Main Logo

Showing posts with label අදෘශ්‍යමාන. Show all posts
Showing posts with label අදෘශ්‍යමාන. Show all posts

Wednesday, 31 July 2013

ඇස් පෙනෙන්නෝ හා නොපෙනෙන්නෝ

අප මෙහි දී අදෘශ්‍යමානය යන්නෙන් අදහස් කරන්නේ ඇසට නොපෙනෙන දේ පමණක් නො වේ. මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සියල්ල අදෘශ්‍යමාන ලෙස අපි සලකමු. අදෘශ්‍යමානය යන්නෙහි වචනාර්ථය පමණක් අපි නො සලකමු. අපට මෙහි දී වැදගත් වන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පවතින්නේ ද යන්න ය. එහෙත් අප අවධාරණය කළ යුතු දෙයක් වෙයි. ඒ පවතින්නේ ය යන්න ද අපේ නිර්මාණයක් සංකල්පයක් පමණක් බව ය. සියළු සංකල්ප ශූන්‍ය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. ඒ අපේ නිර්මාණ පමණකි. 

ඒ අර්ථයෙන් ගත්කල අදෘශ්‍යමානය පමණක් නොව දෘශ්‍යමානය ද නො පවතියි. ඒ සියල්ල පවතින්නේ අපේ සංකල්පීය ලෝකයෙහි පමණ ය. එහෙත් සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. පුටුව යන්න පවතින්නේ සංකල්පීය ව පමණ ය. එය පරමාර්ථ වශයෙන් නොපවතී යැයි කීමට මම අකමැත්තෙමි. සියල්ල පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. ඇතැමුන්ට අනුව නිවන පරමාර්ථ සත්‍යයකි. මම ද කලක් ඒ එසේ යැයි විශ්වාස කළෙමි. නිවන පරමාර්ථ වශයෙන් සත්‍යයක් යැයි ගත්ත ද නිවන පවතින්නේ යැයි කියන්නෝ වෙත් ද?

අවාසනාවකට එසේ සිතන්නෝ වෙති. ඇතැමුන්ට අනුව නිවන යනු සත්ත්වයන්ට සදාකාලික ව පැවතිය (ජීවත්විය) හැකි වූවකි. එහෙත් නිවන් අවබෝධ කළ තැනැත්තා නැවත නූපදි යි. එසේ නිවන් අවබෝධ කරගන්නා තැනැත්තකු ද නැති වුවත් සම්මුති වශයෙන් ඇති තැනැත්තා නිවන් අවබෝධයෙන් පසු නැවත භවයක ජාතියක්, ජන්මයක් නො ලබයි. නිවන් අවබෝධය යනු චුති චිත්තයෙන් පසුව වෙනත් චිත්ත ඇතිවීම නැවැත්වීම ය. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණක් නම් චිත්තය යන්න ද අපේ සංකල්පයක් බව ය. 

චුති චිත්තය නිවන් අවබෝධයත් සමග ඇති වීම අනිවාර්ය නොවන බැවින් නිවන් අවබෝධයත් සමග පරිනිර්වාණය සිදු වීම අනිවාර්ය නො වේ. එබැවින් බුදුන් වහන්සේ ද රහතන් වහන්සේ ද නිවන් අවබෝධයෙන් පසුව ද යම් කාලයක් ජීවත් වෙති. ඒ කාලයෙහි උන්වහන්සේට ක්‍රියා සිත් ජනිත වෙයි. අවශ්‍ය වූ විටෙක නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි ය. ඒ කුමක් වුවත් නිවන යනුවෙන් තැනක් නැත. නිවන් යෑමෙන් (අවබෝධයෙන්) අප යන තැනක් ගැන නො කියැවෙයි. 

අපට ඇත්තේ සම්මුති සත්‍ය ය. ඒ සම්මුති සත්‍ය පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. අප පුටුවක් ඇතැයි කියන්නේ සම්මුතියෙනි. අප දන්නා සියල්ල සම්මුති වශයෙන් පමණක් සත්‍ය වන අතර සම්මුති වශයෙන් පමණක් පවතියි. දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවතින දෙයින් කොටසක් පමණක් වෙයි. වෙනත් වචනවලින් කිවහොත් දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවත්නා දේවල කුලකයේ උප කුලකයක් පමණකි.  

