවාදීන්ට ද අවශ්‍ය වූයේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම ය. ඒ වන විට මෙරට දේශපාලනයේ ජාතිකත්වය ගාමක බලය බවට පත්වී තිබිණි. එබැවින් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට යම් ජාතිකත්වයක් ඇති අපේක්‍ෂයකු අවශ්‍ය විය. විජාතික මනසක් ඇති රනිල් වික්‍රමසිංහ එයට නුසුදුස්සෙක් විය. ඒ සඳහා විපක්‍ෂයට සිටි යම්තමින්වත් ගැලපෙන අපේක්‍ෂකයා වූයේ සරත් ෆොන්සේකා ය. සරත් ෆොන්සේකා ඒ වන විට ජාතිකත්වයක නොසිටි නමුත් ජනතාව ඒ බව නොදැන සිටියහ. ඔවුන්ට ඔහු දක්‍ෂ හමුදාපතිවරයා විය. එහෙත් ඒ හමුදාපතිවරයා ඒ වන විට ඇමරිකාවට ගොස් පිල් මාරුකරගෙන සිටියේ ය. 2009 මැයි මාසයෙන් පසු ඔහු ඇමරිකාවට යනවිට ඔහුට හා ආරක්‍ෂක ලේකම්තුමාට විරුද්ධව නඩුවක් ඇමරිකාවේ ප්‍රාන්ත උසාවියක ගෙනුකර තිබිණි. යුද්ධාපරාධ සම්බන්ධයෙන් වූ ඒ නඩුවේ චෝදනා පත්‍රය ම පිටු සිය ගණනක් විය. 2009 ඔක්තෝබරයේ හෝ ඒ ආසන්නයේ හෝ ඇමරිකාවට ගිය සරත් ෆොන්සේකාට ඇමරිකන් නිලධාරීන් හමුවිය. ඇමරිකාවට ගොස් ආපසු පැමිණියේ ඒ සරත් නොව මේ සරත් ය. එහි දී ඇතිවූ සාකච්ඡා කවරේදැයි අපි නො දනිමු. එහෙත් සරත් ෆොන්සේකා සුදු කොඩි කතා පටන්ගත්තේ ඉන් පසුව ය.

රනිල් වික්‍රමසිංහ තම කැමැත්තෙන් ජනාධිපති අපේක්‍ෂක ධුරය අත්හැරියේ යැයි සිතිය නො හැකි ය. ඔහු පරාජය ලුහු බඳියි. ඔහු සරත් ෆොන්සේකාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදුන්නේ බටහිරයන්ගේ බලකිරීමට යැයි අපි සිතමු. ජනතාව ඉදිරියේ සරත් ෆොන්සේකාට ජාතිකත්ව ප්‍රතිරූපයක් තිබූ බැවින් එය දඩමීමා කරගැනීමට බටහිරයන් තීරණය කරන්නට ඇත. එහෙත් 2005 ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ ලබාගත් ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට 2010 දී සරත් ෆොන්සේකාට නොහැකි විය. එයට හේතුව 2005 දීට වඩා 2010 දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනප්‍රිය වීම ය. 2005 දී ඒ මහතා දිනීමට හැකියාවක් ඇති අයකු ලෙස නො සැලකිණි. චන්ද්‍රිකා කුමරතුංග ඇතුළු ශ්‍රි ල නි ප බලවත්තු ඒ මහතාට විරුද්ධ වූහ. එහෙත් 2010 දී ඒ මහතා කොටි ත්‍රස්තවාදය පැරදවූ විශිෂ්ට සේනාධිනායකයා ලෙස ජනප්‍රියත්වයේ මුදුන් හිණිපෙත්තේ විය. 2010 ජනාධිපතිවරණ දිනවලට පෙර ම අපි සරත් ෆොන්සේකා බටහිරයන්ගේ අපේක්‍ෂකයා ලෙස ද දැනගෙන සිටියෙමු. ඔහු අම්බලන්ගොඩ හා රත්නපුරේ දී