දෘශ්‍යමානය යනුවෙන් ගන්නා දේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. අද්‍යශ්‍යමානය යනුවෙන් ගන්නා දේ අප බොහෝ දෙනකුගේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. එහෙත් ඇතැමුනට අප ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ යැයි කියන දේ මනේන්ද්‍රියට දැනෙයි. අපේ මනස්වලට ඒ හසු නොවන බැවින් අපි එසේ මනේන්ද්‍රියන්ට ගෝචරවන දේ ඇතැයි, පවතින්නේ යැයි නො පිළිගනිමු. වෙනත් අයට එසේ ඇතැම් දේ මනේන්ද්‍රියට ගෝචර වන්නේ යැයි කියන්නේ ඔවුන්ගේ මනසේ ඇතිවන භ්‍රාන්තියක් නිසා යැයි අපි කියමු.

එය අන්ධ මනුෂ්‍යයකු අපට කිසිවක් නො පෙනෙන්නේ යැයි කීමට සමාන ය. එවැන්නකු කියනු ඇත්තේ ඊනියා පෙනෙන දේ ඇතැමුන්ගේ භ්‍රාන්තියක් පමණක් බව ය. කිසිවක් නොපෙනෙන ලෝකයක ඇතැම් දේ පෙනෙන්නේ යැයි කීම භ්‍රාන්තියක් නොවන්නේ ද? එහෙත් අන්ධ මනුෂ්‍යයෝ එසේ නො කියති. එයට හේතුව අති විශාල බහුතරයක් පෙනෙන දේ ඇතැයි කීම ය. යම් හෙයකින් අන්ධ මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව අති විශාල වී නම් හා පෙනෙන අයගේ සංඛ්‍යාව ඉතාමත් සුළුතරයක් වී නම් සමාජයෙහි ඒ සුළුතරය ගැන කිනම් මතයක් ඇතිවීමට ඉඩ තිබිණි ද? 

බහුතරය යන්න ද බොහෝ විට සමාජ බලයක් වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ එලෙස බහුතරය සමාජ බලයක් ලෙස ගැනීමෙනි. අඩුම තරමෙන් එසේ ගන්නා බවට මතයක් ඇති කිරීමෙනි. බහුතරය සමාජ බලයක් විය යුත්තේ අසන පිරිස් නැතිවා නො වේ. අද මෙරට ඇතැමුන් අසන ප්‍රශ්නයක් නම් බහුතරය සිංහල වූ නිසා සිංහලයන්ගේ මතය සමාජයට බලයෙන් පිළිගැන්විය යුතු ද යන්න ය. එය එසේ විය යුතු නො වේ. බහුතර මතය ගලා එන්නේ කිනම් සාධක මත ද යන්න එහි දී සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය වෙයි. 

කෙසේ වුවත් එහි තවත් පැත්තක් ද වෙයි. අප සමාජය මත සුළුතරයේ මතය බලයෙන් පැටවිය යුතු ද? එහි දී විදේශීය රටවල සහාය ලබාගැනීම කෙසේ යුක්තියුක්ත කරන්නේ ද? එසේත් නැත්නම් විදේශිය රටවල් තම මතය බහුතරය මත පැටවීමට සුළුතරය යොදා ගන්නේ ද? විදේශීය රටවල දේශපාලන හා ආර්ථික ශක්තිය යොදා ගැනීම යුක්තියුක්ත කළ හැකි ද? අද ලංකාවේ සිදුවන්නේ එවැන්නකි. විදේශික බලවේග සිංහල බහුතරය මත තම මතය පැටවීමට දෙමළ සුළුතරය යොදා ගනියි. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට වුව ද එකඟ නොවනමුත් අද මෙරට සිදුවන්නේ ඒ ක්‍රියාදාමය ය. එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම මතය සිංහලයන් මත පැටවීමට දෙමළ හා මුස්ලිම් සුළුතරය යොදා ගැනීමට උත්සාහ කරති. 

කෙසේ වෙතත් ඇස් නොපෙනෙන්නන්ගේ ලෝකයක ජීවත්වන ඇස් පෙනෙන්නන් සුළුතරයකට  මුහුණ පෑමට සිදුවන ගැටළු සිතාගත හැකි ය. ඇස් පෙනෙන සුළුතරයට විදේශීය සහායක් නොලැබුණහොත් (ඔවුන්ට ඇස් පෙනෙන්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වේ.) ඔවුන් මානසික වශයෙන් ප්‍රශ්න ඇති අය, විකාර කියවන්නන් ආදීන් වශයෙන් හැඳින්වෙනු ඇත. එලෙස ම මිනිසුන්ගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන දේ ගෝචරවන්නේ යැයි පවසන සුළුතරය පංචෙන්දිය්‍රට ගෝචර වන දේ පමණක් පවතින්නේ යැයි කියන ලෝකයක මානසික රෝගීන් ලෙස හඳුන්වනු ලැබීම බලාපොරොත්තු විය යුත්තකි.

පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම යනු හුදෙක් අවයව පහට ගොදුරු වීමක් නොවන බව අවධාරණය කළ යුතු ය. ඉන්ද්‍රියයක් යනඑ අවයවයකට වැඩි දෙයකි. ඉන්ද්‍රියයක් ඇති වන්නේ අදාළ අවයව මනස සමග එකතු වීමෙනි. මනස නොමැතිව කිසිම ඉන්ද්‍රියයක් නැත. මෘත ශරීරයකට ද අවයව පහ ඇත. එහෙත් මෘත ශරීරයකට පංචෙන්ද්‍රිය නො වේ. මෙහි දී සැලකිය යුත්තක් නම් බටහිර විද්‍යාව කුමක් කීව ද සිංහල බෞද්ධයනට මනස යන්න ද ඉන්ද්‍රියයක් බව ය. එහෙත් මනස නම් ඉන්ද්‍රිය සමග බද්ධ වූ අවයවයක් නැති බව අප කලකට පෙර සඳහන් කර ඇත.  

මනස හදවත සමග හෝ මොළය සමග හෝ බද්ධ වී නැත. මනස ඇත්තේ හදවතෙහි යැයි කිවහැකි නො වේ. එමෙන් ම මස මොළයට ඌනනය කළහැක්කක් ද නො වේ. මනස යන ඉන්ද්‍රියට පැවතීමට (සම්මුති වශයෙන් බව නිතර ම කිවයුතු නො වේ. එහෙත් වරදවා තේරුම් ගැනීම වැළැක්වීම සඳහා ඒ බව විටින් විට කිවයුතු වෙයි.) අවයවයක් අවශ්‍ය නො වේ. නො එසේ නම් සිත මිස කය නැති බඹ ලොවක් තිබිය නො හැකි ය. (එය තර්කයක් නොවන බව ද මම දනිමි. එයට හේතුව අප අති විශාල බහුතරයට බඹ ලොව පැවැත්ම ගැන  කිසිම දැනුමක් හෝ විශ්වාසයක් හෝ නැති බැවිනි.) 

එහෙත් මනසක පැවැත්ම ගැන අපට අවබෝධයක් ඇත. ඒ අවබෝධය ලැබෙන්නේ ප්‍රායෝගික ව ය. එහි දී ද අප යොදා ගන්නේ ජීවත්වන්නකු හා මෘත ශරීරයක් අතර ඇති වෙනස ය.  නරක් නොවුණු මෘත ශරීරයක මොළය ද ඇතුළු සියළු අවයව වෙයි. එහෙත් මෘත ශරීරයට කිසිවක් නො දැනෙයි. මෘත ශරීරයක් හා ජීවත්වන්නකු අතර ඇති වෙනස ද එයයි. සිහි නැති පුද්ගලයකුට ද කිසිවක් නොදැනෙන්නේ යැයි කිසිවකු කියනු ඇත. සිහි නැති පුද්ගලයකු සහ මෘත ශරීරයක් අතර ඇති වෙනස කුමක් ද? 

බටහිර වෛද්‍ය විද්‍යාව එයට කියනු ඇත්තේ සිහි නැති පුද්ගලයකුගේ හදවත හා මනස ක්‍රියාකරන බව ය. හදවත ක්‍රියා නොකළත් මනස ක්‍රියා කරන බව ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිය යෑම යනු මොළය මිය යෑම ය. මෙහි දී මිය යෑම යන වචනය යොදා ගැනීම තරමක ප්‍රශ්නයකි. මොළය මිය යෑම යනු මොළය අක්‍රීය වීම විය හැකි ය. මෙයින් කියැවෙන්නේ මනස යනුවෙන් සංකල්පයක් නොයොදා ගෙන මිය යෑම තේරුම් ගත හැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය හෝ එසේ ක්‍රියාකාරි වීමේ ප්‍රතිඵලයක් හෝ වෙයි. 