කළ සුදු කොඩි කතාව හා ඇමරිකාවේ ප්‍රාන්ත උසාවියක ඔහුට එරෙහිව තිබූ නඩුවට වූ දෙයක් නොමැතිවීම හා බටහිරයන්ගේ අවශ්‍යතාව විෂ්ලේෂණය කළ අපට සිදුවෙමින් පැවතියේ කුමක් දැයි තේරුම් ගැනීම අපහසුවක් නො වීය. රාජපක්‍ෂවරුන්ට විරුද්ධව යුද්ධාපරාධ චෝදනා ගෙනැවිත් ඔවුන් දංගෙඩියට දැක්කීමේ සූදානමක් ඇති බවත් එයට සරත් ෆොන්සේකා ද යොදා ගැනීමට යන බවත් අපට පැහැදිලි විය. අපි මේ සියල්ල එදා කීවෙමු. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කුරුණෑගල දී පැවති රැස්වීමක දී සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව කියා සිටියෙමි. පසුව ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය අතර වූ සාකච්ඡාවක දී ද සරත් ෆොන්සේකාට විරුද්ධව ඇමරිකාවෙි ප්‍රාන්ත උසාවියක ගොනුකර තිබූ නඩුව ගැන ද සඳහන් කරමින් මේ අදහස් නැවතත් පැවසීමි. අප පළකළ අදහස් උද්ගමනය (නිගමන ද උද්ගමනය මත පදනම්වන බව අපි දැන් දනිමු. ඒ දැනුම ද උද්ගමනය මත පදනම් වෙයි) මත පදනම් විය. පසුගිය කාලයේ විකිලීක්ස් අනාවරණ මගින් අප එදා කී බොහෝ කරුණු සනාථ වී ඇත. සරත් ෆොන්සේකා තවත් දේශපාලනඥයන් සමග හිටපු ඇමරිකානු තානාපතිනිිය හා කළ කතාබස් දැන් අනාවරණය වී ඇත. කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිටීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර විය. පසුව පැවති නඩු විභාගවල දී ඔහු සුදු කොඩි කතාව සම්බන්ධයෙන් ද යුද්ධාධිකරණයේ දී තවත් නඩුවකින් ද වරදකරු වී සිරදඬුවමකට යටත් විය.

අද ඔහුට ජනාධිපති සමාවක් ලැබී ඇත. එහි ද සම්පුර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ජනාධිපතිතුමාට හා ආරක්‍ෂක ලේකම්තුමාට ය. බංකොළොත් එ ජා ප හා ජ වි පෙ කුමක් කීව ද සරත් ෆොන්සේකා කිසි දිනෙක දේශපාලන සිරකරුවෙක් නො වී ය. ඔහු 2009 අග භාගයේ සිට බටහිරයන් විසින් මෙහෙයවනු ලැබූ පුද්ගලයකු වූ අතර උසාවිවලින් වරදකරුවකු ලෙස දඬුවම් නියම කරනු ලැබූ පුද්ගලයෙක් විය. මෙරට සිංහලයන්ගේ රට යැයි වරක් කී සරත් ෆොන්සේකාට දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන්නේ බටහිරයන්ගේ කීමට ය. අද රනිල් සම්බන්ධන් හා එකතු වී සිටින්නේත් බටහිරයන්ගේ අවශ්‍යතාවට ය. ඒ කෙසේ වෙතත් ජනාධිපති සමාව ලබාගැනීමේ දී සරත් ෆොන්සේකා කිනම් තත්වයක් යටතේ වුව ද තමන්ට විරුද්ධව දුන් නඩු තීන්දුවලට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනා ඉවත් කර ගත්තේ ය. අභියාචනා ඉවත්කර ගැනීමත් සමග නීතිය ඉදිරියේ ඔහු අදාළ චෝදනාවලට වැරදිකරුවෙයි. ජනාධිපති සමාව නිසා ඔහු චෝදනාවලින් නිදහස් නො වෙයි. ජනාධිපතිතුමා කර ඇත්තේ උසාවියෙන් වැරදිකරුවකු යැයි තීරණය කරනු ලැබූවකුට පුර්ණ සමාව දීම පමණකි. ජනාධිපති සමාව ලැබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ යැයි අප උපකල්පනය කරන්නේ ඒ සම්බන්ධයෙන් හිටපු විනිසුරුවකු හා තවත් අය නගන ඝෝෂාව ගැන සැලකිලිමත් වෙමිනි. ඔවුන්ට අනුව ජනාධිපතිතුමා සරත් ෆොන්සේකාගේ දඬුවම් අහෝසි කර නැති බැවින් සරත් ෆොන්සේකාට තවත් අවුරුදු හතක් යනතුරු ඡන්ද බලය හා මැතිවරණවලට ඉදිරිපත්වීමට නො ලැබෙයි. මේ අය පෙන්නුම් කරන්නේ සරත් ෆොන්සේකා මැතිවරණවලට ඉදිරිපත්වීමෙන් වැළැක්වීමට ජනාධිපතිතුමාට අවශ්‍ය බව ය. එහෙත් ඔවුන්ගේ සැඟවුණු බලපොරොත්තුව නම් සරත් ෆොන්සේකා උසාවියෙන් වැරදිකරුවකු කරනු ලැබූ චෝදනාවලින් නිදොස් කිරීම ය. රනිල් වික්‍රමසිංහ ද අමතක ඇති කරුණ නම් සරත් ෆොන්සේකා තම අභියාචනා ඉවත්කර ගැනීම මගින් තමන් අදාළ චෝදනාවලට වරදකරුවා බව පිළිගෙන තිබීම ය. අනෙක් අතට කිසිම අවස්ථාවක ජනාධිපති සමාවක් දෙන විට යුද්ධාධිකරණයේ තීන්දු අහෝස් කර නැත. නීතිඥයකු ද වූ ජනාධිපතිතුමා මේ නීති ගැටයට හසුවේ යැයි සිතිය නොහැකි ය. එතුමාට අවශ්‍ය නම් 34 (2) වගන්තිය හා 89 (ඩ) වගන්තිය යටතේ සරත් ෆොන්සේකාට ඕනෑම මැතිවරණයකට ඉදිරිපත්වීමට ඉඩදීමට හැකි ද යන්න සොයා බැලිය හැකි ය.

සරත් ෆොන්සේකා මැතිවරණවලට ඉදිරිපත් වුවත් නැතත් ඔහුට දේශපාලන වශයෙන් අනාගතයක් නැත. දේශපාලනය හමුදා නිලයක යෙදීමට වඩා උපද්‍රව සහිත බව සරත් ෆොන්සේකා ඉගෙන ගනු ඇත. දේශපාලනයෙහි දී නායකයා වීම හමුදාපති වීම තරම් ස්ථාවර නො වේ. ඒ මහතාට දේශපාලනයෙහි යෙදෙන්නේ නම් විකල්ප තුනක් ඇත. නව දේශපාලන පක්‍ෂයක් තනාගෙන හෝ නැතිව හෝ සජිත් - රෝසි පිළ හා ජ වි පෙ සමග ව්‍යාජ ජාතිකත්වයක් මත පදනම් ව සංධානයක ගොනු වීම, රනිල් - සම්බන්ධන් සමග සන්ධානයක් ඇතිකර ගැනීම, මහා සන්ධානයට එකතු වී ආණ්ඩුව සමග එකඟත්වයකට පැමිණීම ඒ විකල්ප තුන වෙයි. තනිව ම ක්‍රියාත්මක වීම, වික්‍රමබාහු සිරිතුංග ජයසූරිය පෙරටුගාමී කෙකරගාමීන් සමග එකතුවීම ආදිය ද විකල්ප වෙතත් සරත් ෆොන්සේකා ඒ සැලකිල්ලට ගනු ඇතැයි සිතිය නො හැකි ය. එසේ කළහොත් ඔහුගේ දේශපාලන ජීවිතය එදින ම අවසන් වෙයි.

ඔහු මේ සරත් මිස ඒ සරත් නො වේ. අද ඔහු වැලිකඩ හිරගෙදර නැතිවුව ද බටහිරයන්ගේ හිරකරුවෙකි. එබැවින් ආණ්ඩුවත් සමග එකතු වීමට ඔහුට තහංචි වෙයි. රනිල් - සම්බන්ධන් සමග සංධානයක් ඇතිවීමට ඉඩකඩ අවමයක් වන්නේ බටහිරයන් තම බලය යෙදීමෙන් නොවිසඳුවහොත් එහි දී නායකත්වය පිළිබඳ ප්‍රශ්න ඇතිවන බැවිනි. එබැවින් සරත් ෆොන්සේකාටත් බටහිරයන්ටත් ඇති ප්‍රධාන විකල්පය වනුයේ සජිත් - රෝසි –- ජ වි පෙ ව්‍යාජ ජාතිකත්ව හවුලකි. එහෙත් ඒ හවුලට වුව ද බටහිරයන් සතුටු කරමින් මේ ආණ්ඩුව (පඬියන්ගේ රෙජීමය) පෙරළිම සඳහා යුද්ධාපරාධ, ඊනියා මානව අයිතිවාසිකම්, දෙමළ ජාතිවාදයේ නූගත් පාඩම්, ජාත්‍යන්තර අධිකරණ හා විනිශ්චය මණ්ඩල, ආර්ථික තහංචිවලට සහාය දීම ආදියට සහභාගි සිදු වෙයි. සරත් ෆොන්සේකා ද ඉතා කැමැත්තෙන් ඒවාට සහභාගි වී තම ජාතිකත්වය ව්‍යාජයක් බව නොබෝ කලකින් ම හෙළිදරවු කරනු ඇත.

සරත් ෆොන්සේකා සමාවක් ලැබ (ඔහු කැමති වුවත් නැතත් ඉල්ලුවත් නැතත් ලැබුණේ සමාවකි) ගෙට ගොඩ වැදීමට පෙර මෙන් බීබීසියේ අගු පිලේ වැතිරෙන සංදේශයට පවසා ඇත්තේ ඊනියා යුද්ධාපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා රජය සහාය දිය යුතු බවත් රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැඟී යන බවත් ය. සාමාන්‍ය වැසියන් හමුදාව අතින් මියගිය බව ඔහු ප්‍රතික්‍ෂෙප කරයි. එහෙත් නඩේසන්ලා සාමාන්‍ය වැසියන් නොවන බව ඔහු දනියි. ඔහු කියන්නේ කුමක් දැයි පැහැදිලි ය. ඔහු තවත් තැනක කියා ඇත්තේ හමුදා ඇඳුමෙන් සිටින අය ආරක්‍ෂා කිරීමට ඔහු ඉදිරිපත් වන බව ය. අද වන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පමණක් නොව ෂවේන්ද්‍ර සිල්වා මහතා හා හිටපු නාවික හා ගුවන් හමුදා නිලධාරීනුත් හමුදා ඇඳුමෙන් නැති බව කවුරුත් දනිති. ඔහු සැරසෙන්නේ කුමක් සඳහා දැයි පැහැදිලි ය. වැඩිකල් නොගෙස් ජනතාවගෙන් බහුතරයට ඔහු ක්‍රියා කරන්නේ කාගේ වුවමනාවට දැයි තේරුම් යනු ඇත. ඔහුට තමා දූෂණයට විරුද්ධව කටයුතු කරන්නේ යැයි ද කිව නො හැකි ය. ඔහු දූෂණය සම්බන්ධ නඩුවක වැරදිකරුවකු වී ඇත. අර විනිසුරුවා ප්‍රධාන පිරිස ඔහුගේ සියළු දඬුවම් අහෝසි කරන ලෙස ඉල්ලා සිටින්නේ ද එවැනි ප්‍රශ්න නිසා ය. ඔහුගේ දේශපාලනයේ බහින කලාව එළඹී ඇත. වැඩිකල් නොගොස් ඔහු හෙළිදරවු වනු ඇත. කෙසේ වෙතත් අපි ඔහුට යහපත් සෞඛ්‍ය තත්වයක් පතමු. ඔහුට රෝහල්වල ගතකිරීමට සිදුවන කාලය අඩුවේවා යැයි ද පතමු.