එය එසේ යැයි පිළිගත්ත ද පංචෙන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මොළයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙයි. අදාළ අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය මත පදනම් වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ඇස කණ ආදී අවයවවලට ක්‍රියාකාරීත්වයක් නැත. එහෙත් මොළය යනු ද අවයවයකි. එසේ නම් මොළය හා වෙනත් අවයවයක් අතර ඇති වෙනස කුමක් ද? මොළයට එතරම් විශේෂත්වයක් අත්වන්නේ ඇයි? අනෙක් අවයවයකට මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ක්‍රියාකාරි වීමට නොහැකි වුවත් වෙනත් කිසිම අවයවයක ක්‍රියාකාරීත්වය නොමැතිව මොළයට ක්‍රියාකාරී විය හැක්කේ කෙසේ ද? 

මෙහි දී පැන නගින ප්‍රශ්න දෙකක් වෙයි. මොළය නම් අවයවය ඇති සියළු සතුන්ට මනසක් වේ ද? එසේත් නැත්නම් මනස යන වචනය යොදා ගැනීමට අකමැත්තක් වේ නම් මොළය ඇති සියළු සතුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය හා මිනිසුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අතර වෙනසක් නැත් ද? අනෙක් සතුන්ගේ ද මොළය හැරෙන්නට අනෙක් අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය හා බැඳී ඇත් ද? මනස යනුවෙන් කුමක් කියැවෙන්නේ ද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොමැතිව වුව ද මෑතක් වන තුරුම බටහිර විද්‍යාව කියා සිටියේ මිනිසුනට හැරෙන්නට අනෙක් සතුන්ට මනසක් නැති බව ය. 

එහෙත් දැන් දැන් මේ මතය වෙනස්වනු දැකිය හැකි ය. සුපුරුදු පරිදි බටහිර විද්‍යාවේ එක් ප්‍රවාදයක් වෙනුවට වෙනත් ප්‍රවාදයක් ආදේශ වෙයි. මිනිසුන් නොවන සතුන්ට මනස් නැතැයි කී බටහිර විද්‍යාඥයන්ගෙන් කිහිප දෙනකු සතුන්ගෙන් කිහිප දෙනකුට වුවත් මනසක් ඇතැයි කීම එතරම් ම පුදුමයට කරුණක් නො වේ. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් කිහිප දෙනා මනස යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි අපි නො දනිමු. එය බටහිර වෛද්‍ය විද්‍යාඥයන් කියන මොළය ද? එසේත් නැත්නම් වෙනත් කිසිවක් ද?  එය අවයවයක් සමග බැඳී ඇත් ද?     


අනෙක් ප්‍රශ්නය වනුයේ මොළයක් යනුවෙන් කිවහැකි අවයවයක් නැති සතුන්ට මනසක් නැත් ද යන්න ය. මනසක් නැත්නම් මේ ජීවීන් සංසාර ගමනක නො යෙදෙන්නේ ද? ඔවුන්ට මීළඟ භවයක් නැත් ද? බුදුදහමෙහි සියළු සතුන් යන්නෙන් අදහස් කෙරෙන්නේ කවුරුන් ද? ඒ සතුන්ට මනසක් ඇත් ද? නැත් ද? මේ ප්‍රශ්න පිළිබඳ ව බටහිර විද්‍යාව ද බුදුදහම ද විශ්වාස කරන අය කියන්නේ කුමක් ද? ඔවුන්ට සංගත පිළිතුරු දිය හැකි ද?