Sunday, 11 December 2011

රනිල් සරත් සහ ටයිපටිය

පසුගිය ජනාධිපතිවරණයේ දී එ ජා පක්‍ෂය විසින් රනිල් වික්‍රමසිංහ වෙනුවට සරත් ෆොන්සේකා ඉදිරපත් කරනු ලැබුයේ රනිල් වික්‍රමසිංහට ජයගැනීමට කිසිම ඉඩක් නොතිබූ නිසාත් සරත් ෆොන්සේකා ජාතිකත්වයේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තිබූ නිසාත් ය. හිටපු හමුදා නායක ලෙස සරත් ෆොන්සේකාට ජාතිකත්වය අගය කළ අය අතර යම් පිළිගැනීමක් තිබිණි. 2005න් පසුව ජාතිකත්වයක් ගෑවීවත් නැති අයකුට ජනාධිපති වීමේ අවස්ථාවක් උදාවනු ඇත්තේ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මගින් ජනතාවට ජාතිකත්වය එපා කළහොත් පමණකි. එ ජා පක්‍ෂයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ සංරචකය වූ රනිල් - රවි කරුණානායක –- ජයලත් ජයවර්ධන - ජෝන් අමරතුංග කල්ලියට සම්ම ජාතියේ බලයට පැමිණීමට නොහැකි බව නොදන්නේ ඔවුන්, ඔවුන්ගේ හෙන්චයියලා හා හෙන්චක්කලා පමණකි. සජිත් - කරු කණ්ඩායමට අවම මට්ටමේ ජාතිකත්වයක් ඇති නමුත් ඔවුහු දුර්වලයෝ වෙති. කලක සිට එ ජා පක්‍ෂය ගන්ධබ්බ තත්වයක පවතින්නේ එබැවිනි. ඒ ගන්ධබ්බ තත්වය හමුවේ සරත් ෆොන්සේකා ජනාධිපතිධුරාපේක්‍ෂකයා ලෙස නම් කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් එ ජා පක්‍ෂයට එකල නො වී ය. ජ වි පෙරමුණට සරත් ෆොන්සේකා හැරෙන්නට ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට එලොවින්වත් මෙලොවින්වත් කිසිවකු සොයා ගැනීමට නොහැකි විය. එම පක්‍ෂය ජනාධිපතිවරණයක දී හුදු නිරික්‍ෂක මට්ටමට ඇද වැටෙයි. අද දෙකට බෙදී ඇති ජ වි පෙරමුණේ පාර්ශ්ව දෙක තම අනුගාමිකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා තරගයක යෙදී ඇති ආකාරය දැක බලාගත හැකි ය. වඩාත් ම රැඩිකල් වන්නේ තම පාර්ශ්වය යැයි අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීම සඳහා තව තවත් ප්‍රචණ්ඩ ක්‍රියා මාර්ගවලට එළඹී විනාශවීම හෝ එ ජා ප, ශ්‍රී ල නි ප යන පක්‍ෂ දෙකෙන් එකකට එකතුවීම හෝ හැරෙන්නට වෙනත් විකල්පයක් ජ වි පෙරමුණට නැත. ජ වි පෙ බෙදීමට ආසන්න හේතුවක් වූයේ ද සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා මාර්ගය ය.

සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කළ ඉටිගෙඩියක් නොමැති බව වඩාත් හොඳින් දන්නේ හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන පක්‍ෂය ය. ඒ පක්‍ෂය පසුගිය දා පැවති සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ උද්ඝෝෂණයට සහභාගි නොවූයේ එය රනිල් වික්‍රමසිංහගේ තවත් මෝඩ උප්පරවැට්ටියක් පමණක් බව දත් නිසා විය යුතු ය. ඒ කෙසේ වෙතත් අද රනිල් වික්‍රමසිංහ තම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සරත් ෆොන්සේකා වටා ගොඩ නැගීමට උත්සාහ දරනු පෙනෙයි. අද බටහිර බලවේග මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකිරීම සඳහා යොදාගන්නේ ප්‍රධාන වශයෙන් ම රනිල් වික්‍රමසිංහ හා සම්බන්ධන් ය. ජ වි පෙරමුණ ද බටහිරයන් විසින් යොදා ගැනෙන නමුත් තවමත් එය ද්විතීයික ක්‍රියාවලියක් පමණක් වෙයි. සම්බන්ධන් මගින් ඊළම පිහිටුවීමට දෙමළ ජනයාගේ ඊනියා අයිතිවාසිකම් ඔස්සේ බටහිරයෝ ක්‍රියාත්මක වෙති. මේ ව්‍යාජ ප්‍රශ්න සියල්ල අවුරුදු සියයකට අධික කාලයක් තිස්සේ සාකච්ඡා වී ඇති බවත් එහි කූටප්‍රාප්තිය වූයේ ප්‍රභාකරන් ආයුධ මගින් කළ ගනුදෙනුව බවත් ඒ ගනුදෙනුව නන්දිකඩාල් කලපුවේ දී ගිල්වා දමා ඇති බවත් බටහිරයන් නොදන්නවා නො වේ. හමුදා ක්‍රියාමාර්ගවලින් පසු පැහැදිලි ජයග්‍රහණයකින් කෙළවර වන ගනුදෙනු නැවතත් ආරම්භ කළ නො හැකි ය. හමුදා ක්‍රියාමාර්ග උචිචතම දේශපාලන ක්‍රියාමාර්ග වෙයි. හමුදා ක්‍රියාකාරකම් ද එක්තරා ආකාරයක සාකච්ඡාවකි. ඒ සාකච්ඡාව අවියෙන් කෙරෙන්නකි. අප ශාරීරික හිංසාවට කැමති වුවත් නැතත් හමුදා ක්‍රියාමාර්ගවලින් ලැබූ ජයග්‍රහණ ඊනියා සාකච්ඡා මගින් වෙනස්කළ නො හැකි ය. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු හිට්ලර් අනුගාමික නටිසිවාදීන් පිරිසක් චර්චිල් සමග සාකච්ඡාවක් ඉල්ලී නම් ඔහු සුරුට්ටුව විකා හොඳ කුණුහරුපයක් කීමට තිබිණි. මෙරට ඇත්තේ ඊනියා දෙමළ ජනයාට දෙමළ වීම නිසාම වූ ප්‍රශ්නයක් නොව සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් හිමි තැන අහිමි කරනු ලැබීම පිළිබඳ ප්‍රශ්නයකි. නන්දිකඩාල් ජයග්‍රහණය කිසි ලෙසකින්වත් ආපසු හැරවීමට බටහිරයන්ට ඉඩ තැබිය යුතු නො වේ.

රනිල් වික්‍රමසිංහ සහ බටහිරයන් අද උත්සාහ ගන්නේ සරත් ෆොන්සේකා ඊනියා දේශපාලන සිරකරුවකු ය යන මිථ්‍යාව වැපිරීමට හා එමගින් බටහිරයන්ට ඊනියා ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම මුවාවෙන් මෙරට ආක්‍රමණය කිරීමට අවස්ථාවක් උදාකර ගැනීමටත් ය. සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ අරමුණ එය වෙයි. සරත් ෆොන්සේකා අද සිරගත වී ඇත්තේ ඔහු ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව තරග වැදුණු නිසා ද? ආණ්ඩු විරෝධීන් ඊනියා දේශපාලන සිරකරුවා යන ව්‍යාජ නාමය සරත් ෆොන්සේකාට ආරුඪ කිරීමට ඇති එකම හේතුව එය වෙයි. ආණ්ඩුවට විරුද්ධව දේශපාලන මතයක් දැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනී නැත. එසේ නම් රනිල් වික්‍රමසිංහ ද ඊටත් වඩා කොටි වෙනුවෙන් පෙනී සිටින බෞද්ධයන්ට හිතවත්කමක් දක්වන්නේ යැයි පෙන්වන එ ජා පක්‍ෂයේ යුදෙව් ක්‍රිස්තියානි සංරචකයේ පතාක යෝධයකු වූ ජයලත් ජයවර්ධන ද, එවැනි ම තවත් යෝධයකු වූ ද, සිරිමාවෝ බඬ්ඩාරණායක මහත්මියගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා 1962 දී අබෞද්ධ හමුදා හා පොලිස් උසස් නිලධාරීන් කළ කුමන්ත්‍රණයේ ප්‍රධානියකු වූ සී සී දිසානායකගේ මුණුබූරකු වූ ද රවි කරුණානායක ද අත්අඩංගුවට ගත යුතු ය. (මෙරට අධිකරණයෙන් එකී කුමන්ත්‍රණකරුවන් වැරදිකරුවන් ලෙස තීරණය කෙරුණු නමුත් ඉංගිරිසි නීතිය අනුව එංගලන්තයේ සාමි මණ්ත්‍රණ සභාවට එකල කරන ලද අභියාචනයක දී තාක්‍ෂණික ප්‍රශ්නයක් මත ඔවුහු නිදහස් කරනු ලැබූහ. එය ඊනියා මානවහිතවාදී නඩු තීන්දුවක් ද එසේත් නැත්නම් බටහිරයන්ගේ යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ආරක්‍ෂාකර ගැනීම සඳහා වූ නඩු තීන්දුවක් ද යන්න රනිල් වික්‍රමසිංහ අර පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ ටයිපටිය පැළඳගෙන සිටින අවස්ථාවක ඇසිය යුතු ය). ආණ්ඩුව එවැනි මෝඩ වැඩ කර නන්නාත්තර වී ඇති මේ දේශපාලනඥයන්ට වැදගත් තැනක් හිමිකර නොදෙනු ඇත.

සරත් ෆොන්සේකා අද සිරගත කෙරී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් නොව මෙරට අධිකරණය මගිනි. ඔහුගේ සිර දඬුවම් කිහිපයකි. යුද්ධාධිකරණය ද එයට සම්බන්ධ වී ඇත. ඒ යුද්ධාධිකරණ නීති විරෝධී නොවන බව මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරී ඇත. රනිල් වික්‍රමසිංහ හා බටහිරයන් ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? මේ සියළු අධිකරණ තීන්දු දී ඇත්තේ අපේ පැරණි සිංහල නීතියේ නීිති නිඝණ්ඩුවට අනුව නො වේ. ඒ තීන්දු සාමාන්‍ය ජනයා විසින් ඉංගිරිසි නීතිය (දැනටත් ඊනියා උතුම් මහරැජනගේ නීතිය) යනුවෙන් හැඳින්වෙන රෝම ලන්දේසි නීතියට එකඟව ය. බටහිරයන් හා බටහිරයන්ගේ සියළු සිරිත් විිරිත්, දැනුම , නීතිය හා ටයිපටිය ඉතා ඉහළින් අගය කරන රනිල් වික්‍රමසිංහ ඔහු අගයන නීතියට අනුව දෙන ලද තීන්දු නිසා සිරගත වී සිටින සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු යැයි කියන්නේ කෙසේ ද? සුද්දන් විසින් පිහිටුවනු ලැබූ අධිකරණයෙන් සිරදඬුවම් නියම කෙරෙන ඇතැමුන්ට දේශපාලන සිරකරුවන් යන්න යොදාගැනෙන අවස්ථා ද වෙයි. 1971 ඒකරාත්‍රි විප්ලවයෙන් පසු සිරගත කෙරුණු විජේවීර ඇතුළු පිරිස දේශපාල සිරකරුවෝ ලෙස හඳුන්වනු ලැබූහ. එසේම ඇතැම්හු කොටින් ද දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වති. සාමාන්‍ය දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි නිසා නොව දේශපාලන මතවාදයක් හේතුවෙන් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකිරීම නිසා වැරදිකරුවන් බවට පත් වුවෝ එසේ ඇතැම් විට දේශපාලන සිරකරුවන් ලෙස හැඳින්වෙති. එහෙත් සරත් ෆොන්සේකා අද වරදකරුවකු වී සිටින්නේ ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් මෙහෙය වූ නිසා නො වේ. එමෙන් ම ඔහු ජනාධිපති අපේක්‍ෂකයා වීම නිසාවත් නොවේ. යම් අයරකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්‍ෂකයා වී නම් ඔහු අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරාවි ද?