නලින් ද සිල්වා

2013-07-31

Wednesday, 24 July 2013

බටහිර විද්‍යාව හා අදෘශ්‍යමානය

බටහිර විද්‍යාව ප්‍රවාද නිර්මාණය මත රුඳෙයි. එහි ප්‍රවාද හෙවත් කතන්දර වෙනත් කතන්දරවලින් ප්‍රතික්‍ෂෙප වෙයි. මේ කතන්දර වියුක්ත ය. ඒවා ඉන්ද්‍රිය ගෝචර නො වේ. පොතක පතක තිබුණත් ගුරුවරුන් කීවත් පට්ටපල් බොරු වූ මේ කතන්දර එක් කාලයක දී බටහිරයන් විසින් ද ඔවුන් අනුකරණය කරන අනෙක් අය විසින් ද පිළිගැනෙයි. එහෙත් පසුව ඔවුන් විසින් ම ඒ ප්‍රතික්‍ෂෙප කෙරෙයි. එය හා කාළාම සූත්‍රයෙහි දැක්වෙන ආකල්පය අතර කිසිම සමානත්වයක් නැත. ඒ ගැන තවදුරටත් කතාකිරීමට පෙර බටහිර විද්‍යාවේ ප්‍රවාද, අපේ ප්‍රවාද හා අපේ දැනුම් නිර්මාණය පිලිබඳ යමක් කිව යුතුව ඇත.  

අපේ ප්‍රවාද ලිපි පෙළ ලියන්නේ කරුණු දෙකක් හේතුකොටගෙන ය. පළමුවෙන් ම ප්‍රවාද යනු කවරේ දැයි පාඨකයනට දැනගැනීමට සැලැස්වීමට ය. දෙවනුව අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට අඩුම තරමෙන් අනාගත පරම්පරාවවත් උනන්දු කිරීමට ය. එහෙත් ඒ කරුණු දෙකින් එකක්වත් ස්ථිතිකව පවත්නා දේ නො වේ. ඒ කරුණු දෙක ද නිරන්තරයෙන් වෙනස් වෙයි. මෙහි පහත සඳහන් වන්නේ අප ඒ පිලිබඳ ව අද දරණ මතය ය. එය කලින් දැරූ මතයේ වර්ධනයක් පමණකි. මෙහි දී මතක තබාගත යුත්තක් නම් එය වර්ධනය වන්නේ එක් දිශාවකට බව ය. වරක් එක් දිශාවකටත් තවත් විරුද්ධ එයට ප්‍රතිවිරුද්ධ  දිශාවකටත් වර්ධනය වනු මෙහි දක්නට නො ලැබෙයි. වර්ධනය සිදුවන්නේ නිශ්චිත තේමාවක ය. 

ප්‍රවාද යනු බටහිර වියුක්ත දැනුම් ය.වියුක්ත ප්‍රවාද හෙවත් වියුක්ත කතන්දර ගෙතීම ලෝකයාට කියා දුන්නේ ගැලීලියෝ ය. ඔහු එය එකල දකුණු යුරෝපයේ යම් ප්‍රමාණයකට වර්ධනය වී තිබූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙමින් සිදු කළේ ය. එයට පෙර වෛදික බමුණෝ ද ප්‍රවාද ගොතා තිබුණහ. එහෙත් ඒ ප්‍රවාද බටහිරයන්ගේ ප්‍රවාද තරමට වියුක්ත නො වී ය. ඒ ඉතා වැඩි වශයෙන් සංයුක්ත ප්‍රවාද හෙවත් කතන්දර විය. 

අද ලෝකයේ දැනුම් ආධිපත්‍යය බටහිරයන් සතු ය. අපට ඔවුන්ගෙන් නිදහස් වීමට නම් අපේ දැනුම් පද්ධතියක් තිබිය යුතු ය. එමෙන් ම අපට ඔවුන්ගේ දැනුම් පද්ධතිය, විශේෂයෙන් ම සමාජයීය විද්‍යාවන්හි දී සුණු විසුණු කර දැමීමට හැකිවිය යුතු ය.  බටහිර සමාජයීය විද්‍යාවන් යනූ බටහිර භෞතීය විද්‍යාවන් පිටුපස නොන්ඩි ගසමින යන දැනුම් පද්ධතියක් පමණකි. එයින් විශේෂයෙන් ම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව,  මානව විද්‍යාව යොදා ගැනෙන්නේ අප වැනි රටවල් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා ය. සාහිත්‍යය ආදී මානව ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙන විෂයවල ද මේ කාර්යය සිදුවෙයි.