සරත් ෆොන්සේකා අද සිරදඬුවම් විඳින්නේ වෙනත් හේතු නිසා ය. ඔහුගේ සුදු කොඩි නඩුව නැවතත් උසාවිය ඉදිරියේ තිබීම නිසා ඒ ගැන කතාකිරීම ඉංගිරිසි නීතියට විරුද්ධව යැමක් බැවින් ඒ පිළිබඳ තව දුරටත් කතාකිරීමට අදහස් නො කරමි. ඉංගිරිසි නීතියට අප කැමති වුවත් නැතත් අපට එයට අවනත වීමට සිදු වී ඇත. එහෙත් අප සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු යනුවෙන් හැඳින්වීමට බටහිරයන් හා එක්ව රනිල් වික්‍රමසිංහ ගන්නා නින්දිත උත්සාහය පරාජය කළ යුතුව ඇත. මේ ව්‍යාපාරයේ අවසන් අරමුණ ඊනියා මානව අයිතිවාසිකම් මුල් කරගෙන මෙරට ආක්‍රමණය කිරීමට බටහිරයන්ට අවස්ථාව ලබා දීම ය. රනිල් වික්‍රමසිංහ මෙරට සංස්කෘතියෙහි ජීවත්නොවන්නකු බව ටයිපටිය සිද්ධියෙන් ද පැහැදිලි වෙයි. මෙරට ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍යයෝ පාසලේ ටයිපටියෙන් එකට බැඳී සිටිති. පාසල් ටයිපටිය පිළිබඳ ගෞරවයක් හැඟීමක් ඔවුන් අතර වෙයි. එය එක්තරා ආකාරයකට සහෝදරත්වයේ හා පොදු වටිනාකම්වල සංකේතයක් වෙයි. ඇතැම් සමිති සමාගම්වලට ද එවැනි ටයිපට ඇත. එහි දී ද ටයිපටියෙන් තමන් එක රැණේ කුරුල්ලන් ය යන හැඟීම ගෙන දෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ද ටයිපටියක් ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඒ ටයිපටියට ද ගෞරව කරන බව පෙනී යයි. ඒ ටයිපටියෙන් බටහිර පාර්ලිමේන්තු සම්ප්‍රදාය, බටහිර ව්‍යාජ වටිනාකම් සංකේතවත් වෙයි. ඉංගිරිසින් පොදුරාජ්‍ය මණ්ඩලයේ තමන් මෙන් සිතන පතන පාර්ලිමේන්තු මන්ත්‍රීන් ටයිපටියෙන් බැඳ තබාගැනීමට සමත් වී ඇත. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සභා ගැබෙහි එකී ටයිපටිය බැඳ ගෙන සිට පසුව ගැලවීමෙන් පෙන්වා ඇත්තේ බටහිර සම්ප්‍රදායට තමන් කෙතරම් ගැති ද යන්න පමණ ය. එය ද පෙන්වා ඇත්තේ බටහිරයන්ට ය. මෙරට සාමාන්‍ය ජනයාට මේ ටයිපටි බහුබූතය තේරුමක් ඇති දෙයක් යැයි රනිල් වික්‍රමසිංහ සිතන්නේ ද? ඔහු තමා ගැල වූ ටයිපටියෙන් සරත් ෆොන්සේකා බැඳ තැබීමට උත්සාහ කර ඇත.