බටහිර විද්‍යාවේ ප්‍රවාද යනු පට්ටපල් බොරු බව අපි දැන් දනිමු. කලකට පෙර අපට මේ දැනුම නො තිබිණි. කෙසේ වෙතත් බටහිර විද්‍යාව අනුව යමින් අපේ ප්‍රවාද නිර්මාණයකර බටහිර දැනුමේ ප්‍රවාද පරාජය කිරීම එකල අපේ වෑයම විය. අප එකල කළේ සිංහල බෞද්ධ චින්තනයෙහි යම් ආකාරයක වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට සිංහලයන් උනන්දු කරවීම ය. එහෙත් එහි යම් ගැටළුවක් විය. සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්තය ඇත්තේ ඉතා අඩුවෙනි. එය නැත්තේ නැති තරම් ය. 

මෙරට හරිහමන් බටහිර විද්‍යාඥයකු හෝ බටහිර ගණිතඥයකු බිහි වී නැත්තේ එබැවිනි. අප බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇති පරිදි බටහිර විද්‍යාව හෝ බටහිර ගණිතය ඉගෙනීම එතරම් ප්‍රශ්නයක් නො වේ. එසේ ඉගෙනගත් අය, ඇතැම් විට උපාධි පරීක්‍ෂණයේ එතරම් උසස් සාමාර්ථයක් නැතිව වුව ද ජනප්‍රිය පොතපත කියවා වියුක්ත බටහිර ගණිතය ගැන හෝ වියුක්ත බටහිර විද්‍යාව ගැන හෝ යම් අවබෝධයක් ලබාගෙන ඇති අය වියුක්තය වෙනුවෙන් කියති. ලියති. එහෙත් ඔවුන්ට බටහිර වියුක්ත විද්‍යාවේ හෝ බටහිර ගණිතයේ හෝ වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට තබා බොහෝ අයට මෙන් නොව උපාධි පරීක්‍ෂණයෙහි දී උසස් පංති සාමාර්ථයක් ලබාගැනීමටවත් නො හැකි ය. 

වියුක්ත ප්‍රවාද නිර්මාණය කරමින් දැනුම එකතු කිරීම අපේ ක්‍රමයක් නො වේ. අපට එසේ කිරීමට සිදුවූයේ අප පෙළන බටහිර ප්‍රවාද පරාජය කිරීමට කලකට පෙර අපට වෙනත් ක්‍රමයක් නොතිබූ බැවිනි. සුළුවෙන් අනුගමනය කළ හැකි මේ ක්‍රමය එතරම් සාර්ථක නොවන බව පැහැදිලි ය. එහෙත් ජීවිතයේ වියුක්ත ප්‍රවාදයක් සංකල්පයක් ගොඩනගනු තබා උසස් පෙළ පරීක්‍ෂණයවත් හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරති. ඔවුන්ට දැනුම ලබාගැනීමේ වෙනත් ක්‍රම ඇති බවක්වත් නො හැඟෙයි.

මා මෙහි දී උසස් පෙළ හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය ගැන සඳහන් කරන්නේ ඔවුන්ට කරන අගෞරවයක් ලෙස නො වේ. බටහිර වියුක්ත අධ්‍යාපනයට අප වැඩි වශයෙන් යොමු කෙරෙන්නේ උසස් පෙළ පංතියේ දී ය. කිනම් විෂයකින් වුවත් උසස් පෙළ පංතියේ දී ලබා දෙන අධ්‍යාපනය තරමක් වියුක්ත ය. උසස් පෙළ පරීක්‍ෂණයෙන් සමත්වීමට තරමකට වියුක්ත ව සිතීමේ හැකියාවක් තිබිය යුතු ය. ඒ හැකියාව නොමැතිව වුව ද කටපාඩම් කිරීමෙන් (ස්මරණ ශක්තියේ ආධාරයෙන්) උසස් පෙළ සමත්වන්නෝ ද සිටිති. සාධාරණ වශයෙන් උසස් පෙළ පරීක්‍ෂණය අසමත්වන්නේ බොහො විට වියුක්ත ව සිතීමට එතරම් හැකියාවක් නැති අය ය.  (සෑම විෂයයකින් ම එකම මට්ටමේ වියුක්ත ව සිතීමේ හැකියාවක් අපේක්‍ෂා කරන්නේ යැයි නොසිතිය යුතු ය. සාහිත්‍යයට වඩා ගණිතයේ දී වියුක්ත ව සිතීමේ වැඩි හැකියාවක් අවශ්‍ය වෙයි)   

අපට කලකට පෙර පැහැදිලි වූයේ මෙරට දැනුම නිර්මාණය කිරීම ආධ්‍යාත්මික ව සිදු වී ඇති බව ය. සෘජු ව හෝ වක්‍ර ව හෝ ආධ්‍යත්මික ව දැනුම නිර්මාණය කිරීම සිංහල බෞද්ධ චින්තනයට එකඟ වෙයි. අද අපි එතරම් නුහුරු වුව ද තරමක පරස්පරයක් වුව ද සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත ප්‍රවාද නිර්මාණය කරන අතර ම හැකියාවක් ඇති පුද්ගලයන් මගින් ආධ්‍යාත්මික ව ද දැනුම ලබාගැනීමට උත්සාහ කරමු. එයට ඇතැම්හු විරුද්ධ වෙති. එසේ වන්නේ අදෘශ්‍යමාන බලවේග ගැන ඔවුන්ට විශ්වාසයක් නොමැති බැවිනි. 

ඒ අවිශ්වාසය ගැන අපට එතරම් ප්‍රශ්නයක් නැත. තම පංචෙන්ද්‍රියට ගෝචරවන ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් නිර්මාණය කරගැනීමට නොහැකි යැයි ඔවුහු සිතති. මෙය තරම් මෝඩකමක්, උද්ධච්ඡකමක් තවත් නැත. ඇතැම් සතුනට ගෝචරවන බොහෝමයක් දේ අපට ගෝචර නො වේ. අපේ ලෝක නිර්මාණය වන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතිය මත පදනම් වෙමිනි. එහෙත් නිර්මාණය කළ හැක්කේ ඒ ලෝක පමණක් ය යන්න මානව කේන්ද්‍රීය උද්ධච්ඡකමක් මිස වෙනත් දෙයක් නො වේ. අපට දැන් තිබෙන ඉන්ද්‍රිය පහ වෙනුවට හෝ එයින් කිහිපයක් සමග හෝ වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් අප නිර්මාණය කරන ලෝකය කෙබඳු විය හැකි ද?

බල්ලන්ගේ හෝ පක්‍ෂීන්ගේ හෝ වෙනත් සතුන්ගේ හෝ ලෝක ගැන අපට කිව හැක්කේ කුමක් ද? අප ඉන්ද්‍රිය ගෝචර නොවන අත්දැකීම් නැත යනුවෙන් තීරණය කරන්නේ සියල්ලන් ම අප දකින අයුරින් ලෝක නිර්මාණය කළ යුතු බවත් අපේ ලෝක හැරෙන්නට වෙනත් ලෝක නැති බවත් නිගමනය කරමිනි. මෙය බටහිරයන්ගේ ආකල්පයකි. ඔවුහු අප වැනි බටහිර නොවන මිනිසුන්ට ද වෙනත් සතුන්ට ද ඔවුන්ගේ ලෝක පමණක් නිර්මාණය කිරීමට කියති. අපි ද ඔවුන් අනුකරණය කරමින් පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ලෝක නැතැයි කියමු.

එවැනි නිගමනයක් අසාධාරණවනවා පමණක් නොව අධිපතිවාදී ද වෙයි. බටහිරයෝ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පමණක් ඇතැයි සිතති. අපට නොඇසෙන ඇතැම් ශබ්ද, එනම් ඔවුන් කියන ආකාරයට ඇතැම් තරංග ආයාමවලින් යුත් ශබ්ද වෙනත් සතුනට ඇසෙන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ඔවුන්ගේ, එනම් බටහිර විද්‍යාඥයන්ගේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වේ. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිර විද්‍යාඥයන්ට දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද? එය කණෙන් අසාගත නොහැකි බව පැහැදිලි ය. මනස ඉන්ද්‍රියයක් ලෙස නොසලකන බටහිර විද්‍යාඥයන්ට බල්ලන්ට ඇසෙන ඇතැම් ශබ්ද අපට නොඇසී ද, එවැනි ශබ්ද ඇතැයි අප දැනගන්නේ මනස ආධාරයෙන් යැයි කිවහැකි නො වේ. 

අපට නොඇසෙන ඇතැම් ශබ්ද බල්ලන්ට ඇසෙන්නේ යැයි බටහිර විද්‍යාඥයන් කියන්නේ පංචෙන්ද්‍රියන්ට ගෝචර අත්දැකීමක් ලෙස නො වේ. එය පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් වනුයේ බල්ලන්ගේ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් පමණකි. අපට අමුතු යමක් ගෝචර නොවද්දී බල්ලන් කන් කෙලින් කරමින්, බුරමින් ආදී වශයෙන් විවිධ ප්‍රතිචාර දක්වනු අප දැක ඇත, අසා ඇත. බල්ලන්ගේ ඒ ප්‍රතිචාර නම් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වෙයි. දැන් අප මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් ගන්නේ කෙසේ ද? 

බටහිරයෝ සුපුරුදු පරිදි එයට කතන්දරයක් හදති. ශබ්ද තරංග, ආයාම දිග, ඒ ඒ සතුනට ඇසෙන ආයාම දිග සහිත ශබිද ආදී වශයෙන් මේ පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිම ඉන්ද්‍රියයකට ගෝචර නොවන වියුක්ත කතන්දරය දිග හැරෙයි. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිරයන් නිගමනය කරන්නේ ඒ කතන්දරය අනුව ය. එය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධියක් තේරුම් ගැනීම සඳහා නිර්මාණය කරන ලද ඉන්ද්‍රිය ගෝචර නොවන කතන්දරයකි. බටහිර විද්‍යාඥයන්ට හා ඔවුන් අනුකරණය කරන්නන්ට මේ ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර විශ්වාස කිරීම කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් මේ කතන්දර අදෘශ්‍යමාන ය. එසේ අදෘශ්‍යමාන බලවේග ගැන විශ්වාසය තබමින් ම බටහිර විද්‍යාඥයෝ හා ඔවුන් අනුකරණය කරන මෙරට පුස්සෝ අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන බව කියති. 

ඔවුන් විශ්වාස කරන අදෘශ්‍යමාන, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බලයක් වූ ඊනියා ගුරුත්වාකර්ෂණ බලය  පිළිබඳ අපි සඳහන්කර ඇත්තෙමු. ගුරුත්වාකර්ෂණය වැනි කිසිවකු කිසි දිනෙක දැක නැති, අසා නැති, ස්පර්ශකර නැති, රස බලා නැති, ගඳ සුවඳ බලා නැති, පට්ටපල් බොරුවක් විශ්වාස කරන බොහෝ බටහිර විද්‍යාඥයෝ හා ඔවුන්ගේ නිවට අනුකාරකයෝ දෙවියන් අද්‍යශ්‍යමාන යැයි ද ඒ විශ්වාස නොකළ හැකි යැයි ද කියති. අඩුම තරමෙන් මෙරට යම් පිරිසක් දෙවියන් භූතයන් ආදී ප්‍රාණීන් දැක තිබියදීත් ඔවුහු ඒ විශ්වාස නො කරති. පඬියන් එහි දී තම පඬි වදන් යුක්තයුක්ත කරන්නේ එසේ ඇතැමුන් දෙවියන් භූතයන් ආදීන් දැකීම මානසික භ්‍රාන්තියක් නිසා සිදුවන බව කියමිනි.


කිසිවකු කිසදා දැක නැති ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ මානසික භ්‍රාන්තියක් යැයි කිවහොත් පඬියන් උරණ වනු ඇත. එහෙත් එය, එනම් ගුරුත්වාකර්ෂණය කිසි දිනෙක නිවුටන්ගේවත් පංචෙන්ද්‍රියට ගෝචර වී නැත. මා දන්නා තරමින් ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරායවරයකුට පමණ ය. එහෙත් ඔහු ද ඔහු සතු ඒ සුවිශේෂ අවයවය අන් අයට නො පෙන්වයි. ඔහුට ඇත්තේ නිවුටන්ගේ මානසික භ්‍රාන්තිය නොවූවත් ඔහුට ද යම් භ්‍රාන්තියක් ඇති බව පැහැදිලි ය.   


නලින් ද සිල්වා

2013-07-24